මම නම් තරඟ වදින්නේ මා එක්කම පමණයි

ප‍්‍රවීණ නිවේදිකා -නෙළුම් කළුබෝවිල
අගෝස්තු 11, 2022

 

ඇය විටෙක වේදිකාවේ රඟන්නීය, තවත් විටෙක සිනමාවේ නටන්නීය, රඟන්නීය. පුංචි තිරයේ බිහි වූ පළමු ඒකාංගික නාට්‍යයේ සිටම ඇය එහි චරිතවලට පණ පොවන්නීය. ගී ගයන්නීය, කවි කියන්නීය. ඒ සියල්ලම අබිබවා නිවේදිකාවක් ලෙස අප අමතන ඇගේ හඬ සවන්පත් තුළ රැඳවන්නීය. ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත යන්න අභියෝගයට ලක් කරමින්, දහසකුත් එකක් බාධක කම්කටුලූ නම් වූ කලල් දියෙන් මතුව සුපිපුණු තඹර පුෂ්පය ඇයයි. අඩසියවසකට අධික කලා දිවියේ රසමුසු තැන් සරසවියට හෙළි කරන ඇය ජ්‍යෙෂ්ඨ නිවේදිකා නෙළුම් කළුබෝවිලයි...

ඡායාරූපය- නිශ්ශංක විජේරත්න


අපේ පුංචි ලෑලි නිවෙස අපේ අම්මා රජ මාලිගාවක් කළා. ඇය අපේ විනය හරියට බැලූ‍වා. අවට පරිසරය ගැන කල්පනාවෙන් බොහොම පරෙස්සමින් අපව හැදුවා. අපේ වටපිටාවේ හැම වර්ගයකම මිනිස්සු හිටියා. පොදුවේ අධ්‍යාපන මට්ටම ලොකුවට නැතත් ඒ හැම ජාතිකයකුගේම මනුස්සකම හරිම ඉහළයි. අප හිටි තැනට කියන්නේ 110 වත්ත. අපේ ගේ 26/110. අපි වැඩිහිටි කාලෙත් විටින් විට අපෙන් ඒ ඉඩම අරගත්ත අය හැ¥ ලොකු ගේ බලන්න ගියා.

අපේ අම්මා උදේට කඩයප්පන් හදනවා. ඊට පස්සේ අපට කියනවා සල්ලි දීලා කන්න කියලා. ඒ සඳහා අපට දින දෙක තුනක වෙලේ ඉඳන් අතට කීයක් හරි දීලා තිබෙන්නේ උදේට ආප්ප ‘මිලට‘ ගන්න. අපට කඩ කෑම කන්න දෙන්නේ නෑ. හැබැයි කඬේ දකින කෑම අම්මා ගෙදරදි හදලා දෙනවා.

අම්මා එකපාරක් වෙලට ගිහින් පන් නෙළලා පිරිසුදු කරලා මහ විශාල පැදුරක් ගෙතුවා. මගේ ජීවිතේට අදටත් මම දැකලා නැහැ එවැනි පැදුරක්. අපි හිතේ හැටියට පෙරළෙමින් ඒකේ නිදා ගත්තා. ඇය වට්ට් පෙට්ටි, ටැටින්, බීරළු වැනි අත්කම් වගේම රසට උයන්න දන්නවා. උදේම අපට වතුර වීදුරුවක් බොන්න දීලා නාමාශ්ට ශතකය, බුද්ධ ගජ්ජය, සකස්කඩය වගේ පොත් කියවන්න කියනවා. පොඩි කාලේ ඉඳලා අක්කා (චිත‍්‍රා කුමාරි) පෙරමුණේ. අම්මා කියන විදිහටම ශබ්ද නඟලා ඒ පොත් කියවනවා. ඒත් මම ටිකක් කම්මැළියි. මම නිදිමත වැඩි නිසා පසුබහිනවා. අම්මගේ උවමනාවට මිසක් හරියට කිසි දෙයක් කීවේ නෑ කියලා මම දන්නවා. දැන් හිතනකොට අම්මා කොයිතරම් මහන්සි වුණාද අපට දේවල් උගන්වන්න කියලා දුකත් හිතෙනවා. අම්මා යකඩ ගැහැනියක්. කාර්යශූරයි. ස්ථානෝචිත ප‍්‍රඥාවක් තිබුණා.

පුංචි කාලේ මම අහිංසක දඟයි. හැබැයි අපට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. අක්කයි මමයි ගෝතමී විද්‍යාලයටත්, මල්ලි ආනන්ද විද්‍යාලයටත්, චූටි මල්ලි ලූ‍ම්බිණි විද්‍යාලයටත් ගියා. අපි සියලූ‍ දෙනා දහම් පාසල් ගියා. ඒත් අපේ මවුපියන් අපට කවදාවත් බලපෑම් කළේ නෑ අච්චර ලකුණු ගන්න ඕනෙ මෙච්චර දේවල් කරන්න ඕනෙ කියලා. කියා දිය යුතු දේ ඒ මොහොතෙම කියා දුන්නා. අපව කිසි විටෙක අධෛර්ය කළේ නෑ. අපේ හැකියාවන් තේරුම් අරගෙන කටයුතු කළා.

මට පොඩි කාලෙ භීතිකාවක් තිබුණා. මිනස්සු දැක්ක ගමන් පුටුවෙන් නැඟිටින්න බැරි තරම් බයක් දැනෙනවා. ඉස්සර හිතේ තිබෙන දෙයක් කතා කරගන්න වත් වචන එන්නේ නෑ මගේ මුවට. අද මටම හිතෙනවා මේ ඉස්සර හිටිය මම ද කියලා. මම දඟවැඩ කළාට ඉදිරිපත් වීමට බියයි. 1965 ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට තරගයක් ඔබ ආයතනයේ මිහිර පුවත්පතින් කමලා නැන්දා පිටුව කළ මාධ්‍යවේදිනි අනුල ද සිල්වා අක්කා පැවැත්වුවා. දෙහිවල සත්තු වත්තේ තමයි තරගය තිබුණේ. අම්මා අක්කටයි මටයි කවි පන්ති හදලා ඉගැන්වුවා තරගෙට යන්න. අක්කා අම්මා වෙනුවෙනුත් මම අප්පච්චි වෙනුවෙනුත් කරන සංවාදයක් විදිහටයි ඒ. කලින් දවසෙත් හොඳට පුරුදු වෙලා කණිෂ්ට අංශයෙන් තරග කරන්න යන දවසෙ මම බෑ කියලම අඬන්න ගත්තා. මට මතකයි අම්මාට හරියට දුක හිතුණා. අම්මාගෙ දුකටයි තරහටයි කොස්ස කැඩෙනකල් ගැහුවා. අන්තිමට අර සමාජ භීතිය මුකුත් නෑ අඬ අඬ ගිහින් තරගෙට ඉදිරිපත් වුණා. ලොකූ...වට සංවිධානය කර තිබුණා ඒ තරගය. අපේ වාරෙ ආවාම රවුම් සිමෙන්ති වේදිකාව උඩට අම්මා අපව උස්සලා තිබ්බා. අපි උසත් නෑනෙ. පුටු දෙකක නැග්ගුවා මයික‍්‍රෆෝනයට උස හදන්න. අපේ කතාවේ හැටියට මම අක්කට පැරදීගෙන එද්දි ඇනුම් පදයක් කියන්න තිබෙනවා. මට තාම ඒක මතකයි.

කුකුල් මුඩයක් තරම කොණ්ඬේ අස්ස වලිගේ වගේ පේනා

ඇහැට කළු කණ්ණාඩියක් දාලා අවුව පායන විටදි දානා

හොඳට දැකලා වගේ පුරුදුයි අමුතු බසකින් දොඩන මූණා

සැකක් නෑ මෑ එන්න ඇත්තේ එංගලන්තෙන් වෙන්න ඕනා

තරග ප‍්‍රතිඵල ගැන අපට හැඟීමක් නෑ. ඉතින් ඔහේ ඉද්දි තුන්වැනි දෙවැනි ස්ථාන කියලා ඒ නිවේදකයා අන්තිමට පළමු ස්ථානය ගන්නේ කියලා අක්කගෙයි මගෙයි නම් කීවා. අපට බරට බරේ තෑගි, මිහිරෙන් ලැබුණු සහතිකය තවමත් තිබෙනවා. හයමාසයක් පත්තරේ ගෙදරට නොමිලෙත් ලැබුණා. ඒක ජීවිතේ අමතක නොවන්නේ ප‍්‍රසිද්ධ තරගයකට ගිය පළමු අවස්ථාව නිසා. පාසලේ එහෙම නම් නිතර තරගවලට සහභාගී වුණා. ජයග‍්‍රහණය කළා.



දවසක් ගුවන්විදුලියේ ළමා පිටියට අම්මා අපව එක්කගෙන ගියා. ප‍්‍රභා රණතුංග අක්කා ඇවිත් අක්කටයි මටයි කොළයක් දීලා කියවන්න කීවා. අක්කා හොඳට කියෙව්වා. මට භීතිකාව නිසා මම වැරැද්දුවා. ප‍්‍රභා අක්කා කීවා නංගි තාම පොඩියිනේ. එයාට කල් තියෙනවා අපි අක්කාව ඇතුළට එක්කගෙන යන්නම් කියලා.

සරස්වතී මණ්ඩපයටත් එක්කගෙන ගියා. කරු අයියා එද්දි විලවුන් සුවඳ හමනවා. අපි පසුපෙළ කණ්ඩායමේ ළමයි රැළක්ම එයා පස්සෙන් යනවා. මට ජීවිතේ තව අමතක නොවන දෙයක් තිබෙනවා. මම දැනගෙන හිටියේ නෑ ශබ්දාගාරයේ රතු එළිය පත්තු වෙලා තිබෙන්නේ මොකටද කියලා. සරස්වතී මණ්ඩපයක සජීවී විකාශයක් සිදුවෙද්දි මට එකපාරට කැස්සක් ආවා. කරු අයියා ලයින් එක ඕෆ් කරලා බැන්නා ‘දන්නැද්ද රතු එළියක් පත්තු වෙනකොට නිශ්ශබ්දව ඉන්න. යනවා එළියට‘ කියලා. මම බයටම එළියට ආවා. පස්සේ ආයෙ ඇතුළට ගත්තා. අදටත් නිවේදිකාවක් ලෙස මට රතු එළිය දකිනවිට එය මම ඉගෙන ගත්තේ කරු අයියා වැනි ප‍්‍රවීණයෙක්ගෙන් නේද කියන සිතිවිල්ලත් එක්ක හරි සතුටක් දැනෙනවා.

අද කාලය සමඟ සසඳද්දි එදා අපේ ගුරුවරයෙක් අපට බැන්නත් අපි වෛරයක් තරහක් ඇති කරගන්නේ නෑ. අපට ජීවිතේ එය පාඩමක්. අද ගුවන්විදුලියේ පමණක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේ වුණත් හරි දෙයක් කීවත් පිළි නොගන්න, ප‍්‍රතික්ෂේප කරන පිරිස තමයි වැඩි.

මට කවදාවත් ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ නිවේදිකාවක් වන්න. මම මුලින්ම ගුවන්විදුලියට ගියේ නීතීඥ ජෝන් ද සිල්වාගේ පැරැණි වෙස්සන්තර නාට්‍යය ගුවන් විදුලියට කරද්දි. එතකොට මට වයස හතක් පමණ ඇති. වෙසක් උත්සවයක් වෙනුවෙන් ජාලිය ක‍්‍රිෂ්ණජිනා චරිත දෙක නිරූපණය කළේ මමයි චිත‍්‍රක්කයි. ඉස්සර පංචිකාවත්තේ මඟු‍ල් ගෙවල් පවා ගත්ත ලොකුම ගේ තමයි අඹගහ ගෙදර. එහි අපි දෙන්නා ජූජක බමුණා එක්ක අඬඅඬා කළ රංගනය අතර වැස්සක් වගේ සිලිබිලිං ගානවා ඇහුණා. බලද්දි මිනිස්සු සල්ලි විසි කරලා. ඉතින් අපිට අනෙක් අයත් නෝට්ටු එහෙම අහුලලා දීලා සල්ලිත් ලැබුණා.

ඔහොම ආ ගමනේ ක‍්‍රමයෙන් අපි වැඩෙද්දි අශෝක කොළඹගේ, අශෝක තිලකරත්න, කරුණාරත්න අබේසේකර, ආනන්ද සරත් විමලවීර වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් යටතේ පන්නරය ලැබුවා. ඒ වගේම සංගීත අංශයෙන් විශාරද නන්දා මාලනී, සරත් දසනායක, ජයතිස්ස වැනි මහත්වරුන් යටතේ අපි කණ්ඩායමට හොඳ පුහුණුවක් ලැබුණා.

මම ඉස්සෙල්ලාම වේදිකා නාට්‍යයක් සඳහා සම්බන්ධ වුණේ යාත‍්‍රාවක මිනිස්සු වෙනුවෙන්. අපි තරුණ හංසයො කියන වැඩසටහනේ පුහුණුවීම්වලට සුදර්ශි ආයතනයට ගියා. අපි දෙන්නා දිහා බල බල ගිය ලොකු අයියලා වගයක් අම්මාට කියලා තිබෙනවා මේ නංගිලා දෙන්නාව ඒ අයගේ වැඬේට පොඞ්ඩක් එක්කගෙන එන්න කියලා. ඒ තමයි නාට්‍යවේදී ගාමිණි ද සිල්වා. අපි දෙන්නගේ හඬ හොඳයි කියලා තමයි ඒ අය අත්වැල් ගායනයට තෝරගෙන තිබුණේ. ඒ අවුරුදු එකොළහේදි. ඔහොම සෙමින් සෙමින් නාට්‍යවලත් ගීත ගායනා ආදිය කරමින් ඇවිත් 1977 මොරටුව නව මඟක යන්නෝ කෙටි නාට්‍ය උලෙළට දෙදෙනෙක් පමණක් රඟපාන නිර්මාණයක් ඉදිරිපත් කළා. එතකොට මට වයස 16යි. ලූ‍ම්බිණි විද්‍යාලයේ තරග උත්සවය තිබුණේ. වේදිකාවේ සම්මාන ලස්සනට පෙළගස්සලා තිබෙනවා දැකලා ආසාවට අල්ලලත් බැලූ‍වා. කිසිම තේරුමක් නෑ මොකද්ද මේ සම්මානවල අගය කියලාවත්. නාට්‍ය ගොඩක් තිබුණා. මගේ නාට්‍යය ජ්‍යෙෂ්ඨ රංගවේදී චන්ද්‍රසේන කොඩිතුවක්කුගේ. ඔහු කළේ පොල් කඩන අයෙක් ලෙස ගහකින් වැටිලා ඔත්පළ වූවකුගේ චරිතය, මම දරුවන් තුන්හතර දෙනෙක් ඉන්න ඔහුගේ බිරිඳ. අවසානයේ සම්මාන උලෙළෙ මගේ නම කීවා හොඳම නිළිය ලෙස. සිනමාවේදී කේ. ඒ. ඩබ්ලියු. පෙරේරා මහත්මයාගේ අතින් සම්මානය ලැබුණේ. එදා ? අපට ගෙදර එන්න බසුත් නෑ, වාහන ගන්න සල්ලිත් නෑ. සම්මානේ බරයි, චූටි මල්ලිගේ බරයි දරාගෙන අම්මා අපිත් එක්ක ලූ‍ම්බිණියේ ඉඳන් පයින්ම මරදානේ ගෙදර ආවා.

ඉන් පස්සෙත් බොහෝ නාට්‍යවල රඟපෑවා. ජයසේකර අපෝන්සුගේ තටු මුලින් ආවේ සීමා බන්ධන නමින්. මම එහි ඬේසිගේ චරිතය කළේ. ප‍්‍රවීණයන් රැසක් එහි රඟපෑවා. එහි දර්ශන සමඟ අපි රට වටේම ගියා. රෝමියෝ ජුලියට්, සනාතන මූසිල, ගජමන් පුවත වැනි නාට්‍ය රැසක රඟපෑවා, නරිබෑනා ගායන වෘන්දයෙත් හිටියා. ඒ අතර ගුවන්විදුලියෙත් මම භීෂණ සමයේදිත් වැඩ කළා.

88/89 කාලේ ස්ථිර සේවකයන් පවා සේවයට එන්න බය වුණා. විශේෂ කාර්ය බලකාය තමයි අපේ ආරක්ෂාවට හිටියේ. අපේ කණ්ඩායමේ හිටියේ ගෑනු ළමයින් තුන් දෙනෙක් විතරක් නිසා මට පරීක්ෂණවලට ඉල්ලූ‍ම් කරනවාද කියලත් බයයි. මම අක්කාට කීවොත් එපා කියන නිසා, අම්මාට කීවාම පුතා බය නැත්නම් ඉල්ලූ‍ම් කරන්න කීවා. ඒ වෙලාවෙ තවත් හිත පසුබස්සන සිදුවීම් කීපයකුත් වුණා. ඒත් මටත් ඕනෙ වුණේ අභියෝගයට මුහුණ දෙන්න. මට ඒ වෙලාවේ ධෛර්යය දුන් කෙනෙක් තමයි සුනන්දා ධර්මපාල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය. ඇය කීවා ඕනෙම කෙනෙකුට රස්සාවක් කරන්න අයිතියක් තිබෙනවා. ඒ නිසා බය ගැන වැඩිය හිතන්නේ නැතිව තමන් කරන දේ ගැන විශ්වාසයෙන් කරන්න කියලා. මට ඒ වචන ටිකත් එක්ක විශාල ආත්ම විශ්වාසයක් ඇති වුණා. ඉල්ලූ‍ම්පත‍්‍ර බාර දෙන්න අදාළ නිලධාරියා ළඟට ගියාම මොරටුවේ පදිංචි කෙනෙක් මෙහෙ ඇවිත් නිවේදන කරන්නෙ කොහොමද කියලා මගේ ඉල්ලූ‍ම් පත‍්‍රය උඩින් වීසි කළා. ඒ විසි කළ කොළේ අහුලාගෙන හිතේ දුකත් තද කරගෙන මම ආවා. හැබැයි හොරණ කෙනාගේ ඉල්ලූ‍ම් පත‍්‍රය බාරගත්තා. මගේ හිත කීවා මේ නිලධාරියාට ඉහළ තව කෙනෙක් ඇතිනේ. මම ගිහින් බලන්න ඕනෙ කියලා. දවස් දහයක් පඩිපෙළ බහිනවා නඟිනවා විතරයි. හමුවෙන්න වුණේ නෑ. අන්තිමට එතුමාගේ ලේකම් මට කීවා ඔහොමම ඉඳගෙන ඉන්න කියලා. එතුමා ආවා. වීදුරු කාමරේ ලොකු සාකච්ඡාවක් අතර මාව දැකලා මොකද නෙළුම් කියලා ඇහුවා. පස්සේ මම ඉල්ලූ‍ම්පත‍්‍රය බාර දෙන්න කීවාම ඔහු ඇහුවෙත් බය නැද්ද මේ කාලේ කියලා. මම මුකුත් නොකියා හිටියා. ළමා පිටියේ ඉඳන් ආව උත්තරීතර අයිතිය නෙළුම්ලාට තියෙනවානේ මම උදවු කරන්නම්කො කියලා එතුමා මගේ ඉල්ලූ‍ම්පත බාරගත්තා. සහන නිවේදක ලෙස අපව බඳවා ගන්න හඬ පරීක්ෂණ තුනක්, ලිඛිත පරීක්ෂණ සහ පුහුණු පරීක්ෂණ සියල්ලට මුහුණ දිය යුතුයි. ඒ සියල්ල නිමවලා පළමු අත්දැකීමත් හරිම අභියෝගාත්මකයි.

අපිට සේවා මුර පුහුණුවීම් තිබෙන නිසා මට නියමිත වෙලාවට මම පාලක මැදිරියට ගිහින් පැත්තකට වෙලා සීරුවෙන් ගරුසරු ඇතිව හිටියා. හැමදාම හිනාවෙලා හිටිය කෙනා මම පුහුණුවට ආවාම අමුතුම විදිහට ඇහුවා ‘ඔයත් ටේ‍්‍රනිං ද‘ කියලා. මම ‘ඔවු අක්කේ‘ කීවා. පුහුණුවන්නාට අයිති පුටුවේ ඉඳගන්න කියලාවත් කීවේ නෑ. පැයක් එකතැන හිටගෙන හිටියා. කිසි දෙයක් කරන විදිහ ඉගැන්නුවේ නෑ. හැබැයි මම බලාගෙන හිටපු දේවල් ඔළුවට දාගත්තා. ඊට පස්සේ ආවේ සමදරා කෝට්ටගේ අක්කා. එයා විස්තරේ අහලා කැමති නම් ඉඳගෙන ඉගෙන ගන්න කීවා. ඒත් තව කෙනෙකුට වෙන් කරපු වෙලාවක් නිසා මම ඇයට ස්තූති කරලා එළියට ආවා. ඒ එක්කම අපේම පුහුණු කණ්ඩායමේ සේන වික‍්‍රමආරච්චි අයියා ස්වදේශීය සේවය ළඟින් වෙළෙඳ සේවයට යනවා. මට කතා කළා යමු කියලා. මම ගියාම නිල නොවන විදිහට අවස්ථාව ලැබුණා ‘ස්ටේෂන් කියන්න‘.

‘දැන් වෙලාව පෙරවරු එකොළහ පසු වී විනාඩි තිහයි. මේ ශ‍්‍රී ලංකා වෙළෙඳ සේවයයි‘. පළමුවෙනිම අවස්ථාව ලැබුණේ එහෙමයි.

ඊට පස්සේ දවසේ මට පුහුණුව ලැබුණේ දයා ද අල්විස් අක්කත් එක්ක වෙළෙඳ සේවයේ. එදා විදුලිබලය ඇනහිටීමක් නිසා තරංග සංඛ්‍යාත වෙනස් වෙනවා. ඒ දැනුම්දීම අරගෙන ඉංජිනේරුවො දුවගෙන එනවා. දයා අක්කා මට කීවා නංගි ඒක කියන්න කියලා. ඒත් කිව යුතු විදිහක් කියන්න එයාට ලැබුණේ නෑ කලබලේ නිසා. මටත් අපභ‍්‍රංශ වගේ ඒකේ තිබෙන දේවල්. අනෙක කිලෝ හර්ට්ස් කියන එක මට කියවෙන්නෙම නෑ. සජීවීව තුන් පාරක් වැරදුණා. හැබැයි අන්තිම වතාවේ මම හිතට ධෛර්යය අරගෙන හරියටම කීවා.

සහන නිවේදක කාලේ මට ලැබුණේ සවස 6 සිට රාත‍්‍රී 9 දක්වා කාලය. මම කෙටි ප‍්‍රවෘත්ති කීවාට, ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයට හරිම බයයි. ඒත් එක්තරා සෙනසුරාදා දවසක යෙදුණු වෙසක් පෝය දිනෙක මට ඒ අභියෝගයටත් මුහුණ දෙන්න සිදු වුණා.

ප‍්‍රධාන සංස්කාරක හේමන්ත හෙට්ටිගේ අයියා හැන්දෑවේ හයේ ප‍්‍රවෘත්තියට විනාඩි හතරක් තියෙද්දි ආවා මට ප‍්‍රවෘත්ති කියන්න කියාගෙන. මට දාඩිය වැක්කෙරෙන්න ගත්තා. අපේ අම්මා නැතිවෙලා මාස තුනයි එතකොට. මට අම්මාගේ පිහිට විතරයි සිහියට ආවේ. මොකද ගුවන්විදුලි ප‍්‍රවෘත්තිවල නතර කරන තැන් තිබෙනවා. බීම් එකේ හිටපු නිෂ්පාදන සහායකවරු දෙන්නා මට සංඥාවලින් උදවු කළා. හැබැයි කිසිම වැරැද්දක් නැතිව කොහොමද ප‍්‍රවෘත්ති කියලා ඉවර කළේ කියලා මට අදවත් හිතාගන්න බෑ. එහෙම වාර කීපයකදිම වුණා. රාත‍්‍රී නවය ප‍්‍රවෘත්තිත් එහෙම හදිසියේ කියන්න සිදුවුණා. අදාළ ප‍්‍රවෘත්ති නිවේදක නොපැමිණි අවස්ථාවක ආයතනය ගලවා ගැනීම සම්බන්ධයෙන් මට වචනයකින්වත් ප‍්‍රශංසාවක් නම් ලැබුණෙ නැහැ. හැබැයි අකුරක් හරි වැරදුණා නම් මගේ සහන නිවේදක තනතුර පවා නැති වෙන්න ඉඩ තිබුණා. පසුව සුනිල් සරත් පෙරේරා මහත්තයා මේ බව දැනගෙන මට ප‍්‍රශංසා ලිපියක් ලබා දුන්නා. තවත් දෙයක් කියන්නම ඕනෙ පුහුණු වීමක්වත්, කලින් කොළය ලැබිලාවත් නැතිව හදිසියේ එහෙම දෙයක් කරලා සාර්ථක වුණාම හිතට ලොකු ‘ජොලියක්‘ දැනෙනවා වෙන මොනවා නැතත්. (සිනාවකි)

මහබැංකු බෝම්බය පිපුරුණු දවසේ මරණ දැන්වීම් විශාල සංඛ්‍යාවක් කියන්න සිදුවුණා පාන්දර සේවා මුරය වෙලාවේ. එදා ආරාධිත අමුත්තා නිව්ටන් ගුණරත්න මහත්මයා මගෙන් සංඛ්‍යාව අහලා බැ?රුම් මූණක් දාගෙන ගියා. මොකද ඒවායේ තිබෙන සමහර කරුණු හරි වගකීම් සහගතයි, භයානකයි. මම කොහොම හරි දැන්වීම් හතළිස් දෙකක් දෙවරක් කියවලා තිබෙනවා විනාඩි විසිපහක් වගේ කාලයක් ඇතුළත. ඒක අහගෙන ඉඳලා හෙන්රි සෙනෙවිරත්න කීවා නෙළුම් ඔයා වාර්තාවක් බින්දා කියලා. මම මුකුත් දන්නේ නැති නිසා ඒ මොකක්ද ඇහුවා. අඩුම කාලයක් ඇතුළත වැඩිම මරණ දැන්වීම් සංඛ්‍යාවක් කියවීමේ පළමු වාර්තාව තබා තිබෙන්නේ රත්නා ලංකා අබේවික‍්‍රම පනස් ගණනක් කියවලා. ඒ වාර්තාව චිත‍්‍රා කුමාරි කළුබෝවිල හැටගණනක් කියවලා බින්දා කිව්වා. ඒ වාර්තාව ඔයා අද බින්දා කීවා. මගේ ඒ වාර්තාව අදටත් එහෙමම තිබෙනවා.

ඒ හැරුණාම මගේ ගුවන්කාලවල මම වෙනස් දේවලින් අසන්නන් මා වෙත ළං කරගත්තා. අද වුණත් ශ‍්‍රාවකයන් මගෙන් විස්තර අහන්නේ ඒවා මතක් කරලා. සුන්දර හැන්දෑවේ හඳුනාගත්තොත් ඔබ මා කියන වැඩසටහන මගේ සංකල්පයක් අනුව නිෂ්පාදනය කර ඉදිරිපත් කළේ මම. ඒකට සහභාගී වූ කිසිම ශිල්පියෙක් කිසි දවසක මගෙන් නෙළුම් වවුචරය කීයද? වාහනයක් දෙනවාද කියලා කොහෙත්ම ඇහුවේ නැති බව නම් ඔවුන්ට කරන ගෞරවයක් ලෙස කියන්නම ඕනෙ.

මම ඉදිරිපත් කළ වෙනස් ආරේ ගීත වැඩසටහන් තවමත් සමහරුන්ට මතකයි. එහිදී කියන්න ඕනෙ සමහර ගීත අදටත් පරිගණකයේ සැඟවී තිබෙනවා. සමහරු පුදුම වෙනවා කොහොමද මේ ගීතය හොයා ගත්තේ කියලා. අපේ ගීත පුස්තකාලය කියන්නේ ගුවන්විදුලියට තිබෙන මහා සම්පතක්. ඒත් බොහෝ දෙනා ඇතැම් ගීත එහි තිබෙනවාද කියාවත් දන්නේ නෑ. සමහර ශිල්පීන් ඉතාම ජනප‍්‍රිය වෙලා තිබෙනවා ඒත් ඔවුන් ගැයූ මුල් ගී පරිගණකයේ අදටත් සැඟවී තිබෙන බවවත් ඔවුන්වත් දන්නේ නැතිව ඇති. අපේ ප‍්‍රවීණයන් ඒ ගීත පරිහරණය කළා. මමත් ගුවන් කාලයෙන් අමතරව කිසිදු බාහිර අනිසි කතාබහකට ගියේ නෑ. අපි ගියේම පුස්තකාලයට. එයින් සොයාගත් ගීත මගේ ගුවන්කාලවලදී ප‍්‍රචාරය කිරීම ගැන ඒ ශිල්පීන් පවා මට ප‍්‍රශංසා කර තිබෙනවා. ඒ ගැන විශාල සතුටක් මගේ හිතේ තිබෙනවා.

මමත් චිත‍්‍රා අක්කාත් මුලින්ම යාපනය සේවයට ගියේ 1994 වසරේ කාන්තා දිනයට පෙරදවසේ. අනුරාධපුරෙන් ත‍්‍රිකුණාමලයට ගිහින් එතැනින් ඊපීඞීපී නෞකාවකට නැඟගත්තා. අපි ඔක්කොම තිස් ගණනක් හිටියා, බ්ලූ ෂැඩෝස්, සිහ ශක්ති සංගීත කණ්ඩායම් දෙක සහ ගායක ගායිකාවන් සමඟ. ටික ටික ?වෙනකොට අපට අවට කිසිම දෙයක් පේන්නේ නෑ කළුවර මිස. පැය 14ක් දියඹේ. සමහරුන්ට සී සික් හැදුණා. අපට ඈත වෙඩි හඬ ඇහුණා. පහුවෙනිදා පාන්දර වෙද්දි ගොඩබිමේ වාහන පේළියක් නවත්වා තිබෙනවා පෙනුණා. අසුරු සැණින් අපට අණක් ආවා හැකි ඉක්මනින් වාහනවලට ගොඩ වෙන්න සූදානම් වෙන්න කියලා. කංකසන්තුරෙන් බැහැලා යාපනයට යද්දි අපේ කොණ්ඩවල, ඇෙඟ් පවා සිමෙන්ති වගේ ¥විල්ල. ජනශූන්‍යයි, සමහර ගෙවල් මැද්දේ ගස් හැදිලා ගෙවල් විනාශ වෙලා. කොළඹ සිට කංකසන්තුරේට ගිය අන්තිම දුම්රිය අපි දැක්කා. එහි පෙට්ටියක් අතරිනුත් ගස් උසට වැඞී තිබුණා. තෙලිප්පලෙයි කියන්නේ කොළඹ කුරුඳුවත්ත වගේ යාපනයේ තිබුණු කොටසක් කියලයි අපට ඒ අය කීවේ. ඒ සියල්ල විනාශ වෙලා.

කෙසේ හෝ අපි කෝනේෂ්වරම් වැන්දා. සන්දර්ශනය පැවැත්වූවා. රණබිමෙන් නිවහනට වැඩසටහනින් රණවිරු නිවෙස්වලට පණිවිඩ දුන්නා. යාපනය සේවයට ගොස් වැඩ කළා. මහ ? බිහිසුණු යුද ගැටුම් ඇහුණා. සමහර තැන්වලින් යද්දි අපේ හමුදා සෙබළුන් කියනවා මේ හරියෙදි තමයි අපේ අහවල් මේජර්ව මැරුවේ වගේ දේවල්. ඒ වෙලාවට හදවත සසල වෙලා යනවා. අපට රහස් කේත උගන්වා තිබුණා. ඒ ඒ දවසට ඒ පාස්වර්ඞ් එක වෙනස් වෙනවා. නල්ලූර් කෝවිල, කයිට්ස්, මිරිස්සු විල්, භාසාවිලාන්, පේදුරුතුඩුව වැනි තැන්වල පවා ගියා. අපි යාපනය නගරයට ඇවිත් ආසාවට පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන පිටත් වුණා විතරයි ගැබිනියකගේ වෙසින් ඇවිත් කාන්තාවක් බෝම්බය පුපුරුවාගත්තා. මේ දේවල් නිසා අපේ වාහන ගමන් කරන්නෙත් ඊයක වේගයෙන්. ඉන්දියාව පෙනෙන තෙක්මානයට ගිහින් තමයි අපි ගුවනින් කීරමලේ ගියේ. කීරමලේ කියන්නේ ලස්සන ස්ථානයක්. ලංකාවේ ඔළුව තමයි එය. එහි මුහුද මැද බැඳ තිබෙන තාප්පයෙන් මෙහා පැත්තෙ වතුර බොන්න පුළුවන් වුණාට එහා පැත්තෙ වතුර ලූ‍ණු රසයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහත්මයා සමඟ ගම් දනවු සිසාරා යමින් තේ ශක්ති වැඩසටහන කරන්න මට අවස්ථාව ලැබුණා. එහිදී සමහර විට කවි කියන්න වෙනවා. ගී ගයන්න වෙනවා. ඒ හැමදේකටම අපි සූදානමින් යන්න ඕනෙ. සීලරත්න මහත්මයා කිසි විටෙකවත් මට සීමා මායිම් දැම්මේ නෑ මේ දේ පමණක් කිව යුතුයි කියලා. මට නිදහස ලබා දුන්නා. එයට මට අවස්ථාව දුන්නේ ජයන්ත පීරිස් අධ්‍යක්ෂතුමා. ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒ වැඩසටහන ජනප‍්‍රිය වුණා.

නිවේදන කටයුතු අතරම චිත‍්‍රපට රැසක් සඳහා හඬ මුසු කරන්න අවස්ථාව මට ලැබුණා. මම රඟ පෑ සීමා බන්ධන නාට්‍යය නරඹලා වදුල චිත‍්‍රපටයට මාව මුලින්ම ගත්තේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා. පසුව ඔහුගේම අධිෂ්ඨාන චිත‍්‍රපටයටත් මාව සම්බන්ධ කරගත්තා. ඔක්කොම රජවරු, සිරිපතුල, සිකුරු දසාව වැනි චිත‍්‍රපට රැසක රඟපාන්න අවස්ථාව ලැබුණා.

1981 වගේ යුගයේ රාවයක් ගියා ලංකාවට රූපවාහිනියක් ලැබෙනවා කියලා. දවසක් මම බස් එකේ ගුවන්විදුලියට යද්දි මගේ සිතිවිලිවල මට පේනවා රූපවාහිනී තිරයක සුදු අකුරින් නෙළුම් කළුබෝවිල කියලා ලියලා තිබෙනවා. බස් එකෙන් බැස්සා විතරයි මට පණිවිඩයක් ලැබුණා දයානන්ද ගුණවර්ධන මහත්මයා සුදර්ශියේ සිට කතා කළා කියලා. මට වෙලාව තිබෙන නිසා එතැනට ගියාම දයානන්ද මහත්මයා කියනවා. ‘අපි දැන් රූපවාහිනියේ වැඩ පටන් ගන්න යනවා. මගේ ‘දෙන්නා දෙපොළේ‘ නාට්‍යය තමයි රූපවාහිනියේ කෙරෙන පළමුවැනි නාට්‍යය. අපි ටිකක් කලින් පුහුණුවීම් එහෙම කරලා මේ වැඬේට සහභාගී වෙමු‘ කියලා. මම හා කීවට මට දැන් හිතෙනවා ඇයි මෙයා මාව තෝරගත්තේ කියලත්. ඉතින් මම ස්තූති කරලා එහෙම ඇහුවා ‘අනේ සර් මාව තෝරගන්න හේතුව මොකක්ද කියන්න පුළුවන්ද?‘ කියලා. දයානන්ද මහත්තයා කියනවා‘ ඒක තමයි නේද? ඔයාගේ කියඹුවැල් ටික දිගට තිබෙනවා. ඒකෙන් ඔයාට සුරුබුහුටි ගතියකුත් එනවා. ඉතින් ඒ චරිතයට ඔයාව හොඳයි කියලා හිතුණා‘ කියලා. ඉතින් මේ නාට්‍යය රූපවාහිනියේ පළමුවැනි නාට්‍යය බව වැඩිය එළියට ඇවිත් නැහැ. හැබැයි එය ඒකාංගික නාට්‍යයක්. ඉන් පස්සේ තමයි අනෙක් නාට්‍ය කෙරුණේ. ඒ ගැන දයානන්ද ගුණවර්ධන මහත්තයාත් සෑහෙන හිත කලකිරිලා හිටියේ. ඊට පස්සේ මට අතරමඟ නවාතැනක්, ඉසිර භවය, නිර්සත්වයෝ, සිදංගනාවෝ, සත්රළපෙළ, බ‍්‍රහ්ම මුහුර්තිය, උඩඟු‍ව වැනි ටෙලි නාට්‍ය රැසක රඟපාන්න අවස්ථාව ලැබුණා.

මම හඬකැවීම් මුලින්ම කළේ සිනමාවට. මූ. අරුක්ගොඩගේ අරලිය මල් වැනි චිත‍්‍රපටවල, සේන සමරසිංහගේ පකිස්තාන චිත‍්‍රපටය සෙබළියෝහි නාසි සෙබළියගේ චරිතය වගේම ජෝ දේව් ආනන්ද්ගේ රත්තතින් රත්තමේ චිත‍්‍රපටය සිංහලට දෙබස් කවද්දි මට අනෝජා අක්කා වෙනුවෙන් හඬ කවන්න වුණා ඇය විදෙස් ගතව සිටි නිසා. රූපවාහිනී හඬකැවීම්වලට මුලින්ම එකතු වුණේ ඔෂීන් සඳහා. කාටූන් වැඩසටහන් රැසක හඬකැවීම් කළා. සමහර විට එකම කාටූනයේ විවිධ චරිත සඳහා වෙනස් හඬවලින් කතා කරන්න සිදු වුණා. සිරස නාලිකාවේ මහගෙදර නාට්‍යයේ අමා ලෙස හඬ කැවුවෙත් මමයි. ප‍්‍රගති නාට්‍යයේ රාම් කටෝරිට, සුජාතා, පාරමී වැනි ජනප‍්‍රිය විදෙස් නාට්‍ය රැසක හඬකැවීම් එදා සිට අද දක්වාම කරනවා.

ලංකාවේ ඉස්සල්ලාම වෙළෙඳ දැන්වීම ‘රොබින් නිල්‘ සඳහා හිටියේත් මමයි. ඞී. බී. නිහාල්සිංහ මහත්මයා තමයි එය රූගත කළේ.

ගුවන්විදුලියේ අවුරුදු 22ක් සහන නිවේදිකාවක් ලෙස සේවය කළාට විවිධ දේශපාලනික හේතු නිසා අපිව ශ්‍රේණිගත කෙරුණෙ නෑ. ඒ ගැන මට ගැටලූ‍වකුත් නෑ.

මම නිහඬව පුළුවන් විදිහට සමාජ සේවය කරගෙන ඉන්න කෙනෙක්. මම අවිවාහක වුණත් අම්මා නැති දරුවකුව මනමාලියක් කර දැන් ඇය දරුවන් තිදෙනකු ඉන්න අම්මා කෙනෙක් වී සතුටින් කල්ගෙවනවා. මට ලොකු දේවල් කරන්න බෑ. පුංචි පුංචි සේවාවන් කරලා හිත සතුටු කරගන්නවා. මම කිසිම රටකට නොගියත් වෙළෙඳ දැන්වීමකට මම ගත් දරුවෙකුට රූපගත කිරීම් සඳහා රට යන්න අවස්ථාව ලැබුණා. ඒක මට ලොකු සතුටක්.

මාධ්‍ය මෙහෙවර කියන්නේ අභායෝගාත්මක දේවලට මුහුණ දෙමින් මාධ්‍යකරණයේ යෙදීම කියලයි මට හිතෙන්නේ. මම කියන්නේ නෑ ජීවිතය අතහැරලා මාධ්‍යකරණයේ යෙදෙන්න කියලා. ඒත් මාධ්‍යවේදියෙකු වුණාම ජීවිතය පරදුවට තියා හෝ අත්දැකීම් ලබන්න තරම් සිත දිරිමත් විය යුතුයි කියා මා විශ්වාස කරනවා. ගුවන්විදුලියේ වුණත් සීතල කාමරේ කොටුවෙලා කරන වැඩසටහන්වල ශෛලිය වෙනස්. ඊට එහායින් අපට කළ හැකි දෙයක් තිබෙනවා. එය නිවේදක භූමිකාවට ඔබ්බෙන් ගිය සේවයක්. ආචාර්ය ඞී. බී. නිහාල්සිංහයන් ඔහුගේ කැමරාව සමඟ අභියෝගාත්මක අත්දැකීම් වියට්නාම් යුද්ධයෙන් ලැබූ බව මම පුවත්පතක කියවා තිබෙනවා.

ඇත්තෙන්ම මම වාසනාවන්ත වුණා අපට වඩා බෙහෙවින් ජ්‍යෙෂ්ඨ පරම්පරාවල ගුවන්විදුලි ශිල්පීන් සහ මාධ්‍යවේදීන් ඇසුරු කරන්න. ඔවුන් සමඟ හරිහරියට කටහඬ යොදවන්න අවස්ථාව ලැබුණා. එය මම බලෙන් ලබාගත් දෙයක් නෙවෙයි. ඉබේ ලැබුණු භාග්‍යයක්. අපි ගුවන්විදුලියට ගියේ ජනප‍්‍රිය වෙන්නත් නෙවෙයි. අපේ දක්ෂතාවයෙන් යමක් කරන්න සහ එයින් දිවි ගැටගහගන්න. ජනප‍්‍රියත්වය කියන අරමුණක හැඟීම අපට තිබුණෙ නෑ ඒ අවදියේ. එය අපට ඉබේ ලැබුණු දෙයක්. ඒත් අද සමහරු නිවේදක වෘත්තියට හෝ කලාවට එන්නේ ජනප‍්‍රියත්වයම බලාගෙන. ඉස්සර වගේ නෙවෙයි වත්මන් පරපුර අති දක්ෂයන් ඉන්නවා. ඔවුන් යහපත් විදිහට කටයුතු කරන්නයි අවශ්‍ය. අපට අලූ‍ත් පරපුරෙනුත් ඉගෙන ගන්න දේවල් තිබෙනවා. හැබැයි නව පරපුරේ සමහර අය අපේ සෙවණැල්ලටත් බියයි. අපි ඉන්නතුරු ඔවුන්ට වැඩසටහන් කරන්න අපහසුයි, අසන්නන්ට සමීප වන්න බෑ කියන සිතිවිල්ලකින් ඉන්නවා. කෙනෙක් තව කෙනකු සමඟ තරගවැදීමෙන් ඇති ඵලේ කුමක්ද? මම නම් තරග වදින්නේ මා එක්කම පමණයි. කලාව තමයි මගේ ජීවිතේ. මට ජීවිතේ වෙන ලොකු බලාපොරොත්තු නෑ. මම යන ගමනෙදි කුමක් හෝ බාධකයක් ආවොත් මම වෙන මඟකට හැරිලා මගේ පාඩුවේ ඒ ගමන යනවා. අද දවසේ යහපත් දේවල් කරලා හොඳින් ජීවත් වන්නයි මට අවශ්‍ය.