වෘත්තීයෙන් සංගීත ගුරුවරයෙක් වූ ඔහු ගීතනු නිර්මාණයෙන්, ගායනයෙන්, වාදනයෙන් පුරා වසර විසිපහක් පුරාවට කලා ක්ෂේත්රයේ වැජඹෙන්නේ තමන්ට අනන්‍ය වූ ගීතනු නිර්මාණ ගොන්නක් සමඟින් ගායකයකු ලෙසින්ය. නිල් අහස නමින් සිය ඒක පුද්ගල ගී ප්‍රසංගය පසුගියදා ගුවන් විදුලියේ මහ ගෙදරදී කලඑළි දක්වමින් තම ගීත දොළහක් ජනගත කරනු ලැබුවේ තමනට එදා මෙදා තුර ආදරය කළ සහෘද රසික ප්‍රජාවට තිළිණියක් ලෙසිනි. වෘත්තියෙන් සංගීත ගුරුවරයකු වූ ඔහු නමින් ප්‍රසාද් කුමාරතුංගය. ගායන වෘත්තීය තම කලා ජීවිතයේ සුවිශේෂී අංගයක් කොට සලකන ප්‍රසාද් ඒ ගැන කියන්නට සරසවිය හා කතාබහට මුල පිරුවේ මේ අයුරිනි.
වෘත්තීයෙන් ගුරුවරයකු වූ ඔබ කලාව තුළ මොන වගේ ගනුදෙනුවක්ද කරන්නේ?
වෘත්තියෙන් මම සංගීත ගුරුවරයෙක්. ඒ තුළ හිඳීමින් මම ගීතනු නිර්මාණකරුවෙක්, ගායකයෙක්, වාදකයෙක් ලෙසත් කලා ක්ෂේත්රයේ කටයුතු කරනවා.
ගායනය, වාදනය, තනු නිර්මාණ තුන් ඇඳුතු කලා මාධ්‍ය තුළ දස්කම් පාන ඔබ වඩාත් කැමැත්තක් දක්වන්නේ?
ගායනයට කලාව තුළ ගායකයෙක් ලෙස ඉදිරි ගමන තමයි මම වඩා ප්‍රිය කරන්නේ. වාදනය, තනු නිර්මාණය ගායනය ප්‍රධාන කොට අනුබෙදුමක් ලෙස තමයි කරගෙන යන්නේ.
කුඩා කල පටන්ම සංගීතයට ඇලුම් කරන පුද්ගලයෙක්ද ඔබ?
මගේ පවුල් පසුබිම සංගීතය හා බද්ධවෙලා තිබුණා. ඒකත් එක හේතුවක් වෙන්න ඇති. මගේ මේ සුවිෂ්ඨයට කුඩාකල පටන් මම තාත්තාත් සමග සංගීත කටයුතු සඳහා සම්බන්ධ වුණ. මගේ පියා සංගීත ගුරුවරයෙක්. ප්‍රේමනාත් කුමාරතුංග කිව්වහම නොදන්න කෙනෙක් නැති තරම් පාසල් අවධියේඉඳලම මම සිංදුු කිව්වා.
ඔබේ පාසල වුණේ?
මම මොනරාගල සියඹලාගම. ඒ ආශ්රිත ප්‍රදේශවල මම කුඩා කල පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. ද්විතික අධ්‍යාපනය සඳහා මම ඇතුළත් වුණේ බුත්තල දුටුගැමුණු මහා විද්‍යාලයට.
ඉතා අඩු වයසක පසු වන විටම වගේ ඔබ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායකයෙක්?
ඔව් මට වයස අවුරුදු දොළහක් වෙනකොට මම එළිමහන් ප්‍රසංගවල ගීත ගයනා කරනවා. මොනරාගල ප්‍රදේශයෙන් බිහි වූ පළවෙනි සංගීත කණ්ඩායම තමයි ඩැෆෝ ඩීල්ස්. තාත්තගෙ යාළුවො කට්ටියක් තමයි මේ සංගීත කණ්ඩායම පටන් ගත්තේ. තාත්තත් එහි සාමාජිකයෙක්. තාත්තාත් එහි නිත්‍ය ගායකයෙක් ලෙස කටයුතු කළ නිසාවෙන් මාවත් තාත්තා ඒ ප්‍රසංග සදහා එක්ක ගියා. මුලින්ම මම ප්‍රසංග වේදිකාවේ ගායනා කළේ රුවන් ශශ්‍රී ලාල් දල්පදාදු ගායනා කරපු පුංචි වෙළෙන්දා ගීතය.
පුංචි කාලයේ පටන් ඔබ ගායනය ඇරුණු කොට වාදනයටත් හපන්කම් දැක්වූවාද?
ඩැෆෝඩීල්ස් සංගීත කණ්ඩායමේ දීර්ඝ කාලයක් වැඩ කරමින් ඉන්නකොට මම වාදකයෙක් ලෙස කටයුතු කරන්න පටන් ගන්නවා. ගිටාර් වාදකයකු ලෙස තාත්තාගේ යාළුවෙක් වූ සංගීත කණ්ඩායමේම සාමාජිකයෙක් වූ පන්විල මහතා තමයි මගේ ගිටාර් වාදනයේ ගුරුවරයා වෙන්නේ. ලීඩ් ගිටාර් එක වාදනය කරන්න මම අතට ගන්නකොට මගේ වයස අවුරුදු දාසයක්. වාදන ශිල්පියෙක් ගායකයෙක් ලෙසත් මම දිගු කාලයක් ඩැෆෝ ඩීල්ස් හා එක්වෙලා හිටියා.
සංගීතයේ ඇසූ පිරූ තැන් සොයා ඔබ බෙල්වුඩ් බලා පියමනින්නත් අමතක කරන්නේ නෑ නේද?
දිගු කාලයක් ගායකයෙක් හා වාදකයෙක් ලෙස එළිමහන් ප්‍රසංග සඳහා දායක වන අතරේ උසස් පෙළ සඳහා මම කලා විෂයන් හදාරනවා. පාසල් අධ්‍යාපනයේ අවසානයේ ගායනය හා වාදනයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මම බෙල්වුඩ් ආයතනයට සම්බන්ධ වෙනවා. එහිදී ගායනය හා වාදනය පිළිබඳ දීර්ඝ අධ්‍යාපනයක් ලබා ගනිමින් මගේ හැකියාව ඉහළ තලයකට රැගෙන එනවා.
බෙල්වුඩ් සඳහා ඔබ පියමනින්නේ කොයි කාලයේද?
1996 වර්ෂයේ ගායකයෙක් හා වාදකයෙක් ලෙස තමයි මම අධ්‍යාපනය ලබන්නේ. නිහාල් ගම්හේවා සර් තමයි එහිදී මගේ ගුරුවරයා වන්නේ. එහිදී මට යොවුන් ගී සංගීත කණ්ඩායමේ ගායකයෙක් ලෙස කටයුතු කිරීමේ භාග්‍ය හිමි වුණා. ලීඩ් ගිටාර් වාදකයෙකු ලෙස මෙන්ම තබ්ලා වාදකයෙකු ලෙසත් මම මෙහිදී කටයුතු කළා වසර දෙකක පමණ කාලයක් බෙල්වුඩ්වල අධ්‍යාපනය ලැබීමෙන් පසු 1998 වසරේ මට කැලණි විශ්ව විද්‍යාලයේ ලලිත කලා විශේෂවේදී උපාධිය හැදෑරීමට විශ්වවිද්‍යාල වරම් හිමි වුණා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරේම ඔබට ගුරු පත්වීමක් පවා ලැබෙනවා නේද?
විශ්ව විද්‍යාලට ඇවිත් මාස හයක් විතර යනකොට මට ගුරු පත්වීමක් ලැබෙනවා. මගේ උපන් ගම් ප්‍රදේශය වු මොනරාගල සිද්ධාර්ථ මහා විද්‍යාලයට.
ගුරු පත්වීමක් ලබා මොනරාගලට පැමිණෙන ඔබගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ඇති වන්නේත් මෙහිදී නේද?
තුරුණු ශක්ති පළමු වටේ සඳහා මම ඌව පළාත නියෝජනය කරමින් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ගායකයෙක් ලෙස තරඟ වඳීනවා. එහිදී මම පළාත් තරඟ වටය දක්වා සුදුසුකම් ලබමින් ජයග්‍රහණ අත් කරගන්නවා.
ගායකයෙක් වාදකයෙක් ලෙස කටයුතු කළ ඔබ ගීත රචනයන් සොයා යාමේ ගමනක් අරඹන්නත් අමතක කරන්නේ නෑ නේද?
මට අවශ්‍ය වෙනවා හොඳ ගී රචනා ඒ සඳහා. මම විශේෂ උනන්දුවක් දක්වනවා. මේ සඳහා මට තුරුණු ශක්ති තරගාවලිය ලොකු ශක්තියක් වෙනවා. මහාචාර්ය සුනිල් අරියරත්න, බන්දුල නානායක්කාරවසම්, රත්න ශශ්‍රී විජේසිංහ, සුනිල් ආර් ගමගේ, නිහාල් ගම්හේවා, රඹුකන සිද්ධාර්ථ හිම්, රෝහණ වීරසිංහ, සමන්ත පෙරේරා, එච්. එම්. ජයවර්ධන වගේ ප්‍රවීණයෝ මම හොයාගෙන ගියා. පෙර හැදුනුම්කමක් නොවුණද මම ඔවුන්ව හමුවෙන්න ගියා. ඒකට ලොකු ශක්තියක් වුනේ තුරුණු ශක්ති තරගාවලිය.
ගීත රචනා සොයාගෙන ගිය ඔබ තමන්ගේම කියා ගීතයක් මුල් වරට නිකුත් කරන්නේ?
2000 වසරේ තමයි මගේ පළමු ගීතය නිකුත් වෙන්නේ. ආදරණීය කුරුල්ලෝ නමින්.
රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු රත්න ශශ්‍රී විජේසිංහයන් පද රචනය කරපු මේ ගීතය තමයි ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් මගේ ගීත ගායනා ප්‍රචාරය වීම අරභන්නේ.
ඔබ ගීතනු නිර්මාණකරුවෙක් ලෙස ගමනක් අරඹන්නේ කොයි ආකාරයෙන්ද?
ජාතික තරුණ සේවා සභාව අනුග්‍රහයෙන් ගුවන් විදුලියේ ප්‍රචාරය වුණා. ගී මිණි කිං කිණි කියලා වැඩසටහනක්. නිහාල් ගම්හේවා මහතාත් සුනිල් ආර් ගමගේ මහතාත් තමයි මේ වැඩසටහන කළේ. මෙන්න මේ වැඩසටහන හරහා මම ගී තනු නිර්මාණයට මාවත විවර වුණා. මේ වැඩසටහන නිර්මාණය වුණේ තුරුණු ශක්තිි තරගාවලියේ දිස්ත්‍රික් පළාත් වශයෙන් ජයග්‍රහණය කළ ගායක ගායිකාවන්, නිවේදක නිවේදිකාවන්, පද රචකයන් එකට එකතු කරගෙන මෙන්න මේ ජයග්‍රහණ ලැබුවන් අතරේ සිටි මීණා ප්‍රසාදිනී ජයග්‍රහණය කළේ මම තනු නිර්මාණය කළ ගීතයක් ගායනා කරමින්. මෙතනින් පස්සේ මම ගීතනු නිර්මාණය සඳහාත් ගායනය සඳහාත් වැඩි වශයෙන් යොමු වෙන්න පටන් ගත්තා.
සංගීත ආචාර්යවරයෙකු ලෙසත් ඔබ සුවිශේෂී ගෝල බාලයන් පිරිසක් කලා ක්ෂේත්රයට හඳුන්වාදීමක් සිද්ධ කරනවා නොවේද?
මම කොළඹ පදිංචියට පැමිණීමත් සමග සපුගස්කන්ද විශාඛා බාලික විද්‍යාලයේ 2013 වසරේ පටන් සංගීත ආචාර්යවරයා ලෙස කටයුතු කරන්න අවස්ථාව උදා වෙනවා. ගුරුවරයෙක් වශයෙන් සමාජයට කළ හැකි උපරිමය මට මේ විද්‍යාලය තුළ කරන්න අවකාශ සැලසෙනවා. පාසලෙන් මට උපරිම සහයෝගයක් ලැබෙනවා පාසලේ දරුවෝ සමග මම ප්‍රසංග කරනවා නොකඩවා අවුරුදු දහයක් පාසලේ දරුවෝ සමස්ත ලංකා ප්‍රථම ස්ථාන ලබාගන්නවා. ඒකල හා කණ්ඩායම් වශයෙන්.
සපුගස්කන්ද විශාඛාවන් ප්‍රසංග කලාවටත් ඔබ කැන්දාගෙන එනවා නේද?
ඔව්. 2014 වසරේ පාසල් ශිෂ්‍යාවන් හැට දෙකකගේ සහභාගිත්වයෙන් සංගීත කණ්ඩායමක් මම පාසලෙන් නිර්මාණය කරනවා. වාදන ශිල්පිනියන් හැට දෙකකගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රශාලාවේ දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වුවා. රසෝඝා නමින්. මේ ප්‍රසංගය සඳහා එවක අපේ සංගීත ක්ෂේත්රයේ දැවැන්තයන් වූ පණ්ඩිත් අමරදේවයන්, එඩ්වඩ් – චරිතා, සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, ප්‍රදීපා ධර්මදාස ඇතුළු සුවිශේෂී පිරිස් රැසක් සහභාගි වුණා. රසෝඝා නමින් බ්‍රෑන්ඩ් එකක් අපි ප්‍රධාන පෙළේ පාසල් අතරේ නිර්මාණය කළා. මේ දැවැන්ත ප්‍රසංගයට වාදක මණ්ඩලයේ ශිෂ්‍යාවන් හැරුණු විට පාසල් ශිෂ්‍යාවන් පන්සීයක් විතර ගායනයෙන්, නර්තනයෙන් මෙයට සම්බන්ධ වුණා. මෙම ප්‍රසංගය අවුරුදු දෙකෙන් දෙකට අපි වරින් වර රසෝඝා නමින් ප්‍රසංග හතරක් කළා. අවසන් වරට 2020 වසරේ තමයි මෙම ප්‍රසංගය පැවැත් වූයේ.
පාසලේ සහයෝගයත් සමඟ විශාඛාවන් සමඟ ඔබ ගොඩනැගූ පරපුර ගැන මොකද හිතන්නේ?
සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ප්‍රියන්ති සමරවීර මහත්මියගෙන් අපිට සුවිශාල මග පෙන්වීමක් ලැබුණා. විශාඛාවන්ගේ දක්ෂතා කලඑළි දක්වන්න. අද වෙනකොට මගෙන් දැනුම ලැබු දරුවෝ කලා ක්ෂේත්රයේ විවිධ තැන්වල ඔවුන්ගේ දක්ෂතා මත හොඳ තැන්වල ඉන්නවා දකින එක ගුරුවරයෙක් වශයෙන් මම ලබන ආත්ම තෘප්තිය වචනවලට පෙරළන්න බෑ. අද වෙනකොට මම සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයෙන් ඉවත්ව සපුගස්කන්ද මහා විද්‍යාලයේ සංගීත ආචාර්යවරයා ලෙස කටයුතු කරනවා.
ඔබ ගායකයෙක් විදියට මේ වන විට එළිමහන් ප්‍රසංග සඳහා සහභාගි වීමක් සිදුකරනවාද?
වැඩි වශයෙන් මම ප්‍රියකරන්නේ ගෘහස්ථ ප්‍රසංග සඳහා එක්වන්න. මේ වනවිට ඉඩහරසර ලැබෙන පරිදි සිහිනයකි රෑ, මාත්‍රා, සහෘදයා ආදී රූපවාහිනී සංගීත වැඩසටහන් සඳහා සහභාගි වෙලා තියෙනවා ගායකයෙක් ලෙස.
ඔබේ නමින් ගීත ඇල්බමයක් නිකුත් කලේ නැද්ද?
2007 වසරේ තමයි මම මුල්ම ගී තැටිය ජනගත කළේ. සිතේ කඳුළු නමින් තමයි එය නම් කළේ. මෙහි ගීත 16ක් ඇතුළත් වුණා. මාර්තු මස 19 වෙනිදා එළි දැක්ක නිල් අහස ප්රසංගයේදී නව ගීත දහයක් එළිදැක්වීම සිද්ධ කළා. එම ගීත සඳහා සරත් ද අල්විස්, නවරත්න ගමගේ, සුනෙත් රොඩ්රිගෝ මම තනු නිර්මාණය කළා. නිහාල් ගම්හේවා, සමීර සමරකෝන්, දර්ශන චන්ද්‍රරත්න, විහග ප්‍රසාද් සිරිවර්ධන ගී පද රචනයෙන් දායකවීම සිදු කළා.
දිගු නිහඬතාවයකින් පසු නිල් අහස වැනි ප්‍රසංගයක් කිරීමේ අරමුණ වුණේ?
මම මෙතනට ආවේ කලාව පිළිබඳ අවබෝධයක් ඇතුව විවිධ දේ ස්පර්ශ කරලා. මම ගත් දැනුම ප්රවීණයන්ගේ උපදෙස් පරිදි හරවත් නිර්මාණකරණයකට මට යාමේ අවශ්‍යතාවක් තිබුණා. ඒ සඳහා ගත් උත්සාහයක් තමයි නිල් අහස. මම හිතනවා හොඳ ගමනක් මම නැවත ආරම්භ කළා කියලා.
එළිමහන් ප්‍රසංග කලාවත් සමග බද්ධව කරළියට ආ ඔබ අද එයින් බැහැරව ඉන්න උත්සාහ ගන්නේ ඇයි?
ගායකයෙක් හැටියට මම කැමති ඉන්ඩ්රෝ ෂෝ වලට එතනට එන පිරිස් පැමිණෙන්නේ ගීත විඳීන්න. අපි කළ නිර්මාණ ඉතා ඉහළින් ඔවුන් වැලඳ ගන්නවා. ප්‍රසංග වේදිකාවේ තියෙන්නේ වින්දනයක් විතරයි. මම වඩාත් රුචිකත්වයක් දක්වන්නේ ගෘහස්ථ ප්‍රසංගවලට.
නිල් අහස ප්‍රසංගය තුළ ඔබේ ගීත තෝරා ගැනීම කොයි වගේද?
මැද මාවතේ ගීත තමයි මම වැඩිපුර තෝරා ගත්තේ එයින් ගීතයක් තාරුණ්‍යයට බර වූ ගීතයක්. මේ ගීතයට ප්‍රසංගය තුළ වුණත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. තව මාසෙකින් විතර එය රූප රාමුත් සමඟ රස විඳීන්න ලැබෙයි. සුනෙත් කැලුම් තමයි ඒ ගීතය සංගීතවත් කළේ. සමීර ආර්. සමරකෝන් තමයි ඒ ගීතයේ පද රචනා කළේ.
සමාජ මාධ්‍යයන් තුළත් ඔබගේ ගී රස විඳීන්න පුළුවන්ද?
ප්‍රසාද් කුමාරතුංග යු ටියුබ් චැනලයෙන් වගේම ප්‍රසාද් කුමාරතුංග මියුසික් මුහුණු පොත හරහා මගේ ගීත රස විඳන්න පුළුවන්. මේ වන විට මගේ ගීත හතළිහක් පමණ රසික ජනතාවට රසවිඳීන්න තිළිණ කරලා තියෙනවා. සුදු වත කමල කියන ගීතය මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ ගොඩාක් ජනප්‍රියයි.
ප්‍රසාද් කුමාරතුංග කියන ගායකයාට ඔබ ඔතරම් කැමති?
මානවයන් සමග ඉතා ඉක්මනින් බැදියාව ඇති කරගන්න ගායකයාට පුළුවන්. අපි අදහස් කරන කලාව වේගයෙන් රසිකයන් සමග එක්ව බෙදා හදා ගන්න පුළුවන් කෙනෙක් තමයි ගායකයා.
ඔබ මොන ආකාරයේ ශානරයන් තුළ ලියවූ ගීතද වැඩි වශයෙන් ගායනා කරන්න කැමති?
අපි ගායනා කරන ගීතවල හරය වැඩි පිරිසකට තේරෙන්න ඕනේ. ඒක භාෂාමය අතින් උසස්ද පහත්ද කියලා නෙමේ සන්නිවේදන කාර්ය පහසුවෙන් සිදුවන මැද මාවතේ ළමා වැඩිහිටි සියලු දෙනාම ප්‍රිය කරන ගීත තමයි මම කියන්න වඩාත් ප්‍රිය කරන්නේ.
පවුලේ තොරතුරු කොහොමද?
මගේ බිරිය මංජුලා ශිරෝමනී. ඇය ගුරුවරියක්. මට පුතාලා තුන් දෙනයි. කවිත, රවිතු, විහඟ දරුවෝ තුන්දෙනාම අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා. මගේ බිරිය ගෙදර වැඩ කටයුතු බලාගෙන මාව සම්පූර්ණයෙන් ඒ වගකීම් වලින් නිදහස් කරලා මගේ සියලු කලා කටයුතු කරගෙන යන්න ඉඩහරසර ලබා දීල තියනවා. මංජුලා තමයි මගේ ලොකුම ශක්තිය.
දේශයේ මහා ගාන්ධර්වරයා සමඟත් ඔබ ගීත ගායනයේ නියැළියා?
රසෝඝා ප්‍රසංගයට ප්‍රධාන ආරාධිත අමුත්තෙක් ලෙස සැපැමිණියේ අමරදේව මාස්ටර්. විශාඛාවන් සංගීතය සැපයූ ඒ ප්‍රසංගයේ අමරදේව මාස්ටර් රත්නදීප ජන්ම භූමි ගීතය ගායනා කළා.එතුමා ඒ ගායනයට මටත් ආරාධනා කළා. මමත් එතුමන් සමඟ ඒ ගීතය ගායනා කළා.
ඔබගේ යූටියුබ් චැනලයෙන් ගීත රස විඳීන ගමන් සංගීත අධ්‍යාපනය ලබන්නත් අවශ්‍ය අයට මාර්ගය කියාදෙන්නත් ඔබ සූදානම්?
ඔව්. දැනටමත් මම කටහඬ පුහුණුව සමග විෂය නිර්දේශ අධ්‍යයන පාඨමාලා පවත්වාගෙන යනවා. දරුවන්ට කැලණියේ පිහිටි මාත්‍රා මියුසික් ඇකඩමිය හරහා වයස් භේදයෙන් තොරව ගායනය වාදනය පිළිබඳ දැනුම ලබා දෙමින් මගේ ගමන මම යනවා.
චන්දන දයාසිරිවර්ධන
