Home » සාම්ප්‍රදායිකත්වයට අභියෝග කරන චරිතයකින් ඔබ හමුවට එනවා

සාම්ප්‍රදායිකත්වයට අභියෝග කරන චරිතයකින් ඔබ හමුවට එනවා

පිනී රංගන හා නිරූපණ ශිල්පිනී ප්‍රාර්ථනා සෙව්වන්දි

by mavan
April 2, 2026 11:28 am 0 comment

Miss Srilanka තරගාවලියේ ජයග්‍රහණයත් සමඟ රංගනයට අඩිතාලම වැටුණු ඇයට මුලින්ම ටෙලි කැමරාවකට මුහුණදීමට අවස්ථාව ලැබුණේ ‘උරුමයක අරගලය’ සමඟිනි. ඓතිහාසික තේමාවලින් යුත් නිර්මාණ රැසකම කුමාරිකාවගේත් සෙන්පනිනියගේත් චරිත එකදිගටම රඟපෑමට අවස්ථාව ලද ඇයට, ඉන් මිදී සාම්ප්‍රදායිකත්වයට අභියෝග කරන වෙනස්ම මානයක රංගනයකට පසුගිය සමයේ අවස්ථාව ලැබුණාය. ඒ ‘ඉරුගල් වලව්ව’ ටෙලි නිර්මාණය ඔස්සේය. රංගන කාර්යයට අමතරව මෝස්තර නිරූපණයටත් Bridel Shows සඳහාත් පෙනී සිටින යොවුන් රංගන මෝස්තර නිරූපණ ශිල්පිනී ප්‍රාර්ථනා සෙව්වන්දි සිය නිර්මාණාත්මක දිවිය පිළිබඳ කතාකිරීමට සරසවිය හා මෙසේ එක්වූවාය.

පසුගිය දිනවල ‘ඉරුගල් වලව්වේ’ නේද හිටියේ ?

ඔව්, ඇත්තෙන්ම මම කාලයක් එකම රාමුවේ චරිත කළා. ඓතිහාසික තේමා සහිත රජ කතාවල කුමාරිකාවගේ, සෙන්පතිනියගේ චරිත දිගටම කරන්න සිදුවුණා . ඒ නිසා ‘ඉරුගල් වලව්ව’ ටෙලි නාට්‍යය මට වෙනස්ම ටෙලි නාට්‍යයක්, වෙනස්ම අත්දැකීමක් වුණා. මෙහි අභිමානී ඉරුගල් බණ්ඩාර නමැති ප්‍රධාන චරිතය මම රඟපාන්නේ . ඇය ඉරුගල් වලව්වේ දෙවෙනි දුව . ‘සුදු මැණිකේ’ කියලයි ආදරේට ඇයට කියන්නේ . වලව් පෙළැන්තියේ ලොකු පවුලක මේ දියණිය ආදරය කරනවා , එම වලව්වේම සේවය කරන කාන්තාවකගේ පුතාට. මේ චරිතය වෙනස්ම චරිතයක් . සාම්ප්‍රදායිකත්වයට අභියෝග කරන චරිතයක් කිව්වත් නිවැරදියි. මෙහි රූගතකිරීම් කළේ නුවර, ඇඹිලිපිටිය ප්‍රදේශවල . ඉදිරියේදී ඔයාලට ඉරිදියේදී ‘ඉරුගල් වලව්ව’ රස විඳීන්න හැකිවේවි.

‘සඳලු සේයා’ රූගතකිරීම්වලටත් එක්වුණා නේද?

මෙහි චරිතයත් කලින් රඟපෑ චරිතවලට වඩා වෙනස් චරිතයක්. ‘සඳලු සේයා’ තුන්කොන් ආදර කතාවක්. මෙහි වත්සලා මමයි. සාම්ප්‍රදායික ලෙස ඇයව මස්සිනාට යෝජනා වී තිබෙනවා. ඒත් ඔහුට ගමේ තරුණියක් සමග සම්බන්ධයක් තිබෙනවා. වත්සලා ධනවත් පවුලක තරුණියක්. එහි මාත් එක්ක මගේ සහෝදරිය ලෙස රඟපාන්නේ සසිඳී නිම්හාරා. මගේ මස්සිනාට ඉන්නේ චානුක ප්‍රබුද්ධ අයියා. මාව තමයි ඒ අයියට විවාහ කරගන්න කියන්නේ. ඒත් එයා අනෙක් නෑනා එක්ක ආදර සම්බන්ධයක් පවත්වනවා. මේ තුන්කොන් ආදරය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණේ. ගලේවෙල, කුරුණෑගල ආදි ප්‍රදේශවල තමයි රූගතකිරීම් සිදු කළේ. මෙහි පළමු අදියරේ රූගත කිරීම් කර අවුරුදු 02කටත් වැඩියි. ‘ඉරුගල් වලව්ව’ සහ ‘සඳලු සේයා’ ටෙලිනාට්‍ය දෙකම රූගතකිරීම් කළේ ග්‍රාමීය පරිසරවල. මම ඒකටත් ආස කළා. හුදෙකලා, නිදහස් පරිසරවලවල රූගතකිරීම්වලට මම හරිම ආසයි.

මේ නිර්මාණවල අධ්‍යක්ෂවරුන් ගැන කීවොත්?

‘සඳලු සේයා’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඉන්නවා. ඒ සංඛ ප්‍රසාද් සහ සංජය තුසිත මුරගල අයියලා. සංඛ ප්‍රසාද් අයියාමයි මට චරිතයට ආරාධනා කරන්නේ . ‘ඉරුගල් වලව්ව’ අධ්‍යක්ෂණය කරන්නේ ශශ්‍රීමාල් වෙඩිසිංහ. ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණයත් මේක. ඔහුගේ කුලුඳුල් නිර්මාණයේ ප්‍රධාන චරිතයට මාව තෝරා ගැනීම ඔහුටත් ලොකු අභියෝගයක්නේ . මගේ රංගන වපසරිය හා පෙනුම අනුව ඒ චරිතයට මාව ගැළපෙනවා කියලයි තෝරගත්තේ.

රංගනයට ආවේ අහම්බෙන් නේද?

ඇත්තෙන්ම ඔව්, ඒක අහම්බයක්. පාසල් කාලයේ මගේ පාසලට ටෙලිනාට්‍ය රූගතකිරීම්වලට කට්ටිය එනවා . එහිදීත් මට උප ප්‍රධාන චරිතවලට ආරාධනා ලැබුණා. ඒ කාලයේ සබකෝලයත් එක්ක ඒවාට කැමැති වුණේ නෑ. Mis Srilanka තරග ජයග්‍රහණයකින් පසුව තමයි බොහෝදුරට ආරාධනා ලැබුණේ. ඒත් හැම එකම භාරගන්නේ නැහැ . මගේ තියෙන සීමාවන් එක්ක ඒ වපසරියේ චරිතවලට තමයි දායක වුණේ .

මුලින්ම කැමරාවට මුහුණ දුන් ඒ දවස මතකද?

ඔව්, ‘උරුමයක අරගලය’ ටෙලිනාට්‍යය තුළින් තමයි මුලින්ම කැමරාවකට මුහුණ දුන්නේ . මුල්ම රූගතකිරීම තිබූ දවස මට අද වගේ මතකයි. එදා ලොකු චකිතයක්, බියක් දැනුණත් ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය නිසා එය සාර්ථකව කළා කියා හිතනවා මට ලැබුණු ප්‍රතිචාරත් එක්ක .

චරිතයක් භාරගන්න කලින් මොනවද සලකා බලන කරුණු?

මම පිටපත පිළිබඳ මුලින්ම බලනවා. 2019දී රංගනයට ඇවිත් වසර ගණනාවක් වුණත් තවම මම රංගනයට ළදරුවෙක් කියා මම හිතනවා. මට කොතරම්දුරට සාධාරණයක් මේ චරිතවලට මට කළ හැකිද කියා මම සිතනවා. මගේ සීමාවන් ගැන අධ්‍යක්ෂවරුන් සමඟ කතා කරගෙන දායක වූ අවස්ථා තිබෙනවා. භාරගන්න චරිතයට අපි සාධාරණයක් කරන්න ඕනේ. ප්‍රධාන චරිතයක් කිරීමත් ලොකුම වගකීමක්. පිටපත පිළිබඳ නම් විශේෂයෙන් සලකා බලනවා.

රංගනයේදී ඔබ දමාගෙන තිබෙන සීමා මොනවාද?

සිප වැලඳගැනීම් කොහොමත් කරන්නේ නැහැ. ඒ වගේම ගොඩක් කැපී පෙනෙන ලෙස ඇඳුම් අඳීන කෙනෙකුත් නෙවෙයි මම. ඒ මගේ පෞද්ගලික අදහස. මම අනෙක් අය විවේචනය කරන්නේ නැහැ. රංගන ක්ෂේත්‍රයේ අභියෝගවලට මුහුණදෙන අය ඉන්නවා. මම ඔවුන්ට ඒ දේට ස්තුතිවන්ත වෙනවා. මම මගේ සීමාවෙන් පිට යන්නේ නැහැ.

වත්මන් ටෙලිනාට්‍ය කලාව ගැන මොකද සිතෙන්නේ?

මම හිතනවා අතීතයට වඩා අද අලුත් අධ්‍යක්වරුන්ට, පිටපත් රචකයන්ට ලොකු අවස්ථා තියෙනවා කියලා. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඒ තත්ත්වය සුබවාදී දෙයක් කියා මා සිතනවා.

සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?

මගේ පෙනුම ටෙලිනාට්‍යවලට වඩා සිනමාවට ගැළපෙන බවට අධ්‍යක්ෂවරුන් පවසා තිබෙනවා. සිනමාවේ මට ප්‍රධාන චරිත ලැබෙන අවස්ථා තිබුණත් මගේ සීමාව නිසා ඒ අවස්ථා භාර නොදුන් අවස්ථාවත් තිබෙනවා. මට ආරාධනා කළ අධ්‍යක්ෂවරුන්ට මම ගරු කරනවා .සමහර සිනමා නිර්මාණ සාකච්ඡා මට්ටමින් තිබෙනවා. ඉදිරියේදී බලමු.

ලාංකේය සිනමාව අද තිබෙන තැන පිළිබඳ සෑහීමකට පත්විය හැකිද?

මේ වකවානුවේ හොඳ අධ්‍යක්ෂවරුන්ගේ ගුණාත්මක නිර්මාණ මා දැක්කා. පසුගිය දිනවල එකදිගටම හොඳ සිනමා නිර්මාණ බිහි වුණානේ. ඒ ගැන සතුටුයි. අද පැරණි සිනමා ශාලා බොහොමයක් වැසී තිබීම ගැන නම් දුකක් ඇතිවන්නේ. මම හරි කැමැතියි 70, 80, 90 යුගයේ වගේ කාලයක් සිනමාවට උදාවෙනවා නම්.

වේදිකාවට ගොඩවුණේ නැද්ද?

වේදිකා නිර්මාණවලටත් ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගෙන් ආරාධනා තිබෙනවා . ඇත්තෙන්ම වේදිකාව කියන්නේ අපි වගේ අලුත් අයට රංගන පාසලක් කිව්වත් හරි . ඉදිරියේදී වේදිකා නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නවක රංගන ශිල්පීන්ට තිබෙන විවේචන ගැන මොකද සිතන්නේ ?

2019 සිට මේ තාක් කාලයකට මම කිසිම රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් විවේචනය කරලා නැහැ වගේම, මාවත් කවුරුවත් විවේචනය කරලත් නැහැ කියා මම සිතනවා. අපිට සිදුවෙනවාට අකැමැති කිසිම දෙයක් තව කෙනකුට කරන්නේ නැතිව සිටීම හොඳ දෙයක් කියා මම සිතනවා .

මෝස්තර නිරූපණ ශිල්පිනිය නමැති භූමිකාව තුළ ඔබේ ස්ථානය පැහැදිලි කළොත් ?

මෝස්තර නිරූපණ ශිල්පිනියක් කීවට එහි අපේ එක් එක් කැටගරීස් තිබෙනවා. Clothing Shoots වලට මම සම්බන්ධ වෙනවා. ඒ මට ගැළපෙන විදිහේ ඇඳුම් නිර්මාණ සඳහා. ඒ වගේම මනාලියක් ලෙස Bridel Shows වලටත් දායක වෙනවා. ඒ දෙක තමයි මෝස්තර නිරූපණ කලාව තුළ මගේ භූමිකාවන් වන්නේ .

රඟපෑ චරිතවලින් සුවිශේෂී චරිතයක් තිබේද ?

මට නම් සෑම චරිතයක්ම සුවිශේෂියි. මම ගොඩක්ම කැමැති චරිතයක් තමයි ‘රාවණ’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන සෙන්පතිනියගේ චරිතය. මම හිතනවා ගැහැනු ළමයකුට එවැනි අවස්ථාවක් ලැබෙන්නේ එක් වරක් වගේ තමයි කියලා . ඒක හාත්පසින්ම වෙනස් චරිතයක් . ඒ චරිතයට මම හරිම ආදරෙයි . රාවණා රජුට මම පෞද්ගලිකවත් කැමැතියි. මේ සෙන්පතිනියගේ චරිතය භාරගන්න මුලින්ම මට බය හිතුණා. ඒක මට ලොකු අභියෝගයක් වුණා . කුමාරිකාවගේ චරිත කළාට සෙන්පතිනියගේ චරිතය හරිම වෙනස්නේ . අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් අයියා මේ චරිතයට ඉජපඥඥද ඊඥඵබ ගොඩක් කරලා තිබ්බා . ඔහු මගෙන් ඇහුවා මේ අභියෝගය භාරගන්නවද කියලා. සෙන්පතිනිගේ චරිතයට මම බොහෝ පුහුණුවීම් කළා. සටන් පුහුණුවීම් පවා කළා. මේක මට හැමදාම මතක සිටින චරිතයක්.

රඟපෑම් හා මෝස්තර නිරූපණයේ යම් ජයග්‍රහණත් ලැබිලා ඇති?

රංගන ක්ෂේත්‍රයේදී මම සම්මානවලට නිර්දේශ වී තිබෙනවා. දැනට මම සම්මාන හතරක් ලබාගෙන තිබෙනවා ර්ඪඵ ඉපඪතචදඬච තරගවලදී. එයින් ජයග්‍රහණ ලබා තිබෙනවා. ර්ඪඵ ඕඥචභබඪටභත ඡ්රඥහි ජයග්‍රාහී සම්මානයත්, ර්ඪඵ ඕඥචභබඪටභත ඉථඪතඥ හි ජයග්‍රාහී සම්මානයත්, ර්ඪඵ ර්‍ථඩධබධබ්ඥදඪජ හි ජයග්‍රහණයත් ලබා තිබෙනවා.

ඉදිරි නිර්මාණ ගැන කීවොත්?

‘ඉරුගල් වලව්ව, සඳලු සේයා’ ටෙලිනාට්‍ය 02 විකාශයට නියමිතයි . ‘කායා’ නමින් ටෙලිනාට්‍යයකුත් විකාශය වෙන්න තියෙනවා. තව නිර්මාණයකට දායක වුණත් එහි නම තවම හරියටම යොදා නැහැ.

අනාගත බලාපොරොත්තු එහෙමත් ඇති?

සාමාන්‍යයෙන් මට පොඩි තැනක ඉඳන් ගමනක් ආව කෙනෙක් . මට ඉගෙන ගන්න දේවල් අසීමිතව ඇති . මගේ අඩුපාඩුත් ගොඩක් ඇති. ඉදිරියේදී අඩුපාඩු හදාගෙන, රංගන ක්ෂේත්‍රය පිළිබඳ හොඳීන් හදාරන්න බලාපොරොත්තු වෙනවා . මගේ ව්‍යාපාරයකට අවශ්‍ය සැලැස්මකුත් මේ දිනවල සිදුකරමින් යනවා.

පවුලේ විස්තර කීවොත් ?

මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි ඉන්නේ. පවුලේ එකම දරුවා මමයි. මුල ඉඳන්ම නිර්මාණවලට දායක වෙද්දී මාව පරිස්සමින් රැගෙන ගිහින් මට මේ සමාජය හුරුකරවීමේ කාර්යයේදී අම්මා, තාත්තා තමයි ළඟින්ම හිටියේ. ඔවුන් දෙදෙනාගේ සහයෝගය ගැන කියන්න මට වචන නැහැ. මම රංගන ක්ෂේත්‍රයේ සිටීම ගැන මටත් වඩා අම්මයි තාත්තයි දෙන්නා සතුටු වෙනවා

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT