පේ‍්‍රමරත්නයන්ගේ සිනමා ගී
රසෝඝය
1970 දශකයේ මැද භාගයේදී ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ට වන නවක අධ්‍යක්ෂවරයෙකි එච්. ඩි ප්‍රේමරත්න. ඔහුගේ සිනමා භාවිතාව එම දශකයේ මුල් භාගයේ මෙරට සිනමාවට එක්වූ සුවිශේෂ සිනමා නිර්මාණ ගණයටම ගිනිය හැකි වූ නැවුම් ලක්ෂණයන්ගෙන් සමන්විත වූ එකකි. 70 දශකයේ මුල් අවධියේ ලාංකේය සිනමාවේ හැඩරුව නිර්මාණය කළා වූ සිනමාකරුවන් අතර, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, විජය ධර්මශශ්‍රී වැන්නෝ ප්‍රමුඛ වූහ. එසේම ටයිටස් තොටවත්ත, මණික් සන්ද්‍රසාගර, ලෙනින් මොරායස්, නීල් රූපසිංහ, වැන්නෝද ඊට දෙවැනි නොවූහ. මේ බොහෝ දෙනෙකු විසින් නිර්මාණය කරන ලද මුල් කාලීන සිනමා පට දෙස විමර්ශනාත්මකව බලන කල ඒ සියල්ලම මෙරට සිනමාවේ නැවුම් ලක්ෂණ ප්‍රකට කරමින් නිර්මාණය වූවන් බව පැහැදිලිය.
ධර්මසේන පතිරාජයන්ගේ ‘ අහස්ගව්ව (1974) ගත්තද, වසන්ත ඔබේසේකරගේ ‘ දියමන්ති(1976) ගත්තද විජය ධර්මශශ්‍රී ගේ ‘ දුහුළු මලක්‘ (1976) ගත්තද, ලෙනින් මොරායස් ගේ ‘ එදත් සූරයා අදත් සුරයා (1972) ගත්තද, ටයිටස් තොටවත්තගේ ‘ හාර ලක්ෂය (1971) ගත්තද , මණික් සන්ද්‍රසාගරගේ ‘ කළුදිය දහර(1975) ගත්තද, ලෙනින් මොරායස් ගේ ‘ එදත් සුරයා අදත් සුරයා (1971) ගත්තද නීල් රූපසිංහගේ ‘ හතරදෙනාම සූරයෝ (1971) තුෂාරා වැන්නක් ගත්තද, මෙකී නැවුම් සිනමාවක සලකුණු එදා සිය නිර්මාණ ඔස්සේ පලකරනු දක්නට ලැබිණ.
ඊට සාපේක්ෂව 70 දශකයේ මැද භාගයේදී එනම් 1975 දී, සිය ප්‍රථම සිනමා නිර්මාණය දේශීය සිනමාවට එක් කරමින් , ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ට වන එච්. ඩී. ප්‍රේමරත්නයන් ගේ සිනමා ගමන් මඟෙහි අනාගතය තහවුරු කරනු ලබන නැවුම් ලක්ෂණ අපිට දක්නට ලැබිණ.
ඔහු මෙරට සිනමා ගමන්මඟට එක්වනුයේ ‘ සිකුරුලියා‘ (1975) සිනමා පටය අධ්‍යක්ෂණය කරමිනි. මෙම ලිපියේ මූලික අරමුණ වනුයේ ප්‍රේමරත්නගේ සිනමා භාවිතය පිළිබඳ වන විමර්ශනයක් නොවේ. ඔහු විසින් නිර්මාණය කරන ලද විවිධ සිනමා පට ඔස්සේ පෝෂණය වූ මෙරට චිත්‍රපට ගීතයේ සුවිශේෂී සන්ධිස්ථානයන් හා ඔහු මෙරටට දායාදා කළ චිත්‍රපට ගීත පිළිබඳ වන විමර්ශනයකි. එහෙත් ඔහුගේ සිනමා භාවිතාවෙන් විනිර්මුක්තව ඔහුගේ චිත්‍රපට ගීත ගැන සාකච්ඡා කළ නොහැකි යැයි හැඟෙනුයේ ඒ තරමටම ඔහුගේ නිර්මාණ හා ඔහුගේ චිත්‍රපට ගීත බඳී තිබෙන හෙයිනි.ප්‍රේමරත්න සිය කුලුඳුල් සිනමා නිර්මාණයෙන්ම මෙරට චිත්‍රපට ගීත සාහිත්‍යයට සදා අමරණිය ගීත කිහිපයක්ම හඳුන්වා දෙන්නේය. ‘සිකුරුලියා‘ චිත්‍රපටයට ගීත 5ක් අඩංගු වුයේය. ඉන් එදා මෙදා තුර අතිශයින්ම ජනප්‍රිය වූ ගීතය වූයේ ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගයන ‘ සියුමැලියා සිකුරුලියා ගීතයයි.
‘‘ කොමළ ලියා – බොළඳ ලියා
මාව දමා යන්න ගියා- සියුමැලියා….
සිකුරුලියා…..
මේ ගීතය චිත්‍රපටයේ අන්තර්ගතයෙන් පරිබාහිරව මෙරට ගීත ලෝලීන්ගේ රසභාවයන් කම්පනය කළ ගීතයකි. ජේ. ඒ. මිල්ටන් පෙරේරා නම් වු අතිශය භාවාත්මක සංවේදනයන්ගෙන් යුත් කටහඬක හිමිකරුවෙකු මේ ගීතය ඔහුගේම කරගන්නා අයුරු අදටත් අපි දකිනුයේ වර්තමාන පරපුර කොතෙක් මේ ගීතය රසවින්ඳ ද එය ප්‍රේමරත්නයන්ගේ ‘සිකුරුලියා‘ හි ගීතයක් බව නොදැන විය හැකිය. මේ ගීතය සේම සිකුරුලියා හි අන්තර්ගත වූ ප්‍රවීණ ගායන ශිල්පිණී ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කරණ ‘වසන්තයේ මල් කැකුළයි- දසන්තයේ නල රැල්ලයි ‘ ගීතයද මේ දක්වාම ඉන්ද්‍රාණි ඇගේ කොට ගෙන තිබේ. බොහෝවිට මෙය චිත්‍රපට ගීතයක් බව දන්නෝද වර්තමානයෙහි ඇත්තේ අතළොස්සකි. මේ සමඟම ඉන්ද්‍රානි පෙරේරා සහ එච්. ආර්. ජෝතිපාලයන් ගායනා කරන ‘මල්සර හදකට තුරුළු වෙලා‘ ගීතයද රසිකයන්ගේ ජනප්‍රසාදය දිනා ගැනීමට සමත් වූහ.
ප්‍රේමරත්න ‘සිකුරුගියා‘ හරහා සාකච්ඡා කරනුයේ විවාහයේ සාම්ප්‍රදායික ආකෘතිය කිසියම් ආකාරයකට උපහාසයට ලක්කරමිනි. එවන් සංකීර්ණ මාතෘකාවක ප්‍රකම්පනය දැනවීම පිණිස ඔහු සිය නිර්මාණය හරහා ඉදිරිපත් වී කරන ගීත සහ සංගීත නිර්මාණ සඳහා ප්‍රේමරත්න තෝරා ගනුයේ, එවකට බටහිර ගී ආරක නිර්මාණවේශයෙන් මෙරට සංගීත ක්ෂේත්‍රයට පැමිණෙන ක්ලැරන්ස් විජේවර්ධනයන්ය. ඔහු ගී නිර්මාණ ඔස්සේ මෙන්ම චිත්‍රපටයේ සංගීත නිර්මාණය ඔස්සේද ‘සිකුරුලියාට මෙන්ම මෙරට ගීත සාහිත්‍යයටද උපරිම සාධාරණයක් ඉෂ්ට කළේය. එහිදි වඩා වැදගත් වනුයේ ප්‍රේමරත්නයන්ගේ නිර්භීත තෝරා ගැනීමය.
වර්තමානයේ පවා අපි එච්. ඩි. ගේ සිනමාව හඳුන්වනුයේ සමාන්තර සිනමාවේ ශශ්‍රී ලාංකේය ලකුණ ලෙසිනි. ඒ සඳහා අත්පොත් තැබූ ‘ සිකුරුලියා‘ පිළිබඳ ප්‍රකට සිනමා විචාරක සුනිල් මිහිඳුකුලයන් ඔහුගේ ‘ සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ‘ (පිටු 187) ග්‍රන්ථයේ සිකුරුලියා හඳුන්වනුයේ සමාන්තර සිනමාවේ අභිනවාරම්භයක් සේ සැලකිය හැකි බවයි.
එච්. ඩී. සිය දෙවැනි සිනමාපටය නිර්මාණය කරනුයේ 1978 දිය. ඒ ‘ අපේක්ෂාය. අපේක්ෂා මඟින් ඔහු ඉස්මතුකරලුයේ යොවුන් ප්‍රේමය මුලික කර ගත් වෘත්තාන්තයක් නිර්මාණය කරලීමටය. මේ හරහාද ප්‍රේමරත්න මෙරට ගීත සාහිත්‍යයට අපුරු ගීත නිර්මාණ රැසක් දායාද කළේය. එදා එම ගීත ප්‍රේමරත්නගේ සිනමාව අලංකාර කළා සේම මෙදා එම ගීත චිත්‍රපටයෙන් බැහැරව ගීත නිර්මාණයක් ලෙසින් පමණක් ජනප්‍රිය වි ඇති අන්දම කොතෙක්දැයි විමර්ශනය කිරීමෙන් ඔහු මෙරට චිත්‍රපට ගීත සාහිත්‍යයට මෙන්ම සාමාන්‍යයෙන් ගීත පමණක් රසවිඳීන රසිකයන්ට කළ සත්කාරය කොතෙකුදැයි පැහැදිලි වනවා ඇත.
‘ අපේක්ෂා‘ චිත්‍රපටයේ ඇතුළත් වු ගීත සියල්ලම අතිශයින් ජනප්‍රිය වූයේය. ඇන්ජලින් ගුණතිලක සමඟ මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ ‘ සඳ තනිවෙලා අහසේ , ඇන්ජලින් සමඟ මිල්ටන් ගායනා කළ ‘ කලක් ඇවෑමෙන්, සුජාතා අත්තනායක සමඟ එච්. ආර් ජෝතිපාල ගයන ‘සොඳුරු ලොවට මල් වැහලා, ක්ලැරන්ස් විජේවර්ධන ඇතුළු පිරිස ගායනා කරන ‘සැණකෙළියේ සඳ එළියේ යන ගීත මේ අතර වේ. මේ ගීත සියල්ලද චිත්‍රපටයෙන් පරිබාහිරව මෙරට ගීත ශ්‍රාවකයන්ගේ හදවතට ලංවු ගීත වු අතර, අපේක්ෂා වෙනුවෙන්ද සංගීත නිර්මාණය සඳහා එච්. ඩී. තෝරාගනුයේ ක්ලැරන්ස් විජේවර්ධනය.
ප්‍රේමරත්න 1980 දී නිර්මාණය කරන ලද ‘ සසරක පැතුම්‘ ඔහුගේ තුන්වැනි සිනමා නිර්මාණයය. එහිදි ඔහු ඔහුගේ පෙර චිත්‍රපට ද්විත්වය සඳහා සංගීතය හා ගීතය වෙනුවෙන්ඔහු යෙදු බර ඔහු මෙහිදි අවම කරනු දක්නට ලැබේ. 1980 දීම ඔහු නිර්මාණය කළ ‘ පරිත්‍යාගය චිත්‍රපටය ගත්තද ඔහුගේ පෙර නිර්මාණයන්හි මෙන් ගීතයට සහ සංගීතයට වැඩි තැනක් දි තිබුණේ නැත. පරිත්‍යාගයේ අඩංගු වී තිබුණේ එකම එක ගීතයක් පමණි. එහෙත් ඒ එකම ගීතය වුවද අදටත් ජනප්‍රිය විම සුවිශේෂීය. ටී එම් ජයරත්න සමඟ මාලිනි බුලත්සිංහල ගායනා කරන ‘‘ලාහිරු පායලා… පිපී මල් යායක්….. යනු එම ගීතයයි. 1983 දි තිරයට ආ ඔහු නිර්මාණය කළ ‘ හස්ති වියරුව‘ චිත්‍රපටයේද එවැනි ජනප්‍රිය ගීත නිර්මාණ ඇතුළත් නොවුණි.
එහෙත් ලාංකේය සිනමා ඉතිහාසයේ මෙන්ම එච්. ඩී ප්‍රේමරත්නයන්ගේ සිනමා ගමනේදී එක්තරා සන්ධිස්ථානයක් වූ ‘දෙවැනි ගමන‘ චිත්‍රපටය හරහා ඔහු ගීත ද්විත්වයක් ඉදිරිපත් කළේය. ඉන් එක් ගීතයක් වාර දෙකකදි දෙදෙනෙකු විසින් ගායනා කරන ලදී. දෙවැනි ගමන චිත්‍රපටයට ප්‍රේමරත්නයන් පාදක කර ගනුයේ විවාහය සම්බන්ධයෙන් එතෙක් අප්‍රසිද්ධියේ පැවතුණු ඉපැරැණි චාරිත්‍රයක් වූ යුවතියකගේ පාරිශුද්ධත්වය පිළිබඳවය. එම යුගය වනවිට සිනමාව වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය ඔස්සේ මෙවැනි මාතෘකාවක් සාකච්ඡාවට බඳුන් වි නොතිබිණ. කෙසේ වුවද, මෙම චිත්‍රපටය වෙනුවෙන් සංගීතය හා ගීත නිර්මාණය කිරිම පිණිස මෙවර තෝරා ගනුයේ රෝහණ වීරසිංහයන්ය. ඔහු මේ වෙනුවෙන් නිර්මාණය කරන ලද නීලා වික්‍රමසිංහයන් ගායනා කරන ලබන ‘චාමර සැලුණාවේ‘ ගීතය මෙරට ගීත ලෝලීන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත්විණ. එම ගීතයම චිත්‍රපටයේ වෙනත් තැනක නීලා වික්‍රමසිංහ සහ ටි.එම් ජයරත්න ගායනා කරති. එම ගීතය රචනා කරන ලද්දේ ධර්මසිරි ගමගේ විසිනි. එසේම මෙහි අඩංගු වූ අනෙක් ගීතය වූ අයිවෝ ඩෙනිස් ගායනා කළ ‘ඔබ පිබිදිලා ‘ගීතය එතරම්ම ජනප්‍රියත්වයක් දිනා නොගත්තද, එය චිත්‍රපටයේ කතා තේමාවට මැනවින් ගැලපෙන්නක් විය. එය රචනා කරන ලද්දේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සුගතපාල සෙනරත් යාපා විසිනි.
ප්‍රේමරත්න මිළඟට නිර්මාණය කරනුයේ ‘ ආදර හසුනය.(1986) . දෙවැනි ගමනින් පසු මෙරට සිනමා ප්‍රේක්ෂකයන් මෙන්ම සිනමා විචාරකයන්ද ඔහුගෙන් ඉන් එහා ගිය නිර්මාණයක් බලාපොරොත්තු විය. සමහරුන්ගේ බලාපොරොත්තු ආදර හසුන හරහා ඔහු ඉෂ්ට කළද, සමහරුන් එය ඔහුගේ අසාර්ථක සිනමා නිර්මාණයක් ලෙසින්ද එකල හැඳීන්වූවා මට මතකය. එහෙත් ඔහුගේ සිනමා නිර්මාණයන්හි ස්ත්‍රි පුරුෂ ප්‍රේමයට ඇති ආදරණීය ඉඩකඩ ‘ආදර හසුන තුළද මැනවින් දක්නට ලැබෙන අතර, එහි එන පහත සඳහන් ගීතයද සුපුරුදු පරිදි ප්‍රේමරත්නයන්ගේ සිනමාවෙන් ජනිත වන ආදරණීය
ගී නිර්මාණයන්ට අමිල උදාහරණයකි.
‘සුදු මුදු රල පෙළ කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එළා……
සිඳුලඳ ගෙනදුන් මුතු කැටයක් සේ
ඔබ මට තිළිණ වෙලා……
ටි. එම් ජයරත්නයන් විසින් ගායනා කරන ලද මේ ගීතය මෙරට සිනමා ඉතිහාසයේ ගීත සාහිත්‍යය අලංකාර කළ නිර්මාණයක් ලෙසින් අදද විරාජමානය.
ප්‍රේමරත්න හැමවිටම අමුතු දේ කරන්නට බිය නොවන නිර්මාණකරුවෙකි. එසේම ඔහු අත්හදා බලන්නට ද කැමැත්තක් දක්වන්නෙකි. සමාජයේ රහසිගත චාරිත්‍රයක්ව පැවැති යුවතියකගේ පාරිශුද්ධත්වය ඔහු කලකදි සිය සිනමාවට තේමා කර ගත්තේය. ඉන් පසු කලක ඔහු විවාහ සංස්ථාවේ විවිධ ඉසව් සිය නිර්මාණ හරහා රැගෙන ආවේය. මෙවර ඔහු අත තැබුවේ වෙනස්ම මාදිලියේ මාතෘකාවකටය. ඒ විවාහ අපේක්ෂීත තරුණයෙකු වෙනුවෙන් පෙර දින රැයේ ලබා දෙන මංගල තෑග්ගක් තේමා කර ගනිමිනි. එම තෑග්ග කිසිවෙකුත් අපේක්ෂා නොකරන ගණිකාවකි. චිත්‍රපටයේ තේමාව සමඟ බලන විට මේ හරහා මෙතෙක් ප්‍රේමරත්නයන් රැස්කර ගත් ප්‍රේක්ෂක පිරිස් ඔහු අතහැර යන්නටත් , අලුත් ප්‍රේක්ෂක පිරිසක් එකතු කර ගන්නටත් මේ නිර්මාණය හරහා සිදුවුණි.
මංගල තෑග්ග ප්‍රේමරත්න නිදහස් කරනුයේ වැඩිහිටියන්ට පමණයි‘ ලේබලය යටතේය. මෙම චිත්‍රපටය තිරගතවු පසු එකල පලවූ තිරතරු පුවත්පතට (1987.9.22) ලිපියක් සපයමින් ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා සඳහන් කර තිබුණේ මෙවැන්නකි.
‘ බැලු බැල්මට මංගල තෑග්ගහි පුවත පවුලේ ප්‍රේක්ෂකයන් තුළ පවතින සුචරිත වාදී දෘෂ්ටියට අභියෝගයක් සේ පෙනුනද සැබවින්ම එය පවුලේ ආදර්ශවත් පණිවිඩයක් රැගත් තේමාවක් බව ඔහු පවසයි.
චිත්‍රපටයේ කතා තේමාව එසේ වුවද, මේ චිත්‍රපටය හරහාද ප්‍රේමරත්න අපට ඉතාම අලංකාර ගීත ද්විත්වයක් තිළිණ කරයි.
එක යායේ කකා වැටී – එකා වගේ එකට සිටී
එක පවුලේ අපන් ලෙසේ කළ ආරක්ෂා
නාස් ලණුව දමනවාද- කරත්තයක බිනවාද
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා……
එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ සමග බන්දුල විජේවීර ගායනා කරන මේ ගීතය මෙන්ම මහාචාර්ය සනත් නන්දසිරි ගයන ‘වාසනාවේවා…. පින්බර යුවතිය කුල කුමරිය වි මංගල මල් නැකතේ යන ගීතයද අපට ඉතිරි වන්නේ එච්. ඩි. ගේ මංගල තෑග්ග චිත්‍රපටය නිසාය.
එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ නිර්මාණ ගමනේ නවවැනි සන්ධිස්ථානය වනුයේ ‘ සහරාවෙ සිහිනයය. (1988) මෙහිදි ඔහු උත්සාහ ගත්තේ මැද පෙරදිග ගොස් ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන්නාවූ විවිධ කඨෝර අත්දැකීම් ප්‍රතිනිර්මාණයකටය. සහරාවේ සිහිනය රූ ගත කරනුයේ කුවේට් රාජ්‍ය යේදීය. එහෙත් චිත්‍රපටය අතරතුර විජය කුමාරතුංගයන්ගේ නික්ම යෑම සිදුවුන හෙයින් ප්‍රේමරත්නයන්ගේ පූර්ව නිර්මාණ සැළසුම වෙනස් වූ බව කියැවේ. කෙසේ වුවද, දුෂ්කරතා මතු වුවද, සුපුරුදු පරිදි ඔහු මේ චිත්‍රපටය සහාද අපුර්වත්වයෙන් යුතු ගීත කිහිපයක්ම නිර්මාණය කළේය. මෙවරද සංගීත නිර්මාණය රෝහණ වීරසිංහයන්ට බාර වු අතර, මේ සදහා ගීත ගායනයෙන් එක් වුයේ සුනිල් එදිරිසිංහ, චන්ද්‍රලේඛා පෙරේරා, විජය කුමාරතුංග සහ කීර්ති පැස්කුවල්ය.
‘‘ වලාකුළක් ගෙන – මුවා කරමු හිරු
ගිනිගෙන වියරුව නලියන වැලි කතරේ
රත්වුණු වැලිකැට පුපුරන මැද පෙරදිග
වැලිකතරේ….. (සුනිල් එදිරිසිංහ)
මල් හසරැල් සැලෙන ලොවක්
රොන් රසුදැල් අසිරි සැලක්
සොඳුරු ඉසව්වක්
සිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්….. ( චන්ද්‍රලේඛා පෙරේරා/ විජය කුමාරතුංග /කිර්ති පැස්කුවල්)
රන් දහදිය විකුණලා
රන් කහවනු පොදි බැදලා
අහස් ගගේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා…..
(විජය කුමාරතුංග ඇතුළු පිරිස)
ඉහතින් සඳහන් කළ ගීත ත්‍රිත්වයම තවමත් මේ රටේ ගීත ශ්‍රාවකයන්ගේ මුවින් ගිලිහි නොයන ගීත ලෙස ස්ථාපනය වි ඇත.
ප්‍රේමරත්න 1990 සහ 1992 දෙවර්ෂයේදී චිත්‍රපට ද්විත්වයක් නිර්මාණය කළේය. ඉන් පළමු වැන්න වූයේ ‘ පාලම යට‘ ය. එය නිෂ්පාදනය කළේ ප්‍රවීණ සිනමා නිළි ගිතා කුමාරසිංහ විසින් වන අතර, ප්‍රධාන නිළි චරිතය වුයේද ඇයයි. කලාත්මක ගණයේ නිර්මාණයක හැඩය ගනිමින් එම වසරේ පැවති බොහෝ සිනමා උලෙළයන්හිදි පාලම යට සම්මානයට පාත්‍ර විය. ඉන් පසුව නිර්මාණය කළ ‘ කුලගෙයද කුටුම්බ ජීවිතය දෙසම හැරි බලන්නට නිර්මාණය වුවක් විය. කුලගෙය චිත්‍රපටය සදහා නිර්මාණය වූ ‘ සරාගි අඩවිය නම් ගීතය ඉතාම අලංකාරය. අමරසිරි පීරිස් සමඟ මාලිනී බුලත්සිංහල ගායනා කරන මෙම දර්ශනයේ පෙනී සිටිනුයේ වසන්ති චතුරානි සමඟ ඩග්ලස් රණසිංහය. සංගීත නිර්මාණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේය.
‘ සරාගී අඩවියේ
දස දහස් මලින් සුගන්ධ වූ
උන්මාද වේ
හැදුම් පැතුම් කෑ ගසා
උන්මාද වේ
ආදරේ… ආදරේ….
දෝංකාර දේ …. සිනාසේ….
එච්. ඩී ප්‍රේමරත්නයන් 1993 දි නිර්මාණය කළ ‘සප්ත කන්‍යා චිත්‍රපටයට ඇතුළත් වූ ගීතද අතිශයින් ජනප්‍රිය විය. 90 දශකයේ තරුණ තරුණියන් අතරේ මෙම ගීත උන්මාදයක් සේ පැතිරි ගියේය. විශේෂයෙන් කමල් අද්දරආරච්චි සමඟ ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරිය ගායනා කළ ‘ උන්මාද වු ප්‍රේමාදරේ‘ ගීතය ඊට හොඳම උදාහරණය විය.
‘ උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ….
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ….
ඒ සමගම මේ චිත්‍රපටයට ඇතුළත් වූ පහත ගීතයද මෙරට තරුණ පරපුර ආදරයෙන් වැළද ගත්තේය.
‘ සුවඳ දැනී දැනී දැනෙනවා…..
උදා හිරු එළියේ….
අලුත් ඉරක් දෝ මේ…..
රූකාන්ත ගුණතිලක ගායනා කරනු ලබන මෙම ගීතය අදටද ඔහුගේ ගීත ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන්නේ එච්. ඩී. නිසාවෙනි.
‘ දූවිල්ලෙන් වතුසුනු තවරා
කුමර කුමරියන් වී
ළෙන්ගතු ඇසුරේ
වහස් බැලුම් එන හැන්දෑවේ
නන්නාදුනනා
සිත මිස කය නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුළේ……
සප්ත කන්‍යාහි එන මේ ගීතයද එකල බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ගීතය වි තිබුණි. ගීතය ගායනා කරනුයේ මොරිස් විජේසිංහ සමඟ ධම්මිකා බණ්ඩාරය. ප්‍රේමරත්නයන් 1995 දි නිර්මාණය කරනුයේ ‘ සෙයිලම ‘ චිත්‍රපටයය. සැමියාගේ අකල් වියෝවෙන් පසු නාගරිකයෙකු සමඟ නගරයට ආ තරුණ ස්ත්‍රියකගේ ජිවිතය වටා ගෙතෙන සෙයිලම සයිමන් නවගත්තේගම ගේ තිර රචනයකි. සෙයිලම හරහාද ප්‍රේමරත්න ජනප්‍රිය ගීතයක් මෙරට ගීත කලාවට දායාද කරයි.
‘මේ කොයි යන්නේ
රයිගම් යන්නේ
කවදද එන්නේ
නැත අප දන්නේ
ගීතය ගායනා කරනුයේ එඩ්වඩ් ජයකොඩි ඇතුළු පිරිසය.
ඉන් වසර දෙකකට පසු තවත් අලුත් මාතෘකාවක් දෙසට ප්‍රේමරත්න සිය සිනමා ඇස යොමු කරයි. එවර ඔහු නිර්මාණය කරනුයේ ‘ වීසිදැල‘ය. 1980 දශකයේ අගභාගයේ ඈත දුෂ්කර පිටිසර ගමකට සිය සිනමා කැමරාව රැගෙන යන ප්‍රේමරත්න එහි ජීවත්වන ගැමියන්ගේ ජීවනය ස්වරූපය අලළා යටිපෙළින් ගැඹුරු, දාර්ශනික, දේශපාලනික සමාජ විපර්යාසයක අරුමය කියාපායි. ප්‍රේමරත්න මෙවර සිය තිර නාටකයේ ආධිපත්‍යය පිරිනමනුයේ සරත්චන්ද්‍ර ගම්ලත්ට සහ ජැක්සන් ඇන්තනිටය. වීසිදැල මෙරටට තිළිණ කළ අපුරුතම ගී නිර්මාණය වනුයේ පහත ගීතයයි.
ගුමු ගුමුව වදුලේ
සිලි සිලිය සුළගේ
මුනු මුනුව නදියේ
අදයි මට ඇසුණේ
විහඟ මිහිරාවී
මුදු හඩින රාගී කොතැන තිබුණිද තී
අද ගයන මේ ගී
හද බදුන ඉතිරී
ගලන ගී මිහිරී
කොතැන නම් සැගවී
තිබිණිදැයි සොයමි
ප්‍රේමරත්නගේ මීලඟ නිර්මාණය වූයේ ‘ මන්දාකිණිය එය ඔහු නිර්මාණය කරනුයේ 199 දීය. මේ සදහා ඔහු ප්‍රස්තුත කරගනුයේ ඕස්ට්‍රේලියානු ආදී වාසි ජීවිතය හා ඔවුන්ගේ ඉරණම පිළිබදය. ඒ අතර ශශ්‍රී ලාංකික වැඩිහිටි මහාචාර්යවරයකු සහ ඔහුගේ තරුණ බිරිඳගේ ජිවන වෘත්තාන්තයද එක් කරයි. වැඩිපුර ප්‍රමාණයක් රූ ගත කිරීම් සිදුව තිබුණේ ඔස්ට්‍රේලියාවේදීය.
එච්. ඩී ගේ අවසන් සිනමා නිර්මාණය වූයේ ‘කිණිහිරියා මල්‘ ය. ඇගළුම් කර්මාන්තයේ රැකියාවට පැමිණෙන ග්‍රාමීය තරුණියගේ ජීවන ඛේදවාචකය මේ හරහා ප්‍රේමරත්න සාකච්ඡාවට බඳුන් කරන අතර නිරෝෂා විරාජිනී ගායනා කරන පහත ගීතය ඔහු ගීත කලාවට දායාද කළේය.
සද මිරිගු ගගේ වැටිලා
ගංදිය බොරපාට වී
විනිවිද නොපෙනෙන වතුරේ
රූ සැඟවෙයි දිය රකුසන්ගේ

