නර්තන හැකියාව තරුණ දැරියකට, තරුණියකට, කාන්තාවකට ආභරණයකි.නර්තනය සහ රංගනය යන අංශ ද්විත්වයම ආභරණයක් කරගත් දක්ෂ නර්තන ශිල්පිනියක් පසුගියදා සරසවිය හමුවට පැමිණියාය. ඇය තෙල්මා මේඩිස් ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ශාස්ත්‍රපති උපාධිධාරිණියකි. එමෙන්ම සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ නර්තන සහ නාට්‍ය ප්‍රසංගික කලාවේදී විශේෂ (ගෞරව දෙවන පෙළ ඉහළ) උපාධිධාරිනියකි. මහරගම තරුණසේවා සභාවේ රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය සහ රංගකලා ඩිප්ලෝමාධාරිණියකි. ඇයගේ නර්තනය හා රංගනය කෙරෙහි දැක්වූ දක්ෂතා බොහෝය. ජාතික නැටුම් අවසාන ගාන්ධර්ව හැදෑරු, ලක්නව් භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයේ ඉන්දියානු ශාස්ත්‍රීය කථක් නර්ථනය හා සංගීත ප්‍රථම පෙළ උපාධිධාරිණියකි. ඇය තමා උගත් ශාස්ත්‍රයෙන් මැනවින් ප්‍රයෝජනය ගත් කාන්තාවකි. එනිසා ඇය වසර 26 ක පමණ සිට කලා ක්ෂේත්‍රයේ විවිධ වැඩ කටයුතුවල නියැළෙන්නීය. තෙල්මා මේඩිස් කලා ශිල්පිනිය මෙවර ඉතා භාරදූර කටයුත්තකට සූදානම් වන අතර පසුගිය දිනක සරසවියට පැමිණීයේ ඒ පිළිබඳ සරසවිය ඔස්සේ කලාකාමී රසික හිතවතුන් දැනුම්වත් කිරීම සඳහාය.
මම කාලයක සිට විවිධ වූ කලා නිර්මාණ තිළිණ කරන ශිල්පිනියක්. නව වසරේත් මගේ දැවැන්ත නිර්මාණයක් එළි දැක්වීමට මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙනවා. Resurrection of කුවේණි වේදිකාවට ගෙන එන්න පුහුණුවීම් කරන අවස්ථාවේ මට ඒ ගැන කතා කරන්න සරසවිය පුවත්පතෙන් ආරාධනාවක් ලැබීම ගැන සතුටුයි. Resurrection of කුවේණි කියන්නෙ වසර කිහිපයක සිට කල පර්යේෂණයක ප්‍රථිඵලයකි. මෙහි පර්යේෂණය මා ආරම්භ කළේ 2018 වසරේදීයි. එය සරල දෙයක් නොවෙයි. මෙවැනි අදහසක් මුලින්ම මගේ සිතට ආවේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේදී රංගවේදී හෙන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍යයේ රඟපෑමෙන් අනතුරුවයි. මට සිතුණා අපි අසා ඇති කුවේණියගේ චරිතයට වඩා දෙයක් ඇය ගැන කියවෙනවා කියලා.කුවේණිය ගැන දකින කෝණය වෙනස්. මගේ ශාස්ත්‍රපති උපාධිය සඳහා මම කලේ කුවේණිය ගැන විශ්ලේෂණයක්. මම කලින් සඳහන් කළාක් මෙන් කුවේණිය පිළිබඳ පර්යේෂණ කටයුතු කළේ 2018 වසරේ සිට. මහාවංශයටත් එහා ගිය මූලාශ්‍ර සොයාගෙන ඒවා පරිශීලනය කළා. එහි කුවේණිය පිළිබඳව සඳහන්ව තිබූ ප්‍රබල අවස්ථාවන් ඉස්මතු කරගෙන එය නිර්මාණයට යොදා ගත්තා.කුවේණිය ගැන බොහෝ නිර්වචන තිබෙනවා.ඇය ප්‍රබල ශක්තිමත් කාන්තාවක්. සමාජයේ ඇයව විවිධ විදිහට නිර්වචනය කෙරෙනවා.
Resurrection of කුවේණි වයස් භේදයකින් තොරව රසවිඳීය හැකි නිර්මාණයක්. අතීතය වගේම වර්තමානය ගැන එහි සඳහන් වෙනවා. මෙහිදී මට මූලික වුණේ කුවේණිය. මෙම වේදිකා නාට්‍යයට ඇතුළත් වී තිබෙන සංගීතයත් ප්‍රබලයි. මෙහි සංගීත අධ්‍යක්ෂණය සංගීත් නිපුන් පමල්ක කරුණාරත්න. Music Theatre කියන සංකල්පයත් මෙහි පෙනෙන්නට තියෙනවා. Resurrection of කුවේණි තුළින් Contemporary Physical theatre performing arts සංකල්පයත් ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙනවා. ඒ අනුව ලෝක නාට්‍ය කලාව තුළ පවතින නව්‍ය රංග උපක්‍රම ඔස්සේ සිදුකරන රූපණය, ශාරීරික රංග වින්‍යාසය, ගායනය යන අංගයන් මෙම නාට්‍යයේ ප්‍රබල ලෙස ඇතුළත් කර තියෙනවා. ඒ නිසා මෙය වේදිකා නාට්‍ය කලාවට සහ අධ්‍යාපනික වශයෙන් නව මාවතකට යොමු කරන දැවැන්ත නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මේ සඳහා මම ලංකාව පුරා විසිරී සිටින ශිල්පීන් යොදා ගත්තා. කොළඹ වගේම රත්නපුර, නුවර ඇතුළු ප්‍රදේශ වලින් ශිල්පීන් තෝරා ගත්තා. සමහරු තෝරාගැනීමේ පරීක්ෂණවලට කොළඹ ආවා. ඇතැම් අයට මේ ගැන හරිහැටි දැනුමක් තිබුණේ නැහැ. අපි තෝරා ගත් පිරිසට අඛණ්ඩ පුහුණුවක් ලබා දුන්නා. ඉන්පසුව ඔවුන් ඉතාමත් හොඳ තත්වයකට පැමිණියා. තිස් දෙනෙකු අපි තෝරා ගත්තා. මේ පිරිසට අමතරව ප්‍රවීණයන්ද ඉන්නවා. මෙම නිර්මාණය වෙනස්ම නිර්මාණයක්. ශරීරය මෙහෙයවා කරන ක්‍රියාකාරම් බොහෝමයක් ඇතුළත් වේදිකා නාට්‍යයක්. ඒ නිසා අපේ ශිල්පීන් සියලුදෙනා ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම් වල නිරත වෙනවා. ඇතැම් අවස්ථාවල පුහුණුවීම් අතරතුර පුංචි අනතුරු වලටත් මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවුණා.
මෙම වේදිකා නාට්‍යයට සම්බන්ධ වන අය අතර විවිධ වයස් මට්ටම් වල ශිල්පීන් ඉන්නවා. පාසල් ළමුන්, විශ්වවිද්‍යාලවල සිසුන් , නොයෙකුත් රංගන පාසල් වල ශිල්පීන් සම්බන්ධ වෙනවා. මට අවශ්‍ය වුණේ මේ කවුරුත් වේදිකාවට අධුනිකයන් බව නොපෙන්වීමට. ඒ වගේම වේදිකාවේ අනිවාර්‍යෙන් අංගයක් වන විනය කියන කාරණාව මේ ශිල්පීන් තුළ උපරිමයෙන් තියෙනවා. ඇතැම් අවස්ථාවලදී වැඩ කරන්න අපහසු ගතියක් එනවා. ඇතැම් ශිල්පීන් අධ්‍යක්ෂවරයාට ගරු කිරීමක් නැහැ. වෙලාවට පුහුණුවීම්වලට එන්නේ නැහැ. යම්කිසි දෙයක් සිදු වුණොත් ඔවුන්ට දරාගන්න අපහසුයි. පුහුණුවීම් වල වැඩි වේලාවක් රැඳෙන්න කැමති නැහැ. එහෙත් මම මගේ ශිල්පීන්ට විනයක් ඇතිව හැසිරෙන විදිහ පවා පුහුණු කරනවා. ඔවුන් එය අකුරටම පිළිපදිනවා. මාස ගණනාවක් තිස්සේ සෑම දෙයක්ම දරාගෙන ඉතාමත් ඉවසීමෙන් , කැපවීමෙන් පුහුණුවීම් කරන ශිල්පීන් කණඩායමක් මට ලැබීම භාග්‍යයක්. මගේ ගෝල පිරිස තමයි වේදිකා පරිපාලනයෙන් මට සහය වෙන්නේ. Resurrection of කුවේණි නාට්‍යයේ අංග රචනය සිදු කරන්නේ චාමර අනුරුද්ධ. ආලෝකකරණය වසන්ත කුමාර. ඒ වගේම මෙහි විශේෂ කාරණය වන්නේ නාට්‍ය පිටපත රචනය , අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ රංග වස්ත්‍රාභරණ නිර්මාණය මා විසින්ම වීම. මගේ දියණිය රංගවස්ත්‍ර නිර්මාණයට සහ සහය අධ්‍යක්ෂණයෙන් මට සහය වෙනවා. ඇය චිත්රීනා මේඩිස්. ඇය දැනට ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩි ෆින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රාසංගික රංගනය පිළිබඳ උසස් අධ්‍යාපනය හදාරනවා. ඇය මෙවර මේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වීම සඳහා ලංකාවට ඇවිත් ඉන්නේ.
මෙවැනි නිර්මාණයක් වේදිකාවට ගෙන ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. අධික වියදමක් දරන්නට සිදුවෙනවා. අපි පුහුණුවීම් ආරම්භ කළේ මාස ගණනාවකට පෙර සිටමයි. මගේ ගෝලයන් ඒ සඳහා මට උපරිම සහයෝගය ලබා දෙනවා. මම මිල මුදල්වලට වඩා මිනිසුන් හම්බ කර තියෙනවා. මගෙන් හැමෝම අහන්නේ ‘ අපෙන් මොනවද වෙන්න ඕන කියලා. මගේ පළමු නිර්මාණයේදී මට අනුග්‍රාහක භවතුන් සිටියා. මෙවරත් මට සහයෝගය දෙන පිරිසක් ඉන්නවා. මගේ ස්වාමිපුරුෂයා මට මේ සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවා. ඔහු අජිත් මේඩිස්. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යවරයෙක්. පුතා අජේන් මේඩිස්. ඔහුගෙනුත් සහය ලැබෙනවා.
Resurrection of කුවේණි වේදිකා නාට්‍ය අන්තර් ජාතික වේදිකාවට ගෙන යා හැකි නිර්මාණයක් බව මට විශ්වාසයි. අද ගුණාත්මක නාට්‍යවලට වඩා ප්‍රේක්ෂකයා එක් රොක් වන්නේ හාස්‍යමය නිර්මාණ වටා. එහෙත් කුවේණි වැනි නිර්මාණත් නරඹන පිරිසක් ඉන්නවා. 1956 දී මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘ මනමේ’ වේදිකා නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. අදටත් මනමේ නරඹන්න පුළුවන් අගනා නිර්මාණයක්.
මට කුවේණී නිර්මාණය කරන්න මා අතීතයේ රංගනයෙන් දායක වූ නිර්මාණත් බලපෑවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘ මනමේ’ නාට්‍යයේ මනමේ බිසව ලෙසින්ද, සිංහබාහු නාට්‍යයේ සිංහ සීවලී ලෙසින්ද කළ රංගනයන් වලින් මා තුළ තිබූ නිර්මාණ හැකියාව වර්ධනය වුණා. ඒ වගේම සයිමන් නවගත්තේගමයන්ගේ’ සුබ සහ යස’ , හෙන්රි ජයසේනයන්ගේ කුවේණි යන වේදිකා නාට්‍ය වලින් ලැබූ පන්නරයද මගේ රංගන හැකියාව ඉහළ තලයකට රැගෙන ගියා. එවැනි ජ්‍යේෂ්ඨයන් යටතේ රංගනයට සම්බන්ධ වීම නිසා විදෙස් රටවලටද මගේ හැකියාව පෙන්නුම් කිරීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම සුමිත් කුමාර මහතාගේ ‘ මායා රත්න’ , එරංග සේනාරත්න මහතාගේ ‘ පත්තර ගෙදර’ යන ටෙලි නාට්‍ය වලට මම රංගනයෙන් දායක වුණා.
මිරිඟු දිය, පතිදේවතා, අරමුණ , වැස්ස, පාළඟ සුරඹ, අන්දරේ, වෙද මාතා, පාට පාට හිරු, මෙත් තරු, යන වේදිකා නාට්‍ය මගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් හැඩවූ පර්යේෂණාත්මක ස්වතන්ත්‍ර නිර්මාණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මගේ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර ගැන මට සතුටු වෙන්න පුළුවන්. Resurrection of කුවේණි මගේම ස්වතන්ත්‍ර නිර්මාණයක්.
අද මම මෙවැනි නිර්මාණ කරමින් සාර්ථක වෙලා ඉන්නේ මට ශිල්ප ලබා දුන් ගුරුවරුන් නිසා. මට මුලින්ම නාට්‍ය හා රංග කලාව ඉගැන්වූයේ මේඝමාලා ජයනෙත්ති මහත්මිය. සංගීතය ඉගෙන ගත්තේ මංගල සමරසිරි සර් ගෙන්. ඒ වගේම රත්නපාල සර්, කපුකොටුව සර් , ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ, මගේ අම්මා රංජනී වෙත්තසිංහ ඇයත් නර්තන ගුරුවරියක්. මේ ගුරුභවතුන්ගෙන් තමයි මම මුලින්ම ගුරුහරුකම් ලබා ගත්තේ. විශේෂයෙන් සඳහන් කළයුතු පිරිසක් ඉන්නවා. ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය, සයිමන් නවගත්තේගම සර්, හෙන්රි ජයසේන රංගවේදියාණන්, එච්.ඒ පෙරේරා, ඩග්ලස් සිරිවර්ධනයන් , මංගල සේනානායකයන් වැනි නිර්මාණකරුවන්ගෙන් ලැබුණු ආභාසය මට මෙතෙක් දුර එන්න රුකුලක් වුණා. මම හැමදාමත් ඔවුන්ව ආදරෙන් මතක් කරනවා. ඒවගේම මගේ පර්යේෂණ කටයුතු සඳහා සහාය වූ විද්වතුන් සියලුදෙනාටමත් ස්තුතියි.
මේ කතාබහ අවසන් වන වෙලාවේ මම විශේෂ ආරාධනාවක් කරන්න කැමතියි. 2026 වසරේ ජනවාරි 09 වෙනිදා සවස 3.00 ට සහ 6.30 ට මරදාන එල්ෆීන්ස්ටන් රඟහලේදී කුවේණිය මුණ ගැසීමට එන්න.


නයනාංජලි දෙහිපිටිය
[email protected]
සේයාරූ – නිශ්ශංක විජේරත්න
