සැමරුම් මතකවලින්ම පුරවපු ජීවිතයක් මට හිමිකරපු චංචල රේඛා චිත්‍රපටය මම හිතනවා මට වාසනාව ගෙනාපු චිත්‍රපටයක් කියලා. සම්මාන වරප්‍රසාද තිළිණ මට කිසිවක් හිමිකර දුන්නේ නැති වුණාට චංචල රේඛා කියන්නෙ මට අසීමිත ජනප්‍රසාදයක් ලබා දීපු චිත්‍රපටයක්.මේ රටේ සුවහසක් ප්‍රේක්ෂක ජනතාව දංචුටිට කරපු ආදරේ මට අදටත් මහමෙරක් තරම් වටිනවා. පාරක බැහැල යන්න බැරි තරමට මාව මේ රටේ ප්‍රේක්ෂක හිත්වල නිධන් ගත වුණේ ජනතාව විසින් ඒ ලබා දුන් ආදරය නිසා.
ඇත්තටම කිව්වොත් සිනමා නිළියක් කියන්නේ හරියට දැල්වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම ඉවරවෙනවිට ආලෝකය නිවී යනවා. නිළියක් කියන්නෙත් එහෙම කෙනෙක්. කාලයත් එක්ක ක්ෂේත්රයෙන් වියැකී යනවා. එහෙත් චංචල රේඛා මට දුන්නේ එහෙම කාලයත් එක්ක වියැකි යන මතකයක් නොවෙයි. එදා මෙදාතුර ප්‍රේක්ෂක හදවත් ආදරයෙන් පුරවපු මතකයක්.ඉතින් ඒ මතක මට හැමදාමත් ආදරයෙන් පුරවපු අතීතයක් හදලා දෙනවා. මම විශ්වාසකරනවා අතීතයට ආදරේ වෙන තරමට අනාගතය ලස්සන වෙනවා කියලා.
මමයි ගාමිණි අයියයි පෙනී ඉන්න කීන දං මිටක් කඩන් ආවා මගේ නංගෝ කියන ගීතය අදටත් මගේ හිතට සොහොයුරු ප්‍රේමයේ අසිරිය කියා දෙනවා. හැබෑ ජිවිතේ මට වැඩිමල් සොයුරෙක් නොමැති වුණත් ඒ ආදරය කොයි තරම් උත්තරීතරද කියලා මට මේ හරහා දැනුණා. මේ ගීතය අදටත් මට ඇහෙනකොට ඒ අසිරිමත් මතකයට මගේ හිත දිව යනවා. ඒදා ගාමිණි ෆොන්සේකායි මමයි රඟපාපු මේ ගීතයට ඒකාලේ හැබෑ අයියලා නංගිලා පුදුම තරමින් ආශක්ත වෙලා හිටියා. අපි දෙන්නා සඳහා මේ ගීතයට හඬ දුන්නේ නීලා වික්‍රමසිංහ සමඟ මිල්ටන් මල්ලවාරච්චි. ගී පද රචනය කරලා තිබුණේ ආචාර්ය අජන්තා රණසිංහ. අපි දෙන්නගේ ස්වරූපයට ඉතාම හොඳීන් මේ හඬ පෞරුෂයන් දෙක ගැළපී තිබුණා. චිත්‍රපටයෙන් පරිබාහිරව වුණත් මේ ගීතය ජනප්‍රිය වෙන්න ඒක හේතු කාරණාවක් වුණා කියලා මම විශ්වාස කරනවා.
චිත්‍රපටයේ ඇතුළත් වුණු අනිත් ජනප්‍රියම ගීතය වුණේ ‘ මී අඹ අත්තේ කොහෝ කොහෝ‘ ගීතයයි. ඒක ගායනා කළේත් මිල්ටන් මල්ලවාරච්චි සමඟ නීලා වික්‍රමසිංහ. ගීපද රචනය ආචාර්ය අජන්තා රණසිංහගේ. මේ ගීත දර්ශනයේදි මමයි ගාමිණි අයියයි ඔන්චිලි පදින දර්ශනයකුත් තිබුණා. මම කොණ්ඩ දෙකක් ගොතාගෙන හිස තෙල් ගාන දර්ශනයකුත් තිබුණා. මට මතකයි මම මේ චිත්‍රපටයේ මුහුරත් උලෙළට සහභාගි වුණෙත් කොණ්ඩ දෙකක් ගොතාගෙන එදා තමයි මේ හිස තෙල් ගාන දර්ශනේ ගත්තේ. පස්සේ ඒක මේ ගීත දර්ශනයට එකතු කරලා තිබුණා. මේ චිත්‍රපටය වෙනුවෙන් අපි දින 28-30ක් වැනි කාලයක් රූ ගත කිරිම් සඳහා සේන සමරසිංහගේ ගමේ නැවතිලා හිටියා.
මි අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස්මහේ මඟුල් දොහේ
රඹාන රත්වෙන නැකැත් වෙලාවට
නළාව පිඹහන් කොහෝ කොහෝ
ගිරා නිලෙන් දිලි ගොයම් ලියැද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පු
හෝරාවෙන් නොනගතය ගෙවෙද්දී
නෑගම් එනවද පෙත්තප්පු
ගම්මැද්දේ සරු අවුරුදු දා
ගම්මැද්දේ සරු අවුරුදු දා
පච්චවඩම් පලදා
ඉහතෙල් ගානා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරුවී
නෙත් දෙක වාගේ අයිය නඟාලට
පින්පලදී අවුරුදු ජයවී
එක මවු කුසයේ උපදීවා අප
එකමවුකුසයේ උපදීවා අප
මතුමතු සංසාරේ……
සිංහල අවුරුදු කාලෙට මේ ගීතය අදටත් කොපමණ වාරයක් ඇහෙනවද කියන්න දන්නේ නෑ. ඒ තරමට මේ ගීතයත් අපේ ජන සමාජය බොහොම ආදරෙන් වැලඳ ගත්තා.මමයි ගාමිණි අයියයි ඔන්චිලි පදින දර්ශනේ තියෙන්නේ මේ ගීතයේ. මට තාමත් මතකයි ගාමිණි අයියවත් තියාගෙන ඔන්චිල්ලාව පදින්න තරම් ශක්තියක් මට ඒ කාලේ තිබුණේ නැ. ඒ කාලේ මම ඒ තරමට හීන්දෑරි කෙට්ටු කෙල්ලක්. අපි ඔන්චිලි පදින දර්ශන එක්කොම කැමරා ට්‍රික්ස්. කෙසේ හෝ චංචල රේඛා දර්ශන තලයේ අපිටත් නොදැනීම අපි මාසයකට ආසන්න කාලයක් රැඳී හිටියා. මේ අතර බ්රේක් දෙකක් විතර ඕනනම් තියෙන්න ඇති.සමහර බ්රේක් වලට අපි කොළඹ ආවෙත් නෑ. දර්ශන තලයටම වෙලා කාලය ගත කළා.
අපේ අම්මත් සමඟ ගාමිණි අයියගේ තිබුණ සමිප මිතු දම නිසා ඔහු මටත් හරිම ආදරෙන් සැලකුවා. නිතරම විහිළු තහළු කරන්නත් පුරුදු වුණා. නමුත් මගේ හිතේ ගාමිණී අයියා කෙරෙහි තිබුණේ අති විශාල ගෞරවනීය හැඟීමක්. ඔහු කතාකරනකොටත් මට බය හිතෙනවා. ඔහු ඉන්න තැනක මම හයියෙන් කතා කරන්නත් බයයි. ඒ බය කොච්චර කියනවද නම් මේ චිත්‍රපටයේ සමහර රූ ගත කිරිම් වලදි මට ඔහුගේ අතින් අල්ලන්න, ඔළුව අත ගාන්න වගේ දර්ශන තිබුණා. ඒ රූ ගත කිරිම් වුණත් මම කළේ බයකින්. ඔහුගේ ගැඹුරු කටහඬ හැම වෙලාවෙම මාව තිගැස්සුවා.
එක දර්ශනයක් තිබුණා අම්මබලමක අපි දෙන්නා රැදී ඉන්න දර්ශනයක්. මෙතනදි තමයි මට ගාමිණී අයියගේ ඔළුව අත ගාන්න තිබුණේ.
දර්ශනේ සඳහා රියසල් ආරම්භ වුණා. මම ගාමිණි අයියටත් නොදැනෙන්න ඔහුගේ ඔළුව අතගෑවා.
“ඔලුව අතගෑවද?”
ඔහු ගැඹුරු හඬින් මගෙන් ඇහුවා.
“ඔව් ගාමිණී අයියේ මම අතගෑවා”…. මම බයෙන් බයෙන් වගේ කිව්වා
“කෝ මට දැනුණේ නෑනේ…… දැනෙන්න අතගාන්න….”
ඔහු ආයෙත් ගැඹුරු හඩින් කිව්වා
අනේ ඉතින් මම ආයිත් සැරයක් ගාමිණී අයියගේ ඔළුව අතගාන්නේ අර පෙර පරිදිමයි. ඔහුට නොදැනෙන්න.ඔහු කෙරෙහි තිබුණ ගෞරවය, බය පක්ෂපාතකම නිසා ඔහුගේ හිස ඔහුට දැනෙන්න තරම් අතගාන්නවත් මම බය වුණා.
ලබන සතියේ
ඔයාගේ චිත්‍රපටය
මම 23 පාරක් නැරඹුවා….
නදීකාට රසිකයෙක් කී කතාව

හේමාලි විජේරත්න
[email protected]
