ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ සත් වැනි උත්තමාචාර සිනමා සම්මාන උළෙල 1980 වසරේ මාර්තු මස තුන් වැනිදා කොළඹ කාන්තා විදුහල් ශාලාවේදී පැවැත්වූයේ ඉන් දස වසකට පෙරාතුව නිර්මිත හා තිරගත මහගම සේකරගේ ‘තුංමංහන්දිය’සිනමාපටය වෙත 1970 දශකයේ විශිෂ්ටතම සිනමාපටයට හිමි සම්මානය පිරිනමමිනි.
සිනමාකරු මහගම සේකර සිය පළමු වැනි හා එකම සිනමා නිමැවුම සඳහා මෙසේ ලද අපමණ ගෞරවය පසුපස සිටි විසල් මිනිසා වූ සිනමා නිපැයුම්කරු චිත්‍ර බාලසූරිය පසුගියදා සිය නොකිලිටි දිගු දිවි සැරිය නිමාවට පත් කළේය. ඒ සිනමා නිමැවුම සේම සිනමා නිපැයුමද අතිශය වැදගත් වන්නක් වග තවදුරටත් අවධාරණය කරමිනි. සිය දශක නවයකට අධික දිවි සැරිය විෂයෙහි චිත්‍ර බාලසූරිය සිනමා නිපැයුම්කරුවකු වූයේ අවස්ථා ද්වයකදී පමණි. එහෙත් හරවත් සිනමා සංස්කෘතියක් වෙනුවෙන් නොපැකිලව පෙනී සිටි නිසාම මෙම අවස්ථා ද්වයේදීම විශිෂ්ටයකු වන්නට ඔහුට හැකි වූ බව පැහැදිලිය.
සිනමාපටයක අනුශාංගික අංග ගණනාවකි. කෙටි හා වාර්තා සිනමා පිවිසුම් වෙතින්ද මේවග සැක හැර දැන ගත හැකිය. සිනමාකරු මෙම සියලු අනුශාංගික අංග සිය අභිමතය කුළුගන්වාලනු පිණිස මෙහෙයවන්නටත්, හසුරුවන්නටත් උත්සුක වන්නේ නන් අයුරිනි. එසේම මෙහිලා ඔහු සමත්වන තැන් සේම අසමත් වන තැන්ද නොඅඩුව දත හැකිය. එනම් විචාරක, රසික පැසසුම් හා දොස් නිසැක වශයෙන්ම විඳ දරාගන්නට ඔහුට සිදුවන බවයි. සම්මාන සම්බන්ධයෙන්ද තතු එසේමය.
එනමුදු සිනමාකරුවකුගේ පමණක් නොව සිනමාපට හා එක්වන සියල්ලන්ගේම අරමුණු වෙනුවෙන් පෙනී සිටින සිනමා නිපැයුම්කරු පිළිබඳ නිසැක සඳහනකට පැමිණෙන අවස්ථා දැක ගත හැක්කේ සම්මාන ප්‍රදානෝත්සව ආදියේදී පමණි. සිනමා විචාර කාර්යයන් බොහොමයකදී සිනමා නිපැයුම මුළුමනින්ම හෝ අඩ වශයෙන් නොතකා හැරෙන්නේ කිසිදු වග විභාගයකින් තොරවයි. එනම් සිනමාපටයක් යනු සිනමාකරු ප්‍රමුඛ සිනමා ශිල්පීන් විසින් ප්‍රාදූර්භුත කරනු ලබන්නක්ම වන බවය. කෙසේ නමුදු ලොව මුල් පෙළේ සිනමා නිපැයුම් ආයතන ගෙන එන සිනමාපට විෂයෙහි නිපැයුම් පිල පිළිබඳ සහේතුක සඳහන් කිරීම් නිශ්චය කර ගත හැකි වග පෙනේ. සිරිලක සිනමා කලාපයේදී නම් සිනමා නිපැයුම්කරු සලකා බැලීම කෙසේ වතුදු නොතකා හැරීම ඉහළින්ම සිදුවන අවස්ථා බොහෝය.
මේ අනුව සිරිලක කලාත්මක, සම්භාවනීය සිනමාව පොහොසත් කරලනු පිණිස සිය ධනය නොමසුරුව යෙදවූ චිත්‍ර බාලසූරිය හුදු සුලබ සිනමා නිපැයුම්කරුවකු නොවන වග පෙනී යයි. එනම් ඔහු කිසි විටෙකත් සිනමාව ධනොපයන මඟක් සේ නොදකින්නට පසුබට නොවූ නිසාවෙනි. පෙර සඳහන් කළ පරිදි මහගම සේකර 1970 දශකයේ විශිෂ්ටතම සිනමාකරුවා වන්නේ නම් 1970 දශකයේ විශිෂ්ටතම සිනමා නිපැයුම්කරුවා චිත්‍ර බාලසූරිය විය යුතු වග වෙසෙසින් කිව යුත්තක් නොවේ.
සිනමා සම්මාන ප්‍රදානෝත්සව නිරන්තරයෙන්ම වසරේ හොඳම සිනමා නිපැයුම වෙනුවෙන් අදාළ නිපැයුම්කරු වෙත සම්මාන පිරිනමන්නේ වසර ගණනාවක පටන්මය. එහෙත් සිනමා ඉතිහාසය ලියැවෙන බොහෝ අවස්ථා සිනමා නිපැයුමට ලද සම්මාන ලුහු කොට දමන්නේ කිසිදු පිළිගත හැකි හේතුවකින් තොරවයි. චිත්‍ර බාලසූරියද මේ ඉරණමටම මුහුණ දුන් වග රහසක් නොවේ. එහෙත් ඔහු සිය සිනමා නිපැයුම් ද්වයේදීම පළ කළ විසල් බව හෙට දවසේදීත් ඇගැයෙන වග සැබෑවකි.
මෙයින් දෙවැන්න වන ‘තුංමංහන්දිය’ ධනොපායනයේදී සාර්ථක නොවූ බව සඳහන් කළ යුතුය. මෙය විද්වත් සිනමා රසික සුළුතරයටම සීමාවූ සිනමාපටයක් විය. අනතුරුව චිත්‍ර බාලසූරිය සිනමා නිපැයුමට එක් නොවූයේ මෙසේ ‘තුංමංහන්දිය’ ලද අත්දැකීම නිසා නොවන බව කියැවේ. මන්ද ඉහතදීත් සඳහන් කළ පරිදි ඔහු සිනමාවෙන් ධනය උපදවා ගැනීමේ අරමුණ මතම රැඳී නොසිටි අයකු වන නිසාවෙනි.
‘තුංමංහන්දිය’ සමකාලීනව ලද සම්මාන පසුපසද චිත්‍ර බාලසූරියගේ සිනමා රුචිකත්වය තිබෙන වග කිව යුතුය. ඇතැම් වාර්තා පවසන්නේ ‘තුංමංහන්දිය’ නිපදවීමට නියමිතව සිටියේ ලීනස් දිසානායක වන බවයි. සිරිලක සිනමාවේ තවත් විශිෂ්ට සිනමාපටයක් සේ සැලකෙන ‘සත් සමුදුර’ නිපදවමින් මහාචාර්ය සිරි ගුනසිංහ අද්විතීය සිනමාකරුවකු බවට පත් කරන්නට පසුබිම සැකසුවේ ලීනස් දිසානායකයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිමවන්නට සූදානම් වූ ‘තුංමංහන්දිය’ මහගම සේකරගේ නිමවුමක් බවට පත් කරලනු පිණිස වූ පෙළ ගැසීමේ වාසිය චිත්‍ර බාලසූරිය වෙත හිමි වීම සිරිලක සිනමා නිමවුම් හා නිපැයුම් සතු ඇතැම් සැඟවුණු පැති විමසීමේ අරුත්බර බව විමසීමට ලැබෙන මහඟු අවස්ථාවකි.
1971 වසරේදී පැවැත්වූ සිව්වැනි විචාරක සම්මාන උළෙලේදී හොඳම සිනමාපටය වූ ‘තුංමංහන්දිය’ වෙනුවෙන් චිත්‍ර බාලසූරිය සම්මාන දිනා ගත්තේ හොඳම සිනමාකරුවා ලෙස මහගම සේකර සම්මාන දිනා ගැනීමට සමගාමීවය.
සිරිලක වෘත්තාන්ත සිනමාවට විසිපස් වසක් සපිරුණු 1972 වසරේදී සිනමා විචාරක සංගමය එතෙක් තිරගත විශිෂ්ටතම සිනමාපට දහය තෝරද්දී ‘තුංමංහන්දිය’ ට සිව්වන ස්ථානය හිමි වුයේ නිපැයුම්කරු චිත්‍ර බාලසූරියද නිසාවෙනි.
‘තුංමංහන්දිය’ කරා චිත්‍ර බාලසූරිය පැමිණෙන්නේ සිරිලක ගෞරවනීය සිනමා නිපැයුම්කරුවකු බවට පත්ව සිටි පසුබිමකයි. වසර 1966 දී මුල් වරට තිරගත ‘පරසතුමල්’ හි ඔහුගේ නිපැයුම නිසැක වශයෙන්ම ‘තුංමංහන්දිය’ නිපැයුම තරමටම අගනේ වෙයි. මෙය වඩාත් වැදගත් වන්නේ ‘පරසතුමල්’ ගාමිණී ෆොන්සේකාගේ පළමුවැනි සිනමා නිමැවුම වන හෙයිනි. මහගම සේකර මෙන් නොව ගාමිණී ෆොන්සේකා සිය දිවි සැරිය තුළදී වෘත්තාන්ත සිනමාපට ගණනාවක් නිමවූ කළ වග සඳහන් කළ යුතුමය. ගාමිණීගේ මෙම සිනමා අදියුරු ගමන සඳහා අවැසි සවිය මුලින්ම සැපයුවේ චිත්‍ර බාලසූරිය වන්නටද පුළුවන.
‘පරසතුමල්’ නිමැවුමට ගාමිණී ෆොන්සේකා වෙත අවස්ථාව උදා වන්නේ එක එල්ලේම නොවේ. පළමුව ‘පරසතුමල්’ නිමවනු පිණිස සූදානම්ව සිටියේ ලෙස්ටර් ජේම්ස් පීරිස් බවයි කියැවෙන්නේ. එහෙත් අන් සිනමාපටයක් නිමවමින් සිටි නිසා ගාමිණීට ‘පරසතුමල්’ නිමවීමේ අවස්ථාව උදා විය. චිත්‍ර බාලසූරිය මේ වන විටත් සිරිලක සිනමාව දෙස මහත් උද්යෝගයෙන් බලා සිටි අයකු බව සඳහන් වේ. ගම්පහ පිහිටි ඔහුට අයත් චිත්‍රා ස්ටුඩියෝ – ඡායාරූප ශාලාව කියා පාන්නේම ඔහුගේ සිනමා නැඹුරුවේ තරමයි.
‘පරසතුමල්’ 1960 දශකයේදී පෙරට ආ නව සිනමා ප්‍රබෝධයේ කැපී පෙනෙන අවස්ථාවකි. ‘සාමා’ , ‘සත්සමුදුර’, ‘දහසක් සිතුවිලි’ , ‘මොකද වුණේ’, ‘රොමියෝ ජුලියට් කතාවක්’ සේම මහගම සේකරගේ ‘තුංමංහන්දිය’ද මෙහි අනෙකුත් සිනමාපට සේ නම් කළ හැකිය. මේවා වෙළෙඳ පොළේදී අසමත් වූ අවස්ථාද තිබිණි. කෙසේ නමුදු ‘පරසතුමල්’ සැලකිය යුතු ආදායමක් උපදවන්නට සමත් වූ බවයි සඳහන් කෙරෙන්නේ. වරක් සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ ‘දිනමිණ’ පතෙහි සඳහන් කළේ මේ උසස් සිනමාපටයක් ජනාදරප්‍රාප්ත වූ පළමු අවස්ථාව වන්නේය යන්නයි.
1968 වසරේ ජනවාරි මස 22 වනදා කොළඹ ආනන්ද විදුහල් ශාලාවේදී පැවති එක්සත් ලංකා රසික සංගමයේ තෙවැනි සිනමා සම්මාන උළෙලේදී ‘පරසතුමල්’ වෙනුවෙන් හොඳම සිනමා නිපැයුම්කරුට හිමි සම්මානය හිමිවූයේ චිත්‍ර බාලසූරියටයි. එහිදී හොඳම සිනමා අදියුරු වූයේ ගාමිණී ෆොන්සේකා නොවේ. හොඳම සිනමා අදියුරු හා හොඳම සිනමා නිපැයුම එකම සිනමාපටයකට හිමි නොවීමේ මෙම දුලබ අවස්ථාව චිත්‍ර බාලසූරිය ලද සම්මානයේ වටිනාකම ඉහළ නංවන්නකි.
චිත්‍ර බාලසූරියගේ සිනමා නිපැයුම පරසතුමල් සමඟ 1972දී ඇගැයීමට ලක් වුයේ ‘තුංමංහන්දිය’සමඟිනි. ඒ ලංකා සිනමා විචාරක හා ලේඛක සංගමය මෙහෙයවූ විසිපස් වසක විශිෂ්ටතම සිරිලක සිනමාපට දහය තෝරද්දී ‘පරසතුමල්’ පස්වන ස්ථානය හිමි කර ගැනීම නිසාය.
චිත්‍ර බාලසූරියගේ සීමිත එහෙත් විශිෂ්ට සිනමා නිපැයුම ‘පරසතුමල්’ හා ‘තුංමංහන්දිය’ සමඟ යළිත් ඇගැයෙන්නේ 1997 වසරේදී සිරිලක වෘත්තාන්ත සිනමාවට පනස් වසක් සපිරෙන සමයේදීයි . ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා විචාරක ලේඛක තිස් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් පනස්වසක විශිෂ්ටතම සිනමාපට තෝරද්දී ‘තුංමංහන්දිය’ට සයවන තැන හිමි විය. ‘පරසතුමල්’ ට දහවන ස්ථානය හිමි විය. එනම් මහගම සේකර හා ගාමිණී ෆොන්සේකා සේම චිත්‍ර බාලසූරියද විශිෂ්ටයකු වන බවයි.
විශිෂ්ට සිනමාපට දෙකක්ම නිපදවා සම්මාන, ගෞරව හා පැසසුම් නොමඳව හිමි කර ගත් චිත්‍ර බාලසූරිය ගෙවුණු වසර පනස් පහ තිස්සේ නිහඬ දිවියක් ගත නොකළ බවද කිව යුත්තකි. සිනමාවට බැඳුනු අවස්ථා ගණනාවකදීම ඔහුව දැක ගත හැකි විය. පසුකාලීන සිනමා ශිල්පීන් හා ශිල්පිනියන් සමඟ ඔහුගේ ලෙන්ගතුකම අපමණ විය. සරල හා සැහැල්ලු දිවියක් ඔහු ප්‍රිය කළ බවද සිතේ . කිසිදා වෙනස් නොවන සුදු පැහැති ඇඟලුම් සමඟද ඔහු සිය අනන්‍යතාව පෙන්නුම් කළේය. අතීත සිනමා පුවත් පවසන්නේ ඔහු හුදු ධනය යොදවන සිනමා නිපැයුම්කරුවාගේ චරිතයෙන් ඔබ්බට ගොස් සිනමාපටයේ අරුත්බර බව වෙනුවෙන් වෙහෙසුණු අයකු වූ බවයි. ඉන් අදහස් කෙරෙන්නේ සිනමා නිපැයුමේදී ඔහු වෙතින් උගත යුතු අගනා පාඩම් තිබෙන වගය.
තුසිත ජයසුන්දර
