Home » වේදිකාව, සිනමාව හා ටෙලි නළුව එකලු කළ සතිස්චන්ද්‍ර

වේදිකාව, සිනමාව හා ටෙලි නළුව එකලු කළ සතිස්චන්ද්‍ර

by shanaka
January 1, 2026 10:25 pm 0 comment

පූජාව පූජානීයානං හෙවත් පිදිය යුත්තන් පිදීම මංගල කරුණක් බව බුදුන් වහන්සේ මහා මංගල සූත්‍රයෙහි දෙසූ සේක. මෙරට කවර කලා ක්ෂේත්‍රයක වුවත් පිදිය යුත්තන් සුලභ නොවේ. එබඳු විරල එම පිදිය යුතු අල්පය අතරින්ද ජීවත්ව සිටියදී පිදුම් ලබන්නේ අංශු මාත්‍රයකි. අනෙක් අතට කිසියම් කලාකරුවකුගේ සැබෑ අගය ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී පසක් කර ගන්නෝ කීයෙන් කීදෙනාද?

හෘද සාක්ෂියට එකඟව එසේ පසක් කර ගත්තත් එම අගය ප්‍රසිද්ධියේ නොවළහා නිර්ලෝභීව පළ කිරීමට දිව නැවෙන්නේ කීයෙන් කී දෙනාටද? කලාවේ නාමයෙන් පෙනී සිටින නිසරු ව්‍යාජ මුදලාලිලාගේ වෙස් මුහුණු ගැලවීමට භාවිත කරන ස්වාධීන විචාරය පිදිය යුත්තන් වන සැබෑ කලාකරුවන් අප්‍රමාදීව අගය කිරීමට ද උපයුක්ත කොටගත නො හැක්කේ මන්ද?

පෙර පරපුරෙහි ජ්‍යේෂ්ඨයකු, කලාකරුවකු ජීවත් ව සිටියදී ප්‍රසිද්ධියේ ඇගැයීමට හෝ ඔහුට කෘතගුණ දැක්වීමට හෝ අවස්ථාව ලැබීම අනුප්‍රාප්තිකයන්ට ඉමහත් සොම්නස ගෙන දෙන කාරණයකි. සංක්ෂේපයෙන් හෝ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් පිළිබඳ මෙසේ ඇගැයීමට ලැබීම මම මහත් භාගයක් කොට සලකමි. ඒ අදාළ කලාකරුවාගේ භාග්‍යයටත් වඩා අනුප්‍රාප්තික අපගේ භාග්‍යයක් යැයි මම සිතමි. මන්ද එය අනුප්‍රාප්තිකයන්ට තම ජීවිතයෙහි පසුකාලීනවද මෙනෙහි කරමින් සතුටු විය හැකි සත්කාරයක් නිසාය.

සතිස්චන්ද්‍ර‍යන් එක් අතකින් ප්‍රතිහාපූර්ණ රූපණවේදියෙකි. තවත් අතකින් ටෙලි නළුව සමාජ සංශෝධන කාර්යයෙහි යොදාගත් ප්‍රමුඛ නිර්මාණකරුවෙකි. එසේම නවක කලාකරුවන් රැසක් තිරයට හඳුන්වා දුන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. මෙකී සියලු දෑ කලාකරුවකු ලෙස එතුමා පිළිබඳ පොදු කරුණු ලෙස සැලකිය හැකි වේ. එහෙත් ජීවිතය ඇතැම් තීරණාත්මක අවස්ථාවන්හිදී පියකු සමාන වැඩිහිටියකු ලෙස එතුමා මට දුන් ගුරුහරුකම් මගේ ජීවිතයට පමණක් සුවිශේෂී වන කරුණු වේ. එහෙයින් සතිස්චන්ද්‍රයන්ගේ කලා මෙහෙවර පිළිබඳ බිංදු මාත්‍රයක් මෙහි දැක්වීමට ප්‍රථම ඔහු පිළිබඳ මගේ පෞද්ගලික මතකය වෙත මොහොතක් ඔබේ අවධානය යොමු කරනු මැනවි. සතිස්චන්ද්‍රයන් වියපත් බවෙන් මගේ පියාට (ඒ.ඩී රන්ජිත් කුමාර) වැඩිමහල් ඔහුගේ දිගුකාලීන සමීප මිතුරෙකි. මගේ පියා එකී ජ්‍යේෂ්ඨ භාවයට ගෞරවයක් වශයෙන් ඔහු ඇමතුවේ ‘සතිස් අයියා’ කියා ය.

“සංසාර විස වෘක්ෂ්‍යය

ද්වයමේවාමෘත ඵලේ

සුභාෂිත රසාස්වාදඞ

සජ්ජනේෂු ච සංගමඞ

සංසාරේ නමැති විෂ රුකෙහි අමා ඵල ද්වයක් තිබේ. කලා රස විදුම හා සද්ජනයා ඇසුරු කිරීමයි. මේ අමා ඵල දෙක ම මට කුඩා කාලයේ මගේ ගෘහ පරිසරයෙන් ලැබී තිබිණ. මා කුඩා කාලයේ සතිස්චන්ද්‍රයන් පළමුවෙන්ම දුටු විට ඇති වූ හැඟීම වූයේ “එතුමා තරම් මටත් උස යන්නට ඇත්නම්” කියාය. පසු කලෙක එම උසට මඳක් හෝ සමීප වීමට මට ද හැකි විය. සතිස්චන්ද්‍රයන් අප නිවසට පැමිණි අවස්ථාද අප ඔහු නිවසට ගිය අවස්ථාද හිග නැත. ඔහු තුළ තිබූ මා සිත් ගුණය වූයේ බුදු දහම, මෙරට සමාජ සාරධර්ම, සංස්කෘතිය, භාෂාව හා ශ්‍රේෂ්ඨ ඉතිහාසය පිළිබඳව ස්වකීය අප්‍රමාණ ගෞරවාදර යයි.

1989 ඔක්තෝබර් 19 වෙනිදා මගේ ඔවුන් (දමයන්ති ජයසූරිය) දැඩි ලෙස රෝගාතුර වූ අතර නොවැම්බර් 01වැනිදා ඇයට බරපතළ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබිණි. මගේ මතකය නිවැරැදි නම් ඒ ඔක්තෝබර් 24 වැනිදා විය යුතුය. එදින සවස මගේ මවගේ සුවදුක් බැලීමට ජාතික රෝහලට පැමිණි සතිස්චන්ද්‍රයෝ රාත්‍රී එක් සුවිශේෂ ස්ථානයක් වෙත සිය වාහනයෙන්ම පියාත් මාත් කැටුව ගියහ. පෙර කල හොරපාවිට වැඩ විසූ කපුදුවේ සිරිගුණාලංකාර නම් වූ අතිශය සිල්වත් යතිවරයාණන් වහන්සේ් පිරිත් සජ්ඣායනා කොට දිගු කලක් පුරා අඛණ්ඩව දැල් වූ සිරිගුණාලංකාර බුදු පහන් පිළිවෙත මඟින් ජනතාවට සෙත් පැතූහ. උන්වහන්සේගේ වරප්‍රසාද ලත් වෛද්‍යාචාර්ය පී. හේන්රී මහතා (මාවරමණ්ඩිය) මේ බුදු පහන් පිළිවෙතින් සෙත් පැතීමේ කාර්ය අඛණ්ඩව පවත්වාගෙන ගියේය. සතිස්චන්ද්‍රයන් අප කැටුව ගියේ මේ පුණ්‍යවන්ත මහත්මයාණන් වෙතය. මුළුමනින් ම නිර්මාංශව හිදිමින් උදේ සවස නිවසේ බුදු මදුරේ බුද්ධ පූජාව සිදුකිරීමෙන් පසු තුන් සූත්‍ර ( මහා මංගල, රතන හා කරණීය මෙත්ත සූත්‍ර) සජ්ඣායනා කොට මගේ මෑණියන්ට සෙත් පතන සේ ඒ මහතා කීවේය.

“පුතාට තුන් සූත්‍රය පාඩම් ද? සතිස්චන්ද්‍රයෝ මගෙන් විමසූහ.

“තවම නැහැ.”

“එහෙනම් මගේ පිරුවානා පොත් වහන්සේ ඔයාට දෙන්නම් හැබැයි ණයට. මේ පොත ප්‍රවේශම් කරලා තුන් සූත්‍රය පාඩම් වුණාට පස්සේ මට ආපහු දෙන්න.”

පෙර කී සියලු වත්පිළිවෙත් ඉමහත් ශ්‍රද්ධාවෙන් නිවසේ දී සිදුකළ මට කිහිප දවසකින් තුන් සූත්‍රය ඇතුළු සූත්‍ර රාශියක්ම කටපාඩම් වී තිබිණි.

“ මෙන්න සතිස් මාමා පිරිත් පොත. මේකට බොහොම පින්. මට දැන් තුන් සූත්‍රය තේරුම් එක්ක හොඳට කට පාඩම්” යැයි මා කී කල්හි සතිස්චන්ද්‍රයෝ ඉමහත් සන්තුෂ්ටියට පත් වූහ.

“පුතාගේ අධිෂ්ඨානය නිසයි ඔයාගේ අම්මට සනීප වුණේ. ඒ නිසා මේ පිරිත් පොත මගේ ගානේ ඔයාට තෑග්ගක්.”

ඔහුගේ අත්සන සහිතව ඒ පිරිත් පොත අදත් මා ළඟ සුරක්ෂිතව තිබේ. ඉන් ඉක්බිති මීට සමාන නානා නානවිධ පිරිත් පොත් මා හට ලැබිණි. එහෙත් පෙර කී පිරිත් පොත මේ සියල්ලට ම වඩා මට සුවිශේෂ විය.

වත්මනෙහි ග්‍රන්ථකරණය, විචාරය, පුවත්පත් කලාව, ඉගැන්වීම මගේ මුඛ්‍ය ක්ෂේත්‍ර වී තිබුණත් කලක් විවිධ පැතිකඩ ඔස්සේ මම ද ගමන් කරන්නට විමි. දෙවරක් අහඹු ලෙස නළුවකු වීමට ද මට භාග්‍යය උදාවිය. “ටෙලි නාට්‍යය” යන වචනය මෙරටට හඳුන්වා දුන් ධම්ම ජාගොඩයන් අවසන් වරට නිර්මාණය කළ “මිහිකතගේ දරුවෝ” ටෙලි නාට්‍යයේ ළමා චරිතය රඟපෑමට ඔහු මා අහඹු ලෙස තෝරා ගත්තේය. මා කලා ලොවට පිවිසියේ 1986 වර්ෂයේ විකාශය වූ මේ ටෙලි නාට්‍යයේ ළමා චරිතයක් රඟපාමින් දස හැවිරිදි වියේ දී ය. මට සතිස්චන්ද්‍රයන් සමඟ රඟපෑමේ අවස්ථාව ලැබිණි. ඔහු එහි රඟපෑවේ මන්සූර් නමැති මුස්ලිම් ජාතිකයාගේ භූමිකාවය.

එයිනුදු දස වසරකට පසු එනම්, 1996 දී යළිත් වරක් ටෙලිනාට්‍යයක රඟපෑමේ අහඹු අවස්ථාවක් මට උදාවිය. සරත් ගුණරත්නයන්ගේ ‘හිමි නැති වසන්තය’. නැමති මේ ටෙලි නාට්‍යයේ උස ප්‍රධාන චරිතයක් මා රඟපෑවේ සතිස්චන්ද්‍රයන් හා අපෙන් වියෝ වූ මානෙල් ජයසේනයන්ගේ පුත්‍රයා ලෙසිනි. පවුලේ එකම දරුවා වූ බැවින් මාගේ දෙමාව්පියන්ගෙන් දුරස් වී දිගු කාලයක් නිවසින් බැහැරව විසීමට එකල මට ලැබුණු අවස්ථාව බොහෝ හිග විය. පළමු වරට එම අවස්ථාව මට ලැබුණේ “හිමිනැති වසන්තය” රූගත කළ සමයේදීය. වැල්ලවාය, හපුතලේ, කොස්ලන්ද, බණ්ඩාරවෙල, හලාවත යන ප්‍රදේශවල මෙය රූගත කෙරුණි.

පළමුවරට දෙමාව්පියන්ගෙන් දුරස් වීමෙන් මා සිතට දැනුණු සාංකාවන් යම්තාක් දුරට අඩු වූයේ සතිස්චන්ද්‍රගෙන් ලැබුණු පිය සෙනෙහසත් මානෙල් ජයසේනගෙන් ලැබුණු මව් සෙනෙහසත් නිසාය. උදෑසන රූගත කිරීම් ඇරඹීමට පෙරත් රාත්‍රියේ නින්දට යෑමට පෙරත් දෙපා නැමද ඔවුන් දෙපළගෙන් ආශීිර්වාද ලබා ගැනීම මාගේ සිරිත විය. රූගත කිරීම් අතර ලද විරාමවලදී හලාවත දර්ශන තලයේ තිබූ පේර ගස යට අසුන්ගෙන සතිස්චන්ද්‍රයෝ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෑ පිළිබඳව මට කියා දුන්හ. ඔහු වේදිකා නාට්‍යවල රඟපෑ අවස්ථාවල ලැබූ අත්දැකීම්, නළු නිළියන්ගේ සුවිශේෂතා, නාට්‍ය සංගීතය ගීත, ඉතිහාස කතා පිළිබඳ සතිස්චන්ද්‍රයන් ලැබූ පරිචයෙන්, බහුශ්‍රැත භාවයෙන් බින්දු මාත්‍රයක් මම ද උකහා ගත්තෙමි. සතිස්චන්ද්‍රයනුත් මානෙල් ජයසේනයනුත් අදාළ නාට්‍ය ගීත අප ඉදිරියේ ගායනා කොට පෙන්නූහ. සද්ජන ඇසුර අමෘත ඵලයක්ම නොවේද ?

පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ 1941 වසරේ පෙබරවාරි 11 වැනිදා කැලණි පුරවරයේ ජන්ම ලාභය ලැබුවේය. වරකාගොඩ රජයේ පිරිමි පාසල (දැන් ශ්‍රීමත් ඩී.බී. ජයතිලක විද්‍යාලය), කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඇල්පිටිය ශාන්ත මරියා විද්‍යාලය, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන ආදියෙන් අකුරු කළ හේ තම ගුරු රවිලාල් විමලධර්මගේ යොමු කිරීමෙන් ගුවන් විදුලිය ළමා පිටියේ “සේරිවාණිජ” නාට්‍යයේ රඟපෑවේය. ස්වකීය දෙටු සොයුරු ධර්මසිරි එදිරිසිංහගේ හඳුන්වා දීමෙන් කලාගුªරු ජේ.ඩී.ඒ පෙරේරාගේ “වෙස්සන්තර” (1961) නාට්‍යයේ ජූජක බමුණා ලෙස ශීලා පීරිස් සමඟ රඟපාමින් හේ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසිණ. එතැන් සිට ශ්‍රී වික්‍රම, අනේ මස්සිනේ, බකතපස්, අත්තික්කා මල් පිපිලා, එරබඳු මල් පොට්ටු පිපිලා, ඉබි කට්ට, ලියතඹරා, මහහේනේ රීරි යකා, මනරංජන වැඩවර්ජන, ගැහැනියක්, සයුරෙන් ආ ළඳ, ඔන්න බබෝ ඇතින්නියා, හබුන් කටයි බත් දෙකටයි, එළද, රතු රෝස,මහා ගෙදර, චෙරි උයන ඇතුළු නාට්‍ය ගණනාවක විවිධ සංකීර්ණ චරිත ඔහු රඟපෑවේ ය. බක තපස්, හොටබරි යුද්දේ, අතික්කා මල් පිපිලා, තහංචි, සොක්කානෝ රජානෝ, අපායේ අවුරුදු ඔහු නිර්මාණය කළ නාට්‍ය වේ.

1978 දී දයානන්ද ගුණවර්ධනයන් හා සංගීත් නිපුන් පී.වී නන්දසිරි සමඟ නැගෙනහිර ජර්මනියට ගිය සතිස්චන්ද්‍රයන් “නරි බෑනා” නාට්‍යය නිෂ්පාදනය කිරීමට සහාය අධ්‍යක්ෂක ලෙස හවුල් වූයේය.

සම්පත (1966) චිත්‍රපටයෙන් සිනමාව තරණය කළ සතිස් මුල්වරට රඟපෑවේ උත්තර මන්ත්‍රී රෙජී පෙරේරාගේ සැඩොල් කඳුළු (1967) චිත්‍රපටයේ භික්ෂූන් වහන්සේගේ නමකගේ චරිතයකි. තම කුලුඳුල් අධ්‍යක්ෂණය වූ මාතර ආච්චි (1973) චිත්‍රපටයෙන් ඔහු මුල්වරට සිරිදාස නමැති පෙම්වතාගේ චරිතය රඟපාමින් කතා නායකයෙක් වූයේය. පොඩි මල්ලි (1979), හිම කතර (1984), කොටි වලිගය (1986), ක්‍රිස්තු චරිතය (1990), මුවන්පැලැසේ කදිරා (1992), සුජාතා (1994) වැනි චිත්‍රපට ඔස්සේ රංගන කුසලතා පෙන්වූ සතිස්, මාතර ආච්චි (1973 – නිෂ්පාදනය සමඟ), රජගෙදර පරවියෝ (1975 – තිර රචනය සමඟ), ශ්‍රී මදාරා (1977 – තිර රචනය සමඟ), සතර දිගන්තය (1981), අධිෂ්ඨාන (1982 – නිෂ්පාදනය, දෙබස් රචනය සමඟ), වදුල (1984) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. හුලවාලි (1976) චිත්‍රපටයේ තිර රචකයා ඔහු වේ. සරසවිය, සාම ජනාධිපති, විජය රූපවාහිනි, කලාසූරී, සුමති ටෙලි, රයිගම් යන සම්මානයන්ට පාත්‍ර වූ සතිස් තම “අධිෂ්ඨාන” චිත්‍රපටය උදෙසා ජර්මනියේ මැන්හයිම් ජාත්‍යන්තර සම්මාන උලෙළේ කුසලතා සහතික දිනාගත්තේය. 40 වසරක් වූ ආසන්න වූ ඔහුගේ ටෙලි නළු ජීවිතයෙහිද සුවිශේෂ මං සලකුණු රාශියක් දක්නට ලැබේ. “එක මවකගේ දරුවෝ” සතිස් ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වූ ප්‍රථම ටෙලි නාට්‍යය වේ. විටෙක හේ පණ්ඩිත භික්ෂූන් වහන්සේ නමකි. (පළිගු මැණිකේ) වරෙක හිත හොඳ මුස්ලිම් ජාතිකයෙකි. (මිහිකතගේ දරුවෝ) තවත් විටෙක දුෂ්ටත්වයේ සංකේතයෙකි. (තාරාදේවි හා සුසීමා) මිනිස් ජීවිතයේ සංකීර්ණ පැතිකඩ විදහාපාන චරිත රාශියක් නිරූපණය කිරීමේ අවස්ථාව සතිස් ලැබුණේ ටෙලි නළු කලාව ඔස්සේය. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසත් (කෝකිල ගින්න, බෝසත් සාක්කිය, සව්සිරි උයන, සුවඳ පත්ම, දියවඩන මළුව, මොනරවිල, මල්වර නැකත) නිෂ්පාදකවරයකු ලෙසත් (ටිකිරි නිලමේ, නාමල් ගොල්ල, ගිරිකුල අන්දරය, නිසල විල්තෙර) ටෙලි නළු කලාවට දායක වූ ඔහු සිනමාවේ තත්පර අනූවක චරිතයක් රඟපෑමෙන් (කොටි වලිගය චිත්‍රපටයේ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස) සරසවිය විශිෂ්ට කුසලතා සම්මානයක් ලබා වාර්තාව තැබූ නළුවෙකි. නූතන තරඟකාරී වෙළෙඳ, සංකීර්ණ සමාජ ක්‍රමය හේතු කොට මනාව දයාව, සාරධර්ම පිරිහීයාම ඔහු නිර්මාණය කළ ටෙලි නාට්‍ය බහුතරයක වස්තු විෂය විය. සරල, සුගම, ධර්ම දේශනා ශෛලියකින් සකස් වූ සතිස්ගේ ටෙලිනාට්‍ය අඛ්‍යාන රීතිය අපට සිහිපත් කෙරෙන්නේ එදා පියදාස සිරිසේනයන් නවකතා ඔස්සේ ද ඇස් මහින්ද හිමියන්, ජී.එච් පෙරේරා කවිය ඔස්සේ ද නීතිඥ ජෝන් ද සිල්වා නුර්තිය ඔස්සේ ද දේශීයත්වය උදෙසා ගෙන ගිය අරගලය වේ.

ටෙලි නළු කලාව සමාජ සංශෝධනය කාර්යයෙහිලා සෘජු ලෙසත්, සරල ලෙසත්, බණ කථා ස්වරූපයෙන් උපයුක්ත කොටගත් එකම ටෙලිනාට්‍යකරුවා ඔහු පමණකැයි මම සිතමි. විටෙක ඔහු ඓතිහාසික මූලාශ්‍ර මගින් ද තම නිර්මාණ පෝෂණය කොට ගත්තේය. සිංහල ජාතිය සතු වීරත්වය, එඩිතර බව, ස්වාභාවික සම්පත් රැක ගැනීමේ වැදගත්කම, ළමා සහ තරුණ පරපුරෙහි හික්මීම, අව්‍යාජ බවෙහි අගය, ඇතැම් දේශපාලනඥයන්ගේ අධම ක්‍රියා හෙළා දැකීම, මව්බස රැක ගැනීමේ අගය, අන්‍යෝන්‍ය සමාජ සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම, මිථ්‍යා විශ්වාසවලින් මිදුණු සැබෑ ධාර්මික බව ජන විඥානයට කාවැද්දීම සතිස්ගේ ටෙලි නාට්‍ය අඛ්‍යාන රීතියේ කැපීපෙනෙන ලකුණු වේ. සතිස්චන්ද්‍රයෝ නවක කලාකරුවන් රැසක් කලා ලොවට හඳුන්වා දුන්හ. වික්ටර් රත්නායකයන් මුල්වරට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසුණේ ද, මිල්ටන් මල්ලවආරච්චි මුල්වරට චිත්‍රපට පසුබිම් ගායක‍යකු වූයේද, රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, ලක්ෂ්මන් රුද්‍රිගු සමුහ ගායනයෙන් මුල්වරට සිනමාවට එක් වූයේද ඔහුගේ “මාතර ආච්චි” චිත්‍රපටයෙනි. සරත් ගුණරත්න, කේ.ඒ. මිල්ටන් පෙරේරා, විජය නන්දසිරි, කුවින්ටස් වීරකෝන් සුළු චරිතයක් රඟපාමින් මුල්වරට සිනමා කැමරාවකට මුහුණ දුන්නේ ද “මාතර ආච්චි” ඔස්සේය. තම කනිටු සොහොයුරා සුනිල් එදිරිසිංහට ද “මාතර ආච්චි” චිත්‍රපටයෙහි පසුබිම් ගායනයට පිවිසීමට ගුරුහරුකම් ලැබුණේද ද ඔහුගෙනි. ඔහුගේ ටෙලිනාට්‍ය ඔස්සේ කලා ලොවට පිවිසනු නවකයෝ බොහෝ වෙති.

ඔහු දශක 6ක කාලයක් පුරා වේදිකාව, සිනමාව, ටෙලි නළුව යන මාධ්‍යත්‍රය ඔස්සේම රූපණ ශිල්පියෙකු වශයෙන් අදියුරු බවෙන්, අර්ථපතීත්වයෙන්, සමාජ සංශෝධනයෙන් ඉටුකළ මහඟු මෙහෙවර සාකල්‍යයෙන් විග්‍රහ කිරීම මෙබඳු ක්ෂුද්‍ර ලිපියකින් කළ නොහැක්කකි. එය කිසියම් විද්‍යාර්ථීයකු මහත් පරිශ්‍රමයකින් කළ යුතු ශාස්ත්‍රීය කාර්යයකි. මතු දින එබඳු හැදෑරීමක් උදෙසා මේ කෙටි ලිපියෙන් යම් උත්තේජනයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි. පෞද්ගලික වශයෙන් සලකා බැලූ කල්හි මගේ මරණ මංචකය දක්වා මට තුන් සූත්‍රය අමතක කළ නොහැකිය. මගේ දිවි ඇති තුරා තුන් සූත්‍රය සජ්ඣායනා කරන සෑම විටෙකදීම පාහේ සිරි ගුණාලංකාර බුදු පහනත්, සතිස්චන්ද්‍රයනුත් මා සිහියට නැඟෙනු ඇත.

 

ආචාර්ය නුවන් නයනජිත් කුමාර
[email protected]

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT