දැන් රාත්‍රි 7.30 සිට 10.00 දක්වා ශිවාගේ කාලයයි

ජයප්‍රකාශ් ශිවගුරුනාදන්
මැයි 12, 2022

 

සාර්ථකත්වයේ රහසඇහු‍ම්කන්දීම සහ සාකච්ඡාවයි

නාඩගම්කාරයෝ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් පිළිබඳ අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. ඔහු දශක තුනකට අධික කාලයක් පුරා සිනමාවේ හා රූපවාහිනියේ ප්‍රවීණයන් සමඟ කටයුතු කරමින් ලද අත්දැකීම් සමඟ ඔහුගේම ආරක නිර්මාණවලින් රසික හදවත් දිනා ගැනීමට සමත් වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. මේ දිනවල විකාශයවන පාර දිගේ, පාරවසා ඇත. කොළඹ ඉතාලිය සහ නාඩගම්කාරයෝ ඔස්සේ ඔහු රසික හදවත්වලට ආමන්ත්‍රණය කරයි. වත්මන් ටෙලිනාට්‍ය කලාව හා ඔහුගේ නිර්මාණ පිළිබඳ සරසවියට ඔහු දැක් වූ අදහස් මෙසේ සටහන් කරමු.

 

 

මේ දිනවල ඔබ බොහෝ කාර්යබහුලයි?

මගේ ටෙලි නාට්‍ය හතරක් විකාශය වෙනවානේ. ස්වර්ණවාහිනියේ හතහමාරට පාර වසා ඇත. අටහමාරට පාර දිගේ නවයහමාරට නාඩගම් කාරයෝ සහ ස්වාධීන රූපවාහිනියේ රෑ නවයට කොළඹ ඉතාලිය මේ නාට්‍ය හතර සමඟ තමයි කාලය ගෙවෙන්නේ මේ ටිකේ.

නාඩගම්කාරයෝ වඩාත් ජනාකර්ෂණීය ටෙලි නාට්‍යය ලෙස සම්මාන ලැබුවා. ඔබේ අනෙක් ටෙලි නාට්‍යයත් ජනපි‍්‍රයයි. බොහෝ දෙනා චෝදනා කරන පේ‍්‍රක්ෂක රසඥතාව පිළිබඳ ඔබේ හැඟීම කුමක්ද?

ලංකාවේ පේ‍්‍රක්ෂාගාරය පිළිබඳ කතා කරන්න අපහසු එය ක්ෂණිකව වගේම ශිඝ්‍රයෙන් වෙනස් වන එකක් නිසා. ඒත් පසුගිය අවුරුදු විස්සක කාලය සැලකුවොත් ඒ ඒ කාලවල මම තැනුව ටෙලි නාට්‍ය ඒ ඒ කාලවලදී ජනපි‍්‍රයම නිර්මාණ බවට පත් වෙලා තිබෙනවා. අනෙක පසුගිය වසර දහ දොළහ තුළ පැවැත් වුණු ටෙලිනාට්‍ය සම්මාන උලෙළවල ජනපි‍්‍රය ටෙලි නාට්‍ය පහ ඇතුළත මගේ ටෙලි නාට්‍යයක් පැවතුණා. හැබැයි නාඩගම්කාරයෝ තරම් උච්චස්ථානයකට ජනපි‍්‍රයත්වය පැමිණි නාට්‍යයක් නම් තිබුණේ නැහැ. ඒකට හේතුව මම දන්නෙත් නැහැ. මම දන්නේ අනෙක් නාට්‍යවලට සලකන ආකාරයෙන්ම මට මෙයටත් සැලකූ බව පමණයි. සමහරු පළිඟු මැණිකේ සමඟ මෙය සසඳන්න උත්සාහ කරනවා. ඒ ගැන මම කියන්න දන්නේ නැහැ. මම එය හොයලත් නැහැ. කොහොම වුණත් මේ අසීමිත ජනපි‍්‍රයත්වය හා ලංකාව පුරා පේ‍්‍රක්ෂකයන් මෙය නැරඹීම සම්බන්ධව මට සතුටක් තිබෙනවා.

සමහර ටෙලි නාට්‍යවල ගුණාත්මකබව පිළිබඳ, වස්තුබීජවල ඒකාකාරීත්වය පිළිබඳ චෝදනා ගැන ඔබට මොකද හිතෙන්නේ?

මට එහෙම නොවෙන්න කාරණය තමයි මම ටෙලි නාට්‍යයක් රූගත කරන්න එකඟ වන්නේ ඒ කතාවට මම කැමැති වුණොත් පමණයි. ඒ කැමැත්ත ඇතිවෙන්න කතාවේ මට අරුමැසියක් විශේෂත්වයක් තිබිය යුතුයි. මොකද ටෙලි නාට්‍යයක රචකයාට පසු පළමු රසිකයා වන්නේ අධ්‍යක්ෂවරයා, තිර කතාව රූගත කරන විදිහ, එය පේ‍්‍රක්ෂකයාට දැනෙන්න මවන විදිහ මැවෙන්නේ මගේ ඔළුවේ. ඒ මැවෙන දේට කැමැති නම් පමණයි මම නාට්‍යය කරන්නේ. එහිදී වෙනස් වූ අපුර්ව දේ තෝරා ගැනීම විය හැකියි, ඔබ ඔය කියන චෝදනා වලින් මාව ගලවා ගන්නේ කියා මම හිතනවා.

ඒ වෙනස් දේ මුලින්ම හඳුනාගත යුත්තේ කවුද?

එය මුලින්ම කළ යුත්තේ නම් තිර කතා රචකයා තමයි. ඒ වෙනස කිරීමේ අවශ්‍යතාව සද්ධා මංගල සූරියබණ්ඩාරටත් මටත් තිබෙන නිසා තමයි අපේ නාට්‍ය ජනපි‍්‍රය වෙනවා ඇත්තේ. සාමාන්‍යයෙන් මේ කාලවකවානුව තුළ කෙනකු ජනපි‍්‍රය වූ විට ඔහු හෝ ඇය වෙත ටෙලි නාට්‍ය ගලා ඒම සාමාන්‍ය ස්වභාවයක්නේ. එය මටත් පොදුයි. එහෙත් මම ඒ බොහෝ කතා අධ්‍යක්ෂණයට පෙලඹෙන්නේ නැත්තේ කතාව අහද්දීම ඕලාරිකයි, මගේ සිතේ පිබිදීමක් ඇති වන්නේ නැහැ. මම කොහේ හෝ කියවා තිබෙනවා මේ ලෝකේ තිබෙන්නේ තේමාවන් 80යි කියලා. උදාහරණයක් හැටියට උම්මග්ග ජාතකයේ දරු ප්‍රශ්නයක් තිබෙනවා. එහි කියැවෙන්නේ වැදු මව වැදගත් බව. ඊට වසර සිය ගණනකට පසු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලියනවා හුණුවටයේ කතාව. එහි තිබෙන්නෙත් දරු ප්‍රශ්නයක්. හැබැයි කියන්නේ හැදූ මව වැදගත් කියලා. එකම වස්තුබීජයේ දෙපැත්තක්. ඉතින් ලෝකයේ අප අතපත ගාන්නේ එකම අනුභූතීන් කීපයක්. එහෙත් අප එහි දකින චමත්කාරයයි වැදගත්. කිසි කෙනෙක් බ්‍රෙෂ්ට්ට කියන්නේ නැහැනේ උම්මග්ග ජාතකෙන් ඒ වස්තුබීජය කොපි කළා කියලා. අන්න ඒ අරුමැසිය තමයි තිරකතා රචකයාගෙන් මම බලාපොරොත්තු වන්නේ.

එයින් මම කියන්න උත්සාහ කළේ ලංකාවේ තිර කතාවල ප්‍රශ්නයක් අනිවාර්යයෙන් තිබෙන බව. ලංකාවේ තිරකතා රචකයන් ඇත්තෙන්ම නැති තරම්. තිරකතා රචකයකු කියන්නේ වෙන මානයකින්, කෝණයකින් යමක් ගැන සිතිය යුතු කෙනෙක්. එහෙම හිතන පිරිස ලංකාවේ හරි අඩු වී තිබෙන්නේ. එය ප්‍රගුණ කරන්නට ඇති අවස්ථාව අඩු නිසා ද? මම දන්නේ නෑ. මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන තෙළිඟු හෝ මලයාලම් චිත්‍රපට නරඹනවා නම් ඔවුන් ඒ වස්තුබීජ උකහා ගන්න විදිහ ඒවා ගොඩනගන විදිහ ගැන අපට දකින්න පුළුවන්. ඒ අතින් මම වාසනාවන්තයි. සද්ධාමංගල වැනි තිර රචකයකු සමඟ කටයුතු කරන්නට ලැබීම. සද්ධාටත් ඕනේ වෙන මානයකින් යමක් දෙස බලා මිනිස්සුන්ට කම්මැළි නොවන එපා නොවන දේවල් හිතන්න ලියන්න. ඒ නිසා තමයි සද්ධාගෙයි මගෙයි සුසංයෝගය ජනතාටවත් ආකර්ෂණය වන්නේ කියලා හිතෙනවා.

ඔබ කියූ පරිදි වෙනස් මානයකින් වස්තුබීජයක් දෙස බැලීමට තිර කතා රචකයන්ගේ අවධානය අඩු වී ඇත්තේ කුමන හේතුවක් නිසා ද?

එයට නිශ්චිත පිළිතුරක් දීමට අපහසු වුණත් මට හිතෙන කරුණු කීපයක් තිබෙනවා. එකක් නම් අපි වස්තුබීජයක් ගැන හිතන විට අපට මහ විශාල සංස්කෘතික පවුරක් තිබෙනවානේ. එය රටේ වගේම නාලිකාවලත් ප්‍රකටව දකින්න ලැබෙනවා.

අරක්කු බොනවා පෙන්වන්න බෑ. ගෑනියක් හොර මිනිහකු සමඟ හෝ මිනිහෙක් හොර ගෑනියක් සමඟ සම්බන්ධතා පවත්වන්න බෑ. අපි ඉන්නේ හරියට එහෙම දේවල් සිද්ධ වෙන්නේ නෑ වගේනේ. අපි හරි ලොකු බොරු සදාචාරයක් මවාගෙන ජීවත් වෙන පිරිසක්.

දෙවැන්න තමන් ලියන පළමුවෙනි තිර කතාවෙන් රචකයාට ඕනෙ වෙනවා, තමාගේ ජීවිතේ වින්ද අත්දැකිම් සියල්ලම කියලා ඉවර කරන්න. මට දොස්තරලාගෙන් පත්තර කාරයන්ගෙන්, සමාජයෙන් වෙච්ච සියලුම අසාධාරණකම් මේ එක කතාවෙන් කියන්න බෑ. තිර කතාකරුවන් වරද්දගන්න තැන ඕක තමයි. කතාව විසිරෙන්නේ නැතිව එක අරමුණකට අදාළ දේ පමණක් කියන්න ඕනේ. ඒ වගේම අනෙකාගේ මතය ඉවසන්න පුළුවන් විය යුතුයි. නිදසුනක් ලෙස සද්ධාමංගල මට ලියා එවන යම් කරුණක් මගේ මතයට විරුද්ධ හෝ එකඟ විය නොහැකි දෙයක් කියා හිතමු. ඒත් මම ඒ මතයට ගරු කරලා රූගත කරනවා. මොකද ලෝකේ හැම තිස්සේම තමන්ගේ මතය විතරක් නිවැරදි වන්නේ නෑ. අනෙක තිරකතා රචකයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් නිතරම සිටගත යුත්තේ ජනතාවගේ පැත්තේ. එහෙම කෙනකුට දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් දිනවන්න ඕනේ කියලා දෙයක් නෑ. සෑම කෙනෙකුම දේශපාලන සත්ත්වයෙක් වුවත් තමන් අදහන දේශපාලන මතවාදය පමණක් ගෙන එන්න බෑ. ඊට විරුද්ධ මතවාදයක් ගෙන එන්න ඕනේ. පොදු ජනතාව වෙනුවෙන් අපි කරන්නේ කුමක්ද කියන දෙයයි වඩාත් වැදගත් වන්නේ.

නිර්මාණවල ගුණාත්මකභාවය ගැන කතා කරන සමහරු චෝදනා කරන්නේ අධ්‍යක්ෂවරුන්ට?

ඇත්තෙන්ම මට නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ මම ප්‍රවීණයන් ලෙස හඳුන්වන අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරලා මේ ක්ෂේත්‍රයට ආ කෙනෙක්. අනෙක මට වුවමනා දේ තමයි මම තිරයට ගෙන එන්නේ. ඒ ගැන මට අවබෝධයක් තිබිය යුතුයි. අප දෙදෙනාගේ මේ කතාව රූගත කරනවා නම් ඔබේ දෙබස වැදගත් කියා හිතෙනවා නම් එය දුර රූපයකින් පෙන්වා වැඩක් නැහැනේ. සාමාන්‍යයෙන් පිටපතේ දර්ශනයක් කිය වූ විට එහි රූප ඡේදනය විය යුත්තේ කෙසේ ද කියලා ඔළුවේ මැවෙන්න ඕනේ. ඉන්පසු නළුවාට හෝ නිළියට මට ඒ චරිතයෙන් ඒ අවස්ථාවේ ලබා දිය යුතු හැඟීම ඊට පෙර කතාව හා පසු කතාවට අනුව තීරණය කළ යුතුයි.

මම බොහෝ වේලාවට කරන දෙයක් තමයි මේ දේ සිදු වුණොත් ඔබට කේන්ති යයි ද දුක හිතෙයි ද කියා අදළ නළු නිළියන්ගෙනුත් විමසීම. එවිට ඔවුන්ගේ පිළිතුරත් මම සලකා බලනවා. එයට ඔවුන් දෙන හේතු කාරණා විමසනවා. ඒවා සාධාරණ නම් මම ඒ අදහසට හිස නවනවා. නැත්තම් සුළු තර්කයක් ගොඩනැගීමෙන් වඩා සුදුසු හැඟීම තෝරා ගන්නවා. ඒ එකඟතාවයෙන් ගොඩනැගෙන හැඟීම පේ‍්‍රක්ෂකයාගේ මනසට ගෙන යන්න උචිත රූපරාමු පෙළක් හා ඒවා ඛණ්ඩනය කරගන්න ඕන විදිහ පිළිබඳ තමන්ගේ දැනුම අනුව අධ්‍යක්ෂවරයා කැමරා ශිල්පියාට දැන් වූ විට පහසුවෙන් රූගත කිරීම් කළ හැකියි.

ඔබ බොහෝ අලුත් නළු නිළියන්ට ඉඩ ලබා දෙන බව පේනවා?

අලුත් අය බහුතරයක් වේදිකාවෙන් හෝ දක්ෂතා පදනම් කරගෙන තෝරගත් ශිල්පීන් මෙහිදී වැදගත් වන්නේ අලුත් ද පරණ ද කියන දේ නෙවෙයි. තමන් කරන කාර්යය කුමක්ද කියා අවබෝධ කර ගැනීම අද බොහෝ තරුණ පිරිස්වලට තිබෙන ගැටලුව ඇහුම්කන් නොදීම. අධ්‍යක්ෂවරයා තමන්ට දෙන උපදෙසට ඇහුම්කන් දීලා ඉන්පසු තමන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම බොහොත්ම වැදගත්නේ.

මම විශ්වාස කරන විදිහට මගේ යම් සාර්ථකත්වයක් තිබෙන බව රසිකයන් කියනවා නම් එයට එකම රහසත් ඇහුම්කන් දීම සහ සාකච්ඡාවයි. බොහෝ තරුණ පිරිස තමන් කැමැති චරිත, හෝ කියවා මවාගත් චරිත තමන් කැමැති නළු නිළියන්ට ආදේශ කරගෙන රඟපාන්න උත්සාහ කරනවා. එය අධ්‍යක්ෂවරයා කැමැති දේ නොවිය හැකියි. නළු නිළියන්ට බැහැ පුර්ව නිගමන වල එළඹීගෙන චරිත නිරූපණය කරන්න. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දේ රංගන ශිල්පීන් විසින් ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා නළු නිළියන්ටත් විවෘත මතයක් පුළුල් දැක්මක් සහ සමාජ අත්දැකීම් බහුලව තිබීම වැදගත්.

ඔබ සමඟ කටයුතු කරන නවක පිරිස පිළිබඳ ඔබේ අදහස?

බහුතරයක් පිළිබඳ ප්‍රසාදයකුත් බහුතරයක් පිළිබඳ අප්‍රසාදයකුත් තිබෙනවා. එයට හේතුවත් මුලින් කී ඇහුම්කන් දීම සහ සාකච්ඡාව සඳහා උනන්දු නොවීම, අර තිරකතා රචකයන් වගේම නළු නිළියන්ටත් තමන් දන්න, තමන් කැමැති නළු නිළියන් සියලු දෙනාගෙම චරිත එකවර නිරූපණය කරන්න බෑනේ. වික්‍රම්, කමල්හසන්, මාලන් බ්‍රැන්ඩෝ මේ ඔක්කෝම එක ටෙලි නාට්‍යයක එක චරිතයකින් නිරූපණය කරන්න බෑනේ. ඒ අයගේ චරිතවලින් අපි ව්‍යුත්පත්තියක් ලබලා ඒ ඔස්සේ අපේ චරිතයයි ගොඩනඟන්න ඕනේ. මම ලෙස්ටර් මහත්තයාට කැමැති වුණාම හෝ ධර්මසිරි බණ්ඩාරනායක වසන්ත ඔබේසේකර ප්‍රසන්ත විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න ජයකොඩි වගේ මහත්තුරු එක්ක වැඩ කරලා තිබුණාට ඒ අයගෙන් යමක් ඉගෙන ගත්තට මම මගේ අනන්‍යතාවයෙන්නේ මගේ නිර්මාණ කළ යුත්තේ...

මෙගා ටෙලි නාට්‍ය ගැන ඔබේ අදහස?

මමයි සද්ධායි දෙන්නම කැමැති කතාවක උච්ඡතම අවස්ථාවෙන් නවත්වන්න. ඒත් ටෙලිනාට්‍යයක පාර්ශ්ව හතරක් ඉන්නවානේ. අධ්‍යක්ෂ, තිර කතා රචක නිෂ්පාදක හා නාලිකාව තමයි ඒ. අපි කිව්වට මෙය අධ්‍යක්ෂවරයාගේ කලාව කියලා අපට වැඩ කරන්න සිදු වී තිබෙන්නේ අධ්‍යක්ෂවරයා ගේ අභිමාර්තාර්ථයට පමණක් නොවෙයි. වෙළෙඳපොළ තිබෙන ගනුදෙනුව සමඟ පාර්ශ්ව හතරම එකඟවන ආකාරයට ගනුදෙනු කළ යුතුයි. එකම දේ අපි කළ අග්නි පියාපත්, හාර කෝටිය, කෝටිපතියෝ, අඟුරු සිත්තම් වැනි නාට්‍ය එකක්වත් ප්‍රෙ‍්‍ර්ක්ෂයන්ට එපා වෙලා ප්‍රතික්ෂේප කරන තැනකට ආවේ නෑ. මෙගා කියන්නේ ඉලක්කම් සමගනේ අපි. අපේ ටෙලි නාට්‍ය කර්මාන්තය පටන් ගන්නේ කොටස් 12 - 14 බැගින්. ඒ කාලේ කොටස් හතළිහක් පනහක් කියන්නේ මෙගා වගේ. දැන් කාලේ කොටස් හැට හැත්තෑව මෙගා නෙවෙයි සියයක් දෙසීයක් කළාම මෙගා. ඒ නිසා දක්ෂකම තිබෙන්නේ මෙගා ද නැද්ද කියන එක නොවෙයි පේ‍්‍රක්ෂකයා ප්‍රතික්ෂේප කරන තැනකට නොගොස් නාට්‍යයක් ඉවර කරගන්න පුළුවන් ද කියන එකයි. එය අපටත් පේ‍්‍රක්ෂකයන්ටත් අනෙක් පාර්ශ්ව වලටත් හොඳයි.

ටෙලි නාට්‍ය අතර වෙළෙඳදැන්විම් අධිකව ප්‍රචාරය වීම ඔබේ නිර්මාණවලට බාධාවක් නොවෙයි ද?

පේ‍්‍රක්ෂකයන් නම් ඒ පිළිබඳ බොහෝ දේ කීවට මේ සියල්ල එකට එක බැඳුණු පුරුක් රැසක් ලෙසයි පවතින්නේ. දශක හතරකට අධික කාලයක් පුරා ගොඩ නැඟුණු වෙළෙඳ ආර්ථික සමාජයත් සමඟ අපට තනිවම සටන් කරන්න බැහැ. මොකද වෙළෙඳ දැන්වීම් සමඟයි නාලිකා යැපෙන්නේ.

ටෙලි නාට්‍යය අතරමැදට අමතරව රූප රාමුවේ දෙපසිනුත් එල් අකුරේ හැඩයට තීරු දැන්වීම් යෙදීම පේ‍්‍රක්ෂක රසවිඳින්නට අසාධාරණයක්.?

අරුණී, තිරයේ කොටු රාමුව පේ‍්‍රක්ෂකයාගේ අයිතියක් බව මම පිළිගන්නවා. ඒත් ලෝකේ විතරක් නොවේ ලංකාවේත් සියල්ල මෙහෙයවන්නේ ජනමාධ්‍ය. හෙට කොරෝනා වැඩියි කියා ජනතාව නිවෙස්වල රඳවන්න ඕනෙ නම් එක ප්‍රවෘත්තියයි විකාශය කරන්න ඕනේ. ලංකාවේ දේශපාලනය, කලාව පමණක් නෙවෙයි සියල්ල තීන්දු කරන්නේ ජනමාධ්‍ය ආයතනවල අතළොස්සක් දෙනා විසින්. ඒ නිසා ඔය දේවල් වෙනස් වෙනවා නම් මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරන කාලෙක ඒ දේවල් ඔස්සේම ආයුතු වෙනසක් තමයි ඒකත්. ඒ නිසා පේ‍්‍රක්ෂකයාගේ අයිතිය රැකගන්න පුළුවන් පේ‍්‍රක්ෂකයන්ටම තමයි. රූප රාමුව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් පේ‍්‍රක්ෂකයාටමයි.

විදේශිය ටෙලි නාට්‍ය දේශිය නිර්මාණකරුවන්ට අභියෝගයක් ද?

මට නම් එය අභියෝගයක් නොවෙයි. හැබැයි නාලිකාවක කාලය පුරවලා විදේශීය ටෙලි නාට්‍ය විකාශය වුණොත් එය අපට අභියෝගයක් වනවා. අපට අවස්ථාවක් නැතිවන නිසා. ඒත් එක් නාලිකාවක නාට්‍ය සඳහා වෙන් කළ කාල සීමා පහක් පමණ තිබෙනවා නම් ඉන් එකක් විදේශීය නාට්‍යවලට දුන්නත් කමක් නෑ කියලා මම හිතන්නේ හඬ කැවීමේ ශිල්පීන් ගැන හිතලා. මොකද ඔවුන්ගේ ශිල්පීය දක්ෂතා දක්වන්න අවස්ථාව සහ ආදායම් මාර්ගය වන්නේ එය නිසා...

අනෙක වෙනත් රටක හරවත් නිර්මාණයක් මඟින් ඒ සංස්කෘතින් හඳුනාගන්න අවස්ථාවක් පේ‍්‍රක්ෂකයන්ට ලැබෙනවා.

අන්තර්ජාලයේ නැඟීම රූපවාහිනියට අභියෝගයක්ද?

රූපවාහිනිය එද්දී එය සිනමාවට අභියෝගයක් කීවා. පත්තරවලට අභියෝගයක් කීවා. මේ වෙද්දී සරසවිය පවා මුද්‍රිත පිටපත මසකට එන අයුරින් කොළ පිළිබඳ අර්බුදය ඇතිවෙලා. ඒ වගේම ලෝකය ඉදිරියට ගමන් කරද්දී එකක් අනෙකට අභියෝගයක් වනවා. ඒ කියා පහුබහින්න බෑ. ඒ අභියෝග ජයගන්න විවිධ ක්‍රම තිබෙනවා. සිනමාව 3ච් වගේ දේවල් සොයලා දැන් 9ච් වෙනකල්ම වර්ධනය වෙලා. ඒ වගේම ජිවිතය කියන්නේම අභියෝගයක් නිසා ඒ සියල්ල ජයගැනීම තමයි ජීවත්වීම කියන්නේ.

ඔබේ සිනමා නිර්මාණයක් අපට දකින්න ලැබේවිද?

සිනමාවට මොකද වුණේ කියලා තමයි අපට අහන්න වන්නේ. ශාලා අඩුවෙලා, චිත්‍රපට හැදෙන්නේ නෑ. හැදුණත් දුවන්නේ නෑ. අපට සිනමා සංස්කෘතියක් නෑ. අපට තිබෙන්නේ චිත්‍රපටයක් ආවාම කවදද එය ටීවී එකේ පෙන්වන්නේ කවදද ඩීවීඩී එකක් එන්නේ කියන සිතිවිල්ල මිස ශාලාවකට ගිහින් නරඹන අදහස නෙවෙයි. ඒ නිසා සිනමා සංස්කෘතියක් අද හදන්න පටන් ගත්තොත් තව අවුරුදු විස්සකින් පමණ එන පරපුර හෝ එයට අනුගත වෙයි. මොකද ඔබත් මමත් ඉන්න ක්ෂේත්‍රය තමයි ජනතාවගේ අවශ්‍යතා පොරොත්තු ලැයිස්තුවේ අවසානයේ තිබෙන්නේ. ඉන්දියාවේ ටීවී නාලිකා කීයක් තිබුණත් ආර්ථික අපහසුතා කොපමණ තිබුණත් හවසට චිත්‍රපටයක් බලන සංස්කෘතිය තිබෙනවානේ.

මම චිත්‍රපටයක් කළොත් නිෂ්පාදකයකුගේ සල්ලි සමඟ සෙල්ලම් කරන්න වෙන්නේ. ඒ නිසා වස්තුබීජ රැසක් තිබුණත් ආසාවක් තිබුණත් එය කි‍්‍රයාත්මක කිරීමට මේ ටිකේ මහන්සි වුණේ නෑ.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න