පසුගිය මාර්තු මස 22 වැනිදා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය පණීභාරත රංග ශාලාවේදී කලඑළි දැක්වූ Meladine Rapsody 2026 සංගීත ප්‍රසංගය ‘මෙලඩින්’ සංගීත ආශ්‍රමයේ සිසු සිසුවියන්ගේ ගායන වාදන කුසලතාවේ අලංකාරයෙන් කොළඹ හැඩගැන්වූ රාත්‍රියක් වූවේය.විශේෂත්වය නම් ළමා, යොවුන්, වැඩිහිටි ආදි වූ වෙනස් වයස් කණ්ඩායම් ගණනාවක සිසුන්ගේ ගායන වාදන මාධුර්‍යයෙන් එදින පණීභාරත රංග ශාලාව වර්ණවත් වීමය.
රොක්, රෙගේ, පොප් මෙන්ම සරල සංගීත ආරේ ගීයෙන් ද සිංහල, ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ ගීත ගණනාවකින් ද Meladine Rapsody 2026 වර්ණවත් විය.
මාස ගණනාවක් පුරා ක්‍රමානුකූලව ලද පුහුණුව ඔස්සේ ලද සිය ගායන හා වාදන හැකියා ලොවට ඉදිරිපත් කළ ඔවුහු නිසි මඟ පෙන්වීම, පුහුණුව හා ශික්ෂණය ඔස්සේ යා හැකි දුර පෙන්වූහ.
මෙම මෙලඩින් රැප්සොඩි සංගීත ප්‍රසංගය යථාර්ථයක් බවට පත් කළ ප්‍රධාන නියමුවන් දෙදෙනකු වේ. ඒ සාලිය ඉලංගසිංහ හා දිලීප ලියනගේ ය.
මෙලඩයින් සංගීත ආශ්‍රමයේ නියමුවා වනුයේ සංගීතවේදී සාලිය ඉලංගසිංහය. වර්ෂ 2008 දී කුඩා මිතුරු කණ්ඩායමකට ගිටාර් වාදන පුහුණුවක් ලබා දෙනු සඳහා ගත් ප්‍රවේශය අද මෙලඩයින් සංගීත ආශ්‍රමය ලෙසින් විවිධ වයස් මට්ටම්වල සිසු සිසු සිසුවියන් විශාල පිරිසකට සංගීත දැනුම ලබා දෙන ආයතනයකි. සිය පරිශ්‍රමයේ පසුබිම ගැන සාලිය ඉලංගසිංහ දැක්වුයේ මෙබඳු අදහසකි.
‘ කුඩා කල සිටම පවුල් පසුබිමේ වූ සංගීත නැඹුරුව මෙන්ම මගේ විදු පියස වූ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ඇදුරු මඬුල්ලේ මඟ පෙන්වීමත්, ගාන්ධර්ව සංගීත කණ්ඩායම මෙන්ම ස්වතත් .මියුරු රටා ප්‍රසංග ඔස්සේ ලබා ගත් අත්දැකීම් සමුදායත් මේ ආ ගමන තුළ මට ඉතා විශේෂ වුණා.
මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි සංගීතය කියල කියන්නෙ දරුවන්ගෙ වගේම වැඩිහිටියන්ගෙ මානසික ඒකාග්‍රතාව සේම විනය කුසලතා හා ආකල්ප වර්ධනය කරන්නක් කියන එක.
එපමණක්ද නෙවෙයි මෙවැනි ප්‍රසංගයක තම කුසලතා එළි දැක්වීම ඔස්සේ ඒ සියලු දෙනාගේ පෞරුෂත්ව වර්ධනය සඳහා ද එය මැනැවින් ඉවහල් වූ බව මා විශ්වාස කරනවා. එහිදී එකම කණ්ඩායමක් ලෙස වැඩ කරන්නේ කෙසේද ඒ පිළිබඳ හඳුනා ගැනීමටත් මෙවැනි අවස්ථා වටිනා බව තවදුරටත් මා විශ්වාස කරන දෙයක්. ඉතින් මේ අවස්ථාව ගැන ඔවුන් වගේම මමත් ඉමහත් සතුටට පත් වෙනවා.
විශේෂයෙන් ම මේ අවස්ථාව යථාර්ථයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීමේදී මා වටා සිටි මේ උදෙසා සහය දැක්වූ සියලුම පිරිස්, මෙලඩයින් ආශ්‍රමයේ සියලු දෙනා ඇතුළු පවුල්වල සාමාජිකයන්, සිම්සන් වාදක කණ්ඩායම, මා වටා සිටින සියලු ම හිත මිත්‍රාදීන් මෙන්ම ඇල්කෙමි හා මෙලඩයින් ප්‍රසංග සංවිධායක කාර්‍ය මණ්ඩලය ඇතුළු අනුග්‍රාහක භවතුන් මේ වෙලාවේදී ගෞරවයෙන් හා ආදරයෙන් යුතුව සිහිපත් කළ යුතුයි. මොකද ඔවුන් හැමකෙනකුම මේ වෙනුවෙන් දැක්වූ දායකත්වය මෙලඩයින් රැප්සොඩි 2026 ප්‍රසංගය ශක්තිමත් හා අලංකාර එකක් බවට පත් කරන්න බලපෑ බව මා දැඩිව විශ්වාස කරන නිසා.’
Meladine Rapsody 2026 සංගීත ප්‍රසංගයේ අනෙක් නියමුවා වනුයේ දිලීප ලියනගේ ය.
මෙලඩයින් සංගීත ආශ්‍රමයේ ගායන අංශය පුහුණු කිරීම මෙන්ම කී බෝඩ් වාදන පුහුණුව පිළිබඳ කටයුතු කරනුයේ සංගීත විශාරද දිලීප ලියනගේ ය.
පාසල් වියේදී දලු ලා වැඩුණු දීර්ඝ කාලින මිත්‍රත්වය ඔස්සේ සිය මිතුරා සාලිය සමඟ එක්ව සංගීත කටයුතුවල නියැළෙන දිලීප සිය මිතුරා හා එක්ව සංගීත ක්ෂේත්‍රයේ නව මානයන් සොයා යමින් සිටින්නෙකි.
වසර ගණනක් විදෙස්ගතව සිටිමින් අන්තර්ජාතික ශිල්පීන් හා පුළුල් අත්දැකීම් ඇති දිලීප මෙලඩයින් රැප්සොඩි 2026 ප්‍රසංගයේ පසුබිම් වාදක මණ්ඩලය ‘SIMPSONS’ මෙහෙයවමින් දැක්වූ දායකත්වය සුවිශේෂ ය. එම ප්‍රසංගයේ ගායන අංශය මෙහෙයවනු ලැබුවේ ද දිලීප ලියනගේ විසිනි.
සිය පාසල් අවධියේ මිතුරා සාලිය සමඟ සිය සංගීත දිවියේ මෙවැනි කාර්‍යයකට දායක වන්නට ලැබීම ඉමහත් සතුටට හේතුවක් බැව් දිලීප ගේ අදහසය.
‘ සංගීතය කියල කියන්නෙ සීමා මායිම් නැති විශ්ව භාෂාවක්. එනම් හුදෙක් ශබ්ද සමුදායක් නොව මුළු ලෝකය ම යා කරන විශ්ව භාෂාවක් බවයි මම විශ්වාස කරන්නෙ. ඉතින් අපේ අරමුණ වෙන්නෙ ඒ භාෂාව නිවැරදිව හදාරන පිරිසක් බිහි කරන එකයි.
මෙලඩයින් රැප්සොඩි 2026 ප්‍රසංගය කියල කියන්නෙ ඒ ගමන් මඟ වර්ණවත් කළ සාධනීය අවස්ථාවක්. ඉතින් සංගීතයට ආදරය කරන ඕනෑම අයකුට අනාගතයේදී මේ රිද්මයට එක්වීමට අවස්ථාව තිබේවි
සමුද්‍රිකා වර්ණකුල
