ජායාරූප කලාව යනු ඉතාමත් සුන්දර කලාවකි. එසේම මනසට සහ දෑසට සැනසීමක් ගෙන එන්නකි. කුඩා කල සිටම තමන් දැඩි ලෙස ආශා කළ විෂයක් පසු කලෙක තමාගේ වෘත්තිය කරගැනීමට හැකිවීම කෙතරම් භාග්‍යක්ද. ජායාරූපකරණයේ යෙදෙන්නේ බොහෝ විට පුරුෂ පක්ෂයයි. එහෙත් වර්තමානය වනවිට කාන්තා පාර්ශවයද තම වෘත්තිය වශයෙන් ජායාරූප ගැනීම වෘත්තිය බවට පත්කරගෙන තිබේ. කාන්තාව සේම ඇයගේ දෑසත් සුන්දරය. කාන්තා ඇසට සුන්දර වස්තූන් ඉතා ඉක්මණින් ග්‍රහණය කරගැනීමට හැකියාව ඇත. තම සුන්දර දෙනෙත් තම වෘත්තියට සම්බන්ධ කරගත් සුන්දර, කාර්යශූර යුවතියක පසුගිය දිනෙක සරසවියට හමුවිය. සිනමා ක්ෂේත්‍රයේ සහ කලා ක්ෂේත්‍රයේ කවුරුත් මේ දිනවල ඇය ගැන කතා කරති. ඒ ඇය සිනමාතරු පිරිවරා කළ දින දර්ශනය හේතුවෙනි. ඇය රැෆෙල්ලා ප්‍රනාන්දුය. ඇය සාමාන්‍ය ජායාරූප ශිල්පිනියක් නොවේ. ඇගේ ඡයාරූප කලාව අතිශයින්ම වෙනස් මුහුණුවරක් ගෙන ඇත. රැෆෙල්ලා ජායාරූප ශිල්පිනියක් පමණක්ම නොවේ. ඇය මෝස්තර නිර්මාණකරණයේද යෙදෙන්නියකි. ඒ පිළිබඳ උපදේශිකාවකි. ඉහළ පෙළේ වෙළඳ දැන්වීම් ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂවරියකි. මෙවැනි බොහෝ අංශ ගණනාවක දස්කම් පාන රැෆෙල්ලා සරසවිය සමඟ කතා බහට එක්වූයේ ඉතාමත් සුහද ලීලාවෙනි.
ජායාරූප කලාවට මම පොඩිකාලේ ඉඳන් ආසා කරපු දෙයක්. මම පාසල් ගියේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. පාසලේ ජායාරූප සංගමයේ සාමාජිකාවක් විදිහට කටයුතු කළා. ඒ වගේම මෝස්තර නිර්මාණයටත් කැමැත්තක් තිබුණා. ඒ ආසාව අදටත් තියෙනවා. මගේ වෘත්තීය ආරම්භ කළේ මීට වසර දාහතකට පෙර. ජායාරූප ශිල්පිනියක් විදිහට. ප්‍රමුඛ පෙළේ වෙළඳ දැන්වීම් ආයතන සහ වෙළඳ සන්නාම සමඟ එක්වී මම වැඩ කරල තියෙනවා එහි නිල ජායාරූප ශිල්පිනියක් විදිහට.
Photography කියන්නේ හොඳ ආදායමක් උපයන්න පුළුවන් රැකියාවක්. කියන්න සතුටුයි අද වන විට තරුණියන් මේ රැකියාව තෝරාගෙන තියෙනවා. මම නිතරම අලුත් යමක් කරන්න කැමති කෙනෙක්. මේ වසරේ සිදුවූ වෙනස්ම විදිහේ වැඩක් තමයි සිනමා තරු සම්බන්ධ කරගෙන මා අතින් නිර්මාණය කළ කැලැන්ඩරය. මේ දිනවල බොහෝ දෙනෙක් කතා වෙන්නේ ඒ ගැන. මෙවර මම කැලැන්ඩරය කළේ දාහතර වෙනි වතාවට. මම පාසල් ගිය කාලේ මට නළු නිළියන් ඉන්න කැලැන්ඩරයක් හම්බ වුණා. ඒක පිටරට එකක්. ඒ කැලැන්ඩරයේ පෙනී සිටි නළු නිළියන් ඉතාමත් සුන්දර විදිහට හැඩ කරලා තිබුණා. ඒ ජායාරූප හරිම සුන්දර විදිහට තිබුණා. ඒ වගේම ආකර්ෂණීයයි. එදා මටත් හිතුණා ඇයි අපේ සිනමා ශිල්පීන්ට මෙවැනි අවස්ථාවක් නැත්තේ කියලා. ඉතින් මම හිතුවා කවදාහරි අපේ නළු නිළියන් යොදාගෙන එවැනි කැලැන්ඩරයක් කරන්න. ඒ සිතුවිල්ල මගේ සිතේ තැන්පත් වෙලා තිබුණා. මම තරුණවියට පා තැබුවාට පසු මම ඒ සිතුවිල්ල සැබෑ කරගන්න උත්සාහ කළා. මම රංගන ශිල්පීන් කිහිපදෙනෙක්ගේ ඡයාරූප ගත්තා. ඒ වනවිට මම පෞද්ගලක ආයතනයකට සම්බන්ධ වෙලයි හිටියේ. මම ඔවුන් සමඟ කතාකළා. අපේ ශිල්පීන් වෙනස් විදිහට හැඩ ගන්වලා ජායාරූප ගන්න. ඔවුන් මට ඒ සඳහා නිදහස ලබාදුන්නා. ඉන්පසුව මම මුලින්ම මගේ කැමරාවට හසුකර ගත්තේ සාරංග දිසාසේකර සහ ශලනි තාරකාව. ඒ හැම ඡයාරූපයක්ම කතා බහට ලක්වුණා. ඒ වගේම විවිධ ප්‍රතිචාරත් ලැබුණා. ඒ වගේම ඉතා ආකර්ෂණීයයි කියලත් බොහෝ අය කිව්වා. ඒ අවුරුද්දේ කරපු ජායාරූප දොළහ තමයි 2013 අවුරුද්දේ කැලැන්ඩර් එකට යොදා ගත්තේ.
මම ජායාරූප ගන්න වැඩි කාලයක් ගත කරන්නේ නැහැ. ඉන්දියාවට ගිහිනුත් මම ෆොටෝ ෂූට්ස් කරනවා. එහිදී අපිට දවසකට ෆොටෝ ෂූට්ස් තුනක්වත් කරන්න වෙනවා. කෙටි කාලයක් ඇතුළත මට ඒ කටයුත්ත නිම කරන්න පුළුවන්. ඒ නිසා නළු නිළියන් ආසයි මාත් එක්ක වැඩ කරන්න. එදා දවසේ තවත් වැඩකට එයාලට යන්න පුළුවන් නිසා. ඔවුන් මේ වෙනුවෙන් මට ලබා දෙන ප්‍රතිචාර නිසා මට දැනෙනේ ලොකු සතුටක්. මේ නිසා එයාලට අලුතින් ෆිල්ම්ස්, ටෙලි නාට්‍ය ලැබිලා තියෙනවා. ඔවුන් කරපු සමහර වැඩ කටයුතු සඳහා නිෂ්පාදකවරුන් හමුවෙලා තියෙනවා. ඒක මමත් ලැබූ ලොකු ජයග්‍රහණයක්.
මට සහයට රූපලාවණ්‍ය ශිලිපීන් කිහිපදෙනෙකු ඉන්නවා. කැලැන්ඩරයට පෙනී සිටින ශිල්පීන්ව හැඩ ගැන්විය යුතු ආකාරය පිළිබඳව මම ඔවුන්ට උපදෙස් දෙනවා. ඒ වගේම ඇඳුම් නිර්මාණ ශිල්පීන්ද කිහිපදෙනෙක් ඉන්නවා. අපි සියලු දෙනාම කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ. මට අවශ්‍ය විදිහට අවශ්‍ය දේ ඉටුකර දෙනවා. මෙවර කැලැන්ඩරයේ එක් විශේෂ ඡයාරූපයක් ගැන බොහෝ අය කතාකළා. ඒ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන දුලීකා මාරපනගේ ජායාරූපය. මට අවශ්‍ය වුණේ ඇය ඉන්න ස්වරූපයට වඩා තරුණ පෙනුමක් ලබා දෙන්න. මම ඒක ඇයට කිව්වා. ඇයත් එයට එකඟ වුණා. ඇයගේ ෆොටෝ ෂූට් එක කළයුතු පැති කිහිපයක් මම ප්ලෑන් කළා. ඇත්තටම එය ඉතාමත් ආකර්ෂණීය ජායාරූප පෙළ ක් වුණා. ඇය තුළින් දිස්වූයේ වෙනස්ම පෙනුමක්.
මම කැලැන්ඩර් එක කරන්නේ මගේ වියදමින්. ඒ සඳහා මම අනුග්‍රාහකභවතුන් සම්බන්ධ කරගන්නේ නැහැ. සීමිත ප්‍රමාණයක් තමයි ප්‍රින්ට් කරන්නේ. ආටිස්ට්ලා එන්නේ කිසිදු අයකිරීමකින් තොරවයි. ඒ නිසා මේ කැලැන්ඩරය මම විකුණන්නේ නැහැ. එයට මිලක් නියම කරන්නත් බැහැ. එහෙත් කැලැන්ඩරය එළිදැක්වීමේ උලෙළට අනුග්‍රාහකත්වය ලබා ගන්නවා. පසුගිය පහළොස් වෙනිදා සිට දහඅට වෙනිදා දක්වා මගේ මේ ජායාරූප සහිත ප්‍රදර්ශනයක් කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් හිදී පැවැත්වුණා. එය අපි මහජනතාවට විවෘත කළා. නොමිලේ තමයි ඒ ප්‍රදර්ශනය පැවැත්වූයේ. ඉතා ඉහළ ප්‍රතිචාර ඒ සඳහා ලැබුණා.
ඇත්තටම මම ජායාරූපකරණයේ යෙදුණේ මගේ තාත්තා නිසයි. තාත්තා මට ලොකු සහයෝගයක් දුන්නා. මේ ගමන එන්න. ඒ වගේම මගේ මහත්මයා. ඔහු දිල්ෂ්. ඔහු මට උපරිම සහය මේ සඳහා ලබා දෙනවා. ඔහු තමයි මම ගන්න ෆොටෝස් එඩිට් කරන්නේ. තාත්තා වගේම සහයෝගය ලබා දෙන මහත්මයෙක් තමයි මට ලැබුණේ.
මම මේ වෘත්තියෙන් අන්තර්ජාතික මට්ටමට ගිහින් තියෙනවා. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මම ඒ වෙනුවෙන් කැප වෙනවා. හැමදාම අලුත් විදිහට දැකල අලුත් නිර්මාණ කරන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ. ලබන වසරේත් අලුත්ම විදිහකට කැලැන්ඩරය නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.
නයනාංජලි දෙහිපිටිය
