Home » හොල්මනකට බය වූ පළමු දවස

හොල්මනකට බය වූ පළමු දවස

ලබන සතියේ නදීකා චිත්‍රපට නිෂ්පාදනයට...

by mavan
April 2, 2026 1:08 pm 0 comment

36 වැනි කොටස

තවත් කිසිමදාක අමතක නොවන සිදුවීමක් යුගයෙන් යුගයට රූ ගත කරත්දි සිදුවුණා මට මතකයි. අපි නැවතිලා හිටියේ මිනුවන්ගොඩ කඳු ගැටයක් උඩ පිහිටා තිබුණු සුද්දෙකුට අයිති විශාල බංගලාවක. ඒකාලේ වෙනකොට ඒක සිංහල කෙනෙකුට අයිති වෙලා තිබුණා. එතැන හරිම ලස්සන තැනක්. හැම කාමරයක්ම විවෘත වෙන්නෙක් මල් වත්තකට. කඳු ගැටයක් මුදුණේ නිසා හොදට හුළං හමනවා. ඇතුළේ කාමර වගේම එළියෙනුත් හදපු කාමර පේළියක් මේ බංගලාවේ තිබුණා. මේ චිත්‍රපටයේ අපේ අම්මත් රඟපෑව නිසා අම්මත් එක්කම තමයි දර්ශන තලයේ හිටියේ. අම්මා රඟපෑවේ විජය අයියගේ අම්මා විදියට.

ඒකාලේ අම්මා ඉස්කොලේ උගන්වන්න යන නිසා එදා හවස අම්මට දර්ශන තලයෙන් යන්න සිද්ධ වුණා. මට තනියම තමයි කාමරයේ ඉන්න සිද්ධ වුණේ. මේ නිසා මගේ හිතට ටිකක් බය ගතියකුත් තිබුණා. ඒකට විශේෂ හේතු ටිකකුත් තිබුණා. අපි මේ දර්ශන තලයට ආවම වට පිටේ මිනිස්සුන්ගෙන් අපිට මේ බංගලාව ගැන විවිධ තොරතුරු ගලාගෙන එන්න පටන් ගත්තා. මේ වතු බංගලාව අයිති වුණු සුදු මහත්තයා තවමත් වත්තේ හොල්මනක් විදියට අශ්වයා පිටේ යනවා සමහරුන් දැකලා තියෙනවා. කියලත් කතාවක් ගියා. ඉතින් තනියම ඉන්න නිසා මට මේ කතාත් මතක් වුණා. කොහොමහරි එදා දවසේ වැඩ ඉවරකරලා, රාත්‍රි ආහාරයත් ගත්තට පස්සේ මම තනි කාමර පේළියේ තිබුණු මගේ කාමරයට ගියා නිදා ගන්න. මහන්සියටත් එක්ක ඉක්මනටම නින්දත් ගියා. ඒත් මධ්‍යම රාත්‍රිය වෙත්දි මට එකපාරටම ඇහෙන්න පටන් ගත්තා බාත්රූම් එකේ ටැප් එකක් ඇරිලා වතුර ගලාගෙන යන සද්දයක්. මට නින්දෙන් ඇහැරෙන්නෙම මේ සද්දේ නිසා. මම ඉක්මනට නැඟිටලා ගිහින් ටැප් එක වහන්න බලනකොට එහෙම දෙයක් වෙලා නෑ. අඩුම තරමින් බාත් රූම් එක තෙමිලාවත් නෑ. මට හිතුණා නින්දේ සැර කමට මට ඇහුණ හැටි වෙන්න ඇති කියලා හිතිලා ආයෙත් ගිහින් හොඳට නිදා ගත්තා. තද නින්දට වැටිලා ඉන්න අතරේ ආයෙත් සැරයක් මට වතුර වැක්කෙරෙන සද්දේ ඇහෙන්න පටන් අරන් එක පාරටම ඇහැරුණා. ඇඳේ ඉදන්ම අහගෙන ඉන්නකොට මට තේරෙනවා වතුර පාර හයියෙන්ම වැක්කෙරෙන සද්දේ. දෙවැනි වතාවටත් මම බාත්රූම් එකට ගිහින් දොර ඇරලා බලනවිට වතුර යෑමක් දක්නට ලැබුණේ නෑ. මේ පාරනම් මට පුදුම තරමේ බයක් ඇතිවුණා. දවල් තිස්සේ මිනිස්සු කී කතාත් මට එකින් එක මතක් වෙන්න ගත්තා. වෙලාව ඒ වෙනකොට රාත්‍රි එකට පමණ වෙලා. මේ වෙලාවේ කාට කතා කරන්නද කියලා මට හිතා ගන්නවත් බෑ. ඉදිරිපෙල කාමරවල ඉන්නේ කවුද කියන්නවත් මම දැනගෙන හිටියේ නෑ. ඒ වුණත් තව දුරටත් මට මේ කාමරය ඇතුළේ නිදා ගන්න පුළුවන්කමත් තිබුණේ නෑ. ඒ හින්දා මම හිමිහිට දොර ඇරලා මට ඉදිරි කාමරයේ දොරට හයියෙන් ගහන්න ගත්තා.

ඇතුළෙන් ඇහෙනවා… ඇයි ඇයි… මොකද මේ මහරූ… කියලා . මම අනේ පොඩ්ඩක් දොර අරින්න මට පොඩි කරදරයක් කියලා කිව්වා..

එතකොට ඒ කාමරේ දොර ඇරගෙන එළියට ආවේ චිත්‍රපටයේ නිෂ්පාදක පද්මසිරි කොඩිකාර.

මොකද මොකද නදීකා…. මොකක්ද ප්‍රශ්නේ …ඔහු කලබලයෙන් අහන්න ගත්තා….

අනේ පද්මසිරි අයියේ මගේ කාමරේ බාත්රූම් එකෙන් වතුර වැක්කෙරෙන සද්දේ ඇහිලා මම ඇහැරුණේ…. ඒත් ගිහින් බලනකොට එහෙම වතුර වැටීමක් නෑ…….

හරි හරි ඒ ඔයාට ඇහුණ හැටි වෙන්න ඇති … ඔයා තද නින්දකනේ ඉන්න ඇත්තේ… දැන් ගිහින් නිදා ගන්න…..

නෑ පද්මසිරි අයියේ මේ පළවෙනි වතාව නෙමෙයි. දෙතුන් වතාවක්ම ඇහුණා. ඒ හැම සැරේම බලත්දි වතුර වැටීමක් නෑ…. අනේ දැන්නම් මට බයයි. මට නම් තනියම නිදා ගන්න බෑ…. ඒ කාමරේ…..

පද්මසිරි කොඩිකාර ටිකක් කල්පනා කරලා මෙහෙම කීවා.

කාමරේ ඉස්සරහ දොර ළඟ මම නිදා ගන්නම් ඔයා ඇතුළට ගිහින් දොර වහගෙන නිදා ගන්න. මොන සද්දයක් ඇහුණත් එතකොට මට ඇහෙනවනේ..

ඊට පස්සේ තමයි මම කාමරේට ගිහින් නිදා ගත්තේ. හැබැයි එදා රෑ එළිවනතුරු පද්මසිරි කොඩිකාරට නම් නින්දක් තියෙන්න නැතුව ඇති.

අනේ ඊට පස්සේ අර සද්දේ මට ඇහුණේ නෑ. ඒ තමයි මම චිත්‍රපටයකට ගිහින් ඉස් ඉස්සරලාම හොල්මනකට බය වුණේ. එදායින් පස්සේ නොදන්න තැනක තනියම නිදාගන්න මට බයක් තිබුණා.

ජීවිතේ කවදාවත් අමතක නොවන සැමරුම් රැසක් ඉතිරි කරමින් යුගයෙන් යුගයට චිත්‍රපටය නිමාවට පත්වුණා. මගේ චිත්‍රපට ලැයිස්තුවේ මිළඟට තිරගතවූ චිත්‍රපටය වෙන්නේ මාලිනි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ අහිංසා‘ චිත්‍රපටය. අහිංසා කියන්නේ මගේ චිත්‍රපට ජිවිතයේ තවත් එක් සන්ධිස්ථානයක්. එතෙක් සිනමා නිළියක් හැටියට ක්ෂේත්‍රය පුරා සැරි සරපු මම මුල්වරට චිත්‍රපට නිෂ්පාදිකාවක් වෙන්නේ ‘අහිංසා’ චිත්‍රපටය නිසා.

චිත්‍රපට නිළියක් වෙන්න ඕන කියන හීනෙක නොසිටියා වගේම කවදාවත් චිත්‍රපට නිෂ්පාදිකාවක් වෙන්න ඕන කියන අදහසක් මගේ තුන් හිතකවත් තිබුණේ නෑ. අහිංසා නිෂ්පාදනය කරන්න මම පෙළෙඹන්නේ මාලිනි ෆොන්සේකාගේ ආරාධනාව නිසාමයි. අහිංසා අධ්‍යක්ෂණය කරන්නෙත් මාලිනි අක්කාමයි. මම සිනමාවට එනවිට මාලිනි ෆොන්සේකා කියන නිළිය මම කවදාවත් හැබැහින් දැකලා තිබුණේ නෑ. මම හිතන්නේ ඇය මට මුලින්ම මුණ ගැහෙන්නේ බැද්දේගම දර්ශන තලයේදි. ඒ වෙනවිට ඇය තමයි මේ රටේ ජනප්‍රියම සිනමා තාරකාව. කොටින්ම කිවුවොත් ඇය කොයි තරම් කාර්ය බහුලද කියනවා නම්, ඒ කාලයේ බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රූ ගත කිරිම් සඳහා දින යොදා ගන්නේ ඇගේ දිනවලට අනුව. බැද්දේගම හමුවීමේදී අපි දෙන්නා හරිම සමීප මිතුරියන් වුණා. මට තාමත් මතකයි ඒ මුල්ම යුගයේ මට සරසවිය සම්මාන උලෙළේ හොඳම නැගී එන නිළිය සම්මානය ගත්ත දවස. සම්මානයත් අරගෙන වේදිකාවෙන් පඩිපෙළ බහිනවිට ඉදිරි පේළියේ ඇය ඉඳගෙන හිටියා. ඇය ළඟම අසුන එදා හිස් වී තිබුණා. මම පඩිපෙළ බැහැලා එනකොට මට සුබ පතලා මෙතනට එන්න කියලා මගේ අතින් අල්ලාගෙන ඇය ලගින් වාඩිකර ගත්තා. එදායින් පස්සේ හමුවන හැම තැනකදිම අපි දෙන්නා සුහද සොයුරියන් වුණා.

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT