Home » සනීගේ මන්දිරය

සනීගේ මන්දිරය

by mavan
October 16, 2025 12:06 pm 0 comment

සිංහල සිනමාවේ අපට සිටින ප්‍රවීණ ප්‍රතිභා සම්පන්න රූපණවේදියකු වූ, බුද්ධික ජයරත්න ප්‍රධාන චරිතය නිරූපණයෙන් දායක වන ඕස්ට්‍රේලියානු චිත්‍රපටියක් වූ SUNNY’S MANSION පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යජාලාවන් තුළ හා වෙනත් මාධ්‍යන් තුළ කථිකාවක් නිර්මාණය වී ඇත . එහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ද ශ්‍රී ලාංකිකයෙකු වීමයි. අධ්‍යක්ෂවරයාගේ මනසේ ඇඳෙන්නේ ‍මෙහි ප්‍රධාන චරිතය සඳහා ආසියානු ජාතිකයෙක් සුදුසුයි යන හැඟීමයි. ඒ අනුව බුද්ධික ජයරත්න ශිල්පියාට මෙම අවස්ථාව හිමි වී ඇත.

ඕස්ට්‍රේලියාවේ ඇති ඉතාමත් පැරණි සුවිසාල මන්දිරයක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය හොල්මන් අවතාර ඇතුළු අද්භූතජනක සිදුවීම් වලින් ගහන ‍ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, මන්ත්‍ර ශාස්ත්‍ර හා විශේෂ බලයක් සහිත “ඩාර් ” යන මන්ත්‍රාචාර්යවරයකු ගේ භූමිකාවට බුද්ධික ජයරත්න විසින් සිය රංගන දායකත්වය දක්වා ඇත. ඩාර් යනු ඉන්න හිටින්න ස්ථිර නිවහනක් නැති, හිතුණු තැනක ලැගුම් ගන්නා පුද්ගලයෙකි. ඉහත කී මන්දීරය අද්භූත බලවේගයකට නතුව පැවතීම, එහි හිමිකරුට සහ ඔහුගේ පවුලේ සමාජිකයන් හට විශාල ගැටලුවක්ව තිබියදී, එම උවදුරෙන් මිදීම සඳහා ඩාර්ගේ උදව් පැතීමට හිමිකරු පෙලඹේ. ඉන් අනතුරුව සිදුවන සිදුවීම් පෙළ වටා මෙම කතාව ගොඩනැගී ඇත.

UNNY’S MANSION තිර පිටපත් රචකයා මෙන්ම නිෂ්පාදන අධ්‍යක්ෂවරයා වන හර්මන් පෙරේරා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ 2008 වසරේදීයි. විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණයෙකු වූ ඔහු සිනමා කලාවට ඇති ඇල්ම හා ආදරය නිසාම , ඕස්ට්‍රේලියානු චිත්‍රපට පදනමේ චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳව පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, ඕස්ට්‍රේලියානු චිත්‍රපට රූපවාහිනී සහ ගුවන් විදුලි පාසල (AFTRS) විසින් මෙහෙයවනු ලබන නූතන සිනමාකරණය පිළිබඳව පාඨමාලාව සම්පූර්ණ කරන අතරතුර, ඔහු විසින්ම තිර පිටපත් රචනා කර කෙටි චිත්‍රපට ත්‍රීත්වයක් අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කර ඇත.

“Flat Grey Sky ” (2013), ” Unpredictable (2016), සහ  ” Deeper “(2019) මෙම නිර්මාණ ත්‍රිත්වය ජාත්‍යන්තර චිත්‍රපට උලෙළයන් රැසක් නියෝජනය කරමින් සම්මාන කිහිපයකටම හිමිකම් කියා ඇති අතර, විශේෂයෙන්ම ඔහු විසින් නිර්මාණය කළ” Unpredictable “නිර්මාණය එරට ඩීකින් විශ්ව විද්‍යාලයේ නිර්මාණාත්මක උපාධිය ලබා ගැනීම සඳහා ඔහුට මග පාදා ඇත. විශ්ව විද්‍යාලයේ අවසාන අධ්‍යයන වාරයේදී ඔහු ” The Owl ” රචනා කර ඇති අතර 2020 වසරේ බෙල්ජියමේ පැවැති චිත්‍රපට උලෙළේ ” ස්ක්‍රිප්ට් ඔෆ් ද ෆෙස්ටිවල් ” සම්මානය සහ 2019 ඉන්දු ගෝලීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපට පිටපත සඳහා වන සම්මානයට ද හිමිකම් ලබා ඇත. නිර්මාණාත්මක කලා චිත්‍රපට හා රූපවාහිනිය, උපදේශනය, මානව සම්පත් කළමනාකරණය, නීති අධ්‍යයනය, පුහුණුව සහ සංවර්ධනය, අලෙවිකරණය සහ ආහාර පාන වර්ග මෙහෙයුම් යන කර්මාන්ත හතක් පුරා විහිදෙන විවිධාකාර වෘත්තීය පසුබිමක් ඇති ඔහු, වෘත්තීය හෝටල් කරුවෙකු සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙසට ද එරට සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනගාගෙන ඇති අයෙකි.

SUNNY’S MANSION චිත්‍රපටයේ රංගනයෙන්, ලාරා ඩීම් , බුද්ධික ජයරත්න, කාරා මැතිව්ස්, හැරීඩ් කෙනඩි, නිවා පෙරේරා, ටොම් මාර්චන්ට්, එලී ස්ටුවර්ට්, ටොම් මැක්තී, ජේම්ස් බෝල්ටන් සහ ඊතන් කුක් ඇතුළු පිරිසක් දායකව ඇත.

කාර්මික දායකත්වයෙන්,
තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය -හර්මන් පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – කොන්‍ රාඩ් මැකාති
සංගීත සංයෝජනය හා ශබ්ද නිර්මාණය -ඉසියා කෙන්ඩල්
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග – කෙලී ෂීරන්
සංස්කරණය – බෙනී ගෝල්ඩ්මන්
නිෂ්පාදන සැලසුම – ඇලිසන් රේගන්
වර්ණ සංයෝජනය – මැක්ස් ස්ලස්කි
සහය අධ්‍යක්ෂණය – හෙලින් ඩන්ලොප්
අංග රචනය සහ කොණ්ඩා සැකසුම -ඉවානා සිකොන්
කැමරා සහය -ඩොමිනික් මුල්ලිගන්.
මෙම චිත්‍රපටය ඔක්තෝබර් 19 වන දින සිට භාෂා 37 කින් යුතුව ලෝකය පුරා තිරගත වීමට නියමිතව ඇත.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT