“සප්ත කන්‍යාවේ ගිනි පුළිඟු” ලේඛක, නීතිඥ ගුණපාල වීදියවත්ත විසින් රචිත ප්‍රථම යොවුන් නවකතාව වේ. මෙහි අන්තර්ගතය සත්‍ය සිදුවීමකි. එනම් මීට දශක පහකට පමණ පෙර සිදුවූ සප්ත කන්‍යා ගුවන් අනතුර පිළිබඳ ලේඛකයා විසින්,එම අනතුරේ සොබාව ඇසින් දුටුවකු ලෙස එවකට ලියා තබන ලද චාරිකා සටහනක් ඇසුරෙන් මෙම යොවුන් නවකතාව ලියා ඇත.
බැංකු කළමනාකරුවකු ලෙස කටයුතු කොට විශ්‍රාම ගෙන සිටින ඔහු මේ වනවිට නීතිඥ වෘත්තියේ යෙදී සිටින අතර නිර්මාණ කටයුතුවල ද නියැළේ. කොළඹ ළමා පොත් සංගමයේ ලේඛක වැඩමුළු මාලාවේ අභ්‍යාසලාභියකු වන ඔහු නූතන පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි. කොළඹ ළමා පොත් සංගමයේ නීතිඥ මණ්ඩලයේ ද කටයුතු කරන ඔහු සිය මුල්ම යොවුන් නවකතාව ඔස්සේ සාහිත්‍ය ලොව තැබූ පියවර ප්රසංසනීයය.
එවකට පාසල් ශිෂ්‍යයකු වූ ලේඛකයා ඉන් දශක ගණනාවකට පසු එම අනතුර සිදුවී වසර පනහක් පිරෙන අවස්ථාවේ නිර්මාණශීලී ගුණයෙන් අනූන කතාවක් ලෙස මෙය ඉදිරිපත් කර ඇත. ලේඛකයකු ලෙස ඔහුගේ ප්‍රතිභාව මේ කෘතිය පුරා පැතිර තිබීම විශේෂිත ය.
මෙය මගේ පෞද්ගලික අත්දැකීමක්. 1974 වසරේ දෙසැම්බර් මස පස්වැනි දින වන විට මා අ.පො.ස.උසස් පෙළ පාසල් ශිෂ්‍යයකුව සිටියදී ලද සජීවී අත්දැකීමක්.මිතුරන් සමඟ එදින සිදුවූ ගුවන් අනතුර බැලීමට ගොස් නැවත නිවසට පැමිණීමෙන් අනතුරුව ලියන ලද සජීවි ජීවන චාරිකා සටහනක් අනුසාරයෙන් මේ ආකාර කතාවක් ලියන්න හිතුණේ.
ඇත්තටම එදා මේ වගේ අභියෝගාත්මක ගමනකට පෙලඹුණේ කොහොමද ?
ඒ ආරංචිය දැනගත් මොහොතේ ම හිතුණා මේ ගමන යන්න ඕන කියල. පස්සෙ අපි පන්තියෙ මිතුරන් කීප දෙනෙක් ගුවන් අනතුර බලන්න යන්න කතා වුණා. ඉන්පස්සෙ තමයි අපි දහ දෙනෙක් විතර මේ ගමන පිටත් වුණේ. නමුත් අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑ කොහොමද යන්නෙ, කොච්චරක් දුරද ඒ කිසිම දෙයක්. කොටින්ම එහි අවදානම ගැන හැඟීමක් නොවී පාර අසාගෙන තමයි අපි ගමන පිටත් වුණේ. අප සිතා සිටියේ කෙටි දුරක් කියා වුණත් හැතැප්ම විස්සක් පමණ වූ ගමනක් එය. පාසලේ සිට ටික දුරක් බස් රථයේ ගිහින් ඊට පසු යන්න වුණේ විශාල රක්ෂිත වනාන්තරයක් මැදින්. ඒක ඉතා දුෂ්කර ගමනක්. නිසි පාරක්වත් හරියට නොතිබුණු. හවස් වෙනකොට සප්ත කන්‍යා කඳු පාමුලට ළඟා වුණත් එතනින් එහාට ගමන් කරන්න බැරි වුණා. හරිම දුෂ්කර වෑයමක්. රටේ දැඩි ආහාර අහේනියක් තිබුණු කාලෙක රාත්‍රිය ගත කිරීමට නිසි තැනක්, නින්දක් පවා නැතිව සීතලේ රැය නිදිවරා ගෙවා ගනිමින් අනතුරුව තමයි පසුදා සප්ත කන්‍යා කඳු වැටිය තරණය කිරීම ආරම්භ කළේ. ඇත්තෙන්ම ඒක ඉතා අභියෝගාත්මක ගමනක්. ඉතින් ඒ නිසා ගෙදර ආ පසු එදා චාරිකා සටහනක් ලෙස එය ලියා තැබුවා. ඒ සටහන තමයි සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර පනහක් පිරෙන මේ වසරේ යොවුන් නවකතාවක් ලෙස එළිදැක්වීමට කටයුතු කළේ.
මේ කටයුත්තේදී මට ගොඩක් උදවු කළා කොළඹ ළමා පොත් සංගමයේ සභාපතිතුමා, ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය මහත්මයා. මේ වෙලාවෙ එතුමාව මතක් කළ යුතුයි.එතුමා තමයි මේ පොත කියවා බලා මූලික ව අදහසක් දුන්නෙ මේ පොත මුද්‍රණයට සුදුසුයි කියා. ඉන්පසුව තවත් ලේඛනයේ දක්ෂ දියණියක් වූ තීෂ්‍යා දුල්මිණි දියණියගේ වටිනා අදහසුත් සමඟ ඒ ගමන් අත්දැකීම යොවුන් නවකතාවක් ලෙස සකස් කිරීමට කටයුතු කළා.
ඔබ මෙතෙක් රංගනයෙන් දායක වූ ටෙලි හා චිත්‍රපට නිර්මාණ ගැනත් සඳහන් කරමු
ඔව්.ටෙලි නාට්‍ය පහකට පමණ රංගනයෙන් දායක වී තියෙනවා.
ඒ අතර සත්මහල, නෝනාවරුනි මහත්වරුනි, ධාමිනී, ෂෝර්ට්කට්, කුමි වැනි ටෙලි නාට්‍ය වනවා.ඊට අමතරව කෝමාර්ක්-නෝමාර්ක් චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා .
ඉදිරියේදි දිගටම ලේඛන කටයුතුවල යෙදෙන්න අදහස් කරනවා. නිර්මාණ කාර්යය ගැන මට ලොකු තෘප්තියක් තිබෙනවා. සප්ත කන්‍යාවේ ගිනි පුළිඟු මගෙ නිර්මාණ ජීවිතයේ වටිනා පියවරක්.
‘ ගමනට එක්වූ අපි කිසිවකුත් හරි හැටි මාර්ගය දැන සිටියේ නැත. අතරමගදී අසා දැනගත් පරිදි අපි ඉදිරියටම ගියෙමු. අතිශය දුෂ්කර වූ කඳු ශිඛර මැදින් වැටී ඇති වල් බිහිවූ එම අඩිපාර වරෙක මයිල (මීහරක්) ගස්වලින් පිරුණු මඩ ගොහොරුවකි. ඒ මඩ ගොහොරුවලදී ඉතා අමාරුවෙන් එගොඩ වී ඉදිරියට ම ගියෙමු. ජරාවාස වූ එම මාර්ගයේ ටික දුරක් යන විට අධිබලැති විදුලි රැහැන් ඇද ඇති විශාල විදුලි කුලුනක් අසලින් මාර්ගය අවසන් විය. එතැනින් ඉදිරියට මාර්ගයක් තිබෙන සලකුණක් හෝ නොතිබුණි. ඉන්පසු අපට සිදු වූයේ අධිබලැති විදුලි රැහැන් ඇද ඇති විශාල විදුලි කුලුනෙණ් කුළුණ (ටවර්) බලා ඉදිරියට යාමටය. විදුලි බල මණ්ඩලය විසින් එම විදුලි කුළුණු එකින් එකට සම්බන්ධ කර ශුද්ධ කර තිබූ එම මාර්ගයද ඒ වන විට වල් බිහිවෙමින් තිබුණි.’
පිටුව 27
සප්ත කන්‍යාවේ ගිනි පුළිඟු , පසෙකින් නොතබා එක් හුස්මට කියැවිය හැකි යොවුන් නවකතාවකි. සප්ත කන්‍යා ගුවන් අනතුර පිළිබඳ තවත් වැදගත් තොරතුරු හා ඡායාරූපවලින් ද සමන්විත “සප්ත කන්‍යාවේ ගිනි පුළිඟු”, සප්ත කන්‍යා ගුවන් අනතුර පිළිබඳ තොරතුරු සොයන්නකුට කියැවිය හැකි අනගි යොවුන් නවකතාවක් ලෙස හඳුන්වා දීම සුදුසු ය.
