එදා පාසල් සිසුන්ගේ පුරෝගාමී නාට්‍යයට මාත් දායක වුණා

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‍ෙව්දී අනුර බණ්ඩාර රාජගුරු
සැප්තැම්බර් 14, 2023

ඔබේ රංගන දිවියට වසර 40කට එහා ගිය ඉතිහාසයක් තිබෙනවා නේද...?

ඔව්. එය ‘පළිඟු මැණිකේ’ ටෙලිනාට්‍යය තෙක් ඉතිහාසයකට දිවයනවා. පළිඟු මැණිකේට කලින් මම ඒකාංගික ටෙලිනාට්‍යවල රඟපෑවා. ඒ වගේම ලංකාවේ පළමු මැදිරි නිෂ්පාදනය (ඉබභඤඪධ ර්‍ථපධඤභජබඪධද) වූ ලූෂන් බුලත්සිංහලගේ ‘යතුරු ලේඛිකාව’ ටෙලියෙත් මම රඟපෑවා. පළිඟු මැණිකේ කියන්නේ ලංකාවේ 04 වැනි වෘත්තාන්ත ටෙලිනාට්‍යය. මේක මුලින්ම අධ්‍යක්ෂණය කරන්න හිටියේ ලූෂන් බුලත්සිංහල ශූරීන්. ඒත් ලූෂන්ට හදිසියේ රට යන්න වීමත් එක්ක එහි අධ්‍යක්ෂණ වගකීම එකල රූපවාහිනී නාට්‍ය අංශයේ ප්‍රධානියා වූ ධම්ම ජාගොඩ භාරගත්තා. එතැනදී ලූෂන් මහතා තෝරාගෙන හිටිය පිරිස සම්පූර්ණයෙන් වෙනස්වුණා. ඒ තෝරාගත් පිරිසෙන් මම විතරයි ඉතිරිවුණේ. මගේ වගේම ශ්‍රියන්ත, ජැක්සන් වගේ අයගේත් පළමු ටෙලිනාට්‍යය වුණේ පළිඟු මැණිකේයි.

ඔබට කලාවට පිවිසෙන්න එකල ආනන්දයේ විදුහල්පතිගේ අවසරය ලැබුණු හැටි කීවොත් ...?

කොළඹ ආනන්ද විද්‍යාලයට මම ගියේ. කලාවට තිබූ ආශාව නිසාම උසස් පෙළ කලා අංශයෙන් කළා. ඒකට මට අවසර දුන්නෙ එහි විදුහල්පති කර්නල් ජී.ඩබ්ලිව්. රාජපක්ෂ මහතායි. මම ඔහුට කිව්වා මට විද්‍යා අංශය අල්ලන්නේ නැහැ. මට කලා අංශයෙන් ඉගෙන ගන්න ඕන කියලා. ඔහු එයට අවසර දුන්නා ඔබ කැමැති දෙයක් කරන්න කියා. ඒ තීරණය මගේ රංගනයේ කඩඉම වුණා.

ඔබේ රංගනයේ තිඹිරිගෙය කොළඹ ආනන්ද විද්‍යාලය කිව්වොත් මම නිවැරැදිද...?

ඔව්. ඒ පාසල මගේ රංගනයේ තිඹිරිගෙය වුණා තමයි. පාසල් වේදිකාවේ මම රඟපෑවා. ඒ කාලයේ ලයනල් රන්වල ශූරීන් සංගීතය උගන්වන්න පාසලට ආවා. ආනන්දයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ව ඔහුගේ නාට්‍යවලට හවුල් කරගත්තා. පාසල් වේදිකාවේ අපි රංගනයේ යෙදුණා. ඒ අතර ජර්මානු මහාචාර්යවරයෙක් වුණු නෝර්බට් ජේ. මයර් නමැත්තා ලංකාවට ඇවිත් කළ නාට්‍ය පාඨමාලාව අපි හැදෑරුවා. මම, ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා වගේ අය නෝ‍ර්බට් ජේ. මයර්ගේ පාඨමාලාව හැදෑරූ පාසල් ශිෂ්‍යයෝ. ඒ පාඨමාලාවේ අවසන් ප්‍රතිඵලය ‘අනේ අබ්ලික්’ වේදිකා නාට්‍යය.

ලංකාවේ නොබිඳෙන වාර්තාවක් තියන්න ආනන්දයේ සිසු පිරිස සමත් වුණා කිව්වොත්....?

ඒතමයි පාසල් ශිෂ්‍යයෝ පිරිසක් විසින් පළමු වරට ප්‍රසිද්ධ වේදිකාවට වේදිකා නාට්‍යය නිර්මාණය කිරීම සහ සිනමාපටයක් නිර්මාණය කිරීම. සිසුන්ම පිටපත ලියලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. රිදී තිරයට කළ පළමු චිත්‍රපටය වුණේ ‘නිම්වළල්ල’යි. රංජිත් ලාල් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී , සරසවිය හිටපු කර්තෘ ඒ.ඩී. රන්ජිත් කුමාර, ප්‍රේමකීර්ති ද අල්විස් කියන පිරිසම ආනන්දයේ පිරිස. ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍යයක් කළේත් අපි. තුසිත ද සිල්වා තමයි එය ලියලා අධ්‍යක්ෂණය කළේ. ඒකේ නම ‘පාර වසා ඇත’. ඒක බලන්න ආවා ඒ දවස්වල තරුණ පත්‍රකලාවේදියෙක් වුණු අජිත් සමරනායක. ඔහුDaily News  පත්තරයට ඒ ගැන විචාරයකුත් ලිව්වා. ච්.ඛ්. රණතුංග ප්‍රසිද්ධ විචාරකයා ච්චඪතර ව්ඥඹඵ පත්තරයට විචාරයක් ලිව්වා.

සිනමාව තුළ ඔබට එතරම් විශාල රංගන පරාසයකට යන්න බැරිවුණා කිව්වොත්...?

සිනමාවේ එහෙම ලොකු පරාසයකට යන්න බැරිවුණේ රැකියාව එක්ක මේ කටයුතු කිරීම නිසයි. චිත්‍රපටවලට මාව හොයාගෙන ඇවිත් භාරදුන්න චරිත තිබ්බා. පරාක්‍රම ජයසිංහ අධ්‍යක්ෂණය කළ ‘එකදා වැහි’ චිත්‍රපටය එහෙම එකක්. ඔහු පළිඟු මැණිකේ, මිහිකතගේ දරුවෝ නරඹලා මාව සොයාගෙන ඔහු ආවා. චිත්‍රපට 20ක් 30ක් රඟපාලා තියෙනවා. අපි හදපු පිට්ටනියට තමයි අද ජරාවාස කරලා තියෙන්නේ

විශිෂ්ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන් යටතේ රංගනයේ යෙදෙන්න ඔබට අවස්ථාව ලැබුණා නේද....?

ඔව්, ‘පළිඟු මැණිකේ’ගෙන් පටන්ගත්තම එය අධ්‍යක්ෂණය කළේ ධම්ම ජාගොඩ ශූරීන්. ලූෂන් බුලත්සිංහල යටතේ ‘තාරාදේවි’ ටෙලිනාට්‍යයේත්, ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ අධ්‍යක්ෂණයෙන් ‘ගිරය’ ටෙලිනාට්‍යයේත් නාලන් මෙන්ඩිස් යටතේ ‘දූදරුවෝ’ , ‘පස්සෙ ගෙනා මනමාලි’ වගේ ටෙලිනාට්‍යවලත් රඟපෑවා..නාලන් මෙන්ඩිස්ගේ ටෙලිනාට්‍ය බොහෝමයක මම රඟපෑවා.

ඔබට මාධ්‍ය දිවියට පිවිසෙන්නත් උගත් පාසල බලපෑවා නේද....?

මාධ්‍ය දිවියේ ඇරඹුමත් පාසලෙන්මයි සිද්ධවුණේ. පාසලේ බෞද්ධ සංගමයට ලේක් හවුස් ආයතනයෙන් ලිපියක් ආවා පාසලේ ලේඛනයට, සාහිත්‍යයට උනන්දුවක් දක්වන සිසුන් දෙදෙනෙකු නම්කර එවන්න බුදුසරණ පුවත්පතේ විශේෂාංග ලිපි ලිවීම සඳහා කියලා. එවක බුදුසරණ කර්තෘ විදිහට හිටියේ සිවපාල බණ්ඩාර මහතා. එහිදී මාව සහ රංජිත් අමරකීර්ති පලිහපිටිය දෙදෙනාව නම් කර යැව්වා. අපි දෙදෙනා තමයි බුදුසරණට ලියන්න මුලින්ම ලේක් හවුස් පඩිපෙළ නඟින්නේ.

ඔබේ මාධ්‍ය දිවියේ ගුරු දේවතාවා මුණගැසුණේ අහම්බයක් ලෙස නේද....?

එය හරිම දෛවෝපගත අවස්ථාවක්. ලේක්හවුස් යන එන අතරේ පියගැටපෙළේදී එඩ්වින් ආරියදාස ශූරීන් හමුවීම මගේ මාධ්‍ය දිවිය එහෙම පිටින් වෙනස්වීමකට ලක්වුණා. එතුමා ඊටපෙර මා දැනගෙන හිටියේ අපේ පාසලේ සිනමා කලා වැඩමුළුවලට ඔහු සහභාගී වූ නිසා. ලේක්හවුස් පඩිපෙළේදී හමුවූ ඔහු මගෙන් මෙහෙම ප්‍රශ්න කළා, ‘මානවකයා, කෙහේද මේ’ කියලා. මම කිව්වා ‘සර් මම බුදුසරණට ලිපියක් අරගෙන ආවා’ කියලා. එවිට ඔහු කිව්වා ‘බුදුසරණ හොඳයි, ඇහැකිනම් මාව මුණගැසිලා යන්න’ කියලා. මම ඔහු සොයාගෙන ඔහු ළඟට ගියා. එහිදී කුඩා තුණ්ඩු කෑල්ලක් දුන්නා ඔහුගේ කාර්යාල කාර්ය සහයකට. දීලා ‘මේ තරුණයාව තුණ්ඩව එක්ක රැගෙන ගිහින් ධර්මසිරි ඉන්න තැනට දෙන්න’ කියලා. මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ කවුද ඒ ධර්මසිරි කියලා.

කවුද ඒ ධර්මසිරි...?

එම තුණ්ඩුවේ ලියා තිබුණා ‘ප්‍රිය ධර්මේ, මෙය රැගෙන එන ශිෂ්‍යයා ඔබගේ පුවත්පතේ වැඩකටයුතු සඳහා සුදුසු යැයි හැඟිමි’ කියලා. මම දැනගෙන හිටියේ නැහැ මේ තුණ්ඩව අරගෙන මම යන්නේ මගේ ජීවිතය ඒකාලෝක කරපු මගේ ගුරු දෙවියා හමුවෙන්න කියා. ඒ තමයි ‘ධර්මසිරි ගමගේ’. එකල යොවුන් ජනතා පත්තරේ කර්තෘ. ඔහු ඉතා ප්‍රියංකර විදිහට මාව පිළිගෙන මට උපරිම සහය දුන්නා. ඔහු එහිදී මට වගකීමක් පැවරුවා කාලෝ ෆොන්සේකා මහතා එන දේශනයකට ගිහින් ලිපියක් සකස්කරගෙන එන්න කියලා. එකල ආන්දෝලනයකට ලක්වුණු ගිනිපෑගීම ගැන ලිපියක් ඒක. ඒ ලිපිය මම වරක්, දෙවරක් ලිව්වා හිතට හරිමදි. තුන්වෙනුව ලියලා යම් තරමකට හොඳයි කියා හිතලා ඒක මම ධර්මසිරි සර්ට දුන්නා. ඔහු එය ඊළඟ සතියේ මැද පිටුවේ ‘ජ්ඹ්ඒඊ හෙවත් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ’කියලා පළකළා. සාකච්ඡා කළේ අනුර බණ්ඩාර රාජගුරු කියලා තිබ්බා. ඕක තමයි මගේ ජීවිතයේ පෙරළිය...

පාසලේ ක්‍රිකට් සඟරාව ඔබ අතින් සංස්කරණය වීමත් ඔබේ මාධ්‍ය දිවියේ පෙරළියක් වූවා කියා මා සිතනවා....?

ක්‍රිකට් සඟරාවක් සංස්කරණය කරන්න කියලා විදුහල්පතිතුමා මට කිව්වා. ආදිශිෂ්‍ය සංගමයේ රැස්වීමක් තියෙනවා ඒකට පොත් ටිකක් ලෑස්ති කරන්න පුළුවනිද කියලා ඔහු මගෙන් ඇහුවා. මම ඒ අභියෝගය භාරගත්තා. ඒ සංස්කරණය කළ පොත් වේදිකාවේ සිටිය අයට මම දුන්නා. වියපත් මහත්තයෙකුටත් දුන්නා. මම ඔහුව හැඳුනුවේ නැහැ. ඔහු ඒ පොත බලලා ‘මේක සංස්කරණය කළේ ඔයාද?’ කියා ඇහුවා. මේ වගේ වැඩකරන්න කැමැතිද ඇහුවා. වෙලාවක ලේක්හවුස් ඇවිත් ඔහුව හමුවෙන්න කිව්වා. යොවුන් ජනතා, බුදුසරණ පත්තරවලට මම ලියනවා කියාත් ඔහුට මම කිව්වා. පසුව මා ඔහු මුණගැසෙන්න ගියා. මාව සම්මුඛ පරීක්ෂණයකට දැම්මා.

ඒ සම්මුඛ පරීක්ෂණයත් ලේක්හවුස් එවක සභාපති රණපාල බෝධිනාගොඩ මහතා හමුවීමත් ලේක්හවුස් රැකියාව ලැබීමත් ආදී එකිනෙකට බැඳුණු අපූර්ව සිදුවීම් ගැන සිහිකළොත්...?

ඔව්, මම ඒ සම්මුඛ පරීක්ෂණයට ගියා. එවකට දිනමිණ කර්තෘ බන්දුල මෙත්තානන්ද මහතා ළඟට මාව දැම්මා. පැය 03ක ප්‍රශ්න පත්‍රයක් මට දුන්නා. මාව දියෙන් ගොඩදාපු මාළුවෙක් වගේ වෙවුලනවා. මම මේ මුකුත් දැනගෙන හිටියෙත් නැහැ. කොහොමහරි උත්තර ලිව්වා. පත්තරවල වැඩකළ නිසා යම් පරිචයකුත් මට තිබ්බා. ඒත් ප්‍රතිඵල දුන්නේ නැහැ. මම පසු කාලයේ රණපාල බෝධිනාගොඩ සර්ව හමුවෙන්න ගියා. එහිදී දැනගත්තා මම සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වෙලා කියලා. ඒ අනුව ලේක්හවුස් ආයතනයේ යොවුන් ජනතා පත්තරයේ කර්තෘ මණ්ඩලයේ තුන්වෙනි ශ්‍රේණියේ මාධ්‍යවේදියෙක් විදිහට රුපියල් 255 වැටුපට රැකියාව ලැබුණා.

‘ධර්මසිරිගේ ගෝලයා’වීම නිසා ඔබට විදග්ධ, උගතුන් රැසක් ඇසුරට අවස්ථාව ලැබුණා නේද...?

ධර්මසිරි ගමගේ මහතාගේ තිබුණු සාහිත්‍යමය හිතවත්කම් නිසා මහ ඇඳුරන්ගේ තිබුණු සබඳතාව නිසා ඒ කාලයේ යොවුන් පහන්වැට පටන්ගත්තා. ඒකේ නොයෙක් වැඩමුළු තිබ්බා. මට සුළු කාලයකින් විදග්ධ පිරිස හඳුනාගන්න ලැබුණා. ඔවුන් මාව හැඳීන්වූයේ ‘ධර්මසිරිගේ ගෝලයා’ කියා. ජේ.බී. සර් අදටත් එහෙමයි කියන්නේ. ධර්මසිරිගේ ගෝලයා වීම මෙහිදී මට වාසියක් වුණා. වියතුන් ඇසුර නිසා මගේ ජීවිතය ගොඩාක් වෙනස් වුණා කිව්වොත් හරි. එඩ්වින් ආරියදාස, සෝමවීර සේනානායක, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුනිල් මාධව ප්‍රේමතිලක, සිරි රණසිංහ වගේ පිරිසගෙන් මම බොහෝදේ ඉගෙනගත්තා. දැන් එහෙම වියතුන් අඩුයි. පත්තරකාරයෙක් හැදෙන්න නම් වියතුන් ඇසුරට ලැබෙන්න ඕනේ.

සරසවියේ කතු පදවියට පත්වීම ගැන මතක් කළොත්...?

යොවුන් ජනතා පත්තරය වැහුණට පස්සේ අපි එකඑක පත්තරවලට ගියා. සමහරු වෙනත්ම අංශවලට ගියා. නවයුගයටත් මම ගියා. සුනිල් රුද්‍රිගෝ මහතා සභාපතිව සිටි කාලයේ මම සරසවියට ගියා. ඒ කාලයේ ඒ.ඩී. රංජිත් කුමාර මහතා තමයි සරසවිය කර්තෘ විදිහට හිටියේ..ඊටපස්සේ අවුරුදු 12ක් විතර මම එහි වැඩකළා. ඒ පරිචය තමයි මට සරසවියේ කර්තෘ පදවිය ලැබෙන්න මට බලපෑවේ. ජනතා පත්තරයට ගිහින් එහි නියෝජ්‍ය කර්තෘ විදිහට ඉඳලා නැවත 2000 වර්ෂයේදී මම සරසවියේ කර්තෘ වුණා.

අද වනවිට තිබෙන E Paper  ගැන මොකද හිතන්නේ....?

තවමත් ආසියාතික රටවල හොඳ පත්තර කලාවක් තියෙනවා . බටහිර තමයි  E Marketing, E Papers  වගේ එවැනි විද්‍යුත් මාධ්‍යයට පත්තරය ඇවිත් තියෙන්නේ . පත්තරය කියන දේ හරි වටිනවා. රූපවාහිනිය වගේ එකක් දැක්කා, බැලුවා ඉවරයි. මේක කවදා හෝ වාර්තාගත වෙලා තියෙනවානේ. නැවත නැවත පත්තරය අපට ඕනකෙනෙක්ට පෙන්නන්න පුළුවන්නේ. ස්ථිර ලිඛිත සාක්ෂිය තමයි පත්තරය. අපි ඊයම්වලින් තැම්බුණු පත්තරකාරයෝ. අද ඊයම්වලින් තැම්බුණු අයත් නැහැ...

ඔබ සරසවියේ කර්තෘ පදවිය දරන සමයේ මතකද අවදි කළොත් සහ ඒ කාලයේ ඔබ පුවත්පතේ සිදුකළ වෙනස්කම් ගැන කතා කළොත්...?

සරසවියේ කතු පදවිය දරන සමයේ අපි කුටුම්භයක් ගැන හිතුවේ නැහැ. ඒතරම් කැපවෙලා වැඩ කළේ. වසර ගණනාවක් නැවතී තිබූ සරසවිය සිනමා සම්මාන උලෙළ මම නැවත පටන්ගත්තා. එතැනදී මට අමතක නොවන දෙයක් සරසවි සම්මාන පුරාවෘත්තයට මම එකතු කළා ඒ තමයි ‘සිනමා සාහිත්‍ය සම්මානය’ කියන අංගය. මම එය නම් කළේ මාව පුවත්පත් කලාවට බඳවාගත් හිටපු සභාපති බෝධිනාගොඩ මහතා සිහිකර ‘රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය’ නමින්. මගේ කාලයේ මට පුළුවන් වුණා ජීවමාන කලාකරුවකු වෙනුවෙන් ලංකාවේ පළමු මුද්දරය නිකුත් කරන්න. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන්. එතුමා ජීවත්ව සිටියදී එය සිදුකරන්න ලැබීම සතුටක්. ලෝකයේ ජීවමාන කලාකරුවකු වෙනුවෙන් මුද්දරයක් නිකුත් කළ ප්‍රථම අවස්ථාවත් මෙයයි. මගේ කාලයේ තමයි.

ඔබේ ලේඛන කලාව ගැන කිව්වොත්...?

මම සරසවියේ ඉන්න කාලයේ ලියපු ලිපි එකතුකරලා ‘නිම්තෙර නිම්නාද’ නමින් පොතක් එළිදැක්වුවා. කලා ක්ෂේත්‍රයේ, සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගේ චරිතවල චරිත කතා එකතුවක් එයට ඇතුළත්. ආචාර්ය තිස්ස අබේසේකර, සෝමවීර සේනානායක, මඩවල එස්. රත්නායක, නිශ්ශංක දිද්දෙණිය, කරුණාසේන ජයලත් වගේ චරිතවල එකතුවක් එයට ඇතුළත් .

තිරරචනා කලාව තුළ ඔබේ භූමිකාව පැහැදිලි කළොත්....?

මගේ සැබෑ අත්දැකීමක් තිරකතාවක් විදිහට ලිව්වා ‘කඳුළක නිවන’ නමින්. රංජිත් පෙරේරා නමැති ප්‍රකට අධ්‍යක්ෂවරයා එය අධ්‍යක්ෂණය කළේ. එය ජාතික රූපවාහිනියේ කොටස් 02ක ටෙලිනාට්‍යයක් ලෙස විකාශය වුණා. මියගිය තිස්ස නාගොඩවිතානයන්ගේ ඉල්ලීමකට අනුව ලිව්ව තිර නාටකයක් තවම මා ළඟ තියෙනවා. එය කොටස් 30-40ක ටෙලිනාට්‍යයකට ලියා තියෙන්නේ . එය නිෂ්පාදනයට සූදනම් වුණා. නළුනිළියන්, දර්ශනතල පවා තෝරාගෙන තිබ්බේ. එය නම්කර තිබුණේ ‘රන්මැණිකා’ නමින්. සිරිපාල සහ රන්මැණිකා කතාව ආශ්‍රයෙන් එය ලිව්වේ. මේ පිටපත කිහිපදෙනෙක් ඉල්ලුවා ඒත් මම දුන්නේ නැහැ. මොකද මෙය මා ලිව්වේ තිස්ස නාගොඩවිතානටම නිසා.

සිනමාවේ අර්බුදය ඔබ දකින්නේ කෙසේද...?

සිනමාව පිරිහිලාම ගිහින්. සිනමාවේ මළගම වෙලා එහි පාංශු කූලයත් දැන් දීලා ඉවරයි. ප්‍රේක්ෂකයා සිනමාවෙන් ඈත්කරලා තියෙන්නේ අවරගණයේ නිර්මාණ වගේම සංස්ථාව මෙයට මැදිහත් නොවීම සහ ප්‍රදර්ශකයන්ගේ තිබෙන අත්තනෝමතික ජරාජීර්ණ ක්‍රියාවලියයි. චිත්‍රපටයක් බලන්න ගෙදරින් ආවම බලන්න එනඑක නෙවෙයි සිනමාශාලාවේ තිබෙන්නේ, ඒකම අර්බුදයනේ. දැන් ප්‍රදර්ශන කාල 04ට චිත්‍රපට 04ක්. අපි කිව්වා 80 දශකයේ හින්දි චිත්‍රපට කොපි ඇවිත් මේ චිත්‍රපට කලාව නැතිවුණා කියලා, නැතිවුණේ නැහැ, ඒවාත් බොක්ස්ඔෆීස් තිබ්බා. අද තියෙන්නේ ප්‍රදර්ශකයන්ගේ අත්තනෝමතික, නිසරු ප්‍රතිපත්තිය නිසා චිත්‍රපට කලාව විනාශවීමක්. නිෂ්පාදකයෝ රැකගන්න ඕනේ සිනමා කලාවක් තියෙන්න නම් දැවැන්ත නිෂ්පාදන කරපු නිෂ්පාදකවරුන්ට ඇතැම් ප්‍රදර්ශන සමාගම්වලින් සල්ලි ගෙවා නැහැ. ‘විජයබා කොල්ලය’, නිෂ්පාදනය කළ එච්. ඩී. ප්‍රේමසිරි මහත්තයාට ප්‍රදර්ශක සමාගම් තවම ණයයි. එහෙම වුණාම නිෂ්පාදකයෝ තව චිත්‍රපටයකට පෙලඹෙයිද. මේ ඒකාධිකාරය නැතිකරන්න චිත්‍රපට සංස්ථාව සම්බන්ධ වෙන්න ඕන. ඉස්සර තිබ්බේ සිනමාස් සහ සිලෝන් තියටර්ස් සමාගම් දෙක විතරයි. ඒ කාලයේ සිලෝන් තියටර්ස් එකේ ෆිල්ම් එකක් දැම්මොත් සිනමාස් සමාගම එයාලගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්නේ නැහැ අර චිත්‍රපටයට දුවන්න කාලය දෙනවා. අඩුම තරමේ දින 50ක්වත් දෙනවා. අද එක පෝළිමට චිත්‍රපට රැසක් රිලීස් කරනවා. කොහොමද මිනිස්සු බලන්නේ. අද සිනමාශාලාවල බාර් තියෙනවා. චිත්‍රපට පෙන්වන්නේ නැහැ. තියෙන සිනමා ශාලාවල ආසන කැඩිලා, ගඳ ගහනවා. ඒ එකක්වත් හදන්නේ නැහැ. සමහර ඒවා බලන්න බැහැ සිනමා ශාලාවල තිරවල. තිස්ස අබේසේකර මහතාගේ කාලයේත් යම්යම් ප්‍රවණතා ආවා. ඒත් නිහාල්සිංහ යුගයක් ආයේ සිනමාවේ කවදාවත් ඇතිවෙන්නේ නැහැ. එදා සිටම මේක සංස්ථාවේ පාලනයෙන් ගිලිහිලා ගිහින් තිබ්බේ. අද වෙද්දී සංස්ථාව ඔවුන්ගේ කාර්යභාරය නොකර ඉන්නේ. සිනමාශාලා තියෙන සීමිත පිරිස පුදුමාකාර ඒකාධිකාරයක් ගෙනියනවා...

සිනමාවේ අද තිබෙන නවීන තාක්ෂණය ගැන ඔබේ අදහස....?

මිනිස්සු තාක්ෂණයට නැඹුරුවීම අපට වළක්වන්න බැහැ. අද සිනමාශාලාවකට මිනිස්සු ගියත් ඔවුන්ව රඳවාගන්නයි අවශ්‍ය. ඒකට හොඳ සිනමා ශාලා තියෙන්න ඕන. නවීන තාක්ෂණය සහිත හොඳ ශාලා පහසුකම් තියෙන්න ඕන. දැන් එහෙම බලන්න කැමැති වෙනම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. සිනමාව කියන්නේ අඳුරේ තනිවෙලා බලන වෙනම කලාවක්. ඒකට ප්‍රේක්ෂකයෝ නැහැ කියන්න බැහැ. ලෝකය දියුණුවෙන්න ඕනේ. තාක්ෂණය වැඩෙන්න ඕනේ. සිනමාවත් ඒ එක්කම ඉදිරියට යන්න ඕන..

අපේ සිනමාව අන්තර්ජාතික තලයට යෑම ගැන ඔබේ අදහස...?

නවක සිනමාකරුවන්ට චිත්‍රපට සංස්ථාවෙන් කොහෙද අතදීමක් තියෙන්නේ. සම්මාන දිනූ අයගේ චිත්‍රපට ලංකාවේ වෙනම පෙන්වනවා කිව්වා. ඒත් කාටද එහෙම අවස්ථාව ලැබිලා තියෙන්නේ...නවක චිත්‍රපටකරුවන්ට එහෙම අතදීමක් නැහැ. අපිට අතිදක්ෂ ලෝකය දිනන්න පුළුවන්, නව සිතුවිලි සම්ප්‍රදායක් තියෙන තරුණ අධ්‍යක්ෂවරු පිරිසක් ඉන්නවා. මේ පිරිසට රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ වෙන කිසිම තැනකින් කිසිම අනුග්‍රහයක් නැහැ...

වර්තමානයේ පුංචි තිරයේ ටෙලිනාට්‍ය කලාව ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද.....?

ටෙලිනාට්‍ය රඳාපවතින්නේ තිර රචනය තුළයි. වේදිකා නාට්‍ය රඳාපවතින්නේ නළුවාගේ කාර්යභාරය මතයි. සිනමාව රඳාපවතින්නේ අධ්‍යක්ෂගේ කාර්යභාරය මතයි. අද හොඳ තිරනාටක නැහැ. ටෙලිනාට්‍ය අවරගණයට ගිහින්. ඉතා සිල්ලරයට ටෙලිනාට්‍ය අද විකිණෙනවා . සඟ, ගුරු, ගොවි, ටෙලි, කම්කරු වෙලා තියෙන්නේ අද. දවසේ පඩියට වැඩකරන ගාණට අද වැටිලා. මෙය කලාවක්, කර්මාන්තයක් විදිහට දියුණුවෙලා නැහැ. හොඳ ටෙලි නිර්මාණයක් තියේනම් ප්‍රේක්ෂකයා රූපවාහිනිය වටා එක්වීම වළක්වන්න බැහැ. අද තියෙන්නේ හැකි ඉක්මනින් ටෙලිනාට්‍යයේ දර්ශන ටික රූගත කර අවසන් කිරීමේ තරඟයක්. එහෙම නැතිව ටෙලිනාට්‍ය කලාවක් අද නැහැ

ආධුනික රංගන ශිල්පීන් ගැන අද විවේචන තිබෙනවා...?

අලුත් අය අතර අති දක්ෂයන් පිරිසක් ඉන්නවා. ඒ ගැන සතුටුයි.ඒ අයට දැනුම ලබාගන්න අවස්ථාව වැඩියි. අතේ තියෙන ෆෝන් එකෙන් හැමදේම ඉගෙනගන්න පුළුවන්. ඔවුන්ට අතේ දැනුම තියෙනවා. අපේ කාලයේ අපට තිබ්බේ චිත්‍රපට උළෙලක් වගේ නරඹලා දෙයක් ඉගෙනගන්න. අපට එහෙම අතේ දැනුමක් තිබ්බේ නැහැ. හොඳ සිනමා කෘති පරිශීලනය කිරීමේ පහසුව තරුණ පිරිසට තියෙනවා. ඒවා පරිශීලනයයි ඔවුන්ට වැදගත් වෙන්නේ. අපට තිබ්බේ සමාජ විශ්වවිද්‍යාල විතරයි. සමාජයේ සිදුවීම් දැකලා ලබන දැනුම අපට තිබ්බේ. අද තරුණ පරපුරට ඉදිරියට යන්න අවස්ථා තියෙනවා. තාක්ෂණයත් එක්ක ගිරව් වගේ දෙබස් කියන එකත්, ඇඳුම් මාරුකිරීමත් නෙවෙයි රඟපෑම කියන්නේ කියලා ඔවුන් අවබෝධ කරගන්න ඕනේ..

ඔබේ රංගන දිවියේ ගුරුතත්හිලා සලකන පිරිසක් ඇති මතක් කරන්න...?

මගේ කලා දිවියේ මූලිකම ගුරුතුමා විදිහට පළමුවෙන්ම ගරු කරන්න ඕනේ ධම්ම ජාගොඩ ශූරීන්ට. ඔහු නිසා තමයි මට ‘පළිඟු මැණිකේ’ට සම්බන්ධවෙන්න පුළුවන් වුණේ...සෝමවීර සේනානායක, ලූෂන් බුලත්සිංහල වගේ පිරිසගෙනුත් ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ වගේ අයගෙනුත් එච්. ඩී.ප්‍රේමරත්න වගේ අයෙගෙන් අපි යමක් ඉගෙනගත්තා. මාව යම් නිර්මාණයකට දායක කරගත් සෑම කෙනෙක්ටම මම ස්තුතිවන්ත වෙනවා...

 

[email protected]