දැඩි පුරුෂාධිපත්‍යයිකවූත්, පීතෘමූලිකවූත් ස්වරූපයක් දරන “රානා” නමැති මධ්‍යම පන්තික කුටුම්භය අතිශය සංකීර්ණ ස්වභාවයක හැඩය ගනියි. මෙම පවුල වාසය කරන්නේ පාකිස්තානයේ ලාහෝර් නුවරයි. පවුලේ පියා වන වයෝවෘද්ධ වූ ‘අබ්බා’ වෙත පුතුන් දෙදෙනකි. ඒ “හෛදර්’ සහ “සලීම්” ය. සලීම් විවාහපත්ව සිටින අතර ඔහුට දියණියන් සිව්දෙනෙකි. සලීම්ගේ පියා වන අබ්බා මිනිපිරියන්ට කැමති නැත. පියා වූ අබ්බාගේ දැඩි මතය වන්නේ තම පවුලේ අනාගත පැවැත්ම රැඳී ඇත්තේ පිරිමි දරුවෙකුගේ උපත මත හෙවත් මුනුපුරෙක් තම පවුලට අනිවාර්යයෙන්ම සිටිය යුතු බවයි. මුම්ටාස් සමඟ විවාහව සිටින පවුලේ බාලයා වු හෛදර් අහිංසක තරුණයෙකි. සංවේදී චරිතයකි. ඔහුට දැනටමත් ස්ථීර වූ රැකියාවක් නොමැති අතර ඔහුගේ ආශාව පවතින්නේ නර්තන ශිල්පියකු වීමටයි.
හෛදර් විසින් තම වෘත්තිය ලෙස තෝරාගත් නර්තන කණ්ඩායමක ශිල්පියකු ලෙස වෘත්තියේ යෙදෙනවාට තම පියා කැමැති නැත. හෛදර් ඒ නිසාවෙන් තම පියාට බොරු කියයි. හෛදර්ගේ බිරිඳ වූ මුම්ටාස් පවසන්නේ රැකියාවෙන් ඉවත් වන ලෙසයි. නමුත් හෛදර්ට මෙම නර්තන කණ්ඩායමෙි සිටින “බීබා” නම් අතිශය රූමත් සංක්‍රාන්තික ලිංගික යුවතියක් හමු වෙයි. ඇය රංගන ශිල්පිනියකි. බැලූ බැල්මට දෙවරක් ආපසු හැරී බලන්නට සිතෙන රූමත් බීබා සහ හෛදර් ප්‍රේමයෙන් බැඳෙති. බීබා ද හෛදර්ට ආදරය කරයි.
බීබාගේ හමුවීම හෛදර්ට තම පවුල් ජීවිතය විශාල වපර්යාසයන්ට තුඩු දීමට හේතුවක් බවට පත් වෙයි. එක් පසෙකින් හෛදර්ගේ බිරිය මුම්ටාස්ගේ ලිංගික ජීවිතය කඩා වැටෙයි. හෛදර් සිටින්නේ බීබා සමඟ බව මුම්ටාස් දන්නේ නැත. මුම්ටාස් සුවිශාල හුදෙකලාවට හසු වෙයි. මුම්ටාස් විසින් තම නෑනාට විටෙක පවසන්නේ ‘මට මෙතනින් පැන යන්නට සිතෙනවා’ යැයි තම සිතෙහි පවතින දැඩි කලකීරිම්සහගතබව ප්‍රකට කරමින්. හෛදර්, මුමිටාස් සහ බීබා යන පුද්ගල ත්‍රිකෝණය මත චිත්‍රපටයේ කතාව කේන්ද්‍රය බවට පත් වෙයි. 2022 තිරගත වූ “Joyland” පාකිස්තාන චිත්‍රපටයේ සාරංශයයි මේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ‘Saim Sadiq’ ය. ‘ජෝයිලෑන්ඩ්’ සලීම්ගේ කුලුඳුල් වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය ද වෙයි.
චිත්‍රපටයේ කැමරාකරණය අංශය තුළ මඳක් සෙලවෙන රූප රචනයකින් සමන්විත වෙයි. හස්තගත කැමරා (Handhelding camera) කෝණවලින් චිත්‍රපටයේ කතාව ලැබෙන තීව්‍රබව වැදගත් වේ. එහි අරමුණ ජීවිතය සහ චරිතවල ඇති චලනය වීම නිරූපණය කිරීමයි.’Joyland’ චිත්‍රපටය පාකිස්තානයේ තහනම් වීමට ගිය චිත්‍රපටයකි. නමුත් පාකිස්තානයේ වාරණ මණ්ඩල සමාලෝචන කමිටුව විසින් අවසානයේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා අනුමත විය. කෙසේ වෙතත් තවවනතුරු චිත්‍රපටය
කතාව සඳහා පසුබිම් කරගත් පන්ජාබ් ප්‍රදේශයේ තහනමට ලක්ව තිබීම විමතියදනවන සිදුවීමකි. ‘Joyland’ සිනමාපටය හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය සඳහා 95 වන ඇකඩම් සම්මාන උලෙළෙහි පාකිස්ථානයේ නියෝජනය විය. 2022 මැයි 23 වන දින සුප්‍රකට කෑන්ස් චිත්‍රපට උලෙළේදී ප්‍රදර්ශනය වූ ‘Joyland’ චිත්‍රපටය නැරඹු ප්‍රේක්ෂකාගාරය ඉතා හැඟීම්බර වූ අතර මිනිත්තු 8ක අත්පොළසන් නාදයක් මෙම චිත්‍රපටයට හිමි විය. කෑන්ස් චිත්‍රපට උළෙලේදී මංගල දර්ශනය වූ පළමු පකිස්ථාන චිත්‍රපටය බවට ‘Joyland’ පත්විය. එහිදි හොඳම LGBTQ චිත්‍රපටය සඳහා වන ‘ක්වීර් පාම්’ සම්මානය ද ‘Joyland’ දිනා ගත්තේය.
ජමාත්-ඊ-ඉස්ලාමි දේශපාලන පක්ෂයේ සෙනෙට් සභික ‘මුෂ්තාක් අහමඩ් ඛාන්’ විසින් චිත්‍රපටය “පාකිස්ථානයේ සංස්කෘතික වටිනාකම්වලට පටහැනි” බවට චෝදනා කළ අතර, පාකිස්ථානයේ සංක්‍රාන්ති ලිංගිකයන් මෙන්ම ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතා නිරූපණය කිරීම අපගේ විශ්වාසයන්ට සෘජු ප්‍රහාරයක්” බව ප්‍රකාශ කළේය. මෙම තහනම දැඩි විවේචනයට ලක් වූ අතර #ReleaseJoyland යන හැෂ් ටැගය සමාජ මාධ්‍යවල සංසරණය විය. ඉන්ස්ටග්‍රෑම් සටහනක අධ්‍යක්ෂ සයිම් සාදික් ලීවේ තමා සහ ඔහුගේ චිත්‍රපට කණ්ඩායම විසින් මෙම තහනම පිළිබඳ දැඩි සේ කම්පාවට පත් වන බවත් එය “සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී” බවත් ය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන නිළිය වන ඇලිනා ඛාන් පැවසුවේ “ඉස්ලාමයට එරෙහිව කිසිවක් චිත්‍රපටයේ නොමැති අතර හුදෙක් චිත්‍රපට මඟින් ඉස්ලාමය අනතුරේ හෙළන්නේ කෙසේදැයි මට තේරෙන්නේ නැත” යනුවෙනි. Variety සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියකදි චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරියක් ද වන නොබෙල් ත්‍යාගලාභී මලාලා යූසාෆ්සායි මෙසේ පැවසීය.
“ජොයිලන්ඩ් යනු පාකිස්තානයේ එහි සංස්කෘතිය, ආහාර, විලාසිතා යන සියල්ලටම වඩා එහි ජනතාවට වෙත නිකුත් කළ ආදර ලිපියක් වගේ. පාකිස්තානු සිනමාකරුවකු විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් දැන් අපගේ රටේ තහනම් කර තිබීම කෙතරම් ඛේදජනකද යත් එය “අපේ ජීවන රටාව නියෝජනය නොකරන” හෝ “අපේ රටේ නිෂේධාත්මක ප්‍රතිරූපයක් නිරූපණය නොකරයි” යන ප්‍රකාශ නිසා එය වඩාත් කලකිරවනසුලු තත්ත්වයක්. චිත්‍රපටය මිලියන සංඛ්‍යාත සාමාන්‍ය සිවිල් වැසියන්ගේ නිදහස සහ බලාපොරොත්තු ඉටුවීම සඳහා ආශා කරන පුද්ගලයින්ට, ඔවුන් ආදරය කරන අය වෙනුවෙන් සෑම දිනකම ප්‍රීතිමත් අවස්ථා නිර්මාණය කරන පුද්ගලයින්ගේ යථාර්ථය පිළිබිඹු කරන චිත්‍රපටයක් මිස පාකිස්තානයට විරුද්ධ චිත්‍රපටයක් නොවේ.”
‘ජෝයිලෑන්ඩ්’ චිත්‍රපටය පුරා පුරුෂාධිපත්‍ය විසින් ගිලගත් බවට සංඥා කරන බීබා, මුම්ටාස් සහ හෛදර් යන පශ්චාත්තාපී හදවත් ඇත්තන්ගේ අභ්‍යන්තර මානසික ගැටුම පිළිබඳ විවර කරයි. ආත්ම පශ්චාත්තාපය පිළිබඳ ආවර්ජනයක් වනවා සේම මැද පාන්තික සමාජයේ පැතිකඩක් ද වෙයි. පුරුෂයෙකුට පුරුෂත්වය තුළ හිමිවන වරප්‍රසාද කාන්තාව කාන්තාවක් වීම නිසා අහිමි වීම අසාධාරණ බව සහ කාන්තාව වින්දිතභාවයට (Victimize) ලක්වන ආකාරය පිළිබඳ තතු “මුම්ටාස්” සහ “බීබා” විසින් මතු කරයි. පවුල් සම්බන්ධතාවයෙන් බැට කන මුමිටාස් තමා අවට ඇති ලෝකයෙන් ආදරයත්, නිදහසත් අපේක්ෂා කරයි. මුම්ටාස් සහ හෛදර්ගේ අනෙකා විසින් සිරගත කළ ආත්මය නිදහස් වන්නේ මරණය තුළම බව “Joyland” චිත්‍රපටය තුළ සලකුණු කරන්නේ දිවියේ දැඩි අසාර බව මෙයම බව සංඥා කරමින්. “Joyland” යනු මෑතක නැරඹු බුද්ධිමය සහ භාවමය කම්පනයක් ඇති කරන සිනමා කෘතියකි. එය මා කෙරෙහි ඇති කළ කම්පනය සුළුපටු එකක් නොවන බව කිව යුතුමය.
imalkamalintha@gmail.com
මලින්ත විතානගේ