Home » රාජිත කලා ලොවට ගෙනාවේ මමයි ජ්‍යේෂ්ඨ නාට්‍යවේදී සිරිල් ආරියපාල

රාජිත කලා ලොවට ගෙනාවේ මමයි ජ්‍යේෂ්ඨ නාට්‍යවේදී සිරිල් ආරියපාල

by mavan
April 2, 2026 11:58 am 0 comment

පසුගියදා අපෙන් වියෝ වූ වේදිකාවෙන් ටෙලි තිරයට පැමිණ, ටෙලි තිරයෙන් සිනමාවට සම්ප්‍රාප්ත වූ කඩවසම් නළුවෙකු ලෙස රාජිත රුද්‍රිගු හඳුන්වා දිය හැකිය. නිහඬව තම රංගන ගමන සාර්ථක කරගත් ඔහු පසු කලෙක වේදිකාවේත්, පුංචි තිරයේත්, සිනමා තිරයේත් දස්කම් දැක්වූ දක්ෂ නළුවෙකු බවට පත්විය. සීමා වේදිකා නාට්‍යය ඔස්සේ රංගනයට අත්පොත් තැබූ රාජිත උතුරේ රාහුල වේදිකා නාට්‍යයේ කැපී පෙනෙන රංගන දක්ෂතා දැක්වූයේය. පසුව ටෙලි තිරයේදී ටිකිරි නිලමේ වෙස්ගත්තෝ, ගිනි අවි සහ ගිනි කෙළි, හුමාලය, නිදිකුම්බා මල් ආදී ටෙලි සිත්තම් වල කැපී පෙනෙන දස්කම් දැක්වීය. එපමණක් නොව චණ්ඩි රජා, සක්විති රජ, මේ වාරේ මගේ, සුරනිමල, සිංහයන්ගෙත් සිංහයා, ලස්සනයි බලන්න, වාසනා වේවා, නින්ජා ශශ්‍රී ලංකා, කදිර දිව්‍ය රාජ වැනි සිනමාපටවලටද රංගනයෙන් දායක වූයේය. රාජිත රුද්‍රිගු නළුවෙකු ලෙසින් කලා ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ ජ්‍යේෂ්ඨ නාට්‍යවේදී සහ රංගවේදියෙකු වන සිරිල් ආරියපාලයන්‍ ය. රාජිතගේ හදිසි වියෝවෙන් පසු ඔහු සරසවියට රාජිත පිළිබඳ මතකය අවදි කළේ මෙසේය.

මම මුලින්ම වැඩ කළේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ. ඒ 1966 දී වගේ. ඔය අතරේ මට හෙන්රි ජයසේන මහත්මයා සමඟ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඔහු නාට්‍යවේදියෙකු වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් මටත් ආස හිතුණා වේදිකාවට සම්බන්ධ වෙන්න. පසුව මට මකරා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මට එහි පොඩි චරිතයක් ලැබුණා. ඒ කාලේ අපේ නාට්‍ය කණ්ඩායම් රැගෙන යන්න බස් එකක් තිබුණා. එහි හිමිකරු මගෙ යාළුවෙක්. ඒ බස් එකේ යන එන කොට මට ලියනගේ කියන හිතවතාව මුණ ගැසුණා. ඔහු කිව්වා ඔහු ගාව හොඳ පිටපතක් තියෙනවා ඒත් එයාට නාට්‍යයක් කරන්න තේරෙන්නේ නැහැ කියලා. මට අරගෙන කියන්න කිව්වා. මම ඒ පිටපත අරගෙන සංශෝධනය කළා.

1988, 1989 කියන්නේ රටේ කලබල කාරී වාතාවරණයක් තිබූ කාලයක්. මට මගේ පිඹුරුපතක වැඩකටයුත්තකට තිඹිරිගස්යායේ පිහිටි පෞද්ගලක ආයතනයකට යන්න අවශ්‍ය වුණා. දවසක් මම එම ආයතනයට ගියා. මට එහිදී තමයි රාජිත රුද්‍රිගු මුණගැසුණේ. ඔහු එතන තමයි රැකියාව කළේ. ඉන් පෙර මම ඔහුව දැනගෙන හිටියේ නැහැ . එහිදී ඔහු මා සමඟ කතාකළා. මගෙන් විස්තර ඇසුවා. මම මගේ නාට්‍ය කටයුතු ගැන විමසුවා. පසුව මම ඔහුගෙන් ඇහුවා රඟපාන්න කැමතිද කියලා. ඔහු කිව්වා කැමතියි කියලා. එහෙත් අවස්ථාවක් හම්බ වුණේ නැහැ කිව්වා. මම කරන්න සැලසුම් කරමින් සිටි නාට්‍යය ගැන මම රාජිතට කිව්වා .

පසුව මා ලියනගේ සහ මගේ තවත් මිතුරෙකු වූ සමරකෝන් සමඟ නාට්‍යය ගැන කතාකළා. මම ඒ අවස්ථාවේ රාජිත ගැන ඔවුන්ට කිව්වා. හොඳ පෙනුමක් තියෙන කෙනෙක් ඉන්නවා ගිහින් හමුවෙමුද කියලා. අපි තුන්දෙනා ගිහින් රාජිතව මුණගැසුණා. චරිතය ගැන ඔහුට විස්තර කළා. ඒ චරිතය අරගලකාරී චරිතයක්. ඔහු ඒ සඳහා කැමති වුණා. අපි ඔහුව පුහුණු කළා. රාජිතගේ මව විදිහට ගත්තේ ලියෝනි කොතලාවල. පියාට ගත්තේ විජේරත්න වරකාගොඩ. මල්ලීගේ චරිතෙට ගත්තේ අමිත්ත වීරසිංහ. ඒ නාට්‍යයේ ගැහැනු චරිතයක් තිබුණා. ඒ චරිතෙට අමිත්ත වීරසිංහගේ යෝජනාවක් අනුව කුමාරි පෙරේරා ගත්තා. ඒ නාට්‍යය සීමා නමින් අපි නම්කළා. 1990 ජූලි 01 වෙනිදා අපි එහි මංගල දර්ශනය පැවැත්වූවා. එදා නාට්‍යය බලන්න කලාකරුවන් රාශියක් පැමිණ සිටියා. ඉන්පසුව දිනයක තිබුණ නාට්‍ය දර්ශනයක් බලන්න ප්‍රවීණ රංගවේදි සතිස්චන්ද්‍ර එදිරිසිංයන් ආවා. ඔහු රාජිතගේ රංගනය ගැන පැහැදිලා රාජිතව තෝරා ගත්තා ටිකිරි නිලමේ කියන ටෙලි නාට්‍යයට. ඒ ටෙලි නාට්‍යයෙන් තමයි රාජිත රුද්‍රිගු නමින් ඔහු ප්‍රසිද්ධියට පත්වුණේ. ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුට චිත්‍රපට විස්සක පමණ රඟපාන්න ලැබුණා. රාජිත කවමදාවත් ප්‍රසිද්ධිය සොයා ගෙන ගියේ නැහැ.එහෙත් වේදිකා නාට්‍ය පෝස්ටරයක රාජිතගේ නම තිබුණොත් නාට්‍ය බලන්න මිනිස්සු ආවා.

පසු කලෙක රාජිතට ඔහු වැඩ කරපු ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණු නිසා විදේශ ගත වුණා. පසුව කසාද බැන්දා. ඔහුට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. කාලයක් යනකොට රාජිත ගැන කිසිම ආරංචියක් නැතිව ගියා. ඒ ඔහු විදේශගතවු නිසා.

රජිතගේ තාත්තා කොළඹ නගර සභාවේ සිටි උප නගරාධිපතිවරයෙක්. වර්ට්සන් රුද්‍රිගු.

මීට අවුරුදු තුනකට පමණ පෙර රාජිත නැවතත් ලංකාවට පැමිණ තිබුණා. ඉන්පසු තමයි ඔහුව උතුරේ රාහුල නාට්‍යයට සම්බන්ධ කර ගත්තේ. එහි රඟ දැක්වූයේ දේශපාලන චරිත. රාජිතගේ පෙනුම විජය කුමාරතුංගයන්ට තරමක් සමානයි. ඔහු කඩවසම්. ඒ නිසා විජයගේ චරිතය රඟපාන්න රාජිතව ගත්තා. එහි තවත් චරිතයක් තිබුණා හිටපු ජනාධිපති වරයකුගේ චරිතයක්. ඒ චරිතය කළෙත් රාජිතයි. ඔහු ඉතා සාර්ථකව රංගනය ඉදිරිපත් කළා. ඔහුගේ හදිසි අභාවය නිසා නාට්‍යය පෙන්වීමට නොහැකි වෙලා තියෙනවා.

තවත් විශේෂ කාරණාවක් තියෙනවා. එළඹෙන ඔක්තෝම්බර් නව වෙනිදාට යෙදෙන විජය කුමාරතුංගයන්ගේ උපන්දිනය වෙනුවෙන් නාට්‍යයක් කරන්න මට පැවරිලා තිබුණා. එහි පිටපත ලියන අතරතුරේ මම විජයගේ චරිතයට ගන්න හිතාගෙන හිටියේ රජිතවයි. මම ඒ ගැන ඔහුට දැන්වූවා. ඔහු ඉතා සතුටින් ඒ සඳහා කැමැත්ත දුන්නා. ඒත් ඔහුගේත් අපේත් අවාසනාවට ඒ අවස්ථාවට රජිත නැහැ. අපි දෙදෙනා අන්තිම්ට මුණ ගැසුණේ අඹිලිපිටියේ නාට්‍ය දර්ශනයට ගිය අවස්ථාවේ.

රාජිත රඟපෑ නාට්‍යවල පින්තූර රාශියක් මා සතුව තියෙනවා. ඔහු රඟපාන දර්ශන ඇතුළත් පින්තූර, නාට්‍ය පුහුණුවීම් අතරතුර ගත් පින්තූර තියෙනවා. ඒවා මට රැස් කරගන්න උදව් කළෙ දී.ග සෝමපාල මහතා. දවසක් මම ඒ පින්තූර ඇතුළත් ඇල්බමය රාජිතට දුන්නා. ඔහු ඒවා පිටපත් කරගෙන, ඔහු මියයාමට මාසෙකට කලින් මට නැවතත් ගෙනත් දුන්නා. ඔහුගේ නිහතමානීකම මම අගය කරනවා. ඔහු කැපකිරීමෙන් වැඩ කරපු කලාකරුවෙක්. කවදාවත්ම අන් අයෙකුගේ හිතක් රිදෙව්වේ නැහැ. ඔහු දේශපාලන වැඩ වලටත් සම්බන්ධ වුණා. ඔහු ඉන්න තැන කැපී පෙනෙන චරිතයක් වුණා. ඔහුගේ හදිසි අභාවය සැළවීමෙන් මගේ ඇසටත් කඳුලක් ආවා. ඒ වගේ නිහතමානී, නිහඬ චරිත හරිම කලාතුරකින් හමුවෙන්නේ.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT