වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ගෘහිණියක් වූ පසු කලා කුසලතා යටපත් කළ යුතු නෑ

රඟපාන්න අවශ්‍ය නම් ස්වරූපය වෙනස් කරගන්න
මාදනී මල්වත්තගේ පිළිබඳ විශේෂ හැඳීන්වීමක් අවශ්‍ය නොවේ. අද වේදිකාවේ මෙන්ම පුංචි තිරයේ ඇයගේ චරිතාංග රංගනය කැපී පෙනෙන මට්ටමට වැඩී ඇත්තේ ඇය රංගනය පිළිබඳ කළ හැදෑරීම හා නොකඩවා ප්‍රගුණ කළ හැකියාව නිසාය. ප්‍රතිභාපූර්ණ ශිල්පිනියක ලෙස දශක දෙකකට අධික කාලයක් ස්වෝත්සාහයෙන් වඩා ගත් දැනුම හා කුසලතාව නව පරපුරට බෙදා දීමට ද වත්මනේ ඇය දායක වන්නීය. මේ ඇය සරසවිය සමඟ යෙදුණු පිළිසඳරක සටහනයි.
කොහොමද අලුත් තොරතුරු?
මේ දවස්වල වැඩ නම් ගොඩක් අඩුයි රටේ තිබෙන වාතාවරණය අනුව. නිෂ්පාදකවරුන් වුණත් වැඩකට අතගහන්න බයයි තෙල් ප්‍රශ්නය, ආර්ථික අපහසුතා ආදිය නිසා. දැනට විකාශය වන ටෙලි නාට්‍යවලට සහභාගී වනවා පමණයි. සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ දිගින් දිගටම රටේ සියලුම දෙනා මුහුණ දෙන අපහසුතා කලාකරුවන්ටත් දැඩිව බලපා තිබෙනවා. පහුගිය දවස්වල නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ මධුර ජවනිකා සහ බක්මහ අකුණු කොළඹින් පිට පළාත්වල දර්ශන වාර කීපයක් පැවැත්වුවා. ඊට අමතරව සරත් කොතලාවලගේ සුදු වලහා හිරෙන් පනී නාට්‍යයේ දර්ශන වාර කීපයක් පවත්වන්නත් හැකි වුණා. එය ලබන සඳුදාත් පේරාදෙණිය 'වළේ' රඟදක්වන්න කටයුතු යොදා තිබෙනවා. කලා කටයුතු නම් ඒ තරමට සිමා වෙලා. අලුත් නිර්මාණ කීපයකටත් කතා කළාට පවතින තත්ත්වය සමඟ ඒවාත් ටිකක් කල් ගියා. හැබැයි මගේ වැඩමුළුව නම් මේ සියල්ල මැද්දේ කොහොම හරි කරගෙන යනවා.
මොකක්ද එහි විශේෂත්වය?
කාලයක් තිස්සේ කොහේ ගියත් බොහෝ දෙනා මගෙන් ඇහුවේ 'මාදනී ඔයා තරුණ සේවා සභාවෙන් නාට්‍ය හා රංග කලාව හදාරලා ආව කෙනෙක්. නාට්‍ය හා රංග කලා විෂයය පාසල්වල වුණත් සිද්ධාන්ත කළාට ප්‍රායෝගික පැත්ත කෙරෙනවා අඩුයි. ඇයි ප්‍රායෝගික වැඩමුළු නොකරන්නේ?' කියලා. ඊට අමතරව අපේ බොහෝ කාන්තාවන් කුඩා කාලේ කලා කටයුතුවලට යොමු වුණත් විවාහයෙන් පසු තමන්ගේ හැකියාවන් යටපත් කරගෙන දරු පවුල් ගැන බලනවා. කොළඹින් පිට එවැනි කාන්තාවන් එකතු කරගෙන නාට්‍ය වැඩමුළු කීපයක්ම කළා. ඒවා ඉතා සාර්ථක වුණා. මේ සියලු කරුණු සලකා බලා අපේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන තිලිණි වීරසිංහ සොයුරිය සමඟ එක්ව ලබන සති අන්තයේ සිට මාස තුනක් පුරා කෙරෙන සෛද්ධාන්තික කරුණුවලට වඩා ප්‍රායෝගික පැත්තට බර වුණු වැඩමුළුවක් කොළඹ සෞන්දර්ය නිකේතනයේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපිත් ක්ෂේත්‍රයට ආවේ සෑහෙන අධ්‍යයනයකින් පසුව ඒවා ප්‍රායෝගිකව යොදා ගනිමින් ලංකාවේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවල ඒ දැනුම අත්හදා බලමින් හෙමින් ගමනකනේ. ඒ නිසා අපි කරන හැමදේම කළ යුත්තේ ඉගෙනගනිමින් කියා මම විශ්වාස කරනවා. අහසින් කඩා පාත් වෙලා වගේ ඔහේ ක්ෂේත්‍රයට ආ අයට පැවැත්මක් නෑ. ගොඩක් අය හිතන්නේ මේ ක්ෂේත්‍රයට එන එක හරි ලේසියි කියලා. නෑ... ඒක හරිම අමාරු වැඩක්. මොකද බොහෝ දෙනා රඟපෑම හරි ලේසියි කියලා හිතුවට ඒක එහෙම නෙවෙයි. ලෝකේ අමාරුම රැකියා ලෙස නම් කළ ක්ෂේත්‍ර දහය ඇතුළත තිබෙන එකක් රංගනය කියන්නේ. ඒ නිසා මම ඉගෙන ගත් දේ මේ ක්ෂේත්‍රයට එන්න කැමැති අයට සහ අලුත් පරපුරට කියා දෙන එක යුතුකමක් කියා සිතුවා.
දශක දෙකකට අධික කාලයක් රංගනයේ නිරත වෙද්දි ඔබ ඒ විෂයය අත්දැක්කේ කෙසේද?
මම පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයේදීත්, මහ නුවර උසස් බාලිකා විද්‍යාලයේදීත් නාට්‍යකරණයට යොමු වුණා. විශේෂයෙන් දහම්පාසල් නාට්‍යවලටත් සම්බන්ධ වුණා. හොඳම නිළිය, හොඳම සහාය නිළිය, (සිනාසී) හොඳම නළුවා වැනි සම්මානත් ලැබුවා. ඒ කාලේ මමත් හිතුවේ රංගනය හරි පහසුවෙන් කළ හැකි දෙයක් කියලා. හැබැයි පසුව ප්‍රායෝගිකව එහි නියැළෙන විටයි අමාරුව වැටහුණේ. රංගනය තිබෙන්නේ සැබෑවත් මායාවත් අතරනේ. ඒ අතර අපි කොහොමද දෝලනය වන්නේ? සොබා දහමේ හැම දේකටම රිද්මයක් තිබෙනවා. ගහක කොළක, සතා සීපාවුන්ගේ වගේම මිනිසුන්ටත් එය පොදුයි. හැබැයි එය එකිනෙකට වගේම එක් එක් මිනිසාටත් වෙනස්. බොහෝ වෙලාවට රංගන ශිල්පී ශිල්පිනීන් උත්සාහ කරන්නේ තමන්ගේ රිද්මයෙන් ඒ සියල්ල දක්වන්න. ඒත් මම උත්සාහ කරන්නේ මගේ රිද්මය චරිතයකට දාන්න නෙවෙයි අදාළ චරිතයේ රිද්මය සොයගන්නයි. අපි අධ්‍යයනය කළ දේවල්, නැරඹූ නාට්‍ය, චිත්‍රපට ආදිය, කියැවූ පොතපත සහ එදිනෙදා සමාජයේ අපට හමුවන විවිධ චරිත ආදියෙහි රිද්මයට අනුකූලවනවා මිස මගේ රිද්මය ඔවුන්ට යොදන්නේ නෑ. ඒ නිසා මම අත්දුටු කාරණයක් තමයි මෙතුවක් කල් මට චරිතයක් කරනවා කියන්නේ පහසු දෙයක් නොවීම. වේදිකා නාට්‍යයක නම් අපි මාස දෙකතුනක් පුහුණු වීම් කරනවා. ඒ කාලය තුළ අපි චරිතවල බාහිර අභ්‍යන්තර හැඩ රිද්මය හොයනවා. ඒත් අද වෙද්දි ටෙලි නාට්‍ය ආදියේ නම් ඒ සඳහා යොදන කාලය අඩුයි. අපි හැම තිස්සේම සාර්ථකත්වයනේ හොයන්නේ. ඒ නිසා රංගන ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව නියැළිලා ඉන්න කෙනෙක් හැටියට මම දකින්නේ රංගනය ඉතාම අපහසු දෙයක් වුණත් ඒ පිළිබඳ අධ්‍යයනය කළොත් එය පහසු කරගන්නත් හැකියාව තිබෙනවා කියායි.
වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව අතර රංගනයේ වෙනස ඔබ දකින්නේ කෙසේද?
ඒ ක්ෂේත්‍ර තුනේම නියැළෙන කෙනෙක් ලෙස මාධ්‍ය අනුව රංගනය වෙනස් වන බව පැහැදිලිවම කිව යුතුයි. වේදිකාවේ රඟපාන විට අප සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් ආමන්ත්‍රණය කරනවා. ඊට අමතරව අපේ මුළු ශරීරයම ප්‍රේක්ෂාගාරයට පේනවා, අප කතා කරන රහසක හඬ වුවත් ශාලාවේ කෙළවරේම ප්‍රේක්ෂකයාටත් ඇසිය යුතුයි. ඒ වගේම එය සජීවී මාධ්‍යයක් නිසාත් ඈතම ප්‍රේක්ෂකයාට අපේ ඉරියවු පෙනිය යුතු නිසාත් අපේ රංගනය තරමක් වැඩියෙන් කළ යුතුයි. එය අධිරංගනයක් නෙවෙයි. තාත්ත්වික බවට තරමක් වැඩි ගතියක් පමණයි. ඒ නිසා වේදිකා රංගනය අමාරුයි. අනෙක නිවැරැදි කිරීමක් කළ නොහැකි නිසා ඉතා කල්පනාකාරී විය යුතුයි. හැබැයි ස්ථානෝචිත ප්‍රඥාව තිබෙන නළුවකුට හෝ නිළියකට යම් වැරැද්දක් වුණත් එය එවෙලේම ප්‍රේක්ෂකයන්ට නොදැනී නිවැරැදි කරගන්නත් හැකියාව තිබෙනවා. මමත් එය කර තිබෙනවා. අපේ ප්‍රවීණ ශිල්පීන් එසේ කරන අයුරුත් මම දැක තිබෙනවා. ටෙලි නාට්‍ය හෝ සිනමාවේ වගේ සමීප රූප ආදිය නැති නිසා හැම විටම මුළු ශරීරයම නිවැරැදිව හසුරුවා ගන්න ඕනෙ.
ටෙලිනාට්‍ය හා සිනමා රංගනයේදී අපේ ස්වාභාවික හැසිරීම අපට ලබා දිය හැකියි. ඒ වගේම ටේක්ස් ඕනෙ ගාණක් ගත හැකි නිසාත් සංස්කරණයෙන් වෙනස්කම් කරගත හැකි නිසාත් වේදිකා රංගනයට වඩා එය බොහෝ වෙනස්. ඒ අතරිනුත් සිනමාව වඩාත් තාත්ත්වික රංගනයක් බලාපොරොත්තු වෙන්නේ විශාල තිරයකට අපේ සියුම් චලන පවා ඉතා හොඳීන් හසුකර ගැනීමට හැකියාව තිබෙන නිසයි.
ඔබ සිනමාවට දැක්වූ දායකත්වය ඉතාම අඩුයි? ඇයි ඒ?
මම දන්නෙත් නෑ ඇයි කියලා (සිනාසෙයි). අතළොස්සකට තමයි දායක වෙන්න ලැබුණේ. ඒත් කාල චිත්‍රපටයේ චරිතය සිනමා උලෙළ දෙකකදීම නිර්දේශ වුණා. සමහර විට සිනමා ක්ෂේත්‍රයේ අය මාව නොදන්නා කම වෙන්නත්පුළුවන්...නැත්නම්... (යළිත් සිනාසී) මගේ මූණ චිත්‍රපටවලට ගැළපෙන්නේ නැද්ද දන්නෙත් නෑනේ.... හැබැයි මම කැමැතියි සිනමාවෙත් විවිධ චරිත නිරූපණයට. ඉදිරියේදී අවස්ථාව ලැබෙයි කියා විශ්වාසයෙන් ඉන්නවා.
ඔබේ කාලය තුළ වේදිකා නාට්‍ය මාධ්‍යයේ හැසිරීම ගැන මොකද හිතෙන්නේ?
අපට කලින් පරම්පරා ගණනාවක් වේදිකා නාට්‍යවල නිරත වුණා. ඔවුන් වේදිකාවේ ස්වර්ණමය යුගය අත්වින්දා. අප කරළියට ආවේ එවන් යුගයක නෙවෙයි. ඒ යුගයේ බිහි වුණු දැවැන්ත චරිත වේදිකාවේ කඩඉම් නිර්මාණවල නිරත වුණා. උදාහරණයක් ලෙස වාර්තා රංගය හඳුන්වා දුන්නේ දයානන්ද ගුණවර්ධනයන්, එය ඉදිරියට ගෙන ගියේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්. ඒත් වර්තමාන පරපුරේ එක නාට්‍යයක්වත් ඒ ක්‍රමය භාවිත කරනවා අප දැක නැහැ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ සිංහබාහු වැනි ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගිය බවක් දකින්නත් නෑ. හැමෝම පාහේ පෙලඹෙන්නේ ස්වාභාවික නාට්‍ය හා පරිවර්තන කෘතිවලටයි. හැබැයි අද පරපුර සැලකුවොත් වෙනත් මානයන් ඔස්සේ වෙනස් නිර්මාණ කළ හැකි පිරිසක් බිහි වී සිටිනවා. එනිසා මට හිතෙනවා අද වන විට වේදිකා නාට්‍ය වෙනස්ම පැත්තකට යොමු වෙලා කියලා. ඒත් පවතින තත්ත්වය සමඟ හැම දේකටම තිත වැටිලා. ඒ දේවල් යථා තත්ත්වයට පත්වන්න කොයි කාලයක් ගත වේද දන්නේ නෑ. හැබැයි අපේ හොඳම වයස ඒ සමඟ ගත වෙනවා.
මේ සමඟ ප්‍රේක්ෂාගාරයේ හැසිරීමත් වෙනස් වෙලාද?
අද ප්‍රේක්ෂාගාරයට රස වින්දනයට යොමු වෙන්න කලින් විශාල ප්‍රශ්නයක් තිබෙනවා එදා වේල සරි කරගන්නේ කොහොමද කියලා. හැබැයි පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය වැනි දේට කලින් ප්‍රේක්ෂකයන් ඉතාමත් උනන්දුවෙන් නාට්‍ය බලන්න පැමිණියා. මම සිටිය වේදිකා නාට්‍ය නම් කොළඹටත් වඩා පිට පළාත්වලදී කවදාවත් ප්‍රේක්ෂකයන්ගේ අඩුවක් දැක්කේ නෑ. බුද්ධිමත් ප්‍රේක්ෂකයා තෝරාබේරාගෙන නාට්‍ය බලන අතර සමහරු ඕනෑම වේදිකා නාට්‍යයක් නැරඹීමට කැමැත්තෙන් හිටයා. හැබැයි හාස්‍යය සඳහාම කියා රැල්ලට තැනුණු සමහර ඒවා නාට්‍යයද කියන්නත් බැරිතරම්.
ටෙලි නාට්‍යවල ගමන් මඟ ගැනත් ඔබට යම් අදහසක් ඇති?
අපි පුංචි කාලේ බැලුව ටෙලි නාට්‍යවල තිබුණේ කොටස් දොළහක් පහළොවක් වගේ සීමිත ගාණක්. කතාව හකුළුවා අවශ්‍ය දේ කතා කළා. සතියකට සැරයක් බලද්දි හරිම කුතුහලයක් තිබුණා. හැබැයි මෙගා නාට්‍ය රැල්ලත් සමඟ නාට්‍යවල තත්ත්වය වෙනස් වුණා. එදා එක් කොටසකට ගෙවූ ලක්ෂහතරහමාරක පමණ මුදල අද හැත්තෑපන්දහස බවට පත්වෙලා. ඒ සමඟම නිර්මාණවල ගුණාත්මකභාවයත් පහළ වැටිලා. නළු නිළියන් අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු හරි ඉක්මනින් ක්ෂේත්‍රයට එනවා. හැබැයි පැවැත්ම කොයි වගේද මම දන්නෙ නැහැ. ඒ අයට නාලිකාවලින් ඉඩ දෙන්නත් වෙලා. හැබැයි ඒ නිර්මාණවල සාරබව විශාල ප්‍රශ්නයක්. මුල් යුගයේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු ප්‍රවීණ බුද්ධිමත් පිරිසක්. අද වෙද්දි තේ හදන්න ක්ෂේත්‍රයට එන කෙනාත් මාස ගණනකදි අධ්‍යක්ෂවරයෙක් වෙනවා නිෂ්පාදකවරයකු සොයාගෙන. ඒකට විසඳුම ලෙස මම දකින්නේ කුමක් හෝ වර්ගීකරණ ක්‍රමයක් ඇති කිරීමයි. අධ්‍යක්ෂවරයකු වන්න නම් මෙවැනි සුදුසුකම් තිබිය යුතුයි කියන ප්‍රමිතියක් ඇති කළ යුතුයි. කිසිම සුදුසුකමක් නැති කෙනකුට අධ්‍යක්ෂවරයෙකු වන්න පුළුවන්ද? කොයිතරම් දේවල් තිබෙනවාද ඉගෙන ගන්න. එහෙම නැතිව එන නිසා තමයි සිල්ලර වෙලා තිබෙන්නේ ක්ෂේත්‍රයම.
රංගන ශිල්පිනියක් වශයෙන් ඔබ අධ්‍යක්ෂවරයකුගෙන් බලාපොරොත්තු වන ලක්ෂණ මොනවාද?
මූලිකවම කැමරා කෝණ ආදිය පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. නළු නිළියන් අධ්‍යක්ෂවරයා වෙත යා යුත්තේ මැටි පිඩක් වගේ. එයින් තමන්ට අවශ්‍ය දේ නිමවා ගැනීමේ හැකියාව අධ්‍යක්ෂවරයාට තිබිය යුතුයි. නළු නිළියන් එසේ නිහතමානී වද්දී ඔවුන්ව කියවා ගැනීමේ හැකියාවත් අධ්‍යක්ෂවරයාට තිබිය යුතුයි. නළු නිළියන්ගේ තරාතිරම, ප්‍රවීණත්වය, හැකියාව මැන ගැනීමට හැකි වන අතරම ක්ෂේත්‍රය පිළිබඳව, බාහිර ලෝකය පිළිබඳ, පොතපතේ දැනුම ආදිය පවා අධ්‍යක්ෂවරයකු සතු විය යුතුයි. ඒ වගේම ඇතැම් අවස්ථාවක ඔහු කියන දේ නළු නිළියන්ට දැනෙන්නේ නැතිනම්, නළුවා හෝ නිළිය කරන යෝජනාවකට ඇහුම්කන් දෙන තරමට ඔහු නම්‍යශීලී විය යුතුයි. සුහදශීලී විය යුතුයි. අනෙක සමහර අධ්‍යක්ෂවරු චරිතය රඟපා පෙන්වනවා. එය වැරැදියි. ඔහු හොඳ රංගශිල්පියකු විය හැකියි, එහෙත් අධ්‍යක්ෂවරයා කියන්නේ තමාගේ මනසේ ඇඳුණු චරිත ලක්ෂණ එය නිරූපණය කරන ශිල්පියා ලවා මතු කරගැනීමට අවශ්‍ය උපදෙස් දෙන්නා මිසක් රඟ පා පෙන්වන්නා නොවිය යුතුයි.
ඇතැම් ප්‍රවීණ දක්ෂ නළු නිළියන් තමන්ට නොගැළපෙන තරමේ දුර්වල නිර්මාණවලට දායක වන ආකාරය අප කනගාටුවෙන් බලා ඉන්න අවස්ථා තිබෙනවා. නිර්මාණයක් තෝරාගැනීමේදී රංග ශිල්පීන්ට තමන්ගේ කීර්තිනාමය පිළිබඳ වගකීමක් තිබිය යුතුයි නේද?
මේ යුගයේ නම් ඉඳ හිට නිර්මාණයක පිටපත සම්පූර්ණයෙන් ලැබුණොත් මිස බොහෝ විට පිටපත ලැබෙන්නේ දර්ශන තලයට ගිය පසුවයි. සමහර විට ඔබ කියූ තත්ත්වය උදා වෙන්න පිටපත හොඳ වුවත් අධ්‍යක්ෂණයේ දුර්වලකම බලපාන්න පුළුවන්. ඇතැම් විට පිටපත හොඳ නැතත් එය කපා කොටා හොඳ කරගැනීමේ හැකියාව අත්දැකීම් සහිත අධ්‍යක්ෂවරයකුට තිබෙනවා. ඒ වගේම නාට්‍යයක් හෝ චිත්‍රපටයක් කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. රංගනය කියන්නේත් ක්‍රියාව හා ප්‍රතික්‍රියාව මත පිහිටන සාමූහික කටයුත්තක්නේ. ඒ නිසා එක් අයකු ඉස්මතු වන්න කියා අධිරංගනයක යෙදුණොත් සමස්ත නිර්මාණයම අසාර්ථක වන්න පුළුවන්. ඒ නිසා සමස්තය සමබරව සිදු විය යුතුයි. අධ්‍යක්ෂවරයා, නළු නිළියන් ඇතුළු අනුශාංගික අංග සියල්ලේ තුලනාත්මක දායකත්වය සාර්ථක නිර්මාණයකට අවශ්‍යයි.
වැඩිමනත් ටෙලිනාට්‍ය කතා එකම වගේ? මෙය කාගේ අඩුපාඩුවක්ද?
මම දකින විදිහට මේ යුගයේ හොඳ පිටපත් රචකයන් සිටිනවා. පසුගිය කාලයේ සමන්ත කුමාර ගමගේ වැනි ශූර රචකයන්ගේ ගිරිදේවි වැනි ජනප්‍රිය වූ හොඳ නිර්මාණ රැසක් දක්නට ලැබුණා. එවැනි රචකයන් තවත් ඕනෑ තරම් ඉන්නවා මට හමුවෙලත් තිබෙනවා. හැබැයි ඔවුන්ට අවස්ථාව තමයි නැත්තෙ කියලයි මට හිතෙන්නේ. හේතුව හොඳ පිටපත් ආවත් ජනප්‍රිය රැල්ලට සමහරු නතු වෙලා නිසා නිර්මාණාත්මක පිටපතකට වඩා ජනප්‍රිය කරගන්න පුළුවන් පිටපත් තෝරාගන්න නිෂ්පාදකවරු යොමු වෙලා තිබීමත් එයට බලපානවා.
වර්තමාන පරපුරේ නළු නිළියන් ඔබ දකින්නේ කොහොමද?
මම කලිනුත් කීවා වගේ ක්ෂේත්‍රයට ගොඩාක් පිරිස එකතු වෙනවා. ඒ තරුණ තරුණියන් සියලු දෙනාටම අවශ්‍ය වන්නේ තමන්ගේ ලස්සන කැමරාව ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න විතරයි. චරිතයකට ආවේශ වෙලා එය නිරූපණය කරන්න බොහෝ දෙනෙක් මැළියි. එනිසා ඔවුන් සාමාන්‍ය ජීවිතයේ හැසිරෙන ආකාරය සහ කැමරාව ඉදිරියේ හැසිරෙන ආකාරය බොහෝ දුරට සමානයි. හැබැයි නම් වශයෙන් කීවොත් අනුරාධා එදිරිසිංහ වැනි ශිල්පිනියන් චරිතය සොයා යන්න බොහෝ වෙහෙසෙනවා. අපට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ශිල්පිනීන් ගත්තොත් ඒ අයගේ රූප ස්වභාවයන් පවා එකිනෙකට වෙනස්. ඒ නිසා මම නව පරපුරෙන් ඉල්ලන්නේ තමන්ගේ ස්වරූපය චරිතයෙන් චරිතයට වෙනස් කරගන්න. හැමදාම තමන්ගේ බාහිර රූපයෙන් වගේම අභ්‍යන්තරයෙනුත් චරිතයකට ප්‍රවිෂ්ට වෙන්න. රඟපෑම කියන්නේ ලස්සන පමණක්ම නෙවෙයි. පෙනී සිටීමත් නෙවෙයි. අද වෙද්දි හැමෝම එක වගේ. එකම මෝස්තරයෙන් කොණ්ඩ හදාගෙන, හැමෝම සුදුයි, අඳීන්නෙත් එක විදිහට. ඒවා වෙනස් කරගෙන වෙනස් වෙන්න රඟපාන්න අවශ්‍ය නම්.
රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටීමට කාන්තාවන් වීම ප්‍රශ්නයක්ද?
මේ ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයෙන්, විෂයය ඉගෙනගෙන කාටවත් බලපෑමක් කරන්න බැරි වන ආකාරයෙන් තමන් හැසිරුණොත් කාගෙන්වත් ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ. අපි හරියට හිටියොත් සහ තමන්ගේ දක්ෂතාවය තිබෙනවා නම් වෙන ක්‍රම සොයන්න අවශ්‍ය වන්නෙත් නැහැ. දක්ෂයන්ව නිර්මාණයකට දායක කරගන්න කවුරුත් බය වන්නෙත් නෑ. ඒ වගේම තමන්ගේ ගෘහ ජීවිතය සහ නිර්මාණ ජීවිතය නියමාකාරයෙන් කළමනාකරණය කරගත්තොත් අපට සැලසුමක් ඇතිව ගමන යන්න පුළුවන්. ගෙදර පුතාගේ වැඩ, උයන පිහන වැඩ ඇතුළු සියල්ල කෙරෙන්නේ මගේ අතින්. කාලය සහ මුදල් පිළිබඳවත් කාන්තාවන්ට හොඳ කළමනාකරණයක් තිබිය යුතුයි. මට ඒ දැනුම ලැබුණේ මගේ මවුපියන්ගෙන්. මටයි අක්කටයි මල්ලිටයි අම්මයි තාත්තායි අපේ ගෙදර අමාරුකම් පෙන්නුවා. ඒ නිසා අපි පස්දෙනා අතර හොඳ අවබෝධයක් අපි ගැනම තිබුණා. අපට යමක් ගෙනැත් දුන්නොත් මිස අපි කවදාවත් යමක් ඉල්ලා අම්මට තාත්තට කරදර කළේ නැත්තේ ඒ අවබෝධය නිසා. කුඩා කල සිටම ගැහැනු පිරිමි භේදයකින් තොරව දරුවන්ට ඒ කළමනාකරණය ඉගැන්විය යුතුයි.
ඔබේ පුතා, චමිඳු තේමිය රත්නායකත් කලා කටයුතුවලට සම්බන්ධයි?
ඔව්... ඔහු නාලන්දා විදුහලේ මේ වසරේ උසස් පෙළ කරන සිසුවෙක්. ඔහු සංගීතය, ජනමාධ්‍ය සහ නාට්‍ය හා රංගකලාව හදාරන්නේ. ඔහුගෙන් මගේ කලා කටයුතුවලට සහාය වෙනවා. පුතාත් නාට්‍යයක් කරලා යෞවන සම්මාන උලෙළේ අවසන් වටයටත් තේරුණා. කලා අංශයෙන් ඔහුගේ ඉදිරි ගමනක් මටත් පේනවා. මගේ එකම බලාපොරොත්තුව පුතා හොඳ මනුස්සයෙක් කිරීමයි.
මිනිසෙක්ට කලාව අත්‍යවශ්‍යද?
මම හිතනවා කලාව ඇසුරු කරන පුද්ගලයා පරිපූර්ණයි කියලා. වෙනත් ක්ෂේත්‍රවල රැකියා කරන අය පුදුම පීඩනයකින්, තරහකින් වැඩ කරන හැටි අපි දකිනවා. හැබැයි අපි කැමැති චිත්‍රයක්, ගීතයක්, නාට්‍යයක්, ටෙලි නාට්‍යයක් වැනි කුමක් හෝ කලා මාධ්‍යයකට සිත යොමු කළ ගමන් විශාල සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ නිසා සෑම මනුෂ්‍යයෙක්ම කලාව සමඟ කෙටි කාලයක් හෝ ගත කළොත් සිතට සැනසීමක් දැනෙනවා. ඒ වගේම අද විවිධ පෝලිම්වල හිඳීමින් අවේගයෙන් ගෙවන ජිවිතවලටත් යම් සහනයක් ගෙනෙන්න කලාවට යොමු වීම ලොකු පිටිවහලක් වෙනවා.
ඡායාරූප - චමිඳු තේමිය