Home » මම කලාත්මක, වාණිජ කියලා චිත්‍රපට තේරුවේ නෑ

මම කලාත්මක, වාණිජ කියලා චිත්‍රපට තේරුවේ නෑ

by mavan
March 19, 2026 12:54 pm 0 comment

34 වැනි කොටස

යුගයෙන් යුගයට චිත්‍රපටයට ලෙනින් මොරායස් මාව සම්පූර්ණයෙන් වෙනස් කළා. බැද්දේගම වැනි කලාත්මක චිත්‍රපටයක රඟපාපු මාව යුගයෙන් යුගයට චිත්‍රපටයේ පතෝල වැල් අස්සෙන් දුවමින්, සින්දු කියන නටන චරිතයක් බවට පත් කළා. ඒකට මගේ කිසිම අකමැත්තක් තිබුණේ නෑ. ඒ කාලේ ඉඳලම මම චිත්‍රපට වර්ගීකරණය කළ කෙනෙක් නොවෙයි. වාණිජ වේවා, කලාත්මක වේවා, මැද මාවතේ වේවා මට අවශ්‍ය වුණේ සහ මගේ රාජකාරිය වුණේ රංග කාර්යය නිසි පරිදි සිදු කීමයි.

මම අදටත් විශ්වාස කරන්නේ ලෙනින් මොරායස් තරම් කැමරා හරඹ කරන්න පුළුවන් කැමරා අධ්‍යක්ෂවරයෙක් ඇතියි කියලා මම හිතන්නේ නෑ. ඔහුගෙන් තරම් කැමරා හරඹ මම මෙතෙක් වෙනත් අධ්‍යක්ෂවරයෙකුගෙන් දැකලා නෑ. ඔහුගේ ඒ කැමරා කෝණ හරිම ලස්සනයි. මේ චිත්‍රපටයේ සින්දු අටක් විතර තිබුණා. සින්දු සියල්ලගේම පසුබිමේ ඉන්නේ මම. සමහර ගීත වල ඉන්නේ මම සහ විජය කුමාරතුංග. විජය අයියත් එක්ක කළ රංගනය මට හරිම අසීරු එකක් වුණා. චංචල රේඛා කරත්දි ගාමිණි අයියා එක්ක මම පහසුවෙන් රඟපෑවා. මොකද මම රගපෑවේ ඔහුගේ නංගිගේ චරිතය. නමුත් යුගයෙන් යුගයට විජය අයියත් මමත් රගපාන්නේ පෙම්වතුන් විදියට. ලෙනින් මොරායස් විජය දිහා පෙම්වත් හැගුමින් බලන්න කිව්වම මම පුදුම විදිහට අපහසුතාවයට පත් වෙනවා. නමුත් ඉතින් මේ අපහසුතා කිසිත් නොපෙනෙන විදියට පුදුම ලස්සනකට ඔහු මේ චිත්‍රපටය රූ ගත කළා.

ලෙනින් අයියා වගේම මේ චිත්‍රපටයේ නිෂ්පාදක පද්මසිරි කොඩිකාරත් අපේ අම්මත් හරිම මිතුරුයි. අම්මත් ලෙනින් මොරායස්ට හරිම ආදරෙයි. ඒ ගෞරවය හැමදාමත් මගේ හිතෙත් ඔහු කෙරේ තිබුණා. මේ හැම දෙනෙක්ම මට සැලකුවේ ඇත්තටම රංගන ශිල්පිනියකට එහා ගිය ළෙන්ගතු කමක් ඇතුව. සේන සමරසිංහ ගත්තත් එහෙමයි. එක පැත්තකින් එයා අපේ ඥාතියෙක් වෙනවා. නිහාල්සිංහයන් ගත්තත්, මට ගුණසේකර කියලා කතා කළත් ඒ ඇමතුමේ තිබුණා අති විශාල ළබැදි බවක්. ඇත්තටම ඒ කාලේ වෙනකොට මේ ආදරණීය බව, ළබැදි බව මම. මගේ යටි හිතින් අපේක්ෂා කරන්න ඇති. නිහාල්සිංහයන් ‘වම දකුණ දන්නේ නැත්ද? කියලා අහත්දි මගේ ඇස් වලට කදුළු පිරෙන්නේ ඒ නිසයි. කිසිම අත්දැකීමක් නැති පාසල් යන යුවතියක් විදියටනේ මම මෙතෙන්ට එන්නේ. අද ඉන්න අවුරුදු 18-20 තරුණියකට තිබෙන අත්දැකීම් හෝ සමාජ ආශ්‍රය හෝ එදා මට තිබුණේ නෑ. කොහොම වුණත් ලෙනින් මොරායස් මාව යුගයෙන් යුගයට චිත්‍රපටයට තෝර ගන්නේ අම්මා නිසාම නොවේ. ඒ කාලේ මම පුවත්පතකට දුන්න සම්මුඛ සාකච්ඡාවක් ලෙනින් මොරායස් කියවලා තිබිලා තියෙනවා. ඒක මට පස්සේ කාලෙක කිව්වේ පද්මසිරි කොඩිකාර. ඒ පුවත්පත් සාකච්ඡාවේ මෙහෙම තිබිලා තියෙනවා.

‘‘මම කලාත්මක වාණිජ කියලා චිත්‍රපට තෝරන්නේ නෑ……”

මේක දැකලා ලෙනින් අයියා කියලා තියෙනවා මෙහෙම,

‘‘ඔය ඉන්නේ අලුත් නිළියෝ….. මේ තලතාගේ දුව නේද?

ගිහින් එයාව බලමු…..”

ලෙනින් අයියගේ ඉල්ලිමට තමයි එදා පද්මසිරි කොඩිකාරත් සමඟ මාව මුණ ගැහෙන්න ආවේ. ඒ කාලේ වෙනකොට ලෙනින් අයියට මම වගේ හීන්දැරි, කේඩෑරි කෙට්ටු නිළියක් කොහෙත්ම

ඕන වෙන්නේ නෑ. මාලිනි අක්කාගේ සිට ශ්‍රියානි අක්කා, ස්වර්ණා අක්කා, ගීතා අක්කා, ඇතුළු අති විශාල නිළි කැලක් ඒ වෙනකොටත් හිටියා. මේ හැමෝම ලෙනින් මොරායස් ගේ නාමයත් එක්ක වටේ බැදිලා හිටියා. ඒ අතරේ මට මේ අවස්ථාව ලැබීම ගැන අදටත් මට හරි පුදුමයි. මම වගේම මගේ සමකාලීනයෝ හැටියට සිනමාවට ආපු නවකයොත් ගොඩාක් හිටියා. මම, සබීතා, වසන්ති, ගෝතමී, අනෝජා, මැණික්, මේ සියලු දෙනාමත් ඉන්නවා. මම දන්නේ නෑ මාව මේ අතරින් තෝරා ගත්තේ කුමන හැගීමකටද කියලා. ඔහුට දැනෙන්න ඇති අලුත් බවක්.

මුල් යුගයේ ඇත්තටම ඉන්දියානු සිනමාවේ අපි දැකපු තරු ගුණය ඇති නිළියන් වගේම වාණිජ සිනමාවේත් එවැනි නිළියෝ කොතෙකුත් හිටියා. ජිවරාණිලා, විජිත මල්ලිකාලා. සන්ධ්‍යා කුමාරිලා, මාලිනි ෆොන්සේකලා, මේ හැමෝම තමන්ගේ .තරු ගුණය රැකගෙන පිරිපුන් මුහුණු, ශරිර ඇතුව සිනමාවේ බැබලුණු තරු.

80 දශකයට එනවිට තමයි ඒ ප්‍රතිරුපයෙන් කැඩිලා කෙට්ටු , උස , හීන්දෑරි ලක්ෂණ ඇති නිළි ප්‍රතිරූප එන්නේ. ලෙනින් අයියා මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුණා

මට මතකයි අම්මත් මේක නිතරම කිව්වා.

“ගෑනියෙකුගේ ලස්සනම කාලේ එන්නේ අවුරුදු 28 පැන්නට පස්සේ…‘‘

එයා ඒක හැම වෙලේම කිව්වා. ඇදහුවා. අවුරුදු 18- 20 – 22 නොවෙයි. මේ කාලෙදි ලස්සන හිනාව, බැල්ම , ඇගපත, අගපසග ගැන ඒ තරම් ආකර්ෂණයක් නෑ කියලා තමයි ඔහු හිතුවේ.

විජය අයියා සමග නැවත වතාවක් මට යුගයෙන් යුගයට වැඩ කරන්න ලැබෙනවා. පද්මසිරි කොඩිකාර කියන්නෙත් විජය අයියගේ හොදම යාළුවා. මේ මිත්‍ර සබදකම් එක්ක යුගයෙන් යුගයට චිත්‍රපටය ඉතාම සුහදව අපි නිමකළා. ඔවුන් තුළ තිබුණ ළෙන්ගතුකම් නිසා අපිට වැඩ කරන්න පහසු වුණා.

ලබන සතියේ යුගයෙන් යුගයට අත්දැකීම් සමග

 

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT