අප ජීවත්වන සමාජයේ ප්‍රේම කතා ඕනෑ තරම් අසා ඇත. ප්‍රේමය තරම් සුන්දර දෙයක් තවත් නැත. ප්‍රේමය අහිමි වූ කළ දැනෙන්නේ දරාගත නොහැකි පාළුවක් සහ තනිකමකි. ප්‍රේම කතා අතර ප්‍රේමය ජය ගන්නා කතාද , ප්‍රේමය බිඳී යන කතාද ඕනෑතරම් ඇත. අප නොදැනුම්වත්ව අපට ආදරය කරන අයද සිටින්නට පුළුවනි. අපට කිසිදා හිමි නොවන බව දැන දැනත් අපි ඇතැම් චරිත වලට ආදරය කරමු. විශේෂයෙන් සිනමා තරු වලට හීනලෝක වල කිමිඳෙමින් ප්‍රේම කරන්නට පෙලඹෙන අයද නැතුවා නොවේ. පසුගිය දිනෙක අමුතුම තාලයේ ප්‍රේමයක් ගැන මට ආරංචි විය. එය මට ආරංචි වූයේ අපේ රටේ සිටින දක්ෂ ජ්‍යේෂ්ඨ රංගවේදිනියක් වන ශ්‍රියානි අමරසේන ගෙනි. මේ ප්‍රේම කතාව කුමක්දැයි කියා දැන්ගැනීමට මා තුළ තිබුණේ දැඩි නොඉවසිල්ලකි. ඒ ගැන මගේ කන වැකුණ අවස්ථාවේ මා සිටියේ නිවසේය. ජංගම දුරකතනය අතට ගත් මා පළමුව කළේ අපේ සරසවිය කර්තෘතුමාට ඇමතුමක් ගැනීමය. ඔහු එහා පසින් හලෝ කියනවාත් සමඟම මම ඉතා ඕනැකමින් මේ ප්‍රේමය ගැන ඔහුට පැවසීමි.
” උඹ ගෙදර හිටියත් අපිට කරදරේ”
” හරි හරි හොයල බලපං ඉතින්”
ඒ අපේ කතුවර නුවන් නයනජිත් ගේ පිළිතුර විය. ඉනික්බිතිව මම දුරකතනය ඇමතුමක් ගත්තේ ශ්‍රියානි අමරසේන රංගවේදිනියටයි. එසේ රැගෙන ඇය කී ප්‍රේමය ගැන අසා දැනගන්නට අවශ්‍ය බව මම දැන්වීමි.
” ඔයාට ඔය ගැනැ දැනගන්නම ඕන නම් සඳුදා හවස දෙකෙන් පසුව සුදර්ශියට එන්න” .
ඇය කීවේ එපමණයි.
කතාබහ කරගත් පරිදි සඳුදා දිනයේ අපේ සරසවිය පුවත්පතේ කැමරාශිල්පී නිශ්ශංකත් මමත් ඒ ගමන යන්නට තීරණය කළෙමු. කොහේ යතත් දහවල් කෑම වේලෙන් බඩ පුරවා ගැනීම මගේ සිරිතය. අපේ කැමරාශිල්පී නිශ්ශංක මල්ලීට නම් කෑම අදාළම නැත. දිවා ආහරයෙන් පසුව ලේකහවුස් ආයතනයෙන් ලබා දෙන වෑන් රථයෙන් අපි සුදර්ශිය බලා පිටත් වුණෙමු.
අපි එහි යන විට ආපණ ශාලාව එළිමහනේ ශ්‍රියාණි අමරසේන රංගවේදිනිය ඇතුළු පිරිසක් දිවා ආහාරය සප්පායම් වෙමින් සිටියහ. ඇයත් සමඟ අපේ රටේ සිටින දක්ෂ රංගවේදිනියෙකු වන රත්නා ලාලනි සහ අපට කිසිදා අමතක නොවන ටෙලිනාට්‍යයක් වූ චාතුර්යා හි මාටින්ස් ට පණ පෙවූ රුවන් වික්‍රමසිංහ ඒ අතර වූහ.
ඔවුන්ගේ කාරියට බාධා නොකළ මා සුදර්ශියේ පිහිටි නුගරුක අසළට ගියේ එහි සිටි අපේ තවත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අජිත් ලොකුගේ හමුවන්නටයි. ඒ සරසවිය සඳහා ඔහු ගැන ලියන්නට අපේ කර්තෘතුමා මට පවරා තිබූ හෙයිනි. කලින් කතා කරගත් පරිදි සුදර්ශියට පැමිණෙන ලෙස මම ඔහුට දැන්වීමි. එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගත්තා යැයි කියමනක් ඇත. මාද කළේ එයමය. විශේෂාංග ලිපි දෙකකට තොරතුරු මා සතුව තිබේයැයි හැඟුණ විට මට ඇතිවූයේ සියුම් සතුටකි.
ඒ සාකච්ඡාවෙන් පසුව නිශ්ශංකත් සමඟ සුදර්ශියේ ප්‍රධාන ශාලාව වෙත පියමැන්නෙමු. ශාලාවට ඇතුළ් වූ විගස මා දුටුවේ රවුමකට පුටු තබාගෙන අසුන් ගෙන සිටි නාට්‍යයක දෙබස් පුහුණු වන ශ්‍රියාණි රංගවේදිනිය ඇතුළු පිරිසයි. ඔවුන් ජයටම දෙබස් පුහුණුවෙමින් සිටියහ. ශ්‍රියාණි අමරසේන රංගවේදිනිය අපව දුටු සැණින් ඉතාමත් ආදරයෙන් පිළිගත්තාය. ඇය විසින්ම අපට හිඳ ගන්නට අසුන් පැනවූවාය . එකවරම මට ඇසුණේ ප්‍රේමණිය හැඟීමක් මෝදුවන දෙබසකි.
” කිස් එකක් දුන්නා”
” තොල් දෙකට නෙවෙයි මැඩම්” එසේ කියමින් කොක් හඬලා සිනාසුණේ රත්නා ලාලිනීය. මේ ප්‍රේම කතාව නම් එසේ මෙසේ ප්‍රේම කතාවක් නෙවේ යැයි මට සිතුණේ ඒ දෙබස් කණ්ඩය ඇසුන විටදීය. එය ඇසීමෙන් මට කරන්නට ගිය රාජකාරියද අමතක විය. ප්‍රේම ලෝකයක අතරමං ව සිටි මා සැබෑ ලෝකයට ආවේ ශ්‍රියාණි රංගනවේදිනියගේ කටහඬටය.
” අපි එහෙනම් කතා කරමු නේද”
මා අසල අසුනෙහි ඇය අසුන් ගත්තාය. මෙය වේදිකා නාට්‍යයක් බව ඒ වන විටත් මට අවබෝධ වී හමාරය.
” ඇත්තටම මොකක්ද මේ වේදිකා නාට්‍යයේ නම?
“සෙලියුලොයිඩ් ප්‍රේමයක් ” ඒ ශ්‍රියාණි රංගවේදිනියගේ පිළිතුර විය.
” ඒ මගේ අලුත්ම වේදිකා නාට්‍යයේ නම. සෑහෙන කාලයකට පසුව තමයි මම නැවතත් වේදිකාවට ගොඩ වෙන්නේ”
එවිට මට එක වරම සිහිපත් වූයේ දයානන්ද ගුණවර්ධනයන්ගේ ” නරි බෑනා ” වේදිකා නාට්‍යයයි.
එහි ගම දුවගේ චරිතය ඇය නිරූපණය කළ අපූරුව අදටත් බොහෝ දෙනාට මතකය.
” ඉතින් සෙලියුලොයිඩ් ප්‍රේමයක් ” ගැන කියන්න තමයි මම ඔයාට එන්න කිව්වේ. මෙහි පිටපත, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය මගේ අතින්මයි සිදුවන්නේ. වේදිකා නාට්‍යයක් කරන්න අවුරුදු දෙකක් තිස්සේ කල්පනා කළා. විවිධ පිටපත් කියෙව්වා. පරණ නාට්‍ය පිටපත් ගවේෂණය කළා. ඒ සඳහා රොෂාන් පිලපිටිය මට උදව් කළා. අපි කිහිපවතාවක් හමුවීම් තියලා සාකච්ඡා කළා. අන්තිමට පිටපත ලියන්නත් මට පැවරුණා.
සෙලියුලොයිඩ් ප්‍රේමයක් කතාවෙන් කියවෙන්නේ නිළියක් ගැන. ඇය නන්දිතා දේවි. ඇගේ තරුණ කාළේ අතිශයින් ජනප්‍රිය වෙලා, සම්මානනීය වෙලා පසුව රංගනයෙන් සමුගන්නවා. ඉන්පසු ඇය ගෙවන්නේ හුදෙකලා වූ ජීවිතයක්. ඇය විවාහ වෙලත් නැහැ. ඇය අවසානයේ කඳුකරයේ තිබෙන බංගලාවක ජීවත් වෙනවා. ඇය එහි නවාතැන් පළක් පවත්වා ගෙන යනවා. ඇයට ඉන්නවා දුකේදි, සැපේදි ඇයව බලාකියා ගැනීමට මැටිල්ඩා නමින් කාන්තාවක්. ඔය අතරේ ඇගේ රංගනයට වශී වූ රසිකයන් අතර විශේෂ කෙනෙක් හිටියා. එහෙත් ඇය කිසිදා ඔහුට සැබැවින් දැකලා තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ ලියුම් හුවමාරුව. ලිපි මඟින් පමණයි ඇයට ඔහුව හමුවුණේ. නන්දිතා දේවි රූමත්. වයසට ගියත් ඇය හැඩකාර පෙනුමින් යුක්තයි. එහෙත් ඇගේ ජීවිතය තනිකමින් පාළුවෙන් පිරී තිබුණා. ඇය එහි ජීවත් වන අතරේ ඇයට පැරණි රසිකයාවත් නැවත මතක් වෙනවා. ඒ අතරේ බංගලාවට මධුසමය ගත කරන්න ජෝඩුවක් එනවා. ඇය රැවටීම් වලට ලක්වෙනවා. තව තවත් අලකලංචි ගොඩයි. ඒත් නන්දිතා දේවි සිනමාවට තවමත් ආදරෙයි. සිනමාවේ මියුරු ගීත ගණනාවක් මේ වේදිකා නාට්‍යයේ තිබෙනවා. අවසානයේ ප්‍රේමය ජය ගන්නත් ඉඩ තිබෙනවා.
නන්දිතා දේවියගේ චරිතය නිරූපණය කරන්නේ ශ්‍රියාණි අමරසේන රංගවේදිනිය විසින්මයි. ඇය ඒ කතාව කියනා අතරතුර මා ඉදිරියේ මැවී පෙනුනේ 1983 වසරේ තිරගත වූ ” නිළියකට පෙම් කළෙමි” චිත්රපටයෙහි එන චින්තාමනී දෙවියගේ චරිතයයි. චින්තාමනී දේවියට පණ පෙව්වේද ශ්‍රියාණි අමරසේනයි. එම චිත්‍රපටයෙන් කියවෙන්නේද නිළියක ගැනයි.
නැවතත් හඬ අවදි කළ කතා නායිකාව මෙසේ පැවසුවාය.
” අතීත සිනමාව සිහිකරමින් තමයි සෙලියුලොයිඩ් ප්‍රේමයක් කියලා මේ වේදිකා නාට්‍යයට නම දැම්මේ.
එසේ පැවසූ ඇය නාට්‍යයේ රඟන තවත් චරිතයක් හඳුන්වා දුන්නාය. ඔහු රුවන් වික්‍රමසිංහය.
දෙබස් පුහුණුව මදකට නවතා ඔහු මා අසලින් අසුන් ගත්තේය.
” මම පුන්සිරි”
” නන්දිතා දේවියගේ රසිකයා”
” මම නන්දිතා දේවියට වශී වූ රසිකයෙක්”
” මම ඇයට එදා වගේම අදත් පෙම් කරනවා”
” මම ඇයව නැවතත් සොයා ගෙනයනවා. ඒ අතර තුර සිදුවන සිදුවීම් මාලාවක් කැටිකර මේ නාට්‍යය නිර්මාණය වෙනවා”.
රුවන් එසේ පැවසුවේ නන්දිතා දේවියට සැබෑම ආදරයක් ඔහුගේ සිතේ ඇති පරිද්දෙනි. මා රුවන් සමඟ කතාබහ කරන අතරේ
” අක්කේ මේ පැත්ත බලන්න”
පොඩ්ඩක් මූණ මේ පැත්තට හරවන්න”
” ආ…..දැන් ලස්සනට හිනා වෙන්න”
ඒවා වේදිකා නාට්‍ය දෙබස් නොවේ. ඒ සරසවියේ නිශ්ශංකගේ දෙබස් ය. ඔහු ඔහුගේ කැමරාවෙන් ශ්‍රියාණිගේ රුව අපුරුවට හසු කර ගන්නා අයුරු මාද බලා සිටියේ මහත් ඕනෑ කමිනි. ඉන් අනතුරුව රුවන් මා සමඟ නැවතත් කතාබහ පටන් ගත්තේය.
මට මේ නාට්‍යයට ආරාධනා කළේ ශ්‍රියාණි අක්කාමයි. ඇය සමඟ මගේ මිත්‍රත්වය පවතින්නේ දිගු කලක සිට. එහෙත් ඇය මා ගැන සොයා බලා තමයි මේ නාට්‍යයට මා සුදුසුයි කියා තෝරාගෙන තියෙන්නේ. ඇය මා ගැන විශ්වාසය තැබීම ගැන සතුටුයි. අපි හරි විනෝදයෙන් පුහුණුවීම් කරනවා. වැඩිපුර කාලය යොදවන්නේ කන්න බොන්න. ඒ නිසා කාලබීලා ඉවර වෙලා වෙලාව ඉතුරු වුණොත් පුහුණුවීම් කරමු කියල තමයි මම නම් කට්ටියට කියන්නේ. එසේ කියමින් මා හට ස්තූති කරමින් සමුගත්තේ අනෙක් ශිල්පීන් සමඟ පුහුණුවීම් සඳහා එක්වීමටයි.
ඒ වන විට නිශ්ශංක එතන සිටි සියලුම ශිල්පීන්ගේ සේයාරූ ගෙන අවසන් කර තිබුණි. ඔහුට යළිත් ලේකහවුස් ආයතනයට යායුතුව තිබූ බැවින් ඔහු එතැනින් පිටවී ගියත් මම එහි දිගටම රැඳී සිටියෙමි.
දෙබස් පුහුණුවෙන් පසුව සියලු දෙනාම වේදිකාවට ගොඩ වූහ. රුවන් පමණක් ප්‍රේක්ෂකාගාරයට වී සිටියේ පුංචි රෙකෝඩරයකින් නාට්‍යයට අවශ්‍ය ගීත කණ්ඩ ලබා දීම සඳහාය.
මේව තමයි ජිල් ජිල් ජිල්………
මේව තමයි ජිල් ජිල් ජිල්…………
කියමින් තාලයකට කැරකෙමින් වේදිකාවේ සිටි නන්දිතා දේවි අසලට පැමිණියේ මැටිල්ඩාය.
මැටිල්ඩා – එඩ්වඩ් මහත්තයාමට චොකලට් එකක් දුන්නා. මම එයාට තැන්ක් යූ කිව්වා.
නන්දිතා දේවි – ඉතින් එයා මොකද කිව්වේ?
මැටිල්ඩා – මුකුත් කිව්වේ නැහැ මැඩම්
කිස් එකක් දුන්නා.
නන්දිතා දේවි මැටිල්ඩා දෙස පුදුමයෙන් බලා සිටියාය.
ඒ දුටු මැටිල්ඩා නැවතත් නන්දිතා දේවි අසළට පැමිණ මෙසේ කීවාය.
” තොල් දෙකට නෙවෙයි මැඩම්”
“මෙන්න මෙතන්ට” කියමින් මැටිල්ඩා තම කම්මුල පෙන්නුවාය.
එම ජවනිකාවට මටද සිනහ පහළ විය. ඔවුන්ගේ රංගනය ඉතාමත් අපූරු යැයි මට සිතුණි.
ඇගේ කොටස නිම කළ රත්නා ලාලනිය වේදිකාවෙන් බැස මා අසලට පැමිණියේ සෙලියුලොයිඩ් ප්‍රේමයට ලබා දෙන ඇගේ දායකතවය ගැන කතා කිරීමටය.
” මැටිල්ඩාගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මිතුරියක් වගේ නන්දිතා දේවියව මම බලාගන්නේ. ඇත්තටම මම සෙලියුලොයිඩ් ප්‍රේමයක් වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණේ හරිම ආසාවෙන්.ශ්‍රියානි අක්කා මට සහෝදරියක් වගේ. මෙහි පිටපත, අධ්‍යක්ෂණය , නිෂ්පාදනය ඇගේමයි. ඇය මගෙන් මේ සඳහා විශේෂ සහයෝගයකුත් බලාපොරොත්තු වුණා නාට්‍ය පුහුණු වේදී. ඇය එසේ බලාපොරොත්තු වෙන්නට ඇත්තේ නාට්‍ය සහ රංග කලාව පිළිබඳ මට දැනුමක් තිබෙන නිසා වෙන්නට ඇති.
මා හා කතා කරනවාට වඩා පුහුණුවීම් සඳහා ඈ සහභාගී විය යුතු නිසා කතාබහෙන් රත්නා ලාලනීයව නිදහස් කළෙමි.
ඒ එක්කම මා දුටුවේ වේදිකාව මත රංගනයක යෙදෙන නන්දිතා දේවියයි.
” අනංග රන් හීයේ මල් සැරය වැඳීලා…………
හිතක් හිතට ලැඟුම් ලබාලා………
ඇය රඟන දෙස මහත් ආසාවෙන් බලා සිටි රින්ස්ලි (රොෂාන් පිලපිටිය)
” මැඩම්ගේ චිත්‍රපටි බලල ඒ කාලේ මට ඉගෙන ගන්නත් බැරි වුණා.
රින්ස්ලි යනු මධුසමය ගත කරන්නට නන්දිතා දේවියගේ බංගලාවට පැමිණි තරුණයාය. ඔහුගේ අතගත් සුන්දර තරුණිය “විලාසිනි” ය (යශෝදරා මාලගේ)
රින්ස්ලී නන්දිතා දේවියව වර්ණනා කිරීම විලාසිනීට රුස්සන්නේ නැත. ඇය රින්ස්ලි හා දබර කළාය.
” මට එයාට වඩා හොඳට නටන්න පුළුවන් ”
” මෙන්න බලන්න” යැයි කියමින් හින්දි ගීයකට ඇය නර්තනයේ යෙදුනාය. එය දුටු මැටිල්ඩා …….
” මේ ඔයාල දෙන්නා කාමරයට යනවද” අපේ මැඩම්ට නිදහසේ ඉන්න දීලා ”
එයින් මෙල්ල නොවූ විලාසිනීද මැටිල්ඩා සමඟ වචන හුවමාරුවකට පැටලුනාය.
ඒ සමඟම ඇය රින්ස්ලි සමඟින් ආලිංගන නර්තනයකට සූදානම් වූවාය.
” උපුල් නුවන් විදහා…ඇය සිනාසුනා…
මම සිනාසුණා…..
පසෙකින් ඒ ගීතය වාදනය විය. එහෙත් රින්ස්ලීට ආලිංගන නර්තනය හුරු නැත. එය දුටු නන්දිතා දේවි
” එන්න ඔයාට මම නටන හැටි කියා දෙන්නම්” ඇයි කියමින් ඇය රින්ස්ලි සමඟ ආලිංගන නර්තනයේ යෙදෙන්නට වූවාය. විලාසිනිය ඒ දෙස බලා සිටියේ කෝපයෙනි.
නර්තනය නැවැත්වූ නන්දිතා දේවි ,
” මම ආදරය කළේ කලාවට, සිනමාවට. මගේ ජීවිතයේ මට පෙනුණේ නැති පිටුවක් තමයි මධුසමය”.
ඒ සමඟම පසුබිමින් වාදනය වූයේ,
ආදරය නිසා – හෘදේ බැඳෙනා……
අපරාදේ ජීවිත හානි වේ //
සැනසීම සොයා – නෙත් කඳුළු හලා…
අපරාදෙ ජීවිත හානී වේ//
ඒ අවස්තාවේ නම් නන්දිතා දේවිය ගැන දුකක් සිතුණි.
නන්දිතාදේවිය තනිකඩ වුවත් ඇයට පණදෙන සිනමාවේ ශ්‍රියාවිය විවාහ වී හැට එක්වන විවාහ සංවත්සරය පසුගිය දා සැමරුවාය.
මා කලින් සඳහන් කළ විලාසිනිට රඟන යශෝධරා ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් ඇති සුන්දර තරුණියකි. ඇය සමඟද වචනයක් හෝ කතාකළ යුතු නිසා පුහුණු වීම් කෙටි වේලාවකට හෝ නතර කරන තුරු මම බලා සිටියේ නොඉවසිල්ලෙනි. විනාඩි දහයකට පමණ පසු මට ඇය සමඟ කතා කිරීමට හැකිවිය.
” මම යශෝදරා මාලගේ. සෞන්දර්ය විශ්වවිද්යාලවලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්.
“‘ඔයාගේ චරිතය ගැන කෙටියෙන් කියන්න පුළුවන්ද? ඒ මගේ පැනයයි.
” මම හිතාගෙන ඉන්නේ කවදා හරි කසාද බැඳලා කඳුකරයේ බංගලාවක මධුසමය ගත කරන්න යන්න. මම විලාසිනි.
යශෝදරා ඇගේ චරිතය හඳුන්වා දුන්නේ නාට්‍යයේ දෙබස් ඛණ්ඩයක්ද සමඟිනි.
මා වැනි කෙනෙක්ට ශ්‍රියාණි මහත්මිය වැනි ජ්‍යේෂ්ඨ රංගවේදිනියක් සමඟ එකම වේදිකාවක රංගනයේ යෙදෙන්නට ලැබීම සතුටක්. ප්‍රසන්නජිත් අබේසූරිය සර්ගේ මාර්ගයෙන් තමයි මට මේ වටිනා අවස්ථාව ලැබුණේ. මම හදාරන්නේ නාට්‍ය සහ රංග කලාව. ඒ නිසා මට එය ලොකු අත්දැකීමක්.
ඇයට පසු මාහා එක්වූයේ ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියයි.
ශ්‍රියාණි අක්කා නැවතත් වේදිකාවට පැමිණීම විශේෂත්වයක් හැටියටයි මා දකින්නේ. මේක වෙනස්ම විදිහේ නාට්‍යයක් වෙයි කියල හිතනවා. පැරණි චිත්‍රපට ගීත ගණනාවක් මෙහි ඇතුළත්. ජීවිතයේ තනිවුණ නිළියක් ගැන කතාවක්. හැමෝටම ආසාවෙන් නරඹන්න පුළුවන් විදිහේ නාට්‍යයක්. දැනටමත් දර්ශන වාර කිහිපයක් ලැබී තිබෙනවා. විවාහ වෙලා මධුසමය ගත කරන්න යන රින්ස්ලිගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. එය හරි අපුරුවට රඟපාන්න පුළුවන් චරිතයක්. ඒ රොෂාන්ගේ අදහස් ය. මෙම ශිල්පීන් අතර නාට්‍යයට අතවශ්‍යම පුදගලයෙකු වනුයේ පෙළ මතක් කරන්නාය. ඔහු වේදිකාව පසෙකට වී පිටපතට තම නෙත් යොමා සිටියේය. මම ඔහු අසලට කිට්ටු වූයේ ඔහුව හඳුනා ගැනීමටය. ” මම පසිඳු ජයතිලක. රුවන් වික්‍රමසිංහ සර් තමයි මට මේ අවස්ථාව දුන්නේ. මට තාම හිතා ගන්බ බෑ මේ වගේ ප්‍රවීණයන් සමඟ මට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. ඔහු සමඟ තව බොහෝ දෑ කතා කරන්නට තිබුණත් තේ පානය සඳහා ඉඩ ලබා දෙන්නට සිදු විය. මටද ඒ සඳහා ආරාධනා ලැබිණ. සියල්ලන් සමඟ සුදර්ශියේ ආපණ ශාලාව වෙත ගියේ තේ කෝප්පයක රස බැලීමටය. ආපන ශාලාව අසළ ඇති සිමෙන්ති ආසන වල හිඳ ගත් අපට තේ වලට කලින් ලැබුණේ පැණි බේරෙන පැණි රොටියි, පොල් රොටියි. මා නම් ඉතා ආසවෙන් පැණි රොටියක රස බැලීමි. සැවොම එක්වී අතීත සිනමා රස කතා සමඟින් තේ පානයේ යෙදුණෝය. ඒ අතරේ කලාවට සවිය සපයන සරසවියටද ස්තුතිය පළකිරීමට ශ්‍රියාණි අමරසේන රංගවේදිනිය අමතක නොකළේය. තේ පානයෙන් අනතුරුව ඔවුන් සියලු දෙනාම නැවතත් පුහුණුවීම් සඳහා සුදර්ශියේ ප්‍රධාන ශාලාව වෙත ගියහ. ඒ අවස්ථාවේ සෙලියුලොයිඩ් ප්‍රේමයක් නාට්‍යයේ සිටින තවත් චරිත දෙකක් ගැන ශ්‍රියාණි රංගවේදිනිය මතක් කළාය. ඒ කීත් රංග සහ දේවින්ද වික්රමසිංහයි. කීත් රංග ඒ වන විට සිටියේ ඇමරිකාවේය. දේවින්ද තවත් කටයුත්තක යෙදී සිටි නිසා එදින පුහුණුවීම සඳහා සහභාගී වූයේ නැත. ඔවුන්ව දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට මම තීරණය කළෙමි. ඒ වනවිට වේලාව සවස පහයි තිහට පමණය. ශ්‍රියාණි අමරසේන රංගවේදිනිය ඇතුළු අනෙකුත් ශිල්පින්ටද සුබ පැතූ මා තුම්මුල්ල දෙසට පිය මැන්නේ නිවස බලා ඒමටයි. එහෙත් ආ රාජකාරිය නිමකිරීමට නොහැකිය. ඇමරිකාවේ වෙසෙන කීත්ව සහ එදින සහභාගී නොවු දේවින්දව සම්බන්ධ කර ගත යුතු නිසා නිවසට පැමිණි විගස මා කළේ කීත්ටත් දේවින්දටත් මා අමතන ලෙස කෙටි පණිවිඩ යැවීමය.
මාගේ කෙටි පණිවිඩයට ප්‍රතිචාර දැක්වා හඬ පණිවිඩයක් කීත් රංග මාහට ඒවා තිබුණි. ඔහු රංගන ශිල්පියෙකු වගේම චිත්‍රපට නිෂ්පාදක වරයෙකි. පහත දක්වා ඇත්තේ ඔහු විසින් එවා තිබු කෙටි සටහනයි.
මුලින්ම මම මගේ ගෞරවය පුදකරන්නෙ ශ්‍රියාණි අමරසේන මහත්මියට. ඇය අපේ රටේ සිටින ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ, සම්මානනීය රංගන ශිල්පිනියක් බව කවුරුත් හොඳීන්ම දන්නවා. මට කළ ආරාධනාව මම පිළිගත්තේ දැඩි සතුටකින්. මම මේ වෙලාවේ ඉන්නේ ඇමරිකාවේ වුවත් ලංකාවට නිවාඩුවට ආපු දවස් වල මම නාට්‍යයේ පුහුණු වීම් වලට සම්බන්ධ වුණා. මංගල දර්ශනයට පෙර මම ලංකාවට ඇවිත් නැවතත් පුහුණුවීම් වල යෙදෙන්න මම බලාපොරොත්තු වෙනවා. මම ඉන්නේ ටෝනි අල්මේදා කියන රහස් පරීක්ෂකවරයාට. මම හිතනවා සෙලියුලොයිඩ් ප්‍රේමයක් කාගෙත් සිත් පැහැර ගනීවී කියලා. ඉන්පසුව මට කෙටි පණිවිඩයක් යොමුකර තිබුණේ දේවින්ද විසිනි.
එදින පුහුණුවීම් වලදී මට හමු නොවූ දේවින්ද වික්රමසිංහද හඬ පණිවිඩයක් ඔස්සේ ඔහුගේ අදහස් මෙසේ එවා තිබුණි. මාව මේ නාට්‍යයට සම්බන්ධ කරගැනීම ගැන මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා අපේ ශ්‍රියානි අමරසේන ජ්‍යෙෂ්ඨ රංගවේදිනියට. මා ගැන ඇයට යෝජනා කළ රොෂාන් පිලපිටිය අයියාටත් බෙහෙවින් ස්තූතියි. ඇත්තටම සෙලියුලොයිඩ් ප්‍රේමයක් නාට්‍යයෙන් මට ලැබුණ අත්දැකීම් බොහෝමයි. ” පද්මේ” කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඒ චරිතය මට අභියෝගයක් වුණා. විවිධ අවස්ථාවලදී පද්මෙගේ චරිතය වෙනස් වෙනවා. ඒ නිසා නාට්‍යයත් වෙනස්ම මාර්ගයකට යොමු වෙනවා. මෙය බොහෝම රසවත් වේදිකා නාට්‍යයක් වේවි. මෙහි මංගල දර්ශනය පැවැත්වෙන්නේ දෙසැම්බර් 05 වෙනිදා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී. දෙසැම්බර් 14 වෙනිදා බොරැල්ල කර්ඕඒ ශාලාවේදීත් වේදිකා ගත වෙනවා. ඉතින් මම ආදරෙන් ඔබටත් ආරාධනා කරනවා සෙලියුලොයිඩ් ප්‍රේමයක් සමඟ එක්වන ලෙසට.
