Home » සතිස්චන්ද්‍ර සමුගනී

සතිස්චන්ද්‍ර සමුගනී

by shanaka
December 25, 2025 1:00 am 0 comment

ප්‍රවීණ නාට්‍යවේදියෙකු, රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ ලේඛකයෙකු වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා දිවි රඟමඬලින් සමුගත්තේය. 1941 පෙබරවාරි 11 දින උපත ලද පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව යන අංශයන් ත්‍රිත්වයේම දස්කම් පෑ ඔහුගේ කලා ජීවිතය දශක පහකට වැඩිය.

1953 දී රේඩියෝ සිලෝන් හි ළමාපිටිය වැඩසටහනට සම්බන්ධ වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් 1961 දී වේදිකාවට අවතීර්ණ විය. ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය වූයේ බකතපස්‍ ය.

1973 දී මාතර ආරච්චි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ඔහු තම සිනමා ගමන ආරම්භ කළේය. මාතර ආරච්චි, සැඩොල් කඳුළු, රජගෙදර පරවියෝ, ශ්‍රී මදාරා, සතර දිගන්තේ, අධිෂ්ඨානය, පොඩි මල්ලී, ක්‍රිස්තු චරිතය ඇතුළු චිත්‍රපට ගණනාවකට ඔහු රංගනයෙන් දායක වී ඇත. පළිඟු මැණිකේ, මිහිකතගේ දරුවෝ, නාමල් ගොල්ල, උතුවන් කන්දේ සරදියෙල්, ගැමුණු මහරජ ඇතුළු ටෙලි නාට්‍ය නිර්මාණ ගණනාවක ඔහුගේ රංගනය කැපී පෙනුණි.

2024 සරසවිය රණතිසර සම්මානයෙන් පිදුම් ලැබූ සතිස්, කෙටි රංගනයක් උදෙසා කොටි වලිගය චිත්‍රපටයට සරසවිය කුසලතා සම්මානය දිනාගනිමින් වාර්තාවක් තැබුවේය.

1985 දී හොඳම සහය නළුවා ලෙසින් (හිමකතර) ජනාධිපති සම්මානයෙන්ද, 2003 දී ටෙලි නාට්‍ය දායකත්වය උදෙසා යූ. ඩබ්ලිව් සුමතිපාල සම්මානයෙන්ද, 2010 වසරේදී රයිගම් ටෙලීස් හිදී ප්‍රතිභා ප්‍රභා සම්මානයෙන්ද සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් පිදුම් ලැබීය. කලාව වෙනුවෙන් තම ජීවිතය කැප කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මිය යන විට අසූපස් වැනි වියේ පසුවුයේය. ඔහු වෙනුවෙන් වෙන්වූ විශේෂ ලිපි පෙළක් ලබන සතියේ සරසවිය කලාපයෙන් බලාපොරොත්තු වන්න.

සතිස්චන්ද්‍රයන්ගේ අවසන් කටයුතු සිකුරාදා (26) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

දේහය තැන්පත් කෙරෙන ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම්දීමට අපි බලාපොරොත්තු වෙමු.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT