වර්ෂ 2023 ක්වූ June 05 වැනිදා Monday
ආයුධ සන්නද්ධ රණශූරයාගේ කතාව

වසර 2000 චිත්‍රපට අතරින් හොඳම නළුවාට හිමි ඇමරිකානු ඇකඩමි සම්මානය දිනා ගත්තේ 'රසල් ක්‍රෝව්' ය. ඒ 'ග්ලැඩියේටර්' චිත්‍රපටයේ රඟපෑම සඳහාය . එය ලැබුණේ ග්ලැඩියේටර් චිත්‍රපටයේ මැක්සිමස් ඩෙසීමස් මෙරිඩියස් ගේ චරිතය රඟපෑම වෙනුවෙනි.
1964 අප්‍රේල් 4 වන දින නවසීලන්තයේ ඉපදුණු රසල් ක්‍රෝව් තම ළමා කාලය එනම් වයස 11 දී පමණ ඕස්ට්‍රෙලියාවට ගොස් ජීවත් වූයේය. එහි ඔහු අවුරුදු 21 වන තෙක් සිටියේය. ඉන් පසු ඔහු ඇමරිකාවට පැමිණියේ නළුවෙකු වීමේ අදහසිනි.
රසල් ක්රෝව්ගේ ප්‍රථම චිත්‍රපටය තිරගත වූයේ 1990 දීය. ඒ 'ප්රිසර්නර්ස් ඔෆ් ද සන්'ය. ඔහු එහි උසස් හමුදා නිලධාරියෙකු වූ 'ජැක් කෝබට්' ගේ චරිතය රඟපෑවේය. එය ඉතාමත් සුළු චරිතයක් විය. එම වසරේම ඔහුගේ පළවන ප්‍රධාන චරිතය වූ 'ද ක්‍රොසින්ග්' තිර ගත විය. 'ද ක්‍රොසින්ග්' හී එම චරිතය, 'ඔස්ට්‍රේලියානු සිනමා අධ්‍යාපනික කේන්ද්‍රිය' සම්මානයට නිර්දේශ විමෙන් රසල් ක්‍රෝව් සිනමාව තුළ විශාල ගමනක් යෑම ආරම්භ කළ බව සිනමා ක්ෂේත්රයේ අය වටහා ගතී.
1991 දී ඔහු 'පෘෆ්', සහ 'ස්පෝට්ස්වුඩ්', යන චිත්‍රපටවලද, 1992 දී ' රොම්පර් ස්ටොම්පර්', 'හැමර් ඕවර් ද අන්විල්', 1993 දී 'ද සිල්වර් බ්රම්බි', ' ෆො ද මෝමන්ට්', සහ 'ලව් ඉන් ලිම්බෝ' යන චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑවේය. 1994 සිට 1999 දක්වා ඔහු ප්‍රධාන චරිත රඟපෑ අනෙක් චිත්‍රපට වන්නේ 'ද සම් ඔෆ් අස්', 'ද ක්වික් ඇන්ඩ් ද ඩෙඩ්', 'නෝ වේ බෑක්', 'වර්ටියොසිටි', 'රෆ් මැජික්', ' එල්.ඒ. කන්ෆිඩෙන්ෂල්', 'හෙවන්ස් බර්නිං', ' බ්‍රේකිං අප්', 'මයිස්ට්රි අලස්කා', සහ 'ද ඉන්සයිඩර්' ය.
වර්ෂ 2000 ඔහුගේ සිනමා ජීවිතයේ විශාල පිම්මක් පැන්නේ 'මැක්සිමස් ඩෙසීමස් මෙරිඩ්යස්' චරිතයෙනි.රසල් ක්‍රෝව් ඒ තුළින් ජාත්‍යන්තර සිනමාවට පැමිණියා පමණක් නොව එම වසරේ හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානයද දිනා ගතී. ඒ ඩේවිඩ් ෆ්රැන්සෝනි, කථාව හා තිරනාටකය ලියූ, ඩග්ලස් වික්, ඩේවිඩ් ෆ්රැන්සෝනි හා බ්රැන්කො ලස්ටිග් එක්ව නිෂ්පාදනය කළ, රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ ' ග්ලැඩ්යේටර්' චිත්‍රපටයෙනි.
'ග්ලැඩ්යේටර්' හී මැක්ස්මස් ගේ චරිතය රසල් ක්රෝව්ට ගෙන ආවේ පුදුමාකාර වාසනාවකි. එම චරිතය තුළින් මුළු ලොවම අවධානය තමා වෙත යොමු කර ගැන්මට ඔහුට හැකි විය. ඇත්තෙන්ම මෙම චරිතය ඔහු අතට පත් වූයේ කීප දෙනෙක්වම එම චරිතයට තෝරා ගෙන එය ඔවුනට ගිලිහුණු පසුවය. මෙම 'මැක්ස්මස්' ගේ චරිතයට මුලින්ම තෝරා ගත්තේ ස්පාඤ්ඤ නළුවෙකු වූ අන්තෝනියෝ බැන්ඩිරාස් ය. ඉන් පසු එය මෙල් ගිබ්සන් අතට ගියේය. යළි එයට ටොම් සිසේමෝ තෝරා ගන්නට අදහස් කළද, අවසානයේදී 'මැක්ස්මස්' චරිතයට තෝරා ගත්තේ ටොම් කෲස්වය. නමුත් නිෂ්පාදක වරුන් ඒ වන විට 1997 වසරේ තිර ගත වූ 'එල්.ඒ.කන්ෆිඩෙන්ෂල්' චිත්‍රපටයේ විශිෂ්ටතම චරිතයක් රඟපෑ 'රසල් ක්‍රෝව්' ව තෝරා ගෙන තිබුණි. එහෙත් රසල් ක්‍රෝව් මෙම චරිතය භාර ගැන්මට අකමැති වූයේ ඒ වන විට ඔහු 'ද ඉන්සයිඩර්' චිත්‍රපටය වෙනුවෙන් පූර්ණව කැපවී සිටි නිසාය. එහෙත් ලොව ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙකු වූ මයිකල් මාන් , රසල් ක්රෝව්ට කීවේ 'ග්ලැඩියේටර්' චිත්‍රපටයේ 'මැක්ස්මස්' චරිතය භාර ගන්නා ලෙසටය. එහෙයින් ඔහු 1998 සැප්තැම්බර් මාසයේදී 'ග්ලැඩියේටර්' චිත්‍රපටයේ 'මැක්ස්මස්' ගේ චරිතය රඟපෑමේ ගිවිසුමට අත්සන් කළේය. එයට හේතු වශයෙන් රසල් ක්‍රෝව් කීවේ එය ඩොලර් මිලියන 100යක චිත්‍රපට ව්‍යාපෘතියක් බවත්, එහී ඔහුට රඟපෑමට සිදුවනුයේ රෝම ජනරාල් වරයෙකු නිසාත්, ඊටත් වඩා විශේෂත්වය, එය රිඩ්ලි ස්කොට් විසින් අධ්‍යක්ෂණය කරන නිසා කියාය. තමා බොහෝ කාලයක් සිට රිඩ්ලි ස්කොට් ගේ දැඩි රසිකයෙක් නිසා, මෙවන් අවස්ථාවක් අහිමි කර ගැන්ම අනුවණ ක්‍රියාවක් බවද කීය.
'ග්ලැඩ්යේටර්' චිත්‍රපටයේ කථාව උපුටා ගත්තේ ඩැනියල් පී. මැනික්ස් විසින් 1958 දී ලියූ 'දෝස් අබවුට් ටු ඩයි' නම් කෘතියෙනි. පසුව එය ' ද වේ ඔෆ් ද ග්ලැඩියේටර්' නමින් පළ කෙරුණි. මෙහී තිරනාටකය මුලින්ම ලීවේ ඩේවිඩ් ෆ්රැන්සෝනි ය. පසුව එයට ජෝන් ලෝගන් හා විලියම් නිකොලසන් සම්බන්ධ විය. එලෙසම මෙහී නිෂ්පාදන සමාගම මෙන්ම ලොව වටා බෙදා හැරීමේ කාර්ය භාර ගත්තේ, ස්ටීවන් ස්පීල්බර්ග් ගේ 'ඩ්‍රිම් වර්ක්ස් පික්චර්ස්' සමාගමය. චිත්‍රපටයේ අධ්යක්ෂණයට රිඩ්ලි ස්කොට් ව තෝරා ගත්තේද ඩ්‍රිම් වර්ක්ස් සමාගමය. ඇස්තමේන්තු ව ඇමරිකානු ඩොලර් මිලියන 103 විය.
ලෝකයේ පිළිගත් සිනමා අධ්‍යක්ෂකවරුන් අතරේ ඉහළ ලැයිස්තුවෙ සිටින කෙනෙකි රිඩ්ලි ස්කොට්. එය ස්ටීවන් ස්පීල්බර්ග් හා සමාන විය. 1977 'ද ඩුඅලිස්ට්' චිත්‍රපටයෙන් සිනමා අධ්යක්ෂණයට පිවිසුණු රිඩ්ලි ස්කොට් වඩාත්ම කථාබහට ලක්වූයේ 1979 දී අධ්‍යක්ෂණය කෙරූ 'ඒලියන්' චිත්‍රපටයෙනි. එය විද්‍යාත්මක අද්භූත ( හොරර්) ගණයේ චිත්‍රපටයක් වූ අතර, ලොව වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රපට ගොන්නේද ඉහළින්ම තිබෙන චිත්‍රපටයකි. 1982 දී ඔහු 'බ්ලේඩ් රනර්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. ඉන්පසු පිළිවෙළින් 1985 'ලෙජෙන්ඩ්', 1987 'සම්වන් ටු වොච් ඕවර් මී', 'බ්ලැක් රේන්', 'තෙල්මා ඇන්ඩ් ලුයිස්', '1492 කන්කියුස්ට් ඔෆ් පැරඩයිස්' 1996'වයිට් ස්කුවල්', 1997 'ජී.අයි.ජේන්' වැනි විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අතර ඒවා බෙදාහැරීමට ලොව ප්‍රධාන චිත්‍රපට බෙදාහරින සමාගම් වූ පැරමවුන්ට් පිච්චර්ස්, 20ත් සෙන්චරි ෆොක්ස්, වෝනර් බ්‍රදර්ස්, යුනිවර්සල් පිච්චර්ස්, සෝනි පිච්චර්ස්, මෙට්‍රෝ ගෝල්ඩ්වින් මෙයර්, ඩ්‍රිම් වර්ක්ස් පිච්චර්ස්, ඉදිරිපත් වූයේ රිඩ්ලි ස්කොට්ගේ චිත්‍රපටවල තිබෙන සුවිශේෂිත විශිෂ්ට බව නිසාමය. ඒවා ලොව පුරා අධි ජනප්‍රියත්වයක් ලැබෙන බවක් ඔවුහු දැනගෙන සිටියහ. 2000 දී 'ග්ලැඩියේටර්' අධ්‍යක්ෂණය කළ පසුත් ඔහු තවත් විශිෂ්ඨ චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කළේය. 'හැනිබල්' 'බ්ලැක් හෝක් ඩවුන්', 'මැචි ස්ටික් මෑන්', 'ඇමරිකන් ගැන්ග්ස්ටර්', 'කිංග්ඩම් ඔෆ් හෙවන්', 'රොබින් හුඩ්', 'ප්‍රොමිතියස්' 'එක්සෝඩස් :ගෝඩ්ස් ඇන්ඩ් කිංග්ස්', ඒ අතරේ විය. ඒවා ලොව වඩාත් කතා බහට ලක්වූ එමෙන්ම විශාල ආදායම් ලැබූ චිත්‍රපට විය. ඔහු 4 වරක් හොඳම අධ්යක්ෂ ලෙස, ඇකඩමි සම්මාන සඳහා නිර්දේශි විය. 'ග්ලැඩියේටර්' චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වූයේ මෙය ' ඔලිවර් රීඩ්' නම් විශිෂ්ට නළුවාගේ අවසන් චිත්‍රපටය වීමය. ඔහු හෘදායාබාදයකින් මිය ගියේ මෙම චිත්‍රපටය රූ ගත කරන අතරතුර කාලයේදීය. ඔහු මෙහී ඇන්ටෝනියස් ප්රොක්සිමෝ ගේ චරිතයට පණ දුනී.
චිත්‍රපටයේ වැදගත් චරිතයක් වූයේ මාකස් ඔරේලියස්ය. එය මැක්සිමස් ගේ චරිතය හා බද්ධවෙන, සංවේදී එහෙත් ප්‍රබල වැඩිහිටි චරිතයකි. රසල් ක්‍රෝව් අධ්‍යක්ෂක රිඩ්ලි ස්කොට් ට එම චරිතයට යෝජනා කළේ 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' චිත්‍රපටයේ රඟපෑ ක්‍රිස්ටෝපර් ප්ලමර් නම් නළුවාවය. එහෙත් රිඩ්ලි එයට තෝරා ගත්තේ රිචඩ් හැරිස්වය.
මැක්සිමස් හා කෙළින්ම ගැටෙන අනෙක් ප්‍රධාන චරිතය වූයේ 'කොමොඩස්'ය. එය ප්‍රතිවිරුද්ධ චරිතය සේම, මුළු චිත්‍රපටය පුරාවටම පැතිරී යන වේගවත් චරිතයකි. එයට 'ද ටැලන්ටඩ් මිස්ටර් රිප්ලේ' චිත්‍රපටයේ රඟපෑ ජූඩ් ලෝ නම් බ්‍රිතාන්‍ය නළුවාව ගැන සලකා බැලුවද, අධ්යක්ෂ රිඩ්ලි ස්කොට්, ජෝකුවින් පීනෙක්ස් යන ඇමරිකන් නළුවාව එම චරිතයට තෝරා ගති. පසු කලෙක එනම් වර්ෂ 2019 දී 'ජෝකර්' චිත්‍රපටයේ ජෝකර් රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය දිනා ගත්තේ මේ ජෝකුවින් පීනෙක්ස් ය.
ජර්මනික් ට්‍රයිබ්ස් යුද්ධය දිනාගත් රෝම හමුදාව මෙහෙයවූ ජෙනරාල් මැක්සිමස් ඩිසිමස් මෙරිඩ්ස්, තම නිවස බලා යෑම සඳහා රෝම 'එම්පරර්', වූ මාර්කස් ඔරිලියස්ව මුණ ගැසීමට ගියේ තමාගේ බිරිඳ හා දරුවාව බැලීමට යාමට අවසර ඉල්ලාය. එලෙස අවසර දෙන අවස්ථාවේදී එම්පරර් මාර්කස් මැක්සිමස්ට කීවේ තම පුත්‍රයා වූ කොමොඩස් රෝමය පාලනය කිරීමට තරම් බුද්ධියක් හෝ ශක්තියක් නොමැති නිසා මැක්සිමස්ට එම පාලන බර රැගෙන රෝමය තුළ සිදුවන කෝලහාල හා මැරකම් මැඬ පවත්වන ලෙසටය. එය හොරෙන් අසා සිටි කොමොඩස්, තම පියා වූ එම්පරර් මාර්කස් ඔරෙලියස්ව මරා දමා රෝම පාලනය තම අතට ගත් අතර, මැක්සිමස්ට අණ කළේ ඔහුට පක්ෂපාතිව වැඩ කරන ලෙසටය. මැක්සිමස් එයට අවනත වූයේ නැත. එහෙයින් කොමොඩස් තම හමුදා භටයන් යොදා මැක්සිමස්ගේ ගමට ගොස් ඔහුගේ බිරිඳ හා දරුවාව කුරුසියේ එල්ලා මරා දැමුහ. මැක්සිමස් තම ගමට යන විට කොමොඩස්ගේ භටයෝ ඔහුගේ ගමන අවහිර කිරීමට ඔහුගේ අශ්වයාට තුවාල කෙරීය. මැක්සිමස් ගොස් තම බිරිඳ හා දරුවාගේ මළ සිරුරු වළලා දමා නැවත එන්නට පිටත් වන විට, කොමොඩස්ගේ හමුදා භටයින් මැක්සිමස්ට තුවාල කෙරීය. මැක්සිමස් තුවාල සමඟ බිම ඇද වැටී සිටින විට, වහලුන් කීප දෙනෙකු දැක ඔවුහු ඔහුව 'සුචාබාර් නගරයට රැගෙන ගියහ ( වර්තමානයේ එය 'ඇල්ජීරියාව' නමින් හඳුන්වයි). එතැන් සිට ඔහු 'ග්ලැඩියේටර්' කෙනෙක් වීමට ඇන්ටෝනියස් ප්රොක්සිමෝ ගෙන් පුහුණු විය. 'ග්ලැඩියේටර්' යනු පුරුදු පුහුණු වූ ආයුධ සන්නද්ධ මිනිසෙක් තවත් එවන් ආයුධ සන්නද්ධ මිනිසෙක් සමඟ විශාල ප්රේක්ෂකගාරයක් ඇති තරග පිටියක සටන් කරන්නෙකුටය. එහිදී බොහෝ විට පරාජිතයා මිය යාමටද ඉඩ තිබෙනු ඇත.
