Home » මේ නිර්මාණයත් එක්ක ‘සැමොලිනා’ කවුද කියා බොහෝදෙනා සොයන්න පටන්ගත්තා

මේ නිර්මාණයත් එක්ක ‘සැමොලිනා’ කවුද කියා බොහෝදෙනා සොයන්න පටන්ගත්තා

යොවුන් ලේඛක, ගීපද රචක, මාධ්‍යවේදී සුජිත් ප්‍රසංග

by shanaka
December 25, 2025 1:00 am 0 comment

යොවුන් නවකතාකරුවකු, ගීපද රචකයකු මෙන්ම වෘත්තියෙන් පුවත්පත් මාධ්‍යවේදියකු වන සුජිත් ප්‍රසංගගේ නවතම නිර්මාණය ‘නාන්කඩේ සැමොලිනා’ කෙටිකතා සංග්‍රහයයි. එය ඔහුගේ ප්‍රථම කෙටිකතා එකතුවයි. ඔහු මීට පෙර රචනා කළ “සාමිමලේ” නවකතාව දෙමළ බසට පරිවර්තනය වූවා සේම හොඳම දෙමළ පරිවර්තනයට හිමි සම්මානයටද පාත්‍රවිය . ගාලුකොටුවේ ඉන්දියානු කෑම කඩයක අදටත් ජීවත්වන ‘සැමොලිනා’ ඔහුට හමුවූ ආකාරය ගැනත් සිය ලේඛන හා මාධ්‍ය කලා දිවිය ගැනත් කතාකිරීමට සරසවිය හා හෙතෙම මෙසේ එක්විය.

නවකතා ත්‍රිත්වයක්, යොවුන් නවකතාවක්, ගේය කාව්‍ය සංග්‍රහයක් රචනා කළ ඔබේ පළමු කෙටිකතා සංග්‍රහය ‘නාන්කඩේ සැමොලිනා’ යම් පර්යේෂණාත්මක අත්හදාබැලීමක් කියා මට සිතෙනවා ?

ඔව්, ‘නාන්කඩේ සැමොලිනා’ කියන්නේ එක් අතකින් අත්හදාබැලීමක් තමයි. මෙහි අන්තර්ගත කෙටිකතා 07ම බටහිර සංස්කෘතියත් එක්ක එකතුවන කෙටිකතා ලෙස නිර්මාණය කිරීමටයි මට අවශ්‍ය වුණේ. ඒක විශේෂයි. ඒ අයුරින් තමයි කෙටිකතා 07 රචනා වෙන්නේ.

‘නාන්කඩේ සැමොලිනා’ට මූලික වස්තුබීජය සොයා කළ ගවේෂණාත්මක චාරිකාව මොනවගේද ?

මේ කෙටිකතාව රචනා වෙන්නේ ගාලු කොටුවේ තිබෙන ඉන්දියානු කෑම කඩයකට මා ගිය මොහොතක එහි ගැවසුණු පූසියක් දැකීමෙන්. ඒ පූසියගේ ක්‍රියාකලාපය මගේ මනසට තදින්ම කෑවැදුණා. ඒ කුඩා වස්තුබීජය තමයි ‘නාන්කඩේ සැමොලිනා’ට උපයෝගී කරගත්තේ. එහිදී මට අවශ්‍ය වුණා මිනිස්සු වන අපට වගේම සතුන්ටත් ආදරය, සෙනෙහස, ඔවුනොවුන් අතර බැඳීම් ඒ සමාජය තුළ තිබෙනවා කියන දේ පැහැදිලි කරන්න. ඒ දේ මනඞකල්පිතව මගේ ඔළුවට අරගෙන තමයි මෙය ලියවෙන්නේ. එසේම එම කෙටිකතාවට මට අවශ්‍ය ලෙස ඉන්දියානු සම්ප්‍රදාය, ආභාසය, ඉන්දියානු ජනජීවිතය ඇතුළත් කරන්න මා උත්සාහ කළා. ඒ උත්සාහයේ සාර්ථක-අසාර්ථක බව පාඨකයා තීරණය කරාවි.

මෙහි ඇතුළත් කෙටිකතා 07 ලිවීමේදී එකිනෙකට වෙනස් තේමා ඔබ ප්‍රවේසමින් ස්පර්ශ කළ බව පේනවා ?

මා මුහුණදුන් අත්දැකීම් සහ බාහිර පිරිසගෙන් මම ලබාගත් අත්දැකීම් එකතු කරගනිමින් මේ කෙටිකතා රචනා වෙන්නේ. ඒ කෙටිකතා 07තුළම එකිනෙකට වෙනස් අත්දැකීම්, වස්තුබීජ තිබෙනවා. කතා 07ම එකිනෙකට වෙනස්. ඒ වෙනසට අවශ්‍ය වස්තුබීජ සොයාගන්න මට සෑහෙන කලක් ගතවුණා. බොහෝ වෙලාවට සියුම් සිදුවීමක් තමයි වස්තුබීජ වෙන්නේ. ‘නාන්කඩේ සැමොලිනා’ට වස්තුබීජ වන්නේ ගාලුකොටුවේ ඉන්දියානු කෑම කඩයක ජීවත්වන පූසියක්. ඒ වස්තුබීජය මම රචනා කළේ ඉන්දියානු පරිසරයත් සමඟයි. ‘මුදු’ නමින් තව කෙටිකතාවක් මෙහි තිබෙනවා. එයට පාදකවන්නේ මා සුරැකිව තබාගෙන සිටින නොවටිනා තෑග්ගක් ලැබුණු මුද්දක්. ඒ මගේ මතකය අලුත්වීම තුළ තමයි ‘මුදු’ කෙටිකතාව රචනාවෙන්නේ. මෙහි එන කෙටිකතා 07ටම යම් යම් හේතුසාධක තිබෙනවා. ඒවා කුඩා වස්තුබීජ වෙන්න පුළුවන්. නිර්මාණකරණයේදී මඟතොටදී අපි දකින කුඩා දේවල් කෙටිකතා, නවකතා, ගීත රචනයට වස්තුබීජ වෙනවා.

මේ කෙටිකතා සංග්‍රහයේදි ඔබ බටහිර සමාජ පරිසරය ස්පර්ශ කළ බව පේනවා. එයට විශේෂ හේතුවක් තිබුණද ?

අප රටේ කෙටිකතා, නවකතා වගේ සාහිත්‍යාංග ගත්තම රජ කතා, ගැමි කතා, සාම්ප්‍රදායික කතා අපි නිතර දකිනවා. මේවයින් තමයි අපේ සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය වී තිබෙන්නේ. අපේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ බොහෝවිට දකින දෙයක් තමයි වියලි කලාපය පදනම් වූ නිර්මාණ බිහිවීම. එහිදී අපි නිතර දකින්නේ රෙද්ද, හැට්ටය, සරම, අමුඩය හැඳගත් චරිත සහ ඔවුන්ගේ දුක්දොම්නස්. මේවා අපේ සාහිත්‍යය තුළ ස්පර්ශ වී අවසන් කියා මට සිතෙනවා. මට සිතුණා මගේ පළමු කෙටිකතා සංග්‍රහය තුළින් යම් අත්හදාබැලීමක් කරන්න. මීට පෙර මගේ නවකතාවලදී ආකෘතිය හෝ වෙනස් කර තිබෙනවා. මම ඒ අත්හදාබැලීමට කැමැති නිසා තමයි බටහිර සමාජය සමඟ ගැටී ඒ සමාජයේ තිබෙන දේ අපේ පාඨකයන්ට දෙන්න මේ කෙටිකතා 07න් මම උත්සාහ කළේ. බොහෝදෙනෙක් මගෙන් ඇහුවා බටහිර සමාජය ගැන කතා කරද්දී, ඒ රටවලට යන්නේ නැතිව ලියන්නේ කොහොමද කියලා. අපට රටකට ගිහින් අත්දැකීම් එකතු කර ලියන්න බැරි අවස්ථා තිබෙනවා. හොඳ නිර්මාණකරුවකුට මනසින් ඒ ඒ සමාජවලට ගිහින් නිර්මාණ කරන්න පුළුවන්. එහිදී අපි දැනගත යුතුයි පාඨකයාගේ විශ්වසනීයත්වය රැකගන්න. මේ කෙටිකතා 07 රචනයේදී මම මනා අධ්‍යයනයක නිරතවී අවුරුදු 03ක් ගතකරමින් තමයි ලිව්වේ.

කෙටිකතා සංග්‍රහයට ‘නාන්කඩේ සැමොලිනා’ කතාව ප්‍රධාන කරගෙන නම යොදන්න විශේෂ හේතුවක් තිබේද ?

ඒ නම යොදන්න විශේෂ හේතුවක් තිබුණේ නැහැ. කෙටිකතා 07ට නම් යෙදුවට පසුව කෙටිකතා සංග්‍රහය නම්කළ යුත්තේ මේ නමින් කියා සිතුණා. ඒ නම පාඨකයා අතරට ගියා කියා සිතෙනවා. ලැබුණු ප්‍රතිචාරත් එක්ක බොහෝදෙනා ‘සැමොලිනා’ කවුද කියා සොයන්න පටන්ගත්තා. නිර්මාණයකදී නම වැදගත්. බොහෝදුරට නමින් තමයි කෘතිය පාඨකයා අල්ලගන්නේ. ‘නාන්කඩේ සැමොලිනා’ මේ කෙටිකතා එකතුවට සුදුසුම නම කියා මට දැනුණු නිසයි එසේ නම්කළේ.

නවකතා 03ක් ලියූ ඔබ කෙටිකතා සංග්‍රහය එළිදක්වන්න කාලයක් ගත්තා. මේ සඳහා මානසික හැඩගැස්ම මොනවගේද ?

සාමාන්‍යයෙන් මම ටිකක් ලියන්න කම්මැළියි. නිර්මාණකරණයේදී වැඩිකලක් ගතවෙනවා. මගේ ‘සාමිමලේ’ පොත එළිදක්වා වසර 03කට පසුවයි ‘නාන්කඩේ සැමොලිනා’ එළිදැක්වෙන්නේ. ඒ කාලය ඇතුළත මේක කපා, කොටා, ලියන්න වෙහෙසුණා. සංස්කරණය කියන දේ මම තදින්ම විශ්වාස කරනවා. සමහරවිට පදාස පිටින් ඉවත් කරන අවස්ථා තියෙනවා. නිර්මාණකරුවකුට කියවා බලා බය නැතිව කපන්න, කොටන්න පුළුවන් වෙන්න ඕනේ. වසරකට පොතක් එළිදැක්විය යුතුයි යන අදහසේ මම නැහැ. මෙයින් පසු මා ලියන්නේ කෙටිකතාවක්ද, නවකතාවක්ද කියන තැන තවම මම නැහැ. ඒක කාලයත් සමඟයි තීරණය වෙන්නේ. සමහරවිට නවකතාවක් ලියන්න තව වසර 03ක් 04ක් යන්නත් පුළුවන්. පාඨකයා නිර්මාණය කෙසේ වැලදගත්තත් මම සිතන්නේ මම කළයුතු දේ නිවැරදිව කළයුතුයි කියලා. නිර්මාණයක් තුළින් මුලින්ම තෘප්තිමත් වෙන්නේ මමයි.

කෙටිකතාව සහ නවකතාව අතර සාහිත්‍යමය වෙනස කොහොමද දකින්නේ ?

නවකතාවට වඩා කෙටිකතා ලියන්න අමාරුයි. නවකතාවක එක් කතන්දරයක් ඔස්සේ අපට චරිත දිගට ගලාගෙන යන්න සලස්වන්න පුළුවනි. එහෙත් කෙටිකතාව ඊට හාත්පසින් වෙනස් කලා මාධ්‍යයක්. කෙටිකතාවේදී සියුම් අත්දැකීම් සමඟ කොහොමද එය පාඨකයාට දෙන්නේ කියන තැන ලේඛකයා සිටිය යුතුයි. කෙටිකතාව ලියන්න අමාරු බව මම වටහාගත්තේ කෙටිකතා පොතක් රචනා කිරීමේදියි.

ඔබ රචනා කළ ‘සාමිමලේ’ නවකතාවේ දෙමළ පරිවර්තනයත් එළිදැක්වුණා පමණක් නොව එය රාජ්‍ය සාහිත්‍ය උලෙළේ ‘හොඳම දෙමළ පරිවර්තනය’ සම්මානය දිනාගත්තා ?

‘සාමිමලේ’ ගැන මට තියෙන්නේ දුක හා සතුට මිශ්‍රවූ අදහසක්. මේ වෙද්දි සිංහල ග්‍රන්ථයේ පළමු පිටපත් 1000වත් විකිණී නැහැ. එහෙත් ඉන්දියාවේ දෙමළ පරිවර්තනය හොඳීන් අලෙවි වෙනවා වගේම එයට ඉතා හොඳ ප්‍රතිචාරත් තිබෙනවා. එයට සම්මාන ලැබීම ගැන සතුටුයි. මේ කෘතියෙන් මම කතාකරන්න උත්සාහ කළේ වතු සමාජය ගැනයි. මීට වසර 200කට පෙර දකුණු ඉන්දීය ජනසමාජයෙන් මෙරටට පැමිණි දෙමළ පිරිස තමයි අදටත් උඩරට තේ වතු ආශ්‍රිතව දිවිගෙවන්නේ. එහෙත් කලක් ගියත් අපේ රට තුළ ඔවුන්ට හරිතැන ලැබී තිබේදැයි ගැටලුවක්. මෙහි ඇතුළාන්තයෙන් මට කීමට අවශ්‍ය වුණේ වතුකරයේ දෙමළ ජනසමාජය තුළ ඔවුන්ට ස්ථිර තැනක් නැහැ කියන එකයි. ඔවුන් තවමත් උඩරටට පමණක් සීමාවෙලා. ‘සාමිමලේ’ ඉන්දියානු දෙමළ ජනසමාජය ඉතා හොඳීන් වැලඳගත්තා. අවාසනාවට සිංහල කෘතිය ගැන කතිකාවක්, සංවාදයක් මෙරට පාඨක සමාජයේ ඇතිවුණේ නැහැ. එයට හේතුව මා දන්නේ නැහැ. සාමිමලේ කෘතිය තුළින් ඉන්දියානු සහ ලාංකේය දෙමළ ජනසමාජයෙන් ලද පැසසුම් පමණයි මට ඉතිරි වුණේ

‘සාමිමලේ’ දෙමළ පරිවර්තක සමඟ ඔබේ ගනුදෙනුව කොහොමද සිදුවුණේ ?

ඔව්, එය දෙමළ බසට පරිවර්තනය කරන්නේ සම්මානිත පරිවර්තක රිෂාන් ශරීෆ් මහතායි. ඔහුව මට මුණගැසෙන්නේ මුහුණු පොත හරහායි. එහිදී අපි අතර ඇතිවූ කතාබහක් අනුවයි මගේ ‘සාමිමලේ’ කෘතිය දෙමළ බසට පරිවර්තනය කෙරෙන්නේ. මේ කාර්යය සිදුවන්නේ ඉන්දියාවේ චෙන්නායිහි එතීර් වෙලියාදු නම් ප්‍රකාශන සමාගම මඟින්. මේ අදහස දුන්නේත් රිෂාන් ශරීෆ්මයි. ඔහු දෙමළ ජනසමාජය සමඟ නිතර ගැටුණු කෙනෙක් නිසා සිංහල කෘතිය කියවද්දී එය දැනෙන්න ඇති.

‘සාමිමලේ’ ප්‍රස්තුතය තෝරාගන්න හේතුවක් තිබුණද ?

කම්කරු කාර්යාලයේදී මම මුහුණදුන් සුළු සිදුවීමක් මෙයට ප්‍රස්තුත වන්නේ. දෙමළ ජනසමාජයට අපේ ජනසමාජයෙන් එල්ලවන නොයෙක්විධ ගැටලු සහ පීඩාකාරී තත්ත්වයන් සහ ඔවුන්ව නොසලකා හැරීම මෙයට පදනම් වෙනවා. වතුකරයේ සිට කොළඹට සම්ප්‍රාප්ත වන දෙමළ තරුණ තරුණියන් නොයෙක් රැකියාවලට යොමුවෙනවා. ඉන්පසු ඔවුන් මුහුණදෙන ඛේදවාචක අපි ඇස් පනාපිටම දැක්කා. ඒ දේවල් ඔළුවේ තබාගෙන තමයි මෙය ලිව්වේ. දෙමළ වතු සමාජය ගැන මට සංවේදී හැඟීමක් තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ අයිතිවාසිකම් පමණයි ඉල්ලන්නේ. මට දැනුණු දේ සහ අත්දැකීම් සමඟයි ‘සාමිමලේ’ රචනා වෙන්නේ

මලයාලම් ජනයාට ‘සාමිමලේ’ සමීප කරවීමේ කාර්යය මේ දිනවල සිදුවෙනවා නේද ?

ඔව්, මේ දිනවල මලයාලම් බසට එය පරිවර්තනය වෙනවා. ලංකාවේ එක් සිංහල නවකතාවක් පමණයි මලයාලම් බසට පරිවර්තනය වී තිබෙන්නේ.

සාහිත්‍යකරණයට පිවිසෙන්න බලපෑ සාධක මොනවාද ?

අපේ පවුල් පසුබිම එයට බලපෑවා. කුඩා කල සිටම අපේ ගෙදර පොත්, පත්තර නිතර ගැවසුණා. මගේ අක්කලා යොවුන් පුවත්පත් එකල රසවින්දා. ඒ 1990 දශකයේ. එවිට මම කුඩා ළමයෙක් නිසා ඒවා කියවන්න ගෙදරින් මට වාරණ පනවලා තිබ්බේ. ඒත් මම ඒ වාරණවලට පිටින් ගිහින් හොරෙන් ඒවා කියවනවා. උපුල්ශාන්ත සන්නස්ගලගේ “තුඹසක විලාපය, වස්සාන සිහිනය, සංගිලි පාලම” වැනි නවකතා, ප්‍රදීප් කුමාර බාලසූරියගේ ‘දේව දූතිකා’, සෝමා ටී. පෙරේරාගේ, චන්දි කොඩිකාරගේ නවකතා තමයි මම යොවුන් පුවත්පත්වලින් කියෙව්වේ. පසුව “ගම්පෙරළිය, මඩොල්දූව” වැනි නවකතා කියෙව්වා. ඒ කියවීම තමයි මම සාහිත්‍යකරණයට යොමුවෙන්න බලපෑවේ.

දෙස්-විදෙස් ලේඛකයන්ගේ සෙවණැල්ල ඔබේ නිර්මාණකරණයට කොතෙක් බලපෑවද ?

මුල් කාලයේදී මට මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය” වගේ නවකතාත් කරුණාසේන ජයලත්ගේ “ගොළුහදවත, බඹා කෙටූ හැටි” වැනි නවකතාත් කියවන්න ලැබුණා. ඒතුළ තිබූ මානවදයාව තමයි මගේ නිර්මාණවලත් ගැබ්වෙන්නේ. උසස් පෙළ කරන සමයේ මක්සිම් ගෝර්කිගේ ‘අම්මා, Train to Pakistan, ගීද මෝපසාංගේ කෙටිකතා වැනි දේත් කියවන්න ලැබුණා. ඉන්පසු මම විදෙස් කෘති කියවන්න පෙලඹුණා. ඉන්දියානු ලේඛිකා අමුල්‍යා මල්ලඩිගේ කෘතිවලට මම පෞද්ගලිකව කැමැතියි. පරිවර්තන කෘතීත් ඒවගේ ආභාසයත් මගේ ලේඛන කලාවට බලපෑවා.

සුජිත් ප්‍රසංග නමැති ගීපද රචකයාගේ භූමිකාව දෙස හැරීබැලුවොත් ?

2004දී තමයි මා ලියූ පළමු ගීතය වන “නෙතින් ගිලිහුණු කඳුළු බිඳුව” ගීතය විශාරද සුරංජි ශ්‍යාමලී ගායනා කරන්නේ. එකල ඇය විශ්වවිද්‍යාල සිසුවියක්. එය 2011දී පටිගත වෙනවා. කුඩා කාලයේ ඉඳන්ම ගීත රචකයෙක් වෙන්න ආසාව තිබ්බා. හොඳ ගීත මට නිතරම අහන්න ලැබුණා. ඒවා කොහොමද සකස් වී තියෙන්නේ කියා අධ්‍යයනයට මට ආසාවක් තිබ්බා. ඒ අනුවයි ගීත රචනයට යොමුවුණේ.

ටෙලිනාට්‍යවලටත් ගීත රචනා කළ ඔබ, සම්මානයටද නිර්දේශ වුණා නේද ?

මාවෝ ලක්ෂිතගේ ‘ෆ්ලැට් නොවන ෆ්ලැට්’ ටෙලිනාට්‍යයේ තේමාගීතය වන “ඉරට දුර නැති ගෙන්දගම් පොළොවේ” ගීතය රචනා කළා. එය ගායනා කළේ බාචි සූසන් හා සුබුද්ධි ලක්මාලි. සංගීත නිර්මාණය නවරත්න ගමගේ. මෙය 2025 සුමති ටෙලිසම්මාන උලෙළේ විශිෂ්ටතම ගීපද රචනයට නිර්දේශ වුණා.

වත්මන් ගීත රචනා කලාව ගැන ඔබේ දෘෂ්ටිය කෙබඳුද ?

වත්මන් ගිත කලාව ගීත රචකයා අතේ තමයි තිබෙන්නේ. අද ගීතයක් නිර්මාණයට මූල්‍ය බරපැන දරන්නේ ගීත රචකයා. අපි ගීත රචනා කලාවට එද්දී එය උඩුයටිකුරු වෙලා තිබ්බේ. එහිදී අපි වගේ අයට ගීතයක් එළිදක්වන්න අපිම වියදම් කර, ගායක ගායිකාවන් ලවා කියවන්න සිදුවුණා. ඒකයි ඇත්ත කතාව. මගේ ගීත රචනා තුළ ප්‍රවීණයන් යමක් දැක්ක නිසා වෙන්න ඇති ඔවුන් කැමැත්තෙන්ම ඒවා ගායනා කළේ. ගායක ගායිකාවන්ටත්, ගීපද රචකයන්ටත් දොස් කියලා වැඩක් නැහැ. අද වෙද්දී ගීතය කියන දේ සාමූහික ලෙස නිර්මාණය වීමක් වෙන්නේ නැති බවකුත් පේනවා

නිර්මාණදිවියේ ගුරුහරුකම් දුන් පිරිසකුත් ඇති ?

අදටත් මම ගීත රචනය හා සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ගුරුකොට සලකන්නේ ප්‍රවීණ ගීපද රචිකා යමුනා මාලිනී පෙරේරා මහත්මියයි. ඇය තමයි මාව ක්ෂේත්‍රයට ගේන්නේ. ඉන්පසු බොහෝ නිර්මාණකරුවන්, නම් වශයෙන් සඳහන් නොකළත් මගේ ගීත ගායනා කළ ප්‍රවීණ ගායන ශිල්පීන් සහ මගේ අඩුපාඩු පෙන්වාදුන් ප්‍රවීණයෝ සිහිපත් කරනවා

සිනමා, ටෙලිනාට්‍ය තිර රචනා කලාවට යොමුවීමේ අදහසක් නැද්ද ?

ඔව්, එයට අදහසක් තිබෙනවා. එහෙත් මම කිසිම හැදෑරීමකින් තොරව යමක් කරන කෙනෙක් නෙවෙයි. මේ දිනවලත් මම තිර රචනයක් සඳහා මහන්සි වෙනවා. එය ලියන්නේ මට පුහුණුවීමටයි. මට එය අත්හදාබැලීමේ අවශ්‍යතාව තිබෙනවා. මට අවශ්‍ය මා කියවූ ටෙලි, සිනමා තිර රචනා තුළින් ලද දැනුමින් තිර රචනය කුමක්දැයි හඳුනාගෙන එතුළින් යමක් කරන්නයි. මේ ක්ෂේත්‍රය තුළ පවතින්න යමක් හෝ හරියට දෙයක් හෝ අපි කළයුතුයි කියා මා විශ්වාස කරනවා.

වෘත්තියෙන් ඔබ පුවත්පත් කලාවේදියෙක්. සාහිත්‍යකරණ දිවිය රැකියාවත් සමඟ සමපාතව ගලායනවා නේද ?

මම දිනපතා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය ප්‍රධාන උපකර්තෘවරයෙක් ලෙස සේවය කරනවා. ලේඛනයට මූලික අඩිතාලම වැටෙන්නේ රැකියාවෙන්. රැකියාවෙන් මගේ ලේඛන කලාව වර්ණවත් වුණා වගේම ලේඛන කලාවෙන් රැකියාවත් වර්ණවත් වෙනවා. මේ දෙක සමපාතව ගලායන විෂයයන් දෙකක් නිසා වෘත්තිය සහ විනෝදාංශය ලෙස සිදුකරන ලේඛන කලාව සමපාතයි කියා මට සිතෙනවා.

ඉදිරි නිර්මාණ ගැන ඉඟියක් දුන්නොත් ?

මා ලියූ ගීතයක් දෙකක් ඉදිරියේදී එන්න තියෙනවා. සාහිත්‍ය නිර්මාණයක් නම් පේන තෙක් මානයක නැහැ. නවකතවකට මූලික අඩිතාලම සකසමින් පවතිනවා. තිර රචනයක් ලිවීමේ කාර්යයත් අරඹා තිබෙනවා. මම බොහෝ සෙමින් ගමනක් යන කෙනෙක්.

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් නිර්මාණ දිවියට ලැබෙන සහාය මොනවගේද ?

මගේ අම්මා ඉන්නවා. තාත්තා ජීවතුන් අතර නැහැ. අක්කලා හතරදෙනයි, අයියලා දෙන්නකුයි ඉන්නවා. පවුලේ කිසිවෙක් ලේඛන කලාවට සම්බන්ධ නොවුණට ඔවුන්ගෙන් මට ලැබෙන සහයෝගය හා දිරිගැන්වීම් බොහෝමයි. ඔවුන් නිසයි මම මේ ක්ෂේත්‍රයේ අදටත් පයගහලා ඉන්නේ. මට යම් ජයග්‍රහණයක් ලැබුණම මට වඩා සතුටුවෙන්නේ ඔවුන් කියා මා දන්නවා. ඒක තමයි මගේ දිවියේ ලොකුම සතුට.

 

මනෝජ් රුක්මල් කුමාරසිංහ
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT