Home » වෛද්‍ය පීඨයට වඩා රූපවාහිනී විශ්වවිද්‍යාලයෙන් ජීවිතය ගැන මගේ දැනුම වැඩිවුණා

වෛද්‍ය පීඨයට වඩා රූපවාහිනී විශ්වවිද්‍යාලයෙන් ජීවිතය ගැන මගේ දැනුම වැඩිවුණා

-නිවේදක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත ප්‍රසන්නආරච්චි

by sachintha
July 31, 2025 12:40 pm 0 comment

නිවේදකයකු වීමේ සිහිනය ඔහු අත්විදිනු ලැබුවේ කුඩා කල පටන්මය. කොට කලිසමක් ඇද ගෙයි මැද සාලයේ බිම වැතිර ටෙලි විෂන් යන්ත්‍රය දෙස දෑස් දල්වා බලා සිටියේ කවදා හෝ තම සිහිනය සැබෑවක් වනු දැකීමටය.

කවුරුන් හෝ වැඩිහිටියෙකු පුතා ලොකු වුණාම කවුරු වගේ කෙනෙක් වන්නට ද කියා ඇසු ඕනෙම අවස්ථාවක ඔහු පෙරළා පවසා සිටියේ තමා නිවේදකයකු වනවා කියාය. ඒ තරමටම මේ නිවේදන වෘත්තියට ආදරය කළ මේ පුංචි කොලු පැංචා පුංචි තිරයේ ප්‍රේමකීර්ති අල්විස්, පාලිත පෙරේරා, කමල් දේශපි‍්‍රය, සමන් අතාවුදහෙට්ටි වැනි මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන ආකාරය බොහොමයක් සතුටින් බලා සිටියේ කිනම් හෝ දිනයක තමනුත් මෙවැන්නකුගේ ගොන්නට එකතු වනවා යැයි සිතුවිල්ලක් ද තම සිත තුළ දරාගෙනය. කාලය ගෙවී ගොස් උස් මහත් වූ මේ පුංචි කොලුපැටියා පාසල් අධ්‍යාපනය තුළත් දහම් පාසල් අධ්‍යාපනය තුළත් මේ සඳහා ක්‍රම ක්‍රමයෙන් පියවර තැබුවේ ඒ අධිටන ජයගැනීමේ පෙරමං ජයග්‍රහණය කරමිනි. ඒ ජයග්‍රහණය ඔහු විජයග්‍රහණයක් බවට පත් කරගනු ලැබුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවිෂ්ඨයක් ලබන්නටත් මත්තෙන් වීම් තවත් විශේෂත්වයක් විය. අද වනවිට මෙරට රූපවාහිනී මාධ්‍යයේ ජනපි‍්‍රය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, නිවේදකයකු වි සිටින ඔහු නමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත ප්‍රසන්න ආරච්චිය. මේ අපේ කතාබහ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ අරුත්බර කතා බහක් සමඟින් මගෙත් ඔබෙත් නිවහනට ගොඩවදින සමිත ප්‍රසන්න ආරච්චි සමඟිනි.


වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ සමිතගේ මේ දවස්වල නිවේදන කටයුතු පිළිබඳ අලුත්ම තොරතුරු කොහොමද?

ජාතික රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනට සෑම සතියකට සහභාගි වෙනවා. ඊට අමතරව සෑම මසකම පෝය දිනයේ විකාශය වන ජාතික රූපවාහිනියේ සද්ධර්ම වර්ෂා වැඩසටහනින් රඳාවඩුන්ගේ ඥානවිමල හිමියන් සමඟ කෙරෙන ධර්ම සාරතී ධර්ම සාකච්ඡා වැඩසටහන් දෙක වෙනුවෙන් දායක වීමක් සිද්ධ කරනවා. ඉරිදා ආයුබෝවන්, පොහොයදින සද්ධර්ම වර්ෂා වැඩසටහන් දෙකම සජීවීව කෙරෙන වැඩසටහන් දෙකක්.

ඩොක්ටර් සමිත ඔබ ජාතික රූපවාහිනිය පමණක් මුලික කොටගත් නිවේදකයකු පමණක්මද?

රූපවාහිනී මාධ්‍යයට මට ප්‍රවිෂ්ඨයක් මුලින්ම ලබල දුන්නේ ස්වාධීන රූපවාහිනිය ඒ 1998 වර්ෂයේ එතැන් පටන් මම 2000 වසර දක්වා බාහිර නිවේදකයෙක් ලෙස එහි කටයුතු කරමින් හිටියා. 2000 වසරේ ජාතික රූපවාහිනියේ නුගසෙවණ වැඩසටහන ආරම්භ වීමත් සමඟ පළවෙනි බදාදා නුග සෙවණ වැඩසටහන ආරම්භය සඳහා එම වසරේ අපේ‍්‍රල් 19 වැනිදා මම ජාතික රූපවාහිනිය සමඟ අත්වැල් බැදගන්නවා. එදා නුගසෙවණ බදාදා ආරම්භක පියවරේ නිවේදක දෙපළ වුණේ මමත් ලංකා පෙරේරාත්. එදා ඉදල අද වෙනකන් මම ජාතික රූපවාහිනියත් සමඟ පමණක් අත්වැල් බැඳගත්ත නිවේදකයෙක් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්.

නිවේදන වෘත්තියේ පමණක් ඔබ දිගු කාලයක පටන් රැදී සිටින හැඩයි?

ජාතික රූපවාහිනියේ පමණක් අවුරුදු 25ක් ස්වාධීන රූපවාහිනියේ ගත කළ කාලයත් සමඟ අවුරුදු 27ක්.

වෛද්‍ය වෘත්තීය හැරුණු කොට නිවේදන කාර්්‍යයේ නියැලෙන ඔබ නිවේදකයකු වීමේ සිහිනය සැබෑවක් බවට පත්කරගන්නේ කොයි ආකාරයෙන්ද?

නිවේදකයකු වීමේ සිහිනය මගේ හිතේ පුංචි කාලේ පටන් තිබුණ දෙයක්. ගුවන් විදුලියේ එච්.එම්. ගුණසේකර, ලලිත් එස්. මෛත්‍රිපාල වැනි අයගේ කටහඬට මම ආශා කළා. රූපවාහිනීයේ ප්‍රේමකීර්ති අල්විස්, පාලිත පෙරේරා, කමල් දේශපි‍්‍රය, හේමනලින් කරුණාරත්න වැනි අය වැඩසටහන් කරන හැටි. ඔවුන් භාෂාව හසුරුවන හැටි. මම ආශවෙන් බලා සිටියා. කොච්චර ඒ ආශාව මගේ හිත තුළ තිබුණ ද කියනවා නම් පුටුවෙන් බැහැල ගෙයි මැද සාලයේ බිම දිගාවෙලා තමයි මම ඒ වැඩසටහන් මෙහෙයවන හැටි බලාහිටියේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ පාසලේ ප්‍රවෘත්ති සේවයේ නිවේදකයෙක් වුණේ මම හැමදාම පාසලේ විශේෂ පණිවිඩ මගේ හඬින් තමයි පාසලේ ප්‍රචාරණය වුණේ. මම දහම් අධ්‍යාපනය ලැබු කඩවත බිම්බාරාම ශ්‍රී රතනපාල දහම් පාසලේ ළමා සමිතියේ සභාපතිවරයා වූණේ මම. හැම සතියකම දහම් පාසලේ සමිතියේ වැඩසටහන් මෙහෙයවන්න වූණේ මට මේ ආකාරයට මගේ ආශාවේ දොරටු ක්‍රමයෙන් විවර වන අතරේ මට ගමේ පොදු වැඩවලදී නිවේදන කටයුතු කරන්නන් අවස්ථාව උදා වුණා. ගමේ සංවිධානය කළ සංගීත සංදර්ශනවල දැනුවත් කිරීම් බොහෝවිට සිදුකළේ මම ඒ වාහනයක ස්පීකර් බැදගෙන ගම වටේ සංගීත සංදර්ශනය ගැන පෙර දැනුම්වත් කිරිම් සිද්ධ කිරීමෙන්. ගමේ එළිමහන් සංගීත සංදර්ශනවල වෙළෙඳ දැන්වීම් කිව්වේ මම. ප්‍රසිද්ධ වේදිකාවේ දැවැන්ත හඬක් වූ නෙල්සන් අබේකෝන් මහත්තයා එක්ක තමයි මම මුලින්ම ප්‍රසංග වේදිකාවට පය තිබ්බේ. එතුමන් මට සුබ පැතුවා දිගු ගමනකට මට ආශිර්වාද කළා. ඒ වෙනකොට මම අපොස සාමාන්‍යපෙළ ලියල ඉවරයි. ඔය අතරේ පෙර පාසල් වල විශේෂ උත්සව සඳහා මම නිවේදකයෙක් ලෙස සහභාගි වුණා. උසස් පෙළ හදාරන අවධියේ මගේම හිතවතුන් කිහිපදෙනෙක් සමඟ ආරම්භ කළ ලාඩ්ලා වාදක මණ්ඩලයක නිවේදකයා ලෙස කටයුතු කලෙත් මම. කොහොම හරි අපොස උසස් පෙළ ලියා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනකොට මම පෙර පාසලක විවිධ ප්‍රසංගයක් නිවේදනය කරන්න ලැබුණා. ඒ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙල හිටියේ උපුල් වීරසිංහ මහත්තයා (උපුල් මාමා) මමත් මගේ උපරීම දක්ෂතා පෙන්නලා මේ කුඩා දරුවන්ගේ ප්‍රසංගය හරි අපුරුවට මෙහෙවමින් නිවේදන කටයුතු කළා. ඔය අතරේ ප්‍රධාන අමුත්තා ලෙස මෙයට සහභාගි වූ උපුල් වීරසිංහ මහතා වේදිකාවට ඇවිත් කරපු කතාවේදී මගේ දක්ෂතාත් අගය කළා. මම හොඳ අනාගතයක් තියෙන දක්ෂයෙක් කියල සභාව ඉදිරියේ ප්‍රකාශ කළා.

මම නොදන්න කෙනෙක් පළමු වරට හමු වූ කෙනෙක් මා ගැන මෙතරම් වර්ණා කිරීම අගය කිරීම ගැන මටත් විශ්මිතයි. මේ කුතුහලය නිසාම මම පසුදාම ඔහුව සොයාගෙන ගියා. මම ගැන කළ අගය කිරීම ගැන මම එතුමන් සමඟ කතා කළා. ඒ අවස්ථාවේ ඒ මහත්තයා මට දුන්නා දුරකථන අංකයක් මෙන්න මේි මහත්තයා ගිහින් හමුවන්න කියලා. මම ඒ අංකයට කතා කළා. ස්වාධීන රූපවාහිනියේ වෙළෙඳ අංශය භාරව සිටි උපාලි රංජිත් මහතා. මම එතුමන් ගිහින් හමුවුණා. මගේ ස්ක්‍රින් ටෙස්ට් එකක් කළා. ඔය වෙනකොට මම උසස්පෙළ ලියලා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙන්න ලකුණු හතරක් මදිවෙලා හිටියේ. ඔය ගැන මගෙන් දැනගත්ත. උපාලි මහත්තයා මට කිව්වේ මේ මල්ලි ඉස්සෙල්ල ඉගෙන ගෙන ඉන්න. ඊට පස්සේ මම ඔයාට චාන්ස් එකක් දෙන්නම් කියලා. ඊට පස්සේ මම ආයෙත් දෙවැනි පාරට උසස් පෙළ විභාගයට පෙනී සිටල වෛද්‍ය විද්‍යාලයට තේරුණා.

වෛද්‍යවිද්‍යාලට තේරුණු ඔබ යළිත් නිවේදයකු වීමේ සිහිනය ජය ගැනීමේ අධිටනින් යළිත් ස්වාධීන රූපවාහිනිය වෙත පියවර මැන්නද?

ඔව්. මම විභාගය පාස්වුණාට පස්සේ ආයෙත් මම උපාලි රංජිත් මහත්තයා හමුවන්න ස්වාධීන රූපවාහිනියට ගියා. එතුමා එදා මට සුබපතල මාව එවක ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ මහින්ද අබේසුන්දර මහතාට හඳුන්වල දුන්නා. එතුමා මාව සවස පහේ ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති කියන්න යොමු කළා. ඔය අතරේ මසකින් පමණ මාව රාත්‍රී හතේ ප්‍රවෘත්ති කියන්න යොමු කළා. ඔය විධියට ප්‍රවෘත්ති කිය කිය ඉන්න කොට මාව සම්බන්ධ කරගත්තා අයි.ටී.එන්. ලොතරැයි වාසනා වැඩසටහනට රේණුකා බාලසුරිය – ඉඳුනිල් දිසානායක මහත්මීන් තමයි මේ වැඩසටහන කරමින් හිිටියේ. මට මේ අයගෙනුත් හොඳ සහයක් ලැබුණා. පසුව මාව ලොතරැයි මණ්ඩලයේ යෝජනාවක් මත ස්වාධීන රූපවාහිනියේ සුපිරි වාසනා සම්පත ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහනට තනිව මෙහෙය වන්න තෝරගනු ලැබුවා. ඔය විධියට බාහිර නිවේදකයෙක් විධියට ස්වාධීන රූපවාහිනියේ කටයුතු කරමින් ඉන්න විට ජාතික රූපවාහිනියේ නුග සෙවණ වැඩසටහන ආරම්භ කළා. මේ වැඩසටහනට මුලින්ම සම්බන්ධ වෙන්න කියල මට ආරාධනා කළේ සුරම්‍යා මාපිටිය මහත්මිය ඒ අනුව තමයි මම 2000 වසරේ අපේ‍්‍රල් 19 වැනිදා ජාතික රූපවාහිනියට ප්‍රවිෂ්ඨ වුණේ. බදාදා නුග සෙවණ වැඩසටහනට එක්වන්න.

මේ වෙනකොට ඔබ වෛද්‍ය විද්‍යාලයේ ඇතුළත් වෙලාද?

නෑ. ඒ සඳහා සුදුසුකම් ලබල හිටියේ. 2000 වසරේ මැයි මාසයේ මම රාගම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා.

වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින්ම නිවේදන කටයුතු කළාද?

බොහෝ විට බදාදා දින නුග සෙවණ වැඩසටහන වෙනුවෙන් දේශන කට් කළ අවස්ථා තිබුණා. නමුත් ප්‍රායෝගික පරීක්ෂණ තිබුණදාට විභාග තිබුණ දාට මම වැඩසටහනට සහභාගි වුණේ නෑ. ඒ දවස්වලට මා වෙනුවට වෙනත් අයකුගේ දායකත්වයක් වැඩසටහනට යොදාගන්න සුරම්‍යා මාපිටිය මහත්මිය කටයුතු කළා. එතුමියගෙන් මට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නත් ලොකු සහයක් ලැබුණා රූපවාහිනී වැඩසටහන් සමඟ නිරන්තරයෙන් බැදි සිටින ගමන්.

වෛද්‍යවරයකු වීමත් සමඟ මේ නිවේදන කාර්ය තවදුරටත් කරමින් එහිම රැදෙන්න ඔබ වඩාත් ඇල්මක් දැක්වුයේ ඇයි?

ප්‍රධානම හේතුව මම මේ නිවේදකයා කියන භූමිකාවට තිබූ ආශාව වැඩසටහනක් කර අවසන් වූ විට හිතත දැනෙන ප්‍රබෝධය විශේෂයෙන් නිරන්තරයෙන් අපට හමුවන පුද්ගලයෝ ඔවුන් විවිධ සමාජ මට්ටම්වල විවිධ අධ්‍යාපන මට්ටම් වල පුද්ගලයෝ සාමාන්‍යයෙන් වෛද්‍යවරයකුට නිරන්තරයෙන් ගැටෙන්න වෙන්නේ ලෙඩ්ඩුත් සමඟ. නමුත් මම කරන මේ නිවේදන කාර්ය තුළ මට හමුවන දේශපාලකයන්, ස්වාමීන් වහන්සේලා, නළු නිළියෝ, විවිධ වෘත්තීන් තුළ හසළ දැනුමක් ලැබු වියතුන් මේ හැම කෙනෙක් සමඟම කතා බහ කිරීම තුළ ලැබෙන දැනුම වෛද්‍යවරයකු ලෙස කොටුවෙලා ඉන්න ජීවිතය තුළ ලබන්න බෑ. මගේ යම් කිසි ආකාරයක ගති ගුණ වෙනස් වුණා නම් ඒකට ප්‍රධාන හේතුව මගේ රූපවාහිනී විශ්වවිද්‍යාලය එහෙම නැතුව රාගම වෛද්‍යපීඨය නොවෙයි. ඒකට හේතුව මගේ සන්නිවේදන කුසලතා දියුණුවුණේ කෙනෙක් සමඟ කතා කිරීම, සංයමයකින් යුතුව භාෂාව හැසිරවීම කතා කිරීම මේ හැම දෙයක්ම මම ලබාගත්තේ රූපවාහිනි විශ්වවිද්‍යාලය තුළින්.

ඩොක්ටර් සමිත වඩාත් පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රයවන්නේ මොන වැඩසටහන් ඔස්සේ ද?

නුග සෙවණ වැඩසටහනින් තමයි බොහෝ පේ‍්‍රක්ෂකයෝ මාව හඳුනාගත්තේ. ඊට පස්සේ යථාරූපී, නමයයි පහ, යොවුන් සිතට දහම් සිසිල නමින් වසර පහක් විතර මම බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් සමඟ කළ වැඩසටහන ධර්ම සාරතී, සිරිලක පිරී අවුරුදු සිරි ජාතික රූපවාහිනී අවුරුදු උදානය.

සමිත ප්‍රසන්න ආරච්චි ආගමික වැඩසටහන් මෙහෙයවීම හරහා ලොකු ප්‍රේක්ෂක රුචියක් අත්කරගත් නිවේදකයෙක් කිව්වොත්?

මගේ රූපය මගේ කතා විලාසය නිසා ද මම දන්නෑ රූපවාහිනිය මාව යොමු කළා. ඒ වැඩසටහන් වලට ඒ මාව දාල එයාල කළ වැඩසටහනේ සාර්ථකත්වය පෙනෙන්න තියන නිසා දිගගට ඒ හුරුවේ වැඩසටහන් වෙත ඔවුන් මාව සම්බන්ධ කරගත්තා.

ඒ රාමුව තුළ ඔබ කොටුවීම ඔබේ හැකියාවන්ට බාධාවක් නොවෙයිද?

නෑ. මම ඒ රාමුව තුළ කොටුවෙලා නෑ. කියල මම හිතනවා. ඒකට හොඳ උදාහරණයක් ජාතික රූපවාහිනියේ අවුරුදු උදාන වැඩසටහන සිරි ලක පිරි අවුරුදු සිරි මමත් අසේල බණ්ඩාරත් තමයි. මේ වැඩසටහන දැන් වසර කීපයක් පුරාවට නිවේදන කාර්යෙන් රැගෙන එන්නේ. එතෙක් ඇල්මැරුණු ස්වභාවයෙන් පැවති අවුරුදු වැඩසටහන් වලට නව ප්‍රබෝධයක් එක් කරමින් වෙනස්ම ආකාරයක් රැගෙන ආවේ මමත් අසේලත් කිව්වොත් එක් මුසාවක් නොවෙයි. ජාතික රූපවාහිනියේ රූ කිරුළ අපි වෙනස්ම ආකාරයකට කරපු අවුරුදු කුමරා කුමරි වැඩසටහන. මේ සඳහාත් මට දිගින් දිගටම රූපවාහිනිය ආරාධනා කළා.

ඩොක්ටර් සමිත ප්‍රවෘත්ති නිවේදන කටයුතු වලින් ඈත්වෙලා වගෙයි දැන් පේන්න තියෙන්නේ?

මම පෞද්ගලිකව කැමැති නෑ නිවුස් කියන්න. මගේ රූපවාහිනී ගමනේ ඇරඹුම ප්‍රවෘත්ති නිවේදනය බව ඇත්ත. ඒ වගේම තමයි මම දේශපාලන වැඩසටහන්. ක්‍රීඩා වැඩසටහන් කරන්නෙත් නෑ. විශේෂයෙන් දේශපාලන වැඩසටහන් කිරිම තුළ අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන අවස්ථා තියනවා. අනවශ්‍ය ලේබල් ගහ ගන්න මම කොහෙත්ම කැමැති නෑ.

ඔබ කරන කාර්ය තුළ මේ වන විට ලබල තියන ජනපි‍්‍රයත්වය ප්‍රමාණවත් කියලද ඔබ හිතන්නේ?

මම නිළියෙක් නළුවෙක් නොවෙයි. සාමාන්‍ය පුද්ගලයෙක් වෘත්තියෙන් වෛද්‍යවරයෙක් මම නිවේදන කාර්ය සිද්ධ කරන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ඒක එක පැත්තකින් මගේ විනෝදාංශයක් කිව්වත් වරදක් නෑ. විශේෂයෙන් වැඩිහිටි පරපුර මට බොහෝ ලෙන්ගතුකමක් දක්වනවා මම කරන වැඩසටහන් නිසා ද මම දන්නේ නෑ. තරුණ පරපුර නම් වැඩි වශයෙන් ගනුදෙනු කරන්නේ සමාජ මාධ්‍ය එක්කනේ.

ගෙවී ගිය ඔබේ ගමන් මගේ නිවේදන කාර්යයේ රසමුසු තැනුත් ඇති නේද?

තියනවා තියනවා මටත් ලැජ්ජාවක් දැනුණු අවස්ථා තියනවා. මම කරපු වැඩසටහනේ නම කියන්නෑ මේක සජීවී වැඩසටහනක්. සාමාන්‍යයෙන් වැඩසටහන අතරතුර පෙර සුදානමක් නැතිව සමහරුන්ගේ නම් ලියල එවනවා. දවසක් ඉඳුනිල් කියල නමක් ලියාපු කොලයක් මගේ අතට දුන්නා. මම නම කියන්න කලින් ළඟ හිටිය කෙනෙක්ගෙන් ඇහුවා මෙයා ගැනීයෙක් ද පිරිමියෙක් ද කියලා. ඒ කෙනා කිව්වා මචං ගැනියෙක් කියලා. මම ඉතිං එනවුස් කළා. ඉඳුනිල් මහත්මියට එන්න පහන් සිළු දල්වන්න කියල මෙන්න බොලේ ස්ටේජ් එකට එනවා ඇගපත මහත දඩ පොරක්. මට නේද හීන් දාඩිය දැම්මා. මොනව කරන්නද සමහර නම් කියනකොට පිරිමි නමක් ද ගැහැනු නමක් ද කියල හොයා ගැනීම අපහසුයි. ශබ්ද කිරීම අනුව.

තව දවසක කුරුණූෑගල පැත්තේ දේශපාලඥයෙකුගේ නමක් මම නිවේදනය කළා. බැලුවහම පුද්ගලයා පිරිමියෙක්. මම ගැහැනියෙක් කියල හිතන් නිවේදනය කළා. කොහොම හරි ඒ පුද්ගලයා වේදිකාවට එනකොට සභාවේ කවුරුත් හිනා වුණා. ඒ පාර මම විහිළුවට වගේ ඇහුවා ළඟ පිස්තෝලයක් එහෙම නෑ නේද කියලා. කොහොම හරි නම් හුටපටය යම්තම් ෂේප් කරගත්තා විහිළුවෙන් තහළුවෙන්.

මේ වැඩේ නම් වුණේ විශ්වවිද්‍යාලයේ ප්‍රසංගයකදී ඒ දවස්වල කට පාඩම් කරගෙන යන්නේ කියන්න ඕනෙ කරන දේ ඉතිං මම ඔය විධියට ගිහින් මේ තරු පිරී ඇති රෑ අහස යට අද අපි අරඹමු සොඳුරු සංගීත සැදෑව කියල එනවුස් කරන කොට කැම්පස් එකේ කොල්ලො කෙල්ලෝ එක පාරට හූ කිව්වා. මම හෙමින් සැරේ එළිමහන් ප්‍රසංගයක් නිසාවෙන් අහස උඩ බැලුවා. අහසේ එක තරුවක් නෑ. කළුම කළුයි. මම ඒ සැණින් හූ හඬ මැද්දේ ආපසු වැඩේ ගොඩ දැම්මා. අහසේ තරු නැතත් ඔබේ සිනාතරු මල් අතර අරඹමු සොඳුරු සංගීත සැදෑව කියල ඒ පාර කොල්ලො කෙල්ලෝ අත්පුඩි ගැහුවා. මේ දවසේ අපේ ආරාධනා පිළිගෙන ජයන්ත චන්ද්‍රසිරි, රෝහණ බැද්දගේ මහත්වරුන් ඒ අවස්ථාවට පැමිණ සිටියා.

කොහොම හරි අදටත් මට රට වටේ ගියත් කැම්පස් එකේ අපේ ඒ අවධියේ හිිටිය යාළුවෙක් හම්බ වුණොත් අනිවාර්යෙන්ම අදටත් අහනවා මචං සමිත මතකද උඹට අපි කැම්පස් එකේදී තරු පෙන්නපු හැටි කියලා.

පවුලේ තොරතුරු කොහොමද?

මගේ බිරිය අමෝදනී වත්සලා. පුතා තෙවිදු ප්‍රභාෂ්වර මගේ නිවේදන කටයුතු වලදී මගේ ගුණදොස් ගැන කතා කරන සමීපතම යෙහෙළිය මගේ බිරිය අමෝදනී හැබැයි ඇයගෙන් ලේසියෙන් හොඳක්නම් අහන්න ලැබෙනවා නම් අඩුයි.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT