19 වැනි කොටස ඉන්නවා
බැද්දේගම චිත්‍රපටයේ මතකයන් නම් කියලා ඉවර කරන්න බැරි තරම් තිබෙනවා. මට මතකයි චිත්‍රපටයේ මුලින්ම තිබෙනවා දර්ශනයක් පුංචි මැණිකේ සහ හින්නිහාමි පැලවලට වතුර දාන දර්ශනයක්. මාලිනී අක්කයි මමයි, ට්‍රිලීෂියා ගුණවර්ධනයි තුන්දෙනාම මේ දර්ශනය සඳහා ඇඳගෙන හිටියේ කර වැහෙන හැට්ට. විලි බ්ලේක් කැමරා එකත් අරගෙන උඩට ගියා ෂූට් කරන්න. ඒ ෂූට් එක ඉවර වෙලා පහළට ඇවිත් එහු මෙහෙම කිව්වා.
‘‘ මොනවද මේ අන්දලා තියෙන්නේ….මේ හොඳට ඇඟ වහලානේ අන්දලා තියෙන්නේ මේකට හරියන්නේ කැලෑ ඇඳුම්. බොඩි පටි දාලා හැට්ට අන්දවන්න….
එතනින් පස්සේ දිගටම අපිට අඳීන්න වුණේ බොඩි පටි දාපු හැට්ට කෑලි. හැබැයි අර මුලින් කරපු වතුර දාන සීන් එක නම් එහෙමම චිත්‍රපටයේ තිබුණා.
අපි ෂූටිං කළේ උදේ පාන්දර ඉඳලා දහවල් දොළහ විතර වෙනකම් විතරයි. මධ්‍යහනයේ ඉර මුදුනට එනකොට ෂූටිං නවත්වනවා. ආපහු ඉර බහිනකොට තමයි ෂූටිං පටන් ගන්නේ. මේ ප්‍රෙද්හය හරිම දුෂ්කර, කර්කෂ ප්‍රදේශයක්. ඉරු රශ්මිය බොහෝම තදේට දැනෙනවා. මධ්‍යහ්නයේදි නම් කාටවත් එළියට බහින්න අමාරුයි. ඒ තරමට ඉර සැරයි. අපි ඇඳලා හිටියේ ඇඳුම් අඩුවෙන් නිසා ෂූටිං ඉවර වෙනකොට අපේ මුළු ඇඟම පිච්චිලා. කළුවෙලා. කොළඹ එනකොට හම ගැලවෙනවා.
චිත්‍රපටයේ මුල්ම දර්ශනය විදියට ගත්තේ හින්නිහාමිට ගහලා ගෙනත් ඇඳේ දාල ඉන්න දර්ශනය. ඇත්තටම ඒ රූ ගත කිරීම් හරිම අමාරුයි. හතර පස් දෙනෙක් එක්ක අරෙහෙට මෙහෙට ඇදලා මගේ අතපය සියල්ලම පහුවදා වෙනකොට හොලවන්නවත් බැරි වුණා. පහුවදා මුළු ඇඟම රිදිලා මට උණ ගත්තා. කටු අකුලු අස්සේ රූ ගත කිරිමක් නිසා මුව ඇඟම සිරිලා තුවාල වෙලා තිබුණා. දර්ශනය ඉවර වුණාට පස්සේ ලෙස්ටර් සර් මං ගාවට ආවා.
‘අධ්‍යක්ෂවරයා කියන දේ නළුවාට හෝ නිළියට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන…….
එහෙම වුණාම අධ්‍යක්ෂවරයාට කරන්න දෙයක් නෑ. එයා තනියම ප්ලේ කරනවා. චිත්‍රපටයක් කියන්නේ අධ්‍යෂවරයාගේ දැක්ම. අධ්‍යක්ෂවරයාගේ කලාව චිත්‍රපටය ඇතුළේ තියෙන්න ඕන…..
ලෙස්ටර් පීරිස් එහෙම කිව්වේ ඔහු කියපු දේ තේරුම් අරගෙන, ඔහුගේ කලාව මම චිත්‍රපටය ඇතුළේ පිහිටෙව්වා කියන එක වෙන්න ඕන.
බැද්දේගම තිර පිටපත අපට ලැබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. විශේෂයෙන් විලී බ්ලේක් නිසා රෙජි සිරිවර්ධනයන් තිර පිටපත රචනා කරන්නේ ඉංග්‍රීසියෙන්. ආචාර්ය පීරිස් ගේ දර්ශන තලය හරිම ආචාරශීලීයි. කිසිම කෙනෙකුට සද්දෙන් කතාකරනවා මට කවදාවත් ඇහිලා නෑ. හැම කෙනෙකුටම ඔහු පැහැදිලි කරන්නේ ළඟට ගිහින්. ඇක්ෂන් , කට් කියනවා විතරයි අපට සද්දෙන් ඇහෙන්නේ.
ඒවගේම තමයි ඔහු දර්ශනය ඉවර වුණාම කමෙන්ට් එකක් දෙනවා. වෙරි ගුඩ් හෝ ගුඩ් හෝ එක්ස්ලන්ට් හෝ කුමනහෝ ප්‍රතිචාරයක් ඔහුගෙන අපට ලැබෙනවා.
බැද්දේගම මතකය අතරේ මට ආදරණීයම මතකය තිබෙන්නේ මුවා එක්ක. හින්නිහාමි වගේම මමත් මේ මුවාත් එක්ක බැඳීලා හිටියා. ෂූටිං ඉවරවෙලා කාමරයට එනකොට මම මුවාව කාමරයට අරන් එන්න පුරුදුකර ගත්තා. මම රෑට පාඩම් කරනකම් මුවා මම ළඟට වෙලා ඉන්නවා. අතේ ලුණු ගාල අත දුන්නම ඌ අත ලෙවකකා ඉන්නවා. ඒ වුණාට එක දවසක් නම් මුවා කාමරයෙන් පැනලා කැලයට දුවලා පැය ගාණක් තිස්සේ චිත්‍රපට කණ්ඩායමේ අයට මුවාව හොයන්න සිද්ධ වුණා.
පුංචි අම්මා- හින්නි කෙල්ලේ ….
ඕං උඹට පද හදලා ගම්මැද්දේ…..
හින්නිහාමි- ඇයි? ….. මං අර ජූතකයා දාල ආපු හින්ද වෙන්නැති
පුංචි අම්මා- නෑ…… පුංචි අප්පු හින්දා…..
උගෙන් ගමට අසුබලු…ඕං…
හින්නිහාමි- මගේ පුංචි අප්පු යකෙක් නොවෙයි…….. ඌ මට දුන්නේ දෙයියෝ
මට තාමත් මතක් වෙනවා හින්නිහාමි පුංචි අප්පුට කොච්චර ආදරේද කළාද කියලා. පුංචි අප්පු මරලා දාලා ඉන්න දර්ශනය රු ගත කරත්දි නම් මාර වැඩක් වුණා. මේ දර්ශන ගන්න කලින් මුවාව නිර්වින්දනය කළා. දර්ශන ගත කිරීම් ලෑස්ති කරගෙන රූ ගත කරන මොහොත ටිකක් වෙලා ගියා. දර්හන ගත කිරිම් ඇරඹුණාට පස්සේ මම දුවගෙන ගිහින් මුවාව බදා ගත්තා.
පුංචි අප්පු… පුංචි අප්පු …. මැරෙන්න එපා පුංචි අප්පු……
කියනකොට මට දැනෙනවා මුවා කුර වලින් මගේ බඩට ගහනවා. මම දැන ගත්තා මුවාට සිහිය එන්න පටන් ගන්නවා කියලා. මම කළේ තවත් තදින් මුවාගේ කකුල් දෙක මගේ කකුල් අතරය තියලා තද කර ගත්ත එක. ඊට පස්සේ ඌ කන්දෙකත් හොල්ලන් පටන් ගත්තා. ඒක පේන නිසා මම කන්දෙකත් අල්ලගත්තා. එහෙම තමයි ඒ දර්ශනය ඉවර කර ගත්තේ.
හින්නිහාමි ගහලා වැටිලා ඉන්න දර්ශනය රූ ගත කරන වෙලාවේ ලෙස්ටර් සර් මා ළඟට ආවා.
‘‘ ඔයාට ගහලා, ඔයාගේ රෙදි සේරම ඉරිලා සිහිය නැතිවෙලා වගේ වැටිලා ඉන්න තියෙන්නේ. ඔයාගේ හැට්ටේ ඉරිලා තියෙන්නේ. ඔයාගේ පිට පැත්ත කැමරාවට පේන්න තිබුණට කමක් නැත්ද?
ලෙස්ටර් සර් එහෙම අහලා මගේ එකඟතාවය මත තමයි ඒ දර්ශනේ ඒ විදියට රූ ගත කළේ.
මට තාමත් මකතයි ජෝ අයියා ඇවිත් ඔහුගේ කරේ තිබුණ රෙදි කැල්ල මගේ පිට වැහෙන්න දාලා තමයි මාව හරහට උස්සලා ගන්නේ.
ලබන සතියේ
විලි බ්ලේක් ගේ අනාවැකිය….
