අතිශය සුලබ, නොගැඹුරු හා වරෙක නොවැදගත් ලකුණු ගෙන එන මිනිස් සබඳතා ඇසුරෙන් සියුම් හා රසික සිත් සතන් සසල කරවන අන්දමේ නිර්මාණ කාර්යයන් නිරන්තරයෙන්ම දත හැකිවේ. විචාරක පිල් මේවා කෙරෙහි දක්වන සැලකිල්ල එකම ආකාරයක් නොගනී. වරෙක පෙනී යන්නේ මේ ඔස්සේ ගැඹුරු කියැවීමකට අවැසි මං හෙළි පෙහෙළි කරන බවයි. එසේම මේවා හුදු භාවාතිශ අත්දැකීම් සේ සලකා බැහැර කරන අවස්ථාද පවතී. කෙසේ නමුදු රසික සැලකිල්ල නොපමාව යොමු කර ගන්නට මෙබඳු නිර්මාණ සතු හැකියාව අවතක්සේරු නොකළ යුතුය. ඒ යම් නිර්මාණ පිවිසුමක පැවැත්ම සුරකින පිළිවෙත් මෙබඳු තැන්වලදී පන ගැන්වීමට ඉඩ ඇති නිසාවෙනි.
කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ දෙබෑයන් වසර කිහිපයකට පෙරාතුව සිනමා නිර්මාණකරණයට එක්වන්නේ පෙර කී ලකුණු පිළිබඳ අදහස් රසිකයා හමුවේ පළ කිරීමේ අරමුණකින් තොරවය. අභිනව තේමාවක් කුළුගන්වාලීම ඔවුනගේ අභිලාසයක් වූ වග එහිදී පැහැදිලි කර ගත හැකි විය. මේ ‘ප්‍රේමය නම්’ සිනමාපටයයි. සිනමා බස මැනවින් හසුරුවාලමින් මිනිස් සබඳතා සතු අඳුරු ඉසව් කරා යාමේ ඇල්මක් ඔවුන් තුළ වූ බවයි ‘ප්‍රේමය නම්’ විසින් ඉඟි කරනු ලැබුවේ. මෙතැනදී ඔවුනගේ දෙවන සිනමා කාර්යය වන ‘රූකඩ පැංචි’ මඳක් බැහැර කරන්නේ සහේතුකවය. ඒ ‘මලකි දුවේ නුඹ’ යන ඔවුනගේ අභිනව සිනමා මෙහෙයුම හරිහැටි හඳුනා ගැනීමේ පහසුව තකායි. ‘රූකඩ පැංචි’ හසු කර ගත යුතු වන්නේ වෙනස් අයුරකින්ය යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන්නකි.
මෙහිලා අදහස් කෙරෙන්නේ ‘ප්‍රේමය නම්’ හා ‘මලකි දුවේ නුඹ’ අතර සබඳතා සමහරක් දක්නට ලැබෙන බවය. මෙසමයේ කල්පන හා වින්දන දෙබෑයන් අනුදත් සිනමා පිවිසුම හා ඉන් උපදින දැක්ම මේ පසුපස පවතින වග නොරහසකි.
සිනමාපට ද්වයම සමාන රීතියකින් නිමවීමට කල්පන හා වින්දන දෙබෑයන් පියවර සලසා ගෙන ඇති බව පෙනේ. අනුශාංගික අංග කිහිපයකදීම මේ වග දැක ගත හැකිය. වෙසෙසින්ම රූපණය, සංගීතය, කැමරාකරණය හා සංස්කරණය වෙතිනි.මේ ඔස්සේ ‘ප්‍රේමය නම්’ පසුකරමින් මඳක් ඉදිරියට යන්නට ‘මලකි දුවේ නුඹ’ සමඟ කල්පන හා වින්දන දෙබෑයන් සමත් වන සැටියකි. එනමුදු මේ සමකාලීන සිරිලක සිනමාවේ පෙරට ඒම් හා සමතැන් ගැනීමේ අවකාශය ආයාසයකින් තොරව දිනා ගත හැකි මඟක් සේ උත්කර්ෂයට නැංවීම අනුචිතය. ඉන් අදහස් කෙරෙන්නේ කල්පන හා වින්දන දෙබෑයනට සිරිලක පළමු පෙළ සිනමාකරුවන් බවට පත්වීමේ හැකියාව දුරස්ථය යන්න නම් නොවේ. ඒ සඳහා සතතාභ්‍යාසය සැබවින්ම වැදගත් වන බවය.
කල්පන හා වින්දන දෙබෑයන් රූපණ කාර්යය කැමරාවට හසු කර ගන්නේම සමීප හා අඩක් සමීප මුහුණු මුල් කර ගනිමිනි. මෙනිසාම පළමු පෙළ චරිත සඳහා එක්වන මාලිනී ෆොන්සේකා , සමනලී ෆොන්සේකා, කුශේන්‍යා ෆොන්සේකා හා ශ්‍යාම් ප්‍රනාන්දු සියුම් ඉරියව් උචිත පරිදි සලකුණු කරලීමට උත්සුක වන අයුරු පෙනේ. මේ සිව්දෙනා ආකාර සතරකින් යුතුව හඳුන්වා දීමද මෙතැනට ගලපා ගත යුතු වන්නකි. මාලිනී හිටපු අධිකරණ විනිසුරුවරියකි. සමනලී ප්‍රකට යූ ටියුබ් හා රූපවාහිනී මාධ්‍යවේදිනියකි. කුශේන්‍යා දහසය හැවිරිදි පාසල් සිසුවියකි. ෂ්‍යාම් සරසවි ඇදුරෙකි. එසේම සම්මානනීය ගත් කතුවරයෙකි. කල්පන හා වින්දන මහත් ඉවසීමකින් ආකාර සතරක මේ සිව්දෙනා එක පෙළට අසුන් ගන්වාලීමේ බරපතළ කටයුත්ත සඳහා සිනමාපටයේ අවසන් අදියර තෙක්ම වෙහෙස වෙති. අවසන ඔවුහු එය සපුරා ගනිති. මේ පිළිබඳ පරිපූර්ණ එකඟතාවකට රසිකයන් පැමිණේවියැයි කියා විශ්වාස කිරීම සුදුසු නොවේ. සිනමාපටය තව ගැඹුරට යා යුතුයැයි අදහන විද්වත් රසිකයනට සිතෙන්නේ කල්පන හා වින්දන තවත් මිනිත්තු කිහිපයක් හෝ වැය කර සිනමාපටයේ මෙම චරිත අතර එකඟතා හේතු ඵල සබඳතා නිසිව ගලපාගනිමින් සහතික කරලන්නට කටයුතු කළ යුතුව තිබූ බවයි.
කෙසේ නමුත් කල්පන වින්දන දෙබෑයන් වෙත යම් සහනයක් ගෙන එන්නට මාලිනී, සමනලී, කුශේන්‍යා හා ශ්‍යාම් දක්වන උනන්දුව සහතික වී ඇති සැටියකි. මෙයින් වඩා කැපී පෙනෙන්නේ කවුරුන්දැයි යන පැනය නැඟීම අනුචිතය. මන්ද සිව්දෙනාම තම තමන්ගේ සීමා පිළිබඳ යම් වැටහීමකින් යුතුව රූපණයෙහි නිරතව ඇති නිසාවෙනි. අවස්ථා ගණනාවකදීම ශ්‍යාම් ප්‍රනාන්දු චරිතයටම බට ශ්‍යාම් ප්‍රනාන්දු මෙහිදී සරසවි ඇදුරුගේ චරිතය අල්ලා ගන්නට දැරූ උත්සාහය අගය කළ යුතුමය. මාලිනීට රූපණ බලයක් මුදා හැරීමට කල්පන හා වින්දන දෙබෑයන් ඉඩක් ලබා නොදෙති. සමනලී හා කුශේන්‍යා සිනමාපටය අවරට රැගෙන නොයන අන්දමින් රූපණයෙහි නිරත වෙති.
සාපේක්ෂ මන්දගාමී රිද්මයකින් රූප පෙළ ගස්වන්නේ රසික හදටද තට්ටු කරමිනි. දිග හැරෙන පුවත පෙර කී පරිදිම අපූර්වත්වයක් නොගනී. එහෙත් ඊට අපූර්වත්වයක් එන්නත් කරලීමේ කාර්යය සඳහා දායකත්වය ලබා දීම සංස්කරණයේ වගකීමක් වී තිබේ. සිනමාපටය වෙහෙසකර අත්දැකීමක් නොවන්නේ සංස්කරණයේ සහභාගීත්වයද නිසාය.
යට කී චරිත සතර දෙසම දයාබරව බලන්නට සිනමාකරුවන් දෙපළ දක්වන උනන්දුව සුපැහැදිලිවම දත හැකි වන්නේ අවසන් අදියරේදීය. හිටපු විනිසුරුවරියක වන මව හා අවිවාහකව දරු සම්පත් ලද දියණිය අතර නොපෑහීම්ය. ඇය හා ඇගේ දියණිය අතර ආකල්පමය ගැටලුය. සරසවි අදුරුගේ පැමිණීම දියණිය නුරුස්සයි. ඔහුට ඇත්තේ යහපත් චේතනාය යන්න රසිකයා සේම ඇගේ මවද දනී.මෙම මූලික දුරස්වීම යනු මෙයට වඩා වැඩි දුරස්වීම් සමුදායක පිළිබිඹුව පමණක් බවයි අනතුරුව රසිකයනට වැටහෙන්නේ. යම් මන්දගාමී විලාසයක් කෙරෙහි සැලකිලිමත් වන්නට සිනමාකරුවන් දෙපළට සිදුව ඇත්තේ මෙය අර්බුදයට ගියහොත් සිදු විය හැකි ව්‍යසනය වටහා ගන්නා හෙයිනි.
සිනමාපටය අවලෝකනයේදී මෙම චරිත සතරේම පිවිසුම් සඳහා යුක්ති සහගත හේතු තිබූ බව පෙනේ. සිනමාකරුවන් දෙපළ කිසිදු අතිශයෝක්තියකින් තොරව මේ වග සනිටුහන් කරන්නේ අනුශාංගික අංග අපහසුතාවකට පත් නොකරමිනි. අවසනදී සිදු වන්නේ මේ සිව්දෙනාටම යුක්තිය ඉටු කර දීමය. සියල්ලෝම සතුටින් විසිර යති. ඊට වඩා වෙනස් තැනකට සිනමාපටය රැගෙන යාමට කල්පන හා වින්දන දෙබෑයෝ උත්සුක නොවෙති. එහෙත් අවැසි වූයේ නම් අන් තැනකට සිනමාපටය රැගෙන යාමේ නොහැකියාවක්ද නොපවතී.
මෙහෙයින් ‘මලකි දුවේ නුඹ’ දැක ගත හැක්කේ අනුවේදනීය මිනිස් සබඳතා දෙකතුනක් ලගන්නා සුළු අන්දමින් නිරූපිත , විවේකීවම නැරඹිය යුතු සිනමාපටයක් ලෙසය. වත්මන් සිනමා උණුසුම තීව්ර කරලන සිනමාපටයක් සේ ‘මලකි දුවේ නුඹ’ නම් කරලීම අපහසු වන්නේ මෙකරුණ හැසිරෙන ආකාරය නිසාවෙනි. එහෙත් ‘මලකි දුවේ නුඹ’ වත්මන් සිනමා උණුසුමට එරෙහි නොවන්නක් වන බවද වටහා ගැනීම වැදගත්ය. මෙම උණුසුම යටතේ සම්මත පවුලේ රසික සහභාගීත්වය යථාවත් කර ගැනීම අසීරු වන තැන්ද හමුවේ. මෙබඳු විටෙකදී ‘මලකි දුවේ නුඹ’ හා ඒ මාදිලියේ සිනමාපට හිමි කර ගන්නේ සැලකිය යුතු වටිනාකමකි. කල්පන වින්දන දෙබෑයනට සිය ඉදිරි සිනමා මෙහෙයුම් සහතික කර ගන්නට මෙම වටිනාකම ඉවහල් කර ගත හැකිවේ.
තුසිත ජයසුන්දර
