Home » ‘සුර දෙටුවෝ’කියන්නේ මගේ පළමු සිනමා රංගනයයි ළමා රංගන-ගායන-නර්තන ශිල්පිනී ඔසාදි විහඟි ෆොන්සේකා

‘සුර දෙටුවෝ’කියන්නේ මගේ පළමු සිනමා රංගනයයි ළමා රංගන-ගායන-නර්තන ශිල්පිනී ඔසාදි විහඟි ෆොන්සේකා

by mavan
March 19, 2026 12:21 pm 0 comment

පසුගියදා තිරගත කිරීම් ඇරඹු ‘සුර දෙටුවෝ’ ඇගේ පළමු සිනමා රංගනයයි….ළමා රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නර්තන ශිල්පිනියක් සේම නිවේදිකාවක් ද වන ඔසාදි විහඟි ෆොන්සේකා සිය කලාදිවිය ගැන කතාබහ කිරීමට සරසවිය හා මෙසේ එක්වූවාය.

ඔසාදි, ඔබ රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය ‘සුර දෙටුවෝ’ තිරගත කිරීම් ඇරඹණා නේද? කොහොමද මෙයට එක්වෙන්න ලැබුණේ?

ඒ අවස්ථාව ලැබුණේ ඔඩිෂන් එකකින් තේරීම නිසයි. තාත්තාගේ යාළුවෙක් වන අශෝක සේපාල මාමා මට කතා කළා. ඉතින් ලකා මාමයි, සිකා මාමයි දෙදෙනා මාව ඔඩිෂන් එකෙන් තෝරාගත්තා. මාව මේ නිර්මාණයට තෝරගත්ත හැමෝටම ස්තුතිවන්ත වෙනවා

ඒ චරිතය භාරගන්න විශේෂ හේතුවක් තිබ්බාද?

මම රංගනයට වගේම ගායනයටත් ගොඩක් කැමැතියි. ලකා මාමයි සිකා මාමයි එක්ක වැඩක් කරන්න මගේ ආසාවක් තිබ්බා. ‘සුර දෙටුවෝ’ මම රඟපෑ පළවැනි චිත්‍රපටය වීමට ඒක විශේෂ හේතුවක් වුණා

‘සුර දෙටුවෝ’ රූගත කළ දවස්වල අත්දැකීම් මොනවගේද?

අපි රූගතකිරීම් කළේ තලවකැලේ ප්‍රදේශයේ නාගසේන ගමේ බංගලාවක ඒ දවස්වල එහාට හරියට වහිනවා. ඒ වගේම සීතලයි. ඒ මදිවට කූඩැල්ලෝත් හිටියා. හරිම බයෙන් වගේම සීතලෙන් රූගත කිරීම්වලට දායක වුණේ. ඒක හරිම වෙනස් අත්දැකීමක් වුණා. ඒ වගේම ෂූටින් තිබ්බ කාලය හරිම සුන්දරයි. ලකයි සිකයි මාමලා රඟපාන ඒවා දැක්කමත් හරිම සතුටක් දැනුණා. ලකා මාමගේ දුව නංගි බබා එක්ක ලස්සන, සුන්දර කාලයක් ගෙව්වා. දවස් 10ක් තලවකැලේ රූගතකිරීම්වලදී සුන්දර වගේම අමතක නොවන අත්දැකීම් රැසක්ම ලැබුවා

අධ්‍යක්ෂ, නළුනිළියන් ඇතුළු පිරිසගෙන් ලැබුණු සහායත් මතක් කරමු?

සෑමකෙනාම අපට හොඳීන් හැමදේම කියලාදුන්නා ඒ කතාව ඇතුළේ රංගනය කළයුතු විදිහ ගැන. අපි හරිම සුන්දරව ඒ දවස් ගතකළා.

කුඩා අවධියේ සිටම කලාවට කැමැතිද ? කලා හැකියාවන් රැසක් ඇඟේ තිබෙන බව කොහොමද දැනගත්තේ?

මොන්ටිසෝරි කාලයේ පාසල් කාලයේ ඉඳන් ගායනයට, රංගනයට මගේ දක්ෂතාවක් තිබ්බා. ගුරුවරුන් මගේ අම්මා එක්ක මගේ හැකියාවන් ගැන ඒ කාලයේත් කියනවලු. ඔවුන් මගේ අම්මාට කීවලු නර්තනය, ගායනය, රංගනය පුහුණු කරවන්න, දුව හැමදේම ඉක්මනින්ම ග්‍රහණය කරගන්නවා කියලා. අම්මා තමයි මුලින්ම මගේ සෑම දක්ෂතාවක්ම සියැසින් දැක්කේ. අදටත් මාව සෑම දෙයකටම යොමු කරමින් මා පසුපසම ඉන්නේ අම්මා තමයි. මගේ අම්මයි තාත්තයි දෙන්නා මගේ පසුපසින් ඉඳගෙන මට උදවු කරනවා

නිවේදන අංශයටත් දක්ෂයි නේද?

ඔව්, නිවේදනයත් මම පුහුණු වෙනවා. මට ඕනෑම තැනක නිවේදන කටයුතු කරන්න හැකියාව තිබෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ නිවේදනය සඳහාත් පුහුණුවීම් සිදු කරනවා

විවිධ කටහඬ අනුකරණයට විශේෂ දක්ෂතාවක් ඔසදිට තිබෙනවා?

නිකං ඉන්න ගමන් සිතෙනවා විවිධ දේ කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මට සතුන් කෑගහන හඬවල් වැනි එක් එක් චලන ශබ්ද, හඬ ශබ්ද පුරුදු වෙනවා.

රංගන, ගායන, නර්තන ආදි අංශයන්ගෙන් වඩාත් කැමැති මොකටද කීවොත්?

මම වඩාත්ම කැමැති ගායනයට. එහෙත් නර්තනය, රංගනය, නිවේදනය ආදියත් අතහරින්නේ නැහැ. දක්ෂ ගායන ශිල්පිනියක් වී රටට සේවයක් කරන්න මම කැමැතියි.

ප්‍රසංග වේදිකාවේ ඔසාදිට ලැබෙන ප්‍රතිචාරත් සුබවාදියි?

ප්‍රසංග වේදිකාවට ආරාධනා කිහිපයක්ම ලැබුණා. මම ප්‍රසංග වේදිකාවේ ගීතවත් වෙද්දි මාමලා, නැන්දලා කෑගහනවා තව ගීත ගායනා කරන්න කියලා. එවිට මට හරිම සතුටක් දැනෙන්නේ.

සමාජ මාධ්‍ය තුළත් ඔසාදිගේ කලා හැකියාව අප දකිනවා.?

මගේ හැකියාව ඉදිරිපත් කිරීමට සමාජ මාධ්‍ය තුළ හැකියාව ලැබී තිබෙනවා. ඒ තුළින් දෙස් – විදෙස් ප්‍රේක්ෂකයන් අතරට මම ගිහින් තියෙනවා කියා මා සිතනවා. දක්ෂතා සහිත, ඉදිරියට යෑමට කාගෙන්වත් උදවු නොලැබෙන අයට සිය දක්ෂතා ඉදිරිපත් කරන්න හොඳම වේදිකාවක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ. සමාජ මාධ්‍ය තුළින් මගේ හැකියාවන් දකින අය මට සමාජයේදී මුණගැහෙනවා. ඔවුන් මට ඉතා හොඳ ප්‍රතිචාර දක්වනවා. ඒ ගැන සතුටුයි.

අනාගත බලාපොරොත්තු එහෙමත් ඇති?

අනාගතයේදී දක්ෂ ගායිකාවක්, රංගන නර්තන ශිල්පිනියක් වීමට බලාපොරොත්තු වෙනවා. හොඳීන් ඉගෙන ගන්න ගමන් මගේම ගීතයක් එළිදැක්වීමට අදහස් කරගෙන ඉන්නවා. තව චිත්‍රපටයකටත් ආරාධනා ලැබී තිබෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ අලුත් වැඩසටහනකටත් සම්බන්ධ වුණා.

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහාය ගැන සිහිකළොත්?

මගේ පවුලේ අම්මා, තාත්තා, ආච්චි, සීයා සහ මම ඉන්නේ. අම්මා, තාත්තා දෙදෙනාට අමතරව මගේ සීයාගෙනුත් මට ලොකු ශක්තියක් ලැබෙනවා මගේ කලා හැකියාවන්ට. මගේ ආච්චි වගේම මට සමීප නැන්දලා, මාමලා කිහිප දෙනෙක්ගෙන්ද මට ලොකු සහායක් ලැබෙනවා.ටෙලිනාට්‍ය වේශ නිරූපණ ශිල්පිනියක් වන මගේ අම්මා මාව ඉදිරියට ගෙනයෑමට මහන්සි වෙන විදිහ දැක්කම මගේ ඇස්වලට කඳුළුත් එනවා…

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT