වර්ෂ 2023 ක්වූ March 21 වැනිදා Tuesday
ප්‍රේක්ෂකයන්ට සියුම් කම්පනයක් දනවන ‘මාණික්කාවත’

ජීවිතය ආරම්භවන්නේ ජීවිතාවසානය සනිටුහන් කරමිනි.ජීවිතාවසානය යනු නව ජීවිතයක ඇරඹුම විය හැකි ය. මේ අතර කාල පරතරය නිර්ණය කිරීම පහසු නොවේ. ඊට පිළිගත් ක්‍රමවේදයක්ද නොමැත. වරෙක මෙය පරම්පරා කිහිපයකින් සැදුම්ලත් මනුෂ්‍ය සම්බන්ධතා මාලාවක් වන්නටද පුළුවන. එනම් ජීවිතය යනු හුදු ඒක පුද්ගල ගලායාමක් ම නොවන බව යි. අවිහිංසක හා කරදරේ වැටුණු යුවතියක සමඟ පලා ආ තරුණ කෙටිහාමි එක්තරා ආකාරයකින් නව ජීවිතයක ආරම්භයයි. එසේම නව පරම්පරාවක මුල් පුරුකයි. පුරෝගාමියා යි. බිරිඳ කොට ගන්නා පිච්චි සමඟ හේ නව ජීවිතය සාරවත් කිරීමේ අනවරත අරගලයට එක්වන්නේ බොහෝ අසීරුතා, දුක් කම්කටුලු හා ප්‍රශ්න කිරීම් මධ්‍යයේය.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල , කෙටිහාමි නමැති අතීත මිනිසා වර්තමානයට හඳුන්වා දෙන්නේ සියවසක කාලයක් මත නිදහසේ ගමන් කරමිනි. කෙටිහාමි අතීතයට ම නොව වර්තමානයටද අයත් වන්නකු ය යන්න වෙසෙසින් සඳහන් කළ යුතු නො වේ.මහින්ද මෙහිදී සිය සුගම හා ගැඹුරු ලේඛන ව්‍යවහාරය රමණීය ලක්ෂණ නොමසුරු ව විදාරණය කරයි. මේ මූලාශ්‍රය - ‘මාණික්කාවත’ කෙටි නවකතාව රූප මාධ්‍යයට පෙරළී ම වඩා පහසු කාර්යයක් නොවන බව පෙනේ. එනමුදු මෑත අතීතය නිරූපණයට හා විවරණයට කිසි විටෙකත් පසුබට නොවන සුදත් රෝහණ, ‘මාණික්කාවත’කෙටි නවකතාව ප්‍රාසංගික ටෙලි නාටකයක් සේ ප්‍රතිනිර්මාණයට ම නොව අභිනව නිර්මාණයකටද භාවිත කරන්නේ රූප මාධ්‍යය පිළිබඳ කැමැත්ත හා සමත්කම මුල් කොට ගෙන ය. සුපුරුදු පරිදි ම මූලාශ්‍රය සපයන නවකතාවේ මූලිකාංග වෙත සිය දැක්මද,නවාංගද එක් කරලන්නට ඔහු නොපැකිළෙයි. පිටපත් රචකයා සේ පැමිණෙන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලද මේ සම්බන්ධයෙන් විරෝධය පළ නොකිරීම ඔහු ලබාගන්නා යම් ජයග්‍රහණයකි. මූලාශ්‍රය සපයන මහින්දම නවාංග එක් කරලීමේ සුදත්ගේ වුවමනාවට පක්ෂ වන්නේ ඇත්ත වශයෙන්ම සිය අනන්‍යතාවට හානියක් සිදු කර නො ගනිමිනි.
සති අන්තයේ විකාශය කෙරෙන සීමිත කොටස් සංඛ්‍යාවකින් යුතු ටෙලි නාටකයකට සියවසක් විෂය කර ගැනීමේදී සුදත් අනුගමනය කරන පිළිවෙත ප්‍රතිවිරෝධතා හෝ අර්බුද පෙන්නුම් නොකරයි.ඉතා ඉවසීමෙන්, කලබලයකින් තොරව , හෙමින් සීරුවේ ඔහු මාණික්කාවත නැමැති මාගල දිග හරියි. ප්‍රේක්ෂකයාටද සිදු වන්නේ සුදත් හා අනන්‍ය වී විවේක බුද්ධියෙන් ටෙලි නාටකය නරඹන්නට යි. වරින් වර මුණ ගැසෙන , නික්ම යන හා අතුරුදන් වන චරිත සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගනී. ඔවුන’තර භෞතික හා ආධ්‍යාත්මික සම්බන්ධතා බොහෝය. මේ එකම පවුලක් හෝ පවුලේ හිතවතුන් ය යන්න ඊට එක් හේතුවකි. අධ්‍යක්ෂ සුදත් රෝහණ මේ සියලු දෙනාම අදාළ සිදුවීම් රාශිය සමඟ ගළපාලන්නේ අතිශයෝක්තියකට ඉඩක් නොතබමිනි.
සුදත් ‘මාණික්කාවත’ නිමා කරන්නේ අතිශය විවාදාත්මක ස්ථානයකිනි . ඊට මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ එකඟතාව ලැබෙන්නට ඇතැයි සිතේ. ඔවුන’තර නොගැළපීමක් දක්නට නොමැති තරම් ය.මහින්ද ‘සිය ‘මාණික්කාවත’ නවකතාව සුදත්ගේ ටෙලි නාටක වුවමනාව වෙනුවෙන් වෙනස් කිරීම් ආදියට ලක් කරන්නේ මූලාශ්‍රයට හානි නො කරමිනි. සාහිත්‍යයේ හා රූප මාධ්‍යයේ වෙනස පිළිබඳ මහින්ද තුළ වූ වැටහීමේ වාසිය අත් පත් කර ගන්නේ සුදත් ය.
කෙටිහාමි , පිච්චි සමඟ පළා එන්නේ ජන ශූන්‍ය වනගත පෙදෙසකට යි. ඔහුගේ මී මුනුපුරු තිලකරත්න පෙම්වතිය සමඟ පළා යන්නේද එබඳුම ඉසව්වකට ය. ඉතිහාසය තුළ වරක් සිදුවූ දේ යළිත් වරක් සිදුවන්නට ඉඩ තිබෙන්නේය යන කාරණාව මෙතැනදී ඉස්මතු වන්නේ බාධාවකින් තොරවයි. මේ අතීතයට ආපසු යාමක් සේ නිර්වචනය කළ නොහැකි නොවේ. අතීතයට යාම පසුගාමිත්වයට අත වැනීමක් නොවන්නටද ඉඩ තිබෙන වග අවශ්‍ය නම් පැවසිය හැකි ය. තිලකරත්න , පෙම්වතිය සමඟ ජන ශූන්‍ය ඉසව්වකට යන්නේ මී මුත්තා සේම නව අදියරක් ඇරඹීමේ රිසියෙනි. නමුත් කෙටිහාමිට හා පිච්චිට තිබූ ප්‍රශ්න ඔවුනට නැත. එහෙයින් ඔවුනගේ මේ පළායාම විනිශ්චය කළ යුත්තේ අතීතයට අදාළවම නොවේ. කෙටිහාමි හමුවන අතීතය 19 වන සියවසේ අග භාගයට ආසන්න ය. තිලකරත්න අන්තිම වතාවට හමුවන්නේ 1980 දශකය ආරම්භයත් සමඟය. මෙසමයේ මෙරට සිදුවන සමාජ, දේශපාලන හා සංස්කෘතික වෙනස්වීම් දෙස අධ්‍යක්ෂ සුදත් තිලකරත්නගේ ඇසින් නොබලයි. ප්‍රේක්ෂකයාට තිලකරත්න සම්බන්ධයෙන් කැමැති දෙයක් සිතා ගන්නට ඔහු ඉඩ හරියි.
දේශපාලන ක්‍රියාධරයකු සේ තිලකරත්න ඔසවා තැබීමට ම නොව හඳුන්වා දීමට සුදත් දක්වන මනාපය ‘මාණික්කාවත’ තවත් අදියරක් කරා රැගෙන යාමක් වේ. ඔහු පවසන අන්දමට තිලකරත්න යනු 1971 අප්‍රියෙල් කැරැල්ලට සම්බන්ධව සිට දඬුවම් ලබා ආ අයෙකි. ඔහුව වෙස් ගන්වා ඇත්තේද 1971 කැරැල්ල සිහිපත් කරමිනි. කෙසේ නමුත් ඔහු ඉදිරියට නොයන, අතීතයේ උරුමය ජීවිතයේ කෙම්බිම කරගන්නට වෙහෙසෙන අයකු සේ හඳුන්වා දීම හා එම ප්‍රතිරූපය අතර එකඟතා ගොඩ නැංවීම සහේතුක අදියරක් කරා රැගෙන යාමට සුදත් යත්න දරයි. ලෝකය වෙනස් වන බවත්, ඊට අනුගත වීම හෝ නොවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යථාර්ථය සමඟ ගනුදෙනු කළ යුතු බවත් තිලකරත්නගේ චර්යා වෙතින් කියැවේ. තිලකරත්න, අධ්‍යක්ෂ සුදත්ගේ ප්‍රකාශකයා ම නොවේ. එහෙයින් තිලකරත්න නිසා සුදත් හෝ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අනවශ්‍ය අර්බුදයකට නොයන සුලුය. එහෙත් තිලකරත්න සමඟ ම ‘මාණික්කාවත’ ධාවනය කරලීමේ සුදත්ගේ අභිලාසය විද්වත් ප්‍රේක්ෂකයා අමතක කළ යුතු නැත.
‘මාණික්කාවත’ සමඟ සුදත් රෝහණ සිය අතීත ප්‍රහිභාව තවදුරටත් තමා සතුව පවතින බව පවසයි. ඇත්ත වශයෙන්ම ඒ ‘මාණික්කාවත’ හි එන ටෙලි නාටක අනන්‍යතාවට අදාළව ය. මන්දගාමී රිද්මයෙන් ඔහු කෙසේවත් බැහැර නොවෙයි. ඉන් ප්‍රධාන චරිත තුළට වැදීමේ අවකාශය පුළුල් වන බව පැහැදිලි ය. එමෙන් ම පාරිසරික තත්ත්වයන්ගේ විපරිවර්තන නිරූපණයට ද ඉන් සැපයෙන්නේ පිටුබලයකි. අදාළ සමය ප්‍රතිනිර්මාණයේ දී ඔහු සැලකිලිමත් වන්නේ හිමි සම්පත් උපරිම ආකාරයෙන් භාවිත කරලීමේ වුවමනාව අවධාරණය කරමිනි.
‘මාණික්කාවත’ මුළුමනින්ම නරඹා හමාර වූ පසු ප්‍රේක්ෂකයාට දැනෙන්නේ කිසියම් සාංකාවකි. සියුම් වේදනාවකි. කෙටිහාමි නම් අපූර්ව හා දැවැන්ත මිනිසා පිළිබඳ ඔහු තුළ ගෞරවයක් උපදින්නේ වෑයමකින් තොරව ය.
තුසිත අනුරාධගේ කැමරාකරණයත්,ජගත් වීරතුංගගේ සංස්කරණයත් සුදත් වෙත ලබා දෙන සහය කැපී පෙනේ. ජගත් චමිල , කෙටිහාමිගේ හා තිලකරත්නගේ චරිත නිරූපණය කරන්නේ අධ්‍යක්ෂ සුදත් පිළිබඳ ව සේම ටෙලි නාටක අනන්‍යතාව පිළිබඳවද අවබෝධයකිනි. සෙසු සියලු නළු නිළි කැළද සුදත් සමඟ ‘මාණික්කාවත’ ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී නොයන ටෙලි නාටකයක් බවට පත්කරලීමේ අරමුණ වෙනුවෙන් ම පෙනී සිටිති.