Home » සම්මානිත වූ යහළු යෙහෙළි

සම්මානිත වූ යහළු යෙහෙළි

28 වැනි කොටස

by mavan
February 5, 2026 10:38 am 0 comment

ලබන සතියේ බට්ටි සහ වත්සලා අක්කා

යහළු යෙහෙළි චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළේ එරල් කෙලි විසින්. මට මතකයි අපි නවාතැන් ගත්ත තැනත් මහන මැෂිමක් තියාගෙන ඇඳුම් මැහුවා. මිරිගම පැත්තේ ඒ කාලේ මහන තැන් වුණත් අඩුවෙන් තිබුණේ. මටත් හොඳට මහන්න පුළුවන් නිසා මමත් මේ ඇඳුම් මහන්න උදවි වුණා. යහළු යෙහෙළි චිත්‍රපටයටම මම ඇඳපු කහපාට ගවුමක් තිබුණා. අත් දෙකට පටි දෙකක් දාලා. ඒ ගවුම මහගත්තේ මම විසින්මයි. ඒ කාලේ ටෝනි අන්කල් මොන ටේලර්ස්ද මන්ද කියලා නමකුත් දාලා තිබුණා. අපි ෂුටිං ඉවරවෙලා රෑට කරන්නේ ඇඳුම් මහන එක.

කොහොම වුණත් දවස් 30ක් වගේ කාලයක් අපි මිරිගම නැවතිලා මේ ලොකේෂන් එකේ වැඩ කළා. විවිධ අඩුපාඩුකම් මැද්දේ වුණත් අපි ගතකළේ හරිම රසවත් ජීවිතයක්. ඒ විනෝදකාමි ජීවිතය නිසා දවස් 30 යනවා අපිටම දැනුණේ නෑ. හවසට අපි හැමෝම එකතු වෙලා සින්දු කියනවා. මට මතකයි ශ්‍රියාණි අක්කා හිටිවන කවිත් හද හද කිව්වා.

ආන්ටි සුමිත්‍රාත් අපේ මේ විනෝදකාමි ජීවිතයට බාධා කළේ නෑ. ඇය ඉතාම පරිස්සමින් අපි එක් එක්කෙනාගෙන් ගත හැකි රංගනය මැනවින් ලබා ගත්තා. දර්ශන තලයේ කවදාවත් කලබලයක්, කෑ ගැහිල්ලක් තිබුණේ නෑ. සියලු දේවල් සහාය අධ්‍යක්ෂ උපාලි පෙරේරා හොඳීන් කළමනාකරණය කළා. 1982 ජනාධිපති සම්මාන උලෙළින් සුමිත්‍රා ආන්ටි හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය යහළු යෙහෙළි සඳහා දිනා ගන්නවා. මට මුදිතලතා වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමි වෙනවා. ඒ වගේම ඕ. සී අයි සී සිනමා උලෙළෙත් සුමිත්‍රා ආන්ටි හොඳම අධ්‍යක්ෂිකාව වෙනවා. මට සහ ස්වර්ණා අක්කාට රංග කුසලතා සම්මාන හිමි වෙනවා. ඩොනල්ඩ් කරුණාරත්න දක්ෂතම කැමරා අධ්‍යක්ෂ ලෙසත්, සංගීත අධ්‍යක්ෂ ලෙස නිමල් මෙන්ඩිසුත්, කලා අධ්‍යක්ෂ ලෙස හේමපාල ධර්මසේනත්, සම්මානයට පාත්‍ර වුණා.

ඒවගේම එවර සරසවිය සම්මාන උලෙළේදී යහළු යෙහෙළි හොඳම තිර නාටකය සඳහා කරුණාසේන ජයලත්ද, සංස්කරණය සඳහා ලාල් පියසේනත්, කලා අධ්‍යක්ෂණය සඳහා හේමපාල ධර්මසේනත්, ශබ්ද පරිපාලනය සඳහා මයිකල් සත්‍යානන්දනුත්, වේශ නිරූපණය සඳහා ඊබට් විජේසිංහත් සම්මාන දිනා ගත්තා. ඒ වගේම පියාගේ චරිතය රඟපාපු ටෝනි අන්කල් ට කුසලතා සම්මානයකුත් හිමි වෙනවා.

මගේ චිත්‍රපට ලැයිස්තුවේ මීළඟට තිරගත වුණු චිත්‍රපටය වෙන්නේ ‘සිවුරඟ සේනා’ . මම හිතන්නේ 1983 දී තමයි තිරයට එන්නේ. ප්‍රධාන චරිත අතරේ එන සහාය චරිතයක් තමයි මම රඟපෑවේ. විජය කුමාරතුංග, ගීතා කුමාරසිංහ, සබිතා පෙරේරා, ඩග්ලස් රණසිංහ, සනත් ගුණතිලක, විමල් කුමාර්ද කොස්තා, වැනි එවකට ජනප්‍රිය තලයේම රංගන ශිල්පීන් තමයි මේ චිත්‍රපටයට සම්බන්ධ කරගෙන හිටියේ ‘කමණි’ කියන ගායන ශිල්පිනියකගේ චරිතයක් තමයි මට මෙහි නිරූපණය කරන්න තිබුණේ. හුදෙක් යොවුන් ප්‍රේමය පාදක කර ගත්ත කතා වස්තුවක්. අවසානයේ ප්‍රේමනීය පීඩාව දරා ගන්න බැරැව කමණි සිය දිවි නසා ගන්නවා. මට මතක හැටියට වාණිජ අතින් නම් මේ චිත්‍රපටය ලොකු සාර්ථකත්වයක් පෙන්නුවේ නෑ. නමුත් මේ චිත්‍රපටයට නන්දා මාලිනිය ගායනා කළ ‘ වැස්ස වැටි මිදුලේ’ කියන ගීතයට 1984 ජනාධිපති සම්මාන උලෙළේදී හොඳම ගායිකාව ලෙසින් සම්මාන දිනා ගත්තා.

චිත්‍රපටය මුලින් ආරම්භ කළේ බර්මින් ලයිලි ප්‍රනාන්දු විසින්. නමුත් චිත්‍රපටය නිදහස් වනවිට අධ්‍යක්ෂකගේ නම විදියට සඳහන් වුණේ නිෂ්පාදකවරයාම වූ රෝයි අනුරාධ ශශ්‍රී බණ්ඩාරනායකගේ නම. කොහොම වුණත් අපි සියලු දෙනාම මේ චිත්‍රපටය නිසා යළිත් වතාවක් ඉතාම සොඳුරු කාල පරිච්චේදයක් රු ගත කිරීමේදි ගෙවා දැම්මා.

1983 තිර ගත වුණු ‘සමනළ සිහින’ චිත්‍රපටයත් මගේ සිනමා ජිවිතයේ මතක මං පෙත අතර සැරි සරනවා. සමනළ සිහින අධයක්ෂණය කළේ ප්‍රේමවීර ගුණසේකර. මින් ඉහත තිරයට ආව සිවුරඟ සේනා වගේම සමනළ සිහිනත් තේමා කරගෙන තිබුණේ යොවුන් ප්‍රේමය. මගේ රංගන ජීවිතය දිහා හැරිලා බලන විට මේ වගේ තේමා තිබුණේ අඩුවෙන්.

විජය කුමාරතුංග, මාලිනි ෆොන්සේකා, ටෝනි රණසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, ලීනා ද සිල්වා, අමරසිරි කලංසූරිය, විමල් කුමාර් ද කොස්තා, ශිරානි නුගේරා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරුණාරත්න, ආදීන් ආයෙත් මට මේ චිත්‍රපටය හරහා හමු වෙනවා.

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT