Home » රූපය හදාගෙන තිබෙනවා ඔළුව හදාගෙන නැහැ

රූපය හදාගෙන තිබෙනවා ඔළුව හදාගෙන නැහැ

රංගන ශිල්පී / අධ්‍යක්ෂ අජිත් ලොකුගේ

by mavan
November 6, 2025 12:59 pm 0 comment

කොතරම් දේ තිබුණත් ආශාවන් තව තවත් වැඩි කරගන්නවා මිස ලද දෙයින් සතුටු නොවීම මිනිසා සතු දුර්වලකමකි. මිනිසාගේ ආශාවන් නිමක් නැත. හැම දෙනාම පාහේ ජීවත් වන්නේ හීන සමඟය. ඒ හීන සැබෑ වන අවස්ථාද ඇත. මෑතකදී සිට වේදිකා ගතවන ” බ්‍රිස්බේන් මනාලයා” වේදිකා නාට්‍යයෙන් කියැවෙන්නේ ද මිනිසුන් තුළ ඇති විවිධ වූ හීන පිළිබඳවයි.

අද සරසවියෙන් කතාබහ කරන්නට යන්නේ ” බ්‍රිස්බේන් මනාලයා” වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂවරයා සමඟය. ඔහු කවුරුත් හඳුනන නාට්‍යවේදියෙකු වගේම රංගන වේදියෙකු වූ අජිත් ලොකුගේය. වේදිකාව , ටෙලි නාට්‍ය, සිනමාව යන අංශ ත්‍රිත්වයෙහිම ඔහු මේ වන විට දස්කම් පාමින් සිටියි. ඔහු රංගන ශිල්පියෙකු වගේම ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. අජිත් ලොකුගේ රංගන ශිල්පියා රංගන ගමනේ මෙතරම් දුර පැමිණ ඇත්තේ ඔහු තුළ තිබෙන දක්ෂතාවය නිසාය.

කලාවට සෙවණ දෙන සුදර්ශි ආයතනයේ ගාම්භීරත්වය කියාපාන දැවැන්ත නුගරුක සෙවනේහි මුණ ගැසුණේ ඔහුගේ ” බ්‍රිස්බේන් මනාලයා ” ගැන කතා කරන්නටය. එහෙත් ඔහු කතා කළේ බ්‍රිස්බේන් මනාලයා ගැන පමණක් නොවේ. ඔහු ආදරය කරන වේදිකාව , ටෙලි නාට්‍ය , සිනමාව ගැන වැදගත් කරුණු ගැන කතා කළේය. ඒ කතා බහේදී ඔහු කතා කළේ සමස්ත කලාකරුවන් වෙනුවෙනි. කලා ක්ෂේත්‍රයේ මුහුණ පාන්නට සිදුවෙන අර්බුදයන් පිළිබඳවය. එහිදී ඔහු සෘජුව අදහස් ප්‍රකාශ කිරීම කැපී පෙනුණි. එහෙත් ඔහුගේ මුහුණින් මතුවන සුපුරුදු සිනහව කිසි විටෙකත් පහව නොගියේය. ඉතාමත් සුහදශීලි ලෙස සරසවිය සමඟ එක්වූ අජිත් ලොකුගේ කලාකරුවාණන් තම කතා බහට මුල පිරුවේ මෙසේය.

මේ දිනවල මම වේදිකාවත් සමඟයි වැඩි කාලයක් ගත කරන්නේ. මම අධ්‍යක්ෂණය කළ ” බ්‍රිස්බේන් මනාලයා ” මේ දිනවල සාර්ථකව වේදිකාගත වෙනවා. සාමාන්‍යයෙන් මම රඟපාන, නිෂ්පාදනය කරන කිසිදු නිර්මාණයක මම රඟපාන්නේ නැහැ කියන තීරණයේ තමයි මම සිටියේ. එහෙත් ඒ තීරණය වෙනස් කරන්න සිදුවුණා. එයට විශේෂ හේතුවක් තිබෙනවා. මම රඟපාන චරිතය මට පෙර රඟපාන්න සිටියේ අපේ හිතාදර නලීන් ප්‍රදීප් උඩුවෙල රංගන ශිල්පියා. එහෙත් ඔහුගේ හදිසි අභාවය නිසා ඒ චරිතය මට කරන්න සිදුවුණා. ” බ්‍රිස්බේන් මනාලයා ” නාට්‍යයට පාදක වෙලා තිබෙන්නේ හරි අපූරු සිදුවීමක්. මෙය කපිල කුමාර කාලිංගයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්.

අපි කාටත් හීන තිබෙනවා. අපි කවුරුත් කැමති ලස්සනට ජීවත් වෙන්න. හැමෝම කැමතියි වෙනත් රටකට ගිහින් සැප විඳීන්න. “බ්‍රිස්බේන් මනාලයා ” වේදිකා නාට්‍යයෙන් කියවෙන්නේත් එවැනි දේ ගැන. බ්‍රිස්බේන් වලින් හදිසියේ එන දුරකතන ඇමතුමක් නිසා වන සිද්ධි දාමයක් මේ නාට්‍යයෙන් කියැවෙනවා. එහෙත් එහි අවසානය ඛේදවාචකයක් බවට පත්වෙනවා. ඇත්තටම සිදු වෙන්නේ කුමක්ද කියා දැනගන්න නම් බ්‍රිස්බේන් මනාලයා නරඹන්න වෙනවා. මෙහි මා සමඟ මාදනී මල්වත්තගේ, අංජුලා රාජපක්ෂ , නිමාලී යටිවැල්ල, නදීශානි පේළිආරච්චි , කල්පනී ජයසිංහ සහ ප්‍රදීප් මානවඩු රංගනයෙන් දායක වෙනවා. මෙහි සංගීතය ජනක ෆොන්සේකාගෙන්.අංග රචනය කරන්නේ චන්දන බණ්ඩාර, ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අමා විජේසේකර විසින් ඇඳුම් නිර්මාණය සිදුකළා. චන්දන නිශාන්ත වේදිකා පරිපාලනයෙන් දායක වුණා. රංගාලෝකය කළේ මිහිඳු මධුසංඛ සහ ශිරාන් නාලක. බ්‍රිස්බේන් මනාලයා නිෂ්පාදනය කළේ ප්‍රියංකර ද සිල්වා සහ අනුර පෙරනගමගේ විසින්. පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා මංගල දර්ශනය පැවැත්වුණා. මේ වන විට අපට තවත් දර්ශන වාර ලැබී තිබෙනවා. කුරුණෑගල , මාතර, නුවර, ගාල්ල, ගම්පොළ සහ මම වාසය කරන පිළියන්දලින්.

වර්තමානය වනවිට වේදිකා නාට්‍ය වටා ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වී තිබෙනවා. අද ප්‍රේක්ෂකයා බුද්ධිමත්. ඔවුන්ට හැකියාව තිබෙනවා නිර්මාණ තෝරා බේරා ගෙන බලන්න. බොහෝ විට ප්‍රේක්ෂකයා ප්‍රිය කරන්නේ හාස්‍යයට. හැත්තෑව දශකයේ වේදිකා නිර්මාණ අර්ථාන්විත බවක් ගැබ් වී ට

තිබුණා. එහෙත් ඒ තත්වය අද වන විට පහළ බැස තිබෙනවා. එහෙත් ඒ අතර ගුණාත්මක බවින් යුත් නිර්මාණත් බිහිවෙනවා. අද එදා වගේ නෙවෙයි වේදිකා නාට්‍යයක් කරන්න අමාරුයි. අද පවතින ආර්ථික රටාව හේතුවෙන් පවුලේ සැමට එකට නාට්‍යයක් නරඹන්න අපහසුයි. ටිකට් පතක මිල ගණන් වැඩිවීම නිසා. සවස් යාමයේ දර්ශන වාරයක් නැරඹු පසු රාත්‍රියේ ගෙදර යන්න බස් නැහැ.

ඒ වගේම වේදිකා නාට්‍යයක් රැගෙන පිට පළාත්වලට යන එක ගැටලුවක් වෙලා තිබෙන්නේ. නාට්‍ය කණ්ඩායම රැගෙන යන බස් රථයේ අය කිරීම් අධිකයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ කාලයේ නාට්‍ය කරුවන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා බස්‍ රථ දෙකක් ලබා දුන්නා. වර්තමානයේ නාට්‍යකරුවන් මුහුණපාන ප්‍රධානම ගැටලුව වෙන්නේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම.

අනෙක් කාරණාව තමයි පුහුණුවීම් වලට තැනක් නොමැති කම. යම්තාක් දුරකට පහසු ගෙවීමක් යටතේ ගතහැකි තැනක් තියෙන්නේ සුදර්ශිය පමණයි. නාට්‍ය ශාලාවල පහසුකම් අවමවීම අපි මුහුණපාන තවත් ගැටලුවක්. මේ යටිතල පහසුකම් ටික සපයා දීම සඳහා රාජ්‍ය මට්ටමේ අනුග්‍රාහකත්වයක් වත් ලැබිය යුතුයි. කලාව, කලාකරුවන් රටකට අත්‍යාවශ්‍යමයි.

අපේ රට යහපත් තැනක තිබිලා අවරට ගිය රටක්. අපට හොඳ සාහිත්‍ය කලාවක්, වේදිකා නාට්‍ය කලාවක් , සිනමාවක් , ගීත කලාවක් , ගුවන් විදුලි කලාවක් තිබුණා. ගහකින් මලක් කැඩුවත් එක මලක් හරි ගහකට ඉතුරු කළ සදාචාරාත්මක මිනිසුන් ජීවත් වූ රටක් අපට තිබුණා. ඒ මුල් තාමත් තිබෙනවා. මුල් නැති සමාජයකින් ඵලක් නැහැ. කලාවටත් එය එසේම බලපානවා. අවරගණයේ නිර්මාණ බිහිවෙන නිසා තමයි කලාව පිරිහෙන්නේ. අද ටෙලි නාට්‍ය කලාවේ ගුණාත්මක බවක් නැහැ.

එදා ජාතික රූපවාහිනියේ එම්. ජී. පෙරේරා වැනි විශිෂ්ට පරිපාලන නිලධාරීන් සිටියා. ඉන්පසු එවැනි චරිත සිටියේ නැහැ. එදා උසස් රසවින්ඳනයට මුල්තැන දුන්නා. රාත්‍රී අටත්, අටයි තිහත් අතර මුදල් උපයන වෙලාවක් නොවෙයි කියා පවසා තිබුණා. ගුණාත්මක බවින් යුත් වැඩසටහන් ටෙලි නිර්මාණ විකාශය වුණේ ඒනිසා. අද දක්ෂ රංගන ශිල්පීන් බිහිවෙන්නෙත් කලාතුරකින්. ටෙලි නාට්‍යයේ තිබෙන්නේ ඇක්ෂන් කට් පමණයි. අද තිබෙන්නේ ටෙලි නාට්‍ය රැලි. අපිත් ඒ වගේ ටෙලි නාට්‍යවල රඟපානවා. නැත්නම් ප්‍රේක්ෂකයාට අපව අමතක වෙනවා.

අද තරුණ පරම්පරාවත් මොට වෙලා. තරුණ රංගන ශිල්පීන්ට රඟපාන්න ගුණාත්මක බවින් යුත් චරිත ලැබෙන්නේ නැහැ. දක්ෂයෝ ඉන්නවා. ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න ටෙලි නාට්‍ය බිහිවෙන්නේ නැහැ. ඇතැම් පෞද්ගලක රූපවාහිනි නාලිකාවල ටෙලි නාට්‍යවල ප්‍රමිතියක් නැහැ. ඒවයේ රඟපාන්නේ අවුරුදු කුමර කුමරියෝ. නළුවෙක් නිළියක් වෙන්න නම් රඟපෑම ගැන හැදෑරිය යුතුයි. පොතපත කියවිය යුතුයි. උසස් නිර්මාණ නරඹා එයින් තමන්ගේ රංගනය වැඩි දියුණු කරගත යුතුයි. අද සිටින ඇතැම් නළු නිළියන්ට වැඩ වැඩියි. ඒත් ප්‍රමිතියක් ඇති වැඩ නැහැ. ඔවුන් ඇඟ , රූපය හදාගෙන තිබෙනවා. ඒත් ඔළුව හදාගෙන නැහැ.

දක්ෂයන් බිහිවන්නේ හැදෑරීම තුළින්. ඉවසීමෙන්, හදිසි නොවී කටයුතු කිරීමෙන්. එම ගතිලක්ෂණ සැබෑ රංගන ශිල්පීන් සතුව තිබෙනවා. ජ්‍යේෂ්ඨයන්ට ගරු කරමින් ඉදිරියට යා යුතුයි. මා මේතාක් දුර රංගනයෙන් ඉදිරියට පැමිණියේ ඉවසීමෙන්. හරි දේ කිරීමෙන්. ඉදිරියටත් එසේමයි. ගුණාත්මක බවින් යුතු නිර්මාණ සමඟ ප්‍රේක්ෂකයාට සමීප වීමයි වඩාත් යහපත් වන්නේ. අදටත් මා වටා හොඳ රසික පිරිසක් ඉන්නවා. ඒ මට අතීතයේ ප්‍රමිතියෙන් උසස් නිර්මාණ වලට දායක වෙන්න ලැබුණු නිසයි.

අනාගතයේදී චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අදහසක් තිබෙනවා. මට කිසිදු හදිසියක් නැහැ. කාලය අරගෙන සිනමා නිර්මාණයක් කිරීම තමයි බලාපොරොත්තුව. මේ වනවිට මම ටෙලිනාට්‍ය පහක් පමණ අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ සඳහා ඇඟයීම් සහ සම්මාන වලින් පිදුම් ලබා තිබෙනවා. මෑත කාලයේ මට හොඳ චරිත ලැබුණා සිනමාවේ. චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ ගේ අලුත්ම චිත්‍රපටයේ චරිතයක් ලැබුණා. චිත්‍රපට අධ්‍යක්ෂ සරත් ධර්මසිරිගේ “කඩහපොළ හාමුදුරුවෝ” චිත්‍රපටයේ චරිතයක් රඟපෑවා. ඒ වගේ එකක් දෙකක් රඟපාලා සිටියහම ඇති කියලා තමයි මට හිතෙන්නේ. මට හදිසියක් නැහැ. ඒ නිසා මට ලැබෙන හොඳ චරිත සමඟින් කලාක්ෂේත්‍රයේ රැඳී සිටිනවා.

සරසවිය සමඟ කතාබහ කළ වෙලාවේ , මගේ ආදරණීය රසිකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට මෙසේ කියන්න කැමතියි.

හීන තිබෙන හීන නොතිබෙන හැමෝම බ්‍රිස්බේන් මනාලයා නරඹන්න.

සේයාරූ -නිශ්ශංක විජේරත්න

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT