Home » 4ක් සොයා දර්ශන තලයට ගියෙමි

4ක් සොයා දර්ශන තලයට ගියෙමි

by mavan
December 18, 2025 8:57 am 0 comment

වෙනස්ම තේමාවක් රැගත් ටෙලි කතාවක විස්තර ලියන්නට මම පසුගිය දින කිහිපයක සිට උනන්දු වුණෙමි. විවිධ හේතූන් නිසා අකරතැබ්බයන් රැසකට මුහුණ දෙන තරුණයන් හතර දෙනෙකු වටා ගෙතුණු ‘ 4ක් ‘ ටෙලි නාට්‍යය මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වේ. එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සුරේන් ධනංජය විසිනි. එයට නොමසුරුව බර පැන දරන්නේ සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කාගේත් ආකර්ෂණයට ලක්වූ නළු පෙනුමැති ෂමාල් ඩිල්ෂාන් සමඟ සහන් අබේවර්ධනය

” අක්කේ අපේ වැඩේ ගැන ලියමුද” ඒ ෂමාල්ගෙන් මට ලැබුණ කෙටි පණිවිඩයකි. 4ක් රූගත කිරීමට පෙරාතුව සිට ඔහු මට ඒ ගැන දැනුම් දී තිබුණි. 4ක් ගැන මම වඩාත් විමසිල්ලෙන් සිටි බව ෂමාල් මලයා හොඳාකාරවම දැන සිටියේය. ඔහු මුණ ගැසෙන සෑම අවස්ථාවකම මම ඔහුගෙන් අසන්නේ ” මල්ලී අලුත් වැඩ මුකුත් නැද්ද ” යනුවෙනි. එනිසා 4ක් දර්ශන තලයට එන්නැයි කිහිපවතාවක්ම ආරාධනා කළේය. කිහිප දිනක්ම යාමට පොරොන්දු වුවත් අහස හඬා වැටෙන්නට වූ නිසා යාමට නොහැකි විය.

” අක්කේ දැන් නම් 4ක් ඉවර වෙන්නත් ළඟයි. එදින නම් වැහි පිට වැහි වැටුණත් කෙසේ හෝ යා යුතුයැයි මම අදිටන් කර ගතිමි. පසුව මම ෂමාල් සමඟ දිනයක් තීරණය කර ගත්තෙමි. නියමිත දින උදේ එකොළහට පමණ පත්තර මහගෙදරට පැමිණීමට ඔහු පොරොන්දු වූයේය. ඒ නිසා පත්තර මහගෙදරින් ලබා දෙන ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නොවීය.

හරියටම කියූ වේලාවටම ෂමාල්ගේ සුඛෝපභෝගී මෝටර් රථය පත්තර මහගෙදර ඉදිරිපිට නතර විය. හනි හනිකට මෝටර් රථයට ගොඩ වූ මා සුහදව පිළිගත් ෂමාල් මාළිඟාවත්ත දෙසට මෝටර් රථය ධවනය කළේය. එහි ඉදිරිපස අසුනේ වාඩි වී සිටියේ ෂමාල්ගේ මිතුරෙකි. මින් පෙර මට ඔහුව හමුවී නැත. කවුරු වාහනය තුළ සිටියත් මගේ තොරතෝංචියක් නැති කතාවෙන් ෂමාල්ට නම් ගැලවීමක් තිබුණේ නැත. ඒ කතා බහ කාගේත් ඕපාදූප නොව සිනමාව, කලාව ගැන නිසා මිතුරාටද රසවත් වන්නට ඇතැයි මම සිතුවෙමි.

මහා මාර්ගයේ ගමන් කළ රථය කෙටි පාරකට හැරී ගමන් කරන්නට විය. ටික දුරක් යන විට දක්නට ලැබුණේ කළු පැහැයෙන් යුත් ජලය ගලායන විශාල ඇලකි.ඇල අයිනේ තම මෝටර් රථය නතර කළ ෂමාල් ” අක්කේ මේක තමයි තැන, මේ පැත්ත ටිකක් අමුතුයි. ඇත්තෙන්ම එය අමුතුම තැනක් බව අවට පරිසරය දුටු මටද වැටහිණි. එය එකිනෙකට යාබද නිවෙස් පේළි සමූහයකින් යුත් ජනාකීර්ණ පෙදෙසක් විය.

” අක්කේ මේ පැත්තේ ඉන්න කට්ටයත් ටිකක් අමුතුයි. ඒ බව නම් මා හට හොඳාකරවම දැනුණි. ෂමාල් එසේ කී විට පුංච් චකිතයක් සිතට දැනුණත් හැඩිදැඩි තරුණයන් දෙදෙනෙකු මා දෙපසින් සිටි නිසා ඒ බව කෙමෙන් කෙමෙන් මඟ හැරුණි. කෙටි දුරක් ගමන් කළ අපි තිදෙනා නැවතත් කුඩා පාරකට හැරුණෙමු. එහෙත් හැරුණ විගස අපට නතර වන්නට සිදු වූයේ රූගත කිරීම් ආරම්භ වී තිබූ නිසාය. අපි එයට බාධාවක් නොවන සේ රූගත කිරීම් අවසන් වන තෙක් පසෙකට වී බලා සිටියෙමු.

රූමත් තරුණියක් සහ වැඩිහිටි කාන්තාවජ් දර්ශන තලයේ රූගත කිරීම් වල නිරත වී සිටිනු මම දුටිමි. වැඩිහිටි කාන්තාවකගේ චරිතයට සිටි ශිල්පිනිය වෙතින් ද දිස්වූයේද තරුණ පෙනුමකි. වර්තමානයේ කාලයේ අම්මා දුව වෙන්කර හඳුනා ගන්නට නොහැකි තත්වයක් තිබෙන නිසා ටෙලි නාට්‍යයටද එය එතරම් දෙයක් නොවේ. ඒ දෙදෙනා අතර තිබුණේ අක්කා නංගී පෙනුමකි. රූගත කිරීම් දිගටම සිදුවිය. මවගෙන් දියණියට දොස් මුරයකි. දියණිය ගස්සාගෙන පද්දාගෙන ගෙට ඇතුළු වූවාය.එසැණින් ඒ කොටසේ රූගත කිරීම් අවසන් විය.අපටද නිවසට ඇතුළු වීමට අවසර ලැබිණි. එම නිවස ඉඩකඩ සීමිත නිවසක් විය. බැලූ බැලූ අත කැමරා ආම්පන්නය. එවිටම එම නිවසට ඇතුළු වූ තරුණයා මම හඳුනා ගතිමි. එහෙත් ඔහු මා දෙස බැලුවේ ” මේ කවුද බොලේ මේ ” කියන්නාක් මෙනි. එවිටම ෂමාල් ඉදිරියට විත් ඔහුට මාව හඳුන්වා දුන්නේය. ” මේ සරසවිය පත්තරේ නයනාංජලී අක්කානේ”

” උඹට මතක නැද්ද” ඇස් ලොකු කර නිවසට පැමිණි තරුණයා සිනාසෙන්නට වූයේය. ඒ 4ක් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සුරේන් ධනංජයය.

” අක්කා වෙනස් වෙලානේ” ඒකයි මට අඳුරගන්න බැරි වුණේ.

එවිටම තේ එකක් සහ බිස්කට් රැගෙන ආවේ නිෂ්පාදක කණ්ඩායමේ සේවක මහතෙකි. එදින හිරු රැස් තරමක් තදින් පතිත වී තිබූ නිසා ශරීරයට දැනුණේ දැඩි රස්නයකි. එනිසා තේ ප්‍රතික්ෂේප කළේ රැගෙන ආ සේවක මහතාට ස්තුති කරමිනි. එසැණින් මා අසලට විත් අසුන් ගත්තේ සමාජ මාධ්‍යයෙන් අප නිතර දැක පුරුදු තරුණයෙකි. ඔහු දනූ ඉන්නසිතම්බිය. ෂමාල් ඔහුට මාව හඳුන්වා දුන්නේය. මා ගිය රාජකාරිය මා පටන් ගත්තේ එතැන් සිටය.

මා සමඟ ඉතාමත් සුහදශීලී සිනහවක් පෑ දනූ කතාව පටන් ගත්තේ මෙසේය. ” මගේ නම ෆාරුක්. ඒ මගේ චරිතේ නම. එයා බල්ලන්ට හරිම ආදරය කරන කෙනෙක්. එයාට ටීෂා කියලා පෙම්වතියක් ඉන්නවා. ෆාරික් ගේ ඇඟපත ලොකුයි. හරිම අහිංසකයි. ෆාරුක් ගම දාල එන්නේ හිතකින් නෙවෙයි. එයා එනකොට එයාගේ යාළුවට කියන්නේ එයාගේ අම්මාව බලාගන්න කියලා. ඒ ඔහු අම්මාට ගොඩක් ආදරය කරන නිසා. එයා කොළඹ එනවා. නොකරපු………. වැඩක් නැහැ.

දනූ ඔහුගේ චරිතය ගැන විස්තර කළේ ඒ ආකාරයටය. තිත් ඉරි වලින් කී වචනය මෙහි සඳහන් කළ නොහැකිය. දනූ යනු සිංහල ජාතියෙකු නොවේ. එහෙත් ඔහු ඉතා පැහැදිලි සිංහල බස හැසිරවීම ඉතා සිත්ගන්නා සුලුය.

” මට සිංහල කියවන්න බැහැ. ඒත් ඒක නිසා මාව අපහසුතාවයට පත්කළේ නැහැ කවුරුවත්. ටීම් එකේ කට්ටිය මට දෙබස් කියා දුන්නා. එයාලට මාව වදයක් වෙන්නත් ඇති. ඒත් ඒ බව නොපෙන්වා මට උදව් කළා. 4ක් නිෂ්පාදකවරයා ගැන නොකියාම බැහැ. ෂමාල් කියන්නේ හරිම හිත හොඳ කෙනෙක්. ඒ වගේම විනෝදකාමියි. ෂූටිං අතරේ අමතක නොවන දේවලුත් වුණා. එදා ෂූටිං තිබුණේ දෙහිවල පැත්තේ. එදා අපි දෙහිවල වටේම දිව්වා. එදා තිබුණේ දුවන දර්ශනයක්. ඉතින් එහෙම දුවලා ෂූටිං ඉවර වෙලා ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ කියනවා අපි දුවපුවා නැහැලු. ඒ නිසා තවත් දවසක ආයෙමත් දුවන්න වුණා.

දනූ සමඟ කතාබහ නිමවනවාත් සමඟ එතැනට පැමිණි තරුණයා දුටු මට සිනහ පහළ විය. එසේ සිනාසුණේ ඔහුට නොව ඔහු මින් පෙර රඟපා තිබූ හාස්‍ය චරිත කිහිපයක් මතක් වූ නිසාවෙනි. ඔහු වසන්තය.

” මගේ චරිතය අමරපාල. කතාවේ විදිහට ඔහුට පුතාලා දෙදෙනෙක් සිටිනවා. ලොකු පුතා රට. පුතා ලක්ෂ හතළිහක් මට එවන්නේ ඔහුගේ විවාහ උත්සවයේ කටයුතු වෙනුවෙන්. අමරපාල හිතේ වේදනාවෙන් ඉන්නේ පුතා වෙනුවෙන් තමන්ට කිසිම දෙයක් කරන්න විදිහක් නැහැනේ කියලා. දවසක් නිවසට ආ වංචාකාරයෙකුට ඔහු රැවටෙනවා. ඒ නිසා පුතා එවපු මුදල් අහිමි වෙනවා. ඒ හෙතුවෙන් ඔහු සියදිවි හානි කරගන්න පෙලඹෙනවා. ඒ අවස්ථාවේ පොලීසියට අසු වෙනවා. පොලීසියේදි තව තුන්දෙනෙක් අමරපාලට මුණගැසෙනවා. ඒ තුන්දෙනා සමඟ අමරපාලත් එකතු වෙලා නොයෙකුත් කටයුතු කරනවා මුදල් සොයා ගන්න. ඒ ගැනයි 4ක් කතාවෙන් කියැවෙන්නේ. අද මගේ රූගත කිරීම් අවසන් . රූගත කිරීම් කාලයේ අපි හරිම සුහදව , විනෝදයෙන් ගතකළා. මේ කතාව ටෙලි නාට්‍යයකට වඩා ගැලපෙන්නේ චිත්‍රපටයකටයි කියලයි මට නම් හිතෙන්නේ.

එසේ පැවසූ වසන්ත අසල සිටි රංගන ශිල්පී දනූ අසලින් වාඩි වූයේය. ඒ අද තමාගේ රූගත කිරීම්වල අවසන් දිනය බව දැන්වීමටයි. දෙදෙනාගේම මුහුණුවල තිබුණේ දුක් මුසු හැඟීමකි. දෙදෙනාම එකිනෙකා වැලඳ ගත්තේ මහත් ලෙන්ඟතු කමකිනි. එවැනි ලෙන්ඟතු බවක් කලා ලොවේ සෑම දෙනා තුළම තිබෙනවා නම් කෙතරම් අපූරුදැයි මට සිතුණි. ඉන්පසු සෑම දෙනාටම ආයුබෝවන් කී වසන්ත දර්ශන තලයෙන් සමුගත්තේය. දනූට තවත් රූගත කිරීමකට පැමිණෙන්නැයි අධ්‍යක්ෂවරයාගෙන් අණක් ලැබුණි. මා කලින් පැවසූ තරුණ මව මා අසලට පැමිණියාය. ඇය මැටිල්ඩාය. හැඩකාර තරුණ දියණියක් සිටින ඇයත් හැඩකාරය. ඒවගේම කටකාරය. මා මෙසේ සඳහන් කළේ ඇය එසේ පැවසූ නිසයි. ඇය ටෙලි තිරයේ දස්කම්පාන රංගන ශිල්පිනී නිලන්ති ගුණවර්ධනයි.

” මම සාම්ප්‍රදායික අම්මා කෙනෙක් නෙවෙයි. කටකාරයි. හැමෝම කියන විදිහට කටහැකරයි. මම මගේ ස්වාමිපුරුෂයාව යටත් කරගෙන ඉන්නේ. මැටිල්ඩා කියන මගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළයි. ඒ චරිතය ප්‍රේක්ෂකයන්ට මතක සිටින චරිතයක් වෙලා. මම පාරට බැහැලා යන විට මට ඒ බව හොඳටම දැනෙනවා. “අනේ ඔයා මැටිල්ඩාගේ චරිතය ලස්සනට රඟපානවා” කියල කියන කොට නම් හරි සතුටුයි. ඒ ඇගේ අදහස්ය. කෙටි විවේකයකින් පසුව නැවතත් 4ක් කණ්ඩායම තවත් රූගත කිරීමකට සූදානම් වූහ. පාර හරස් කර කැමරා ආම්පන්නය. මෝටර් බයිසිකලයක් ඇවිත් එතන නතර විය.

” ඔය ගොල්ලෝ පාර හරස් කරගෙන ඉන්න කොට කොහොමද අපි යන්නේ එන්නේ. මෝටර් සයිකලයේ පැමිණි මැදි වයසේ පැමිණි පුද්ගලයා උස් හඬින් කීවේ නිෂ්පාදන කණ්ඩායමට ඇඟිල්ල දිගු කරමිනි. එයත් ටෙලි නාට්‍යයේ දර්ශනයක් බඳු විය. ඔහු හැසිරුණේ චණ්ඩියෙකු පරිද්දෙනි. එහෙත් ඊට වඩා ජවයෙන් යුත් චණ්ඩි දහයක් පහළොවක් 4ක් නිෂ්පාදන කණ්ඩායමේ සිටියහ. ඔවුන් ප්‍රතිචාර දැක්වූවා නම් ඉහත කී චණ්ඩියාට දෙයියන්ගේම පිහිටය. එහෙත් ඒ චණ්ඩියාගේ චණ්ඩිකම් ගණන් නොගත් 4ක් කණ්ඩායමේ කොල්ලන් නිශ්ශබ්දව ඔවුන්ගේ කාරිය කරගෙන ගියහ. එය අගය කළ යුත්තකි. කලාවේදී විනය සහ ඉවසීම වැදගත්ම සාධකයක් බව ඔවුහු ඔප්පු කර පෙන්වූහ.

මා ඒ සිදුවීම විපරම් කරන මොහොතේ නිවසේ කාමරයෙන් පිටතට පැමිණියේ දියණියට රඟපෑ තරුණියයි. ඇයගේ පෙනුම දඟකාරය. ඇයද මා සමඟ කතාබහට එක්විය.

” මම තාරා කළුආරච්චි. 4ක් ටෙලිනාට්‍යයේ රඟපාන්නේ ටීෂා විදිහට. සැර අම්මා කෙනෙකුගෙයි, ජොලියෙන් ඉන්න තාත්තා කෙනෙකුගෙයි දුවෙක්. ටීෂා ඉන්නෙත් විනෝදෙන්. ඇගේ්ම භාෂාවෙන් කියනවා නම් ටීෂා කියන්නේ ආතල් චරිතයක්. වත්තක ජීවත් වෙන පිරිමි ළමයි එක්ක වැඩි ආශ්‍රයක් තියෙන කොල්ලෙක් වගේ චරිතයක්. ඇත්තටම මම ස්තුති කරන්නේ ෂමාල් අයියාට. මේ වගේ වෙනස් චරිතයකට මාව ගත්තාට. ඒ වගේම 4 ක් ටීම් එක මරු. හැපි එකේ සහ ආතල් එකේ අපි වැඩේ කරගෙන යනවා. ගෙදර ඉන්නවට වඩා ජොලියෙන් අපි ඉන්නේ. මේ නිවසේ අයගෙනුත් හොඳ සපෝට් එකක් ලැබෙනවා.

තාරාගේ කතා විලාසයේද දඟකාර බවක් ගැබ් වී තිබුණි. ඇගේ වචනයෙන්ම කිවහොත් ඇය ආතල්ම චරිතයකි.

තාරා සමඟ කතා කරන අතරතුර මට ඇස ගැටුණේ හීන්දෑරි එහෙත් ප්‍රිය මනාප තරුණයෙකි. එහෙත් ඔහු සිටියේ තරමක් අපහසුවෙනි.

” ඇක්සිඩන්ට් එකක් වුණා අක්කේ. මේ ඇහැ උඩත් තුවාල වෙලා. ඔහු මා සමඟ කතාවට මුල පිරුවේ සිදුවූ අනතුර ගැනද පවසමිනි. මට මේ ටෙලිනාට්‍යයට ආරාධනා කළේ ෂමාල් අයියා සහ සුරේන් අයියා. අම්මා, තාත්තා තුරුල්ලේ ඉන්න චූටි කොල්ලෙක්ගේ චරිතයක් තමයි මම කරන්නේ. ඔහු කීවා සේම සැබෑවටත් ඔහු වෙතින් දිස්වූයේ අහිංසක හුරතල් පෙනුමකි. ඔහු යොවුන් නළු ආකාශ් බුද්ධිය.

එසැණින් අණ ලැබුණේ සුරේන්ගෙනි. ” ඊළඟ සීන් එකට යමු”

ඒ අනුව මමත් ඔවුන් සමඟ එකතු වුණෙමි. ඉන්පසුව අප ගියේ තවත් කුඩා නිවසක් වෙතටය.

” කවුරුවත් විරුද්ධ වෙන්නේ නැත්නම් මගේ ඔළුවේ පොඩි අයිඩියා එකක් තියෙනවා”

” හැබැයි වෙනදා වගේම මේන් රෝල් එක ගහන්න වෙන්නේ අභිෂේක්ට.

එය මම ගෙට ගොඩවන විටම ඒ නිවසේ මුළුතැන් ගෙය දෙසින් ඇසුණු කතා බහකි.

” ඕකා ඉතින් කිව්වොත් ඇඳන් ඉන්න රෙද්දත් නැතිවෙන වැඩක් තමයි”

ඒ තවත් හඬකි.

මම ඉතා විමසිල්ලෙන් ඒ කතාබහට කන්දුන්නෙමි. කවුද ඒ ? මොකක්ද ගහන්න හදන ගේම? මම කල්පනා කළේ ඒ ගැනය.

” අක්කේ ඇතුළට එන්න. ෂමාල්ගේ හඬින් මගේ කල්පනාව බිඳ වැටිණි. මමද නිවසේ ඇතුළටම පිය මැන්නෙමි. ඒ කතාබහ කුමක්දැයි මට වැටහුණේ එවිටය. 4ක් ටෙලි නාට්‍යයේ ඊළඟ දර්ශනයට දනූ සහ ආකාෂ් පෙර සූදානමකය. මගේ කනට ඇසුණේ ඔවුන් පෙර පුහුණුවීම් අතරතුර කතා වූ දෙබස්‍ ය. ඉතා කුඩා නිවසක් වූ නිසාවෙන් මට මුළුතැන්ගෙය දෙසට නොහැකි වූයේ කැමරා, ලයිට් උපකරණ හරස් වී තිබූ නිසාය. එනිසා මට රූගත කිරීම් බැලීමට නොව අසා දෙබස් පමණක් අසා සිටීමට සිදුවිය. රූගත කිරීම් අවසන් වීමට පැය භාගයක් පමණ ගතවිය. නිෂ්පාදන කණ්ඩායමේ සියලු දෙනාම කැමරා ආම්පන්න හකුලා ගැනීමට යුහුසුළු වූහ. ඉන්පසු අප සියලු දෙනාට ෂමාල්ගෙන් ලැබුණේ අපූරු ඇරයුමකි. ඒ හිමකිරමයක රස බැලීමටය. එයට නම් සියලු දෙනාම අවනත වූයේ ඉතාමත් සතුටිනි. ෂමාල් අපව කැඳවාගෙන ගියේ අසල ඇති මුස්ලිම් නිවසක් ඉදිරිපිටටය. නිවසින් එළියට ආ තරුණිය ෂමාල්ගේ ඇණවුම ගැන අසා සිටියාය.

” මට ඕන ස්ටෝබෙරි, මට අඹ, මට නම් ඕන මික්ස් පෘට්, ඒ කට්ටියගේ ඉල්ලීම්‍ ය.

” අක්කේ….අක්කට? ෂමාල් මගේ කැමැත්ත ඇසීමට අමතක නොකළේය.

මට අඹ හොඳයි. කවුරු කවුරුත් තමා කැමති රසයෙන් යුත් හිමකිරම ලැබෙන තුරු එහි රැදී සිටියහ. ඒ අතරතුර තරුණයන්ගේ දෙපිට කැපෙන රස කතාය. අප ඉල්ලූ හිමකිරම රැගෙන තරුණිය පැමිණියාය. මා හිමකිරම ලෙස සඳහන් කළත් අපට පුරුදු වචනය අයිස් ක්‍රීම්‍ ය. ඒ අයිස්ක්‍රීම් දුටු විට මට සිනහ පහළවිය. එහි හැඩය අමුතුය. එය රවුම් හැඩයක් ගත් අයිස් පලම්‍ ය. හැඩය කෙසේ වෙතත් රසයේ වෙනසක් නොවීය. කණ්ඩායමේ සිටි ඇතැම් අය අයිස් පලම් දෙක තුනක රස බැලුවත් මට එසේ කිරීමට හිතක් පහළ නොවීය. අයිස් පලමට වුවත් වියදම ෂමාල් මලයාගේ සාක්කුවෙනි. වර්තමානයේ ටෙලියක් කිරීමටත් සෑහෙන මුදලක් වියදම් වන මම හොඳාකාරවම දනිමි. ෂමාල් ඉතාමත් අමාරුවෙන් සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කර ගත් ධනය වියදම් කරන්නේ කලාව වෙනුවෙනි. අද කාලයේ කලාව වෙනුවෙන් තම මුදල් වෙන්කිරීම ගැන අගය කළ යුතුය.

අයිස්ක්‍රීම් රසවිඳීමෙන් පසුව සියලු දෙනාම සරසවිය වෙනුවෙන් සමූහ ඡායාරූපයකට මුහුණ දුන්හ. එතන සිටි සියලු දෙනාටම සුබ පැතු මම නැවතත් ලේකහවුස් බලා පිටත් වීමට සුදානම් වුණෙමි. මා නැවතත් ලේකහවුස් වෙත පැමිණියේද ෂමාල්ගේ මෝටර් රථයෙනි.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT