ලාංකේය නූතන ටෙලි නාට්‍යය කලාව වෙත වෙනස්ම හැඩයක් රැගෙන ආ ‘ද ලේක්’ මේ වනවිට ටෙලි ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානයක් දිනා ගනිමින් සිටින අපුරු ගණයේ ටෙලි නාට්‍යයකි. එහි තිර පිටපත් රචනය සිදු කර ඇත්තේ සම්මානලාභි තිර පිටපත් රචක රසික සූරවිරආරචිච් විසිනි. ඔහු මීට පෙර ‘ඇබැර්තු ඇත’, ‘බොරළු පාර’, ‘හියුමන් එරර්ස්’, ‘මෙට්‍රෝ හීන’, ‘තප්පරයක් දෙන්න’, ‘ලලයි ලිලයි ලයි’ වැනි ජනප්‍රිය ගණයේ නාට්‍ය සඳහා තිර පිටපත් රචනා කර ඇති අතර, ‘පහ සමත්’ චිත්‍රපටයේ ද තිර පිටපත් රචකයා විය. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වූයේ තිර පිටපත් රචක රසික සූරවිරආරච්ච් සමඟ සිදු කළ කතාබහකටය.
මුලින්ම ඔබ තිර රචනා කලාව වෙත පිවිසුණේ කොහොමද?
මම 2000 වසරේ දී කොළඹ ව්ශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදි උපාධිය සමගාමීව ජනසන්නිවේදනය විෂය හැදැරීම සිදු කළා. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ මම කළ නිබන්ධය මාතෘකාව වුණේ ‘ලාංකේය ටෙලිනාට්‍යය රචනා සාහිතය’. මම ඉන්ටර්න්ෂිප් එක විදියට සිදු කළේ ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ. එහිදි මට ටෙලි නාට්‍ය පිටපත් පරිශීලනය කරන්න අවස්ථාව හිමි වුණා. මම සෑහෙන අධ්‍යයනයක් කළා මගේ පර්යේෂණ නිබන්ධය වෙනුවෙන්, විශේෂයෙන් ලංකාවේ සුප්‍රකට විශිෂ්ට ගණයේ ටෙලිනාට්‍ය පිටපත් ලෙස දියකැට පහණ, කඩුල්ල වැනි පිටපත් මම කියවුවා. ටෙලිනාට්‍ය ශෛලීන් ගැඹුරින් අධ්‍යයනය කළා. ඒ අතරේ මම සහය අධ්යක්ෂවරයකු විදියට විමලරත්න අධිකාරි, ගයා රම්‍ය අල්විස් සමඟ වැඩ කළා. න්‍යායාත්මක දැනුම සමඟ ප්‍රායෝගික දැනුමත් මේ ඔස්සේ මට ලැබුණා. ඔහොම තමයි මම තිර රචනා කලාවට ප්‍රවිෂ්ට වෙන්නේ. ඊටපස්සේ ජාතික රූපවාහිනියේ ‘ඇබැර්තු ඇත’, ‘බොරළු පාර’ වැනි ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදන සඳහා තිර රචනා නිර්මාණය කළා.
තිර රචනා ශිල්පියකු වීමට ඔබව පෙලඹ වූ විශේෂ සාධක මොනවාද?
කුඩා කාලයේ සිටම මම චිත්‍රපට මාධ්‍ය ඇසුරු කළා. පාසල් යන අවධියේ පාසල් නොයා හොරෙන් චිත්‍රපට නරඹපු අවස්ථා බොහෝයි. කිසිදු ශානරයකට සීමා නොවී චිත්‍රපට සැමෙකක්ම නැරඹුවා. නාලන්දේ පාසල් නාට්‍ය කණ්ඩායමක් සිටියා. ඒ පසුබිම එතනින් නිර්මාණය වුණා. ඒ පරිසරයත් සමඟ මම තිර රචනා ක්ෂේත්රයට පැමිනුණා.
ඔබ තිර පිටපත ලියූ, මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ද ලේක්’ ටෙලිනාට්‍ය තුළින් ඔබ කියන්නට උත්සාහ දරන්නේ කුමක්ද?
මම තිරපිටපත් ලියු බොහෝ ටෙලි නාට්‍ය සඳහා මගේ ජීවිතයේ පොදු අත්දැකීම් බලපෑවා. විශේෂයෙන් ”තප්පරයක් දෙන්න” වැනි ටෙලිනාට්‍යයකින් සාකච්ජාවට ලක් කරන්නේ දේශපාලනය පිළිබඳ. මට ලැබුණු අත්දැකීම් හරහා තිරපිටපත රචනා වෙනවා. ’ද ලේක්’ ටෙලිපිටපත ලියවෙන්නේ ධනුෂ්ක රේමන්ඩ් හරහා. ධනුෂ්කගේ අදහසක් විදියට ”ද ලේක්” නිර්මාණය වෙන්නේ. ධනුෂ්ක ආසයි සයිකොලජිකල් – ත්රිලර්වලට. එයා මට යෝජනා කරනවා අපි මේ විදියේ වැඩක් කරමුද? කියලා. ඊට පස්සේ ඒ සංකල්පයට අනුව කතාව හදලා දුන්නා. මේ නාට්‍යයේ තේමාව බවට පත් වුණේ, ආදරය කියන එක. මිනිස්සුන්ගෙන් ආදරය දුරස් වුණාම මිනිස්සු තිරිසන්නු බවට පත් වුණාම වෙන දේ තමයි මේ නාට්‍ය ඇතුළේ තියෙන්නේ. ආදරය තියෙනවා, අනෙකා තුළ ඒ හැඟීම තියෙනවා මේ තරම් ලංකාවේ අපරාධ සිද්ධවෙන්නේ නැහැ. සයිකොලජිකල් – ත්‍රිලර් – ක්‍රයිම් පන්නයේ ඇතැම් මලයාලමි චිත්‍රපටවල නැරඹීමත් එක්ක සහ මනෝවිද්‍යාත්මක කාරණා එක්ක මෙවැනි ටෙලි තිර පිටපතක් නිර්මාණය වෙන්න පසුබිම නිර්මාණය වුණා. අනෙක් අතට මෙවැනි ශානරයේ ටෙලි නාට්‍යයක් ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට බෙහෙවින් ආගන්තුකයි. 2000න් පසු පරම්පරාව මේ ටෙලිනාට්‍ය වැලඳගන්නබවක් පෙනෙන්නට තිබෙනවා. මොකද? වත්මන් පරම්පරාව විදේශ සිනමාපට සහ ශානර සමඟ ගනුදෙනු කරන, නරඹන පිරිසක් නිසා.
‘ද ලේක්’ ටෙලිනාට්‍යයේ තිර පිටපත ලියද්දි නිශ්චිත වූ ඉල්ලක්කගත ප්‍රේක්ෂකාගාරයක් වෙනුවෙන්ද? මෙය රචනා කළේ එසේත් නැතිනම් මහා ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන්ද?
නිර්මාණයක් කරද්දි ටාගට් ඕඩියන්ස් එක මේක යැයි හිතලා කරන්නේ නැහැ. නමුත් අපිටත් නොදැනුම්වත්වම අවස්ථානුකුලව කිසියම් නිශ්චිත ඕඩියන්ස් එකක් වැලඳ ගන්නවා. මම රචනා කරපු රොෂාන් රවීන්ද්‍රගේ ‘නටත් අයෙක් සුරා මතින්’ වගේ නාට්‍යයක්. තව නාට්‍යයක් ලියුවා ‘නොක්අවුට්’ කියලා. ඒකේ කතාව බොක්සිං ක්‍රිඩාව පාදක කරගෙන ලියුවක්. ඉතිත් මේ නාට්‍ය දෙකම දෙවිදියක්. ඉතින් ‘ද ලේක්’ නාට්‍යය කියන්නේ සයිකොලජිකල් – ත්‍රිලර් වැඩක්.
රැකියා විරහිත උපාධිධාරින් ගැටලුව පිළිබඳ ඔබ මීට වසර ගණනකට පෙර ලියු ‘ඇබැර්තු ඇත’ නාට්‍ය නැවත කතාබහට ලක්වෙනවා. මේ පිළිබඳව අදහස මොකක්ද?
ඇත්තටම ඒ වගේ ප්‍රශ්නයක් අපි වගේ තුන්වැනි ලෝකයේ රටවලට තෛ්රකල් ප්‍රශ්නයක්. මේ රටේ විප්ලව ඇති වෙලා තියෙනවා. තරුණ තරුණියන් කැරලි ගහලා තියෙනවා. ඒ මේ ප්රශ්නය නිසා. සාගරයක් මැද චිත්‍රපටයේ තියෙන්නෙත් මේ ප්රශ්නය. එකපාර ජන්ද ගුණ්ඩුවක් විදියට හරි 40,000කට රැකියා දෙනවා. හිතන්න කොච්චර ප්‍රමාණයක් මේකේ එකතුවෙලා තියෙනවද? කියලා කාලයක ඉඳන්. විශ්වවිද්‍යාල ඇතුළේ තියෙන බහුතරයක් උපාධි රැකියා කේන්ද්‍රීය නැහැනේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න එනවා. තරුණයන්ට හීන තියෙනවා. හීන බොඳ වුණාම තමයි පුපුරායාමක් එන්නේ. පුපුරායාම තමයි අවසානයේ අරගල කිරීම.
ඔබ විශ්වාස කරන විදියට හොඳ තිර රචකයකු සතුවිය යුතු විශේෂ ගුණාංග මොනවාද?
පළවෙනි දේ තමයි තිරරචනය මොකක්ද? කියන එක සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් තිබිය යුතුයි. අනෙක් දේ තමයි සමාජ නිරික්ෂණය. සමාජය සමඟ ගැවසීම. මම සෑමවිටම කරන දෙයක් තමයි උදේ නැගිට්ටම පත්තර විස්තරය දාගෙන තමයි වැඩ කරන්නේ. ඒ වගේම ශානර භේදයකින් තොරව චිත්‍රපට, ටෙලි නාට්‍ය බලන්න ඔින. ඒවා තිර රචනාවන් සඳහා අතිශය වැදගත්. අනෙක් කාරණය අපි ලියන දේ ප්‍රබන්ධ වුණත් තිර රචනාව ඇතුළේ නිරවද්‍යතාවය, විශ්වසනීයත්වය සහිතව රචනා වී තිබිය යුතුයි.
ඔබ තිර රචනාවන් කරනවිට සිදු කරන අභ්‍යාස මොනවද?
ඔවි. ඒක විෂයානුබද්ධයි. අපි කරන දේට අනිවාර්යයෙන්ම රිසර්ච් එකක් කරන්න ඕන. කිසියම් හැදැරීමක් කරන්න ඔින. උදාහරණයක් විදියට මම තිර රචනාව ලියපු ‘තප්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යය. කළු සල්ලි සුදු කරන ජාවාරමක් ගැන තමයි මෙහි කතා කරන්නේ. මම තිර රචනාව ලියනකොට කළු සල්ලි කියන්නේ මොනවද? කියන එක ගැන දැනගෙන ඉන්න ඔින. බන්ධනාගාරය ගැන දැනගෙන ඉන්න ඔින. ඒ වගේම අපරාධ නීතිය ගැන. අන්න එහෙම රිසර්ච් එක අනුව තමයි යන්න ඕන. තේමාව, දෘෂ්ටිවාදය, ආඛ්‍යානය, වස්තු බිජය අවසානයේදී තමයි තිර රචනාව ලියන්න ඕන. අන්න එහෙම පිළිවෙළක් ඇතිව තමයි මම තිර රචනාව ලියන්නේ. මම තිර පිටපතක් ලියනකොට පර්යේෂණයක් කිරීම නම් අනිවාර්යයි
ටෙලිනාට්‍යය කතාවක් සඳහා තිර පිටපතක් ලිවීමේ දී අධ්යක්ෂවරයාට සාපේක්ෂව ඔබට ලැබෙන නිදහසක් කොහොමද?
බොහෝ වෙලාවට අධ්යක්ෂවරයා මම ලියන තිර පිටපත වෙනස් කරන්න එන්නේ නෑ. වචනයක්, දෙකක්, කටේ හුරුවට හැදෙන දෙයක් ඇරෙන්න වෙනස් වෙන්නේම නැහැ. සමහර අය ඉන්නවා පෑන අරගෙන කපල කොටලා තිර පිටපත වෙනස් කරගන්න. මම එහෙම කරන්න දෙන්නේ නෑ. මගේ කන්ෆිඩන්ස් එක තියෙනවා. ‘ද ලේක්’ කියන්නේ පටැලිවිල්ලක් එක්ක යන කතාවක්. ඒ නිසා තිර පිටපත රචනා කරනකොට සෑහෙන විදියට වගකීමෙන් තමයි කරන්නේ. තිර පිටපතේ තියෙන දේ අධ්යක්ෂවරයා ග්‍රහණය කරගත යුතුයි.
ඔබෙි තිර පිටපත් ලිවීම සඳහා බලපෑ විශේෂ පුද්ගලයන් හෝ කලා නිර්මාණ මොනවද?
මම සන්නස්ගල සර්ගේ පන්ති යන කාලේ සර් එක්ක වැඩ කළා. සර්ට සතියකට සල්ලි දෙනවා පොත් අරගන්න කියලා. ඒ සාහිත්‍ය පරිසරය හැදුණා. සර් මට ජීවිතය පන්නරයක් දුන්නා. තාත්තගේ පුස්තකාලයක් තිබුණා. මම සාමාන්‍ය පෙළ ඉවරවෙනකොට මාර්ටින් වික්රමසිංහව කියවලා ඉවර කළා. සුගතපාල ද සිල්වා, කරුණාසේන ජයලත්, උපුල් ශාන්ත සන්නස්ගල, කේ.ජී කරුණාතිලකගේ කෘති කියවුවා. ඇට මැස්සා පොතට ආසයි. බෘනෝ ආපිටිස්, ඇල්බෙයා කැමුගේ පොත්වලට ආසයි. කැමුගේ සාංදෘෂ්ටිකවාදය මට ගොඩක් දැනුණා. බෞද්ධ දර්ශනය, ඛලීල් ජිබ්රාන්ගේ දර්ශනය මට සැහෙන දුරට බලපෑවා. ඒ වගේම ජී.බී සේනානායක මට සෑහෙන බලපෑවා. මේ නැරේටිව්ස් නිර්මාණය වෙන්න මෙි සියළු දේ බලපෑවා.
සාමාන්‍යයෙන් ලියන කාලේට හැසිරීම මොනවගේද? දිනපතා ලියනවද? නොනවත්වා ලිවීම සිදු කරනවද?
සතියෙන් කොහොමත් දවස් පහක් ලියනවා. දවස් දෙකක් විතර විවේකයෙන් ඉන්නවා. ලියන කාලේදී හුදෙකලාව ඉන්නවා. බිරිඳ රාජකාරියට යනවා. දරුවෝ පාසල් යනවා. ගෙදර ලියනවිට මමයි බල්ලයි විතරයි ඉන්නේ. සමහර තිර පිටපත් ලියනවිට මට ඩිප්රෙෂන් පවා හැදුණා. ‘තප්පරයක් දෙන්න’ ටෙලි නාට්‍ය එවැනි එකක්. ‘ද ලේක්’ ටෙලි නාට්‍ය තිර පිටපත ලියද්දිත් ඒ වගේ දැනුණා. හැබැයි ‘ලලයි ලිලයි ලයි’ විනෝදයෙන් ලියපු තිර පිටපතක්.
මලින්ත විතානගේ
[email protected]