වෘත්තාන්ත සිනමාපට සඳහා විෂය කරගනු ලබන හා ඇසුරු කරගනු ලබන සිදුවීම්, චරිත හා ඒ අතර සබඳතා සතු විශ්වාසනීයත්වය කෙරෙහි විද්වත් රසික සමාජය දක්වන්නේ අපමණ සැලකිල්ලකි. මෙය කවර මාදිලියේ වෘත්තාන්ත සිනමාපටයකට වුව පොදු වන්නේය යන්න සාකල්‍යයෙන්ම පැහැදිලිය. කල්පිත පෙදෙසක, කල්පිත චරිත මෙලොවට අදාළ නොවන අන්දමේ චර්යා පෙන්නුම් කරලන සිනමාපට පවා මේ හඳුන්වා දීම නිසා පැන නොදුවයි.
සරල හා නොගැඹුරු වින්දනයකට ඉඩ කඩ නොසපයන අන්දමේ ලකුණු සහිතව පැමිණෙන කලාත්මක හා සම්භාවනීය පෙළ ගැසීම් සහිත ඇතැම් සිනමාපට පළමු වර හෝ දෙවන වර විනිවිද දැකීමේදී උක්ත විශ්වාසනීයත්වය පිළිබඳ කරුණු නව වටයකින් සිහියට නැඟෙන්නේ නිරායාසයෙනි. මෙතැනදී ඒ ඒ සිනමාකරුවන් ඇතුළු නිර්මාපක පිරිසට මහෝපකාරී වන එක් පිළිතුරු මඟක් වනුයේ විෂය කර ගන්නා හා ඇසුරු කර ගන්නා සිදුවීම් හා චරිතද, ඒ අතර වන සබඳතාද සැබැවින්ම මේ මහ පොළොව මත පැවතියේය යන සඳහනයි. කෙසේ නමුදු මෙහිලා වඩා වැදගත් වනුයේ මේ වග මැනවින් ඥානනයට සමත් නිර්මාණ පිළිවෙත් සපුරා ගැනීමට සිනමාකරුවන් ඇතුළු නිර්මාපක පිරිස දක්වන උනන්දුවය.
චත්‍ර වීරමන් මෙසමයේ තිරගත කෙරෙන ‘ආයු’ සිනමාපටය ඔස්සේ විද්වත් රසික සුළුතරය අමතන්නේ ඉන් ලැබ ගන්නා අනුප්‍රාණය උද්දීපනය කරමිනි. ‘ආයු’ අද ඊයේ නිර්මිත සිනමාපටයක් නොවන වගද, සිනමාපට නිපැයුම හා තිරගත කිරීම අතර පවත්නා ඇතැම් නොපෑහීම්වලට නතු වූ සිනමාපටයක් වන වගද අමතක නොකළ යුතුය. සිරිලක සිනමා කලාපයේ වත්මන් උද්යෝගය පසුපසද මෙකරුණ නොසැඟවී පවතින අයුරු පෙනේ.
සිනමාකරු චත්‍ර , සිනමා බස මැනවින් ප්‍රගුණ කළ අයකු හෝ මැනවින් ප්‍රගුණ කරන්නට කිසි විටෙකත් පසුබට නොවන අයකු වන බව වටහා ගන්නට ‘ආයු’ හි එන රූපාවලිය පහසුකම් සපයන්නේ කිසිදු පමාවකින් තොරවයි. ඒ වඩා පරිසමාප්ත රූප රචනයකට ඔහු දක්වන ඉමහත් කැමැත්ත ඔස්සේය. මෙවැනි පිළිවෙතක් සිනමා වෙළෙඳ පොළ ජය ගැනීම කෙරෙහි සාධනීය අන්දමින් බල නොපාන්නට ඉඩ ඇති වග සමහරවිට ඔහු වටහා ගෙන සිටින්නට ඇතැයි සිතේ. ඔහුට වාසියක් වී ඇත්තේ නව මාදිලියේ සිනමාපට සමුච්චයක් විසින් වත්මනෙහි ඇති කරනු ලැබ ඇති ප්‍රබෝධයයි.
සිදුවීම් කෙමෙන් දිග හැරීමේ සුලබ පිළිවෙත එහෙම පිටින්ම අත හැර දැමීමට සිනමාකරු චත්‍ර දෙවරක් නොසිතන වග පෙනේ. එහෙත් හරස් පද ප්‍රහේලිකාවක් බවට ‘ආයු’ පත් කිරීමේ කිසිදු වුවමනාවක් ඔහු තුළ නොවූයේ යැයිද සිතේ. සෑම විටෙකම සමීප රූප භාවිතයට ඔහු දක්වන්නේ ඉමහත් කැමැත්තකි. මේ සමඟ පැමිණෙන අභියෝග වෙතින් පලා යාමට චත්‍ර කිසිවකුටත් අවසර ලබා නොදෙයි. රූපණ කාර්යයටද මෙය සැලකිය යුතු අභියෝගයකි. වෙසෙසින්ම ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන සැන්ඩ්‍රා මැක් මෙම අභියෝගයට වැඩිපුරම මුහුණ දුන් බවයි හැඟෙන්නේ. සෙසු චරිත නිරූපණයට ආ ජගත් මනුවර්ණ, අශාන් ඩයස් හා මාලිනී ෆොන්සේකාද මෙම සමීප රූප අභියෝගය හමුවේ විපිළිසර නොවූ බව සඳහන් කළ යුතුය. සිනමාපටය හා විද්වත් රසිකයා අතර සමීප සබඳතා ඉහළ නැංවෙන්නේ මේ සතර දෙනා මුල් වී රූපණ කාර්යය මැනවින් තහවුරු කරන නිසාවෙනි.
එච්.අයි.වී. වෛරසය සිනමාපටයේ දිශානතිය තීන්දු කරලීමේ වැදගත්ම සාධකය සේ දැක්වෙන්නේ අතිශයෝක්තියකින් තොරවය.වෛද්‍ය නිෂ්මි හා ඇගේ සැමියා වන රවි අතර ආදරණීය සබඳතාව ගිලිහී යාම පසුපස ඇති ආසන්නතම හේතුව වන රවිගේ විදෙස් ස්ත්‍රී ඇසුර ද එච්. අයි.වී. වෛරසයට කිට්ටුය. තමා එච්.අයි.වී. ආසාදිතයකු වූයේ එනිසා යැයි නිෂ්මි කල්පනා කිරීම අහේතුක නොවේ. හදිසි රිය අනතුරෙන් පසු රෝහලේදී ඇයට ලබා දෙන රුධිරයද එච්.අයි.වී. වෛරසය හා අනවරතයෙන්ම බැඳේ.
පසු දවසක වෛද්‍ය නිෂ්මි රුධිර පරිත්‍යාගශීලියා කෙරෙහි විමසිලිමත් වීම සිනමාකරු චත්‍ර දකින්නේ ආයාසයකින් තොරවය. මේ අනුව මුහුදු කරයේ සංචාරක කර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන සචින් නමැති තරුණයා හා මානුෂීය සබඳතාවක් ඇරඹීමට නිෂී අවකාශ සලසා ගනී. මේ කෙසේවත් සිදුවිය නොහැක්කක් වන්නටද පුළුවන. සිනමාකරු චත්‍ර යළිත් පවසන්නේ මේ සැබැවින්ම සිදුවූවක් වන හෙයින් ඒ සම්බන්ධ නොඑකඟතාවක් ඇවැසි නොවන බවයි. එසේම මෙයද ආයාසයකින් තොරව සනිටුහන් කිරීමට ඔහු උත්සුක වෙයි.
සිනමාපටය පුරාම විහිදී යන වෛද්‍ය නිෂීගේ චරිතය මනාව නිරූපණයට සිනමාවට ආගන්තුක සැන්ඩ්‍රා මැක් සමත් වන්නේ සමකාලීනව ඇතැම් පළපුරුදු රූපණවේදිනියන් දක්වන අසමත්කම්ද අබියසය. පෙම්වතාගේ හැඟුම්බර ආලය, වැඩිහිටි කැමැත්ත නොමැතිව සිදුකෙරෙන විවාහය, අසතුටෙන් පිරි විවාහ දිවිය නිරූපණයේදී සේම සචින් නමැති තරුණයා සමඟ ගෙවා දමන අරුමැසි දිවිය නිරූපණයේදීත් ඇය සමත්කම් පෙන්නුම් කරයි. සමීප රූප අභියෝගය ඇය ජය ගන්නේ සූක්ෂ්මතා සහිතවය. අශාන් ඩයස් හා ජගත් මනුවර්ණ වෙතින් ලැබෙන රූපණ සහය නිරවුල්ව ගලපා ගන්නට වාර ගණනාවකදීම ඇය සමත් වෙයි. යම් පමණකට හෝ ඇය සැලෙන්නේ මාලිනී ෆොන්සේකාගේ පරිණත රූපණය අභියසය. අශාන් වරෙක සිය සීමා ඉක්මවූ සැටියකි. මේ ජගත් මනුවර්ණගේ මෙතෙක් දුටු ප්‍රශස්තම සිනමා රූපණයක් විය යුතුය. සිනමාපට නිපැයුම හා තිරගත කිරීම අතර ඇති නොපෑහීම නොවන්නට ඔහුගේ සිනමා රූපණය වඩා විකසිත වන්නට ඉඩ තිබුණේ යැයි සිතේ.
සුවිශේෂතා පිළිබඳ දුර දිග යන කියැවීමකට නොඑන සිදුවීම් පෙළක් සිනමානුරූපීව ගෙන හැර පාන්නට චත්‍ර දක්වන සමත්කම පසුපස කැමරාකරණය, සංස්කරණය හා සංගීතය පරස්පරතා අවම කොට ගෙන රැඳී සිටී. සිනමා නිමැවුමට දුහුනකු වුවද හැකි පමණින් සිය අනුශාංගික අංග උචිත පරිදි හසුරුවාලීමට චත්‍ර සමත් වන්නේ සිනමා නිමැවුමේ අත්දැකීම් බහුල සිනමාකරුවන්ද පසුකර යමිනි. සිය පළමු සිනමා මෙහෙයුම වූ ‘ආලෝකෝ උදපාදී’ ගත් මඟ නොගන්නට ඔහු එළඹුණු මේ තීරණය වඩා සවිමත් වීම ඔහුගේ ඉදිරි සිනමා මෙහෙයුම් උදෙසා වන ආයෝජනයකි.
චත්‍ර වෙසෙසින් දක්වන දෙයාකාරයකින් සිනමාපටයේ සිනමානුරූපී බව තව දුරටත් කුළුගැන්වේ. පළමුවැන්න නිරන්තරයෙන්ම තිරය මතට පැමිණෙන මහා සාගරයයි. දෙවැන්න සැබෑ ලොවට හෝ කල්පිත ලොවට අයත් නොවන සුරතල් දැරියයි. මේ ආකාර ද්විත්වය දිග හැරෙන්නේ එකිනෙකට සමගාමීවය. කල් නොයවාම සිනමාකරු චත්‍ර පියවර ගන්නේ දැරියගේ නම ආයු සේ හඳුන්වා දෙන්නටයි. මෙය සිනමාපටයේ සමුදයාර්ථය උද්දීපනය කරන සංකේතාත්මක සනිටුහන් කිරීමක් බවට පත් කරලන්නට ඔහු වැර දැරුවා විය හැකිය. එනමුදු නිරන්තර සමීප රූප භාවිතයත්, රූපණ කාර්යයේ ප්රබලතාවත්, කැමරාකරණය හා සංස්කරණය ඇතුළු පළමු පෙළ අනුශාංගික අංග පෙන්වූ සුවිශේෂතාත් නිසා සිදුව ඇත්තේ දැරිය පිළිබඳ කතිකාව යටපත් වීමය. එනමුදු සිනමාපටයේ සිත් ඇද ගන්නා සුලු බව වඩවනු පිණිස දැරියගේ චරිතය සැලකිය යුතු අන්දමින් උපයෝගී කොට ගෙන ඇති බව නිසැකය.
වරෙක මේ දැරිය ජීවිතය නිරූපිත අවස්ථාවක් බවට පත් කෙරේ. තවත් වරෙක පත් කරන්නේ මරණය නිරූපණයටය.ජීවිතයට පෙම් බඳීන තැන් හිදීද දැරිය හමුවීමට පුළුවන. උරුම වූ සියලු දෑ අත්හරින විටදීද දැරිය අසලමය.
මහා සාගරයද මෙලෙසින්ම සිනමාපටයේ සමුදයාර්ථය වෙනුවෙන් පෙනී සිටින්නට තැත් කරන අයුරු පෙනේ. විටෙක සාගරය ප්රචණ්ඩය. තවත් විටෙක ශාන්තය. පෙම උපදින්නේත්, විරහව උපදින්නේත් සාගරය ඇසුරෙනි. නොඑසේනම් ජලය ඇසුරෙනි. චත්‍ර ජලය සංකේතාත්මකව යොදා ගන්නේ හුදෙක් මහා සාගරයටම කොටු නොවෙමිනි.
සුලබ ලකුණු ගහණ සිදුවීම් සමුච්චයක් නිසැක පුවතක් සේ පෙර දින, වත්මන හා නූපන් හෙට දින අතර දෝලනය වෙමින් ගෙන එන ‘ආයු’ විද්වත් රසික සුළුතරයටම සමීප වනුයේ සිනමා බස මනාව දොඩන්නට සමත් පිළිවෙතක සිනමාකරු චත්‍ර පිහිටා සිටින හෙයිනි. කෙසේ වුවත් මෙම විද්වත් සිනමා රසික සුළුතරය නිල හඳුන්වාදීම් සහිතව නිශ්චය කර ගැනීම පහසු නොවේ. මෙය හේතුවක් කොට ගෙන ‘ආයු’හි සිනමාශාලා පැවැත්ම වටහා ගැනීම පහසුය. ‘ආයු’ ලබන මේ රසික ප්‍රතිචාර වෙතින් උද්දාමයට පත් වීමේදී ප්‍රවේශම් විය යුතු බවත් ඉන් අදහස් කෙරේ.
තුසිත ජයසුන්දර
