Home » මයුරාජ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්

මයුරාජ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්

යොවුන් රංගන ශිල්පි ඉෂාන් වන්නිආරච්චි

by mavan
November 27, 2025 10:29 am 0 comment

“රාවණා, 2″හි ‘මයුරාජ’ ඔබට අමතක නොවන චරිතයකි. ප්‍රේක්ෂක ප්‍රතිචාර ද බොහොමයක් ලද ‘මයුරාජ’ අද වනවිට ජපානයේ පදිංචිව සිටියි. ඒ අතරතුර ලංකාවට පැමිණ කලා නිර්මාණ සඳහා ද දායකත්වය දෙන්නට ඔහු අමතක නොකරන්නේය. ‘ළංවී’ ටෙලිනාට්‍යයේ ‘වසන්ත’ද, ‘පාරදිගේ’ ‘ජෙරාඩ්’ වූයේද, ‘දාම්’ හි ‘විසල්, විදුර’ ලෙස ද්විත්ව රංගනයේ යෙදුණේද ඔහුය. නමින් ඉෂාන් එස්. වන්නිආරච්චි වන මේ කඩවසම් යෞවනයා, මෝස්තර නිරූපණ ශිල්පියකු ද වන්නේය. අද වනවිට ජපානයේ ජීවත්වන ඉෂාන්, සිය කලාදිවිය ගැන කතා කරන්නට සරසවිය හා මෙසේ එක්විය.

ඉෂාන්, ඔබ රඟපෑ ‘රාවණා, 2’හි ‘මයුරාජ’ චරිතය ප්‍රේක්ෂක අතර වඩාත් කතාබහට ලක්වුණා නේද ?

ඔව්, මයුරාජ කියන්නේ ගොඩක්ම ප්‍රේක්ෂකයා අතරට ගිය චරිතයක් . මයුරාජ නමැති විලන් චරිතයට ප්‍රේක්ෂකයා ගොඩක් ආදරය කළා. ප්‍රතිචාර ලැබුණා. ක්ෂේත්‍රයේ බොහෝ අය මයුරාජ චරිතයෙන් තමයි මාව හඳුනා ගත්තේ. මාව කොහේදී හෝ හමුවුණත් කතා කරන්නේ ‘මයූ’ කියලා. සමාජ මාධ්‍යයේත් මාව ඒ නමින්මයි හඳුන්වන්නේ. මයුරාජ කියන්නේ මට දැනුණු හොඳ චරිතයක් සහ මම බොහෝ ආසාවෙන් කළ චරිතයක්. ‘රාවණා’ වැනි ටෙලියක මයුරාජ වැනි චරිතයක් රඟපාන්න ලැබීම මගේ වාසනාවක්.

‘මයුරාජ’ට ආරාධනා ලැබුණේ කොහොමද ?

සිරස වසන්ත කුමරා තරගයෙන් පළමු තැන දිනා ‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ රඟපාන කාලයේ මගේ යාළුවෙක් මට කිව්වා ‘රාවණා 2’ට කට්ටිය තෝරගන්න ඔඩිෂන් තියෙනවා, අදාළ දවසට අපි යමු කියලා. එහෙම ගිහින් තුෂාර තෙන්නකෝන් අයියව හමුවෙනවා. එහිදී අපට දෙබස් දුන්නා කියන්න. ඒ මොහොතේම තුෂාර අයියා කිව්වා මයුරාජ කුවේර චරිතයේ කිට් එක මෙයාට ගෙනවිත් දෙන්න කියලා. ඉන්පසු මට කිව්වා කුවේර චරිතය කරන්නේ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, එයාව අනුකරණය කරන එයා වගේ පුතෙක් වෙන්න ඕනේ. ප්‍රේක්ෂකයාට මේ ඉන්නේ කුවේරගේම පුතෙක් කියා දැනෙන්න ඕන කියලා. පසුව දවසක මට දැනුම් දුන්නා මාව ඒ චරිතයට තෝරා ගත්තා කියලා. ඊට පස්සේ මම ඒ චරිතය මාර විදිහට අධ්‍යයනය කළා. ඉසුරු අයියගෙනුත් උපදෙස් අරගෙන මම ඒ චරිතය රඟපාන්න පිවිසුණා.

‘මයුරාජ’ ඔබේ රංගන දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් නේද ?

ඔව්, මයුරාජ කියන්නේ මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක්. මම හිතුවෙත් නැහැ ඒ තරම් රංගන පරාසයක් ඇති කියලා. තුෂාර අයියා අපට නිදහස දුන් නිසයි ඒ චරිතය හොඳීන් කළ හැකි වුණේ. මගේ රංගනයේ ගුරුවරයා ඉසුරු ලොකු හෙට්ටිආරච්චි අයියා. මම කළ ප්‍රධාන චරිතයක් මගේ ගුරුවරයාත් සමඟ රඟපාන්න ලැබීම ලොකු අවස්ථාවක්.

‘රාවණා’හි රංගනයේදී කොහොමද අධ්‍යක්ෂ සමඟ ඔබේ ගනුදෙනුව වුණේ ?

තුෂාර අයියා එක්ක ගනුදෙනුව හරිම ලෙහෙසියි . ඔහු හොඳ මනුස්සයෙක් වගේම හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඒ චරිතය හරියටම මගේ ඔළුවට දැම්ම නිසා අපි දෙන්න අතර ඒ ගනුදෙනුව හොඳීන් වුණා කියා සිතනවා. හොඳ මනසකින්, සංයමයකින් ඔහු අපිව හසුරවපු නිසා මයුරාජ තුළින් මට නව ජීවයක් ලැබුණා කියා සිතනවා.

ඔබ ඓතිහාසික කතාවලට විශේෂ කැමැත්තක් දක්වනවාද ?

ඔව්, මම අපේ ඓතිහාසික කතා ගැන උනන්දුවක් දක්වනවා. ඒවා දකිද්දි ඇඟට අමුතු ජීවයක් ලැබෙනවා. රාවණා මුල් කාලයේ නරඹද්දී මටත් මේකේ රඟපාන්න ලැබෙනවානම් කියලා මට සිතුණා.

මගේ නවතම මියුසික් වීඩියෝව ළඟදී එළි දැක්වූවා නේද ?

ඔව්, ‘ශුංගාරි’ නමින් ඒ මියුසික් වීඩියෝව නම් කළේ . මියුසික් කළේ දිනේෂ් හේමන්ත.මියුසික් වීඩියෝව කළේ සංදේශ් බණ්ඩාර. අපිත් එක්ක රංගනයෙන් එක්වුණා අනුරාධා එදිරිසිංහ. නර්තන පැත්ත කළේ තිමිර ප්‍රේක්ෂකයන්ගෙන් විශාල ප්‍රතිචාරයක් එයට ලැබී තිබුණා.

ඉෂාන්, ඔබ අද ඉන්නේ ජපානයේ. ජපන් එන්න කලින් ජානු ටෙලියේ රඟපෑ චරිතය ගැන කිව්වොත් ?

ඔව්, මෙහේ ඉන්න කලින් අවසානයට කළේ ‘ජානු’ ටෙලිනාට්‍යය. ඒකත් සුවිශේෂී නිර්මාණයක්. අධ්‍යක්ෂ හසුන් සමීර මට අහම්බෙන් එයට කතා කරන්නේ. එහි ජනත් චරිතය මම කරන්නේ. දිගටම මම කළේ විලන් චරිත. ඒ විලන් චරිත ඇතුළේ විලන් කෙනෙක් වගේම වංචාකාරී ආදරවන්තයෙක් කියන චරිතයක් එහි මට කරන්න ලැබුණා. අද වෙනකල් මටත් හිතාගන්න බැහැ ජනත් කියන්නේ කවුද කියලා. ඇත්තෙන්ම ඔහු සයිකෝ කෙනෙක්ද කියලත් හිතෙනවා. ඒ චරිතය තුළ හිතන්න දේවල් ගොඩක් ඉතිරි කරලා තිබෙනවා.

‘ජානු’ හි කොටස් කිහිපයක් ජපානයේත් රූගත කළා නේද ?

ඔව්, එහි කොටස් 15කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ (ජපානයේ) රූගත කළා. ඒක ජානු ටෙලි නාට්‍යය ඇතුළේ ලොකු වෙනසක් වුණා.

ලංකාවේ රූගත කිරීමකදී හා ජපානයේ රූගත කිරීමකදී පැහැදිලි වෙනසක් දැක්කාද ?

ලංකාවේ රූගත කරද්දි ලොකු වෙහෙසක්, කැපවීමක් කරන්න වෙනවා. ජපානයේදී එහෙම ලොකු වෙහෙසක් දරන්න වෙන්නේ නැහැ. අඩුම තරමේ මේකප් එකක්වත් මෙහිදී කළේ නෑ. කලර් ග්‍රේඩ් එක පවා ඒ විදිහටම ගන්න පුළුවන් හොඳ තත්ත්වයක මෙහි තිබුණා. ඒවගේම ජපානයේදී ලොකු පිරිවැයක් දරන්න වුණෙත් නැහැ.

“ළංවී” ටෙලිනාට්‍යයේ ඔබේ චරිතයට තරුණ පිරිසේ විශේෂ කැමැත්තක් තිබුණා නේද ?

ඔහු, මෙහි ‘වසන්ත’ චරිතයට නව යොවුන් තරුණ තරුණියන් බොහෝ සේ කැමැති වුණා. ගාලුකොටුවේ රූගත කිරීමකදී එතැනට ඇවිත් තිබුණා පාසල් ළමුන් බස් තුන හතරකින්. එහිදී අපිට සෑහෙන වෙලාවක් යනකල් රූගත කරන්න බැරි වුණා. අර තරුණ වයසේ සිසුවියන් ‘වසන්ත, වසන්ත’ කියල කෑ ගහන්න ගත්තා. බැරිම තැන අධ්‍යක්ෂවරයා මාව ටික වෙලාවකට පැත්තකට යවලා ශේප් වුණාමයි රූගතකිරීම් කළේ. එදා තමයි දැනගත්තේ තරුණ තරුණියන් වසන්තට එතරම් ආදරය කළා කියලා. වසන්ත මැරයෙක් වුණත් ඒ තුළ හරිම සංවේදී අවස්ථා තිබුණා.

‘පාරදිගේ’ ජෙරාඩ් දෙස නැවත හැරී බැලුවොත් ?

ඒ චරිතය මම කළාද කියලා මට හිතාගන්නත් බැහැ. අද ඒ චරිතය දිහා බලද්දි ඒ ඉන්නේ මමමද කියලා මට හිතෙනවා. ‘ජෙරාඩ්’ මගේ රංගනයේ නව උපතක් කිව්වත් හරි. මම ඒකට ආභාසය ගත්තේ ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගෙන්. මෙහිදී වෙනස්ම විලන් චරිතයක් කරන්න මට ඕන වුණා.

රංගනය ගැන හැදෑරීමක් කර තිබේද ?

සෞන්දර්ය විශ්වවිද්‍යාලයට මාව තේරුණේ ඩ්‍රාමවලින්. ඒ කාලයේදී මට ජපානයට යන්න හිතුණා. ඒ නිසා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී ජපානයට ගියා. පසුව මම ‘ නෝ ‘ සහ ‘කබුකි’ පිළිබඳ අධ්‍යයනය කළා. ඉන්පසු දුරුතු ඇකඩමියේ වසරක් පමණ රංගනය හැදෑරුවා. පසුව ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අයියගෙන් සෑහෙන්න දැනුමක් ගත්තා රංගනය ගැන. ක්ෂේත්‍රයේදී බ්මල් ජයකොඩි, ධනුෂ්ක රත්නායක, තුෂාර තෙන්නකෝන් වැනි අයගෙන් යම් යම් දේ ඉගෙන ගත්තා. ඒ අත්දැකීම් වලින් උගත් දේ අපට රංගන පාසලකින්වත් ලබාගන්න අමාරුයි.

කලා දිවියේ ආරම්භය සිදුවුණේ කොහොමද ?

නළුවකු හෝ ගායකයකු විදිහට ප්‍රේක්ෂක ආකර්ෂණය ගැනීමේ ආසාවක් ඉස්සර ඉඳන්ම මට තිබුණා. මාතර හිටිය මට රංගනයට අවස්ථාවක් ආවේ නැහැ. පසුව ගායනයට යොමු වුණා. ඒ කාලයේ ඒකට ලොකු පිස්සුවක් තිබුණා. සිංදු කියලා රේඩියෝ චැනල්වලට ගෙනත් දුන්නා. ඒවා කවදාවත් ර්‍ථතචර වෙලා නැහැ. කාගේ හෝ යූ ටියුබ් චැනල් එකක ඒවා දානවා. පසුව උසස් පෙළ කළාට පසුව මියුසික් වීඩියෝවලට පෙනී සිටියා. ඉන්පසු රොසෑන් ඩයස්ගෙන් මොඩ්ලින් ඉගෙන ගත්තා . ඒ රංගන ශිල්පියෙක් වෙන්න බලාගෙන. ඉන්පසු ජපානයට පසුව ලංකාවට ගිහින් 2018දී සිරස වසන්ත කුමරා වුණාට පසුව රංගනයට අවස්ථාව ලැබුණා.

මුලින්ම කැමරාවකට මුහුණ දුන් ඒ දවස සිහි කළොත් ?

ඒ හරි ක්‍රියේෂන් එකේදී . මට මතක හැටියට ඕෂධී සහ විරාජ් අයියා තමයි ඒ මියුසික් වීඩියෝවේ මේන් රෝල් එක කළේ. එහිදී මට අවස්ථාවක් ලැබුණා ඕෂධී කියන අක්කා එක්ක ආදර ජවනිකාවක් කරන්න. ඒක තමයි කැමරාවට ඇක්ට් කරන්න ලැබුණු පළමු අවස්ථාව. එහිදී මුලින්ම මට ඒක කරන්න බැරි වුණා. දුරුතු ක්‍රියේෂන් එකෙන් කරපු ‘දියණියෝ’ ටෙලි නාට්‍යයේ තමයි දෙබස් සහිත අවස්ථාවකට මුලින්ම කැමරාව ඉදිරියේ මුහුණ දුන්නේ.

ඉෂාන් වන්නිආරච්චි නමැති මෝස්තර නිරූපණ ශිල්පියාගේ භූමිකාව ගැන කිව්වොත් ?

මොඩ්ලර් කෙනෙක් විදිහට මට උපත දෙන්නේ රොසෑන් ඩයස් මහත්මිය. එහිදී මාතර ඉඳන් ආව මගෙයි කොළඹ අයගේ ඇඳුම් අතරයි ලොකු වෙනසක් තිබුණා. පසු කාලයේ ඒ සංස්කෘතියට හුරු වුණා. පියුමාල් අයියා තමයි අපේ ට්‍රේනින් සයිඩ් එක කළේ. අද වෙද්දී නම් ෆොටෝ ෂූට්, බ්‍රෑන්ඩ් ෂූට් ආදියට අවස්ථාව ලැබෙනවා. ඒ සියල්ලට පන්නරය ලැබුණේ රොසෑන් ඩයස්ගේ පන්තිවලින් ලබා ගන් දැනුමෙන්.

රඟපෑ චරිත අතරින් සුවිශේෂී චරිතයක් වේද ?

මම රඟපෑ චරිත ඔක්කොම වගේ මට සුවිශේෂියි. මොකක් හෝ වාසනාවකට මට ලැබුණු සෑම චරිතයක්ම යමක් කරන්න පුළුවන් චරිතයි. ‘දාම්’ ටෙලි නාට්‍යයේ කරන්න ලැබුණු ප්‍රේමවන්තයා සහ විලන් කියන චරිත දෙක ගැන කිව්වොත් මේ චරිත දෙකම එකම පුද්ගලයා . ඒත් ප්‍රේක්ෂකයා මුලින්ම හිතන්නේ මේ දෙන්නෙක් කියලා. ‘විසල්, විදුර’ ඒ චරිත දෙක. ඒ චරිත දෙක සමබරව ගෙනයන එක ඇත්තෙන්ම අභියෝගයක් වුණා. මට ඒක සුවිශේෂී වුණේ ද්විත්ව චරිත නිරූපණයක් නිසා.

රංගනයට ආසාවෙන් සිටින චරිතයක් වේද ?

මට ලැබෙන ඕනෑම චරිතයක් ආසාවෙන් කරන්නේ. මට මේ චරිතය ලැබුණොත් කියලා එහෙම සිතන චරිතයක් නම් නැහැ. ලැබෙන ඕනෑම චරිතයක් කරනවා.

සිනමාව තුළ ඔබේ භූමිකාව කොහොමද ?

සිනමාව තුළ නම් තවම මට අවස්ථාවක් ලැබී නැහැ. ඉදිරියේදී යම් වැඩක් ගැන සැලසුමක් කරගෙන යනවා.

නිර්මාණයක් බාර ගනිද්දි සලකා බලන විශේෂ කරුණු තියෙනවද ?

මම බලන එකම දේ ඒ චරිතය ඇතුළේ මට කරන්න දෙයක් තියේද කියන එකයි. නිර්මාණයට සාධාරණයක් කරන්න මට හැකිවේද කියා බලනවා.

වේදිකාවට ගොඩ වෙන්න අදහසක් නැද්ද ?

ඉස්සර සිටම වේදිකාවට ගොඩ වෙන්න ආසාව තිබුණොත් ඒකට මට ආරාධනයක් ලැබුණේ නෑ. වේදිකාවේ පෙරළියක් කරන්න ආසයි වේදිකාවට ගොඩ නොවුණාට වේදිකාව පරිශීලනය කළ අය ඇසුරට අවස්ථාව ලැබුණා. ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්නත් ලැබුණා

ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ඔබේ රංගන දිවියේ ගුරුවරයා කියා මා අසා තිබෙනවා ?

ඔව්, මම ජපන් ඉඳන් ලංකාවට ගිය වේලේ කොළඹ මට කවුරුවත් හිටියේ නැහැ. මුලින්ම ඉසුරු අයියාව තමයි හමුවෙන්න ගියේ. ඔහු රඟපාද්දී මම ලොකේෂන් එකට ගිහින් හිටියා. එහිදී තමයි ඔහු මට ගුරුවරයා වුණේ. ඔහු මට රූගත කිරීම් ගැන බොහෝ දේ කියා දුන්නා. චරිතයක් ගොඩනඟන්නේ කොහොමද, ඒකට සාධාරණයක් කරන්නේ කොහොමද ආදිය ගැනත්, ෂූට් කරන තැන්වලට එක්ක ගිහින් ඒ දේවල් බලා ඉන්න ඉඩ දුන්නා. ඒවා කරන හැටි අධ්‍යයනය කරන්න කිව්වා. දෙබස් හැසිරවීම, ආලෝකකරණය සිදුවන්නේ කොහොමද, ඇක්ෂන්, රි ඇක්ෂන් දෙන්නේ කොහොමද ආදිය ප්‍රායෝගිකව ඉසුරු අයියා මට උගන්වලා තියෙනවා. මම රඟපාද්දී මා පසුපසින් ඉඳලා එහි අඩුපාඩු පෙන්වා දුන්නා.

ගායනය, නිවේදනය, හඩකැවීම ආදියට නැඹුරුව කොහොමද ?

ගායකයෙක් වෙන්නේ නළුවෙක් වීමේ අවශ්‍යතාව නිසා. දැන් නම් මගේම ස්ටුඩියෝවක් තියෙනවා. නිවේදනයට ඉස්සර ඉඳන්ම කැමැතියි. සිරසේ එක් වැඩසටහනකට නිවේදනයෙන් දායක වුණා. හඬකැවීමට මම ගොඩක්ම ආස කළ කෙනෙක්. මම දන්න විදිහට මට කටහඬවල් 10ක්, 12ක් තියෙනවා. හඬකැවීම්වලින් මට තැනකට යන්න අවස්ථාව ලැබුණේ නෑ.

ජපානයේ සිටින ඔබ එහි රැකියාවක නිරත වෙනවාද ?

ජපානයේ රජයට සම්බන්ධ ආයතනයක රැකියාවක නිරත වෙනවා.

අනාගතයේදී ඉෂාන් වන්නිආරච්චි නමින් අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයෙකු දකින්න ලැබේද ?

ඔව්, වැඩි කාලයක් නොගොස් එම භූමිකාවලින් ප්‍රේක්ෂකයාට මාව දැක්ක ගන්න පුළුවන් වේවි කියා සිතනවා.

කඩවසම් ඔබට තරුණියන්ගේ ආදර යෝජනා, වෙනත් බලපෑම් ලැබී නැද්ද ?

ඇත්තටම නැහැ, තරුණියන්ගේ සිතේ මොනවා තියෙනවද කියලා මම දන්නේ නෑ. ඔවුන් මා සමග කතා කර තිබෙනවා. එයාලා කැමැතියි මම රඟපෑ චරිතවලට. ආදර යෝජනා නම් ලැබුණා කියා මතකයක් නැහැ. තරුණියන්ගේ සිතේ යම් දේවල් තියෙන්න ඇති, ඒත් මට කියන්න නැතුව ඇති.

ඔබේ බිරිඳ ජපානයේ ඉන්න නිසාද ඔබත් ජපන් ගියේ ?

ඔව්, ඒ නිසා තමයි ජපානයට එන්න වුණේ. ඇය කැමැති වුණේ නැහැ ජපානය අතහැර ලංකාවට එන්න. ඒ නිසා මට සිදුවුණා ලංකාව අතහැර ජපානයට එන්න. අතහැරියා කිව්වට මම ජපානයේ මාස 03, 04ක් ඉන්නවා. ලංකාවේ වැඩ තියෙද්දි ලංකාවට ඇවිත් කලා කටයුතුවල නිරත වෙනවා. ෂූටින් නැති කාලයට ජපානයට ඇවිත් මෙහේ රැකියාවත් කරගෙන ඉන්නවා.

ඉදිරි නිර්මාණ ගැන කීවොත් ?

සුධීර ඩිල්ෂාන් සමග කරපු අලුත්ම ර්භඵඪජ ඊපචජඬ එකක් එන්න තියෙනවා. දිනේෂ් හේමන්ත එක්ක කරපු ර්භඵඪජ ඊපචජඬ එකකුත් එන්න තියෙනවා. චිත්‍රපටයක් කරන්න සැලසුම් කරගෙනත් යනවා. ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ලැබෙන සහාය ගැන කීවොත් ?

අම්මයි, තාත්තයි, නංගියි තමයි ඉන්නේ. අම්මලා ව්‍යාපාර කටයුතු කරන්නේ. නංගි රැකියාවක් කරනවා. ඒ වගේම මගේ බිරිඳ ඉන්නවා. ඔවුන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මට මාර නිදහසක් දෙනවා. ආදරණීය පවුලක් ඉන්න නිසා මම ශක්තිමත් කියා මම සිතනවා.

 

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT