වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
හෙළ ගී රැජන ලතාට 90යි කලා දිවියට 75යි

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය පුරා හැත්තෑපස් වසරක් සක්‍රියව රැඳී සිටීමට හැකියාවක් තිබේ නම් එය අසාමන්‍ය වූ ද දුර්ලභ වූ ද සංසිද්ධියකි. එය කෙතරම් විශ්මයජනක ආශ්චර්යක් ද? ඒ ආශ්චර්යය හිමි ප්‍රතිභාසම්පන්න මනෝරම්‍ය වූ හඬපෞර්ෂයට අදටත් රසික ජනතා වශිකෘත වී ඇත. අදින් හැත්තෑපස් වසරකට පෙරාතුව ගුවන් විදුලියේ ග්‍රැමෆෝන් තැටියට ගැයූ ස්වර පරාසයෙන් යුක්තව දැනුදු සිය මධුර මනෝහර හඬින් ගී ගයන මේ විශිෂ්ට ගායිකාව ලක් මවගේ පිනට මේ ධරණී තලයේ උපන් හෙළයේ ගීත කෝකිලාව කලාසූරී ලතා වල්පොල ය. මේ මස එකොළොස් වෙනි දිනට ඇය සැමරුවේ සිය 90 වැනි ජන්ම දිනයයි.
ලතා යනු ගායනා කෞශල්‍ය දෝතට තිළිණ කර ගෙන මෙලොව එළිය දුටු විරල ගණයේ ගායන ශිල්පිනියකි. සිය හඬින් සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පොදුජන හඳ මඬලට ස්වකීය ගීතයෙන් ආමන්ත්‍රණ කිරීමට ගත් වෑයම පොළෙවේ වැටුණු බීජයක් මෙන් ඵල දරා අතුපතර විහිදා දැවැන්ත වෘක්ෂයක් බවට පත් වී ලතා වල්පොල යනු සංගීත ක්ෂේත්‍රයේ සරුවට වැඩුණු ඒ දැවැන්ත වෘක්ෂයයි.
ඇය ඒ දවස සිංහල සිනමා ගීත ක්ෂේත්‍රය දික්විජය කළේ එවකට සිංහල සිනමාවේ දකුණු ඉන්දියානු උච්චාරණය සහිත සිංහල ගීත ශ්‍රවණයට නැවතීමේ ලකුණ තබමින් නව පුනරුදයක් සිනමා ගීත ක්ෂේත්‍රය තුළ සනිටුහන් කරමිනි. ඒ මහත් සුවිශාල මෙහෙවරක් ඉටු කළ විශිෂ්ට ගායිකාවට සිනමා ලෝලීන් මෙන්ම රසික සැමගේ ගෞරව ප්‍රණාමය හිිමි විය යුතුය.
සරත් විමලවීර රචනා කළ එඩ්වඩ් පෙරේරා සංගීතවත් කළ වින්සන් ද අල්විස් සමඟ ගැයූ කඳුළු දෙනෙතේ වෑහෙනා නැමැති ගීතයය ඇය ගුවන් විදුලියට ගායනා කළ ප්‍රථම ගීතයයි. ඒ 1947 වසරේදීය. එවිට ඇයට වයස අවුරුදු 13කි. ලතා ප්‍රථම වරට ගැයූ ඒකල ගීතය වුයේ කාලිදාස කුරුකුලසුරිය නැමැති බෞද්ධ ගුරුවරයකු විසින් රචිත නමෝ මරියනි ගීතයයි. ඇගේ හඬින් වැඩිම වාර ගණනාවක් ගායනා කළ ගීතය වන්නේ ද නමෝ මරියනි ගීතය ය.
සංගීතය සහ ගායනය හැදෑරීමකින් තොරව වුවද ඈ සංගීත ඥාානයෙන් පරිපූර්ණය. ඒ ඇය දහස් ගණනින් ගී ගැනීමෙන් ලද පරිචය නිසාමය.
ලතා වල්පොලගේ ගායන මාධූර්ය වඩාත් ඔපමට්ටම් වුයේ දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමෙන් ලද පරිචයෙන්, බටහිර ආභාසයෙන් පෝෂණය වූ ඇගේ ගායන කෞශල්‍යය සරල ගී ගායනයට උචිත හ¾ඩක් බවට පත් කළේ සංගීතවේදී සුසිල් පේ‍්‍රමරත්නය. එපමණක් නොව රීටා ජෙනව් බෞතිස්ම නාමය ලතා බවට පත් කළේ ද ලතා වල්පොල පවසන පරිදි ගායනය පිළිබඳව ගුරුහරුකම් දී ඇති එකම තැනැත්තා වූයේ ද සුසිල් ප්‍රේමරත්නය. සරත් විමලවීර ගේ පද මාලාවකට සුසිල් පේ‍්‍රමරත්න සංගීත අධ්‍යක්ෂණය කළ මිහිරි සුවඳ විිහිදුවා නැමැති ගීතය ලතා සමඟ සුසිල් පේ‍්‍රමරත්න හා පුරා කියා ගුවන් විදුලියට ගායනා කළ ප්‍රථම ගීතය විය. ලතා සුසිල් සුසංයෝගයෙන් එදවස ගුවන් විදුලියට මධුර මනෝහර ගීත ගණනාවක් බිහි විය. සුකුමල බඳ ලෙලවා, රන්වන් කරලින් පැසිලා, රූ රැසේ අඳිනා ලෙසේ, කළු කැලණි නදී, පී‍්‍රති මධුර වූ නාදේ, නංවමු ශ්‍රී ලංකා, ඉන් කිහිපයකි. මොහිදීන් බෙග්, සී.ටී.ප්‍රනාන්දු, ක්‍රිස්ටි ද මැල්, එඩ්වඩ් පෙරේරා, බී.පී. වික්‍රමසිංහ, අරුණ ශාන්ති, හර්බට්, එම්. සෙනෙවිරත්න ආදීන් සමඟ ඇය ගැයූ ගීත ඩ්ර්ඍ සහ කොලොම්බියා තැටි ද්විත්වයටම තැටි ගත විය. සාමාන්‍යයෙන් ගායන ශිල්පීන් තෝරාගත් වෙළෙඳ තැටි සමාගමේ පමණක් ගිවිසුම් ගත වූවද ලතා වල්පොල නැමැති ගායිකාවට කොන්දේසි විරහිතව ඕනෑම වෙළෙඳ තැටි සමාගමකට ගීත ගැයීමේ දුර්ලභ වාසනාව හිමිවිය.
රිදී තිරයේ නොමියන හඬ ලතා වල්පොල හා පුරා කියා චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වුයේ 1953 සිංහල සිනමාවේ 17 වැනි චිත්‍රපටය වූ ශාන්ති කුමාර් අධක්ෂණය කළ එදා රෑ චිත්‍රපටයෙනි. ඈ ගැයූ ප්‍රථම චිත්‍රපටය පසුබිම් ගීතය ලෙස සනිටුහන් වන්නේ තෑගි නම් කෝක වුණත් පිරියා නමැති විකට ගීතයයි. එදා රෑ චිත්‍රපටියෙ ප්‍රධාන ගායිකාව වූ රුද්‍රානී ලියනගේ පමණක් නොව එවකට රිදී තිරය බැබළ වූ දැවැන්ත හඬවල් සියල්ලම අබිබවමින් ලතාගේ හඬ රිදී තිරය සිසාරා පැතිරුණේ ඇගේ හඬ නැවුම් බව සහ රිදී තිරයට උචිත හඬ ස්ක්‍රීන් වොයිස් ඇය සතුව තිබු බව සිනමාකරුවන් වටහා ගත් නිසාය.
චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ලතා නාමය ස්ථාපිත වූයේ 1953 තිරගත වූ පේ‍්‍රම තරගය චිත්‍රපටයෙනි. ඇගේ ජීවන ගමන සහකරු ධර්මදාස වල්පොල සමඟ ගැයූ හොඳ හොඳම වේ ලෝ කිසිම තැනක නෑ ගීතයෙන් ඇරඹී ලතා ධර්මදාස යුගය සමඟම එවකට රිදී තිරයේ පේ‍්‍රම ගීතාවලියේ තිබූ හිඩැස පිරිමසන්නට මේ සුසංයෝගය සමත් වුයේ අදත් පේ‍්‍රක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත්කළ ගීත සමූහයක් රිදී තිරයට දායාද කරමිනි.
ආචාර්ය ලෙස්ටර් පීරිස් අධ්‍යක්ෂණය කළ 1956 තිරගත වූ රේඛාව චිත්‍රපටයට ගරු මර්සලින් ජයකොඩි පියතුමා රචිත සීගිරි ළඳකගේ මල් වට්ටිය ගීතය ගායනා කළේ ද ලතා වල්පොලය. සුනිල් සාන්තයන්ගේ තනුවකට බී.එස්. පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණය කළ මෙම ගීතය හැරුණ කොට අනිත් සියලුම ගීත පටිගත කළේ ඉන්දියාවේය. සිංහල ගීත අධ්‍යක්ෂවරයෙකු යටතේ ලතා ගැයූ ප්‍රථම ගීතය වුයේ මෙම ගීතයයි. පල්ලියේ ගැයෙන ගීතිකා වැඩිම සංඛ්‍යාවක් ගායනා කළ ගායිකාව වූයේ ද ලතාවල්පොලය. ඇගේ හැකියාවන් වටහා ගත් මර්සලීන් ජයකොඩි පියතුමා ඒ ගී සියල්ලක්ම පාහේ ඇයට නිර්මාණය කර දුන්නේය.
ලතා සිය ගායන දිවියේ අමරණීය පිය සටහන් තබමින් හා පුරා කියා මදුරාසියේ වාහිනී ශබ්දාගාරයේ ගී ගැයුවේ ඒ.බී. රාජ අධ්‍යක්ෂණය කළ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයටය. අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ ලතා ගැයූ ගී ඇතුළත් කොලොම්බියා තැටි ලංකාවේ උණුකැවුම් මෙන් අලෙවි විය. දුප්පතාගේ හිතවතා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ භාරතයේ සංගීත අධ්‍යක්ෂ දක්ෂිණමූර්ති සහ චිත්‍රපට නළු ඩොමි ජයවර්ධන සමඟ ද ලතා ගීත ගායනා කිරීම තවත් සුවිශේෂත්වයකි.
ලතා ගායිකාවක් පමණක් නොව නිළියකි. අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ ඩොලී ගේ චරිතයට පණ පෙව්වේ ලතා ය. ඩොලී දෙබස් ඛාණ්ඩ සහිත චිත්‍රපටය පුරා විහිදෙන චරිතයකි. රදල පිළිරුව චිත්‍රපටයේ තමා වෙනුවෙන් ඇය ගීත ගායනා කරමින් නර්තනයේ යෙදුණ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.
1953 දා රෑ චිත්‍රපටයෙන් ඇරඹී ඇගේ ගායන චාරිකාව පේ‍්‍රම තරගය පුදුම ලේළි, අහංකාර ස්ත්‍රී, රදල පිළිරුව, ඩිංගිරි මැණිකා, මාතලන්, දොස්තර, දුප්පතාගේ දුක, රම්‍යලතා, සූර්යයා, සිරියලතා, රේඛාව, පතිවත, ලේ කඳුළු, සුරතලී සරදම සන්දේශය කුරුලු බැද්ද පුරුෂ රත්නය අහිංසක ප්‍රයෝගය සුකුමලී ආදී ද චිත්‍රපට විශාල සංඛ්‍යාවක මුල් දශකවලදී ඇය පසුබිම් ගීත ගායනා කළේ ක්ලැරිස් ද සිල්වා, රීටා රත්නායක, ෂර්ලි ගුණවර්ධන, ෆ්ලොරීඩා ජයලත් පුන්‍ය හීන්දෙණිය විජිත මල්ලිකා, ලීනා ද සිල්වා, කාන්ති ගුණතුංග, ශාන්ති ලේඛා, සෝබනී අමරසිංහ ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි, රෝහිණී ජයකොඩි, පර්ල් කුරේ, තලතා ගුණසේකර ආදී නිළියන්ටය.
ඊටපසු දශක වල නීටා ප්‍රනාන්දු, අනුලා කරුණාතිලක, ශි‍්‍රයානි අමරසේන, කාන්ති ලංකා, සුමනා අමරසිංහ, වීණා ජයකොඩි ස්වර්ණා කහවිට, දේවිකා කරුණාරත්න, බියුලා ඩයස්, අග්‍රා සජීවනී, මාලිනී ෆොන්සේකා, ජානකී කුරුකුලසුරිය ස්වර්ණා මල්ලවආරච්චි, මානෙල් වානගුරු, සෝනියා දිසා, ගීතා කුමාරසිංහ නිළි පරපුරට ද 80 දශකයේ සිට සබිතා පෙරේරා සනෝජා බිබිලේ අනෝජා වීරසිංහ, ශාමා ආනන්ද, සංගීත වීරරත්න, ඩිලානි අබේවර්ධන, අනුෂා දමයන්ති, දිල්හානි අසෝකමාලා, සුමනා ගෝමස් සහ පසු පරපුරේ චතුරිකා පීරිස්, අනර්කලී ආකර්ෂාට වැනි එදා භද්‍ර යෞවනයේ සිටි නිළියන්ට ද ඇගේ හඬ අපූරුවට බද්ධ විය.
චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයේ ප්‍රධාන නිළියට ගායන ගායිකාව සෙසු නිළියන්ට ගී ගායනා කිරීම සිදු වන්නේ ඉතාමත් කලාතුරකිනි. නමුත් සුන්දර බිරිඳ චිත්‍රපටයේ ලතා වල්පොල ක්ලැරිස් ද සිල්වා, රීටා රත්නායක සහ විකට චරිතය රඟපෑ ඇන්ස්ටා වයලා යන නිළියන් තිදෙනාටම ඇගේ හඬ බද්ධ විය.
භරතීය නිළියන් කිහිප දෙනෙකුට ද පසුබිම් ගීත ගායනා කිරීමේ විරල අවස්ථාව ඇයට උදා වුණි. සිංහලෙන් හඬ කැවූ ඉන්දීය චිත්‍රපට වන පතිවත (වෛජයන්ති මාලා) වීර වික්‍රම (සෂනී කලා) අන්ජලී අංගුලිමාල (නිම්මි) අහිංසක ප්‍රයෝගය (මීනා කුමාරි) වීර පුතා (මධුබාලා) ආදී සිංහලෙන් හඬ කැවූ භාරතීය චිත්‍රපට ගණනාවකම ඇගේ ගායනයෙන් ඔපවත් විය. සිංහලෙන් හඬ කැවූ අංගුලිමාල චිත්‍රපටය භාරතීය නිළි නිම්මි වෙනුවෙනි ගැයු වොරැඳේ ගීතය. හින්දි පිටපත සඳහා ගැයුවේ ලතා මංගේෂ්කාර්ය. ඇයට නොදෙවෙනිව ලතා වල්පොල එම ගීතය ගායනා කළේ භාරතයේ සංගීතඥයන් විමතියට පත් කරවමිනි. නිම්මිගේ චරිතයට දෙබස් කවන ලද්දේ ලතා වල්පොලය. මොහිදීන් බෙග් ගායනා කරන බුද්ධං සරණං ගච්ඡාමි ගීතය චිත්‍රපට ගීතයක් වන අතර මුල් වරට ගායනා කරන ලද්දේ අංගුලිමාල චිත්‍රපටයටය. ඒ ලතා වල්පොල සමඟ යුග ගීතයක් ලෙස ය.
ලතා වල්පොලගේ ගායන දිවියේ ප්‍රථම අභිෂේකය වන සරසවිය සම්මාන තිළිණ වන්නේ තිස්ස ලියනසුරිය අධ්‍යක්ෂණය කළ ගැටවරයෝ චිත්‍රපටයට ලතා ගැයූ සිහින හතක් මැද ගීතයෙනි. මඩවල එස්.රත්නායක පබඳු මෙම ගීතය සංගීත අධ්‍යක්ෂණය ඩබ්ලිව්.ඩී.අමරදේව යි.
ආර්. මුත්තුසාමිගේ කන්කලු සංගීතයෙන් නැළවුණු සිනමාපට තුළින් බිහි වූයේ ජනපි‍්‍රය ගීත දහරාවකි. ඒ ගීත භාවාත්මක රීදි තිරය සිසාරා රැව් දෙන්නේ ලතා වල්පොලගේ මෝහනීය හඬිනි. පේ‍්‍රම තරගයෙන් ඇරඹී ලතා වල්පොල මුත්තුසාමි සුසයෝගය තුළ බිහි වූ මාධුර්යය ගී අතර මැව්ව පෙම් කෙත දැවිල සහ ධර්මදාස සමඟ ගැයු ඔබ මාගේ ලෝකෙ ගෙනදේ ආලෝකේ, ගඟ යන්නේ කොහෙද ගලා පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ, පිපෙන මලක මී මධුරස පිරෙන්නයි, යුරෝපයේ හිම වැටෙන කාලේ ආදී අතිශයින් ජනපි‍්‍රය ගීත අදටත් අප සවන් පත් මත රැඳී දී දැනෙනුයේ මිහිරියාවකි. මුත්තුසාමි මාස්ටර් බෙහෙවින් ප්‍රිය කළ ගායිකාව වූයේ ද ලතාවල්පොලය.
ග්‍රැමෆෝන් තැටියේ සිට කැසට් පට සීඩී වර්තමානේ යූටියුබ් දක්වාද සිය හඬින් ගීතවත් වීමට හැකි වූ ගායන ශිල්පීන් අතළොස්සෙන් ලතා ද ඉදිරියෙන් සිටී.
යුග යුග නියෝජනය කරමින් ගී ගැයීමේ වාසනාව හිමිකරගත් හෙළයේ එකම ගායිකාව වුයේ ලතා වල්පොලය. තලතා ගුණසේකරට ගී ගයා ඇගේ දියණිය නදීකා ගුණසේකරට, රෝහිණි ජයකොඩි ගී ගැයූ ඇය ඇගේ දියණිය වීණා ජයකොඩිට ගර්ලි ගුණවර්ධනට සහ දියණිය සබීතා පෙරේරාටත් ගී ගැයුමේ වාසනාව ඇයට හිමි විය.
රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ අතිනත පටලා යමු අපි දෙන්නා පුංචි දුවේ
මවට දුවක මිස වෙන කවුරු ද උතුරා ගිය දරු සෙනෙහස සහ මව් සෙනෙහස යා කරමින් නිර්මාණය වූ මේ ගීතය සත්තකින්ම යාවත්කාලීනය. අද ලතා වල්පොල ගේ දුක සැප බලමින් ඇය රැක බලා ගන්නේ ඇගේ දුව ධම්මිකාය. ගීතයේ අරුත වචනයට පමණක් සීමා නොවී ඇගේ ජිවිතයටම බද්ධ වී තිබීම කොතරම් වාසනාවක් ද? පේ‍්‍රමකීර්ති ද අල්විස් ගේ ගේය පද රචනාවකට එම ගීතයට සංගීතය සැපයූයේ ස්ටැන්ලි පීරිස්ය.
කලාශුරී ලතා වල්පොලට බහුතරයක් ගී ගැයීමට ආරාධනා ලැබුණේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ වාණිජ ක්‍රියාදාම චිත්‍රපට සඳහාය. ඒ පේ‍්‍රම ගීතාවලියට ඇගේ මනරම් හඬ මෙන්ම උච්ච ස්වරය මනාව ගැළපුණු නිසා නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ඇගේ ගීතාවලියෙන් මෙම සිනමාපටය පෝෂණය කරන්නට උනන්දු විය. සරත් ගුණරත්න අධ්‍යක්ෂණය කළ චිට්ටි චිත්‍රපටයට සබිතා වෙනුවෙන් ලතාවල්පොල ගැයූ සියුමැළි රෝස මලෙ ගීතයට 1996 හොඳම පසුබිම් ගායිකාව ලෙස සරසවිය සම්මානයෙන් ඇය බුහුමන් ලැබුවාය. වර්තමානයේ මෙන් එස්.එම්.එස් මනාප නොමැති යුගයක සැබෑ පේ‍්‍රක්ෂක ජනතාවගේ පාඨක ඡන්දයෙන් 1963 වසරේ විසිතුර පුවත්පත මඟින් පැවැති ජනපි‍්‍රය ගායිකාව තේරිමේ තරගයෙන් වැඩිම මනාප ලබාගත් ගායිකාව වුයේ ද ලතා වල්පොලය. චිත්‍රපට පසුබිම් ගීත ගායිකාවක ලෙස දහස් ගණනින් චිත්‍රපට පසුබිම් ගීත ගායනා කළ ද ඇගේ දෝතට තිළිණ වුයේ සම්මාන අතළොස්සක් පමණි. නමුත් ජනතා සම්මානයෙන් අදත් ඇය පිදුම් ලබයි. 1965 හොඳම ගායිකාව සරසවිය සම්මානය (ගැටවරයෝ) 1970 හොඳම ගායිකාව සරසවිය සම්මානය (නාරිලතා) 1974 දීපශිඛා සම්මානය 26 වසරක් පුරා වැඩිම ගීත ගණනාවක් ගැයූ ගායිකාව, සිනමා ක්ෂේත්‍රය උන්නතිය උදෙසා කළ මෙහෙවර අගයමින් 1984 ඕ.සී.අයි.සී. සම්මාන, 1990 කලාශුරී සම්මානය, 1992 ජීවිතයට එක්වරක් පමණක් පිදෙන සරසවිය රණතිසර සම්මානය, 1993 හොඳම ගායිකාව ලෙස සරසවිය සම්මානය (ඔක්කොම කණපිට) 1996 හොඳම ගායිකාව ලෙස සරසවිය සම්මානය (චිට්ටි) චිත්‍රපටය 1996 හොඳම ගායිකාව ලෙස ස්වර්ණ සංඛ සම්මානය (චිට්ටි) යු.ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ සම්මානය, 2005 පනස් වසරක් පුරා ගායනයෙන් දේශීය කලාව ඔප් නැංවීම උදෙසා කළ සිග්න්ස් සම්මානය, 2007 ජනාධිපති ස්වර්ණ සම්මානය, ඇගේ ගායනා දිවියේ ලද බුහුමන් ය.
සිය පුතුන් දියණියන් මුණුබුරන් මිනිබිරියන් බෑණාවරුන් ලේලි වරුන් මේ සියල්ලෝම ලතා වෘක්ෂයේ අතු පතරය. ඇගේ දරු පරම්පරා වන සුනෙත් අමිත් ධම්මිකා සහ චමින්ද, මහින්ද බණ්ඩාර ඇගේ බෑණනුවන් ද මුනුපුුරන් මිනිබිරියන් ද අද සංගීත ක්ෂේත්‍රයේ උච්චතම ස්ථානයට පැමිණ ඇත. ලතා වල්පොල නමැති ගායිකාව, මව, මිත්තණිය අද එදෙස බලා සොම්නස් හැඟුමෙන් යුතුව සතුටින් ඉපිලී යන්නේ ඇගේ සහ ධර්මදාසගේ පරම්පරාව ද ශ්‍රී ලාංකික ගී කෙත පෝෂණය කරන අයුරු සියැසින් දැක බලා ගැනීමේ විරල භාග්‍යය හිමි කරගත් ශ්‍රී ලංකාවේ එකම ගායන ශිල්පිනිය ලෙස වාසනාව ලබමිනි ඇගේ හඬින්ම පවසන පරිදි එය දෙවියන් වහන්සේගෙන් ලත් ආශීර්වාදයකි.
1947 සිට 2023 දක්වා වූ දශක 7 ක් පුරා හෙළයේ ගීත කෝකිලාව ගැයූ මනෝරම්‍ය වූ ගීතාවලියේ සුවඳ අග්‍රගණ්‍ය කරමින් එහි ආශ්වාදය විඳිමින් මිනිස් චිත්ත සන්තානයට ලබා දුන්නා වූ ආනන්දනීය මිහිරියාව මිහිමඬල පුරා රැව් පිළිරුව් දෙන්නේ ගීත කෝකිලාවියගේ නාමය සදානුස්මරණීයව ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කරමිනි.
චිරං ජයතු කලාශුරී ලතා වල්පොල ගීත කෝකිලාව.
සේයාරූ - නිශ්ශංක විජේරත්න