Home » අපි නිර්මාණය කරන්නේ අපිට රසවිඳින්න පුළුවන් දේවල්

අපි නිර්මාණය කරන්නේ අපිට රසවිඳින්න පුළුවන් දේවල්

මෙවර රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම සංගීත අධ්‍යක්ෂ දර්ශන වික්‍රමතුංග

by mavan
January 29, 2026 2:36 pm 0 comment

පසුගියදා පැවති රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා පිදෙන රාජ්‍ය සම්මානය හිමි කර ගත්තේ මෙරට ප්‍රමුඛතම සංගීත අධ්‍යක්ෂවරයෙකු වන දර්ශන වික්‍රමතුංග විසිනි. ඔහු පුරා වසර ගණනාවක් මෙරට සංගීත ක්ෂේත්‍රයේ විවිධ ගණයේ පර්යේෂණ කරමින්, අධ්‍යයන කාර්යයයේ නිරත වෙමින් අත්දැකීම් ඇසුරින් සතතාභ්‍යාසය ලබමින් මෙකි ක්ෂේත්‍රයේ රුව ගුණ තේජස හඳුනා ගත්තෙකි.

තම නිර්මාණ දිවිය වෙනුවෙන් අත්‍යන්තයෙන්ම කැප වෙමින් ඉතාමත් රසබර නිර්මාණ මෙරට ප්‍රේක්ෂක සමුහයාට ගෙන ඒමේ සුවිශේෂි දක්ෂතාවක් ඇති ඔහු මේතාක් මෙරටට දායාද කර ඇති නිර්මාණ සමුදාය දෙස පර්යේෂණාත්මක ඇසකින් බැලුවහොත් මෙකී රාජ්‍ය සම්මානයේ උණුසුම විඳීන්නට ඔහුට ඇති අයිතිය අතිශයින්ම සාධාරණ බව හැඟේ. මේ නිසාම මෙවර අපේ කතාබහට එක්කර ගත්තේ සංගීතඥ දර්ශන වික්‍රමතුංගය.

ඔබ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම සංගීත අධයක්ෂණය වෙනුවෙන් පසුගියදා සම්මානයට පාත්‍ර වූවා. මොනවද ඔබට දැනෙන්නේ මේ ආ ගමන් මඟ පිළිබඳ?

ඇත්තටම රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ මුල ඉඳලම විවිධ අවස්ථාවල මාව නිර්දේශ වුණු අවස්ථා තිබුණා. නමුත් මේ පාර තමයි ප්‍රධාන සම්මානයක් ලැබුණේ. ඉතින් ඒ ගැන සතුටුයි. රංජිත් මල්ලියාවඩු කියන කවුරුත් දන්න කවියා විසින් රචනා කරන්නට යෙදුණු ඉජාමති ගංගාධාරයේ කියන ගීතයට තමයි මේ සම්මානය ලැබුණේ.

මේ ගීතය ලියවෙන්නේ සහ සංගීත නිර්මාණය වෙන්නේ කොයි කාලයේද?

මිට වසර දෙක තුනකට ඉහතදි තමයි මේ ගීතය නිර්මාණය වුණේ. ඇත්තටම මේ ගීතය මටත් ලොකු අත්දැකීමක් වුණා. මොකද ඔහු මේ ගීතය රචනා කරලා තිබුණේ අපි කවුරුත් දන්නා විභුති භූෂන් බන්දෝත්පාධ්‍යගේ ‘අපූගේ ලෝකය’ නම් කෘතිය හා ඒ කතාව ආශ්‍රය කරගෙන. ඒ කතාව ඇත්තටම මමත් අපුගේ ලෝකය කියවලා තිබුණේ නෑ. ඒ පදවැල ලැබුණට පස්සේ මට පොත කියවන්න වෙලාවක් නැති නිසා මේ පොත ඇසුරු කරගෙන සත්‍යජිත් රායි විසින් නිර්මාණය කරන ලද ‘අපූර් සංසාර්’ චිත්‍රපටය බැලුවා. ඒ චිත්‍රපටය නරඹලා ඇති වුණ කම්පනයත් එක්ක තමයි තනුව මගේ අතින් නිර්මාණය වෙන්නේ. බෙහෝ විට මම උත්සාහ කළේ ඒ පසුබිම මතක් කරගෙන ඊට ගැළපෙන අයුරින් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි මම කල්පනා කළේ. බොහෝ විට එස්රාජ් එක වැනි වාද්‍ය භාණ්ඩයක් මේ සඳහා මම පාවිච්චි කළා. ඒ චිත්‍රපටයේ එන්නේ බෙංගාලි සංගීතය. ‘අපූර් සංසාර්’ චිත්‍රපටයේ සංගීතය ගත්තොත් ඒක වෙන පැත්තක් තියෙන්නේ. මට මෙතනදි හිතුණා මධුමාදව සාරංග කියන උත්තර භාරතිය රාගධාරි සංගීතයේ එන රාගය ඇසුරු කරගෙන, අපේ ජන ගී පැත්ත සහ බෙංගාලි සංගීතයේ තිබෙන හැඩතල එකතු කරගෙන මේ ගීතය හදන්න. නමුත් මම කවදාවත් හිතුවේ නෑ ඒකට මේ වගේ සම්මානයක් ලැබෙයි කියලා. මේ ගීතය සාමාන්‍ය සරල ගීතයක් විදියට තමයි අපි නිර්මාණය කළේ. මේ ගීතය රංජිත් අයියා තවත් කිපදෙනෙකුටම දිලා ප්‍රතික්ෂේප වුණු ගිතයක්. ඔය ගීතය එය තරම් ලස්සන වුණේ මේ ගීතය ගායනා කරන චතුරිකා නිර්මාණි ගේ කටහඩත් එයට මනාව ගැළපුන නිසා. චතුරික සහ මම යන දෙදෙනාම මේ ගිතයට අතිහයින්ම කැමැති වුණා. මේ සම්මාන උලෙළේ තවත් විශේස දෙයක් තිබෙනවා. එදා මෙහිදි හොඳම ගීත රචකයා ලෙසින් සම්මානයට පාත්‍ර වුණු චන්දන බණ්ඩාර වන්නිනායක කියන්නෙත් අහම්බෙන් අපි හඳුන්වාදුන්න කෙනෙක් විමත් සුවිශේෂයි. 1996 තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවේමම හදපු ගීතයකට එහිදි සම්මානයක් ලැබුණා. ඊට පස්සේ එහි දෙවැනි වටය තිබුණා. ඒකට ආපු චන්දන බණ්ඩාර වන්නිනායක කියන කෙනා ලියපු පදවැලක් ඒක.

නුවන්දිකා සේනාරත්න කොහේහරි වැඩසටහනක ගායනා කරනවා දැකලා මට කල්පනා වුණා මේ ළමයා හොඳට ගායනා කරනවනේ කියලා. එතකොට එයා ජනප්‍රිය ගායිකාවක් නොවේ. මම දැක්කා එදා එයත් එක්ක යනවා සචි මධුරංග කියන සංගීතඥයා. මම එයාව දන්නවා. මම ඒ මල්ලිට කිව්වා ඒ ගායිකාවගේ කටහඬ හරි ලස්සනයි. හොඳට ගායනා කරනවා. මටත් ආසයි ඇයට සින්දුවක් හදන්න කියලා. ඒ පාර ඔහු කිව්වා අනේ එයා කියයි කියලා. 99- 2000 කාලේ තුරුණු ශක්කි සෞන්දර්ය චාරිකාව කාලේ සින්දු ගොඩාක් අපට තැපෑලෙන් ආවා. ඒ ආපු ගීත පෙට්ටියක්ම මගේ ළඟ තිබුණා. මම ඒ පරණ සින්දු ටික අරගෙන හෝ ගීතයක් හොයන්න ගත්තා. ඒකේ තිබුණ ගීතයකට ආස හිතිලා මම ඒකට තනුවක් හැදුවා. මගේ වියදමින්ම රෙකෝඩ් කරලා තමයි ගිත රචකයාව හොයන්න පටන් ගත්තේ. සුනිල් ආර් ගමගේ තමයි ඒ කාලේ මේ වැඩසටහනේ කෝඩිනේටර් විදියට කටයුතු කළේ. ඒ නිසා ඔහු ළඟ මේ හැමදෙනාගේම දුරකතන අංක තිබුණා. චන්දන බණ්ඩාර වන්නිනායකව හොයා ගන්නේ එහෙම. මේ ගීතය ආසාවට කළාට ඒක ඒ කාලේ ඒ තරම් අවධානයක් දිනා ගත්තේ නෑ. නමුත් මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ හොඳම ගීත රචකයා වශයෙන් මේ ගීතයට ඔහු සම්මාන ලබනවා.

මෙවර සංගීත සම්මාන උලෙළට නිර්මාණ සලකා බැලූ කාලයක් තිබුණද?

ඔව් පසුගිය වසර 4 ඇතුළත කළ ගීත නිර්මාණ තමයි මේ සඳහා සලකා බැලුවේ. මේ සඳහා ගොඩාක් අය නිර්දේශ වෙලා තිබුණා. මට හරි සතුටුයි මේ සම්මානය ලැබුණට වඩා හොඳම ගීත රචනය සඳහා අහම්බෙන් මා තෝරා ගත්ත ගීත රචකයාට සම්මාන ලැබීම පිළිබඳ. ඔහුටත් ඇත්තටම ඒ ගැන හිතා ගන්නවත් බැහැ.

මෙවර රාජ්‍ය සම්මාන උලෙළේ වෙනසක් ඔබ දැක්කද?

ඔව් මේ පාර තිබුණේ වෙනස් හැඩයක් කියලා මට හිතුණා. ඉගෙන හිටපු විදියේ ඉඳලා ඒ වෙනස තිබුණා. පැය දෙක තුනක් ගියා කියලා දැනුණේ නෑ. ඇත්තටම මේ නව්‍යතාවයට අපි ස්තුති වන්ත විය යුත්තේ රාජ්‍ය සංගීත අනුමණ්ඩලයේ නදීක ගුරුගේ ඇතුළු පිරිසට.

මේ සම්මාන ශිල්පියෙකුගේ ගමනට දෙන දිරිය පිළිබඳ අපි කතා කළොත්?

ඇත්තටම අපි කරන දේවල්වල වටිනාකම් මොනවද සහ ඒවා හරිද, අපි යන පාර හරිද කියන එක කියන්න කෙනෙක් නෑනේ. අපිට දැනෙන විදියට ඕනම නිර්මාණකරුවෙක් තමන්ගේ ගමන යනවා. මේ වගේ ඇගැයිමක් දුන්නම මම හිතනවා, නදීක ගුරුගේ ඔහුගේ කතාවේදී දෙයක් කිව්වා. මම ඒක මෙතනදිත් සටහන් කරන්නම්.

අපි දන්නේ ශේක්ස්පියර් කිව්ව විදියට රන්සුණු එකතු කර ගන්න ඕන කියන එකනේ. නමුත් නදික කිව්වේ වෙන එකක්.

‘හැමදේම අහගෙන ඊට වඩා වෙනස් එකක් කරන්න තමයි බලන්න ඕන‘ කියලා. ඒක මට හිතෙනවා හෝ පණිවිඩයක් කියලා. මේ සම්මාන උලෙළක වටිනාකම වෙන්නේ නැවුම් වෙලා අලුත් ජවයකින් වැඩ කරන්න පොඩි උත්තේජනයක් දෙනවා.

ඔබේ බොහෝ නිර්මාණ සුභාවිත ගීත කලාවේ ලක්ෂණ පෙන්නුම් කරන නිර්මාණ. ඔබ ඔබට අනන්‍ය වූ මාවතක් සොයා යන කෙනෙක්ද?

අපි නිර්මාණකාරයෝ වෙන්න කලින් අපි රසිකයෝ නේ. අපි මොනව හරි රසවිඳපු දේවල් තමයි අපිට බලපාන්න ඇත්තේ. 60- 70 දශකයන්වල චිත්‍රපට ගීත, වෙනත් ගීත අහපුවා, අපේ දෙමව්පියන් සහ ගුරුවරුන් ම පෙන්වපු තැන් වලින් අහපු දේවල් අපට රසවිඳින්න පුළුවන් දේවල් තමයි අපි නිර්මාණය කරන්නේ. පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වුණාට පැරැණි ගමන් මඟේ තිබුණු ලක්ෂණත් අපි ළඟත් තියෙනවා. ඒ නිසයි බොහෝ විට එහෙම දැනෙනවා ඇත්තේ.

අපි බටහිර සංගීතය ගත්තත් එතැනත් සම්භාව්‍ය රසය තියෙනවා නේද?

මහා සංගීත සම්ප්‍රදායයන් දෙකක් ගත්තොත් උත්තර භාරතිය රාගධාරි සංගීතය සහ බටහිර සංගීතය කියන්නේ දෙකක් නේ. අපි මේ කරන්නේ ඇත්තටම පොඩි ඇප්ලයි මියුසික් එකක් නේ. අපි ඒ සියලුම සම්ප්‍රදායයන්වල එකතුවක් තමයි ගීතවලට ගෙන එන්නේ. අපේ පොඩි අඩුපාඩුවක් තිබෙනවා සමහර වෙලාවට මේක බටහිර ගීතයක් වගේ කියලා කියනවා. නමුත් ඒක බටහිරම නොවෙයි. ඒක පොඩි සම්මිශ්‍රණයක්.

ඔබේ නිර්මාණ භාවිතාවේදි බොහෝ විට දුටු දෙයක් තමයි නවක නිර්මාණ කරුවන්, ගායක ගායිකාවන් හඳුන්වාදීම. මුල සිටම එහෙම කරන්න ඔබට උවමනාවක් තිබුණද?

ඒකට මට හේතු වුණේ 1984-85 වගේ කාලේ ඉඳලා අපි අහපු ගුවන් විදුලියේ වෙළෙඳ සේවය. බොහෝ ගීතවල රචකයන්ගේ සහ සංගීතඥයන්ගේ නම් සඳහන් කරනවා. එතකොට එක යුගයක් තමයි ස්ටැන්ලි පීරිස් යුගය. ඊට කලිනුත් බොහෝ දෙනා හිටියා. වික්ටර් රත්නායක, සරත් දසනායක, ඒ වගේ යුග තිබුණා. ඒක ක්‍රමයෙන් රෝහණ වීරසිංහ, එච්.එම් ජයවර්ධන වගේ අය අතට පත්වුණා. එතකොට මම බැලුවා ඒ සියලුම නිර්මාණකරුවන් ගායක ගායිකාවන් හදලා තිබෙන්නේ කවුරුහරි සංගීතඥයෝ. උදාහරණයකට නිරංජලා – අබේවර්ධන කියලා ගත්තොත් අපිට මතක් වෙන සංගීතඥයෝ ඉන්නවා. පසුකාලිනව දීපිකා ප්‍රියදර්ශනි ගත්තොත් රෝහණ වීරසිංහයන් මතකයට එනවා. මටත් උවමනාවක් තිබුණා අලුත් කෙනෙක් හැදුවොත් තමයි අපිටත් සතුටක් ඉතුරු වෙන්නේ කියලා. ඒක නිසා තමයි එහෙම කෙරෙන්න ඇත්තේ.

ඒ ගැන ඔබට දැන් සතුටුයිද?

අනිවාර්යයෙන්ම. ඇත්තටම එය යශෝදා ප්‍රියදර්ශනි රියැලිටි වැඩසටහනකින් ආපු කෙනෙක්. ඒකාලේ දැකලා තමයි මම උනන්දු කරලා ගත්තේ ඒකට එකම හේතුව ඇගේම දක්ෂතාවය තමයි. එයාට දක්ෂතාවය වගේම, කැපවීම, උනන්දුව තිබුණා.

ඔබේ නිර්මාණ දිවිය තුළ ඔබට අභියෝග තිබෙනවාද? සංගීත ශිල්පින්ගෙන්?

ඇත්තටම මාත් සමඟ ආපු සමකාලීන සංගීත ශිල්පින් ගොඩාක් ඉන්නවා. උදාහරණයකට ගත්තොත් විමල් දයානන්ද, අනුරාධ අබේසිරි, අරුණ ගුණවර්ධන වගේ අය. ඔවුන් මට අභියෝගයක් නොවේ. ඔවුනුත් නිර්මාණ කරනවා. මමත් නිර්මාණ කරනවා. මේ ක්ෂේත්‍රය කියන්නේ තනි පුද්ගලයෙකුට තනි ගමනක් යන්න පුළුවන් තැනක් නොවෙයි. තව තව අය බිහිවෙනවා නම් තමයි වඩා හොඳ. යම් තරඟකාරිත්වයකුත් තිබෙනවා නම් තමයි හොඳ. එතකොට විවිධ ගණයේ නිර්මාණ බිහිවේවි. මෙතනදි අපි බලන්න ඕන ඔහු හෝ ඇය අභිබවා යැම නොවෙයි. ඊට වඩා පුළුල් දැක්මකින් මමත් යමක් කළ යුතුයි කියන සිතුවිල්ල ඇති කර ගන්න ඕන. ඉතින් ඒක අතීතය පුරාත් අපේ සංගීත ඉතිහාසයේත් තිබුණා.

උදාහරණයක් විදියට ස්ටැන්ලි පීරිස් මහත්මයා හදනවා ‘සිතින් මා නොසැලි සිටිද්දි’. ඒ වගේම අනෙක් පැත්තෙන් රෝහණ වීරසිංහයන් ‘සොඳුරු අතීතේ හදනවා. ඒවගේ නිර්මාණ අතීතයේ බිහිවුණා. එතකොට ගායන ශිල්පියෙක් වුණත් කවුද ඉස්සරහින් ඉන්නේ කියලා හොයලා බලලා සින්දු හදා ගන්නවා.

ඔබ සාමාන්‍ය සරල ගීයට එහා ගිහින් ටෙලි නාට්‍ය සංගීතයට සහ චිත්‍රපට සංගීතයටත් යොමු වෙනවා. අපි ඒ ගැනත් කතා කරමු.?

අලුතින්ම මම සංගීතවත් කරපු චිත්‍රපටය වෙන්නෙ ලලිත් රත්නායකගේ ‘ බොම්බේ මොටයි’. මම මුලින්ම චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරන්නේ සුනිල් ප්‍රේමරත්නගේ චිත්‍රපටයක. ඔහු කරපු චිත්‍රපටවලින් එකක් හැරුණු කොට අනෙක් සියල්ලෙම සංගීතය අධ්‍යක්ෂණය කළේ මම. ඇත්තටම ඒකට මට මඟ පැදුණේ සශිකා නිසංසලා නිසා. සශිකාව අවශ්‍ය වෙලා තිබුණා චිත්‍රපටයේ ගායනයට. සශිකා අහලා තිබුණා කවුද මේකේ සංගීතය කරන්නේ කියලා. තාම තිරණය කරලා නෑ කිව්වම සශිකා කියලා තිබුණා දර්ශනව දාගන්න කියලා. එතැනින් තමයි චිත්‍රපට පසුබිම් සංගීතයට යොමු වෙන්නේ.

ඇත්තටම මෑතකදි කරපු ලලිත් රත්නායකගේ චිත්‍රපටයටත් මම හරිම ආසයි. ඔහු කිසි කලබලයක් නැති කෙනෙක්. ඔහු වගේම තමයි ඔහුගේ නිර්මාණත් කිසිම කලබලයක් නෑ. ඔහුගේ නිර්මාණයට දායක වෙන්න වාසනාව මට තිබුණා.

ඒවගේම පසුගිය කාලයේ අලුත් ටෙලි නාට්‍යය සංගීත අධ්‍යක්ෂණයටත් යොමු වුණා.

ඔබේ ජිවිතයේ ඔබ පූර්වාදර්ශ කොට ගන්නා දේශීය හෝ විදේශීය සංගීත ශිල්පීන් හෝ සංගීත සම්ප්‍රදායන් තිබෙනවාද?

ඇත්තටම මම හිතනවා මම පුංචිම කාලේ, අවුරුදු 7-8 වගේ කාලේදි මම විශාරද නිහාල් ගම්හේවා මහත්මයාගේ ගීත ඇහුවා. ඊට පස්සේ රූකාන්ත ගුණතිලක මහත්මයාගේ ගීත ඇහුවා. ඔහුගේ කෝඩ් භාවිතය ගැන අධ්‍යයනය කළා. ඊට පස්සේ අවුරුදු 16-17 වගේ වෙනකොට වික්ටර් රත්නායකයන්ගේ ගීත වලට ගොඩාක් ආදරය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සුනිල් එදිරිසිංහ, දීපිකා පි‍්‍රයදර්ශනි, නන්දා මාලිනිය ගේ ගිත ප්‍රිය කරන්න පටන් ගත්තා. රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට පෙම් බැන්දා. වික්ටර් රත්නායක, ස්ටැන්ලි පීරිස්, රෝහණ වීරසිංහ කියන ත්‍රිත්වය තමයි මගේ යම් හැඬයක් හැදිලා තියෙනවා නම් ඒ හැඩයට බලපාන්න ඇත්තේ කියලා මම හිතනවා.

ඔබ සංගීතඥයෙක් වුණාට ඔබේ වෘත්තිය ජීවිතේ මින් හාත් පසින්ම වෙනස් එකක් නේද?‍

ඔව්… මම වෘත්තියෙන් බැංකුකරුවෙක්. මම උසස් පෙළට සංගීත විෂය හදාරන්න සූදානම් වෙනකොට අම්මගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ. ඒ නිසා මම වානිජ විෂය ධාරාව හැදෑරුවා. නමුත් මට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණේ නෑ. මගේ අම්මා බැංකු සේවිකාවක් නිසා ඇය බැංකුවට ඇප්ලයි කරලා තමයි මම බැංකු සේවයට එක් වුණේ. ඒකෙන් මට නරකක් වුණේ නැ. මේ ක්ෂේත්‍ර දෙකම සමබරව කරගෙන ගියා. තවමත් මේ දෙකම කරගෙන යනවා.

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT