කදිරාගේ පෙම්වතිය මමයි

මංජුලා මල්කාන්ති
අප්‍රේල් 29, 2021

ඇයගේ කලාකෙතේ නිජබිම වූයේ ගුවන් විදුලියයි. පුංචි දැරියක ලෙසින් ළමා උයන වැඩසටහනට එක්වන ඈ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්, ගායිකාවක් ලෙසින් ඉදිරි පියවර තැබුවේ කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් සඳහා තම සහජ හැකියාවන් එළි දක්වමිනි. අද වන විට ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක, ගුවන් විදුලි රූපවාහිනී හඬ කැවීම් ශිල්පිනියක, නිවේදිකාවක, මාධ්‍යවේදිනියක ගත්කතුවරියක, තිරපිටපත් රචිකාවක සහ ගීත රචිකාවක මෙන්ම ගායිකාවක ලෙසින් ද සිය කලා දිවියේ කඩයිම් බොහොමයක් පසුකර ඇති ඇය නමින් මංජුලා මල්කාන්තිය.

කොහොමද මේ දවස්වල ඔබේ කලා කටයුතු?

සුපුරුදු කලා කටයුතු කරගෙන යන අතරේම අලුත් දෙයකුත් එළි දැක්වුවා. ගුවන් විදුලි සරල ගී ගායිකාවක් ලෙස කාලයක් කටයුතු කරමින් හිටියත් මගේම කියල නිර්මාණයක් එළි දැක්වුයේ නෑ. ඒ නිසාම මම හා පුරා කියල මට ආදරය කරන මගේ රසිකයින් වෙනුවෙන් “මේ තරම් ආදරේ” නමින් ගීත ඇල්බමයක් මම එලිදැක්වුවා මෙහි ගීත 16ක් අන්තර්ගතයි. එයින් ගීත එකොළහක්ම ලිව්වේ මම ඊට අමතරව රත්නා ලංකා අබේවික්‍රම, ශාන්ත කුමාර විතාන, කැලුම් ශ්‍රී මාල්, භද්‍රජි මහින්ද ජයතිලක සෙසු ගීත රචනා කරනු ලැබුවා. මෙහි සියලු ගීත සුනිල් ධර්මසේන, රෝහණ බෝගොඩ, භද්‍රජි මහින්ද ජයතිලක, සංගීතවත් කළා.

ප්‍රවීණ ගායකයන් කිහිප දෙනෙකුත් ඔබත් සමඟ මෙහි යුග ගී ගායනයෙන් එක්වෙනවා.

ඔව්.ඔවුන්ට මා පළමු කොටම ස්තූති වන්න වෙනවා. මගේ මුල්ම ගී ඇල්බමයක් සඳහා ගායනයෙන් එක්වෙන්න පැමිිණියාට කීර්ති පැස්කුවෙල්, රෝහණ බෝගොඩ, ජගත් වික්‍රමසිංහ හා පුන්සිරි සොයිසා, තීක්ෂණ අනුරාධ මෙහිදී මා සමඟ “මේ තරම් ආදරේ “ රසාලිප්ත කරන්න එක්විම ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්.

මෙතරම් දීර්ඝ කාලයක් ගොස් ඇයි ගී ඇල්බමයක් එළිදක්වන්න හිතුණේ?

ළමා ගායිකාවක් හැටියට වගේම මා ගුවන් විදුලියේ සරල ගී ගායිකාවක් ලෙස පරීක්ෂණයෙන් සමත් වී සරල ගී වැඩසටහන් කීපයක්ම ඉදිරිපත් කරලා දීර්ඝ කාලයක් අත්දැකීම් ලැබුවා ඒ අතරේ මට හිතුණා ගීත රචනා කරන්න කාලයත් සමඟ ගී පදවැල් ලියවුණා මට හිතුණා මගේම ගී රචනා මගේම හඬින් ගීතවත් වුණොත් කොච්චර හොඳද කියලා.

කොහොමද මේ දවස් වල ‘මේ තරම් ආදරේ’ ගී ඇල්බමයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම ඉහළයි. නිහතමානීව සතුටු වෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාරවලට මේ වන විටත් මට තවත් ගී ඇල්බමයක් කරන්න ආරාධනයක් ලැබිල තියනවා. රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි. සමහරු කතා කරල අහනවා සින්දු අහන කොට මම ද මේ කියන්නේ කියලත් හිතාගන්න බෑ කියලා.

ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් හඬ කැවීම් ශිල්පිනියක් ලෙසනුත් ඔබ ජනපි‍්‍රය චරිතයක්?

මංජුලා මල්කාන්ති කියන නම ජනපි‍්‍රය වුණේ ගුවන් විදුලියෙන් මුලින්ම මා ගුවන් විදුලියට පිවිසුණේ සුනන්දා ධර්මපාල මහත්මියගේ ළමා උයන වැඩසටහින් ඉන්පසු ළමා රංග පීඨය හරහා ගුවන් විදුලියේ ඇසූ පිරූ තැන් සොයායන්න මට මඟ කියා දුන්නේ එහි වැඩසටහන් නිෂ්පාදකවරයකු වූ ජී. ගුණවර්ධන මහත්මයා ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් ලෙස මම වඩාත් ජනපි‍්‍රය වුණේ මුවන් පැලැස්ස නාට්‍යයේ කැකුලි ගේ චරිතයෙන්.

අදටත් මුවන් පැලැස්සේ කැකුලි ජීවමානයි.

මුවන්පැලැස්ස කියන්නේ මාව කලාවට එක්කරගෙන ආ මගේ පළමු ගුවන් විදුලි නාට්‍යය. එවන් ඉතාමත් ජනපි‍්‍රය ප්‍රමුඛ පෙළේ නාට්‍යයක් වූ මුවන් පැලැස්සේ ප්‍රබල චරිත සමඟ එහි ඩිංගි ගුරුන්නාන්සේගේ මිනිබිරිය ‘කැකුලි’ වෙන්න මම වාසනාවන්ත වුණා. ඒක මම ලැබූ භාග්‍යයක්. ලොකු අත්දැකීමක් එවක ගුවන් විදුලියට පිවිසෙන්න වරම් ලබාගැනීම සුළුපටු කටයුත්තක් නොවෙයි. අනිවාර්යෙන්ම එහි පවත්වන කටහඬ පරීක්ෂණවලින් සමත්විය යුතුමයි. දැන් යළිත් මුවන් පැලැස්ස නාට්‍ය විකාශය වෙනවා. එහි කැකුªලි වෙන්න මට ආයෙත් ලැබුණා. දැන් කැකුලි ළමා වියෙන් තරුණ වියට පැමිණිලා මුවන් පැලැස්සට ඇවිත්. දැන් මම කදිරාගේ පෙම්වතිය ලෙසයි රඟපාන්නේ. දැන් කදිරාට රඟපාන්නේ පාලිත සිල්වා මෙවර මට නැවත මුවන් පැලැස්සේ කැකුලි වෙන්න අවස්ථාව උදා කරලා දුන්නේ එහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන රෝහණ සිරිවර්ධන මහත්මයා.

ඔබ මේ වන විට ගුවන් විදුලි රූපවාහිනී. නිවේදිකාවක් වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙසිනුත් කටයුතු කරනවා.

මම දැනට සී.ආර්.අයි. ශ්‍රී ලංකා, නාළිකාවේ නිවේදිකාවක්, නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරනවා. මෙහි මා තරිඳු පෙරේරා සමඟ ඉදිරිපත් කරන සිත් අරණ විශේෂාංගය. බොහොම ජනපි‍්‍රයයි. ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකාවිකයක් ලෙස මා බොහෝ නාට්‍ය පිටපත් රචනා කරල තියෙනවා. එදා ගුªවන් විදුලි නාට්‍යවල තිබුණු රසය අදට ගෙන එන්නයි මගේ වෑයම. හඬකැවීම් කලාවේදී සුදු පුංචා මපට්’ වැඩසටහනේ සුදු පුංචා වෙනුවෙන් ගී ගැයුවේත් හඬ කැවීම් කලෙත් මම. වේදිකාවේ වගේම සිනමාවේත් සුළු චරිත සඳහාත් මම දායක වුණා. සෑම බදාදා දිනකම සී.ආර්.අයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි නාළිකාවේ විකාශය වන ‘හැඩකාර හැන්දෑව‘ රසවත් කරන්නේත් එහි නිෂ්පාදිකාවත් මමයි. මට අවශ්‍යවන්නේ ශ්‍රාවකයා හා පේ‍්‍රක්ෂකයා ආනන්දයෙන් ප්‍රඥාවට කැඳවන මාධ්‍ය කලාවක නියැළෙන්නයි.

පුවත්පත් කලාවේදිනියක් ලෙසිනුත් ඔබ සමාජ මෙහෙවරක නියැළුණා?

කලා ක්ෂේත්‍රයේ පැමිණි මඟ ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක් එකම දෙයකට සීමා නොවී විවිධ ඉසව් සොයා යමින් ඉදිරියට යන්න මට හැකිවීම මා ලැබු භාග්‍යයක් කොට සලකනවා. මගේ මාධ්‍ය ජීවිතයේ උපහාර සම්මාන ලබමින් නියොජ්‍ය කර්තෘවරියක් දක්වා පැමිණිමට මට හැකියාව ලැබීම ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. අද මා පුවත්පත් කලාවෙන් තරමක් ඈත් වී සිටින්නේ තිබෙන කාර්ය බහුලත්වය නිසයි.

ඔබේ ගී එකතුවේ සාර්ථකත්වය ගැන මොකද හිතෙන්නේ?

මට ඕනේ වුණේ දැනට පවතින ගීත සංස්කෘතියේ වෙනසක් ඇති කරන්න. මේ පවතින ගීත කලාවට හැමෝම එක් කරන්නට උත්සාහ දරන්නේ පවතින රටාවේ ගීත මම ඒ රාමුවෙන් පිටයන්න උත්සාහ කළා. මම සරල ප්‍රශස්ත මට්ටමේ පද රචනා කීපයක් තෝරාගෙන හොඳම සංගීත නිර්මාණකරුවන් යෙදාගෙන උසස් ගීත රසයක් ලබාදෙන්න උත්සාහ කළා. ඒක කොතරම් දුරට සාර්ථක ද කියල තීරණය කරන්නේ ශ්‍රාවකයා මගේ ගීත අහල ඒ මම ගත් උත්සාහය සාර්ථක ද කියලා 0773112560 දුරකථන අංකයට කියනවා නම් ඒක මට ලොකු ශක්තියක්.