ප්රොක්සිමෝ, මැක්සිමස් පැමිණියේ මාර්කස් ඔරිලියස් එම්පරර් මාළිගාවෙන් බව දැන ගෙන, ඔහු මැක්සිමස්ට කීවේ ප්රොක්සිමෝත් එක් කාලයක එම්පරර් මාර්කස්ගේ 'ග්ලැඩියේටර්' කෙනෙක් වී සිටි බවය. පසුව එම්පරර් විසින්ම ප්රොක්සිමෝට නිදහස් මිනිසෙකු ලෙස ජීවත් වීමට ඉඩ හැරිය බවත්, ඉන්පසු ඔහු නිදහස්ව මෙම ග්ලැඩියේටර් පුහුණු කඳවුර පටන් ගත් බවත් මැක්සිමස්ට කීය.
මැක්සිමස්, පුහුණු වීමෙන් පසුව සුචාබාර් නගරයේ තිබූ ග්ලැඩියෙටර් සටන් තරඟ වලට ඉදිරිපත් වී බොහෝ ජයග්‍රහණය ලැබීය. මේ හේතුවෙන් ඔහු එහි ජනප්‍රිය පුද්ගලයෙක් විය. මැක්සිමස්ට එහිදී තවත් 'ග්ලැඩියේටර්ස්'ලා දෙදෙනෙකු හමුවී ඔහු සමඟ දැඩි මිත්‍රයන් විය. එයින් එක් අයෙක් ජර්මන් ජාතිකයෙක් විය. ඔහු ' 'හගේන්' ය. අනෙකා නුමේඩියන් ජාතික 'ජුබා' ය
ඒ අතරේදී කොමොඩස් දවස් 150 පමණ පවත්වා යන 'ග්ලැඩියේටර්' තරඟ මාලාවක්, තරඟ සැණකෙළියක් සංවිධාන කළේ තමාගේ පියාගේ අනුස්මරණය සඳහා ය.
මෙම තරඟ මාලාවට ප්රොක්සිමෝ තම හොඳම 'ග්ලැඩියේටර්'ලා රැගෙන ගිය අතර, මැක්ස්මස් ද ඒ තරගකරුවන් අතර එක් අයෙක් විය.
'ගැලැඩියේටර්' චිත්‍රපටයේ විශේෂත්වය මෙම තරගාවලිය යි. එය හරියට 'බෙන්හර්' චිත්‍රපටයේ අශ්ව කරත්ත රේස් තරඟය වැනිය. එතරම්ම උද්වේගකරය.
කොමොඩස් විවාහවී සිටියේ ඔහුගේම සොහොයුරිය වූ ලුසිලා සමඟය. එය එකල සම්ප්රදායක් විය. තම රජකම වෙනත් පවුල්වලට යෑම වැළැක්වීමට ගන්නා ක්‍රියා මාර්ගයකි එය. එහෙත් ලුසිලා සිතින් ආදරය කළේ මැක්සිමස්ටය.
තරඟයේ සියලු දේ සිදු වූවේ මේ තරඟ වළල්ල තුළය. මැක්ස්මස් තරඟ බිමේ සිටින බව දැන ගත් කොමොඩොස් තම සියලු උත්සහායන් හා උප්පරවැට්ටි යෙදුවේ මැක්ස්මස්ට වළල්ල තුළ විශාල පරාජයක් අත් කර දී, ඔහුව මරා දැමීමටය.
තම ජීවිතයටත් වඩා ගරු කළ තම පියා මෙන් සිටි එම්පරර් මාර්කස් ඔරිලියස්ව මරා දැමුවේ කොමොඩස් බව දැන් මැක්සිමස් දැන ගෙන සිටියේය. එලෙසම තමාගේ බිරිඳ හා පුත්‍රයාව කුරුසියේ එල්ලා මරා දැමුවේ මේ නරුම මිනිසා කොමොඩොස් ය. එහෙයින් ඔහුටද දැඩි ලෙස අවශ්‍ය වූයේ මෙම තරඟාවලියම ජය ගෙන, කොමොඩස්ට අභියෝග කිරීමටය. එයට ප්රොක්සිමෝ හා තම කණ්ඩායම පමණක් නොව ලුසිලා පවා මැක්සිමස්ට සහයෝග දෙන බවක් ඔහු දැන ගති.
කොමොඩස් තමා ළඟ සිටින අතීදක්ෂ ග්ලැඩියේටර් සටන්කරුවන්ව යෙදෙව්වේ මැක්සිමස්ව මරා දමා තම අරමුණ සාක්ෂාත් කර ගැන්මට වුවද, එය කොමොඩස් සිතූ තරම් පහසු වූයේ නැත. තම ග්ලැඩියේටර්ස්ලා එකින් එකා අන්ත පරාජයට පත් වන විට, මැරී යන විට, අවසානයේ මැක්සිමස් සමඟ සටන් කිරීමට ඉතුරු වෙන්නේ තමා පමණක් බව කොමොඩස්ට වැටහී ගියේය. අන්තිමයේදී ඔහුට එම අභියෝගය භාර ගැන්මට සිදු වූ අතර, එය දෙදෙනාටම අභියෝගයක් විය.
ග්ලැඩියේටර් චිත්‍රපටයේ උද්වේගකරම අවස්ථාව මෙම සටන විය. සියල්ලෝම නෙත් දල්වා බලා සිටියේ මෙම සටන දෙසය. කොමොඩස් පිටියට බැස්සේ රාජ්‍යය බලය සහිතය. එහෙත් මැක්සිමස්ට තම කයේ ශක්තිය, ප්රොක්සිමෝගේ පුහුණුව මෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර සතු විය. ප්රොක්සිමෝ ගේ කණ්ඩායම හා ලුසිලා පමණක් නොව තරඟය නරඹන්නට පැමිණි හැම රෝම වැසියෙක්ම සිතින් ප්‍රාර්ථනා කළේ මැක්සිමස් දිනේවා කියාය. ඒ ඔවුන් කොමොඩස්ගේ දරුණු පාලනයෙන් හෙම්බත් වී සිටින නිසාය.
තරගය තියුණු විය. මැක්සිමස් මෙන්ම කොමොඩස් ද එකිනෙකාට නොපරදින ලෙස සටන් කළහ. මැක්සිමස් තම ඥානයෙන් හා ශක්තියෙන් සටන් කළ අතර කොමොඩස් සටන් කළේ වෛරයෙනි. එහෙයින් විටෙක කාය හා ඥාන ශක්තිය පරදවා වෛරයේ ශක්තිය උත්සන්න විය. මැක්සිමස් සිතූ තරම් කොමොඩස් ව පරාජය කිරීමට පහසු වූයේ නැත. තමා වෙත එල්ලවී ඇති කොමොඩස් ගේ වෛරය කෙතරම් බලවත් දැයි මැක්සිමස්ට තේරුණේ කොටියෙකු මෙන් කොමොඩස් සටන් කරන ආකාරයටය. කෙසේ හෝ බොහෝ වේලාවක් සටන් කිරීමෙන් අනතුරුව මැක්සිමස්ට කොමොඩස්ව මෙල්ල කර ගැන්මට හැකි විය. එහෙත් තමා අඩපණ වී එනබව දැනගත් කොමොඩස් තම රහස් තැනක සඟවා සිටි කිනිස්සක් ඇද මැක්සිමස්ට දරුණු පහරක් එල්ල කළේය. එය මාරාන්තික පහරක් විය. තමා එයින් පූර්ණව අඩපණ වී තමාගේ ශක්තිය ගිලිහී යන බවක් මැක්ස්මස්ට දැනුණි. ඔහු තමා සතු ඉතිරි ශක්තිය එක් කර, අමුතු ජවයක් ගෙන කොමොඩස්ව පරාජය කරා පමණක් නොව, ඔහුව ජීවිතක්ෂයට පත් කළේය.
තරඟ වළල්ලේ සිට ඔහු තම අසිපත ඔසවා ප්‍රේක්ෂකයන් වෙත ජයග්‍රහණය තහවුරු කරන විට, මුළු ප්‍රේක්ෂකාගාරයම ඉමහත් හඬින් 'මැක්සිමස්, මැක්සිමස්' යනුවෙන් ඔල්වරසන් දෙන්නට විය. එහෙත් ඒ සමඟම මැක්සිමස්ගේ තිබූ සියලු ශක්තිය හීන වෙන්නට විය. ඔහු තරඟ පිටිය තුළම ඇද වැටුණි. ලුසිලා වහා පිටියට දිව ආවාය. ඇය මැක්සිමස්ගේ හිස තම උකුළ මතා තබා ගත්තාය. මැක්සිමස් දෑස් හැර ඇයට යමක් කියා ගන්නට සැරසුණි. ඔහු කීවේ ඔහු මියගිය පසු ඔහුගේ බිරිඳ හා පුතු වැළලු තැන මිහිදන් කරන්නට කියාය. එසේ කියා ඔහු ඇයගේ උකුළේම මිය ගියේය.
ලුසිලා ඔහුගේ නිසල සිරුර ඔසවා පිටියෙන් ඉවතට ගෙන යන්නට වූයේ ඒ අසල තිබෙන තම සොහොයුරු, මෙන්ම සැමියාගේ මළ සිරුර දෙස හෝ නොබලමිනි.
මැක්සිමස්ගේ මිතුරන් මෙන්ම එතැන සිටින ඔහුව අගය කරන සැවොම ඔහු
' රෝම යුධ භටයා හෙවත් 'ඒ ඉධතඤඪඥප ධට අධථඥ' යන ගරු නම්බු නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විය. එදිනම රැයේ ඔහුගේ හිතවතා වූ ජූබා, මැක්සිමස්ගේ සිරුර කොලොස්සියම් නගරයේ ඔහුගේ බිරිඳ හා පුත්‍රයා වැළලූ තැන මිහිදන් කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 103 ක ඇස්තමේන්තුවට මුල් වටයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 460.5 ක් ඉපයූ 'ග්ලැඩියේටර්' හොඳම නළුවාට අමතරව තවත් ඇකඩමි සම්මාන කීපයක්ම දිනාගනි. ඒ 73 වෙනි ඇකඩමි සම්මාන උලෙළේ දීය. එහී හොඳම චිත්‍රපටය වූයේද 'ග්ලැඩියේටර්' ය. එලෙසම හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම ශබ්ද පරිපාලනය හා හොඳම දෘශ්‍ය ප්රයෝගවලටද ඇකඩමි සම්මාන හිමි විය.
ලොව විශිෂ්ට චිත්‍රපට අතරට එක්වුණු 'ග්ලැඩියේටර්' ඩීවීඩී තාක්ෂණයෙන් නැරඹිය හැකි අතර, එය විටින් විට සැටලයිට් රූපවාහිනි නාළිකා හරහා පෙන්වනු ලැබේ. හැම සිනමා ප්‍රේක්ෂකයෙක්ම නැරඹිය යුතුම චිත්‍රපටයකි 'ග්ලැඩියේටර්'. එය 'බෙන්හර්' ' ද ටෙන් කමන්ඩ්මන්ට්ස්' ' ස්පාර්ටකස්', 'ක්ලියෝපැට්රා' , 'ලෝරන්ස් ඔෆ් ඇරෑබියා' වැනි දැවැන්ත චිත්‍රපට ගොන්නට වැටෙන තවත් දැවැන්ත චිත්‍රපටයකි.