Home » සලරූ සිතුවම ඇඳුණු මැවුණු හැටි

සලරූ සිතුවම ඇඳුණු මැවුණු හැටි

by mavan
February 26, 2026 9:43 am 0 comment

රිදී තිරයේ උප්පැන්න සහතිකය ලුමියර් සහෝදරයෝ සහ 1895 පැරිසියේ අඳුරු කාමරය නිශ්චල ලෝකය චලනය වූ මොහොත එය වර්ෂ 1895 දෙසැම්බර් මස 28 වැනිදාය. ප්‍රංශයේ පැරිස් නුවර ‘බුලවාඩ් ඩෙ කැපුසින්ස්’ (Boulevard de Capucines) වීදිය ශීත ඍතුවේ තුහිනවලින් වැසී ගොස් තිබුණි. මෙම වීදියේ අංක 14 දරන ස්ථානයේ පිහිටි ‘ග්‍රෑන්ඩ් කැෆේ’ (Grand Café) ආපනශාලාවේ පහළ මාලයේ වූ ‘සැලෝන් ඉන්ඩියන්’ (Salon Indien) නම් අඳුරු කාමරය තුළ, ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ අසිරිමත්ම විප්ලවයකට වේදිකාව සකසමින් තිබිණ. ඇතුළත සිටියේ ප්‍රංශ ෆ්රෑන්ක් 01 ක ටිකට් පතක් මිලදී ගත් කුතුහලයෙන් පිරි 33 දෙනෙකු පමණි. ඔවුන් ඉදිරිපිට වූයේ සුදු පැහැති තිරයක් පමණි.

හිටිහැටියේම කාමරය පුරා පැතිර ගියේ අමුතුම යන්ත්‍රයකින් නැගෙන “කර්.. කර්..” යන හඬයි. ඊළඟ තත්පරයේදී එතෙක් නිශ්චලව තිබූ සුදු තිරය මත ජීවය මැවෙන්නට විය. ලියොන් නගරයේ ලුමියර් කර්මාන්තශාලාවේ ගේට්ටුව විවර විය; සේවක සේවිකාවන් සැබවින්ම එතැන සිටින්නාක් මෙන් ඇවිද යන්නට විය. එය ඡායාරූපයක් නොවීය; එය ජීවිතයයි! මානව ශිෂ්ටාචාරය වසර දහස් ගණනක් තිස්සේ ගුහා චිත්‍රවල සිට කැන්වසය දක්වා ‘චලනය’ අල්ලා ගැනීමට දැරූ මහා ප්‍රයත්නය එදින ජයග්‍රහණයෙන් කෙළවර විය. ‘සිනමාව’ (Cinema) නම් වූ ඒ මහා ඉන්ද්‍රජාලිකයාගේ උපත සිදුවූයේ එලෙසිනි.

තාක්ෂණික විප්ලවය: සිනෙමැටෝග්‍රැෆ් (Cinéma to graphe)

මෙම දෘශ්‍ය කාව්‍යයේ නිර්මාණකරුවන් වූයේ ඔගස්ට් සහ ලුවී ලුමියර් (Auguste and Louis Lumière) නම් සොහොයුරන් දෙපළයි. ඔවුන්ගේ පියා වූ ඇන්ටොයින් ලුමියර් සතුව තිබූ දැවැන්ත ඡායාරූප පටල (Photographic Plates) නිෂ්පාදනාගාරය ඔවුන්ට ආලෝකය සහ රසායන විද්‍යාව පිළිබඳ අත්හදා බැලීම් කිරීමට තෝතැන්නක් විය. (1894) දී ඔවුන්ගේ පියා පැරිසියේදී තෝමස් අල්වා එඩිසන්ගේ ‘කයිනටොස්කෝප්’ (Kinetoscope) යන්ත්‍රය දැක තිබුණි. එඩිසන්ගේ යන්ත්‍රය තුළින් චලන රූප නැරඹිය හැකි වූයේ වරකට එක් අයෙකුට පමණි. “රූපය පෙට්ටියකින් එළියට ගෙන එය බිත්තියක් මතට විසි කළ නොහැකිද?“ යන පැනය ලුමියර් සහෝදරයන්ගේ නව නිපැයුමට පදනම විය.

ඔගස්ට් සහ ලුවී ලුමියර් (Auguste and Louis Lumière)

ලුවී ලුමියර් විසින් නිර්මාණය කරන ලද ‘සිනෙමැටෝග්‍රැෆ්’ (Cinématographe) යන්ත්‍රය සිනමා තාක්ෂණයේ හැරවුම් ලක්ෂ්‍යයයි. කිලෝ 05 කටත් වඩා අඩු බරකින් යුත් මෙම කුඩා පෙට්ටිය, එකවර කැමරාවක් (Camera) මුද්‍රණ යන්ත්‍රයක් (Printer) සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (Projector) ලෙස ක්‍රියා කළේය. එඩිසන්ගේ යන්ත්‍ර විදුලියෙන් ක්‍රියා කළද, ලුමියර් යන්ත්‍රය අතින් කරකැවිය හැකි (Hand-cranked) හෙයින් ඕනෑම ස්ථානයක රූගත කිරීමේ නිදහස එයින් ලැබුණි. සිනමාව ස්ටුඩියෝවෙන් පාරට බැස්සවූයේ මෙම තාක්ෂණයයි.

‘සිනෙමැටෝග්‍රැෆ්’ (Cinématographe) යන්ත්‍රය

දුම්රියක් පැමිණ යථාර්ථය දෙදරයි

එදින ප්‍රදර්ශනය කළ කෙටි චිත්‍රපට 10 අතරින් වඩාත්ම කතාබහට ලක්වූයේ ‘දුම්රිය නැවතුම්පොළට පැමිණීම (Arrival of a Train at La Ciotat) චිත්‍රපටයයි. තත්පර 50ක පමණ කාලයක් දිවෙන මෙහි ඇත්තේ දුම්රියක් වේදිකාවට පැමිණෙන ආකාරයයි. නමුත් 1895 දී මෙය හුදු දර්ශනයක් නොවීය; එය භීතියකි. කැමරාව ස්ථානගත කර තිබූ කෝණය සහ කාචයේ ගැඹුර නිසා, දුම්රිය තිරය සිදුරු කරගෙන ප්‍රේක්ෂකාගාරයට කඩා වදී යැයි බියෙන් මිනිසුන් කෑගසමින් දිව ගිය බව සිනමා ඉතිහාසයේ සඳහන් වේ.

සිනමා විචාරකයන්ට අනුව මෙය ‘සිනමාත්මක යථාර්ථවාදයේ’ (Cinematic Realism) පළමු සාක්ෂියයි. දෘශ්‍ය රූපය (Image) සහ භෞතික යථාර්ථය (Reality) අතර වෙනස හඳුනා ගැනීමට මිනිස් මොළයට නොහැකි වූ පළමු අවස්ථාව මෙය විය හැකිය. ලුමියර්වරුන් එදා තිරය මත මැවූයේ ආලෝකයේ සෙවණැලි නොව, ප්‍රේක්ෂකයාගේ මනෝභාවයන් බව එම සිදුවීමෙන් තහවුරු විය.

‘දුම්රිය නැවතුම්පොළට පැමිණීම (Arrival of a Train at La Ciotat)

වාර්තාමය සිනමාව සහ “සැබෑ ජීවිතය” (Actualités)

විමර්ශනාත්මකව බලන කල, ලුමියර් සහෝදරයන් යනු ලොව පළමු විත්ති කතා සිනමාකරුවන්ය (Documentarians) ඔවුන් කිසි විටෙක නළුවන් යොදාගෙන රඟපෑම් සිදු කළේ නැත. ඔවුන් කළේ කැමරාව රැගෙන සමාජය වෙත යාමයි. කම්කරුවන් වැඩ ඇරී යාම (Workers Leaving the Lumière Factory) දරුවෙකුට උදෑසන ආහාරය කැවීම (Feeding the Baby) වැනි දර්ශන තුළින් ඔවුන් උත්සාහ කළේ ජීවිතය ‘ඇති සැටියෙන්‘ (Life as it is ) ප්‍රතිනිර්මාණය කිරීමටයි.

කම්කරුවන් වැඩ ඇරී යාම (Workers Leaving the Lumière Factory) දරුවෙකුට උදෑසන ආහාරය කැවීම (Feeding the Baby) ඔවුන්ගේ සිනමාව තුළ කතාන්දරයක් (Narrative) හෝ සංස්කරණයක් (Editing) නොතිබුණි. කැමරාව එක තැනක ස්ථාවරව තබාගෙන (Static Shot) සිදුවීමක් ආරම්භයේ සිට අවසානය දක්වා එක දිගට පටිගත කිරීම ඔවුන්ගේ ශෛලිය විය. මෙය පසුකාලීනව සිනමා භාෂාවේ Long Take iy Deep Focus වැනි සංකල්ප බිහිවීමට දාර්ශනික අඩිතාලම දැමීය.

දෛවෝපගත උත්ප්‍රාසය: “අනාගතයක් නැති කලාව”

කෙසේ වෙතත්, ලුමියර් සහෝදරයන් සිනමාව ගැන දැරූ ආකල්පය අද දවසේදී අතිශය උත්ප්‍රාසජනකය.

“සිනමාව යනු අනාගතයක් නැති සොයාගැනීමකි” (Cinema is an invention without a future) යන්න ලුවී ලුමියර්ගේ මතය විය. ඔහු සිතුවේ මිනිසුන්ට චලනය වන රූප බැලීමේ කුතුහලය ටික දිනකින් එපා වී යනු ඇති බවයි. මේ නිසාම ජෝර්ජ් මෙලීස් වැනි අය ඔවුන්ගේ යන්ත්‍රය මිලදී ගැනීමට ඉල්ලූ විට ලුමියර්වරු එය ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙය විද්‍යාත්මක කුතුහලයක් ලෙස පමණක් තබා ගැනීමටයි.

එහෙත් ඉතිහාසය ඔවුන්ව වැරදි බව ඔප්පු කළේය. නැතහොත්, ඉතිහාසය ඔවුන්ගේ නිහතමානී අරමුණ අබිබවා ගියේය. ඔවුන් දැල්වූ ඒ කුඩා ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ ආලෝකය, අද වන විට ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් බවටත්, මිනිස් හැඟීම් පාලනය කරන ප්‍රබලතම මාධ්‍යය බවටත් පත්ව ඇත.

1895 දෙසැම්බර් 28 වැනිදා ග්‍රෑන්ඩ් කැෆේ ආපනශාලාවේදී සිදු වූයේ හුදෙක් තාක්ෂණික ප්‍රදර්ශනයක් නොවේ; එය මනුෂ්‍යයාට තමන් දෙසම නැවත බැලීමට හැකි ‘මායාවේ කැඩපතක්’ තැනීමකි. අද අප (IMAX) තාක්ෂණයෙන් හෝ ජංගම දුරකථනයෙන් යම් වීඩියෝවක් නරඹන සෑම මොහොතකම, අප නොදැනුවත්වම ගෙවන්නේ ලුමියර් සහෝදරයන් එදා පැරිසියේදී දැල්වූ ඒ ආලෝකයටයි. සිනමාව නම් මහා කාව්‍යයේ පළමු අකුර ලියවුණේ එතැනිනි.

සුධීර විශ්වනාථ කලංසූරිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT