ඇය සැබැවින්ම සුවිශේෂී තැනැත්තියකි. ඒ සුවිශේෂි බවට කදිම සාක්ෂි මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ හරි අපූරුවට දැක ගතහැකිය. සංඥා භාෂාව පිළිබඳව පර්යේෂණාත්මක නව නිර්මාණකරණයේ යෙදෙන ඇය මේ වන විට බිහිරි, ශ්‍රවණ ඌනතා, බුද්ධි ඌනතා, අධික්‍රියාශීලී ඔටිසම් තත්ත්වයේ පෙන දරුවන් වෙනුවෙන් නව සංඥා භාෂා සංකල්පයක් හඳුන්වා දී ඇති ඇය නමින් සුලීෂා පෙරේරාය.
සංඥාභාෂාව වෙනස් හැඩයක් ඔස්සේ භාවිත කරන ගුරුවරියක වන ඈ සංඥාභාෂා නර්තන අර්ථ නිරූපණය යනුවෙන් වෙනස්ම ආකාරයක සංකල්පයක් හඳුන්වා දී ඇත. එයින් ආබාධ සහිත දරුවන්ගේ රසවින්දනය හා නිර්මාණාත්මක වර්ධනය ඉහළට ඔසවා ඇති ඈ මෙතෙක් භාවිතා කළ සාම්ප්‍රදායික සංඥා භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේදය නව මඟකට යොමු කර ඇත. මනෝ චිකිත්සක ආබාධිතතා විශේඥවරියක මෙන්ම සංඥා භාෂා අර්ථ නිරූපණයේ නිර්මාතෘවරියක ලෙසින් කටයුතු කරන සුලීෂා පෙරේරා සරසවිය හා කතාබහට එක්වෙමින්.
ඉතා කෙටි කලක් තුළ සමාජ මාධ්‍යයේ වයිරල් වෙමින් කරළියට ආ සුලීෂා පෙරේරා කවුද කියලා අපට කිව්වොත්?
මම අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුළ මිනිස්සු අතර ජනප්‍රිය වූ නිසා තමයි ශ්‍රවණාබාධිත ප්‍රජාව වෙනුවෙන් මම වැඩ කරනවා කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මගේ ආචාර්ය උපාධිය විශේෂ අධ්‍යාපනය හා මානසික සෞඛ්‍ය. මේ තුළ අපිට හමුවන එක්තරා ජන කොට්ඨාසයක් තමයි ශ්‍රවණාබාධිත අය උපතේ සිට මරණය දක්වා සියලුම විශේෂ අවශ්‍යතා ඇති අයගේ ශාරීරික කායික මානසික සංවර්ධනය තමයි මගේ වෘත්තිය ඇතුලේ සොයා බලන්නේ. ඊට අවශ්‍ය ප්‍රතිකාර සැලසුම් සෑදීම භෞත චිකිත්සක උපදේශන ලබාදීම, ඔවුන්ගේ වෘත්තීය නිපුණතාවයන් ඔප්නැංවීම, කුසලතා සංවර්ධනය සිදුකරනු ලබනවා. යම්කිසි පුද්ගලයෙක් උපතේ සිට හෝ උපතින් පසු ආබාධිත වෙනවා නම් ඒ පුද්ගලයාගේ විවිධ සංවර්ධන අවධිවල ඇතිවන කායික මානසික ගැටලුවලට මම සේවාවක් සිදු කරනු ලබනවා. මනෝ චිකිත්සකවරියක් ලෙසත් කටයුතු කරනු ලබනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාර සේවාවේ හිටපු මනෝ චිකිත්සකවරියක් ලෙසත් මම කටයුතු කරපු කෙනෙක්. ශ්‍රී ලංකා යුද හමුදාවේ අත්තිඩිය මිහිඳුසෙත් මැදුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මනෝ චිකිත්සකවරියක් නර්තන හා රංගන චලන චිකිත්සකවරියක් ලෙස ආබාධිත සොල්දාදුවන්ට සේවය කරනු ලබනවා. ලංකාව පුරා ඇති අභිමංසල වගේ විශේෂ අවශ්‍යතා ඇති අය සිටින ස්ථාන වෙනුවෙන් සේවය සපයන මනෝ චිකිත්සකවරියක හා ආබාධිතතා විශේෂඥවරියක ලෙසින් කටයුතු කරන කෙනෙක්.
ඔබ ආචාර්ය උපාධිය හැදෑරීමෙන් පසුවද සංඥා භාෂාව පිළිබඳ පුහුණුවක් ලබන්නේ?
ඔව් මම ජාතික අධ්‍යාපන ආයතනයේ සංඥා භාෂාව පිළිබඳව පුහුණු ඩිප්ලෝමාධාරිනියක් ලෙස 2018 වසරේ අධ්‍යයන කටයුතු අවසන් කළා. ආබාධිතතා විශේෂඥවරියක් ලෙස කටයුතු කිරීමේදී පුළුල් විෂය ක්ෂේත්‍රයක් තුළ කටයුතු කළ යුතු වෙනවා. මනෝ චිකිත්සකවරියක්, රංග චිකිත්සකවරියක්, නර්තන චලන චිකිත්සක විශේෂ අධ්‍යයන ගුරුවරියක ලෙසිනුත් කටයුතු කිරීම සිදුකරනු ලබනවා.
මෙවැනි අංශයේ දුරගමනක් යන්නද ඔබ කුඩා කළ පටන් සිහින මැවුවේ?
මගේ අම්මා විශේෂ අධ්‍යයන ගුරුවරියක්. ඇය සේවය කළේ පිටකෝට්ටේ සෙවණ විශේෂ පාසලේ. මට අවුරුදු දෙක තුන වයසේ ඉඳලා මගේ කුඩා අවධිය ගෙවිල ගියේ මේ පාසලේ මගේ මව ගුරුවරියක් නිසාවෙන් මේ නිසාම මට විශේෂ උනන්දුවක් ඇති වුණා මෙවැනි අය ගැන සොයන්න. ඒ අය සමඟ ගනුදෙනු කරන්න විෂය ක්ෂේත්‍රය වෙත යොමු වෙන්න.
සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණ සංකල්පය රැගෙන එන්නේ ඔබ?
මේක මගේ සංකල්පයක්. සංඥා භාෂාවේ විෂය ක්ෂේත්‍රයට අද මෙය ඇතුළත්. 2017 වසරේ ජාතික අධ්‍යාපන ආයතනයේ සංඥා භාෂා, ඩිප්ලෝමාව කිරීමත් සමඟ අනිවාර්ය දෙයක් ටීචින් ප්‍රැක්ටිස් ගුරුවරියක් වෙන්නනේ අපි ඉගෙන ගන්නේ. මේ පුහුණුවට යනකොට මට අවශ්‍ය වුණා සාමාන්‍ය දරුවන්ට උගන්වන ක්‍රමය වෙනස් කරලා අලුත් දේකින් උගන්වන්න. අපිට සංඥා භාෂා පරිවර්තකවරු විදිහට කටයුතු කරන්න දැනුමක් අපේ ගුරුවරු ලබාදීලා තිබුණා. මෙහිදී මට තේරුණා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමඟ ගනුදෙනුවේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමඟ භාෂාව ප්‍රායෝගිකව භාවිතයේදී ගනුදෙනු කරන්න මම පරීක්ෂණ සිදු කළා. එහිදී මට පෙනුණා ළමයින්ට කලාව කියන විෂය ක්ෂේත්‍රයේ සංඥා භාෂාවේ පරිවර්තනයක් සිදුනොවන වග. ඒ අනුව මම සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය මගේම සංකල්පයක් ලෙස විෂය ක්ෂේත්‍රයට රැගෙන ආවා.
මෙය සාමාන්‍ය සංඥා භාෂා පරිවර්තනයක් නොවෙයි. සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය කියන්නේ පාද හසුරුවමින් සංගීතය නැටුම් පිළිබඳව බිහිරි ප්‍රජාවට සංඥා භාෂාව සමඟ නර්තනයෙන් අර්ථ නිරූපණය කිරීම. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් ඒ නිසා එය සෑමකෙනෙක්ටම රසවිඳීමට අවස්ථාව තිබිය යුතුයි. සංගීතය, නර්තනය, නාට්‍ය කලාව වගේ දෘශ්‍ය මාධ්‍ය සංඥා භාෂාවෙන් පරිවර්තනය වෙනවා අඩුයි.
සුලීෂා නර්තන ශිල්පිනියක්ද?
මම වෘත්තීමය නර්තන ශිල්පිනියක් තමයි. 1982 දී සුදර්ශියේ දී රැජිනි ිසෙල්වනායගම් මහත්මිය යටතේ නර්තනය ඉගෙන ගත්තා. ඊට පස්සේ සෝමපාල මුදුන්කොත්, හේමන්ත ඊරියගම මහතාගෙන් මම නර්තනය ඉගෙන ගන්නවා. උඩරට පහතරට භරත නාට්‍යයම්, සබරගමු, කථක් නර්තන ශෛලීන් පහක් මම ඉගෙන ගන්නවා. මම විද්‍යා විෂය දහරාවලින් අධ්‍යාපනය හැදෑරුවාට 1997 දී උසස් පෙළ මම පළමුවරට කළේ කලා විෂයන්වලින්. 1995 වර්ෂයේ මම ජයලාල් රෝහණ මහතා ඇසුරේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. එතුමන්ගේ පළමු කණ්ඩායමේ ගෝලයෙක් මම. හැබැයි දිගටම රංගනයට එන්න ආශා කළේ නෑ.
මුල් කාලයේ මගේ නර්තනය සාර්ථක වුණේ නෑ. සංඥා භාෂාවත් සමඟ නර්තනය කළාම ඒකෙ ලොකු සාර්ථකත්වයක් අත්විඳීන්න පුළුවන් වුණා. ටීචින් ප්‍රැක්ටිස් වලදී මම විශේෂ අවසරයක් අරන් කළේම සංඥාභාෂා නිර්මාණ නැටුමෙන් මම ඉගැන්නුවා. එතකොට මට දරුවෝ ආශා කළා. ඒ අයගේ අවධානය මට ගන්න පුළුවන් වුණා. ඒ අයට මම විශේෂ වුණා. මම හදාරලා තියෙන භාව රස සංඥා කලාවේ තියන අංග සමඟ එකට එකතු වුණාම අලුත් යමක් ඒ තුළින් ජනිත වුණා.
මුල් කාලේ නොවුනත් මම නර්තන කලාවට රිද්මයක් එක්කළා. පසු කලෙක උඩරට ශෛලියට, පහත රට ශෛලියට, උඩරට වන්නම් වලට පහතරට කවිවලට භරත නාට්‍යයම් දාල හැම ශෛලියකටම කකුලේ පාද හසුරුවමින් සංඥා භාෂාව සමඟ කතාබහක් ඇති කරලා තියෙනවා.
මේ වනවිට ඔබේම ගෝල පිරිසක් බිහි කරලා නැද්ද?
මගේ පිටුපසින් එන ගෝල පිරිසක් ඉන්නවා.
ලෝකය තුළ සංඥා භාෂාව භාවිතය ගැනත් ඔබ විමසිලිමත් වුණාද ?
ඔව්. යුරෝපා රටවල සංඥා භාෂාවෙන් නර්තන කටයුතු සිදුකරන අවස්ථා තියෙනවා. ඉන්දියාවේ භරත නැටුම් ආශ්‍රයෙන් කළත් විධිමත්භාවයකින් එය නෑ. ලංකාව තුළ මම මගේම නිර්මාණයක් විදිහට පාද හසුරුවමින්, දේශීය නර්තන කලාව කොහොමද සන්නිවේදන ගැටලු තියෙන ප්‍රජාවට භාවිතා කරන්නේ කියන දේ ඔප්පු කරල පෙන්නුවා. මනෝචිකිත්සකවරයෙක් හෝ වෛද්‍යවරයෙක් අනිවාර්යෙන් සංඥා භාෂා ඉගෙනගෙන තිබිය යුතුයි. එහෙම නොවුණොත් සංඥා භාෂා පරිවර්තකයෙක්ගේ උදව් අවශ්‍ය වෙනවා. නැත්නම් තමන්ට ඒ දේ හරියට කරන්න ලැබෙන්නේ නෑ. ලංකාවේ මේ දෙයාකාරයට කරන එකම කෙනත් මම.
සංඥාභාෂා නර්තන අර්ථ නිරූපණය කියන වචනය පවා හැදුවේ ඔබ?
ලිවීම, කියවීම අඩු මට්ටම ඇති පිරිස් වෙත මම සරල සංඥම අභ්‍යාස කොටස එකතු කරගත්තා. මානසික ගැටලු, මානසික රෝගවලදී උපදේශන ක්‍රියාවලියේදී චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් විදියට සරල සංයම ආභාසයක් විදිහට නර්තන චලන චිකිත්සාව සංඥාභාෂාවෙන් නර්තන අර්ථ නිරූපණය කළා. ගැඹුරු සංයම අභ්‍යාස මම සංඥා භාෂාව හරහා කරන්නත් උත්සාහ ගත්තා.
රණවිරුවන්ටත් උපදේශන සේවය හරි අපූරුවට ලබාදීමක් සිද්ධ කරනවා නේද?
අත්තිඩියේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මිහිඳුසෙත් මැදුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආබාධි විශේෂඥාවරියක් ලෙස කටයුතු කරනවා. යුද්ධයෙන් ආබාධිත වූ විවිධ සංකූලතාවන්ට ලක් වූ අයට සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය භාවිතයෙන් ගැඹුරු සංයම අභ්‍යාස සරල සංයම අභ්‍යාස ඉගැන්වීම සිද්ධ කරනවා. සියලු අභ්‍යාස ගැනෙන්නේ රංග චිකිත්සාව විධියට මනෝචිකිත්සාව ඇතුළේ තියෙන උපමාතෘකාවක් තමයි රංග චිකිත්සාව. ආබාධිත වෙලා ඉන්න රණවිරුවෝ මමත් සමග බොහොම ආශාවෙන් මේ අභ්‍යාස කරනවා. ඊට අමතරව නාරාහේන්පිට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙනෙහස විශේෂ පාසලේ ත්‍රිවිධ හමුදාවේ අයගේ ආබාධිත දරුවන් වෙනුවෙනුත් මම රංග චිකිත්සකවරියක් ලෙස කටයුතු කරනවා.
මීට පෙරත් ශ්‍රවණාබාධිත අයට ඉගැන්වීම් කටයුතු සිදු කළ උපදේශකයන් හිටියත් මෙවැනි ආකාරයෙන් ඔබ මෙතරම් කෙටි කාලයක් තුළ ජනප්‍රිය වීමේ රහස මොකක්ද?
පළමු කාරණය කලාවේ අක්මුල් මගේ ඉගැන්වීමේ කලාවට එක්වීම ඒක මේ ජනප්‍රියත්වයේ එකම රහසයි
දේශයේ සිනමා මහා කලා මංගල්‍යයේ පවා නර්තන පෙළහර පෑ ශිල්පිනියක් ඔබ?
මට අවුරුදු දහය දොළහ වගේ කාලයේ මම රැජිනි සෙල්ලවනායගම් මහත්මිය යටතේ නර්තනය ඉගෙන ගන්න කාලේ මම සරසවිය සම්මාන උලෙළේ නැටුවා. ඉස්සර උලෙළේ අලංකාරය වෙනුවෙන් නළු නිළියෝ නෙමෙයි නටන්නේ අපි. නිළියෝ නළුවෝ අපි වේදිකාවේ නටනවා බලන් ඉන්නවා. සරසවිය සම්මාන උලෙළේ මම බී.එම්.අයි.සී.එච්. එකේ බොහෝ අවස්ථාවල නටලා තියෙනවා. පුංචි දැරියක්ව ඉන්දැද්දි රැජිනි මිස්ගේ ඩාන්සින් කණ්ඩායමේ එක් ශිල්පිනියක් විදිහට මම මේ මහා සිනමා කලා මංගල්‍යය වේදිකාව වර්ණවත් කළ ශිල්පිනියක්. එදා මේ මහා කලා මංගල්‍යය ලස්සන කරන්න නටපු මම, අද ඒ උත්සවයේ අයිතිකරුවන් වූ සරසවිය පත්තරයත් සමග සාකච්ඡාවක් පවත්වනවා. කොහොමද ඒ සුන්දර අතීතයේ සැමරුම.
ඔබ මෙතරම් කලාවට පෙම් බඳීන තැනැත්තියක් බවට පත්වන්නේ කොහොමද?
මගේ ළමා කාලයේ මම කලාවට යොමු වෙලා හිටිය නිසාම තමයි මම වෘත්තීමය වශයෙන් සංඥා භාෂා රංග චිකිත්සාවට මේ ලෙසින් යොමු වෙන්නේ. 1982 දී සුදර්ශියේ පැවැති රැජිනි සෙල්වනායගම් මහත්මියගේ නර්තන ක්ලාස්වල මම ශිෂ්‍යාවක්. උදේ ඉඳලා රෑ වෙනකම් මම ඒ පරිසරය තුළ දැක්කෙ නාට්‍ය පුහුණුවීම්. මගේ පුහුණුවීම් වලින් ලැබෙන විරාමයකින් පස්සේ මගේ වැඩි කාලයක් ගෙවිලා ගියේ අර නාට්‍ය පිහුණුවීම් නැරඹීමට. ඔය කාලෙ ජාතික රූපවාහිනිය පටන් ගන්න ළමා නාට්‍ය වගයකට ළමා නිළියක් හොයාගෙන ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතාත් ශ්‍රීමතී ලියනගේ මහත්මියත් සුදර්ශියට ආවා. ඒ එනකොට මම හිටියේ එතන තිබුණු නුග ගහක වැලක එල්ලිලා. කොහොම හරි ක්ලාස් එකෙන් දරුවකු තෝරාගෙන යන්න එළියට ආපු සාලමන් ෆොන්සේකා මහත්තයා මාව දැකලා ශ්‍රීමති නෝනට කිව්වා අන්න අර දරුවා ගැන බලමු කියලා. මම ළඟට ආපු ඒ දෙන්නා කිව්වා දුව වැල අතහැරලා ගහෙන් බහින්න කියලා. මම බැස්සා ඒ පාර මගේ ඔළුව අතගාපු සාලමන් මහතා ශ්‍රිමතී නෝනට කිව්වා, ශ්‍රීමතී අර ළමයා නෙමේ අපිට හරියන්නෙ මේ ළමයා කියලා. ඒ පාර මගේ අම්මා ළඟට කතා කරලා ඒ දෙන්නා විස්තර කළා මේ දරුවාව ළමා වැඩසටහනක නාට්‍යයකට ඕනේ කැමතිද කියලා.
අම්මත් කැමැත්ත පළ කළා. ඊට පස්සේ පෙර පුහුණුවීම්වලට යන්නත් සිද්ධ වුණා. මුලින්ම මම ජාතික රූපවාහිනියේ කතන්දර පිටුවේ ළමා රංග ශිල්පිනියක් විදියට කටයුතු කළා. මගේ පළමු නාට්‍ය වුණේ පොසොන් උදාව එහි ප්‍රධාන චරිතය කළේ මම උපාලි අත්තනායක ජේ.එච්. ජයවර්ධන, දෙනවක හාමිනේ, විජේරත්න වරකාගොඩ වගේ ලංකාවේ ප්‍රවීණයන් සමඟ එදා මට කුඩා කාලයේ රඟපාන්න ලැබුණා. සිඟිති ගෙදර ළමා නාට්‍යයේ ප්‍රධාන චරිතය මම කළා. ඔය අතරේ මට අවස්ථාව උදාවුණා ප්‍රේමකීර්ති අල්විස් මහතාත් සමඟ පිය සටහන් ළමා වැඩසටහනට අවුරුද්දක් විතර සම්බන්ධ වෙලා වැඩ කරන්න. මම කුඩා කළ ලබපු මෙන්න මේ පසුබිම තමයි අද මගේ නිර්මාණකරණයේ සාර්ථකත්වය. මම අවුරුදු දාසය වෙනකන් මම ගෙව්වේ ජාතික රූපවාහිනිය ඇතුළේ ළමා වැඩසටහන්වල.
ඔබ මනෝවිද්‍යා උපදේශිකාවක්?
මම උසස් පෙළ ඉගෙනගන්න කාලේ මගේ හිතට කිසිම හේතුවක් නැතුව අදහසක් ආවා මනෝ විද්‍යාව ඉගෙන ගන්න. මිනිසුන්ගේ හැසිරීම් රටා මට ඉගෙනගන්න ඕනේ කළා. බොහෝ අය ඇසුරු කිරීම තුළ ඔවුන්ගෙන් ලබාගත් ආභාසයන් මගේ නිර්මාණ හරහා ඉදිරිපත් කරන්න ලැබුණා. මනෝ චිකිත්සකවරියක් ලෙස මම දන්නවා මිනිසුන්ගේ රස.
මනෝ විද්‍යා උපදේශනය ඔබේ දැනුම ග්‍රන්ථයක් ලෙස ලියා එළිදක්වන්න අදහසක් නැද්ද?
මම මීට අවුරුදු පහකට කලින් කරපු පර්යේෂණ තමයි අද සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය හා රංග චිකිත්සාව ලෙස මගෙන් දකින්නේ. මම පර්යේෂණයක් කරලා යමක් හොයාගෙන තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. මට ජනප්‍රිය වෙන්න අවශ්‍ය නැහැ. අවුරුදු පහකට කලින් මම පොත ලිව්වේ.
සුලීෂා මනෝ චිකිත්සකවරියක් පමණක්ම නොවේ. ඔබ වේශ නිරූපණ ශිල්පිනියක් කියලත් ආරංචි?
මම අවුරුදු දහයක් විතර ටී.වී. ටී ආයතනයේ නිදහස් මේකප් ආටිස් කෙනෙක් හැටියට වැඩ කළා. වේශ නිරූපණය පිළිබඳ මම හැදෑරීමක් කරලා තිබුණා. ආචාර්ය ජයලාල් රෝහණ මහතාගෙන් නාට්‍ය හා රංග කලාව සහ වේශ නිරූපණය ඉගෙන ගත්තා. මගේ අම්මත් රූපලාවණ්‍යයට ගොඩක් දක්ෂ තැනැත්තියක්. නිදහස් වේශ නිරූපණ හා කේෂ අලංකාරණ ශිල්පිනියක් ලෙසත් ටී.වී. ටී ආයතනයේ අවුරුදු දහයක් වැඩ කරන්න රවින්ද්‍ර ගුරුගේ මහතා මට අවස්ථාව ලබා දීලා තිබුණා.
සක්‍රියව කලාව තුළ තිරය පිටුපස මෙහෙවරක යෙදෙන ඔබ හා පුරා කියල තිරය ඉදිරියේ ජනප්‍රිය චරිතයක් වන්නේ කොහොමද?
මට ඕනෙ තරම් හැදුනුම්කම් මත කලාවට සම්බන්ධවෙන්න අවස්ථා තිබුණා. නමුත් මම වෙළඳ දැන්වීම් කීපයක රඟපෑවා. මම රඟපෑමම එච්චර ආස කළේ නැහැ. 2017 ඉඳලා මට යූටියුබ් චැනල් එකක් තිබුණා. සයින් ශ්‍රී ලංකා කියලා. සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය ගැන ඒකෙ මම ගොඩක් දේවල් දාලා තිබුණා. මගේ ආශාවට මම නටල දානවා. ඔය අතරේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 29 වෙනිදා මගේ උපන්දිනය දවසේ මිහිඳුසෙත් මැදුරේ මගේ උපන්දිනය වෙනුවෙන් පුංචි උත්සවයක් තිබ්බා. ආබාධිත රණවිරුවන් සමග මම එදා ඇන්දේ නිල්පාට ඔසරියක්. මගේ දිග කොණ්ඩය එදා කොට වෙන්න කැපුවා. මගේ ස්වරූපය කලින් දැක්කාට වඩා වෙනස් වුණා. අපේ රණවිරුවෝ එදා මට උත්සවයේදී කිව්වා අනේ මිස් අපි හැමදාම නටන ශාස්ත්‍රීය ළමා සින්දු ටිකක් පැත්තකින් තියලා අද චූන්වෙන සින්දු ටිකකට නටමු කියලා. මම රටකින් එහා කියන ගීතයේ රීමික්ස් එකට නැටුවා. ඒකට මම එදා දාපු නර්තන අංගයන් අර මිනිස්සු ඉල්ලන එක වුණා. මම ඒක මගේ ෆේස්බුක් එකේ දැම්මා. ඒක මමත් හිතුවේ නැති විදියට ලක්ෂ ගාණක් වයිරල් වෙලා ගියා. එතැනින් පස්සේ මගේ වීඩියෝ ලක්ෂ හෑත්තෑවක් බලපු ඒවත් තිබුණා. මුලදී මුලදී මිනිස්සුන්ට තේරුනේ නැහැ මම මේ මොකක්ද කරන්නේ කියලා. අද වෙනකම් මට කවුරුවත් බැනලා දාලා නෑ. සමාජ සත්කාරයක් විදිහට තමයි මම මේ දේ කරන්නේ. අපේ රටේ මිනිස්සු සංඥා භාෂාව දැකලා තිබුණේ රූපවාහිනියේ නිවුස් පරිවර්තනයෙන් හෝ දේශපාලන වේදිකාවක කතා පරිවර්තනයකදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් වෙනුවෙන් කළ සංඥා භාෂා නර්තන, නිරූපණ භාෂා භාවිතයේදී ගත්තු වීඩියෝ තමයි මේ වෙද්දී වයිරල් වෙලා තියෙන්නේ. මුල් කාලයේ ගොඩක් අය හිතුවේ මම ටික් ටොක් කරනවා කියලා. දැන් මිනිස්සු දන්නවා සංඥා භාෂාව කියන දේ බිහිරි අයට පමණක් නොවෙයි විවිධ සන්නිවේදන ගැටලු තියෙන අයටත් මේක භාවිතා කරන්න පුළුවන් දෙයක් කියලා.
ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ඇති කළේ අපේ රටේ රණවිරුවෝ කියලා මම කිව්වොත්?
අනිවාර්යනේම ඔව්. රණවිරුවෝ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. මට ඒ අය අදටත් පුදුම සහයක් දෙනවා. මම අදටත් ශ්‍රී ලංකා යුද හමුදාවට මගේ සේවය ලබා දෙන්නේ කිසිදු සතයක් නොගෙන නොමිලේ. ඊට එහා ගොස් ඔවුන් මට මගේ කුසලතාවය දියුණු කරගන්න උදව් කරනවා. ඒ රණක්ශිතයෝ හින්දා තමයි අද මම මෙතැන ඉන්නේ.
කලාවෙන් ඔබට ලැබුණු පෝෂණය ගැන ඔබ හරි තෘප්තිමත්ව කතාබහ කරන හැඩයි?
කලාව මට හරිම විශ්මයජනකයි. අපි මුල් පුරුක් ජාතික රූපවාහිනියේ. එදා කලාවේ තිබුණු ලොකු පෞරුෂයන් මගේ ජීවිතය මාර විදිහට කාවදුණා. එදා එක එක පැත්තේ දක්ෂයෝ හිටියේ එක්කෙනයි. අද එකම පෞරුෂයේ ගොඩක් අය ඉන්නවා. නමුත් මගේ පෞරුෂයේ ඉන්නේ මම විතරයි. මගේ ජීවිතයේ මට ඉලක්ක තිබුණා. ගොඩාක් වැඩිහිටි වයස යනකම් මම ඉන්නේ නෑ. විශ්‍රාම ගන්නවා කියලා. මම අවුරුදු 35න් විශ්‍රාම ගත්තා.
ඔබේ ජීවිතය ගැන ආපසු හැරිල බලනකොට මොකද හිතෙන්නේ?
මම ඉගෙන ගත්තේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ. මමත් අක්කාත් හොඳට උසස් පෙළ සාමාන්‍ය පෙළ සමත් වුණා. මම අධ්‍යාපනඥායෙක්. විශේෂ අධ්‍යාපන හා මානසික සෞඛ්‍ය තමයි මගේ ආචාර්ය උපාධියට කළේ. මගේ ආචාර්ය උපාධිය මනෝ චිකිත්සාව ළමා ආරක්‍ෂණය පිළිබඳ මනෝචිකිසිකවරියක ලෙසත් මම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවය කළ කෙනෙක්. මගේ දුවත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය කරලා අවසන්. පුතත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගනිමින් ඉන්නවා අකුරුම නෙමෙයි ජීවිතය. රංග චිකිත්සාව තුළින් මිනිස්සු සුවපත් වෙන්නේ හොඳ පුරවැසියෙක් කොහොමද බිහිවන්නේ කියලා මම මගේ දරුවෝ දෙන්නගෙන් පෙන්නලා දුන්නා. දුවත් විශේෂ අධ්‍යාපනය පිළිබඳ මනෝ චිකිත්සකවරියක ලෙස අධ්‍යාපනයක් ලැබුව කෙනෙක්. දරුවන්ට නිරන්තර පුහුණුව හා අත්දැකීම ලබාදෙන්න ඕනේ. එහෙම නොවුණොත් අපිට ඕනෙ කරන ප්‍රතිඵලය ගන්න ලැබෙන්නේ නැහැ කියන දේ මම අවබෝධ කරගත් දෙයක්.
විශ්‍රාම දිවියක් ගත කලත් ඔබ අද නිරන්තර විවිධ වූ කාර්යන් තුළ නියැළෙන උපදේශිකාවක්?
ඔව් එහෙම වුණා කියලා නෑ මට ජීවත් වෙන්න මගේම කියලා ආයතනයක් තියෙනවා නුගේගොඩ. අයි.එස්.යු. කවුන්සලින් ඉන්ටනැෂනල් කොලේජ් කියලා. මෙතනින් මම විශේෂ අධ්‍යාපනය, මනෝවිද්‍යාව, රංග චිකිත්සාව, සංඥා භාෂාව උගන්වනවා. අන්ෆෝකස් ආට් කියලා. මම දරුවන්ට මගේ නර්තන ශෛලිය ඉගැන්වීම් කටයුතු සිද්ධ කරනවා. විවිධ නර්තන කණ්ඩායම් ඒ අයගේ විවිධ නර්තනයන් සඳහා අද මේ සංඥා භාෂාව යොදාගෙන තියෙනවා. මගේ හැකියාව දැකලා ජාතික අධ්‍යාපන ආයතනයේ අන්තර් කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමිය ජානකී පතිරණගේ මහත්මිය මගේ ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය තුළ දැකලා මට යෝජනා කළා ඔයාගේ මේ දක්ෂතාව එකතුවක් ජාතික අධ්‍යාපන ආයතනය හරහා එළියට දාමු ද කියලා. ගිය අවුරුද්දේ සමාජ සේවා දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනයත් එකතුව ජාත්‍යන්තර සංඥාභාෂා දිනය වෙනුවෙන් ළමා ගීත පහක් මගේ නිර්මාණ ඔස්සේ ඉදිරිපත් කළා. මට හරි සතුටුයි ලංකාවෙ තියෙන බිහිරි පාසල් වල අද උදේට දාන්නේ මේ මගේ ළමා ගීත පහ. මගේ යූටියුබ් චැනල් එකේ තියෙන ළමා ගීතත් ඒ අයට බලන්න සලස්වනවා. සමහර පෞද්ගලික බිහිරි විද්‍යාලවල මගේ සංඥා භාෂා අර්ථ නිරූපණය විෂයක් විදිහට උගන්වනවා. මම දාපු සංඥා භාෂා අද ගොඩක් නර්තනවල භාවිතා කරනවා. ඒක ලොකු ප්‍රවණතාවක් මේ වෙනකොට ලංකාව තුළ සංඥා භාෂාවට ලොකු තැනක් හැදිල තියෙනවා. එයට ආලෝකයක් ලැබිලා තියෙනවා. ඒ කතිකාවත ඇති කළේ මම. අද වෙනකොට කැම්පස්වල පවා මේ සංඥා භාෂාව උගන්වනවා.
