නිවස කළා පුවත් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ජනාධිපතිවරයා මුණගැසේ

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ජනාධිපතිවරයා මුණගැසේ

by Manjula
March 14, 2024 12:54 am 0 comment

පසුගිය කාලය තුළ පැවති විවිධ අභියෝග හමුවේ කිසියම් ලෙසකින් නැවතත් හිස ඔසවන ශ්‍රී ලාංකේය දේශීය සිනමා කර්මාන්තය වර්තමානයේදී මුහුණදෙන ගැටලු සඳහා ඉක්මන් විසඳුම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පසුගියදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණගැසිණ.

18%ක් වන සේ සිනමා කර්මාන්තයට අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බදු මුදල හේතුවෙන් සිනමාශාලාවල ප්‍රවේශ පත්‍ර මිල ඉහළ යාම නිසා චිත්‍රපට නැරඹීමට සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම අඩුවීමක් වාර්තා වී තිබීම, සිනමා ප්‍රවේශ පත්‍රයේ මිලෙන් අයකරගනු ලබන 7.5%ක් වූ විනෝද බද්ද ඉවත් කර ගැනීම, සිනමා ශාලාවේ විදුලි බිල කර්මාන්ත ගණයේ ලා සැලකීම මඟින් එය අඩුකරගැනීමේ වාසිය මත ප්‍රවේශ පත්‍ර ගාස්තු පහත දමා ගැනීම, කිහිපවිටක් ම සංශෝධනය වී ඇති චිත්‍රපට නියාමන මණ්ඩල කෙටුම්පත බලගන්වමින්, නිදහස් චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරගැනීම සහ සිනමාව මෙරට තුළ ජාතික කර්මාන්තයක් සේ ස්ථාපිතකොට පිළිගැනීම යන කරුණු එම සාකච්ඡාවට භාජනය විය.

ජනාධිපතිතුමන් සමඟ, රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන් සහභාගී වූ මේ රැස්වීමේදී ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය නියෝජනය කරමින් සංසදයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාගේ මූලිකත්වයෙන් සංසදයේ ලේකම් ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, උප සභාපති සුරංග ද අල්විස්, භාණ්ඩාගාරික සුදේශ් වසන්ත පීරිස්, සහ ප්‍රධාන සංවිධායක සුනෙත් මාලිංග ලොකුහේවා යන චිත්‍රපට අධ්‍යක්ෂවරු සවිස්තරාත්මක ලෙස කරුණු දැක්වූහ.

රැස්වීම අවසානයේදී ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් තමා වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට දැන්වීය.

රජයට කිසිදු ලෙසකින් බරක් නොවන ස්වාධීන ආයෝජකයන් මත රඳා පවතින කර්මාන්තයක් වන සිනමාව, ශ්‍රී ලංකාව තුළ ස්ථාවරභාවයකට පත්කොට ගෙන 15000කට වැඩි යැපෙන්නන් සංඛ්‍යාවකගේ ජීවිත යහපත්ව පවත්වාගනිමින් තිරසර වූ ජාතික කර්මාන්තයක් වශයෙන් ස්ථාපිත කරගැනීමට අවශ්‍ය වන රජයේ අවධානය දේශීය සිනමාව කෙරේ ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT