‘ද ගේම්’ විධිමත් තිරරචනයක් තිබුණා නම්

සැප්තැම්බර් 15, 2022

 

මුල සිට අග දක්වාම විනෝදාස්වාදය රජයන සිනමාපට අරභයා ලොව පුරාම පවතින අති මහත් ප්‍රේක්ෂක මනාපය ලාංකේය සිනමාවේ පැවැත්ම සුරක්ෂිත කරලන ප්‍රමුඛතම සාධකයක් බවට ඉහළින් ම පත්වන්නේ 1970 දශකයේදීයි. ඉනික්බිතිව ගෙවී ගිය දශක සතරක කාලය තුළ උද්ගත වූ නා නා විධ අර්බුද කියා සිටියේද උක්ත සිනමා මාදිලියේ නිරන්තර අවශ්‍යතාවයි. මේ ගතික ලක්ෂණ කෙරෙහි නොපමාව සැලකිලිමත් වන සිනමාපට මාදිලියක් ය යන්න අවධාරණය කරන්නට සිදුවේ.

යසපාලිත නානායක්කාර, දිනේෂ් ප්‍රියසාද් හා උදයකාන්ත වර්ණසූරිය සේම සුරංග ද අල්විස් ද පෙර කී දශක කිහිපය තුළදී උත්සුක වූයේ හෝ උත්සුක වන්නේ කෙසේ හෝ මෙබඳු සිනමාපට මාදිලියක් යථාවත් කරනු පිණිසය. කෙසේ නමුදු මෙහිලා දත හැක්කේ අප්‍රකාශිත හැගීමක් බඳු යමක් වීම සම්බන්ධයෙන් ඔවුන් ද , අදාළ සෙසු පාර්ශව ද අඩු වැඩි වශයෙන් වගකිව යුතුය.

සුරංග ද අල්විස් වර්තමාන අර්බුදකාරී සමය පිළිබඳ අවබෝධයකින් යුතුව ‘ද ගේම්’ සිනමාපටය සිනමා ශාලා හැට ගණනකට මුදා හරින්නේ යසපාලිත, දිනේෂ් හා උදයකාන්ත කණ්ඩායමේ තම සාමාජිකත්වය තවදුරටත් සහතික කර ගනිමිනි. එනමුදු ලාංකේය සිනමාපට නැරඹීම ශීඝ්‍රයෙන් අඩුවී යන සමයක ‘ද ගේම්’ අරභයා වන අපේක්ෂා එලෙසින්ම ඉටු නොවන්නට වුව ඉඩ තිබේ. කෙසේ වුවත් සුරංග මේ ගත් නිර්භය පියවර යුක්ති සහගතව අගය නොකර ඉවත ලෑම අනුචිතය. ඔහුගේ මඟ ගන්නට සූදානම් තවත් සිනමාකරුවන් හා සිනමා නිෂ්පාදකයන් ඉන් අනුප්‍රාණයක් ලබන්නට ඉඩ තිබේ.

‘ද ගේම්’ බඳු සිනමාපට , සිනමා ප්‍රේක්ෂක ප්‍රජාවට කිසිසේත්ම ආගන්තුක නැත. මෙම ප්‍රේක්ෂක ප්‍රජාව යනු සිනමාශාලා වෙතින් පරිබාහිරව වුව සිනමාපට නරඹන්නට පසුබට නොවන්නවුන් ය . ලෝකයේ නවතම සිනමාපට පමාවකින් තොරව නැරඹිය හැකි පහසුම ආකාර වන අන්තර්ජාලය හෝ සංයුක්ත තැටි ඇසුරු කිරීම තවදුරටත් ඔවුනට අසීරු නො වන්නකි.'ද ගේම්’හි හැඩ රුව පිළිබඳ අදහසක් මෙතැනින් ද සරි කර ගත හැකිය.

රන්ජන් රාමනායකගේ සහභාගීත්වය මත ම යැපෙන්නට සුරංග වෙසෙසින් මනාප වන වග පෙනේ. ඊට රන්ජන් ලබාදෙන අවකාශය ද සුළු පටු නැත. නමුත් සිනමාපටයක ගුණාත්මක බව රඳා පවතින්නේ හුදෙක් සිනමා තරු මත ම නොවන බව සත්‍යයකි. ප්‍රේක්ෂක බහුතරයකට නම් ඇවැසි වන්නේ සිනමා තරු පායා සිටිනු දැකීම ය. මේ අරුතින් නම් සුරංග අසාර්ථක වූ බවක් නොපෙනේ. නමුත් තමාගේ සමීපතම සිනමාකරුවන් සමඟ සම අසුන් ගන්නට නම් තවත් මඳ දුරක් හෝ යන්නට ඔහුට සිදුවන බව පැහැදිලි ය.

මෙහිලා විධිමත් තිර නාටකයක හා සංස්කරණ විලාසයක අවශ්‍යතාව කැපී පෙනේ. යසපාලිත, දිනේෂ් හා උදයකාන්තගේ සාර්ථක ම විනෝදාත්මක සිනමාපට මතකයට නංවා ගැනීම ප්‍රේක්ෂකයාට මෙතැන දී අත්‍යන්තයෙන් ම වැදගත් ය.’අංජානා’, ‘නැවත හමුවෙමු’, ‘ජය සිකුරුයි’, ‘පෙරළිකාරයෝ’, ‘දෙමෝදර පාලම’, ‘රෝස වසන්තේ’ හා ‘හිරිපොද වැස්ස’ යන ඔවුනගේ එබඳු සිනමාපට වෙළෙඳ පොළේ දී ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූයේ විශේෂයෙන්ම විධිමත් තිරනාටක ද මුල් කර ගෙනයි.

සුරංග පළමු කොටම ජය ගත යුතුව තිබුණේ ත්‍රාසය , භීතිය සේම කුතුහලය ද නිරවුල්ව ප්‍රකාශිත තිර නාටකයක් සම්පාදනය කර ගැනීමය. සිනමාපටයට නව මුහුණුවරක් ලබා දෙනු රිසියෙන් ඔහු ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය ද ඈඳා ගනී. ඊට අදාළ සුලබ හා හැඟීම්බර කියැවීම් සමහරක් සම්බන්ධයෙන් මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කිරීමට ද ඔහු සූදානම් ය. එමෙන්ම විශ්වසනීයත්වය තහවුරු කිරීමේදී ඔහු අත්වැරදීම් මෙන්ම නොසලකා හැරීම් සමඟ ගැටුමකට නොයයි. මේ නිසා ත්‍රාසය, භීතිය හා කුතුහලය පෙරටු කොට ගත් සමකාලීන බටහිර හා ඉන්දියානු සිනමාපට අබියස ‘ද ගේම්’ ලබා ගන්නේ සතුටුදායක අත්දැකීම් නො වේ.

ප්‍රධාන ස්ත්‍රී චරිතය නිරූපණය පිණිස රන්ජන්ගේ තරු ගුණය හා සැසඳෙන නිළියක එක් කර ගත්තේ නම් ප්‍රේක්ෂකයා නිසැක වශයෙන්ම සතුටු වනු ඇත. පෙර සඳහන් කළ සිනමාපට සමහරක ප්‍රධාන ස්ත්‍රී චරිත නිරූපණය කළේ තාරකාවන් ම නොවේ. නමුත් ඔවුනගේ තරු ගුණ හසු කර ගැනීමට එම සිනමාකරුවෝ සමත් ව සිටියහ.

සුරංග ‘ද ගේම්’ ඔස්සේ අමතන්නේ දැනට විසිරී සිටින පවුලේ ප්‍රේක්ෂකයන් ය. අද පවුලේ ප්‍රේක්ෂකයන් මුළුමනින්ම යථාර්ථයක් නොවන්නේ හුදෙක් ආර්ථික කාරණා නිසාම නොවේ. විකල්ප බහුල වීම ද, ජීවන රටාවේ සියුම් පරිවර්තන ද මෙතැනට එක් කළ යුතු ය. විටෙක පෙනී යන්නේ ඒවා ආර්ථික කාරණා සමඟ ද නොයෙකුත් සබඳතා හා එකඟතා පවත්වන බවයි.මෙහෙයින්ම සුරංග ‘ද ගේම්’ හි වෙළෙඳ පොළ සාර්ථකත්වය උදෙසා වට කිහිපයක ප්‍රයත්නයක් දැරිය යුතුව ඇති වග පෙනේ.මේ මොහොතේ මේ අභියෝගය බාරගත් නිසාම කිසිවකුටත් ඔහුව අතහැර දැමිය නො හැකි ය.