බලනවා නම් චිත්‍රපට

ජූලි 15, 2021

මෙවර බලනවා නම් චිත්‍රපට සඳහා අප තෝරා ගත්තේ පසුගියදා අප අතරින් වියෝ වූ ආසියානු කලාපයේ විශිෂ්ටතම සිනමා තරුවක් වු දිලිප් කුමාර්ගේ චිත්‍රපට පෙළක්. මේ චිත්‍රපට සියල්ල අන්තර්ජාලය ඔස්සේ මෙන්ම ඩීවීඩී මඟින් ද නැරඹිය හැකියි.

 

ANDAZ

ඉන්දියානු සිනමාවේ බිහි වූ රංගන ත්‍රිමූර්තිය ලෙස සැලකෙනුයේ දිලිප් කුමාර්, රාජ් කපූර් හා දේව් ආනන්ද් . මේ අතරින් දිලිප් හා දේව් එකට රඟපෑ එකම චිත්‍රපටය අන්දාස්. අන්දාස් අධ්‍යක්ෂණය කරන ලද්දේ මෙහෙබුබ් ඛාන්. දිල්ප්ට නීනා නම් යුවතිය මුණ ගැසෙනුයේ අහම්බයකින්. පසුව ඔවුන් හොඳ මිතුරන් බවට පත්වෙනවා. දිලිප්ට ඇය ගැන ආදරයක් ඉපැදුණත් එය පවසන්නේ නැහැ. එහෙත් ඔහු ඒ ගැන කියන්නට උත්සාහ කරද්දී එය වැළකෙනවා. මේ අතරවාරයේ රාජන් නම් තරුණයෙකු ලන්ඩනයේ සිට පැමිණෙනවා. ඔහු ඇය හා විවාහ ගිවිසගත් තරුණයා බැව් දිලිප් දැන ගනුයේ එයින් පසුවයි. මෙහි දිලිප් ලෙස දිලිප් කුමාර් ද රාජන් ලෙස රාජ් කපූර් ද චරිත නිරූපණයේ යෙදෙනවා. 1949 වසරේ තිරයට ආ මේ චිත්‍රපටය සංගීතවත් කරන ලද්දේ නෞෂාඩ්. මේ අපූරු ප්‍රේම වෘත්තාන්තය අදටත් නැවුම් සිනමා කෘතියක් බඳුයි. නාර්ගිස්, වී.එච්.දේසායි, කුකූ, මුරාද්, අන්වර් බායි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වනවා. පසුකලෙක කොපමණ චිත්‍රපට සඳහා මේ අපූරු ආදර වෘත්තාන්තය පාදක වන්නට ඇතිදැයි ඔබට සිතේවි. එමෙන්ම ඉන්දියානු සිනමාවට හොලිවුඩ් ප්‍රමිතින් ‌ගෙනා චිත්‍රපටයක් හැටියට අන්දාස් විශේෂ නිර්මාණයක්.

 

 

DEEDAR

ශ්‍යාමු ළමා වියේ ඔහුගේ නිවෙස අසල ජීවත් වූ ධනවත් දැරියක් වනුයේ මාලා. ඔවුන් කුඩා කාලයේම වෙන්ව යනුයේ ඇය වෙනත් පළාතකට පදිංචියට යෑමෙන්. ශ්‍යාමු අසරණ දරුවෙක්. මේ අතරවාරයේ ශ්‍යාමු හදිසි අනතුරකින් අන්ධ බවට පත්වෙනවා. ඔහුට හොඳට ගී ගයන්නට පුළුවන්. ඔහු නිම්මි නම් කරුණාවන්ත එහෙත් දිළිඳු යුවතියකගේ හා ඇගේ සහෝදරයාගේ රැකවරණය මැද ජීවත් වනුයේ වීදියේ ගී ගැයීමෙන්. මේ අතරවාරයේ අක්ෂි වෛද්‍යවරයකු වූ කිශෝර්ගේ උපකාර මත යළි පෙනුම ලබාගන්නට ශ්‍යාමුට හැකි වෙනවා. එහෙත් පුදුමය නම් වෛද්‍යවරයා විවාහ වන්නට සිටිනුයේ ඔහුගේ ළමා වියේ යෙහෙළිය වූ මාලා සමඟයි. ඔව්... අපේ සිංහල චිත්‍රපටයකත් මේ කතාව මේ ආකාරයෙන්ම තියෙනවා තමයි. ඒ චිත්‍රපටයට පාදක වනුයේ මේ ජනප්‍රිය චිත්‍රපටය තමයි. බලන්න මෙහි දිලිප්ගේ විශිෂ්ට රංගනය. අධ්‍යක්ෂණය සුප්‍රකට සිනමාකරුවකු වූ නිතින් බෝෂ්. දිලිප් සමඟ මෙහි ඉන්දියානු සිනමාවේ බිහි වූ තවත් ගෞරවනීය රංගවේදියකු වන අශෝක් කුමාර් ද ප්‍රධාන චරිත නිරුපණයේ යෙදෙනවා. දිලිප් මුලින් සිනමාවට එන්නේත් අශෝක් කුමාර් වෙනුවට විකල්ප තෝරා ගැන්මක් හැටියටයි. ඒ සමඟ නාර්ගිස් සහ නිම්මි සෙසු චරිත නිරූපණයේ යෙදෙනවා.

 

AAN

ජායි තිලක් කියන්නේ ගැමියෙක්. මේ පළාතේ රාජකීය පවුල මහරාජාගේ පාලනය යටතේ පවතින්නක්. ඔහුගේ සහෝදරිය රාජ් ශ්‍රී තරම් උඩඟු යුවතියක් මේ පළාතේම නැති තරම්. ඉතින් මේ ගමේ සිටින ගැමි ළියක් තමයි මංගලා කියන්නේ. රාජ් ශ්‍රී ගේ උඩඟු බව දුරලන්නට ජායිට අභියෝගයක් බාර ගන්නට සිදු වෙනවා. කොහොමද ඒ දේ සිද්ධ වන්නේ. මෙහෙබුබ් අධ්‍යක්ෂණය කළ ආන් චිත්‍රපටය එයට පිළිතරු ලබා දෙනවා. ඒ අවදියේ විශාලතම වියදමක් දරා වර්ණයෙන් තැනුණු ආන් ඉන්දියානු සිනමා ඉතිහාසයේ මුල්ම ටෙක්නිකලර් චිත්‍රපටයයි. එය රටවල් 17ක එකවර තිරගත වුණා. දිලිප් සමඟ නිම්මි, ප්‍රේම්නාත් හා නදීරා මෙහි ප්‍රධාන චරිත රඟපෑවා. මෙහෙබුබ් මේ චිත්‍රපටයට පාදක කරගත්තේ විලියම් ශේක්ස්පියර්ගේ 'ද ටේමිං ඔෆ් ශෲ' (ඊඩඥ ඊචථඪදඨ ධට ඉඩපඥඹ) නම් නාට්‍යයයි. ආන් චිත්‍රපටය බොහෝ ආසියාතික චිත්‍රපට සඳහා බලපෑම් කළ චිත්‍රපටයක්. 1952 වසරේ තිරයට ආ මෙහි සංගීතය නෞෂාඩ්ගෙන්.

DAAG

ඔහු චිත්‍ර ශිල්පියෙක්. එහෙත් තදින්ම මත්පැනට ඇබ්බැහි වූවෙක්. එනිසාම තම ආත්ම ගෞරවයත් අහිමි කරගන්නවා. මේ මත්පැනට ඇබ්බැහි වීම කෙතෙක්දැයි පැවසුවහොත් මවට බෙහෙත් ගෙනෙන්ට දෙන මුදලත් වැය කරන්නේ මත්පැනට. මව අහිමි වනුයේ තමාගේ ඇබ්බැහියෙන් වීම දැනගත් විට ඔහුට අත්වන පශ්චාත්තාපය අසීමිතයි. මේ අපූර්ව චරිත නිරූපණය ඉන්දියානු සිනමා ඉතිහාසයේ විශිෂ්ට රංගනයක් ලෙස අවිවාදිතයි. එපමණක් නොව පළමු ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිලිප් දිනා ගෙන කිසිකලෙක බිඳීය නොහැකි වාර්තාවක් ද අත්පත් කරගන්නට සමත් වෙනවා. දිලිප් සිනමාවට ගෙනා මුල්ම අධ්‍යක්ෂ අමියා චක්‍රවර්තිගේ අධ්‍යක්ෂණයක් වූ දාග් චිත්‍රපටයේ ඌෂා කිරන්, නිම්මි, ලලිතා පවාර්, කන්නහයියා ලාල් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවනවා. සංගීතය ශන්කර් ජායිකිශන්ගෙන්.

 

AZAAD

ධනවත් චරන්දාස් පවුලේ හැදී වැඩුණු යුවතිය ශෝබා කිසිවකු විසින් පැහැර ගෙන යනු ලබනවා. එහෙත් ඇය දින කිහිපයකට පසු අසාද් නම් තරුණයෙකුගේ පිහිටෙන් බේරි එන්නට සමත් වනවා. මේ අසාද් කවුරුන් විය හැකිද? එකවර භාෂා හයකින් හැදුණු අපූරු චිත්‍රපටයක් තමයි දිලිප් කුමාර් රඟ පෑ අසාද්. ඔහු මුල්වරට දකුණු ඉන්දියානු චිත්‍රාගාරයක එනම් කොයිමබතූර්හි පක්ෂිරාජා චිත්‍රාගාරයේ කටයුතු කරන අවස්ථාවත් මේ චිත්‍රපටයයි දිලිප් සමග මීනා කුමාරි, ප්‍රාන්, ඕම් ප්‍රකාශ්, ආදි නළු නිළියන් රැසක් රගන අසාද් අධ්‍යක්ෂණය කරන ලද්දේ එස්.එම්.එස්.නායිදු. අසාද් භාෂා හයකින් හැදුණා යැයි කිව්වානේ. ඔව්... එම භාෂා හයෙන් එකක් සිංහල . අපේ සූරසේන චිත්‍රපටයත් තැනුණේ අසාද් රූ ගන්වද්දී එක විට ඒ දර්ශන තලයේමයි. මෙහි මියුරු සංගීතය චිතල්කාර් රාමචන්ද්‍රන්ගෙන්. අසාද් වෙනුවෙන් දිලිප් ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානයත් දිනා ගත්තා.

 

 

SHAKTI

නීතිගරුක පියෙකු සහ නොමඟට යොමු වුණ පුතෙකු පිළිබඳ තැනුණු ශක්ති දිලිප් කුමාර්ට ෆිල්ම්ෆෙයාර් උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය අටවැනි වරටත් යළි දිනා දුන්නා. මෙහි පියා ලෙස රඟපාන දිලිප් සමඟ කරට කර එක් වූ පුතා ලෙස රඟපෑ අමිතාබ් බච්චන් ද හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ වුණා. හින්දි සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම චිත්‍රපට අතරෙහි ලා සැලකෙන ශක්ති ඔබේ ඇසට කදුළක් උපදවනන්ට සමත් චිත්‍රපටයක්. පිය - පුතු අරගලය නම් සදා කාලික අරගලයත් ආදරයත් පිළිබඳ තැනුණු මේ අපූරු සිනමා කෘතිය රමේශ් සිප්පිගේ අධ්‍යක්ෂණයක්. එමෙන්ම 1982 වසරේ හොඳම චිත්‍රපටයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගත්තේත් ශක්ති චිත්‍රපටයයි. රාඛී ගුල්සාර්, ස්මිතා පටිල්, කුල්බුෂන් කර්බන්ධා, අම්රිශ් පූරි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවා. ආර්.ඩී.බර්මන් මෙහි සංගීතඅධ්‍යක්ෂවරයායි.

 

 

INSANIYATH

ඔහුගේ පළාතට එරෙහිව සටන් වදින එක් අධාර්මික පාලකයකුගේ සෙන්පති හිටි අඩියේ මේ ගැමියන්ගේ උපකාරයට එක්වනවා. ඔහුගේ සිත් ගත් යුවතියගේ සිතත් මේ සෙන්පති පැහැර ගන්නවා. මේ දෙදෙනාම එක්ව එක් සතුරෙකුට විරුද්ධව සටන් වදිනවා. දිලිප් සමඟ ඉන්දියානු සිනමාවේ මහා ත්‍රිමූර්තියේ කෙනෙකු වූ දේව් ආනන්ද් රඟපෑ දැවැන්ත චිත්‍රපටයක්. එස්.එස්. වාසන් විසින් නිපදවා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ බීනා රායි, විජය ලක්ෂ්මී, ජයන්ත්, ශෝබනා සම්රත්, ආදින් චරිත නිරූපණය කළා. මෙහි සංගීතය චිතල්කාර් රාමචන්ද්‍රන්ගෙන්. ඉන්සානියත් සිංහල දෙබස් කවා මනුෂ්‍යත්වය නමිනුත් ප්‍රදර්ශනය කළා. එහි බ්ලු රේ පවා දැන් නරඔන්නට හැකියි. මනුෂ්‍යත්වය චිත්‍රපටයට පාදක වන කතාව ලොව පුරා ප්‍රචලිත එකක්. එම කතාව ඇතුළත් චිත්‍රපට සිංහල සිනමාවටත් නැඟී තිබෙනවා. ඉන්සානියත් බලන ගමන් සිංහල චිත්‍රපටය සමඟ සිතින් සැසඳුවාටත් කමක් නැහැ.

 

 

DEVDAS

ඉන්දියානු සිනමාවේ අමරණීය පෙම් කතාව දේව්දාස් චිත්‍රපට අතර විචාරකයන් විශිෂ්ටතම දේව්දාස් ලෙස සලකනුයේ, බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයයි. එහි සුචිත්‍රා සෙන් හා වෛජයන්ති මාලා ප්‍රධාන චරිත නිරූපණය කළා. දේව්දාස් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් දිලිප් හොඳම නළුවාට හිමි සම්මානයත් දිනා ගත්තා. දේව්දාස් ලෙස තවත් නළුවන් රඟපෑ චිත්‍රපට ඔබ දැක ඇති. එම චිත්‍රපටවල දේව්දාස් හා දිලිප්ගේ රඟපෑම සැසඳීමෙන්ම ඔහුගේ විශිෂ්ට රංගනය ඔබට පසක් වේවි. ෆොබ්ස් සඟරාව පළ කළ අන්දමට ඉන්දියානු සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම චරිතාංග රංගන විසි පහෙන් එකක් වනුයේ මෙහි දීලිප් කළ රංගනයයි. දේව්දාස් සංගීතය එස්.ඩී. බර්මන්ගෙන්.

 

 

MADHUMATHI

ආදරය යනු ආත්මයෙන් ආත්මයට ගලා යන්නක්. මධුමතී ගෙන එනුයේ එබඳු පුවතක්. මධුමතීට ආනන්ද් මුණ ගැහෙන්නේ සුන්දර කඳුකර වනාන්තරයක. එහෙත් මේ භවයේදී මේ ආදර කතාව සපුරා දිනා ගන්නට ඔවුන්ට හැකි වන්නේ නැහැ. දිලිප් පෙම්වතෙක් මෙන්ම ප්‍රේමයේ වියෝවත් මේ චිත්‍රපටයට සිය ප්‍රතිභාවෙන් යොමු කරනුයේ චරිතයක රංගනයට පිවිසිමේදී නළුවකු සතු සියලු ගුණාංග පසක් කරලමින්. බිමල් රෝයි නිර්මාණය කළ මධුමතී චිත්‍රපටය දිලිප්ගේ විශිෂ්ට රංගනයෙන් පමණක් නොව එයට දායක වූ විශිෂ්ට බෙංගාලි සිනමාකරු රිට්වික් ඝටක්ගේ තිර රචනයත්, සලීල් චෞද්රීගේ සංගීතයෙනුත් වඩාත් ඔප මට්ටම් වෙනවා. වෛජයන්තිමාලා, ප්‍රාන්, ජොනී වෝකර් මෙහි සෙසු චරිත නිරූපණයට දායක වනවා. මධුමතී වසරේ හොඳම හින්දි චිත්‍රපටයට හිමි ජාතික සම්මානය මෙන්ම ෆිල්ම් ෆෙයාර් උලෙළේත් හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නවා.

 

 

 

MUGHAL E AZAM

මහා අක්බාර් රජුගේ නළඟනක් වූ අනර්කලී හා රජුගේ පුත් සලීම් කුමරු අතර ඇති වූ ආදරය ලොව ප්‍රේම වෘත්තාන්තයන් අතර තවත් එක් අපූරු ආදර කතාවක්. කේ. අසීෆ් නිර්මාණය කළ මූගල් ඊ අසාම් චිත්‍රපටය ඉන්දියානු සිනමා වෘත්තාන්ත අතර දැවැන්ත චිත්‍රපටයක් පමණක් නොවෙයි, සැබෑ ජීවිතයෙත් පෙම්වතුන්ව සිටි දිලිප් හා මධුබාලාගේ ආදර කතාවට තිත තැබෙන්නේ මේ සමඟයි. චිත්‍රපටයේ අනර්කලී රංගනය අතර ගීතයකින් විමසන 'ප්‍යාර් ක්‍යා තෝ ඩර්ණ ක්‍යා?' යන පැනය එනම් 'ආදරය කළා නම් බිය වන්නේ කුමට ද?' යන ගැටලුව හරියට මධුබාලා දිලිප්ගෙන් විමසනවා වගේ. කොහොම වුණත් මෙහි දිලිප්ගේ රංගනය අති විශිෂ්ටයි. සලීම්ගේ පියා මහා අක්බාර් ලෙස චරිත මවනුයේ ප්‍රිතිවිරාජ් කපූර්. දිලිප්ගේ ළමා වියේ අසල්වැසි වැඩිහිටියා. දිලිප්, මධුබාලා, ප්‍රීතිවිරාජ්, දුර්ගා කෝටේ, නිගර් සුල්තානා ආදින් මෙහි චරිත මවනවා. එදා මේ චිත්‍රපටයේ ගීත කිහිපයක් වර්ණයෙන් සැදුණත් අද මුළු චිත්‍රපටයම අවශ්‍ය නම් වර්ණයෙන් නැරඹිය හැකියි. ඉන්දියාවේ මුල්වරට ඩිජිටල් ක්‍රමයට වර්ණ කළ චිත්‍රපටය වූ ‌මෝගල් ඊ අසාම් නැවත 2004 වසරේ තිරගත වද්දී එදාටත් වඩා ඉහළ ආදායමක් උපයන්නට සමත් වුණා. 1961 වසරේ හොඳම චිත්‍රපටයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත් මෝගල් ඊ අසාම් එදා මෙදා තුර ඉන්දියානු සිනමාවේ බිහි වූ දැවැන්තම නිර්මාණයක් ලෙස සැලකෙනවා. සංගීතය නෞෂාද්ගෙන්.

 

 

NAYA DAUR

ශංකර් හා ක්‍රිෂ්ණා එකම යුවතියකට එනම්, රාජිණිට පෙම් කරනවා. හැබැයි මේ චිත්‍රපටයේ එන ප්‍රේම කතාව වෙනත් චිත්‍රපටවලට වඩා වෙනස්. නූතන ඉන්දියාව පිළිබඳ දේශපාලන සංකල්පයක් ද හීන් සීරුවේ ගෙන එන්නට සිනමාකරු සමත් වෙනවා. විශේෂයෙන් සමාජ පරිවර්තනය ඉතා සියුම් අන්දමින් විග්‍රහ කළ චිත්‍රපටයක් හැටියට එයට අයත් වනුයේ ඉහළ තැනක්. නයා දෝර් හෙවත් අලුත් මාවත චිත්‍රපටයෙන් විග්‍රහ කරනුයේ නූතන ඉන්දියාව ගැනයි, මේ චිත්‍රපටය වෙනුවෙන් දිලිප් යළි ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පුද ලබනවා. බී.ආර්.චොප්රා නයා දෝර් චිත්‍රපටයේ අධ්‍යක්ෂ. ඕ.පී. නය්යාර් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක. මෙහි සෙසු චරිත නිරුපණයට වෛජයන්ති මාලා, අජිත්, චාන්ද් උස්මනී. ආදින් දායක වුණා. එදා කළු සුදු චිත්‍රපටයක් වූ නයාදෝර් අද වර්ණ ජවනිකාවලින් යුක්තව ප්‍රතිනිර්මාණය කරලා තිබෙනවා. අමීර්ඛාන් රඟපෑ ලගාන් චිත්‍රපටයට සෘජුවම බලපෑවේ නයා දෝර් බව ප්‍රසිද්ධ කරුණක්.

 

 

GANGA JUMNA

ගංගා සහ යමුනා යනු දෙසොහොයුරන්. මව්පියන්ගේ වියෝවෙන් පසු අය්යා, ගංගා ජීවන බර කරට ගනිද්දී ඉහළින් අධ්‍යාපනය ලබන මල්ලී ජමුනා, පොලිස් නිලධාරියකු බවට පත්වෙනවා. සාධාරණව ජීවත්වීමට වැර දරන ගංගාට දෛවය එලෙස ඉඩ තබන්නේ නැහැ. ඔහු දරුණු අපරාධකරුවකු වනවා. මෙහි ගංගා දිලිප් කුමාර් . මල්ලි නසීර් ඛාන්. සැබෑ ජීවිතයෙත් දිලිප්ගේ බාල සොහොයුරා. අතිශය ඉහළ ආදායම් ලද මේ චිත්‍රපටය නැරඹූ සුප්‍රකට සිනමාකරු ඩේවිඩ් ලීන් එහි විශේෂ සංස්කරණයක් තැණුවා. එපමණක් නොවේ, දිලිප්ට ලීන්ගේ ලෝරන්ස් ඔෆ් ඇරබියා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට ආරාධනා කළා. දිලිප් ප්‍රතික්ෂ්ප කළ එම චරිතයෙන් ඊජිප්තුවේ ඕමාර් ශෙරිෆ් ලෝක පුසිද්ධ වූවා. දිලිප්ගේ චිත්‍රපට අතර සුවිශේෂ චිත්‍රපටයක්. එපමණක් නොව ජනප්‍රිය චිත්‍රපට සංසකෘතියේ එක් විලාසිතාවක් ගොඩ නැඟු චිත්‍රපටයක්. ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්ම්නායත් දිනා ගත්තා. වෛජයන්තිමාලා, අසාර්, කන්නහියා ලාල්, ලීලා චිට්නිස් ආදින් චරිත මවන ගංගා ජමුනා අධ්‍යක්ෂණය නිතින් බෝශ්. සංගීතය නෞෂාද්ගෙන්. කෙසේ වෙතත් මේ චිත්‍රපටය දිලිප් කුමාර් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් හැටියට ඉන්දියානු සිනමාවේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ රහසක්.

 

දිලිප් රඟපෑ චිත්‍රපට, අධ්‍යක්ෂකවරු සහ ප්‍රධාන නිළියන්

 

1944-ජ්වාර් භාටා- අමිය චක්‍රවර්ති- මිරිදුලා, ශම්මි

 

1945-ප්‍රතිමා-අධ්‍යක්ෂණය- පී.ජෙයිරාජ්ස්වර්ණලතා

 

1946-මිලන්-අධ්‍යක්ෂණය- නිතින් බෝශ්-මීරා මිශ්‍රා

 

1947-ජුග්නු- අධ්‍යක්ෂණය- ශයිඩ් ශෞකත් හුසේන් රිස්වි-නූර්ජෙහාන්

 

1948 අනෝකා ප්‍යාර්අධ්‍යක්ෂණය- එම්.අයි.ධරම්සේ-නාර්ගිස්,නාලිනි ජයවන්ත්ඝර් කී ඉස්සත්

අධ්‍යක්ෂණය- රාම් දර්යානි-මුම්ටාස් ශාන්තිමේලා

අධ්‍යක්ෂණය -එස්.යූ.සනී-නාර්ගීස් නදියා කේ පාර්-කිශෝර් සාහු-කාමිණී කෞෂාල් ශහිද්- රමේශ් සයිගාල්- කාමිණී කෞෂාල්

 

1949 අන්දාස්- මෙහෙබුබ්- නාර්ගිස්-ශබ්නම්-බිබූති මිත්‍ර- කාමිණී කෞෂාල්

 

1950 -ආර්සු-ශහීද් ලතීෆ්-කාමිණී කෞෂාල් බාබුල්-එස්.යූ.සනී-නාර්ගීස් ජෝගන්-කේදර් ශර්මා-නාර්ගීස්

 

1951- දීදාර්-නිතින් බෝශ්-නාර්ගීස් හල්චල්-එස්.කේ.ඕජා-නාර්ගීස්

 

1952- තරානා-රාම් දර්ශන්-මධුබාලා ආන්-මෙහෙබුබ්-නිම්මි දාග්-අමියා චක්‍රවර්ති-උෂා කිරන්- සංග්දිල්-ආර්.සී.තල්වාර්-මධුබාලා

 

1953- ෆුට්පාත්-සියා සර්හාදි-මීනා කුමාරි ශිකස්ත්-රමේශ් සයිගාල්-නාලිනි ජයවන්ත්

 

1954- අමර්-මෙහෙබුබ්-මධුබාලා

 

1955- අසාද්-එස්.එම්.එස්.නායිදු-මීනා කුමාරි ඉන්සානියත්-එස්.එස්.වාසන්-බීනා රායි උරන් ඛටෝලා-එස්.යූ.සනී-නිම්මි

 

1956- දේව්දාස්-බිමල් රෝයි- සුචිත්‍රා සෙන්/වෛජයන්ති මාලා

 

1957 -නයා දෝර්-බී.ආර්.චොප්රා- වෛජන්තිමාලාමුසාෆීර්-රිෂිකේෂ් මුඛර්ජි-උෂා කිරන්

 

1958- මධුමතී-බිමල් රෝයි- වෛජයන්ති මාලා යහුදී-බිමල් රෝයි- මීනා කුමාරි

 

1959 පයිගම්- එස්.එස්.වාසන්-වෛජයන්තිමාලා

 

 

1960 කොහිනූර්-එස්.යූ.සනී-මීනා කුමාරි මෝගල් ඒ අසාම්- කේ.අසීෆ්- මධුබාලා කාලා බසාර්-විජය ආනන්ද (දිලිප් කුමාර් ලෙස ගරු රඟපෑමකි)

 

1961 -ගංගා ජමුනා-නිතින් බෝශ්-වෛජයන්තිමාලා

 

1964 -ලීඩර්-රාම් මුඛර්ජි-වෛජයන්තිමාලා

1966 -දිල් දියා දාර්ද් ලියා-ඒ.ආර්.කාදර්-වහීදා රෙහ්මාන්

 

1967 -රාම් ඕර් ශ්‍යාම්-චාණක්‍ය- වහීදා රෙහ්මාන්-(ද්විත්ව චරිත)

පාරි-ජගන්නොත් චත්තෝපාධ්‍යය-(බෙංගාලි චිත්‍රපටයකි)

 

1968 -ආද්මි-ඒ.භීම් සිං-වහිදා රෙහ්මාන් සංඝර්ෂ්-එච්.එස්.රාවේල්- වෛජයන්ති මාලා සාධු ඕර් ශයිතාන්-ඒ.භීම් සිං-(ගරු රඟපෑමකි)

 

1970 ගෝපී-ඒ.භීම් සිං-සයිරා බානු සගීනා මහාතෝ-තපාන්සං- සයිරා බානු-(බෙංගාලි චිත්‍රපටයකි)

 

1972 අනෝඛා මිලන්-ජගන්නොත් චත්තෝපාධ්‍යය-(ගරු රඟපෑමකි)

දාස්තාන්-බී.ආර්.චොප්රා- ෂර්මිලා තාගෝර්-(ද්විත්ව චරිත)

 

1974 ෆිර් කබ් මිලෝගී- රිෂිකේශ් මුඛර්ජි-(ගරු රඟපෑමකි) සගීනා-තපන් සිං-සයිරා බානු

 

1976 බයිරාග්-අසිත් සෙන්-සයිරා බානු/ලීනා චන්දාවර්කර්-ත්‍රිත්ව රංගනයකි)

 

1981ක්‍රාන්ති-මනෝජ් කුමාර්-හේමා මාලිනි

 

1982 ශක්ති-රමේශ් සිප්පි-රාඛි

 

1983 විධාතා-සුභාස් ඝායි මස්ධූර්-රවී චොප්රා-නන්දා

 

1984 දුනියා-රමේශ් තල්වාර්-සයිරා බානු

මෂාල්-යාශ් චොප්රා-වහීදා රෙහ්මාන්

 

1986 ධරම් අධිකාරි-කේ.රඝවේන්ද්‍ර රාඕ- ශ්‍රී දේවිකර්ම-සුභාෂ් ඝායි-නූතාන්

 

1989කනූන් අප්නා අප්නා-බී.ගෝපාල්-නූතාන්

 

1990 ඉස්සත්දාර්-කේ.බාපියා-මධුරි ඩික්ෂිත්

 

1991 සෞදාගර්-සුභාෂ් ඝායි-මනීෂා කොයිරාළ

 

1998 කිලා- උමේශ් මෙහ්රා- රේඛා