Home » 61 වැනි විවාහ සංවත්සරය සමරන ප්‍රවීණ රංගවේදිනි ශ්‍රියාණි අමරසේන

61 වැනි විවාහ සංවත්සරය සමරන ප්‍රවීණ රංගවේදිනි ශ්‍රියාණි අමරසේන

ප්‍රවීණ රංගවේදිනි ශ්‍රියාණි අමරසේන

by mavan
November 6, 2025 12:25 pm 0 comment

සිංහල සිනමාවේ ශ්‍රියාවිය ශ්‍රියානි අමරසේන රංගවේදිනිය සිනමාවේ, වේදිකාවේ, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දස්කම් විහිදාලන අපට සිටින ජ්‍යේෂ්ඨතම රංගවේදිනියකි. පාලමකුඹුර හේරත් මුදියන්සේලාගේ ශ්‍රියානි වීරකොන් කුමාරිහාමි නමින් 1944 වර්ෂයේ උපත ලද ඇය විවාහයෙන් පසු ශ්‍රියාණි අමරසේන විය. අයගේ අත ගත්තේ මාධ්‍යවේදී ආතර් යූ අමරසේනයි. පාසල් වියේ සිටම කලාවට මහත්සේ ඇලුම් කළ ඇය නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ “නරි බෑනා” වේදිකා නාට්‍ය ඔස්සේ වේදිකාවට පය තැබුවාය. ඉන්පසු වේදිකා නාට්‍ය ගණනාවකම රංගනයෙන් දායක වූ ශ්‍රියාණි අමරසේන, සිනමා අධ්‍යක්ෂ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කරන ලද ‘ Wings Over Ceylon “කෙටි චිත්‍රපටය ඔස්සේ සිනමාව තරණය කළාය. එදා මෙදා තුර වේදිකාවේ මෙන්ම සිනමාව, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සටහන් කර ගැනීමට ඇය සමත්වූවාය.

රංගන ජීවිතයත්, විවාහ දිවියත් ඉතා සාර්ථක ලෙස පවත්වා ගෙන යන සම්මානනීය රංගවේදිනි ශ්‍රියානි අමරසේන විවාහ මේ මස එකොළොස් වනදාට වසර හැට එකකි. පහත දැක්වෙන්නේ ශ්‍රියාණි අමරසේන රංගවේදිනිය විසින් රචිත “මතක සිත්තම්” කෘතියේ ඇගේ විවාහය ගැන තැබු සටහනකින් උපුටා ගත් කොටසකි.

කලාවට කැමති රූමත් තරුණියක්, ඡායාරූපයක් සමඟ ඉල්ලුම් කරන්නැයි පළවූ මංගල යෝජනාවක් ගැන මගේ මවගේ අවධානය යොමුවූවා. ඇය එය මට පෙන්නුවා. මා නිහඬව සිනාසුණා. මගේ අකමැත්තක් නොමැති බැව් පෙනුණ බැවින් ඇය එම යෝජනාවට මගේ ඡායාරූපයක්ද සමඟ පිළිතුරක් යැව්වා.

ටික දිනක් ගතවුණා. ලිපියට පිළිතුරු ලැබුණා. මුණගැසීම සඳහා අප නිවසට පැමිණෙන බව යෝජනා ඉදිරිපත් කළ අය සඳහන් කර තිබුණා. අම්මාත් , තාත්තාත් ඒ සඳහා සූදානම් වුණා.

ඔන්න එදා කතාකරගත් විදිහට සවස් වරුවක මහත්වරු දෙදෙනෙක් අපේ ගෙදරට ආවා. කේක් , කෙසෙල් , අලුවා කලින්ම ලෑස්ති කර තිබුණා. සංග්‍රහය පටන් ගත්තා. මට හොඳට මතකයි මම ඇඳගෙන හිටියේ ලා නිල් පැහැති ගවුමක්.

එක්කෙනෙක් උස මහතයි. අනික් කෙනා හීන්දෑරි සුදුම සුදු සාමාන්‍ය උස අයෙක්. දෙන්නම මා දිහා බලලා හිනා වුණා. වචන කීපයක් කතා කළා. එක්කෙනෙක් පෙරේරා. අනික් කෙනා සිල්වා එහෙමයි අපිට කීවේ. සංග්‍රහය භුක්ති විඳලා ඒ අය යන්න ගියා.

අර සුදු හීන්දෑරි කෙනා තමයි පෙරේරා. එයා තමයි යෝජනාව හෙනාවේ. “දුව මොකද කියන්නේ. හදිසි වෙන්න ඕන නෑ. ඒ අයගේ උත්තරේ මොකක්ද කියලා බලමු.

ඔන්න දවස් දෙකකින් ලියුමක් ආවා. ඒ අය කැමැත්ත ප්‍රකාශ කරලා.

“මම පෙරේරා නෙවෙයි. මගෙ නම ආතර් යූ අමරසේන. මගේ මිත්‍රයා සිල්වා නෙවෙයි. ප්‍රසිද්ධ ගීත රචක ඔගස්ටස් විනයාගරත්නම්. වෙනත් නම් කිව්වේ මේ වැඩේ කරන්නේ නැත්නම් නිහඬව ඉන්න හිතාගෙනයි. මම කැමතියි.

ඔන්න ඉතින් ඔය විදිහට තමයි අමරගෙත් මගෙත් විවාහය තීන්දු වුණේ. මේ මාසේ එකොළොස් වෙනිදාට අපි විවාහ වෙලා වසර හැට එකක්. මගේ දරුවන් එකතු වෙලා අපේ පනස්වැනි විවාහ සංවත්සරයත් සැමරුවා. මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. ඒ විදිහට තමන්ගේ විවාහ සංවත්සරය සමරන්න ලැබීම විවාහක යුවළකට ලැබෙන භාග්‍යයක්. ඒ වගේම තවත් විශේෂම කාරණයක් තිබෙනවා. අපේ විවාහ සංවත්සරය යෙදුණ නොවැම්බර් මාසය මට විශේෂයි. එසේ වන්නේ අපේ විවාහ වුණේ නොවැම්බර් එකොළහ. මගේ අම්මත් තාත්තාත් විවාහ වෙලා තිබෙන්නෙ නොවැම්බර් දොළොස් වෙනිදා. මගේ පුතාගේ විවාහය සිදුවුණේ නොවැම්බර් දහතුන් වෙනිදා. ඉතින් නොවැම්බර් මාසය අපට විශේෂයි.

මම විවාහ වුණේ ඉතාමත් තරුණ වියේදී . අවුරුදු දහනවයේදී . ඒ වන විට අමරෙට අවුරුදු විසිඅටයි. අපි දෙන්නම තරුණයි. සමාජය ගැන ලෝකය ගැන එතරම් දැනුමක් තිබුණේ නැහැ. මම සිනමාවට ආවේ විවාහයෙන් පසුව. මම සිනමාවට එන්න කලින් අමරේ සිනමා ක්ෂෙත්‍රය ගැන හොඳීන් දැන සිටියා. එහි සුන්දර පැත්ත වගේම අසුන්දර පැත්ත ගැනත් අමරෙට හොඳ අවබෝධයක් තිබුණා. ඔහු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක්. මට රඟපාන්න ඔහුගෙන් අවසර ලැබුණා. අමරේ සිනමා ක්ෂෙත්‍රයේ බොහෝ අය දැනගෙන සිටි නිසා මගේ රංගන කටයුතු වලට එයත් පහසුවක් වුණා. ඇත්තටම කියනවානම් අමරේ තමයි මාව සිනමා නිළියක් කළේ.

ඔහු දැන් රාජකාරී කටයුතු වලින් විශ්‍රාම ගෙන නිවසට වී සිටිනවා. ඔහු ඔහුගේ සෞඛ්‍යය තත්වය ගැන හරියට සැලකිලිමත් වෙනවා. ගෙදර ඇවිදින්නෙත් බොහෝම පරිස්සමට. ඔහු ඉස්සර වගේ දැන් ලියන්නේ නැහැ. ඒත් පත්තර බලනවා. ටීවී බලනවා. පොත් කියවනවා. චිත්‍රපට බලනවා. අමරේ එළියේ ඇවිදින්න යන්න හරිම ආසයි. ඉතින් මට පුළුවන් සෑම තැනකම මම ඔහුවත් එක්කගෙන යනවා. අපි සමහර වෙලාවට එළියට ගිහින් කෑම කනවා. චිත්‍රපට මංගල දර්ශන වලට, මුහුරත් උත්සව වගේ විශේෂ අවස්ථාවලට එක්කගෙන යනවා.

මම කොතරම් කාර්‍යබහුල වුවත් අමරෙට වියයුතු යුතුකම් කොටස මඟ හරින්නේ නැහැ. එය මගේ වැඩ කටයුතු වලට බාධාවක් කියා සිතන්නේ නැහැ. මම අමරෙගේ බෙහෙත් වෙලාවට දෙනවා. එයා කැමති කෑම බීම රසට හදලා දෙනවා.

අමරේ ඇකමැතියි මම තනියම කොහේ හරි යනවානම්. එතකොට නම් ප්‍රශ්න අහනවා.

” කොහේද යන්නේ”

” රෑ වෙනවද”

එහෙම අහන්නේ මට තියෙන ආදරේ නිසා. අමරේ බයයි මට කරදරයක් වෙයි කියලා. මම ඉතින් කියනවා රෑ වෙන්නේ නැහැ කියලා.ෂූටිං නිසා රෑ එන්නේ නැහැ කිව්වොත් ” එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න කියලා ගේට්ටුව ගාවටම එනවා. ඇවිත් ඉන්න අයට කියනවා මාව බලාගන්න කියලා. අමරේ කියන්නේ මගේ වාසනාවට මට ලැබුණ ආදරණීය ස්වාමිපුරුෂයෙක්. අපි දෙන්නට දෙන්නා තේරුම් අරගෙන ජීවත් වෙන්නේ.

එසේ වුවත් අපේ විවාහ දිවිය තුළත් වැරදුණ තැන් තිබෙනවා. පවුලක් වුණහම පොඩි පොඩි ආරවුල් ඇතිවන එක සාමාන්‍ය දෙයක්. එහෙත් ඒ දේවල් ක්ෂණිකයෙන් විසඳා ගැනීමේ ශක්තිය අපි දෙන්නා තුළම තිබුණා. එවැනි ප්‍රශ්න ඇතිවුණ විටදි ඒවා දිගින් දිගටම ඉදිරියට ගෙන යායුතු නැහැ. තරහ හිතේ තියාගෙන සිටින එකත් හොඳ දෙයක් නෙවෙයි. අපි දෙදෙනාත් හරිම ඉවසීමෙන් ප්‍රශ්න විසඳාගෙන ජීවත් වුණා. පළිගන්න, ගහමරා ගන්න දේවල් අපි දෙදෙනා අතර තිබුණෙ නැහැ.

අද සමාජය අපේ කාලෙ වගේ නෙවෙයි. පවුල්වල ප්‍රශ්න ඇතිවුණාම ඒවා ඉවසීමෙන් විසඳා ගන්නේ නැහැ. රණ්ඩු දුර දිග ගෙනියනවා. තරහව හිතේ තියාගෙන වැඩ කරනවා. එයින් වෙන බලපෑම ඇතිවෙන්නේ දරුවන්ට. එවිට ඔවුන්ගේ මානසික තත්වය පවා වෙනස් වෙනවා. අඹුසැමියන් අතරේ විසඳා ගැනීමට නොහැකිම ප්‍රශ්නයක් පැන නැගුණහොත් තීරණයක් ගත්තට කමක් නැහැ. එහෙත් ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. විශේෂයෙන් පවුලක බිරිඳ ඉවසිය යුතුමයි. මට දැනෙන විදිහට නම් පවුල් ආරවුල් කියන්නේ පොඩි සිදුවීමක් පමණයි. දරුවෝ ඉන්න පවුල් තුළ විශේෂයෙන් ඉවසීම , කරුණාවන්ත බව තිබිය යුතුයි. මව්පියන් විදිහට අපි අපේ දරුවන් ගැන සිතිය යුතුයි.

මට මගේ දරුවෝ දෙන්නා ආභරණ දෙකක් වගේ. ඉනෝකා දුවත් , සම්පත් පුතාත් මගේ ජීවිතය එළිය කළා. මම විවාහ වුණේ ඉතාමත් තරුණ වියේදී. මට දරුවන් ලැබුණ අවස්ථාවේ ඔවුන්ගේ වැඩ කටයුතු කෙසේද කරගන්නේ කියාවත් මට දැනුමක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මගේ සහයට සිටියේ මගේ අම්මා සහ තාත්තා. මම නැති වෙලාවට දරුවෝ දෙන්නා මගේ අම්මා තමයි බලාගත්තේ. එයාලව පාසල් රැගෙන ගියේ තාත්තා.

ඉතින් ඒ ගැනත් අමරේ හොඳීන් තේරුම් අරගෙන සිටියේ. මෙතෙක් දුර අපි දෙදෙනා ආදරයෙන් ජීවත් වුණේ ඉවසීම සහ එකිනෙකාව තේරුම් ගැනීම නිසයි. මේ වසරේ අපි සමරන්නේ අපි දෙදෙනාගේ හැටඑක් වෙනි විවාහ සංවත්සරයයි. එදාට අපේ දරුවන් දෙදෙනාත්, මගේ ලේළියත් එකතු වෙලා අපි දෙදෙනාව කොහේ හරි එක්ක යනවා. එදා ඉතින් අපි දවස පුරා විනෝද වෙලා තමයි එන්නේ. අපේ විවාහ සංවත්සර සැමරුම මේ සැරේ කොහොම සංවිධානය කරල තියෙනවාද කියලා කියන්න අපි තවම දන්නේ නැහැ. දුවයි , පුතයි ලේළියි තමයි අපිට රහසින් ඒ හැමදේම සංවිධානය කරන්නේ. මේ විදිහට තමයි මගේ විවාහ ජීවිතය ගෙවෙන්නේ. මම තාමත් රඟපෑම් කටයුතු වල නිරත වෙනවා. එයින් ඉවත්වීමට කිසිසේත් බලාපොරොත්තුවක් නැහැ. මට හැකිතාක් කල් රංගනයෙහි නිරත වෙනවා.

කාලෙකට පසු වේදිකා නාට්‍යයක් කිරීමට මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ පිළිබඳ අලුත්ම තොරතුරු සරසවිය පුවත්පතින්ම ඔබට දැනගන්නට පුළුවන්.

සිංහල සිනමාවේ ශ්‍රියාවිය ශ්‍රියානි අමරසේන රංගවේදිනියටත්, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ආතර් යූ අමරසේන මහතාටත් සුබ විවාහ දිවියකට සරසවියෙන් සුබ ප්‍රාර්ථනා!

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT