සරසවිය රණතිසර සම්මානයෙන් පිදුම් ලද සම්මානනීය, ප්‍රවීණ සිනමා නිළි සුවිනීතා වීරසිංහ තම සිනමා දිවි මඟේ දශක හයක් සම්පූර්ණ කරමින් අධ්යක්ෂණ කාර්යයට පිවිසෙන්නීය. ඇගේ ප්‍රථම අධ්‍යක්ෂණය ‘සාධි’ පසුගිය දින සුභ මොහොතින් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඇරැඹිණ. ඒ අවස්ථාවට මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ සහ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කලා ශිල්පීහු රැසක් සහභාගී වූහ.
සුදු සඳේ කළුවලා චිත්‍රපටයෙන් ඇගේ රංගන දිවිය ඇරඹිණ. අනූපමා, වැලිකතර, දෙලොවක් අතර, සිකුරුලියා, හුලවාලී යනාදී චිත්‍රපට රාශියක රඟපාමින් සුවිනීතා ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත්තාය. සිනමා දිවියත්, ඇගේ ජීවිත කතාවත් අලළා ඇය ලියූ ග්‍රන්ථය පසුගිය වසරේ එළිදැක්වීමද විශේෂත්වයක් විය.
සුවිනීතා වීරසිංහ, ගයාන් ගුණවර්ධන, දිමිත්‍රී සුභසිංහ, විල්මන් සිරිමාන්න, හසිනිකා කරළියැද්ද ප්‍රධාන රංගනයෙන් එක්වෙති. කැමරාකරණයෙන් නිශාන්ත ප්‍රදීප්, සහාය අධ්‍යක්ෂණයෙන්, ලක්ෂ්මන් පුෂ්පකුමාර, දෙවන සහාය අධ්‍යක්ෂණයෙන්, චාමිනි මුණසිංහ, කථා රචනයෙන් නන්දලාල් මාලගොඩ, තිර පටපත රචනයෙන් ලක්ෂ්මන් පුෂ්පකුමාර, නිෂ්පාදන කළමනාකරණයෙන්, පුර්ණිම බඹරැන්ද, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ, වේශ නිරුපණයෙන් විදුර අබේධීර, සංගීත අධ්‍යක්ෂණයෙන් ගයත්‍රි කේමදාස හා කලා අධ්‍යක්ෂණය නන්දලාල් මාලගොඩ ගෙනි.