Home » හමුවෙමු මොහොතක්… කැටිපෙ සමඟ

හමුවෙමු මොහොතක්… කැටිපෙ සමඟ

by mavan
March 19, 2026 1:02 pm 0 comment

ඉරහඳ සෙවණැල්ලේ
කළුසුදු ඕවිල්ලේ
නැලවෙනවද මේ
මනුසත් උද්‍යානේ

කඳුළඳ හසරැල්ලේ
සැනහී දිවි නිල්ලේ
හමුවෙමු මොහොතක්
අපි පරසතු යායේ

ගායනය – චාමර වීරසිංහ

සංගීතය – චින්තන ජයකොඩි

පද රචනය – විමල් කැටිපේආරච්චි

චිත්‍රපටයක තේමා ගීතයෙන් හෝ තේමා සංගීතයෙන් කෙරෙන්නේ චිත්‍රපටය ඉස්මතු කර පෙන්වීමකි. අතීතයේ ශශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ට චිත්‍රපට වූ සත් සමුදුර , බඹරු ඇවිත්, හංස විලක් වැනි චිත්‍රපටවල තේමා ගීතය, තේමා සංගීතය දෙසවනට ඇසුණු පමණින් එම චිත්‍රපටය කුමක්දැයි නම් කළ හැකිවිය. ඒ එහි වූ තේමා සංගීතය සහ තේමා ගීතය එතරම් ප්‍රබල වූ නිසාය. මේ දිනවල එවැනිම තේමා ගීතයක් අප කාගේත් දෙසවනට හුරු වී හමාරය. මේ දිනවල අති සාර්ථකව තිරගත වන චමින්ද ජයසූරියගේ ෆාදර්’ චිත්‍රපටයේ තේමා ගීතයයි. එම චිත්‍රපටයේ එන ” ඉරහඳ සෙවණැල්ලේ ගීතය මේ දිනවල අතිශයින් ජනප්‍රිය වී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. ෆාදර් චිත්‍රපටයේ ප්‍රබල රංගනයන්ට තවත් හැඩයක් එක් කරනු ලැබුවේ එහි තේමා ගීතය බැව් සඳහන් කළ හැකිය. අද සරසවියේ මේ සටහන එහි පදවැල් ඇමිණූ සුන්දර ගීත රචකයා ගැනය.

ඔහු කා අතරත් ජනප්‍රිය සොඳුරු චරිතයක් වූ විමල් කැටිපේආරච්චිය. ඔහු ගී පද රචකයෙකු පමණක් නොව ප්‍රවීණ මධ්‍යවේදියෙකි. කලක් ආලෝකකරණ ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත. දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී චරිතයකි. ෆාදර්’ චිත්‍රපටය ගැන මෙන්ම විමල් කැටිපේආරච්චි ගැනත් මේ දිනවල බොහෝ සිනමා රසිකයෝ කතාබහ කරති.

ඔහු මෙවර සරසවිය සමඟ එක්වූයේ ඔහුගේ ගී පද නිර්මාණය ” ඉර හඳ සෙවණැල්ලේ ගීතය පිළිබඳ කතා කිරීමට සහ ඔහුගේ කලා කටයුතු ගැන කතා බහක යෙදෙන්නටයි.

මට ලිවීමේ ආශාව ඇති වුණේ කුඩා කාලයේ සිටමයි. ඒ කාලයේ ඉඳන්ම කවි ගායනා , රචනා, කවි රචනා වලට මම දක්ෂතාවය දැක්වූවා. මම පුංචි කාලේ පාසල් ගියේ ගල්කිස්ස ධර්මෝදය කනිටු විදුහලට. පසුව හලාවත ශාන්ත මරියා කනිටු විද්‍යාලයේත්, හලාවත ශාන්ත මරියා මහා විද්‍යාලයේත් ඉගෙනුම ලැබුවා. පාසල් නාට්‍යවලට සම්බන්ධ වුණා. ශාන්ත මරියා විද්‍යාලය කොහොමත් කලාවට මුල්‍තැන දුන් පාසලක්. ලංකාවේ බිහිවූ ප්‍රකට කලාකරුවන් රැසක් බිහිවූ පාසලක්. පාසල් ජීවිතයෙන් පසුව මම ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස කලක් සේවය කළා. පසුව පූර්ණකාලීනව දේශපාලනයට යොමු වුණා. ඒත් මම කලා කටයුතු අතහැරියේ නැහැ. ආලෝකකරණ ශිල්පියෙකු , කලා අධ්‍යක්ෂවරයෙකු , පිටපත් රචකයෙකු ලෙස රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකාවලට සම්බන්ධ වෙලා කටයුතු කළා. ලංකා ජනරළ වගේ මුද්‍රිත මාධ්‍යයේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළා.

ගීත රචනා කලාවට මම ඉතාමත් ප්‍රියයි. මේ දිනවල අතිසාර්ථකව තිරගත වන ෆාදර් චිත්‍රපටය මට සුවිශේෂයි. එහි අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය සොහොයුරා තමයි මට එහි තේමා ගීතය සහ දෙබස් රචනා කිරීමට ආරාධනා කළේ. ෆාදර් චිත්‍රපටයේ ‘ ඉරහඳ සෙවණැල්ලේ’ ගීතය රචනා කළේ මම. ඔහු මට කතා සාරාංශය ගැන දැනුම්වත් කළා. ඒ සිදුවීම සිදුවූ කාලසීමාව මට හොඳීන් මතකයි. මම ඒ වන විට හය වෙනි වසරේ ඉගෙන ගනිමින් සිටියේ. පුවත්පත් මාර්ගයෙන් තොරතුරු දැනගත්තා. කතාවේ අන්තර්ගතය පිළිබඳ මා දැනුම්වත් වී සිටි නිසා ගීතය රචනා කිරීම පහසු වුණා. ෆාදර් චිත්‍රපටයට දෙබස් ලිවීමටත් මා සම්බන්ධ වුණා. මා ගීත ලියන්නේ ජනප්‍රිය වෙන්න ඕන කියන සිතුවිල්ලෙන් නෙවෙයි. එහෙත් ලැබුණ ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. ගීතයක් ලියන විට එය කෙතරම් ජනප්‍රිය වෙයිද කියන දේ ගැන මම ගීතය ලියන විටදී සිතන්නේ නැහැ. එහෙත් ඉර හඳ සෙවණැල්ලේ ගීතයේ වචන ටික ලියා අවසන් වූ පසු ඒ ගීතයේ අපූර්වත්වයක් මම දුටුවා. අනෙක් කාරණාව තමයි මා ලියන ගීතය කිහිප වරක් සංස්කරණය කළාට පසුවයි අධ්‍යක්ෂකවරයාට ලබා දෙන්නේ. ලැබුණු ප්‍රතිචාර අනුව එය ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනුණු බව තේරුණා. නිර්මාණකරුවෙකුට එය සතුටක්. ෆාදර් චිත්‍රපටයේ පිටපත ලිව්වේ චාමර ප්‍රසන්න කොඩිතුවක්කු. ඔහුත් සමඟ අපි පහළොස් දෙනෙකු පමණ එක්වෙලා පිටපත සංස්කරණය කළා. එසේ කිරීමෙන් කතාව සාර්ථක වුණා කියල කියන්න පුළුවන්.

ඉදිරියටත් මම චිත්‍රපට සඳහා ගීත රචනයෙන් සම්බන්ධ වෙනවා. අපේ රටේ අතිශය ජනප්‍රිය චරිත දෙකක් වෙන පොඩි මල්ලී සහ චූටි මල්ලී සුසංයෝගයෙන් තැනෙන චිත්‍රපටයේ තේමා ගීතය සහ තවත් එක් ගීතයක් රචනා කළා. තවමත් එම චිත්‍රපටයට නමක් යොදා නැහැ. එය ප්‍රහසනාත්මක චිත්‍රපටයක් මෙන්ම ආන්දෝලාත්මක චිත්‍රපටයක් වේවි.

ගීත රචනා කලාව, සිනමා තිරපිටපත් කලාවට අමතරව මම ප්‍රසංග වේදිකාවේත් පිටපත් රචනා කිරීමේ කටයුතු වලට මා සම්බන්ධ වෙනවා. එය මා වෘත්තියක් ලෙස සිදු කරනවා. පසුගිය පෙබරවාරි 14 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදි පැවති දැවැන්ත සංගීත ප්‍රසංගයේ පිටපත සකස් කළේ ද මා විසින් . එය ලංකාවේ සිටින ජනප්‍රියතම ගායක ගායිකාවන් රැසක් සහභාගී වු සාර්ථක ප්‍රසංගයක් වුණා.

මගේ තවත් ප්‍රියතම අංගයක්වන්නේ කාව්‍ය රචනා කලාව. මා මුලදීත් පැවසුවා ඒ ගැන. පාසල් කාලයේ පටන් මම කවි රචනා කළා. පාසල් සමයෙන් පසුවත් කවි රචනා බොහෝමයක් මා අතින් ලියවුණා. ඒ ලියූ කවි එකතුව කාව්‍ය සංග්‍රයක් ලෙස එළිදක්වන්න බලාපොරොත්තුවකින් ඉන්නවා. මාධ්‍ය ජීවිතයේ සහ කලා ලෝකයෙ මා ලැබු අත්දැකීම් පවා කාව්‍ය සංග්‍රහයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා තවත් අලුතින් කවි රචනා සූදානම් කර ගැනීමටත් අවශ්‍යයි.

මගේ ආදරණීය බිරිඳ මට හොඳ සහයෝගයක් ලබා දෙනවා ඇය අමා විජේසේකර. ඇය රංගන ශිල්පිනියක් පමණක් නොව දක්ෂ වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පිනියක්ද වනවා. ඇය මගේ කලා කටයුතු වලටත් , දේශපාලන කටයුතුවලටත් උපරිම සහයෝගය දෙනවා. අමා කිසි විටෙකත් මගේ වැඩ කටයුතු වලට බාධා කරන්නේ නැහැ. මමත් එසේමයි. අපි එකිනෙකා අවබෝධයෙන් යුතුව තමයි පවුල් ජීවිතය සතුටින් ගෙනයන්නේ. අමා ගැන කතාකළ මේ මොහොතේ ඇගේ මව්පියන්වද සිහිපත් කළ යුතුයි. ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වෙන ලක්ෂ්මන් විජේසේකර සහ ප්‍රවීණ රංගවේදිනි චන්ද්‍රා කළුආරච්චි. ලංකාවේ සිටි ප්‍රවීණතම කලාකරුවන් දෙපළක්. ඔවුන් ඉතා ආදරණීයයි. ඔවුන් ජීවත් ව සිටියදී අපත් සමඟ ඉතා ළෙන්ගතු කමින් සිටියා. ඔවුන්ගේ සමුගැනීම කලා ලෝකයට මහත් පාඩුවක්. ඉතින් මේ යන ජීවන ගමනේ අමාත් මමත් ඉතා සතුටින්, එකිනෙකා තේරුම් අරගෙන ගමන් කරනවා.

අවසාන වශයෙන් මම ස්තූතිවන්ත වෙනවා ෆාදර්’ චිත්‍රපටය වෙනුවෙන් එහි තේමා ගීතය රචනා කිරීමට මා හට ආරාධනා කිරීම ගැන. ඒ වගේම එම ගීතය වෙනුවෙන් මට ඉතා ඉහළ ප්‍රතිචාර ලබා දුන් සිනමා රසිකයන්ට. නැවතත් මගේ තවත් ගීත රචනා ඇතුළත් සිනමා පටයකින් හමුවෙන තෙක් මේ ඉරහඳ සෙවණැල්ලේ රැඳී සිටිමු.

 

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT