සිනමාව හඳුනා ගත යුත්තේ කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක ලකුණු විවරණයට සපැමිණෙන මඟක් ලෙසින්ද? නො එසේනම් සුවහසක් රසික ජනයා වෙත ආනන්දයක්ම ගෙන එන මඟක් ලෙසින්ද? මේ අතර හා මේ වටා පවතින නා නා විධ එළැඹුම් රසිකයා වෙත සංජානනයට නොපැකිළෙන මඟක් ලෙසින්ද? එසේම සිනමාවේ පළමුවැනි වගකිවයුත්තා වන්නේ සිනමාකරුවාද? මෙම සියලු පැන නඟන්නට සිදුවන්නේ සිනමාව යනු කුමක්දැයි යන්න හරිහැටි හසු කර ගැනීමේ වුවමනාව සැබෑවක් බවට පත්කරලීමේ අරමුණ වෙනුවෙනි. මෙහිලා දැක්වූ සියලු තැන්හි සරණ සිනමාකරුවකු හමුවන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. වෙසෙසින්ම සිරිලක සිනමාව බඳු වඩා කුඩා වපසරියක හැසිරෙන සිනමා මෙහෙයුම් පිළිබඳ කරුණු විමසන විටදී මෙය වඩා සහේතුකය. එනමුදු අමරිකානු, යුරෝපීය හා ඉන්දියානු සිනමා කලාප වෙතින් මේ තතු මෙලෙසින්ම උද්ගත නොකරන වගද පෙනේ.
අදින් දශක දෙකකට පෙරාතුව සිය දිගු සිනමා දිවිය නිම කළ සිනමාකරු එච්.ඩී.ප්‍රේමරත්න, අද දවසේදී සමීප වන්නේ උක්ත මං සියල්ලටම බට හා ඊට අකැමැති නොවූ සිනමාකරුවකු සේය. ඉන් ඇතැම් මඟක් ඔස්සේ ඔහු සැලකිය යුතු දුරක් ගමන් කළ බව සැබෑවකි. ඇතැම් මඟකට ඔහු පිවිසුණා පමණි. තවත් මඟකට පිවිසෙන්නට ඔහු අදි මදි කළ බවද පෙනේ. වැඩි දුරක් යා හැකි යැයි පෙනී ගිය මඟක් ඔහුට මහෝපකාරී නොවූ අවස්ථාද තිබිණි. කෙසේ වෙතත් අද දවසේදී ඔහුගේ සිනමා මෙහෙයුම ආවර්ජනය කළ යුත්තේ අතීතානුස්මරණයක ඇති හැඟුම්බර බව යටපත් කර දමමිනි. නිරනුමානවම වත්මන් හා ඉදිරි සිනමා මෙහෙයුම් අරභයා වූ සාරගර්භ කතිකා පොහොසත් කරලන චේතනාවකිනි. මෙය ඔහු වෙත අද දවසේදී පිරිනැමිය හැකි ඉහළම සම්මානය වනු ඇත. එනම් ඔහුව හා ඔහුගේ සිනමා මෙහෙයුම යාවත්කාලීන කරලීමේ ඉඩ කඩ පුළුල් කරලීමයි. මෙයට උචිත වාස්තවික තතු නිශ්චය කර ගැනීම මෙදවස සිනමා මෙහෙයුම් හි නිමග්න අයවලුන්ගේ මෙන්ම සිනමා විවරණයේ නිමග්න අයවලුන්ගේද වගකීමක් වේ.
ප්‍රේමරත්න වෘත්තාන්ත සිනමාව හා එක්වන්නේ සිනමාව පිළිබඳ යම් පමණක හෝ වැටහීමකින් යුතුවය. වෘත්තාන්ත සිනමාපට ද්වයක් නිමවීමට සහය වූවකු ලෙසිනි.ඇතැම් සමකාලීනයන් මෙන් කෙටි හෝ වාර්තා සිනමාවෙන් වෘත්තාන්ත සිනමාවට පැමිණීමේ ඉඩක් ඔහුට නොතිබූ වග සඳහන් කළ යුතුය. විජය ධර්ම ශශ්‍රී, සුනිල් ආරියරත්න, පරාක්‍රම ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක සේම ධර්මසේන පතිරාජ බඳු සිනමාකරුවන්ද වෘත්තාන්ත සිනමාවතරණය සපුරා ගත්තේ කෙටි හෝ වාර්තා සිනමාව ඉවහල් කොට ගෙනය. එසේම ප්‍රකට හා අප්‍රකට සිනමා අධ්‍යයන සමඟය. සුමිත්‍රා පීරිස්ගේ සිනමාවතරණයට වෙනත් හේතු තුඩු දුන් බවද මෙතැනදී සඳහන් කිරීම අනුචිත නොවේ. මේ ඔහුගේ සිනමා මෙහෙයුම වෙතින් දිස්වන එක් අනන්‍ය ලකුණක් සේ පෙනේ.
දශක ත්‍රයක් තිස්සේ ප්‍රේමරත්න විසින් නිමවන ලද වෘත්තාන්ත සිනමාපට සංඛ්‍යාව දහ අටකි. ඉන් සිනමාපට දහසයක්ම තිරගත කෙරිණි. දිගු සිනමාකරණ දිවියක් ගත කරන බොහෝ සිනමාකරුවනට සිය සියලු සිනමාපට මුළුමනින්ම හා සිත් සේ නිමවීම අසීරු වන බව රහසක් නොවේ. එසේම නිමවූ සියලු සිනමාපට තිරගත කිරීමේ හැකියාවකින්ද ඔවුන් වියුක්තවන තැන් ගණනාවකි. මේ අත්දැකීම් ප්රේමරත්නටද පොදුය. ඇතැම් සිනමාපටයක ඔහු අදියුරු වූයේ එකඟතා අවම කර ගනිමිනි . විටෙක සැලකිය යුතු එකඟතාවකින් තොරවය. ‘සසරක පැතුම්’ හා ‘හස්ති වියරුව’ මෙහිලා දැක්විය හැකි නිදසුන්ය. එසේම ‘උඩු සුළඟ’ යනුවෙන් නම් කළ සිනමාපට නිම කළද තිරගත කිරීමේ හැකියාවක් ඔහුට නොලැබිණි. මෙය සිනමාකරු හා සිනමා නිපැයුම්කරු අතර පවතින ඇතැම් පරස්පරතා පිළිබිඹු කරලන්නකි.
කවර පසුබෑම් කවර අයුරකින් පැවතියද දශක ත්‍රයක් තිස්සේ සිනමාපට 8ක් නිමවීමට සිරිලකදී යම් සිනමාකරුවකුට අවකාශ සැලසෙන්නේ ඉතා කලාතුරකින්ය යන්න පැහැදිලිය. දශක අටකට ආසන්න සිරිලක කථානාද වෘත්තාන්ත සිනමාව විෂයෙහි මෙබඳු තැනකට සපැමිණි සිනමාකරුවන් අතර ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුනිල් ආරියරත්න, කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා, සුනිල් සෝම පීරිස්, යසපාලිත නානායක්කාර, උදයකාන්ත වර්ණසූරිය වැන්නන් ප්රමුඛ වූහ. මෙතැනට ප්‍රේමරත්නද එක්වන්නේ අනන්‍යතා සහිතවයි. මෙයද ඔහුගේ සිනමා මෙහෙයුමේ එන එක් ලකුණකි.
වසර ගණනාවක් තිස්සේ නොකඩවා, ඉඳහිට හෝ අවස්ථාවෝචිතව සිනමාකරණයෙහි නියුතු සිනමාකරුවන් ප්‍රකට කළ තතු විවරණයේදී බොහෝ විට අදාළ කර ගන්නේ ඒ ඒ සිනමාපට තිරගත අනුපිළිවෙළයි. මෙයට අනුව ප්‍රේමරත්නගේ සිනමා මෙහෙයුම ආවර්ජනයේදී මුල් කර ගත යුත්තේ ‘සිකුරුලියා’ යි. නිමා කළ යුත්තේ ‘කිණිහිරියා මල්’ සමඟිනි. සිනමාකරුවකුගේ මුල් පිවිසුම, පෙරට ඒම් , දෝලනය වීම් හා සැරිසැරීම් සේම සලකුණු කරලන උච්චස්ථාන පිළිබඳ කියැවීමකට මේ පිළිවෙත උපකාරී වනු ඇත. කෙසේ වුවද මෙහිදී වැර දරනුයේ එය මුළුමනින්ම බැහැර නොකොට ඒ ඇසුරෙන් ජනනය වන අන් පිළිවෙතක් මත පිහිටන්නටය. මේ පිළිවෙත වන්නේ ඔහුගේ සිනමාපට තිරගත වීමේ අනුපිළිවෙළ මත එහෙම පිටින්ම නොරැඳී සහේතුකව අදියර කිහිපයක් හසු කර ගන්නටය. මෙය ඔහුගේ සිනමා මෙහෙයුමේ සමස්තය වටහා ගැනීමේ වත්මන් වුවමනාව කුළුගන්වාලීමට නිසැකවම හේතු වනු ඇතැයි සිතේ. එනම් වත්මන් සිනමා මෙහෙයුම් වෙත ඔහුගේ දැක්ම හා මෙහෙවර කාන්දු කරලීමේ හැකියාව පුළුල් කරලීමයි. ඊට අවැසි පසුබිම් තතු සහතික කරලීමයි.
ප්‍රේමරත්නගේ සිනමා මෙහෙයුමේ මුල් අදියර සිනමාපට සතරකින් සමන්විතය. ‘සිකුරුලියා’ ‘අපේක්ෂා’ , ‘සසරක පැතුම්’ හා ‘හස්ති වියරුව’ මෙම සිනමාපට කිහිපයයි. දෙවන අදියරට එක් කළ හැකි වන්නේ ‘පරිත්‍යාග’ , ‘දෙවෙනි ගමන’, ‘ආදර හසුන’, ‘මංගල තෑග්ග’ හා ‘සහරාවේ සිහිනය’යන සිනමාපටයි. ‘පාලම යට’ , ‘කුලගෙය’ , ‘සප්ත කන්‍යා’ , ‘සෙයිලම’ , ‘වීසිදැල’ හා ‘කිණිහිරියා මල්’ තෙවන අදියරට එක් කළ හැකි සිනමාපට වේ. සිව්වන අදියරට එක් කළ හැක්කේ ‘මන්දාකිණි ’ පමණි.
සිනමා විචාරය තුළදී ප්‍රේමරත්නගේ සිනමා මෙහෙයුම සමස්තයක් ලෙසින්ද, එකිනෙක සිනමාපට ඉලක්ක කර ගනිමින්ද විමසූ අවස්ථා බොහෝය. ඔහුගේ බොහෝ සිනමාපට තිරගත කෙරුණේ රසික ප්‍රතිචාර සේම විචාර ප්‍රතිචාරද නොමඳව ලබමිනි. කෙසේ නමුත් මේ ද්විවිධ ප්‍රතිචාර පසුකාලීනව විද්‍යමාන වන්නට වූයේ එලෙසින්ම නොවේ. ඉන් අදහස් කෙරෙන්නේ ඔහු එසමයට පමණක්ම අදාළ වන, කල් ඉකුත්වීමේ ඉරණමට මුහුණ පෑ සිනමාකරුවකුය යන්න නම් නොවේ. ඔහු නොමැතිව ගෙවී ගිය පසුගිය විසිවසර තුළ සිය ප්‍රතිභාව නොමඳව පළ කරමින් පෙරට ආ සිනමාකරුවන් පිරිසකගේ බලයට සිරිලක සිනමා කලාපයම යටත් වී තිබෙන නිසාවෙනි. මේ ප්‍රේමරත්නගේ අත්දැකීමක් පමණක්ම නොවන වග සඳහන් කිරීම වැදගත්ය. ඔහුගේ හොඳම සමකාලීනයන් වන විජය ධර්ම ශශ්‍රී හා සුමිත්‍රා පීරිස්ද මෙතැනට කැඳවීම යුක්තියුක්තය.
සිනමා විචාරකයන්ගේ පොදු අදහසක් වන්නේ ප්‍රේමරත්න සිනමාකරුවකු ලෙස සිය නිර්මාණශීලීත්වය කෙමෙන් වඩවා ගත් බවයි. මෙහිදී ඔවුන් වැඩි නැඹුරුවක් දක්වන්නේ ප්‍රේමරත්නගේ සිනමාපට එකින් එක ගෙන අනතුරුව තිරගත අනුපිළිවෙළ මත තබා විමසන්නටය. එසේම සිනමාව යනු කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක ප්රකාශනයක්ය යන්න ප්‍රේමරත්නගේ සිනමා මෙහෙයුම ඇසුරෙන් දැකීමද ඔවුනගේ අරමුණකි. මුල් සමයේ ප්‍රේමරත්නගේ සිනමාපට මෙයට අදාළ ලකුණු නොපෙන්වූ බව ඉන් කියවුණු එක් විවාදාත්මක අදහසකි. පසුකාලීනව ඔහුගේ සිනමාපට කිහිපයක්ම කලාත්මක, සම්භාවනීය හා විවාදාතක්මක ලකුණු නන් අයුරින් විදාරණය කළ බවද අනතුරුව කියැවිණි.
යට කී අදියර සතර සමඟ ප්‍රේමරත්නගේ සිනමා මෙහෙයුම විනිවිද දකිද්දී සිනමා විචාරයේ සුපුරුදු පිළිවෙත් සතු සුලබ හා ඒකාකාර බව ඉක්මවාලන්නටත්, නව කියැවීම් උද්දීපනයටත් ඉඩ කඩ සැලසේ. ඉන් අදහස් කෙරෙන්නේ ප්‍රේමරත්න මතු නොව දිගු කාලීන සිනමා මෙහෙයුම් සතු අන් සිනමාකරුවකු අරභයා වුව විකල්ප හෝ වෙනස් කියැවීම් ගෙන හැර පෑම පසුකාලීනව වැඩදායක විය හැකි බවයි. සැබැවින්ම ප්‍රේමරත්න යන සිනමාකරුවා වත්මන් සමයට මෙන්ම ඉදිරි සමයටද අදාළ වන්නකු විය හැක්කේ එමඟට අවතීර්ණ වීමෙන්ය යන්න කිව යුතුය.
මුල් අදියරේ එන සිනමාපට සතර අවලෝකනයේදී කිසියම් නිර්ව්‍යාජ බවක් පිළිබඳ අදහස් සමහරක් සපයා ගත හැකිවේ. එසේම කිසියම් අපූර්වත්වයක් පිළිබඳ අදහසක්ද ජනනය වන වග පෙනේ. මෙය ප්‍රේමරත්න එදා සතු කර ගත සිනමා දැනුමේ පමණ කියාපාන්නකි. සිනමාපට දෙකක පමණක් සහය අදියුරු ලෙස නියැළුණද තමන්ගේම වූ සිනමා දැනුමක් වගා කර ගන්නට ප්‍රේමරත්න වෙත ඉන් ලැබී ඇත්තේ සමහර විට අල්ප අවකාශයක් වන්නට පුළුවන. එසේම මේ සිනමාපට ද්වයම සිරිලක සිනමා වංශයේ වෙසෙසින් සඳහන් කළ හැකි ඒවා නොවන බවද කිව යුතුය. ඒවා හා ප්‍රේමරත්නගේ පළමුවැනි වෘත්තාන්ත සිනමාපටය වන ‘සිකුරුලියා’ සසඳන කළ පෙනී යන්නේ ප්‍රේමරත්න යනු පෙර සිනමා අත්දැකීම සමඟ සේම සිනමාව පිළිබඳ පෙර විමසුම්ද සමඟ ගොඩ නැඟුණු සිනමාකරුවකු වන බවයි. ‘සිකුරුලියා’ හි එන වෘත්තීමය බව ඊට අවැසි පසුබිම සම්පාදනයට පසුබට නොවන බවයි දත හැක්කේ.
සමකාලීන විනෝදාත්මක සිනමාව රස ගැන්වූ මුල් පෙළේ අංගෝපාංග මෙම අදියරේදී ප්‍රේමරත්න විසින් නොපැකිළව එක්කර ගනු ලබන්නේ කිසියම් අවදානම් සගගත බවක්ද පවතිද්දීය. මෙයින් කියැවෙන්නේ ප්‍රේමරත්න සිය සිනමා මෙහෙයුම කෙරෙහි දැක්වූ අවංක බවයි. එසේම තම සීමා යටතේ සැලකිය යුතු පරිවර්තන යථාවත් කරලීමට ඇති හැකියාව කෙරෙහි දැක්වූ සැලකිල්ලයි.
ක්ලැරන්ස් විජේවර්ධන සිනමා සංගීතයේ සමතකුය යන්න සහතික කරන්නේ මෙම අදියරෙදිය. සිකුරුලියා හා අපේක්ෂා සිනමාපට වෙතුනි. සිනමා රූපනයට නවකයකු වූ බන්දුල ගලගෙදර වෙතින් විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම හා සුව්නිතා කෝන්ගහගේ මට්ටමේ දායකත්වයක් සහතික කර ගැනෙන්නේ සිකුරුලියා වෙතිනි. ඉන්ද්‍රානි පෙරේරාගේ ගයනා සිනමනුරූපී ව හසුරුවාලිමක් සිකුරුලියා හිදී දැක හැකිවේ. අමරසිරි කලංසූරිය වෙත සදරණිය පෙම්වතකුගේ චරිතය ට යුක්තිය ඉට්කරවා ගන්නේ ‘අපේෂ්කා වෙතිනි. විකල්ප සිනමා තරුවක් සේ හඳුනා ගහත හැකි රොබින් ප්‍රනාන්දු අපේක්ෂා හා හස්ති වියරුව හි ප්‍රධාන චරිත නිරූපණය ට එක්කර ගැනීමද මෙහිලා කැපී පෙනේ. හස්ති වියරුවහි රොබින් නිරූපණය කරන්නේ මැදිවියද ඉක්මවූ විශ්‍රාමික වන ජීවි නිලධරයකුගේ චරිතයයි. අකාලයේ දිවියෙන් සමුගත් රන්ජන් මෙන්ඩිස් අපෙක්ෂා හා සසරක පැතුම් හි සිය රූපණ සමත කම් විදහා දැක්වූ නවද සිහිකටයුතුය.
ප්‍රේමරත්න ‘හස්ති වියරුව’ ගෙන එන්නේ බටහිර ගොපලු සිනමාපටයක් සිහි ගන්වමිනි. එතෙක් නිර්මිත ඔහුගේ සියලු සිනමාපට තරයම යාන්තමින් හෝ ඉඟි කලේ පෙර කී සමාන්තර සිනමා ලකුණුය. ප්‍රේමරත්නගේ අසමතම සිනමාපටය සේ බොහෝ විට හඳුන්වා දෙන සසරක පැතුම් පවා මෙම න්ලකුනු ඉඟි කරන්නට පසුබට නොවුයේ යයි අද දවසේදී ගඟේ.
‘හස්ති වියරුව තිරගත කෙරෙන්නේ ප්‍රේමරත්නගේ සමාන්තර සිනමා මෙහෙයවීම නිල වශයෙන්ම ඇරඹුණු පසුබිුමකය. මේ පරිත්‍යාග සිනමාපටයෙනි. එසේම මේ ප්‍රේමරත්නගේ සිනමා මෙහෙයුමේ දෙවන අදියරයි. පොදු ජන සිතුම් පැතුම් සියුම්ව දකිමින් හා ඒවා පිරිමැදීමට පසුබට නොවෙමින් ගොඩ නැඟුණු මෙම අදියර නිරන්තරයෙන්ම ස්ත්‍රී චරිත තුළට පිවිසීමට දැක්වුයේ මහත්වූ කැමැත්තකි. එනමුදු ප්‍රේමරත්න යථාර්ථවාදී සිනමාකරුවකු සේ හඳුන්වා නොදේ. ඊට එක හේතුවන් වන්නේ ප්‍රේමරත්න තමා අනුදත් සිනමා මෙහෙයුමෙන් බැහැර වන්නට එපමණ කැමැත්තක් නොදැක්වීමයි. යථාර්ථවාදී සිනමාව ඇති දේශපාලනික බවද මෙතැනදී සඳහන් කළ හැකි තවත් හේතුවකි. ප්‍රේමරත්න කිසිදු විටෙක දේශපාලනික සිනමා මෙහෙයුමක් කෙරෙහි සිය අවධානය යොමු නොකළ සිනමාකරුවෙකි.
ප්‍රේමරත්න මෙම දෙවන අදියරේදී ප්‍රේමය, කුටුම්භ දිවිය, විවාහ සිරිත් ආදී තේමා විෂය කොට ගන්නේ එබඳු තෝරා ගැනීමකට උනන්දු වන අන් සිනමාකරුවන් රහිත හා සීමිත පසුබිමකය. මෙය ප්‍රේමරත්න සිනමා වෙළෙඳ පොළ ජය ගත හැකි සිනමාකරුවකු වන බවද අවධාරණය කිරීමකි. ‘දෙවෙනි ගමන’, ‘ආදර හසුන’, ‘මංගල තෑග්ග’ යන සිනමාපට තිරගත කෙරෙන්නේ සිරිලක සිනමාව පැවැත්ම පිළිබඳ බරපතළ අර්බුදයකට මැදිව සිටියදීය. ඉහළ රසික ප්‍රතිචාර අපේක්ෂාවෙන් නිර්මිත විනෝදාත්මක සිනමාපට ගණනාවක්ම ඇද වැටුණේ අවාසනාවන්ත අයුරිනි. කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක අන්දමින් සිනමාව භාවිතයට සපැමිණි ප්‍රවීණ හා නවක සිනමාකරුවන්ද සිය සිනමාපට සඳහා ඉහළ රසික ප්‍රසාදයක් සහතික කර ගන්නට අසමත් වූ අවස්ථා ද මෙසමයේදී දක්නට ලැබිණි. ප්‍රේමරත්න මේ කිසිත් නොසලකා තමාගේම මඟ ඔස්සේ ගමන් කරන්නට වූයේ ඉක්මන් ගමනින් නොවේ. හෙමින් සීරුවේය. මෙතැනට ‘සහරාවේ සිහිනය’ සිනමාපටය එක් කරලීම සම්බන්ධයෙන් විරෝධතා මතු වීමටද ඉඩ තිබේ. පාලනය කළ නොහැකි හේතු කිහිපයක්ම නිසා ප්‍රේමරත්න වෙතින් යම් පමණකට ගිලිහී ගිය සිනමාපටයක් සේ ‘සහරාවේ සිහිනය’ හඳුන්වා දීම උචිතය. ප්‍රේමරත්න මුද්‍රාව මෙහිලා දැකිය හැකි වූයේද අපැහැදිලි ආකාරයෙනි.
සිය සිනමා මෙහෙයුමේ තෙවන අදියරට ප්‍රේමරත්න එක් වන්නේ සිරිලක සිනමාවේ පළමු පෙළ සිනමාකරුවන් සමඟ නොපසුබටව රැඳෙන්නට අවැසි සුදුසුකම් සපුරා ගත් පසුබිමකය. මෙය ‘පාලම යට’ සිනමාපටයෙන් මනාව පිළිබිඹු වේ. අනතුරුව නිර්මිත ‘කුලගෙය’, ‘සප්ත කන්‍යා’ , ‘සෙයිලම’, ‘වීසිදැල’ යන සිනමාපට ‘පාලම යට’ ඉක්මවමින්ද, ඊට සමගාමිවද තවදුරටත් සහතික කරලන්නට වූයේ ප්‍රේමරත්නගේ සිනමා මෙහෙයුමේ විසල් ස්වභාවයයි. මේවායේදී ප්‍රේමරත්න සිය දෙවන අදියරේදී පෙන්නුම් කළ ඇතැම් පසුබෑම් සැලකිය යුතු අන්දමින් මඟ හරවා ගන්නට සමත් වූ අයුරු පෙනේ. සමත්කම් සහිත සිනමාකරුවකු වීමට නම් සිනමාවේ කාර්මික පෙදෙස්ද කෙමෙන් හෝ ජය ගත යුතු වග සැබෑවකි. ආපසු හැරී බලන කළ ‘පරිත්‍යාග’, ‘දෙවෙනි ගමන’ හා ‘ආදර හසුන’ යන සිනමාපට තුළ ඊට අදාළ ඇතැම් ඌනතා නිශ්චය කර ගත හැකිය. එහෙත් යම් උත්ප්රාසාත්මක බවක් උද්දීපනයට ‘සිකුරුලියා’, ‘අපේක්ෂා’, ‘හස්ති වියරුව’ හා ‘මංගල තෑග්ග’ යන සිනමාපට පෙන්නුම් කළ නිපැයුම් ප්‍රමිතිය සමත් වෙයි. පළපුරුදු කැමරා ශිල්පීන්, සංස්කාරකවරුන් , ශබ්ද පරිපාලකවරුන් සහභාගී කර ගත්තද ප්‍රේමරත්නගේ සිනමා මෙහෙයුමේ මෙවැනි අවස්ථා දැකිය හැකි වීම පුදුම සහගත නොවේ. එනම් මේ හැම විටෙකදීම ප්‍රේමරත්න සිනමාකරුවාගේ චරිතය තමන් විසින්ම නිරූපණය කරනු ලැබීමට කටයුතු කර තිබීමයි.
මෙම තෙවන අදියරේ එන ප්‍රේමරත්නගේ හැම සිනමාපටයක්ම සමානතා සමුච්චයක් දනවන අයුරු පෙනේ. ‘පාලම යට’ හා වීසිදැල’ යන සිනමාපට මෙහෙයවීමේදී දේශපාලනික බවක් මතු වීමේ අවස්ථා යටපත් කරලන්නට ප්‍රේමරත්න සැලකිලිමත් වූ සැටියකි. මෙහිලා පෙරට ආවේම මිනිස් සබඳතා සතු සියුම් ලකුණුය. ඒ හා බැඳුනු සමාජයීය තතු හා ඒවායේ පරිවර්තන ආදියේ එන පොදු තතුය. ‘කුලගෙය‘ සිනමාපටයේ එන මිනිස් සබඳතා පමණක්ම ගත් කලද ප්රේමරතන්ගේ මෙම දැක්ම නිශ්චය කර ගත හැකිවේ.
පළමු පෙළ චරිත නිරූපණයට සම්මත හා විකල්ප තරු පෙරට වඩා එක්කර ගන්නට මෙම අදියරේදී ප්‍රේමරත්න උනන්දු වෙයි. මෙය නිසැක වශයෙන්ම ඔහුගේ සිනමා මෙහෙයුමේ වෙළෙඳ පොළ පිවිසුම් හා බැඳේ. රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ ,සනත් ගුණතිලක, රොබින් ප්‍රනාන්දු ,ගීතා කුමාරසිංහ, ශ්‍රියාණි අමරසේන, ජැක්සන් ඇන්තනි, ඩබ්ලිව්.ජයසිරි, වසන්ති චතුරාණි, ලකී ඩයස්, කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න හා අනෝජා වීරසිංහ මොවුන’තර සිටිති.
ප්‍රේමරත්න සිය සිනමා මෙහෙයුමේ තෙවන අදියරේ අවසන් සිනමාපටය වන ‘කිණිහිරියා මල්’ගෙන එන්නේ යම් නොපෑහීමක්ද සමඟය. ‘කිණිහිරියා මල්’ මෙම අදියරේදී දත හැකි සමත්කම් අඩු සිනමාපටය වීම ඊට හේතුවයි. කෙසේ නමුත් ‘කිණිහිරියා මල්’ ට පෙරාතුව තිරගත ‘මන්දාකිණි’ සිනමාපටය සමඟ තමා මීළඟ අදියරට සපැමිණෙන බවයි ප්‍රේමරත්න ඉඟි කරන්නේ.
‘මන්දාකිණි’ ද මිනිස් සබඳතා පිළිබඳ කියැවීමකට ආ සිනමාපටයක් වුවද පෙර මෙන් සමාජීය අරුත් දැනවීමට එපමණ උත්සාහයක් නොගත් සිනමාපටයක් සේ දත හැකිවේ. කිසියම් කල්පිත තලයක රැඳෙමින් යම් පුවතක්, සිදුවීම් පෙළක් විවරණයට සූදානම් වූ සිනමාපටයක් සේ මෙය හඳුන්වා දීම වඩා සුදුසුය.එසේම මෙය ප්‍රේමරත්නගේ සිනමා මෙහෙයුමේ අවගමනයක් සලකුණු කරලන අදියරක ඇරඹුම සේ හඳුන්වා නොදීමද අතිශයින්ම වැදගත්ය. අභිමත මාදිලියක සිනමාපට නිමවීමට සිනමාකරුවකු සතු හිමිකමයි ප්‍රේමරත්න මෙතැනදී භුක්ති විඳීන්නේ. එමෙන්ම ‘මන්දාකිනි’ හි හැඩ රුව හා අරුත සමඟ ගැටුම් ඇතිකර ගැනීමේ සහේතුක පසුබිමක්ද නොපවතී.
අවාසනාවකට සිය සිනමා මෙහෙයුමේ සිව්වන අදියර ඔස්සේ තවදුරටත් ගමන් කිරීමේ හැකියාව ප්‍රේමරත්නට නොලැබිණි. අනපේක්ෂිත මොහොතක ඔහු සිනමාව සේම ජීවිතයද හැර නොගියේ නම් ගෙවුණු දෙදශකයක පමණ කාල වකවානුව තුළ සිරිලක සිනමාව ප්‍රකට කළ මුහුණුවර සේම එහි ඇතුළාන්තයද මෙයට වඩා තරමක් දුරට හෝ වෙනස් අයුරකික් දකින්නට ඉඩ කඩ සැලසෙනු ඇති සිතේ.
ප්‍රේමරත්නගේ වියෝවෙන් අනතුරුව අඩපණව ගිය සමාන්තර සිනමා මාදිලිය නව ජවයකින් යුතුව ඔසවා තබන්නට වත්මන් තරුණ හා නවක සිනමාකරුවන් සතු හැකියාව අවතක්සේරු නොකළ යුතුය. අද දවසේදී ඔහු අනුදත් සමාන්තර සිනමා මාදිලිය නිරවුල්ව හඳුනා ගැනීම අසීරුය. මන්ද අද ඇත්තේ නා නා විධ මාදිලි හා අනු මාදිලි පෙරට වඩා මුසු වූ සිනමා නිමවුම් වන හෙයිනි. එනමුදු විමසුම් සහගතව බලන කල මේ ඇතැම් සිනමාපටයක ඔහුගේ මුද්‍රාවේ සලකුණු දැකිය නොහැකි නොවේ.
තුසිත ජයසුන්දර
