මත් උවදුර කොයිතරම් දුරට මෙරට වෙලා ගෙන තිබෙනවාද යන්නට මෙම කාලවකවානුවේ තරම් උදාහරණ අපට කිසි දාක ලැබී නොමැත. පුවත්පතේ ගුවන්විදුිලි මාධ්‍ය රූපවාහිනිය ගත් විට කොයි මොහොතේත් අපට දක්නට ලැබෙනුයේ අත්අඩංගුවට ගැනීම්ය. මේ තරම්ම මත්ද්‍රව්‍ය ප්‍රමාණය රට තුළ ව්‍යාප්තව තිබෙන මොහොතක මේ සම්බන්ධයේ නිමවූ කලා කෘතියක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. කලකට ඉහතදී නිමවූ මෙම චිත්‍රපටය ‘යක්ෂාවේෂය’ නම් වේ. නිමල් තෙන්නකෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ඩිජිටල් මාධ්‍ය වෙනුවෙන් යළිත් සකස් කොට අලුත් දර්ශන ගත කිරීම රැසක් ද සමඟින් මේ වන විට සියලු වැඩ කටයුතු නිමා කර තිබේ. මේ මොහොත වන විට එංගලන්තයේ වෙසෙන මෙහි අධ්යක්ෂ නිමල් තෙන්නකෝන් සමඟ ‘යක්ෂාවේෂය’ පිළිබඳ කළ කතාබහකි මේ,
යක්ෂාවේෂය හදන්න පසුබිම සැකසෙන්නේ කොහොමද?
1990 දී මම එංගලන්තේදී සිනමා පාඨමාලාවක් හදාරනවා. එහිදී මාත් සමඟ මිතුරු වෙන දෙමළ සහෝදරයෙක් නිසා මේ සිංහල – දෙමළ මිත්‍රත්වය ගැන චිත්‍රපටයක් කරන්න මම ලංකාවට එනවා. ඒ සඳහා කරුණු සොයමින් ඉන්නකොට මට දැනගන්න ලැබෙනවා ඊට වඩා දරුණු විදියට මත්ද්‍රව්‍ය නිසා සමාජ අයහපත සැලසෙමින් තිබෙන බව. ඒ නිසා මගේ පර්යේෂණ ඒ පැත්තට යොමු වෙනවා. බොහෝ සත්‍ය තොරතුරු මට ලැබෙනවා මේ සඳහා විශාල වශයෙන් මට දත්ත සැපයුවේ මීගමුවේ අබා කොස්තා පියතුමා. ඒ තොරතුරු ආශ්රයෙන් මම යක්ෂාවේෂය චිත්‍රපටය නිර්මාණය කළා. 1996 අග භාගය වන විට යක්ෂාවේශය චිත්‍රපටය ජනතා ප්‍රදර්ශනයට සූදානම් කර තිබුණා. මාධ්‍යවේදීන්ට සහ විශේෂ ආරාධිත අමුත්තන්ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දර්ශනයකුත් පෙන්නුවා. නමුත් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරගන්න ලැබුණේ නැහැ. 2001 වසරේදී අබා කොස්තා පියතුමා කුඩු මාෆියාව විසින් ඝාතනය කරනු ලැබුවා.
ඔබ, අනූව දශකයේ අග භාගයේ නිර්මාණය කළ මේ චිත්‍රපටය අදටත් කාලෝචිතයි. එදාට වැඩිය අද මත්ද්‍රව්‍ය උවදුරට රට මුහුණ දීලා නේද?
අන්න ඒ හේතුව නිසා තමයි මම මේ චිත්‍රපටය නැවත වතාවක් ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරන්නේ. පසුගියදා එංගලන්තයට පැමිණි ජනමාධ්‍ය අමාත්‍යතුමාටත් ලිපියකින් ඉල්ලීමක් කළා මෙය ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් සලසා දෙන්න කියා. එතුමන්ගේ උත්තරය බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. මේ චිත්‍රපටය වර්තමානයට ගැළපෙන අයුරු 2024 දී ඩිජිටල් ක්‍රමවේදයට සනත් ගුණතිලක යොදා අලුත් දර්ශන රූගත කළා. යක්ෂාවේෂය ඩිජිටල්කරණය කරන්න මේ වන විට මම රුපියල් මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් වියදම් කරලා තිබෙනවා. එකතුකරන නව දර්ශනවලින් පෙන්නුම් කරන්නේ 2024 වන විට ලංකාවේ කුඩු ව්‍යාපාරයේ තත්ත්වය සහ ඇතැම් දේශපාලනඥයන් බයක් සැකයකින් තොරව කුඩු මාෆියාව තම අතට ගෙන කටයුතු කරන ආකාරය.
යක්ෂාවේෂය ඒ කාලේ තිරගත නොවෙන්නයි, ඔබ විදේශ රටකට යන්නයි හේතුව මොකක්ද?
මේකට මට දෙන්න තියෙන උත්තරේ තමයි 1996 එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේදී මෙම චිත්‍රපටය නරඹපු ඒ කාලේ යුද හමුදාවේ මෙහෙයුම් අධ්යක්ෂව සිටි ජෙනරාල් දේවින්ද කළුපහන මහතා චිත්‍රපටය ගැන මෙහෙම කිව්වා. අපි සත්‍යය දුටුවා. රටට අවශ්‍ය සිනමා කෘතියක්. නමුත් මෙය තිරගත වන විට ඔබගේ ජීවිතය ගැන ප්‍රවේසම් වන්න ඒක තමයි හේතුව.
ඔබ කලාවට එන්නේ ළමා නළුවෙකු ලෙසින් නේද?
ඔබ 1973 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මඩොල්දූව චිත්‍රපටයේ ‘රණදේව’ ගේ චරිතය රඟපාමින් තමයි මම සිනමාවට එන්නේ. ගැහැනු ළමයි චිත්‍රපටයේ ‘කිත්සිරි’ ගේ චරිතය රඟපෑවා. නමුත් මට අවශ්‍ය වුණේ නළුවෙක් වෙනවට වඩා අධ්යක්ෂවරයෙක් වෙන්න. ඉතින් මම දවසක් ලෙස්ටර් පීරිස් මහතාගේ ඇහුවා චිත්‍රපට කර්මාන්තය ඉගෙන ගන්නේ කොහොමද කියලා. එතුමාගේ උත්තරේ වුණේ ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ඉගෙන ගැනීමට පාසලක් නොමැති බැවින් හොඳ සංස්කාරකවරයෙක් හැටියට පුහුණු වන්න කීවා. එවිට මුළු සිනමාවම ඉගෙන ගත හැකි කීවා. ඒ අවවාදයේ පිහිටා මම ලාල් දිසානායක මහතා යටතේ දිසානායක චිත්‍රපට ආයතනයේ සහාය සංස්කාරකවරයෙක් හැටියට පුහුණු වුණා. එතැනදී ස්ටැන්ලි ද අල්විස්, ග්ලැඩ්ිවින් ප්‍රනාන්දු, ටයිටස් තොටවත්ත ආදි සංස්කරණ ශිල්පීන් වසන්ත ඔබේසේකර, සුනිල් ආරියරත්න, රංජිත් පීරිස්, ධර්මසේන පතිරාජ, ඩැනී ඩබ්ලිව් පතිරණ, ගාමිණී ෆොන්සේකා, ධර්මසිරි බණ්ඩාරනායක ආදීන් යටතේ වැඩ කළා. ‘පළගැටියෝ’ රක්තා, සරුංගලේ, ජීවිතයෙන් ජීවිතයක්, එක්ටැම් ගේ, හංසවිලක් වැනි චිත්‍රපට 40ට පමණ සහය සංස්කරණ ප්‍රධාන සංස්කකරණ ශිල්පියෙක වශයෙන් කටයුතු කළා.
මේ චිත්‍රපටයේ නළු නිළියන් කවුද?
සනත් ගුණතිලක, සබීතා පෙරේරා, අශෝක පීරිස්, මංගලා කරුණරත්න, ඉන්ද්‍රජිත් නාවින්න, සුනිල් පේ‍්‍රමකුමාර, මාලිනි රණසිංහ, රෝහිත්, මාන්නගේ, සමන් ජයලත්, නිර්මාණ ජයතිලක, සුසිලා රත්නායක, ගයාත්‍රි ඉරේෂා, මල්ලිකා ප්‍රේමචන්ද්‍ර, සෝමා ලියනගේ, පණ්ඩිත කුෂ්වල ලංකානන්ද වෙද හාමුදුරුවෝ, සුරේෂ් එදිරිමුනි, ගයාන් ලියනාරච්චි, (ළමා නළු) මනෝජ් නිලංග, විජය හෙට්ටිආරච්චි, සමන් බොකලවෙල, තිස්ස උඩංගමුව, රොජර් සෙනවිරත්න, යූ.ඩී. ගුණරත්න, ශ්‍රිනාත් මල්දෙණිය, රඟපානවා පැරණි කොටස්වල, නව රූගත කිරිම්වල ඉන්නවා හේමන්ත ඊරියගම

හේමාලි විජේරත්න
