පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනු ලාංකේය නාට්‍ය කලාව පෝෂණය කළ සරසවි භූමියකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නම් විශිෂ්ට නාට්‍යවේදියා බිහි වූයේ ද පේරාදෙණිය සරසවියේදී ය. පේරාදෙණිය ව්ශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඪයේ වර්තමානයේ ඇදුරුතුමෙකු ලෙස සේවය කරන ආචාර්ය ජනක විජයකුලසුරිය විසින් තිර පිටපත ලියා නිර්මාණය කළ ‘හිස් කැන්වස්’ වේදිකා නාට්‍යය පසුගිය අගෝස්තු 18 වැනිදා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රඟමඩලේදී වේදිකාගත විය. ඔහු විසින් මීට පෙර තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ ‘නිම්නයක නිධානය’ වෙිදිකා නාට්‍යය ප්‍රතිචාර හිමි වූ නිර්මාණයකි. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වූයේ ආචාර්ය ජනක විජයකුලසුරිය සමඟ සිදුකළ කතාබහ ටය

ඔබ නාට්‍ය කලාව වෙත ප්‍රව්ෂ්ට වෙන්නේ කොහොමද?
ඇත්තටම නාට්‍ය කලාව කියලා මගේ කලා ජීවිතයේ විශේෂ බෙදීමක් නැහැ. සංගීතය, චිත්‍ර, නාට්‍යය ආදී සියල්ල සහ ඒ එක්කම මම කරන්නේ ඉංජීනේරු විද්‍යාව. ඒ සියල්ලම මගේ ප්‍රකාශන මාධ්‍යයන්. මට එහෙම ඉරක් ගහලා නාට්‍ය කියලා බෙදීමක් කරන්න බැහැ. ඇත්තටම මම පාසල් කාලයේ වේදිකාවකටවත් ගොඩවෙලාවත් නැහැ. මම පාසල් කාලයේ භාවිත කරපු කලා මාධ්‍යය වුණේ චිත්‍ර. හැබැයි මම නාට්‍ය පිටපත් ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වුණාට ඒවා නිෂ්පාදනය වුණේ නැහැ. හැබැයි මම විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මම ලියන ඒවා දැකලා බැච් එකේ අය තමා කියුවේ විශ්වවිද්‍යාලයේ පීඨ දිනය වෙනුවෙන් නාට්‍යයක් ලියන්න කියලා. ඒ 1990 විතර ලියපු අධ්‍යාපන ක්‍රමයේ පීඩනය ගැන ලියවුණු නාට්‍ය පිටපතක්. හැබැයි එතනින් පස්සේ හොඳයි කියලා හිතෙන නාට්‍යයක් ලියුවේ තුන්වෙනි වසරේ සිටියදි. ඒ කාලේ කලා මණ්ඩලය සංවිධානය කරලා තිබුණා. ශිෂ්‍යයන් අතර නාට්‍යය තරඟයක්. ඉතින් මගේ යාළුවෝ දිරිමත් කළා නාට්‍යයක් දාන්න කියලා.
මම ඒකට ‘ජාලා’ කියලා ජාතක කතාවක් මත පදනම් කරගෙන නාට්‍යයක් ලියුවා අලුත් වර්ෂන් එකක් විදියට. එතකොට ඒ නාට්‍ය තරඟයෙන් හොඳම පිටපත සහ හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ලැබුණා. ඉතින් මට වුණත් ආත්ම විශ්වාසයක් ආවේ ඒකෙන්. මොකද ඒ තරඟයේ විනිශ්චය මණ්ඩලයේ හිටියේ ලංකාවෙි ප්‍රවීණ නාට්‍යවේදියකු වන දයානන්ද ගුණවර්ධන මහත්මයත්, මාලිනී රණසිංහ මහත්මියත්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ජයන්ත අරවින්ද මහත්මයා. නාට්‍ය තරඟය ඉවරවෙලා දයානන්ද ගුණවර්ධන මහත්මයා සහ මාලිනී රණසිංහ මහත්මියත් මගේ ළගට ඇවිත් කියුවා ඔයා දිගටම ලියන්න කියලා. එයාලා කියුවා පේරාදෙණිය ඉස්සර නම් නාට්‍ය හැදුණා දැන් එහෙම නෑ..ඔයා ඒ වෙනුවෙන් ඉදිරියට මොනාහරි කරන්න කියන දිරිමත් කිරීම ලබා දුන්නා. ඊට පස්සේ ඊළග අවුරුද්දේ ‘යුද්ධය හෙවත් සාමය’ කියලා නාට්‍යයක් රචනා කළා. මට ඒ අවුරුද්දේ මට හොඳම නාට්‍ය පිටපත් රචනයට හම්බුණා. මම ටෙලි නාට්‍ය පිටපත් දෙකක් රචනා කළා. ඉන් එකක් ‘ඉහිරුණු කිරි’ කියලා දිගු නාට්‍යයක්. අනෙක ‘මම සහ මම’ ඒකාංගික ටෙලි නාට්‍යය. ඊටපස්සේ මම ආචාර්ය උපාධිය සඳහා විදේශගත වෙලා ලංකාවට ඇවිත් විශ්වවිද්‍යාලයේ ළමයින්ව දිරිමත් කළා නාට්‍යය කරන්න කියලා. ඉංජිනේරු පීඨයේ කලා කවයෙන් නාට්‍යය ගණනාවක් හැදුණා ඊට පස්සේ.
ඔහොම ගිහින් නාට්‍යයක් ලියුවා. ඊ.ඕ.ඊ පෙරෙයිරා රංග ශාලාවට ලැබුණා වේදිකා ආලෝකකරණ පද්ධතියක්. ඒ විවෘත කරන දවසේ වෙනුවෙන් නාට්‍යයක් ලියලා අධ්‍යක්ෂණය කරන්න කියලා ආරාධනයක් ආවා විශ්වවිද්‍යාලයේ ඇලුමිනායි ආදිශිෂ්‍ය සංගමයෙන්. ඒ 2022 වේදිකාගත කළ ‘නිම්නයක නිධානය’ නාට්‍යය. ඒ ඉල්ලිමත් එක්ක මම හිතුවේ ඇත්තටම සර් අයිවර් ජෙනින්ංග්ස් ඇයි මේ වගේ තැනක විශ්වවිද්‍යාලයක් හදලා තියෙන්නේ කියලා. ඊටපපසුව ඔහු ලියපු ‘අධචඤ ඊධ ඨචතචඩච’ වගේ කෘති කියවුවා. මුලින්ම මම කළේ එයාගේ දැක්ම මොකක්ද? කියලා හඳුනා ගැනීම. ජෙනින්ග්ස්ගේ දැක්ම වුණේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සරිලන දැනුමින් උසස් උගත් මනුස්සයෙක් බිහිකරන එක. හැබැයි එදා ජෙනින්ග්ස් විශ්වවිද්‍යාලයේ හදලා ඔහු ප්‍රාර්ථනා කරපු දේ අද වෙන්නේ නෑ නේද? වගේ හිතුණා.
අන්න ඒ සංකල්පය උඩ තමයි ‘නිම්නයක නිධානය’ නාට්‍ය රචනා වෙන්නේ. ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ නිධානයක්. මෙහි දෙවැනි දර්ශනයේ දී නිශ්ශංක දිද්දෙණිය මහත්මයා සහ මාදිනි මල්වත්ත කියන ප්‍රවීණ නළු නිළියන් දෙපළත් රඟපෑවා. නිම්නයක නිධානය හොයාගෙන යන ගමනේදී ඒ අයත් මෙහි චරිත දෙකක්. ‘නිම්නයක නිධානය’ වාර්තාමය නාට්‍යයක් නිසා මට එතරමින්ම එම නාට්‍ය තෘප්තිමත් වුණේ නෑ. මොකද ඒ නාට්‍යය කළේ ජෙනින්ග්ස්ගේ අදහස් ටික නිර්මාණශීලිව ඉදිරිපත් කිරීමක් නිසා. හැබැයි මට ඔින වුණා. මම ජීවිතයේ දකින දේවල් තියෙන නාට්‍යයක් කරන්න. ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? කියන එක ගැන තියෙන අත්දැකීම කියන්න. අන්න එහි ප්‍රතිඵලය තමයි ‘හිස් කැන්වස්’.
‘නිම්නයක නිධානය’ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
හොඳ ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්ති නාට්‍ය බලල කියුවා මේ නාට්‍ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලුතින් එන සෑම ළමයෙක්ටම පෙන්නන්න ඔින කියලා. මොකද? සර් අයිවර් ජෙනින්ග්ස්ගේ දැක්ම මොකක්ද? කියන හරියට කිසිම තැනකින් එළියට එන්නේ නැති නිසා.
මගේ අදහසට අනුව ‘නිම්නයක නිධානය’ කියන්නේ අතිශය වැදගත් නාට්‍යක්. නමුත් වාර දෙකකදි ‘නිම්නයන නිධානය’ විශ්වවිද්‍යාලය තුළ ප්‍රදර්ශනය වෙනවා. ඉන් පසුව නාට්‍ය විශ්වවිද්‍යාල තුළ ප්‍රදර්ශනය නොවුණේ ඇයි? මොකක්ද ගැටලුව?
ඇත්තටම පළවෙනි නාට්‍යයේ දී රඟපෑම වෙනුවෙන් අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ සහ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් යොදාගත්තා. නමුත් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සමඟ නාට්‍යයේ පුහුණුවීම සඳහා යොදාගන්න අපහසු තත්ත්වයක් ඇති වුණා. අනෙක්අතට විශ්වවිද්‍යාලය තුළ අපට නොපෙනෙන එක්තරා දේශපාලන ව්‍යුහයක් තියෙනවා. එයිනුත් සෑහෙන බලපෑම් එනවා නිදහසේ නිර්මාණය කරන්න. උදාහරණයක් විදියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයනාංශයේ ශිෂ්‍යයන් නිර්මාණය කරපු බුකාරින්ගේ ලියුම නාට්‍ය පේරාදෙණියේ සරත්චන්ද්‍ර රංග පීඨයේ වේදිකාගත වුණේ නැහැ. වේදිකාගත නොවුණේ එම නාට්‍යයේ ප්‍රධාන නළුවා නවකවධ විරෝධී අයෙක් වීම නිසා එම නාට්‍ය වෙිදිකාගත කරන්න ඒ දවස්වල එය සංවිධානය කරපු අය ඉඩ දුන්නේ නැහැ. එවැනි දේශපාලනික කල්ලිවාදය වැනි කාරණා තියෙනවා.
ඔබෙි අලුත්ම නාට්‍ය ‘හිස් කැන්වස්’ ගැන කතා කරමු…
හිස් කැන්වස් කියන්නේ මම ලබපු ජීවිත අත්දැකීම් රාශියක් සමඟ නිර්මාණයවූවක්. මෙය නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව තමයි 2018 මැයි 15 දින රාත්‍රියේ දී මගේ තාත්තා පේරාදෙණිය රෝහලේ දී මිය යනවා. ඊටපස්සේ තාත්තා නැති වුණ එක ගැන මට සෑහෙන දුකයි. මම කල්පනා කළා ඇයි මට මෙතරම් දුකක් දැනෙන්නේ කියලා. හැබැයි ඊටකලින් සතියේදී මගේ තාත්තා වගේ කෙනෙක්ම එයා හිටපු ඇදේ එහා පැත්තේ නැති වුණා. මම එයාව බලන්න ගියාම..මට තාත්තා නැති වෙච්ච තරම් එච්චර දුකක් නෑ. එතනම ළදරු උපත් සිදු වෙන යට වාට්ටුවේ දී ගැහැනු දරුවෙක් ඉපදිලා හයියෙන් කෑ ගහන සද්දය ඇහුණා. එතකොටම මට මතක් වුණා මගේ දුව ඉපදුණ අවස්ථාව. ඉතින් ඔය සිද්ධි ටිකත් එක්ක මම කල්පනා කළා. මේ සිදුවීමි දෙක එකිනෙකට වෙනස් එකක් සතුටුදායක අවස්ථාවක්. අනෙක දුක්ඛදායක අවස්ථාවක්. ඉතින් ඔය දැනෙන දෙයත් එක්ක සෑමදෙයක්ම ගොඩනඟපු දේවල් නේද? කියන අදහසත් හිතුණා. විශේෂයෙන් යුද්ධ, ගැටුම්, ජාතිය, ආගම් වගේ දේවල් අපි විසින්ම ගොඩනඟපු දේවල්. ඔය වගේ සංකල්ප එකතු කරලා තමයි ‘හිස් කැන්වස්’ නිර්මාණය වුණේ.
පින්සල් පහරවල් කිහිපයක් තියෙන කැන්වස් එකක් විශාල මුදලක් දීලා එක්තරා ගැහැනු කෙනෙක් මිලදී ගන්නවා, එයාගේ සැමියාගේ උපන්දිනය වෙනුවෙන්. ඒ සිදුවීම ඇතුළේ තියෙන කතාබහ තමා නාට්‍යය තුළ කේන්ද්‍ර වෙන්නේ. නාට්‍යය තුළින් ඉස්මතු වෙන කාරණාව තමයි අපි ආකෘති විශාල ප්‍රමාණයක සිරවෙලා ඉන්නවා කියන එක. මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් මෙම නාට්‍ය වෙනුවෙන් ලියූ පෙරවදනෙහි සඳහන් කරනවා මෙයාකාරයෙන්. ඔහු කියනවා, අප තුළ ඇති හිස්බව සහ එම හිස්බවත් සමඟ කරන ගනුදෙනුව තමයි මෙම නාට්‍යය තුළ සඳහන්වෙන්නේ කියලා. නාට්‍යයේ පණිවුඩයක් විදියට දෙනවා නම් ආකෘති කඩන්න කියන එක තමයි මගේ පෞද්ගලික අදහස නම්.
‘හිස් කැන්වස්’ නාට්‍යය සම්බන්ධ වුණ පිරිස ගැන කියමු….
මම තිරපිටපත රචනා කළා. ‘හිස් කැන්වස්’ නාට්‍ය අධ්‍යක්ෂණය කළේ නයනතාරා ද සිල්වා. ඇය නාට්‍ය වෙනුවෙන් බොහෝ සේ කැප වුණා. නාට්‍යය සමඟ ගොඩක් වැඩ කරන කෙනෙක් තමයි නයනතාරා ද සිල්වා කියන්නේ. නිම්නයන නිධානය නාට්‍යයේදීත් නයනතාරා මට සෑහෙන්න උදව් කළා. නාට්‍යයේ චරිත හතරයි තියෙන්නේ. ඒ චරිත හතරෙන් තුනක්ම ඉංජිනේරු පීඨයේ පළවෙනි වසරේ ශිෂ්‍යයන්. ඒ වගේම නාට්‍යයේ චරිත සඳහා දායක වුණ පිරිස ගැන කියුවොත් රංගනයෙන් අමීෂා පෙරේරා, විහඟ ලියනගේ, මිහිරින්දි වෙදගෙදර, අනුක ගුණිතිලක සහ වේදිකා කළමනාකරණය අවිෂ්ක නදුන් ඇතුළු කණ්ඩායම, සරසවි උයන පාසලේ සිසුන් සම්බන්ධ වුණා. මේ සියලු දෙනාම නාට්‍ය සාර්ථක කරගන්න විශාල සහයෝගයක් ලබා දුන්නා. මෙහි නිෂ්පාදනය සිදු කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විභව සාහිත්‍යය සංගමය විසින්.
ඔබේ ශාස්ත්‍රීය කටයුතු සහ කලා කටයුතු සඳහා වෙලාව කළමනාකරණය කරගන්නේ කොහොමද?
මම ඉංජිනේරු විද්‍යාව කියලා විශේෂ සැලකීමක් නැහැ. කලාව සහ ඉංජිනේරු විද්‍යාව කියලා බෙදීමක් නැහැ. කලාව සලකන්නේ සරසවියේ අධ්‍යයන කටයුතුවලම කොටසක් විදියට. වෙලාව හොයාගන්නවා කියන්නේ කලා කටයුතු මගේ වෘත්තියේම කොටසක් විදියට සලකනවා.
ඔබේ කලා කටයුතු සඳහා වැඩිපුරම බලපෑමක් ඇති කරපු පුද්ගලයන් කවුද? සහ කෘති මොනවද?
සෘජුවම කියුවොත් මගේ තාත්තා. තාත්තා විදුහල්පතිවරයෙක්. එයාගේ ඇඟ ඇතුළේම තිබුනේ කලාව. මට මතකයි හවසට ගෙදර ඇවිත් ලී කැටයම් එහෙම කපනවා. එහෙම කලාකරුවෙක් එයා. තව ගත්තොත් මහගම සේකර. සේකර ගොඩක් බලපෑවා මට. නාට්‍යවලින් ගත්තොත් එදිරිවීර සරච්චන්ද්‍ර වගේ අය. මෑතභාගයේ ගත්තොත් රාජිත දිසානායක, සචිත්‍ර රාහුබද්ධ වගේ අයගෙන් ආභාසය ලැබෙනවා. ඇකඩමික් පැත්තෙන් ගත්තොත් මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ රචනා සහ කෘති බලපෑවා.
මලින්ත විතානගේ
සේයාරූ – හේමන්ත අරුණසිරි
