27 වැනි කොටස
සුමිත්‍රා පීරිස් මැතිනිය යහළු යෙහෙළි රූ ගත කරන්න තෝරගෙන තිබුණේ මීරිගම පැත්තේ ලස්සන ගමක්. අපට නවාතැන් ගන්න ලොකු ගෙයක් වෙන්කරගෙන තිබුණා. සුමිත්‍රා ආන්ටි හැර අපි ඔක්කොම නැවතිලා හිටියේ මේ ගෙදර. සුමිත්‍රා ආන්ටි මිරිගම ටවුන් එකේ නිෂ්පාදකවරයාගේ ගෙදර නැවතුණා. ආන්ටි දර්ශන තලයට එනකොට උදේ නවය විතර වෙනවා. ඒ වුණාට චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා විදියට කටයුතු කළ ඊබට් විජේසිංහ අපිව පාන්දර තුනට විතර ඇහැරවලා මේක් අප් කරවනවා. අපි ඉතින් මේක් අප් කරගෙන පුටු උඩට වෙලා නිදා ගන්නවා. අපි පස්සේ හොයලා බැලුවා මෙච්චර පාන්දරින් අපිව මේක් අප් කරන්න හේතුව මොකක්ද කියලා. පස්සේ තමයි අපිට වැඩේ අහුවුණේ. ඒකාලේ වෙනකොට ඔහු ඉතාමත්ම කාර්ය බහුල වේශ නිරූපණ ශිල්පියෙක්. ඔහු යහළු යෙහෙළි කරන අතරතුරම තවත් චිත්‍රපටයක වේශ නිරූපණය භාර අරගෙන. ඒ චිත්‍රපටයේ දර්ශන තලය තිබුණෙත් අපේ දර්ශන තලයට තරමක දුරින්. ඔහු කරන්නේ අපිය පාන්දරින්ම නැගිට්ටවලා මේක් අප් කරලා තියලා ඔහුගේ සහායකයකුට බාරදිලා ඔහු අනෙක් දර්ශන තලයට යන එකයි. සුමිත්‍රා ආන්ටි මේ කිසිවක් දන්නේ නෑ. එයා දර්ශන තලයට ඇවිත් රූ ගත කිරිම් අරඹනවිට අපි හැමෝම ඉන්නේ නිදිමතින්. කවුරු හරි එක අවස්ථාවක මේ තත්ත්වය සුමිත්‍රා ආන්ටිට කියලා තිබුණා.
අපි හැමෝම මේක් අප් දාගෙන නිදියන්න පුරුදු වෙලා හිටිය නිසා ටෝනි අන්කල් (ටෝනි රණසිංහ) අපට නමක් දැම්මා ‘නිදි පවුල’ කියලා.
ඇත්තටම මේ පවුල ඇතුළෙ අරගලකාරිය වුණේ මම. මගේ හැම දෙබසක්ම මගේ පවුලේ අනිත් අයගේ අදහස් බිඳ දමන දෙබස්. මට තාමත් මතකයි මගේ වැඩිමල් සොයුරිය විදියට රඟපාන ස්වර්ණා මල්ලවාරච්චිත් සමඟ තිබුණ මේ දෙබස් ඛණ්ඩය.
ස්වර්ණා- “මද්දු මාව සෙල්ලමකට ගත්තද?
නදිකා – අක්කා බෝනික්කෙක්යැ සෙල්ලමට ගන්න
ස්වර්ණ- නරක් වෙලා තියෙන තරමක්. වනචරයෝ එක්ක ආශ්‍රයට ගියාම ඔහොම තමයි.
චිත්‍රපටයේ එක තැනක් තියෙනවා වැස්ස වෙලාවක මුදිතලතා පන්සල් යන්න රණ්ඩු කරනවා. ඔය දර්ශනය ගන්න සුදානම් වුණාම හොඳ වැඩක් වුණා. මම මේක් අප් දාගෙන නිදාගෙන හිටිය නිසා සුමිත්‍රා ආන්ටි ඊබට් අයියට කිව්වා “පොඩ්ඩක් ටච් කරන්න වෙයි” කියලා. ඒ නිසා මම හිමිහිට ඊබට් අයියා ළඟට ගියා.
“නිදා ගත්තා නම් මම ටච් කරන්නේ නෑ….. ” ඔහු බොහොම සැර පරුෂ විදියට කිව්වා. ඇත්තටම එදා නම් මට හොඳටම තරහ ගියා. අපි මේක් අප් දාගෙන නිදාගන්නේ අපේ වැරැද්දක් නිසා නෙමෙයිනේ. මම කවදාවත් කාටවත් බැගැපත් වෙන්නේ නෑ. මේ වෙලාවෙදි මට මතුවුණේ මුදිතලතාගේ ගුණාංග වෙන්න ඇති. අසාධාරණයට එරෙහි වෙන එක.
ඊබට් අයියා ටච් කරන්න බෑ කිව්ව ගමන් මම එයා ළඟට ගිහින්
“දෙන්න අයියේ ටිෂූ ටිකක්…… කියලා ඉල්ලුවා. ඔහුත් ඒ ගැන හිතන්නේ නැතුවම ටිෂු ටිකක් දුන්නා.
මම ඔහු ඉදිරිපිටම ඔහු දාල තිබුණ මේක් අප් එක සම්පූර්ණයෙන්ම පිහදැම්මා. දාල තිබුණෙත් බොහොම සුළු මේක් අප් එකක්. ඒකාලේ අද වගේ හෙවි මේක් අප් දාන්නේ නෑ. මේක් අප් ඔක්කොම ඊබට් අයියා ඉදිරිපිටම පිහිදාල මම දර්ශනේ රූ ගත කරන්න ගියා. ඊබට් අයියත් කවදාවත් හිතන්න නැතුව ඇති මම එයා ඉදිරිපිට ඒ වගේ දෙයක් කරයි කියලා. කොහොමහරි මම ඒ දර්ශනයට පෙනී හිටියේ මේක් අප් කිසිවක්ම නැතුවයි. මේ චිත්‍රපටයට හරි ලස්සන සින්දුවක් අන්තර් ගත වුණා. ගායනය කළේ විශාරද නන්දා මාලිනියයි. මගේ පසුබිමෙන් තමයි ගීතය ඇහෙන්නේ. ඒ අතරේ චිත්‍රපටයේ නාමාවලියත් යනවා.
ගලා බසිමි නදියක් සේ ගලා
ගලා යනෙන මං පසුකර ළඟා
විලක් ලෙසින් එක පියසක
කොටුවී නොරැඳීය යුතුවේ
ගලා බසිමි නදියක් සේ ගලා
මේ ගමනේ….මේ සිහිනේ….
සැමට ලොවම එකම බිමක් වේවා
මේ ගමනේ…..මේ සිහිනේ…..
සැවොම ලොවේ එකම දැයක් වේවා
මලක් ලෙසින් පිබිදී හිනැහිලා
ලොවම සුවඳ වි විකසිත සලා
උපන් අකුලක කිම සැඟවී
මිය යා යුතු නැත ගොළුවී
මලක් ලෙසින් ලොවම සුවඳ සලා
එක මවකගේ දියණියක් නොවී
එක පවුලක සොයුරියක් නොවී
එකම අහස් වියනක් යට
ලොවේ සැමට සොහොයුරියක් වෙලා……
මේ ගීතය රචනා කළේ කුලරත්න ආරියවංශයන්. ඇත්තටම මේ ගීතයෙන් කියවෙන්නෙම මුදිතලතාගේ හිතේ තිබුණ සහ මුදිතලතා හැමදාමත් අපේක්ෂා කරපු සමානාත්මතාවය. ඒ හින්දා මේ ගීතයට මමත් හරියට ආසක්ත වුණා.
චිත්‍රපටයේ මුදිතලතාගේ ඇවැස්ස මස්සිනා වුණු පුජිතරත්නගේ චරිතය රඟපෑවේ සනත් ගුණතිලක. සනත්ටත් සිනමාවට පැමිණි මුල් යුගයේදිම තමයි මේ චිත්‍රපටය ලැබෙන්නේ. ඔහු ඒ වනවිට සුමිත්‍රා ආන්ටි සමඟ ගග අද්දර චිත්‍රපටය කරලා තිබුණා. එක්තරා අවස්ථාවක මේ චිත්‍රපට කතාවට අනුව පුජිතරත්න මුදිතලතාව දූෂණය කරන්න හදන දර්ශනයකුත් අපට රූ ගත කරන්න තිබුණා. මේ දර්ශනය සඳහා සුමිත්‍රා ආන්ටි අපිව හොඳීන් සූදානම් කර තිබුණා. පාරක් අයිනක කැලැරොදක තමයි මේ දර්ශනය රූ ගත වුණේ. සනත් කොයි තරම් චරිතයට ආවේශ වෙලා හිටියද කියනවා නම් ඒ දර්ශනය ඉතාම තාත්විකව රූ ගත කරන්න හැකිවුණා. බොරළු පාරේ ඇදගෙන ගිහින් මගේ අත පය සීරිලාත් තිබුණා. නමුත් දර්ශනය අවසානයේ බලන විට අප දෙදෙනාම තව පොඩ්ඩෙන් එහාට මෙහාට වුණා නම් රූ ගත කළ ස්ථානයේ කැලැ රොදින් වැසී තිබුණ පරණ ගල් කොරියකට වැටි ලොකු අනතුරක් වෙන්නත් තිබුණා.
ඒ වගේම මේ රූ ගත කිරීම් කාලය තුළ සනතුයි මමයි රණ්ඩුත් කර ගන්නවා. දවසක් අපි දෙන්නා හොඳටම රණ්ඩු කර ගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ අපි දෙන්නගේ දර්ශනයක් තමයි රූ ගත කරන්න තිබුණේ. මුදිතලතා පුජිතරත්නගේ නිවෙසට පැමිණ පුජිතරත්න දිහා ආදරයෙන් බලන දර්ශනයක් තමයි රූ ගත කරන්න නියමිතව තිබුණේ. සුමිත්‍රා ආන්ටි විධානය දුන්නා.
මට ඇහෙනවා ඇක්ෂන් …. කියනවා.
මම සනත් දිහා හැරිලා බලනවා. ඒත් මගේ මුහුණෙන් ආදරය පිලිඹිබු වෙන්නේ නෑ. මටම තේරෙනවා මගේ හිතේ තියෙන්නේ තරහක් තියලා.
ටිකකකින් සුමිත්‍රා ආන්ටි කටි… කට් කියනවාත් ඇහුණා….
ඇත්තටම දර්ශනය අසාර්ථකයි. සුමිත්‍රා ආන්ටිට මේ මොහොතේ අවශ්‍ය වන ආදරණිය බව මගේ මුහුණෙන් සහ හැඟීම්වලින් එන්නේ නෑ. ඒකට එකම හේතුව ඊට මොහොතකට කලින් මම සනත් එක්ක රණ්ඩු වීම.
සනත් දිහා ආදරෙන් බලන්න කිව්වට රණ්ඩු කරගෙන හිටිය නිසා මට බැලෙන්නෙම තරහින්. දෙතුන් වතාවක්ම මේ දර්ශනය ගන්න උත්සාහ කළත් අපි දෙන්නට එක ෆ්‍රේම් එකේ ඉඳගෙන ඒක ගන්න බැරි වුණා. ඒ වෙලාවේ කවුදෝ ඇවිත් සුමිත්‍රා ආන්ටිට කිව්වා “දෙන්නා දැන් ටිකකට කලින් හොඳටම රණ්ඩු කරගෙන ඉන්නේ” කියලා. අන්තිමේ සුමිත්‍රා ආන්ටි තීරණය කළා ෆ්‍රේම් දෙකකට ඒ දර්ශනය ගන්න.
ලබන සතියේ යහළු යෙහෙළි සම්මානිත වේ…
හේමාලි විජේරත්න
