සුනාමි ව්‍යසනයෙන් පසු ශශ්‍රී ලංකාවට මෑත කාලයේ එල්ලවූ දරුණුම ස්වාභාවික ව්‍යසනය වශයෙන් සැලකෙනුයේ පසුගිය වසරේ නොවැම්බර් මස බලපෑ දිට්වා සුළි කුණාටුවය. එහි ප්‍රතිඵල ලෙස සිදුවූ නාය යෑම් හා ගංවතුර,ජීවිත හානි හා දේපළ හානියෙන් වූ පීඩාව අතිශය දරුණුය.
එනමුත් එවන් හානියක් වූ සෑම විටකම ජාතියක් ලෙස එකිනෙකා වෙත දෑත් දිගු කරගනිමින් නැඟී සිටි අයුරු විස්මිත හා ප්‍රසංසනීයය. එවන් මොහොතක සිය සහෝදර කැල ශාරිරිකව හා මානසිකව ගොඩනැඟූ මිනිසුන් බොහෝය. සිය ශක්තියෙන් හා තලෙන්තවලින් කම්පනයට පත් සිත් සුවපත් කරනට වෙහෙස වූවෝ අතර දෙදාහ දශකයේ පරපුර අතර සිය අනන්‍ය වු කටහඬින් සිත් දිනාගත් ප්‍රතිභාපූර්ණ යොවුන් ගායන ශිල්පියකු මෙන්ම සංගීත නිර්මාණ ශිල්පියකුද වේ. ඔහු ඉමාල් ජූඩ් ය. මෙරට ප්‍රවීණ ගායනවේදිනියක වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ මුනුපුරු වූ හෙතෙම පසුගියදා එම ව්‍යසනය පසුබිම් කොටගනිමින් අපූරු ගීතයක් එළිදැක්වීය.
සිය ආදරනීය බිරිඳ රූත් විජේසිංහ සමඟ එක්ව ගායනා කරමින් එළිදැක්වූ ‘ යළි නැඟිටිමු සැවොමා’ නම් එම ගීතය මේ දිනවල බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වේ.
එම ගීතයේ පසුබිම හා එය ගොඩනැඟුණු ආකාරය පිළිබඳ ඉමාල් හා රූත් සමඟ කළ කතාබහකි මේ.
එදා ඔය සිද්ධිය වන දවසෙ අනිත් අය වාගෙම අපටත් මේ මොකක්ද වෙන්නෙ කියලා අදහසක් තිබුණෙ නැහැ. ඒක එකපාරටම අපිට හිතාගන්න බැරි වුණා. එදා උදේම අපි දෙන්නම, මමත් මගෙ බිරිඳත් කෑම බීම සඳහා ආහාර ටිකක් ගන්න වෙළෙඳ සැලට ගිහින් ඉන්නකොට ඒ වෙලාවෙ ඇතිවෙලා තිබුණ පසුබිමත් එක්ක අපි දෙන්නට හිතුණා ඒ පීඩාවට පත් වෙලා හිටපු මිනිස්සු කීප දෙනෙකුට ආහාර ටිකක් දෙන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක් නේද කියල. මූලික ව අපේ අදහස වුණේ දස දෙනෙකු වෙනුවෙන් වාගේ කෑම ටිකක් සාදා දෙන්න. පෙරදා රාත්‍රියේ අවතැන් වූ කීප දෙනෙක් වෙනුවෙන්. ඒ අරමුණ හිතේ තබාගෙන රාජ්‍ය අංශයේ රාජකාරියේ නිරත මගෙ මිතුරකු සම්බන්ධ කර ගනිමින් මම තොරතුරු විමසද්දී දැන ගන්න ලැබුණා වැඩි පිරිසක් සිටින, ඒ කියන්නෙ ඒ වෙද්දී පනස් දෙනෙකු පමණ රැඳී සිටි රැකවරණ මධස්ථානයක් අපේ නිවෙස ආසන්නව ඇති බව ඒ මොහොතේ අපට පොඩි චකිතයකුත් ඇති වුණා මොකද අපි දෙන්න කවදාවත් එපමණ පිරිසකට තනිව කෑම වේලක් හදා දී තිබුණෙ නැති නිසා. කොහොම වුණත් අපේ අසල්වැසි, මිතුරු සහයත් එක්ක අපට ඒ දේ කරන්න පුළුවන් වුණා එදා.
ඇත්තටම ඉන් දිනකට දෙකකට පසුව තමයි අපි හැමෝටම මෙහි බැරෑරුම්කම සැබවින්ම අවබෝධ කර ගන්න හැකි වුණේ. අපේම මව්පියන් ඥාතීන් බොහෝ දෙනෙක් අපේ ඇස් ඉදිරිපිට වේදනාවට පීඩාවට පත්වන අයුරු දුටු විට ඉමල් අපට කිව්වෙ අපි තවත් විදියකින් අපේ මේ සොයුරු සොයුරියන් ශක්තිමත් කළ යුතුයි කියන එකයි.
එතනදී අපි අදහස් කළේ සිත් නිවන දිරිදීමක්, නැවත නැගිටින්න දිරිදෙන දෙයක් අපෙන් ඒ වෙලාවෙ විය යුතුයි කියන එක. ඒ අනුව තමයි මේ විදියෙ ගීතයක් නිර්මාණය වෙන්නෙ.
ගීතය නිර්මාණ කරන්න ගත්ත පදනම තමයි ශශ්‍රී ලංකාව කියන්නෙ ඔයයි මමයි. ඒ හැර වෙන මොනවත් නෙවෙයි කියන අදහස. ඒ අදහසේ ඉඳගෙන තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඒ කියන්නෙ මොන දේ වුණත් මොන හානියක් වුණත්, කුමක් නැති වුණත් ඉතිරි වන්නෙ ඔබත් මමත් පමණයි කියන පදනමේ සිට, ඒ වැදගත් දේ හිතේ තබාගෙන ගොඩනැගෙමු කියන අදහසත් එක්කයි මේ නිර්මාණය කළේ.
මෙහි පදරචනය අපි දෙදෙනාම එක්වයි කළේ. තනු නිර්මාණයත් එහෙමයි. එක රැයකින් පද ටික ලියල තනුව නිර්මාණය කළත් ගීතයක් සම්පූර්ණ කරන්න වුවමනා දේවල් ටික කරන්න අවශ්‍ය වූ නිසා ඉන්ෆිනිට් රෙකෝඩ් කියන ලේබලය යටතේ දින දෙක තුනක් ඇතුළත අපි ගීතය පරිපූර්ණ ව නිර්මාණය කළා.එහිදී අමිල ජයතුංග කියන අපේ සහෘදයා ඉදිරිපත් වුණා ගීතයේ රූපරචනය හා විඩියෝව කර දෙන්න. ගීතයේ අන්තර්ගත දෙමළ සහ ඉංග්‍රීසි කොටස් ගායනා කරන්න හේෂාන් ජෝසෆ් සහ පෝල් ඇන්තනී කියන අපේ මිතුරන් ඉදිරිපත් වුණා. ඒ වගේම මේ ගීතය අපි රූපගත කළෙත් ඒ අවට පරිසරයේමයි.ඇත්තටම ඒ ඒ වෙලාවෙත් අපට නොසිතූ ලෙස හමු වුණේ පීඩාවට පත් පිරිසක්. අපට හැකිවුණා ඔවුන් එක්ක, ඔවුන්ගේ සිත් නිවමින් ඔවුන් එක්ක කාලය ගත කරන්න අපට හැකි පමණ උපකාර වෙමින්.
ඇත්තෙන්ම මේ ගීතය නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව වුණේ ඉන් මිනිසුන් දිරිමත් කරනවාට අමතරව මේ ගීතය ඔස්සේ ලැබෙන මොනවාම හෝ ප්‍රතිලාභයක් වේ නම් එයත් අන් අයට උපකාර පිණිස යොදවන්නයි. ඇත්තෙන්ම මේ ගීතය ඉදිරිපත් වීමත් සමඟ ඒ අවස්ථාව අපට උදා වූ බව කියන්නේ සතුටින්. ඒ කියන්නේ මාධ්‍යයේ ඒ ගීතය ප්‍රචාරය වීමත් සමඟ ඒ ඔස්සේ මනම්පිටිය, මතුරට, මහනුවර, ගම්පොළ, කඩුවෙල ආදි ප්‍රදේශවල මිනිස්සුන්ට උදව් කරන්න අවස්ථාව උදා වුණා. ඉතින් ඇත්තටම මේ කටයුත්ත තාමත් ඉවර නැහැ. එහි දිගුවක් විදියට මතුරට අලකොළවැව ප්‍රදේශයේ මේ ආපදාවෙන් නිවාස හා රැකියා අහිමි වූ පවුල් තිස් එකකට උදවු කරන්න අවස්ථාව ලැබුණා.
අප දෙදෙනා ගේ ජීවිත අරමුණ ගත්තොත් අපි අනිත් අය වෙනුවෙන් ජීවත් වීම වැදගත් කියන අදහසේ ඉඳගෙන ජීවත් වෙන්න කැමැති දෙන්නෙක්. අපි දෙදෙනා ගේ සංගීත ගමන තුළ වුණත් කරන යම් දෙයක් වේවා ඒ තුළින් මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දිය යුතුයි කියන එක තමයි අරමුණ. අපේ මිත්තනිය (ඇන්ජලීන් ගුණතිලක මහත්මිය) ගයන ගීයකුත් තියෙනවානෙ ගඟුලක් වෙන්න හැකි නම් වියළුණු කතරට.. දිය දෝතක් වෙන්නම්… කියලා. ඒ වගේ සංගීතය කියන දෙයින් මිනිසුන් ගොඩනඟන්න ඒ වගේම ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්න අපට ඕනෙ. ඒකයි අපෙ ජීවිතයේ පරමාර්ථය. මේ ගීතයත් ඒ හොඳ පරමාර්ථය පෙරදැරි ව ගොඩනැඟූ එකක්.
අපි දෙදෙනාම සංගීතයට ළැදි හා සංගීතයට බැඳී පවුල් පසුබිම්වලින් එන දෙදෙනෙක්. අපේ ව්‍යාපාර කටයුතුත් එක්ක සංගීතය කියන දේ අපේ ජීවිතවල ප්‍රමුඛ කාර්‍යයක් ලෙස සලකන්නෙ. අපි දෙන්නගේම තවත් ලස්සන අලුත් ගීත දෙකකුත් ඉදිරියේදි එන්න නියමිතයි.
සමුද්‍රිකා වර්ණකුල
